----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ

Tuesday, November 27, 2012

මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ

රක්තා හැදූ ගාමිණී හේවාවිතාරණ උපහාර උළෙල 24 දා
අද දක්ෂයෝ රැසයි
ඒකාකාරී නිර්මාණ ගොඩයි
විජයට ඇක්ෂන් කියන්න මට බය හිතුණා
සිනමා කර්මාන්තයට ලොබ බැඳගත් තරුණයකි. ඔහුට කේ. විජේරත්න, රත්නවීර ද සිල්වා සහ ෂර්ලි සිල්වා නම් වූ අඹ යහළුවන් තිදෙනෙකු සිටියේය. ඔවුන් ද ඉහත කී තැනැත්තාට දෙවැනි නැත. මුවින් එලියට පැමිණෙන වචනයන්ගෙන් සියයට අනූනවයක්ම සිනමාව ගැනය. කෙටියෙන්ම කිව්වොත් මේ සිවු පුද්ගලයින්ට තිබුණේ පුදුමාකාර බයිස්කෝප් පිස්සුවකි.
මෙහෙම ඉඳලා හරි යන්නෙ නැහැ. ඕන බම්බුවක් වෙන්න කියලා ෆිල්ම් එකක් කරමු.
අයකු පවසයි.
කොහෙන්ද බං අපිට සල්ලි?
ගෙවල්වලින් ඉල්ලා ගනිමු. පස්සෙ දෙනවා කියමු.
ඒ යෝජනාව සම්මතය.
ඇත්ත පැවසුවොත් ගෙදරින් සල්ලි ලැබෙනවා බොරුය, එහෙයින් ඔවුන් නානා ප්‍රකාර මුසාවක් දොඩා නිවෙස්වලින් මුදල් ඉල්ලා ගත්තේය. දැන් පිටපත ද සූදානම්ය.
වැඩ ටික නම් ගානට කෙරුණා.
කවුද මේක ඩිරෙක්ට් කරන්නේ?
පිරිසට ප්‍රහේළිකාවකි. අවසන කෙනෙකු තීරණය විය. ඒ මා පළමුව නමක් නොදන්වා හඳුන්වා දුන් තැනැත්තාය. නම ගාමිණී හේවාවිතාරණය. අද ඔහු පරිණත පුද්ගලයෙකි.
ගාමිණී අයියේ ඊට පස්සේ මොකද වුණේ?

ඔබ ඔය සටහන් කරගෙන ආ සිදුවීම වුණේ 1977 අවුරුද්දේ. ඇත්තටම අපි කට්ටිය මීට කලින් චිත්‍රපටවල වැඩ කරලා තිබුණෙත් නැහැ. කොහොම හරි අන්තිිමේදී මට ඩිරෙක්ට් කරන්න සිදු වුණා. චිත්‍රපටයේ නම හරි යන කොට ඔහොම තමයි. කිව්වට විශ්වාස කරන්න චිත්‍රපටය පටන් ගත්තේ රු: 3000 කින්.
පළමුව ‘ඇක්ෂන්’ කිව්වේ කාටද?
වෙන කාටවත් නෙවෙයි අසහාය නළු විජය කුමාරතුංගට. ඔහු එතකොට දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නගා ගත් නළුවෙක්. මගේ මුවින් පළමුව ‘ඇක්ෂන්’ යන හඬ පිට වුණෙත් නැහැ. විජය අයියා ඒක තේරුම් අරගෙන එතැන් පටන් පුදුම සහයක් මට දුන්නේ. චිත්‍රපටය අන්තිම හරියෙදි නියම වැඩක් වුණා.
ඒ මොකක්ද?
අපිට සල්ලි මදි වුණානෙ. නිෂ්පාදකවරයකු හම්බ වුණා. ඒත් ක්ෂේත්‍රයේම අයකු ඔහුට කියලා අලුත් අයට සල්ලි දෙන්න එපා, ඔවුනට වැඩ බැහැ කියලා. අන්තිමේදී අපිට බැංකු ණය මුදලක් ගන්න පුළුවන් වුණා. චිත්‍රපටයෙහි වැඩ නිම කළා. ඒක දින හැත්තෑ පහක් දිව්වා. හොඳට ලාබත් ලැබුවා.
එයින් පසුව?
හරි යන කොට ඔහොම තමයි චිත්‍රපටයෙන් අපිට ලැබුණා මහත් ශක්තියක්. මගේ ඊළඟ චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගත්තා. ඒකෙ නම රක්තා. එය දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් තැනුණේ. අනතුරුව මැණික් මාලිගා, දූ දරුවෝ, සාරංගා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඊට පසුව වසර විසිපහක් පමණ නිහඬව ඉන්නට සිදු වුණා.
හේතුව?
මගේ වයිෆ් කැමැති වුණේ නැහැ මේ ක්ෂේත්‍රයට. ඒක නිසා ඉවත්ව සිටියා. ඒ කාලයදී මං පුංචි පුංචි ව්‍යාපාර කටයුතු කළා.
එතකොට ඔබ තුළ ජීවත්වන කලාකරුවා?
ඔහු තවමත් එහෙම්මම සිටිනවා. මං ව්‍යාපාර කළත් ඒ පැත්තටම යොමු වූයේ නැහැ. මොකද මං දක්ෂ ව්‍යාපාරිකයකු නෙවෙයි. අවස්ථා කිහිපයකදීම පාඩු ලැබුවා. මොන දේ කළත් කලාකරුවාගේ හිත නිතරම නවතින්නේ කලාව ළඟ. ඒකයි කොයි ලෝකවල්වල රවුම් ගැහැව්වත් ආයෙත් චිත්‍රපට කරන්න ක්ෂේත්‍රයට ආවේ.
අලුත් වැඩ කටයුත්තකට මේ වන විට අත ගහලද තියෙන්නේ?
ඔව්. චිත්‍රපට දෙකක්ම නිර්මාණය කරන්නට සූදානම්. එකක් කොමඩියක්. අනික කැලෑවක් සම්බන්ධ රහස් පරීක්ෂක කතාවක්.
නිහඬව සිටි කාලය ගැන පුංචි හෝ දුකක් නැතිද?
ඒ කාලය අතීතයට ගියාවේ. හැබැයි සක්‍රීයව මං සිටියා නම් අද වන විට චිත්‍රපට විස්සක් විතර කරපු අධ්‍යක්ෂවරයෙක්. නමුත් මක් කරන්නද?
ගාමිණි අයියා චිත්‍රපට සඳහා යොදා ගත්තේ නවකයින්ව. අද ඔවුන් බොහොම ප්‍රවීණයි. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
මට අදටත් වුවමනා නවකයින් සමඟ වැඩ කරන්න. මගේ අලුත් චිත්‍රපටවලටත් වැඩිපුර යොදා ගන්නේ අලුත් අය. විමලරත්න අධිකාරි, දයාරත්න රටගෙදර, හේමසිරි ලියනගේ, වික්ටර් දළුගම, ප්‍රියා සූරියසේන, පුන්සිරි සොයිසා කළ එළියට ආවේ මගේ චිත්‍රපටවලින්. අද ඔවුන් ද ප්‍රවීණයි. ඒ ගැන වචනවලින් විස්තර කළ නොහැකි සතුටක් මගේ සිිතේ තියෙනවා.
ඔබේ දුක සැප සෙව්ව අය කවුද ඉන්නේ?
මේ ඇත්තමයි කියන්නේ. කිසිම කෙනෙක් මං උන්නද මලා ද කියලා බැලුවේ නැහැ. ඒකට කමක් නැහැ. කවුරුවත් ගැන සිතේ කහටක් නැහැ.
මෙම මස 24 වැනිදා විශේෂ කටයුත්තක් වෙනවා නේද ඔබ වෙනුවෙන්?

එය මං වෙනුවෙන් සංවිධානය කළ උපහාර උළෙලක්. සේම් සංවිධානය මගිනුයි එය සිදු වන්නේ. සවස 2.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේදී උත්සවය ආරම්භ වෙනවා. මගෙත් එක්ක වැඩ කළ ගොඩක් මිත්‍රයින් එදාට හමුවේ යැයි මං විශ්වාස කරනවා.
රසික රසිකාවන්ටත් ආරාධනාවක් තිබෙනවාද?
ඔව්. මගේ චිත්‍රපට නරඹපු හැමෝටම එන්න කියලා මං ආරාධනා කරනවා.
ඔබේ චිත්‍රපට අතරින් වඩාත් ජනප්‍රිය වූයේ ‘රක්තා’ යැයි කිව්වොත්?
ඒක නිවැරදියි. මන්දයත් එම චිත්‍ර කතාව අතිශය ජනප්‍රියයි. ඒ වගේම සාරංගත් ජනප්‍රිය වුණා. එහි ඩග්ලස් සමඟ අනෝජා කළ රංගනය අදටත් මිනිස්සුන්ට මතකයි.
චිත්‍රපට ජීවිතයේ අනන්තවත් සුන්දර මතක සටහන් එහෙමත් ඇති?
නැත්තන්. රක්තා රූගත කරද්දී සෝනියා, මර්වින් ජයතුංග, විමල් කුමාර ද කොස්තා සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඔරුවක යන සීන් එකක් තිබුණා. ත්‍රිකුණාමලයේ ආන්දම්කුලම් වැවෙයි එම දර්ශනය ගත්තේ. වැව මැද්දෙදි ඔරුව පෙරලුණා. කට්ටිය පැනලා බොහොම අමාරුවෙන් ගොඩ ගත්තේ. මර්වින් ජයතුංග රක්තාහි රඟන්නේ ගෝරාසිං නම් චරිතය.
ඔහුව මම තමයි ලොකු චරිතයකින් මිනිස්සු අතරට ගෙන ගියේ. ඔහු මගේ නිවසට ඇවිත් ඔහු හඳුන්වා දුන් හැටි අද වගේ මතකයි. පසුකාලීනව ඔහු සිනමාවේ දැවැන්ත දුෂ්ඨ නළුවකු වුණා. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විදිහට නමක් හදා ගත් පසු රටේ ජනප්‍රිය නිළියෝ මාව හොයාගෙන එන්න පටන් ගත්තා චරිත ඉල්ලගෙන. පස්සේ පස්සේ මේක හරි වදයක් වුණා. මොලේ කල්පනා කරලා වැඩ කළා. මට අද ඒක මතක් වෙද්දි හිනා.
වර්තමානයේ ක්ෂේත්‍රය ගැන කියන්න තියෙන්නේ මොනවාද?
දක්ෂයෝ රැසයි. ඒත් ඒකකාරී නිර්මාණ ගොඩයි. දක්ෂයින්ගෙන් වැඩක් ගන්නේ නැහැ. අනික ඉන්දීය නිළියො අපිට අනවශ්‍යයි. මොන චරිතයට වුවත් ලංකාවෙ ගැළපෙන අය ඉන්නවා. ටිකක් මහන්සි වුණා නම් හොයා ගත හැකියි.
එතකොට චිත්‍රපට ටෙලි නාට්‍ය බවට පත් කිරීම?
අන්තිම නරකයි. මුල් කෘතිය විනාශවීමක් සිදු වන්නේ. මගේ චිත්‍රපට නම් ටෙලි නාට්‍ය කරන්න දෙන්නේ නැහැ.
ටෙලි නාට්‍යක් කරන්න අදහසක් නැතිද?
මගේ මාධ්‍ය සිනමාව. ඉන් පරිබාහිර ක්ෂේත්‍රයක් ගැන හිතන්න අමාරුයි.
අනගි සිනමාපට රැසක් ක්ෂේත්‍රයට දායාද කළ අධ්‍යක්ෂවරයකු හැටියට තෘප්තිමත් මනසකින් ද ඔබ ඉන්නේ?
මොකද නැත්තේ. මගේ චිත්‍රපටවලින් බොහෝ දෙනෙකු හඳුන්වා දුන්නා. විමල් කුමාර ද කොස්තා වැනි අයව වාණිජ සිනමාව පැත්තෙන් ඉදිරියට ගෙනිච්ච. මං තමයි වාද බයිලා චිත්‍රපටවලට ගෙනාවේ. ඒ වගේම පාපන්දු තරගයක් චිත්‍රපටයකට ඇතුළත් කළ පළමුවැන්නා මං. මෙවැනි බොහෝ දේ මං කළා. ඒ ගැන සෑහීමකට පත් වෙනවා. යළිත් එවන් ප්‍රබෝධමත් වැඩක් කරන්නයි මේ ලැහැස්තිය.
ගාමිණීට කතා කරන්න 0786026535.


0 comments:

Post a Comment