----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා

Tuesday, November 27, 2012

Sarasaviya

මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා

තේවිස් ගුරුගේ ධර්මශ්‍රී ට කියා දුන් පාඩම
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ඔහු දැවැන්තයෙක්. හඬ ඇසූ පමණින් ඔබට ඔහු හඳුනා ගන්නට අපහසු නැහැ. පියවරෙන් පියවර අත්දැකීම් සමඟින් නිවේදන ක්ෂේත්‍රයේ ඔහු පැමිණි දුර බොහෝයි. ගුවන් විදුලිය පමණක් නොව රූපවාහිනියේ ද ඔහු ඔබට ලෙංගතු මිතුරෙක්. ඔහු ධර්මශ්‍රී වික්‍රමසිංහ. මේ ඔහු අඩ සියවසකට ආසන්නව පැමිණි ඒ ගමනේ තොරතුරු බිඳක්.
මේ ගමනේ ආරම්භය සිදු වූයේ ගුවන් විදුලියේ සහන නිවේදකයෙක් ලෙසයි. 1967 වසරේදී සහන නිවේදකයෙක් ලෙස ගුවන් විදුලියට එක්වන විට මම වරාය සංයුක්ත මණ්ඩලයේ අනියම් ලිපිකරුවෙක්. නමුත් හැමදාම මගේ සිහිනය වුනේ ගුවන් විදුලි නිවේදකයෙක් වෙන එකයි. දැන් වගේ නෙවෙයි එදා අද වගේ ගුවන් විදුලි නාලිකා රාශියක් තිබුණේ නැහැ. ලංකා ගුවන් විදුලි සංස්ථාව විතරයි තිබුණේ. ඉතිං මේකට ඇතුල් වෙන එක හරිම අමාරු දෙයක්.
කොහොම වුණත් ඒ වන විට කරුණාරත්න අබේසේකර මහතා අඳුරගන්න මට අවස්ථාව ලැබුණා. එතුමන් විසින් කළ සරස්වතී මණ්ඩපය වැඩසටහනට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වුණත් එහි දිගටම ඉන්න බැහැනේ. ඒක ළමා වැඩසටහනක්. වයස අවුරුදු 19 වෙනකල් විතරයි එයට සහභාගි වෙන්න පුළුවන්. එහි වැඩසටහන් රැසකට සම්බන්ධ වුණා. නිතර ආවා ගියා. කොහොම හරි නිවේදන ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා කියන උනන්දුවෙන් තමයි වැඩ කළේ. හැම දෙයකින්ම මම මගේ නිවේදන දිවියට අත්දැකීම් එකතු කර ගත්තා.
කාලයත් සමඟ මම 1971 වසරේදී දෙවන ශ්‍රේණියේ ස්ථිර නිවේදකයකු බවටත් 1978 වසරේදී පළමු ශ්‍රේණිියේ නිවේදකයකු බවටත් පත් වුණා. මේ කාලය තුළ මා ලැබූ අත්දැකීම් සියල්ල මම ගුවන් විදුලියේ ඕල් රවුන්ඩර් කෙනෙක් බවට පත් කළා කිව්වොත් නිවැරදියි. ප්‍රවෘත්ති නිවේදකයකු, වෙළෙඳ නිවේදකයකු, විස්තර ප්‍රචාරකයකු, සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නකු ලෙසත් ඉහළ ප්‍රසිද්ධියක් මට ලැබුණා. එක්තරා කාලයකදී මට සතියකට වෙළෙඳ වැඩසටහන් 17 ක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ මාසෙකට 68 ක්. ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශත් සිදු කළ යුතුª වූ නිසා මා නිරතුරුවම සිටියේ ගුවන් විදුලි සංස්ථාව තුළමයි.
උදේ 3.30 ට විතර එන මම ආපසු ගෙදර ගියේ රාත්‍රී 10.00 ට විතර. ඒ සමඟම රූපවාහිනියේ පැමිණීමත් සමඟ එයට දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ දැන් වගේ නෙවෙයි වැඩසටහන් සුළු ප්‍රමාණයක් තිබුණේ. නමුත් ඒ අතුරින් වැඩසටහන් දහයක පමණ මම හිටියා. එක දවසක් ස්වාධීන රූපවාහිනී සේවයේ තේවිස් ගුරුගේ මහතා හිනා වෙලා මට කිව්වා ‘ධර්ම ශ්‍රී දැන් ඔයා හරි ජනප්‍රියයි නේද? මොන වැඩසටහන දැම්මත් ඉන්නෙ තමුසෙ’. ඉතිං මමත් හිනා වෙලා ඔළුව වැනුවා. එවිට එතුමා කිව්වා ‘මිනිස්සුන්ට තමන්ව ඉක්මනින්ම එපා වෙන්නත් හේතුව ඕකම වෙයි. මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා. සල්ලි ඕන නම් යාහළුවන්ගෙන් ටිප් එකක් ඉල්ල ගන්නවා’ කියලා. ඒ වෙලාවේ තමයි මට තේරුණේ මිනිස්සු හැම වෙලේම දකින්න කැමැති අලුත් දෙයක් කියලා.
සමහර දවස්වලට මම උදේ 6.00 දහවල් 12.45 හවස 6.00 රාත්‍රී 9.00 ප්‍රවෘත්ති විකාශන සියල්ලම කළ අවස්ථාත් තියෙනවා. මට මතකයි හැත්තෑ ගණන්වල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති නොබැඳි සමුළුව දවස්වල පැය භාගයකටත් වැඩිය එක දිගට ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න සිදු වුණා. ප්‍රවෘත්ති කියන අතරතුරදිත් තවත් ප්‍රවෘත්ති ලැබෙනවා. ඒවායේ වැරැදි නිවැරැදි බලා පෙර සූදානමක්වත් නැතුවයි සිදු කළේ. එදා වතුර බිබී එක දිගට මට ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න සිදු වුණා. අද වගේ නාලිකා රැසක්වත් නිවේදක නිවේදිකාවන් රැසක් හිටියෙත් නැහැ. ශ්‍රාවකයන්ට අපේ හඬ හරිම ලෙංගතුයි. තමන්ටම කියල අනන්‍යතාවක් එදා අපිට තිබුණා. එදා අසන්නන්ට හඬෙන් පමණක් අප හඳුනා ගැනීමේ හැකියාව තිබුණා.
එදා අද වගේ අපට මේ පිළිබඳ ඉගෙන ගන්න තැන් තිබුණේ නැහැ. ප්‍රවීණයන් දෙස බලන් ඉඳලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. මගේ ගුරුතුමා වන කරුණාරත්න අබේසේකර, සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ වැනි ප්‍රවීනයන් දෙස මම මැදිරියෙන් පිටත සිට බලාගෙන හිටියා. ඔවුන් ප්‍රවෘත්ති කියන විදිය, කොළයක් පසෙකින් තියන ආකාරය, ඒ අතරතුර හුස්ම පිට කරන විදිය මම එයින් ඉගෙන ගත්තා. අද වගේ නෙවෙයි එදා මේ ක්ෂේත්‍රයේ පරිසරය ගොඩක් වෙනස්. එදා කතා විලාසය හරිම සරලයි. අද වගේ විකාර භාෂා විලාශයක් එදා තිබුණේ නැහැ. අද තියෙන්නේ හායි හූයි කියල කෑගහන භාෂා ශෛලියක්.
එදා බිහි වූ නිවේදක නිවේදිකාවන්ට ලොකු පිළිගැනීමක් තිබුණා. ඒ නම් අදටත් එහෙමමයි. අද වගේ නෙවෙයි එදා අපට ලොකු මුදලක් ලැබුණේ නැහැ. අපි කවදාවත් මුදල් බලාගෙන වැඩ කළේ නැහැ. 1995 වසරේදී පැවැති ගුවන් විදුලි ජනාධිපති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිවේදකයා ලෙස සම්මාන ලැබීම සහ 98 වසරේ පැවැති මෙරට මුල්ම සංගීත සම්මාන උළෙල වන රස සංගීත සම්මාන උළෙලේදී ජනප්‍රියම නිවේදකයා ලෙස සම්මාන ලැබීම මගේ නිවේදන ජීවිතයේ සුවිශේෂ අවස්ථා දෙකක්.
දැන් ගෙවන්නේ එහි 45 වැනි වසරයි. මේ කාලය අතරතුර මා එරන්දි, සතුටය කිරුළ අපේ සහ නදීශානි නම් නවකතා ත්‍රිත්වය රචනා කළා. ඊට අමතරව මගේ නිවේදන වෘත්තියේ 38 වසරක අත්දැකීම් කැටි කර ‘ජය ශ්‍රී මා ධර්ම ශ්‍රී’ නම් කෘතියත් නිවේදන ක්ෂේත්‍රයට පැමිණෙන දරුවන් වෙනුවෙන් ‘නිවේදන සිහිනය සැබෑ කර ගන්නේ කෙසේ ද’ යන කෘතියත් රචනා කළා. මගේ අලුත්ම නවකතාව ‘සඳ වියන යට’ මේ වන විටත් මුද්‍රණයේ තියෙන්නේ. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදනයට මා යොමු වුණත් එහි සාර්ථකත්වයක් ලැබුණේ නම් නැහැ.
නමුත් ඉදිරියේදී ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. සඳ වියන යට රචනා කළෙත් ඒ අදහස හිතේ තියාගෙන. ඊට අමතරව මා සිත්ගත් තවත් දෙයක් වුණේ ගීත රචනා කිරීමයි. ආසාවට ඒ දේ කලත් ඒ කාලේ තහංචියක් ආවා ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන්ට ගීත රචනා කිරීම තහනම් කියලා. අද නම් ගීත නිබන්ධනය කරන්නෙත් සල්ලි බලාගෙන නේ.
එදා මා ලියූ ගී අතර අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් ලියූ ‘සිහිවටනය සේ’, ‘නදීශානි’, ඉන්ද්‍රාණි පෙරේරා ගයන ‘වසර ගණනක් ඇසුරේ හිටියත්’, මර්වින් පෙරේරා ගැයූ ‘මා දුර ඈතක යතැයි සිතා’ වැනි ගීත ජනප්‍රිය වුණා. හැමදාමත් මගේ හොඳම විවේචකයා වුණේ මගේ බිරිඳ චන්ද්‍රා. වැඩසටහන් වගේම නවකතාවලත් හොඳම විචාරය ලැබෙන්නේ ඇයගෙන්. ඒ වගේමයි දුව උරේෂාත් පුතා නවෝද් නිරතුරුවම මා දිරිමත් කරනවා. පුතා නවෝද් තමයි නවකතා ලියන්න මා උනන්දු කරන්නේ. මා පැමිණි මේ ගමන පිළිබඳ ලොකුªªª තෘප්තියක් මට දැනෙනවා. මේ දේවල් අනාගත දරුවන්ට ලබාදීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මම ඩී ශ්‍රී ගුවන් විදුලි නිවේදන පුහුණු ආයතනය ආරම්භ කළා. ගුවන් විදුලි කලාව, ඉතිහාසය, භාෂාව සමඟ සියලු නිවේදක ගුණාංග පිළිබඳ මනා අවබෝධයක් ලාබ දීම තමයි මෙහි අරමුණ. අද වන විට මගේ සිසුන් ක්ෂේත්‍රයේ ඉතා හොඳ තැන්වල සිටිනවා. ඒ ගැන මම සෑහීමකට පත් වෙනවා. ඒ වගේමයි මේ දරුවන්ට මම කියන්න කැමැතියි නිවේදන වෘත්තිය ආභරණයක් කර නොගෙන කැපවීමෙන් වැඩ කරන්න කියලා. වේදිකාවක සිංදු කියල බැහැල යනවා වගේ නෙවයි නිවේදනය කියන්නේ. නිවේදනය එයට වඩා වගකීමෙන් කළ යුතු දෙයක්. ජනප්‍රියතාවය පමණක් සළකා නිවේදනයට එන්න එපා කියලා මම විශේෂයෙන් කියන්න කැමැතියි.

0 comments:

Post a Comment