----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අපි අදටත් මනමේ සිංහබාහු බලන්නේ ඒ වගේ පිටපත් අපට නැති නිසයි

Friday, November 16, 2012

Ranjith- ප්‍රවීණ නාට්‍යවේදී රන්ජිත් ධර්මකීර්ති
 ‘අංගාරා ගඟ ගලා බසී’ නව නිෂ්පාදනයක් ලෙස යළි නිර්මාණය කරන්නට සිතුවේ ඇයි?
1978 ජනවාරි මාසයේ 26 වැනිදා තමයි අංගාරා ග‘ මුලින් ම වේදිකා ගත වුණේ. ඒ කාලයේ මෙය ඉතා ජනප්‍රිය වුණා. ටී. එම්., එඩ්වඩ් ගායනයෙන් සම්බන්ධ වුණා. දර්ශන වාර සියයක් විතර පෙන්නුවා. ඒ කා‍ලේ වනවිට නාට්‍යයට සම්බන්ධ වී සිටි බොහෝ ශිල්පීන්ට තමන්ගේ කටයුතු සමග නාට්‍යයට සම්බන්ධවීමේ ප්‍රායෝගික දුෂ්කරතා මතු වුණා. ඒ නිසා කතා බහ කරලා නාට්‍ය නතර කළා. යළි ධම්ම ජාගොඩ රූපවාහිනියට කළ ‘වේදිකාවෙන් නාට්‍ය පෙළක්’ වැඩසටහනට දෙවන වරට නිෂ්පාදනය කළා. මේ තෙවැනි නිෂ්පාදනය. හැම දෙනාගෙන් ම ලොකු ඉල්ලීමක් ආවා ඇයි අංගාරා ගඟ යළි නිෂ්පාදනය නොකරන්නේ කියලා. ඒ වගේ ම කාලයක් තිස්සේ කුරුවල් වෙලා තිබුණු ප්‍රේක්ෂකාගාර දැන් දැන් නියම නාට්‍ය රසිකයන්ගෙන් සමන්විත වෙමින් යනවා. රසවින්දනයක් සහිත පිරිසක් ඉන්නවා. නාට්‍ය ලෝකයේ හිතමිතුරන්ගෙන් පවා යළි යළි ඉල්ලීම් ආවා. මේ සියලු කාරණා සලකා බැලුවා ම මේ තමයි අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ නව  නිෂ්පාදනයට හොඳ ම කාලය කියලා හිතුනා.
එදා සහ අද සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික තත්ත්වයන් වෙනස්. ප්‍රේක්ෂකාගාරය වෙනස්. අද රසිකයා අංගාරා ගඟට කවරාකාර ප්‍රතිචාරයක් දක්වයි ද?
ඇලෙක්සි අර්බුසොෆ් කියන සෝවියට නිර්මාණකරුවාගේ නාට්‍යක් තමා මේ අංගාරා ගඟ ගලා බසී කියන්නේ. මේක ලියන කා‍ලේ වෙනකොට සෝවියට් දේශයට සංවර්ධනයේ අරුණලු වැටිලා. නව තාක්ෂණය ප්‍රසාරණය වෙලා. රූපවාහිනිය,  සිනමාව,  චිත්‍රපටය සාමාන්‍යකරණය වෙලා. අලුත් පරම්පරාවක් බිහිවෙලා හිටිය යුගයක්. අර්බුසොෆ් මේ නාට්‍ය නිර්මාණය කළේ ඒ අලුත් පරම්පරාවට.
ඇරිස්ටෝටලියානු සම්ප්‍රදාය තුළ අපට නාට්‍ය තුළ ජවනිකා හතරක් හමු වුණත් මේ නාට්‍ය තුළ ජවනිකා දාහතක් තියෙනවා. ඒ වගේ ම මේක යථාර්ථවාදී නාට්‍යයක්. ප්‍රේමය පදනම් කරගෙන චරිත නිරූපණයට වැඩි ඉඩක් වෙන් කළ නාට්‍යයක්. ප්‍රේමය කියන්නේ ඕනෑ ම කාලයකට, යුගයකට,  සමාජයකට ගැලපෙන දෙයක්. සයිබිරියාවේ ඉදිවෙන විදුලි බලාගාරයක කම්කරු මිතුරන් දෙදෙනෙක් එක ම තරුණියකට පෙම් කරනවා. ඒ හරහා තමයි මේ නාට්‍ය ගලාගෙන යන්නේ. සංවර්ධනය, සමාජ පෙරළිය ගැන කතා කරනවා. හරියට තිත්ත බෙහෙතක් කරලක් මැදට දාලා බොන්න දෙනවා වගේ වැඩක්.
එදා මේ නාට්‍ය බිහිවෙද්දී, පැවතුනු නාට්‍ය ගැන අමරසේකර කියලා තිබුණේ පපඩම් නාට්‍ය රැල්ලක් තියෙනවා කියලා. හේතුව තමා නාට්‍ය තුළින් දිය යුත්තේ පළමුව සෞන්දර්යය බවත්, දෙවනුව පණිවුඩය බවත් හඳුනා නොගැනීම. සෞන්දර්යය පසෙකලා ගෙඩි පිටින් පණිවිඩය දෙන්න ගියා. සෞන්දර්යයෙන් තොරව කලාව පවත්වාගෙන යන්න බෑ කියලයි මම විශ්වාස කරන්නේ. එදා මේ නාට්‍ය බිහිවුණේ ඒ පැවතුනු පපඩම් රැල්ලට අභියෝගයක් වෙමින්. කැළි කසළ සෝදා හැර අංගාරා ගඟ ගලා බසී කියලා මේ නාට්‍ය එදා බලපු විචාරකයෙක් කියලා තිබුණා.
අද දවසේ ප්‍රේක්ෂකයාත් මේක ආදරයෙන් වැළඳ ගනීවි. ජනප්‍රිය වේවි. එදා මේ නාට්‍යය නොවින්ද පිරිස මේක හොඳින් රස විඳීවි. තරුණ පරම්පරාව මේකට ඇලුම් කරාවි. ඒකේ ගැටලුවක් නෑ.
Angara
පෙර නිෂ්පාදනය තුළ වූ නා්‍යයට, ඊට දායක වූ ශිල්පීන්ට මේ නව නිෂ්පාදනය තුළින්,  නවක ශිල්පීන්ගෙන් නිසි සාධාරණය ඉටු වේවි ද?
ඇත්තට ම ගත්තොත් මේ නව  නිෂ්පාදනයට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙක් මේ නාට්‍යය වේදිකාවක සජීවීව බලලා තියා මේක පෙන්නන විට ඉපදිලාවත් නැති අය. නව මුහුරත් උළෙල පැවැති අවස්ථාවට පැරැණි ශිල්පීන් සම්බන්ධ වුණා. ඔවුන් අලුත් පිරිසට පිටපත් භාර දුන්නා. එදා අට දෙනෙක් හිටපු ගායන වෘන්දයට අද දහ අටදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතා ඉතා හොඳ මට්ටමක තියෙනවා. මුහුරත් උළෙ‍ලේ දී නවක ශිල්පීන්ගේ දක්ෂතා දැකපු පැරැණි ශිල්පීන් සියලුදෙනාගේ ම එක ම අදහස වුණේ මොවුන් හරිම දක්ෂයි. අදත් එදා වගේ ම දක්ෂ ශිල්පීන් පිරිසක් ඉන්නවා, මේ දේ ඔවුන් හරියට ම කරාවි කියන එකයි.
අද දවසේ වේදිකාවට දක්ෂ ශිල්පීන් පිරිසක් ඉන්නවා කියන එක ඒ පිළිතුරෙන් නොකියා කියවෙනවා නේද?
අද දවසේ නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට හදාරණ පිරිසක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් උපාධිධාරීන් බිහි වෙනවා. අනෙක් අතින් බටහිර සංගීතය ඉගෙන ගන්න පිරිසක් ඉන්නවා. එදා මේ සම්පත් අපට තිබුණේ නෑ. අද ඉන්න පිරිස වේදිකාවේ මූලික කරුණු හරිහැටි දැනගෙන අවබෝධ කරගෙන ඉන්නවා. එදා සම්බන්ධ වූපිරිසට මේ හැම දෙයක් ම මුල ඉඳන් කියලා දීලා තමයි සම්බන්ධ කර ගන්න වුණේ. ඉතිං එහෙම බැලුවාම අද පරම්පරාවේ දක්ෂයන් ඉන්නවා. ඔවුන් සමග වැඩ කරන්න පහසුවක් තියෙනවා. දක්ෂයන් ඉන්නවා කිව්වාට එතැන ටී.එම්ලා, එඩ්වඩ්ලා ඉන්නවා කියලා මම කියන්නේ නෑ. හැබැයි මේ පිරිස තමන්ගේ දක්ෂකම් හරි හැටි ඔපමට්ටම් කර ගන්නවා නම් ඉතා දිගු ගමනක් යන්න පුළුවන්.
එසේ නම් රන්ජිත් ධම’කීර්ති කියන නාට්‍යවේදියා ඉතා දිගු කලක සිට නිහඬ ව සිටින්නේ ඇයි?
මම අවසන් වරට 1993 දී ‘මේඝ’ නාට්‍ය කළාට පස්සේ තමයි මේ යළි වේදිකාවට සම්බන්ධ වෙන්නේ. මේ නිහඬතාවයට හේතු කිහිපයක් ම තිබුණා.
‘මේඝ’ කරන කා‍ලේ වෙනකොට රූපවාහිනිය අපේ ආලින්දය ආක්‍රමණය කරලා. ටෙලිනාට්‍ය පටන් අරන්. එෆ්. එම්. නාලිකා පටන් අරන්. ජීවන අරගලය අපි හැමෝටම ‍පොදු කාරණයක්. වේදිකාවේ රැඳී ඉන්නවා කියන්නේ ‍ලේසි දෙයක් ‍නෙවෙයි. රෑ දවල් නැතිව මහන්සි වෙලා, රෑ එළි වෙනකල් නිදිමරාගෙන කහට කෝප්පයක් දෙකක් එක්ක හැමකෙනාටම මේ ජීවිතේ ගෙවන්න අමාරුයි. එච්චර මහන්සි වෙලා කරන නාට්‍යයක වුණත් අවසානෙදි අතට එන්නේ සොච්චමයිනේ. රූපවාහිනියේ නාට්‍ය වලට සම්බන්ධ වුණෙත් වේදිකාවේ සිටිය පිරිස්ම තමයි. මේ නිසා ආර්ථිකය සහ ජීවන අරගලය කියල කාරණා දෙක හමුවේ ශිල්පීන් ගැන හිතන්න වෙනවා.
ප්‍රේක්ෂකාගාරයත් ක්‍රමක්‍රමයෙන් නරක් වෙන්න ගත්තා. රූපවාහිනියටත් වඩා දරුණු විදියට අලුත් තාක්ෂණය ප්‍රේක්ෂකාගාරය ආක්‍රමණය කළ එකෙන් වුණේ නාට්‍ය රසිකයාට රසවිඳින්න අවස්ථාව නැති වුණු එක. ඒත් එක්ක ජනප්‍රියයි කියන නාට්‍ය රැල්ලකුත් ආව නේ. අපිට ප්‍රේක්ෂකයාට නාට්‍යයක් දෙන්න පුළුවන් වෙන්නේ ඔවුන් අපෙන් ඉල්ලුවොත් විතර නේ. රසිකයන් ඉල්ලන්නේ නැත්නම් අපිට දෙන්න බෑ. මගේ ‍පොත් වලට පාඨකයන් නැත්නම් මම ‍පොත් ලියලා වැඩක් නෑ නේ. ඉතිං නාට්‍යයත් ඒ වගේ ම තමයි. යුද්ධය තියෙද්දී රසිකයාට නාට්‍ය තෝරා ගන්නව ද ජීවිතය තෝරා ගන්නවද කියලා දෙපාරක් හිතන්න වුණා නේ. ඒ පැවතුණු භීෂණකාරී වටපිටාවත් මේ නිහඬතාවයට බලපෑවා.
වර්තමාන වේදිකාව දිහා බැලුවාම අපිට පේන දෙයක් තමයි පැරණි නාට්‍ය නව නිෂ්පාදන ලෙසින් බිහිවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක?
මම දකින විදියට ඒකට හේතුව හොඳ නාට්‍ය නැතිකම නේ. අද වේදිකාව ගත්තොත් එහි හැමදේම ඉතා දියුණු මට්ටමක තියෙනවා. ඉතා හොඳින් තාක්ෂණය සමගත් මුහු වෙලා ඉන්නවා. වේදිකාව හා තාක්ෂණය අතර ගැටුමක් නෑ. එක දෙයක් හැර අනෙක් හැම දෙයක් ම දියුණුයි. අද අපට නැත්තේ දියුණු නාට්‍ය පිටපත් විතරයි. හොඳ පිටපත් ඉතා අඩුයි. ඒ අතින් අපි ඉතා ම දුප්පත්. ඉතා හොඳ පර්යේෂණාත්මක කෙටි නාට්‍ය රැසක් අපට අද දවසේ දැක ගන්න පුළුවන්. නොව පැරැණිය වන රමණිය විටින් විට වගේ වේදිකාව අලුත් වුණාට පිටපත් නෑ. පෙළ තමයි නාට්‍ය වෙන්නේ. පෙළ හොඳ නැත්නම් කොහොමද හොඳ නාට්‍යයක් නිර්මාණය වෙන්නේ? මේ නිසා තමයි පැරණි නාට්‍ය නැවත නැවත නිෂ්පාදනය වෙන්නේ. අපි අදටත් මනමේ සිංහබාහු බලන්නේ ඇයි? ඒ වගේ පිටපත් අද නැති නිසා. මේක තමා ගැටලුව.
අද දවසේ කෙතරම් හොඳ නිර්මාණ බිහිවුණත්, සරච්චන්ද්‍රලා, ගලප්පත්තිලා, ගුණසිංහලා, සමරකෝන්ලා, හෙන්රි ජයසේනලා, ධර්මසිරි බණ්ඩාරනායකලා වැනි චරිත බිහි නොවෙන්නේ ඇයි?
ඕකට උත්තරේ දෙනවා ඵවෙනුවට මටත් අහන්න වෙන්නේ ප්‍රශ්නයක් ම තමා. අද දවසේ වික්‍රමසිංහලා, සරච්චන්ද්‍රලා, ජයතිලකලා, අමරසේකරලා බිහි නොවෙන්නේ ඇයි කියන්න පුළුවන් ද? විශ්ව සාහිත්‍ය පරිශීලනය කරන, ද්වීභාෂා දැනුමෙන් සන්නද්ධ ප්‍රතිභාපූර්ණ උගතුන්ගේ අඩුව තමා හේතුව. අද පවතින අධ්‍යාපනයත් මේකට වගකියන්න ඕනෑ. අද විශ්වවි්‍යාලවල කෙරෙන්නේ මොනවද? ශිෂ්‍යයන් විෂයමාලාවට හිරකරලා බැඳලා තියාගෙන ඉන්නවා. විෂය මූලික අධ්‍යාපනය හැර කිසිම බාහිර ක්‍රියාකාරකමකට ඉඩක් නෑ. ඒ අතරතුර කැලණිය විශ්වවිද්‍යාලය ගැන කතා කරන්න ම ඕනෑ. ඔවුන් මෙහිදී ඉතා හොඳ තැනක ඉන්නවා. ඒක සතුටට කාරණයක්. එදා පැවතුණු විශ්වවිද්‍යාල පරිසරය යලි නිර්මාණය කරමින් යන එකම තැන බවට අද දවසේ පත්ව සිටින්නේ ඔවුන් පමණයි. එතනින් අලුත් පරපුරක් නිර්මාණය වෙමින් පවතිනවා. අලුත් අලුත් නිර්මාණ බිහි වෙමින් යනවා. මේක විශාල ආශීර්වාදයක්. හොඳ පූර්වාදර්ශයක්.   
සටහන - මධුරංග සී. නුවන්ප්‍රිය


0 comments:

Post a Comment