----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ලොජ්වී නාට්‍ය කිරීමේ ප්‍රවණතාවය

Wednesday, October 10, 2012



ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි ලොජ් නොවුණොත් නාට්‍යයත් නෑ

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත්
මායා දේවි, නාග ගුරුළා, දෝන කතරිනා, දෙවෙනි මහින්ද , වාසුදේව, යසෝදරා, ජගන්මා ආදි රාජ්‍ය සම්මාන දිනූ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය කළ කේ. බී. හේරත්ගේ් නවතම රංග නිර්මාණය “ කළු කුමාරී” ගැන ඔහු හා කළ කතාබහකි.
මේ මොහොතේ නිෂ්පාදනය වන සෑම නාට්‍යයක්ම පරිවර්තන පිටපත් ආශ්‍රයෙන් නිෂ්පාදනය වන නාට්‍ය බවට පත්ව ඇත. ස්වතන්ත්‍ර නාට්‍ය රචනයේ නියඟයට එරෙහිව සාරවත් නාට්‍ය බිහි වන්නේ කලාතුරකිනි. කේ. බී. හේරත් එවැනි නාට්‍ය රැසක් සිංහල වේදිකාවට දායාද කළ නාට්‍යකරුවෙකි.
කේ. බී. ඓතිහාසික මුලාශ්‍ර සිය නිර්මාණ සඳහා යොදා ගැනීමට බෙහෙවින් අභිරුචියක් දක්වයි. දෝන කතරිනා, දෙවෙනි මහින්ද, යසෝදරා, එවැනි ඓතිහාසික පුරාවෘත්ත ආශ්‍රය කරගෙන ඔහු නිර්මාණය කළ නාට්‍ය කිහිපයකි. ඉතා පරිස්සමින් ප්‍රවේශවිය යුතු අඩවියක් වන ඉතිහාස කතා පාදක කරගෙන නිර්මණකරණයේ නිරතවීමට කේ. බී. සමතෙකි.
මෑත කාලීනව සිංහල සිනමාවේද ඓතිහාසික කතා තේමා කරගෙන නිර්මාණ බිහි වෙතත් ඔහුගේ හා මෙම සිනමාකරුවන්ගේ් ප්‍රවේශය අහසට පොළොව තරම් දුරස්ථය.
කේ. බී. ඔහුගේ නවතම නිර්මාණය සඳහා වස්තු විෂය සපයා ගන්නේ ජනශ්‍රැතියෙන් ගත් විත්ති කතාවක් ඇසුරෙනි. ඒ “ කළු කුමාරි” සංකල්පයයි.
බොහෝවිට අපට ජනසම්මතයේදි හමුවන්නේ “ කළු කුමාරියක්” නොව “ කළු කුමාරයෙකි”. කේ. බී. ජනශ්‍රැතියට සීමා නොවන්නෙක් නිසා සිය නිර්මාණ අවශ්‍යතාව අනුව පැරණි සංකල්පය ගලපා ගත්තේ ද යන කුකුසක් මට ඇති විය. එම කුහුල පැනයක් බවට පත් කොට මම පෙරළා ඔහුට ඉදිරිපත් කරමින් සංවාදය ඇරඹුවෙමි. එයට ඔහුගේ පිළිතුර මෙසේ ය.
“ කළු කුමාරි “ යන්නත් අපේ ජනශ්‍රැතියේ එන භාවිතාවක්. තොවිල් සම්ප්‍රදාය ආශ්‍රිතව කවි හැටියට එන විත්ති කතා රැසක් අපේ ජනශ්‍රැතියේ තිබෙනවා. මේ නාට්‍ය සකස්ව ඇත්තේ එලෙස එන ‘ කළු කුමාරි’ යන සංකල්පය යොදා ගෙනයි. නමුත් නාට්‍ය ගොඩනැඟීමේදී මම කළුකුමාරි අදහස මට කියන්න අවශ්‍ය දෙය ගොඩනඟන්නට භාවිතා කළා.”
කේ. බී. හේරත්ගේ නාට්‍යයක් නැරඹීම කතන්දරයක් ශ්‍රවණය කිරීමේ රුචිය ඉක්මවා යන නාට්‍යමය අත්දැකීමක් නිසා විත්ති කතා වෙතින් ඉවත්ව ඔහුගේ ප්‍රවේශය ගැන විමසිය යුතුය.
“ මේ නාට්‍යයෙන් මට අප ඉදිරියේ තිබෙන ඉතාම වැදගත් දේශපාලන ප්‍රශ්නයක් ගැන නරඹන්නන් සමඟ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මේ වන විට අපේ සමාජය ඒකාකාරීත්වයකට හා පීඩනයකට ලක්ව ගිලන්ව ඇති සෙයක් පෙනෙනවා. මේ අනතුර ලංකාව ඇතුළු තුන්වෙනි ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙනවා. යම් යම් අන්තර්ජාතික බලවේග ඔවුන්ගේ ආර්ථික සැලසුම් මඟින් හා මාධ්‍ය භාවිතයෙන් තුන්වැනි ලෝකයේ රටවල් නිද්‍රාශීලීත්වයට පත් කර තිබෙනවා.”
වේදිකාවේදී ඝට්ටනය අවශ්‍යමය. ඉදින් ගැටුමකින් තොරව නාට්‍යයට ඉදිරියට ගලා යාමක් නැත. ශූර රචකයෙක් චරිත හා සිදුවීම් ගැටෙන්නට සලස්වන්නාක් මෙන් කේ. බී. ප්‍රේක්‍ෂක අප වෙත ඉදිරිපත් කරන අදහස්ද විවාදාත්මකය.
“ කළු කුමාරි” නාට්‍ය එක්තරා ආකාරයකින් බැලුවිට ඔහුගේ අනෙකුත් නාට්‍ය ගමන් කළ ධාරාවේම ගමන්කරන තවත් නාට්‍යයකි. එසේම තවත් ආකාරයකින් බැලුවිට ඔහුගේ අනිකුත් සියලුම නාට්‍යයන්ට පමණක් නොව වර්තමාන සිංහල වේදිකාවේ නිෂ්පාදිත නාට­්‍යයන්ට වෙනස් මානයක්ද “ කළු කුමාරි” නාට්‍යයේ ඇත.
සාම්‍ය ඇත්තේ පැරණි මිථ්‍යාමතික කතාවක් මෙම නාට්‍යයටද පාදක වීමෙන්ය. වෙනස් වන්නේ අර්ධ ශෛලිගත ස්වභාවයෙන් බැහැරව වෙනත් ආකෘතියකට ගමන් කිරීම කේ. බී. දරා ඇති උත්සාහයේය.
“පශ්චාත් නව්‍යවාදී අදහස් අපේ සාහිත්‍යයට කලකට පෙර එක්ව තිබුණත් නාට්‍යයට අපි මේ දක්වා යොදාගෙන තිබුණේ් නැහැ. එයට හේතුව රංග කලාව සඳහා පශ්චාත් නව්‍යවාදී අදහස් පසුකාලීනව එකතු වීම බලපාන්න ඇති. මේ නාට්‍යයේ නිශ්චිත ස්ථානයක් හෝ කාලයක් නැහැ. වෙනකක් තබා නිශ්චිතව නම් කළ හැකි චරිත “ කළු කුමාරි” නාට්‍යයේ නැහැ. චරිත යෙදෙන්නේ සංකේත හැටියටයි. ජනශ්‍රැතිය මට වැදගත් වුණේ් මෙහිදියි.”
ඔහුගේ මුල් කාලීන නාට්‍ය ජනතාවාදී එළඹුමක් දැකගත හැකි වූවත් පසු කාලීන නිර්මාණ ඊට වඩා පුළුල් ප්‍රවේශයක් දක්වනවා. කේ. බී. වැනි වියපත් පරිණත නාට්‍යකරුවකු ගෙන් වර්තමානයේ පශ්චාත් නූතනවාදී අදහස් සමඟ ගනුදෙනුවක් බලාපොරොත්තු විය නොහැකියි. ඔහු අප තුළ බලාපොරොත්තු දල්වන නාට්‍යකරුවකු වන්නේද මෙලෙස ප්‍රේක්‍ෂකයන් ඉල්ලා සිටින දෙයට වඩා යමක් ප්‍රදානය කරන නාට්‍යකරුවෙක් නිසායි.
ඔහුගේ නාට්‍ය එකමිටකට ඒකරාශී කර මෙසේයැයි දක්වනවාට කේ. බී. තුළ එතරම් කැමැත්තක් නැහැ. ඔහු ඒ ගැන කියන්නේ වර්තමාන නාට්‍ය කලාව විවිධ රංග ශෛලීන්ගේ එකතුවක් නිසා කිසියම් නාට්‍යකරුවකු අසවල් ආකාරයේ නාට්‍යකරුවෙක් යැයි නම් කළ නොහැකි බවයි. ඊට තවත් ඌන පූර්ණයක් ඉදිරිපත් කරමින් ඔහු තවදුරටත් පවසන්නේ මෙම නාට්‍යයේ මෙන්ම ඔහුගේ අනෙකුත් නාට්‍යයන්හිද රංග ශෛලිය කිහිපයක ලකුණු දක්නට ලැබෙන බවයි. තමන් නාට්‍ය ආකෘතීන් අනුව රංග විලාසිතා ගොඩනඟන්නේ නැති බවත් නාට්‍යට අනුව රංග විලාසයන් යොදා ගන්නා බවත් පවසනවා.
ඔහු සමඟ කතා බහ කිරීම රංගනය හා වේදිකාව ගැන විශාල හැදැරීමකට යොමු කරවන්නක්. විශ්වවිද්‍යාල කිහිපයක හා ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ දීර්ඝ කාලයක් ආචාර්යවරයෙක් හැටියට සේවය කිරීමෙන් ලබා ගත් හුරුව එයට හේතුවන්නට ඇත.
මෙයට දශක කිහිපයකට පෙර නාට්‍යයක් නිෂ්පාදනය කිරීම නාට්‍යකරුවන්ගේ මිත්‍ර සමාගම රැස්වන තැනකි. වර්තමාන කාර්ය බහුල වටා පිටාව තුළ එවැනි නාට්‍ය බිහිවීමට අවකාශයක් නැත. කේ. බී. ගේ අලුත් නාට්‍ය නිෂ්පාදනය වන්නේ ද එම ප්‍රවණතාවයට යටත්වය. නළු නිළියන් ඒකරාශි කරගෙන දින කිහිපයක් ඇතුළත ලොජ්වී නාට්‍ය කිරීමේ ප්‍රවණතාවය ගැන ඔහු මෙසේ කියයි.
වේදිකා නාට්‍යවල රඟපෑමෙන් නළු නිළියන්ට යැපෙන්න ක්‍රමයක් නැහැ. ඔවුන් ආර්ථික පැවැත්ම හදාගන්නේ ටෙලි නාට්‍යවල රඟපාලා. ඒකට අපිට විරුද්ධ වෙන්න බැහැ. මම ලොජ්වල නාට්‍ය හදන්න යොමු වුණේ ඒ නිසයි. මම නාට්‍ය පිටපතක් ලියන්න වසරක් පමණ ගන්නවා. පුහුණුවකට යන්නේ පිටපතේ සියලු වැඩ අවසන්වීමෙන් පසුවයි. ලොජ්වල නාට්‍ය පුහුණු වීම් කළේ මූලික පුහුණුවකට පසුවයි. ඒ නිසා ප්‍රේක්‍ෂකයන්ට අසාධාරණයක් වන්නේ නැහැ. “ කලාකරුවා ආර්ථික බලවේග සමඟ කරන නිරන්තර අරගලය “ කළු කුමාරි එහි කරන සඳහන නැවත සිහියට නංවමින් කේ. බී. සංවාදයට විරාමයක් දුන්නේය.

0 comments:

Post a Comment