----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැ

Sunday, October 14, 2012


මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැ

මාලක දේවපි‍්‍රය
‘නිහොන් සැප ලැබේවා’ නව පරපුරේ තරුණ සිනමාකරුවකු වන මාලක දේවපි‍්‍රයගේ දෙවැනි ගුවන්විදුලි නාට්‍ය එකතුවයි. ඔහු මීට ඉහත ‘ඌගෙ හිස ඉවරයි’ යන නමින් තම ප්‍රථම ගුවන්විදුලි නාට්‍ය එකතුව එළිදක්වා තිබිණි. ඔබ මේ නිර්මාණ හඳුන්වන්නේ ‘රේඩියෝ කතා’ යනුවෙන්. ඔව්. මම ගුවන්විදුලි නාට්‍ය හඳුන්වන්නේ ඒ නමින්.
මේ නාට්‍ය පිටපත් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙලා තිබෙනව ද?
නැහැ. මට ඒකට තවම උත්සාහයක් ගෙන නැහැ.
ප්‍රචාරය නොවු පිටපත් කොහොමද ගුවන්විදුලි නාට්‍ය වෙන්නේ? එසේ නම් ඒවා අර්ධ කලා කෘති? හරියට නොගැයුණු ගී පදමාලා, නිෂ්පාදනය නොවුණු චිත්‍රපට තිරනාටක අත්පිටපත් වගේ.
එහෙම ප්‍රචාරය නොවුණා කියලා එහි පරිකල්පන අවකාශය විඳගන්න කාටවත් බැරිකමක් නැහැ. මොකද, නාට්‍ය පිටපතකට වෙනම ස්වීය සාහිත්‍යයක් ලෙස පවතින්න පුළුවන්. නාට්‍ය නිෂ්පාදනයක් අහලා රස විඳීමයි නාට්‍ය පෙළක් කියවා රස විඳීමයි අතර තියෙන්නේ ද්විත්ව රසයක්.
පිටපතකින් පමණක් ගුවන්විදුලි නාට්‍ය රස විඳිය නොහැකි බව ප්‍රවීණතම ගුවන්විදුලි නාට්‍යකරුවකු වූ සුගතපාල ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා?
ඒ අදහසට මම එකඟ නැහැ. මොකද මට එහෙම එකඟ නොවි ඉන්න පුළුවන්නේ. සුගතපාලගේ ‘හඬ නළුව‘ පොත ප්‍රාථමික මූලාශ්‍රයක් විදියට මා අගය කරනවා. නමුත් අද වෙනකොට රේඩියෝ නාට්‍ය කලාව හුඟක් දියුණු වෙලා තියෙනවා.
ගුවන්විදුලි නාට්‍යයකට නළු නිළියන්ගෙන් කොච්චර දේවල් එකතු වෙනව ද? උදාහරණ වශයෙන් කරුණාරත්න අමරසිංහ, බණ්ඩාර කේ. විජේතුංග වැනි හඬ නළුවන් ඒ නාට්‍යවලට මොනතරම් අර්ථ එකතු කරනව ද? ඒ විතරක් නෙමෙයි ශබ්ද, සංගීතය මේවාත් නාට්‍යයේ අරුත් කුළුගන්වනවා?
ඒක මම පිළිගන්නවා. පිටපතක් නිෂ්පාදනය වුණාට පස්සේ ඒක ගුවන්විදුලි නිෂ්පාදනයක් බවට පත්වෙනවා. නමුත් පිටපත අහෝසි වෙන්නේ නැහැ. එයින් ලැබිය හැක්කේ වෙනම රසයක්.
ඔබේ නාට්‍යවල සමස්ත අන්තර්ගතය මොකද්ද?
මේක තනිකරම සමකාලීන සමාජය පිළිබඳ ප්‍රකාශනයක්. මෙහි විවිධ තේමා, විවිධ ආකෘති අඩංගුයි. කිසියම් පර්යේෂණාත්මක මට්ටමකුත් එහි තිබෙනවා. ‘නිහොන් සැප ලැබේවා’ කියන නාට්‍යය ගත්තොත් ‘නිහොන්’ කියලා කියන්නේ ජපානයට. අද අපේ රටේ මිනිස්සුන්ගේ සිහිනය වෙලා තිබෙන්නේ ‘නිවන්’ සැප ලබා ගැනීමට වඩා ‘නිහොන්’ සැප ලබා ගැනීමයි. ඔවුන්ගේ ජීවිත රැඳිලා තිබෙන්නේ විශාල භෞතික සැප සම්පත් ලබා ගැනීම මත.
ඔබේ නාට්‍ය පිටපත් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒත් ඊට සමගාමීව මහාචාර්ය තිස්ස කාරියවසම්, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි විද්වතුන් ඒ නිර්මාණ ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.
මෙතැනදී මට ප්‍රශ්න කීපයක්ම තිබෙනවා. එකක්, නිර්ණායක පිළිබඳ ගැටලුව. මොකද විනිශ්චය මණ්ඩලය මගේ නාට්‍යය විනිශ්චය කරන්න පාදක කරගත් කාරණා කලාව පිළිබඳ නිර්ණායක නෙමෙයි. ඒවා කලාව පිළිබඳ නිර්ණායක නම් ජාතක කතා පොතේ ඉඳලා හුඟක් පොත් පුළුස්සා දමන්න සිද්ධ වෙනවා.
ඊළඟට මේ විනිශ්චය මණ්ඩලයේ හිටපු අය ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ ප්‍රවීණයෝ නෙමෙයි.
ඇයි විනිශ්චයට සම්බන්ධ වුණ රාජිත දිසානායක එහෙම වෘත්තියෙන්ම ගුවන් විදුලි ශිල්පියෙක් නේ?
මස්කඩකාරයෙක් මස් කැපුවා කියලා ඔහු සත්ත්ව විද්‍යාව ගැන දන්න කෙනෙක් වෙන්නේ නැහැනේ. සුගතපාල ද සිල්වාට වරක් සමස්ත ලංකා මැජික් සංගමය කතා කරනවා, මැජික් තරගයක් විනිශ්චය කරන්න. ඔහු කියනවා තමා මැජික් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. එතකොට මැජික් සංගමය කියනවා, අපි සොයන්නෙත් මැජික් ගැන මුකුත්ම නොදන්න කෙනෙක් කියලා. මොකද, මැජික් දන්න අයට මැජික් එක අහු වෙනවා. ඒ නොදැනුම තමයි මෙතැනදි තිබෙන එකම සුදුසුකම. එහෙත් කලාවේ එහෙම බැහැ. ඒකට සුදුසුකම් තියෙන්න ඕනැ. කලාව නොදැන කලාව විනිශ්චය කරන්න බැහැ. තමන්ට අභියෝගයක් වන කලා කෘති දැක්කම හුඟක් අය කුහකයන් වෙනවා. ඒ වගෙ කුහකයන්ට විනිශ්චයන් භාර දෙන්න නරකයි.
පොදුවේ ගත්තම අපේ රටේ ගුවන්විදුලි නාට්‍ය සම්ප්‍රදාය ගැන මොනවද ඔබට කියන්න පුළුවන්.
හොඳ ගුවන්විදුලි නාට්‍ය නොතිබුණා නෙමෙයි. හැත්තෑව දශකයේදී සුගතපාල ද සිල්වා ගුවන්විදුලි නාට්‍යයේ විශාල වෙනසක් කළා. ධර්මසේන පතිරාජ, කපිල කුමාර කාලිංග වගෙ අය හොඳ පිටපත් ලිව්වා. එහෙත් ඒ සම්ප්‍රදාය අඛණ්ඩව වර්ධනය වුණේ නැහැ. අද සයිබර් අවකාශයක් තුළ ලෝක ගුවන්විදුලි නාට්‍ය හුඟක් දියුණු වෙලා තියෙනවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. ඒකට හේතුව නව තේමා, නව රචනා විධි ක්‍රම, නව ආඛ්‍යාන ගැන පර්යේෂණ සිදු නොවීම.

Silumina

0 comments:

Post a Comment