----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

“කළු කුමාරි” අපට කියන්නේ වත්මන් සමාජ ඛේදවාචකයයි

Wednesday, October 10, 2012


කේ. බී. හේරත්
සුදු කරල්, මායාදේවී, නාග ගුරුළා, දෝන කතරිනා, දෙවෙනි මහින්ද, වාසුදේව, යශෝධරා, ජගන්මා ඇතුළු නාට්‍ය ගණනාවක් රචනා කොට නිර්මාණය කළ කේ.බී. හේරත් ප්‍රවීණ නාට්‍යවේදියෙකි, සම්මානනීය රචකයෙකි. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (B.A) උපාධිය ලැබූ ඔහු මෙරට විශ්වවිද්‍යාල රැසක නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්යවරයෙකි. ඉතිහාසය හා ජනශ්‍රැතිය ඔහුගේ බහුතර වේදිකා නාට්‍ය නිර්මාණවලට මතු නොව ටෙලි නළු තිරරචනා සඳහා ද පාදක විය. පාරමී දම්, ඉසිවර අසපුව, ඉඳුරු දොර, ඉන්ගම්මාරුව, ඉසිවර රණ කෙළි, ගජමන් නෝනා ඇතුළු හරවත් ටෙලි නළු විශාල සංඛ්‍යාවක තිර රචනා කළ කේ.බී. ස්වකීය අභිනව නාට්‍ය නිර්මාණය වූ “කළු කුමාරි”  ඔක්තෝම්බර් 24 හවස 6.30 ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී  වේදිකා ගත කිරීමට සූදානම් වේ.
මගේ නවතම නාට්‍යය කළු කුමාරි. මෙය ජනශ්‍රැතියෙහි කළු කුමාර සංකල්පය සමඟ බැඳී තිබෙන්නක්. ස්ත්‍රීන් ගැබ් ගැනීමට සම්බන්ධ මෙහි කතා පුවත් අඩංගුයි. කළු කුමාර බණ්ඩාර විත්තිය නමින් පැරණි ලියකියවිලි තිබෙනවා. ඒ ජනශ්‍රැතිය ආශ්‍රයෙන් වර්තමාන අපේ වටපිටාව ගැන විග්‍රහ කරන්නයි “කළු කුමාරි” නාට්‍යයෙන් මා උත්සාහ කරන්නේ. පැරණි ජනශ්‍රැතිය මීට පාදක වූවත් නූතන නාට්‍යමය ආකෘතියකින් තමයි මා මේ නාට්‍යය නිර්මාණය කළේ.
නලින් ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්ත, ෆර්නි රෝෂණී, බන්දුල විතානගේ, සුමිත් රත්නායක, දුලාංජලී විජේසේන, නිශාන් දේවපි‍්‍රය, පින්සර සමරසේකර, උදිත සමීර, කැලුම් ගම්ලත් ආදීන් මෙහි චරිත නිරූපණයෙන් දායක වෙනවා. “සෙරනිටි” වෙනුවෙන් මේ නාට්‍යයට අර්ථ පතීත්වය දැරුවේ බණ්ඩාර ඇහැළියගොඩ, එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු ආදී මහත්වරුන්. දැනට අපට අත්දකින්නට ලැබෙන සමාජ, දේශපාලන, ආර්ථික තත්ත්වයන් මෙමඟින් විග්‍රහයට ලක්වෙනවා.”
ශෛලිගත (poetic theatre) හා තාත්වික (Theatre of Illusion) යනුවෙන් නාට්‍ය කලාවෙහි පවත්නා බෙදිල්ල වෙනුවට මේ සම්ප්‍රදායන් ද්වයෙහි මුසුවක් අද ඇතැම් නාට්‍යවල දක්නට ලැබෙනවා.
”ඔව්. එවැනි තාත්වික හෝ ශෛලිගත ලෙස නාට්‍ය කලාවේ පවත්නා බෙදීම් මෑත කාලයේ ගිලිහී ගොස් තිබෙනවා. ශෛලීන් බොහොමයක මිශ්‍රණයක් තමයි අද දක්නට ලැබෙන්නේ. මගේ “කළු කුමාරි” නාට්‍යය ”Theatrical” එනම් රංග පරම බවට බටහිර හොයා ගත් යම් යම් උපක්‍රම භාවිතයෙන් නව අත්හදා බැලීමක් ලෙසයි නිර්මාණය වුණේ. මෙහි ගීත සමඟ භාවිත වන රංග වින්‍යාසයන් දක්නට ලැබෙනවා.”
ඔබ මෙතෙක් “සුදු කරල්” සිට ‘කළු කුමාරි” දක්වා නිර්මාණය කළ නාට්‍ය සියල්ලම ස්වතන්ත්‍රයි. පරිවර්තන හෝ අනුවර්තන මඟින් අවශේෂ පෙර අපර දෙදිග නිර්මාණ ඉවහල් කොට නොගෙන ඍජුවම අපේ සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය එමඟින් කුළුගැන්වීමට ඔබට හැකි වුණා.
”මං නාට්‍ය දහයක් නිර්මාණය කොට තිබෙනවා. සුදු කරල් නාට්‍යයෙන් ආරම්භ කළේ. මේ සියලු නාට්‍ය ස්වතන්ත්‍රයි. “සුදු කරල්” නාට්‍යයත් ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වුණා. මා නිර්මාණය කළ නාට්‍ය දහයෙන් නවයක්ම රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර පිටපතට හිමි සම්මානය ලබා ගත්තා. මං හිතන්නේ කවුරුවත් ඒ ආකාරයට සම්මාන ලබා ගෙන නැහැ.
මුල් අවධියේ මා අධ්‍යාපනය ලැබුවේ ඉංගිරිසි මාධ්‍යයෙන්. පරිවර්තන නාට්‍ය ඕනෑ හැටියේ රචනා කරන්න පුළුවන්. 1962 මං පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් “සිංහබාහු” නාට්‍යය ආරම්භ කළ කාල වකවානුවේ. නාට්‍ය කලාවට යොමු වීමට මා පෙලඹවූයේත් ඒ පසුබිම තමයි. පරිවර්තන නොකරන්නේ පරිවර්තන නාට්‍ය හොඳ නැති නිසා නොවෙයි. නමුත් මට දැනෙන දේ වඩාත් හොඳින් මගේ ස්වතන්ත්‍ර නිර්මාණයකින් කුළුගැන්වීමට පුළුවන්.”
නාට්‍යයකට සුදුසු හොඳ පිටපත් නොමැති නිසා පරිවර්තනයට වඩා පෙලඹෙන බව ඇතැම් නාට්‍යවේදීන් පවසනවා. ප්‍රතිභාපූර්ණ පිටපත් රචකයන්ගේ රික්තය වේදිකාවට පමණක් නොව චිත්‍රපටයට හා ටෙලි නළුවටත් අද බලපා තිබෙනවා.
”ඔව්. ලංකාවේ මෙය අතිවිශාල ගැටලුවක්. අපේ පරිණත නාට්‍යවේදීන්ට පවා පිටපත් රචනා කරගැනීමේ දුෂ්කරතා තිබෙනවා. හොඳ අධ්‍යක්ෂවරයකුට තිර පිටපතක් රචනා කරගැනීමට දුෂ්කර වීම පුදුමයක් නොවෙයි. ලංකාවේ නාට්‍ය රචකයන් අඩුයි. වෙනත් බොහෝ රටවල නිෂ්පාදකයන් සඳහා නාට්‍ය ලියන රචකයන් සිටිනවා. ඔවුන් නිෂ්පාදකයන් නොවෙයි. තරුණ සේවා සභාව සහ යොවුන් නාට්‍යකරුවන් ගැන බැලුවහොත් ඒ අතර අත්හදාබැලීම් කරන පිරිස් බොහොමයක් සිටිනවා. නමුත් ඒ කෙටි නාට්‍ය සඳහා පමණයි. නමුත් දීර්ඝ නාට්‍ය සඳහා රචකයන් නොමැති තරම්. එය ගැටලුවක්.
මේ බොහෝ කෙටි නාට්‍ය ආකෘතිකමය වශයෙන් ඉදිරි පියවරක් තබා ඇතත් අන්තර්ගතය අතින් පවතින දුබලතාව කැපී පෙනෙනවා නේද?
”එය සත්‍යයක්. මේ තරුණයන් රැඩිකල් වීමට උත්සාහ කරනවා. බටහිරෙන් උරා ගන්නා ශෛලියක් මතයි ඔවුන් බොහෝවිට රැඳී සිටින්නේ. හැබැයි මේ අතර ඉතා හොඳ අත්හදාබැලීම් සිදු කරන තරුණයන් සිටිනවා. වසර 12 ක් මා යෞවන සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ නාට්‍ය පිටපත් බලනවා. රාජ්‍ය නාට්‍ය උලෙළෙත් මං වැඩ කරලා තියෙනවා. තරුණයන් ප්‍රවීණයන්ටත් වඩා එහා ගිහින් කෙටි නාට්‍ය කලාවේ ප්‍රවණතා ඇති කරලා තිබෙනවා. ඔවුන් ඉහළ ගණයේ කෙටි නාට්‍ය රචනා කරලා නිෂ්පාදනය කරනවා. නමුත් දීර්ඝ නාට්‍යවලදී මේ රචනා කෞශල්‍යය දකින්න ලැබෙන්නේ නැහැ. අනෙක උවමනාවට වඩා ආකෘතියට නතු වීමේ දෝෂය ඇතැම් කෙටි නාට්‍යවල දක්නට ලැබෙනවා.”
නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාලයීය මට්ටමේ පාඨමාලා හා නාට්‍ය පාසල් හරහා පවතින ශාස්ත්‍රීය ආලෝලනය ගැන ඒ පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ඔබගේ ආකල්පය කෙබඳුද?
”දැනට වසර 6 ක පමණ කාලයක සිට කැලණිය, සෞන්දර්ය, ශ්‍රීපාලි වැනි විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව පිළිබඳ වසර 4 ක ගෞරව උපාධි පාඨමාලා දක්නට ලැබෙනවා. මීට අමතරව තරුණ සේවා සභාවේ, ටවර් හෝල් පදනමේ නාට්‍ය පාසල් තිබෙනවා. මේවා ඔස්සේ කිසියම් ආකාරයෙන් ශාස්ත්‍රය දන්නා පිරිසක් බිහිවී සිටිනවා. ප්‍රාදේශීය නාට්‍ය නරඹද්දීත් මෙය පැහැදිලියි. මේ ශාස්ත්‍රීය අධ්‍යයනය තමයි නාට්‍ය කලාවේ දියුණුවට බලපාන්නේ.”
ඔබ බොහෝ නාට්‍ය සඳහා ඉතිහාසයෙන් සුපෝෂණය ලැබූ බව පැහැදිලියි.
”මායාදේවි නාට්‍යය නිර්මාණය කළාට පසුව “දෙවැනි මහින්ද”, “දෝන කතරිනා”, “වාසුදේව“, “යශෝධරා” වැනි නාට්‍ය ඓතිහාසික කතා පුවත් ඇසුරෙන් මා නිර්මාණය කළා. අපට ලැබෙන අත්දැකීමක් විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙලා එහි යථා තත්ත්වය සොයා ගන්න සෑහෙන කාලයක් ගතවෙනවා. ඉතිහාසයේ එවැනි තැන් අපට විමර්ශනය කොට සොයා ගත හැකියි. ෂේක්ස්පියර් වැනි නාට්‍යකරුවකු ගෙන බැලුවොත් ඔහු බොහෝ නාට්‍ය සඳහා පාදක කොට ගත්තේ ඓතිහාසික කතා පුවත්. මේ සඳහා මට බලපෑ පෞද්ගලික හේතුවක් තිබෙනවා. එනම් මා විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධියට හැදෑරුවේ ඉතිහාසයයි. “නාග ගුරුළා”, “කළු කුමාරි” වැනි නාට්‍ය සඳහා ඇසුරු වූයේ ජනශ්‍රැතියයි.
”කළු කුමාරි” නාට්‍යය ඔස්සේ සනිටුහන් වන පශ්චාත් නව්‍යවාදී නැඹුරුව ඔබගේ නාට්‍ය කලා දිවියේ වෙනත් පැතිකඩක් සටහන් කරාවි යැයි මට හිතෙනවා.
ජනශ්‍රැතිය ඉවහල් කොට ගෙන බටහිර පශ්චාත් නව්‍යවාදී ලේඛකයන් තමන්ට දැනෙන යථාර්ථය විග්‍රහ කළා. ලතින් ඇමරිකානු, චෙකොස්ලොවැකියානු, අපි‍්‍රකානු නවකතාකරුවන්, නාට්‍යකරුවන් පශ්චාත් නව්‍යවාදී ව්‍යුහයන් සඳහා ජනශ්‍රැතිය භාවිත කළා. ලංකාවේ සයිමන් නවගත්තේගමත් එහි ඇසුර ලැබුවා. මේ පශ්චාත් නව්‍යවාදී ව්‍යුහාත්මක අර්ථය මා “කළු කුමාරි” සඳහා උපයුක්ත කොට ගත්තා. චරිත පුද්ගලයෙක් නොවී සංකේතයක් වීම, කාලය හා අවකාශය තොර වීම, ශෛලීන් සම්මිශ්‍රණය වීම ආදී පශ්චාත් නව්‍යවාදී ලක්ෂණ මේ නාට්‍යයෙහි දක්නට ලැබෙනවා. පශ්චාත් නව්‍යවාදයේ ආභාසය මුලින්ම මා ලැබූ නාට්‍යය මෙයයි.”
ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස අද්‍යතන ටෙලි නාට්‍ය කලාව මුහුණපා ඇති අර්බුදය ගැන ඔබට බොහෝ දේ කියන්නට ඇති. අද බොහෝ අවර ගණයේ ටෙලි නාට්‍යවලට පිටපතක් ඕනෑ නැහැ. නිළියකට වුණත් කතාව තීරණය කළ හැකියි. උදාහරණයකට සැබෑ ජීවිතයේදී ප්‍රධාන නිළිය ගර්භනී වුවහොත් ටෙලි නාට්‍යයේ ඇගේ චරිතය කාලයකට අතුරුදන් වෙනවා.
”අද ටෙලි නාට්‍ය ලියන බහුතරයක් රචකයන් ලෙස මා පිළිගන්නේ නැහැ. ඉතා බාල වර්ගයේ නවකතා ලියූ උදවිය අද ටෙලි නාට්‍ය කලාවට බැහැලා. සාහිත්‍ය දැනුම පිළිබඳ පරිහානියත් මීට බලපෑවා. ඉතා හොඳ විදග්ධ නවකතා ලියන පිරිසක් අපට සිටිනවා. නමුත් ඔවුන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට දායක නොවීම අභාග්‍යයක්.
ආරම්භයේ සිටම ඉතා හරවත් ටෙලි නාට්‍ය ලියූ, නිර්මාණය කළ පිරිසක් අපට සිටිනවා. ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක තිර රචනා ලියුවේ මමයි. බොළඳ ආදරය පාදක කොට ගෙන හරසුන් ටෙලි නාට්‍ය මා ලියුවේ නැහැ. ඒවා සියල්ල ඉතිහාසය හෝ ජනශ්‍රැතිය පාදක කොට ගත් පර්යේෂණ, අත්හදාබැලීම්. සිනමාවේදී මා සම්බන්ධ වූයේ වසන්ත ඔබේසේකරගේ “දොරකඩ මාරාව“ චිත්‍රපටයේ තිර රචනය සඳහායි. රාජ්‍ය හෝ පෞද්ගලික රූපවාහිනි නාලිකා අද භාර ගන්නේ බොළඳ අවර ගණයේ ටෙලි නාට්‍ය බව පෙනෙනවා. සාහිත්‍ය හැදෑරීමෙන් දුරස්වීම නිසා හොඳ තිර රචකයන් අද හිඟයි. මගේ තිර පිටපතක් මං දෙන්නේ තෝරා ගත් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ට පමණයි.
නැත්නම් තිර පිටපතට හානි සිදුවෙනවා. කියන්නත් ලැජ්ජයි. අද බොහෝ ටෙලි නාට්‍යකරුවෝ දර්ශන තලයට ඇවිත් බලනවා, ඒ අවට කවුද ඉන්නෙ කියලා. ඉන්පසු අහල පහල ඉන්න නළු නිළියන්ට සුදුසු පරිදි කතාව සකස් කරනවා. ඕලාරික චරිත, ඕලාරික සිද්ධි ඇතුළත් කරනවා. මෙගා, රියැලිටි හරහා ධනවාදී ලිබරල් ආධිපත්‍යය අද තරුණ පරපුර ගිලගෙන. අවට සිදුවන විනාශය දැක දැකත් අපේ රටේ ජනතාව ඇහැකන පියාගෙන ඉන්නවා. ඔවුන්ට ගැඹුරු දේශපාලන දැනුමකුත් නැහැ. “කළු කුමාරි” හරහා මං කතා කරන්නේ මේ ඛේදවාචකයයි. මෙය අන්තර්ජාතික සැලසුමක්. රජය මැදිහත්වී මේ තත්ත්වය පාලනය නොකළොත් මුළු රටම විනාශයි.
අනුන්ගේ ගීතයක් ගයලා රු. කෝටියක් උපයන තරුණයෙක් අද ඉන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 30 ක් නාට්‍ය කරලා නාට්‍යයක් කරන්න රු. ලක්ෂ 4 ක් නැති මං වගේ මිනිහෙක් ඉන්න පුළුවන්. නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීම භාරව සිටි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිතිපතා සිටියේ පරාක්‍රම නිරිඇල්ලයි, මමයි. ජෝන් ද සිල්වා රඟහල වැනි රඟහලක් (ප්‍රේක්ෂකයන් 700 – 800 කට නැරඹිය හැකි) අපි එහිදී ඉල්ලා සිටියා. නමුත් අපට එය ලැබුණේ නැහැ. ඒ රඟහල ඉල්ලුවේ නෙළුම් පොකුණට අමතරවයි. නෙළුම් පොකුණ රඟහලේ නාට්‍යයක් වේදිකා ගත කිරීමට මෙරට බහුතරයක් නාට්‍යවේදීන්ට වත්කමක් නැහැ. බස්නාහිර පළාත් සභාව සමඟ එක්වී මීට කලිනුත් අපි ස්ටැන්ලි තිලකරත්න මාවතේ රඟහලක් හැදුවා. මේ රඟහල නාට්‍ය පෙන්වන්න විවෘත කරලා අවසානයේ කිසිම නාට්‍යයක් නොපෙන්වා වගකිව යුත්තන් පෞද්ගලික නාලිකාවකට විකුණා දැමුවා. අද එතැන මෙගා ටෙලි නාට්‍ය තැනෙනවා. ඉතිං මේවා අපි කාට කියන්නද?”

0 comments:

Post a Comment