----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ

Thursday, October 18, 2012


ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ

පොඩි මල්ලියි, චූටි මල්ලියි එක්ක
හිනා යන කතා පෙළක් සුනෙත් චිත්‍රානන්ද ගාමින්ද ප්‍රියවිරාජ් ඔබ මේ නම් දෙක අසා තිබෙනවාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න . . .
වැඩි මතකයක් නැහැ නේද?
එහෙනම් මං මෙහෙම කිව්වොත් . . .
චූටි මල්ලි
පොඩි මල්ලි . . .
ඒ දෙන්නව නම් ඔබ හොඳටම දන්නවා.
සුනෙත්ගෙයි ගාමින්දගෙයි ඇත්ත නම් දැන් නම් හැමෝටම අමතකයි. චූටි මල්ලි, පොඩි මල්ලි කිව්වොත් තමා හැමෝටම මතක. සුනෙත් තමයි චූටි මල්ලි, පොඩි මල්ලි ගාමින්ද. මේ දෙන්නා ඒ නම් දෙක ආරූඪ කර ගනිමින් හාස්‍ය භාවිතයෙන් අපේ මාධ්‍ය තුළ පෙන්නපු හැකියාව අනන්තයි, අප්‍රමාණයි. සතියේ දිනවල සවස 4 – 6 දක්වා දෙරණ ගුවන් විදුලියට සවන් දුන්නොත් චූටි මල්ලිගෙයි, පොඩි මල්ලිගෙයි කතා අහලා හොඳට හිනා වෙන්න පුළුවන්.
චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි අප සරසවියට ගොඩ වෙලා යන්න ආරාධනා කළා. ඒ ඔවුනට සිදු වූ රසවත් අකරතැබ්බයන් කිහිපයක් අසා දැනගන්න. ඒවා කියන්න කලින් ඔවුන් දෙපොළ අප සමඟ මෙන්න මෙහෙම පුංචි සංවාදයක නියැලුණා.
ඔන්න අපි කියපු වෙලාවටම ආවා . . .
ගාමින්ද රැල් බුරුල් ඇරලා කතාව පටන් ගත්තා.
මං මෙතැනින් වාඩි වෙන්නම්.
සුනෙත් අපේ ඡායාරූපාගාරයේ ඇති පුටුවෙහි ඉහල ඇන්දේ ඉඳගත්තා.
මේක හරියට ෆොටෝ ගන්න ස්ටුඩියෝ එකක් වගෙයි නේද?
ගාමින්ද වටපිට බලලා කිව්වා.
මේක තමයි හලෝ සරසවිය පත්තරරේ ස්ටුඩියෝ එක. ඔයා ඒකවත් දන්නේ නෑ.
සුනෙත්, ගාමින්ද කියපු දේට පිළිතුරු බැන්දේ හිනාව මැඬ පවත්වා ගනිමින්.
කොහොමද ඔයාලා හැමදාම වැඩසටහන් කරන්න විහිළු හොයා ගන්නේ? හැමදාමත් එකම විහිළුව කරන්නත් බැහැනේ?
දෙන්නා තවත් දේවල් කියන්න කලින් මං ගාමින්ද දෙස බලා පැනයක් යොමු කළා.
අපි තැනකට ගියාම එතැන වෙන දේවල් බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා. පාරට බැස්සත් එහෙමයි. එම අවස්ථාවන්වලදී ඕනෑ තරම් හාස්‍යෝත්පාදක දේවල් වෙන්න, දකින්න පුළුවන්.
ඒවා තමයි වැඩ සටහන් හරහා අපි ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව කවදාවත් අපි පැය ගණන් කල්පනා කරකර පිටපත් ලියලා වැඩ සටහන් කරලා නැහැ. අපේ ක්‍රමය දිනපතා අලුත් වෙන එකක්. ඒක නිසා හැමදාම අපිට අලුත් විහිළු තියනවා.
විහිළු කරන අතරතුරදී දෙන්නට කවදාවත් වැඩ සටහන අතරතුරදී හිනා ගිහිල්ලා නැද්ද?
ඒ ප්‍රශ්නය සුනෙත්ට.
කවදාවත් හිනා ගිහිල්ලා නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. අනික ගාමින්දගේ පොලොස් මූණ දකින කොට මට නම් කොහෙත්ම හිනා යන්නෙ නැහැ අනේ.
මේ මේ මේ . . . ඔහේටත් තියෙන්නේ පොලොස් මූණක් තමයි. ඒක නිසා මටත් හිනා යන්නේ නෑ.
සුනෙත්ගේ කතාවට ගාමින්දට එහෙම කියවුණේ ඉබේමයි.
ඔය දෙන්නා සෑහෙන්න කාලයක ඉඳලා එකට වැඩ කරනවා. නොහොඳ නෝක්කාඩු සිත් අමනාපකම් ඇතිවෙලා නැතිද?
අපි දෙන්නා මොකට තරහා වෙනවද? අනික අපිට ඕනෑම වැඩ සටහනකට ආරාධනා කරන්නේ එකට. චූටි මල්ලි ඉන්න තැන පොඩි මල්ලි ඉන්නවා.
පොඩි මල්ලි ඉන්න තැන චුටි මල්ලි ඉන්නවා. දෙන්නා තරහ වුණොත් දෙන්නටම පැවැත්මක් නැහැ කියලා අපිි දන්නවා. ඒක නිසා ප්‍රායෝගිකව ඒ ගැන හිතලා තර්කයක් ආවත් බුද්ධිමත්ව විසඳ ගන්නවා.
ගාමින්ද එහෙම කිව්වේ සුනෙත්ගේ කරට අතක් දා ගන්න ගමං.
ඒ වුණාට සුනෙත් විතරක් තනිවම සුපර් සික්ස් ෆිල්ම් එකේ රඟපෑවනේ?
ඒකටත් අපි දෙන්නටමයි ආරාධනා කළේ.
මට විතරයි යන්න හම්බ වුණේ. ගාමින්දට වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා.
බුදු අම්මෝ ආයෙ නම් තනියම රඟපාන්නේ නැහැ නෑමයි. සුපර් සික්ස් තමයි එහෙම මං විතරක් තනියම රඟපාපු පළමු සහ අන්තිම ෆිල්ම් එක.
ඇත්තටම ඔය දෙන්නා මිනිස්සුන්ව හිනස්ස හිනස්ස ඉන්නවා. රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැති හැඩයි?
ඉතිං මේක තමයි අපේ රස්සාව. ආයතනවලට කොටු වෙලා මක් කරන්නද? එහෙම අපිට ආස නැහැ. මේ විදිහට ජනතාවගේ මනස සැහැල්ලු කරමින් ජීවිතේ ගෙවනවා. අපි තමයි කට හඬවල් වෙනස් කරලා ගුවන් විදුලි වැඩසටහන් කරන එක දෙවැනි පරම්පරාව ඇතුළේ පටන් ගත්තේ. ඒක ගැන සතුටුයි.
ඒ ගාමින්දගේ වදන්.
දැන් තමයි අපේ කතාබහේ රසවත්ම කොටස. චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි වුණු අපූරු අත්දැකීම් ගැන කියන්නට වෙලාව?
ඔයාට අර මරදානෙදි වෙච්ච සීන් එක කියන්නකෝ මුලින්ම.
සුනෙත්ගෙන් ගාමින්දට ඇරැයුමක්.
අහන්නකෝ වැඩේ. අපි අතරේ ඉන්නවා කතාබහ කරද්දී ඇඟිල්ලෙන් ඇන ඇන කතා කරන මිනිස්සු. මටත් එහෙම කෙනෙක් හම්බ වුණා මරදානෙදි.
ආ මේ අපේ පොඩි මල්ලිනේ . . .
එයා මාව අඳුන ගත්තා.
මේ ඔයාලා කරන විහිළුවල යටි අර්ථයක් තියනවා නේද?
ඇඟිල්ලෙන් මගේ බඩට හයියෙන් අනින ගමන් ඒ මනුස්සයා එහෙම ඇහැව්වේ.
මං නැහැ කිව්වා.
නැහැ කොහෙද? ඔයාලගෙ විහිළුවල යටි අර්ථයක් තියනවා.
ආයෙත් මට ඇඟිල්ලෙන් ඇන්නා.
ඒක නම් මට හොඳටම රිදුනා.
අනේ නැහැ එහෙම යටි අර්ථ මොකටද අපේ විහිළුවලට.
නැහැ යටි අර්ථයක් තියනවාමයි.
තවත් පාරක් හයියෙන් ඇඟිල්ලෙන් ඇන්නා. ඒක නම් මට හොඳටම රිදුනා.
ඔව්. ඔව්, යටි අර්ථයක් තියනවා. ඒක මං හොයාගෙන එන්නම්.
මං බොරු කෙන්තියක් මවාගෙන ඔහුව මග හැරියා.
තව දවසක් මට මරු වැඩක් වුණා.
මගේ වයිෆ්ට කෝල් එකක් ආවා පොඩි මල්ලි තවත් ගෑනු ළමයෙක් එක්ක ඇවිදිනවා කියලා. බැලින්නම් සුනෙතුයි එයාගේ නෝනවයි මේ පුද්ගලයා දැකලා ඔහු හිතලා පොඩි මල්ලි කියන්නේ එයයි කියලා. වෙලාවට එදා මං ගෙදර හිටියේ. නැතිනම් හරිම අකරතැබ්බයක් තමයි වෙන්නේ.
ඔන්න තව දවසක් මට කෝල් එකක් ආවා.
මගෙන් කවුද කින්ද මන්ද මුකුත්ම අහන්නේ නැතුව අනිත් අන්තයෙන් මෙහෙම කියනවා.
මහත්තයෝ ලොරිය කොටයි. කොට දිගයි මොකද කරන්නේ?
මට මුකුත්ම හිතා ගන්න බැහැ. මං ටිකක් පැහැදිලි කරන්න කිව්වා.
මේකයි ප්‍රශ්නේ මහත්තයා එවපු ලොරියට ඊයේ කපපු තේක්ක කොට පටවන්න බැහැ. ඒවා දිගයි. කොට දෙකට කපලා ලොරියට දාන්නද?
මට තේරුණා ඒක මට ආපු කෝල් එකක් නෙවෙයි කියලා. ඉතින් මං ඒ වගක් අගවන්නේ නැතුව ‘හා හා ඔයා දෙකට බැරි නම් තුනට කපලා කොට පටවන්න’ කිව්වා.
ඔය වගේ වැඩක් මටත් උණානේ. සුනෙත් තවත් කතාවකට මුල පිරුවා.
මටත් ආවා කෝල් එකක්.
මහත්තයෝ හෙට ආවොත් අරක ගන්න පුළුවන් නේද?
මොකක්ද?
අර මහත්තයා දෙන්න බැහැ කියපු මුදල?
පුළුවන්, පුළුවන්. එන්න එන්න. මං තවත් කීයක් හරි එකතු කරලා දෙන්නම්.
ඊට පස්සේ මොකද වුණේ කියලා නම් මම දන්නේ නැහැ.
ඔන්න මං දවසක් බස් එකකට නැග්ගා ගමනක් යන්න.
සුනෙත්ගෙන් ආයෙත් කතාවක්.
කොන්දොස්තර එක පාරක් මගේ ගාවට ආව. ටිකට් ගත්තේ නැහැ. තව පාරක් ආවා.
ඒත් සල්ලි ඉල්ලුවෙ නැහැ. මගෙ දිහා හොඳට බලලා යන්න ගියා. තුන්වෙනි පාරත් ආවා. එතකොට මං සල්ලි දුන්නෙ නැහැ. එයා මගෙන් බලෙන් සල්ලි ඉල්ලුවා. මං ඉතින් ආයෙත් සාක්කුවට දාගත්තු සල්ලි අදින ගමන් මං ඇහැව්වා මුලදි සල්ලි ඉල්ලුවෙ නැත්තෙ ඇයි කියලා. එතකොට මේකා කියපි මෙන්න මෙහෙම.
මහත්තයා වගේම කෙනෙක් ටී. වී. එකේ වැඩ සටහනක් කරනවා. මං දෙපාරක්ම රැවටුණා එයා කියලා. ඒකයි සල්ලි නොගත්තේ. මට පස්සේ තමයි කල්පනා වුණේ ටී. වී. එකේ ඉන්න අය බස්වල යන්නේ නැහැ කියලා. ඒකයි සල්ලි ඉල්ලුවේ.
ඒක අහලා ගාමින්දටත් හිනා.
අපට දැන් යන්නත් තියනවා. ඊට කලින් අපි නොදන්න ලයිව් කරන කාලේ වෙච්ච නියම සිද්ධියක් කියන්නම්.
ගාමින්ද සිනහව මැඬ පවත්වා ගනිමින් වාඩි වී සිටි තැනින් නැගිට්ටා.
අපි ටිකක් කැලෑබද ප්‍රදේශයක ගෙදරක රූගත කිරීමක් සිදු කළා. ඒ හරියෙ වන සතුන් ගැවසෙනවා කියලා අපි අසා තිබුණා.
මං නිකමට ඒ ගෙදර අයිතිකාරයාගෙන් ඇහැව්වා සත්තු එහෙම හිටියේ නැද්ද? උන්ව බලන්න බැරිද කියලා.
ගේ හිමියා මරු උත්තරයක් දුන්නේ.
අයියෝ . . . මොකද මහත්තයෝ සත්තු නැත්තේ.
මේ දැනුත් මං පොඩි නයි පැටියෛක් අල්ලගෙන ඇවිත් සාලෙන් අත ඇරියා. ඌ කොහෙට ගියාද දන්නේ නැහැ.
ඒ කතාව අහපු අපිට කැමරා වයර් පෙනුනෙත් නයි පැටව් වගේ. සීතලට කකුලට යමක් ගෑවුණත් බය වුණා. පස්සෙයි දැනගත්තේ ඒ අය සත්තුන්ට කිසිම බයක් නැහැ කියලා.
එහෙනම් අපි ගිහින් එන්නම්.
ආයුබෝවන්!
මං චුටි මල්ලි.
මං පොඩි මල්ලි.
ආයේ දවසක හමුවෙමු ජයවේවා.
මග හමුවන අයට සිනහවක් ද පාමින් ලේක්හවුසියේ කොරිඩෝව දිගේ ඔවුන් දෙපොළ නොපෙනී ගියා.

0 comments:

Post a Comment