සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා.... |
කවියක යොදන වචනයක් යනු අර්ථයක් සහ රිද්මයක් මතු කරන්නක්. වචන යනු අපගේ මනස තුළ විවිධ සංඥාවක් ඇති කරන දෙයක්. වචන තුළින් අප තුළ හැඟීම් සාධනය කරනවා. කවියක සාර්ථකත්වයක් රැඳී තියෙන්නේ කවියා විසින් කවිය තුළ යොදන භාෂාව අනුවමයි. කවියාට තම නිර්මාණය ගොඩ නඟන්නට තිබෙන අමුද්‍රව්‍ය වනුයේ භාෂාවයි.
2010 වසරේ රාජ්‍ය සම්මාන දිනූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියාගේ ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය ග්‍රන්ථයේ පළමු කවිය වෙත අපේ අවධානය යොමු කරමු. ඒ කවිය නම් කර ඇත්තේ ‘ලියමන’ යනුවෙන්. එහි භාෂාව භාවිත කර තිබෙන ආකාරය එනම් වචන පෙළින් පෙළට තබා කවිය ගොඩනඟන ආකාරය බලන්න.
නෙළුම් කවි ලී කෙළි ඔලිඳ කෙළි
මෙතෙක් නැතුව නොවෙයි අම්මේ ඒත් ඒවා වෙනස් කර කර අලුත් අයිටම්ස් හදනවා උත්සවත් දැන් වැඩි නිසා ෂෝස් දිගටම තියනවා නින්ද නෑ රෑ පුරා නටනවා උදේ ප්‍රැක්ටිස් කරනවා
දුරබැහැරකින් පැමිණ අග නගරයේ නැවතී නර්තනය රැකියාව බවට පත් කර ගත් තරුණ දියණියක් තමන්ගේ මවට ලියන ලියුමක් විදිහටයි මේ කවිය ගොඩනැඟෙන්නේ. ඇය තම මවට තවදුරටත් ලියන්නේ මොනවාදැයි බලමු.
ඇඟේ හැඩ නැතිවෙයි කියා කන්න දෙන්නෑ රෑට බත් කෙල්ලො දහයක් ඉන්නවා හොරෙන් අපි තේ හදනවා සිංදු විෂුවල්වලට ගියොතින් දාහ ගාණේ ලැබෙනවා ඒක අමතර ඒ වුණත් විළුඹ තුනටිය රිදෙනවා
කවියා යොදන්නේ මේ තේමාවට උචිත බස් වහරක් නොවේද. දියණියක් තම මවට ලිපියක් ලියන විටදී විදග්ධ බස් වහරක් යොදා ගන්නේ නැහැ. ලියමනකට යොදන්නේ සරල හැඟීම්බර වචන. කවියා මෙම කවිය සඳහා යොදාගන්නේ ඊටම උචිත බස්වහරක්. ඉහතින් සඳහන් කළ සුභාෂිතයේ එන කවියේ බස හැසිරවීම වැනි සම්භාව්‍ය බසක් මේ කවියට උචිත වන්නේ නැහැ. අපට මේ කවියේ වචනවල රිද්මය දැනෙනවා. ඒ වචන යොදා තිබෙන පිළිවෙළ එනම් එහි ආකෘතිය අපට අපේ පැරැණි කාව්‍යයක් සිහිපත් කරනවා.
කෝට්ටේ යුගයේ අවසාන භාගයේදී රණස්ගල්ලේ ස්ථවිරපාදයන් අතින් පිටපත් කර ඊට තවත් අතිරේක කවි කීපයක් එකතු කර ඇතැයි විද්වතුන් විසින් මත පළ කර ඇති ‘ලෝකෝපකාරය’ කාව්‍ය ග්‍රන්ථයේ එන කවිවල රිද්මය ද අපට මෙහිදී මතකයට එනවා.
සා ව අප බෝසත් - සා බමුණාට දෙනු ව ඇඟ මස් පීනූ සඳ ගින්නට - සුරිඳු ගෙන සඳ මැදෙහි ඇන්දේ (13 වන කවිය) ඉසුරින් පිරිහුණත් - සුදන තම ගුණය අඩු නොකෙරෙත් බිඳුණත් රන් බඳුන - ඇණ බර අගය අඩු නොවන මෙනි (15 වන කවිය) ඒ කවිවලින් මතු කෙරෙන රිද්මයත් ‘ලියමන’ කවියේ භාෂා භාවිතයෙන් මතු කෙරෙන රිද්මයත් සස¼දා බලන්න. ඇඟේ හැඩ නැතිවෙයි කියා කන්න දෙන්නෑ රෑට බත්
මේ කවියේ උපයුක්ත භාෂාවේ රිද්මය වෙතයි අපගේ අවධානය තවමත් යොමුව ඇත්තේ. කවියක් පළමුවරට අපව ඇද බැඳ ගන්නේ, අපිව ආකර්ෂණය කරන්නේ එහි බස්වහර විසින්මයි. එමෙන්ම එහි අර්ථයක්ද භාෂාව තුළම රැඳී පවතිනවා.
මේ කවිය නර්තන වෘත්තියේ යෙදී සිටින ශිල්පිනියකගේ ආත්ම කථනයක් නිසා මෙහි ආකෘතියේ නර්තනමය රිද්මයක්, චලනයක් පවතී යැයි අපට හැඟෙනවා. තවදුරටත් ඒ ආකෘතිය ඔස්සේ යමු. අලුත් නැටුමක දුහුල් ඇඳුමට වශීවුණු පොහොසත් කෙනෙක් තෑගි දෙන්නට අහනවා මම එපාමයි කියනවා උත්සවේ දවසේ මගේ මට අම්ම කී දේ මතක් වෙනවා ඇත්තමයි සමහර දෙනෙත්වල හරි අමුත්තක් තියෙනවා
දැන් මේ කවියේ අර්ථ රසය මතු කරන ආකාරය වෙත යොමු වෙමු. මෙහි අර්ථය කුමක්ද. එනම් කවියේ මතුපිටින් දක්නට නොලැබෙන එහි පතුලේ පවතින අර්ථය කුමක්ද විමසා බලමු. මෙම පද්‍යයේ ආකෘතිය තුළ දී අපට දැනෙන්නේ ශෝකීභාවයක්. එයින් උත්පාදනය වන්නේ කරුණා රසයක්. අපට මේ නර්තන දියණිය පිළිබඳ කරුණාවක්, දයාවක් ඇති වෙනවා නොවේද?
අර්ථපූර්ණ කාව්‍ය නිර්මාණයකදී හැඟීම් සූචනය කරවනවා. ඒ මතු කෙරෙන හැඟීම්, හැඟීම් ලෙසම රඳවා නොගෙන එය අපගේ් චින්තනයට බලපෑම් කරන දෙයක් බවට පත් කරනවා. කාව්‍ය සේවනය සහෘදයකුගේ චින්තනය ගැඹුරු කරවන්නට, පුබුදු කරවන්නට ඒ අනුව හේතු සාධක වෙනවා.
කවියේ චිත්‍රණය කෙරෙන මෙම තරුණ නර්තන ශිල්පිනිය නිරතව සිටින්නේ උසස්, සම්භාව්‍ය නර්තන කලාවක නොවේ. නර්තනය යනු සෞන්දර්ය අධ්‍යාපනික උසස් කලා මාධ්‍යයක්. එහෙත් ඇයට නිරතවීමට සිදුවී ඇත්තේ කෙබඳු නර්තන කලාවකද, ඒ පිළිබඳ කවියේදී අපට හඟවන්නේ කෙසේද?
අලුත් අයිටම්ස්, ෂෝස්, සිංදු විෂුවල් මේ වචනවලින් අපට හැඟෙන්නේ ඒ ගරු ගාම්භීර නර්තන කලාව නොවේ. කලාව වෙළෙ¼දාමක් බවට පත්ව රූපවාහිනී නාළිකාවල සහ වේදිකා සන්දර්ශනවල වාණිජ කර්මාන්තයක් වූ රංගනයයි. එහිදී ඇය තවදුරටත් රංගන ශිල්පිනියක් නොවේ.
ශ්‍රමිකයෙකි. එම වාණිජ කර්මාන්තයේදී ඇයට ඇයගේ සිරුර අලෙවි භාණ්ඩයක් ලෙස හසුරුවන්නට සිදුවේ. ඇගේ ජීවිතය පිළිබඳ වටහා ගන්නට තවදුරටත් ඇගේ ලියමන වෙත යොමු වෙමු.
දවස් නවයක් ෂෝස් දිගටම ඊයෙ මට අර ලෙඩේ හැදුණා ඒත් අම්මේ ගණන් නොගෙනම ගෙදර ගැන හිත හිතා නැටුවා අම්මගේ විටමින් ටිකයි තාත්තගෙ දානෙට බඩුයි ගන්න සල්ලිත් ඔන්න අම්මේ මේත් එක්කම එවනවා මෙම කවියේදී එහි මතුපිටින් නොකියැවෙන එහෙත් කවියේ පදපෙළට යටින් සැඟව තිබෙන අර්ථ මොනවාද? අපේ පැරැණි ජන සමාජවලදී ශාන්තිකර්ම ලෙස, යාතුකර්ම ලෙස පැවතව, පසුව අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළට කලාවක් ලෙස පැමිණි නර්තනය සමකාලීන සමාජ තුළ වාණිජ කර්මාන්තයක් බවට පත්ව ඇති අයුරු මේ කවියෙන් ධ්වනිත කෙරෙනවා.
මහින්ද ප්‍රසාද් තරුණ කවියාගේ පරිකල්පනයයි මෙහිදී වැදගත් වූයේ. මෙම කවියේදී ඔහු නර්තන ශිල්පිනියක් බවට පරිකල්පනය කරගනු ලබනවා. කවිය ගොඩනැඟෙනුයේ එම පරිකල්පනීය චරිතයේ ආත්මකථනයක් ලෙසයි. ඇය සිය මවට ලියන ලියමන අවසන් කරනුයේ මෙම පද පෙළිනි.
නිසරු අත්පුඩි විසිල් ඝෝෂා
අතර පසුපස තැනක කෙළවර නොලා ඇසිපිය බලා මා දෙස අම්ම ඉන්නව පේනවා
සිසිර කුමාර මහගම
|
0 comments:
Post a Comment