----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මම විශාල සමාජ පෙරළියක් කළා

Sunday, February 3, 2013


මහා සිංහලේ වංස කතාවෙන් මම විශාල සමාජ පෙරළියක් කළා

ජැක්සන් ඇන්තනී
අදින් වසර හතළිස් දහසකටත් එහා අතීතයට අපේකම සොයා ගිය ඔහු බලංගොඩ මානවයාගේ සිට කුවේර රාජධානිය, මහා සම්මත මනු රාජධානිය, රාවණා රාජධානි පසුකරමින් මහා කාලසේනගෙන් පසු විජය රජු ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ ඉතිහාසය කියවීම අතිශය තර්කානුකූලවත්, රමණීයවත් ඉදිරිපත් කරමින් අපේ රටේ යටපත්ව පැවති, ඉවතට විසිකරමින් නොසලකා හැරි ඉතිහාස විෂයට අපූර්වත්වයක් එක්කළේය.
‘මහා වංශයට විද්‍යුත් ටීකාවක්’ යනුවෙන් මහා සිංහලේ වංස කතාව අපට රැගෙන ආ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියකු, රංගන ශිල්පියෙකු, නාට්‍යකරුවකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනී ය.
2007 වසරේදී කාගේත් ප්‍රශංසා මැද විකාශය අවසන් වූ ‘මහා සිංහලේ වංස කතාව‘ නැවතූ තැන් සිට යළි ආරම්භ කිරීමේ සුබ පණිවුඩය පෙරදා ඔහු අපට රැගෙන ආවේය.
මේ සඳහා නිමිත්ත මෙම 4 වැනිදාට යෙදෙන 65 වැනි නිදහස් දින දා සිට සෑම සඳුදා දිනකම රාත්‍රි 10 සිට යළිත් මහා සිංහලේ වංස කතාව දිග හැරෙන ඒ සුබ පණිවුඩයයි.
ඔබ මහා සිංහලේ වංස කතාව වැනි වැඩසටහන් ආරම්භ කිරීමට හේතුව වූයේ කුමක්ද?
ලංකාව සහශ්‍රයකට ගොඩ නැඟෙත්දි අපේ මුළු ජන ප්‍රජාවගේ ම අරමුණ වෙලා තිබුණේ ජාත්‍යන්තරය. ජාත්‍යන්තරයට ප්‍රවිෂ්ට වුණාම අපේ සියලු අඩුපාඩුකම් මැකේවි, අපි සමෘද්ධිමත් වේවි කියන ෆැන්ටසි එකකයි අපි හිටියේ.
ජාත්‍යන්තරය හමුවේ ජාතිකත්වය පිළිබඳ අපිට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. ඒක අපට ඇති කරන්න කවුරුත් උත්සාහ කළෙත් නෑ. ඒ පිළිබඳ විලම්භීතයෙන් තමයි මම හිටියේ. සහශ්‍රකයට ගොඩ නැඟෙත්දි මේ තිබුණ අනවශ්‍ය ජාත්‍යන්තර උණ අපට ජාතික වශයෙන් අවාසි සහගතයි කියන විශ්වාසය මගේ අභ්‍යන්තරයේ කෑකෝ ගසමින් තිබුණා.
ඒ ගැන සිතා බලද්දි මගේ හිතට එනවා 1972 දි තමයි මේ ව්‍යසනය අපට කරන්නේ කියන එක. 1972 දී ලංකාවේ අධ්‍යාපන විෂයමාලා සංවර්ධනයේදී ඉතිහාස විෂය අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් අයින් කළා. ඒකට බලපෑවේ 1971 කැරැල්ල යළි කියවීමය.
කැරැල්ලට සම්බන්ධ වුණේ ඔක්කොම කලා උපාධිධාරීන් නිසා කලා විෂය මාලාවේ, රැකියා උත්පාදන විෂයයන් නැහැයි කියලා, රැකියා උත්පාදන නොවන සියලු විෂයයන් ඉවත් කළ යුතුයි කියන අමනෝඥ තීරණය තමයි සහශ්‍රකය වන විට ජාතිතක්වය පිළිබඳ හැඟීම අපේ රටේ නැතිවීමට එකම හේතුව කියලා මම තදින්ම විශ්වාස කළා.
ලෝකයේ වෙන කිසිම රටකට මේ දේ වුණේ නෑ. ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා ගත්තත්, සිංගප්පූරුව, කොරියාව, බුරුමය, ජපානය, චීනය වගේ ගත්තත් මේ කිසිම රටක් ජාත්‍යන්තරය විශ්වාස කළේ ජාතිකත්වය අවිශ්වාස කරලා නොවෙයි.
ජාතිකත්වයම ජාත්‍යන්තරය බවට පත්කරන්න තමයි ඔවුන් උත්සාහ කළේ. අපිට එහෙම උත්සාහයක් නොතිබුණේ, අපිට ජාතිකත්වය පිළිබඳ ගෞරවනීය හැඟීමක් නොතිබුණේ ඉතිහාසය විෂය අපේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ දැනුම් පථයෙන් ඉවත් කරපු නිසයි.
ඉතිහාසය ඉගෙන ගන්න ඕන ඉතිහාසඥයෙක් වෙන්න නොවෙයිනේ. වෛද්‍යවරයෙක් වුණා වෙන්න පුළුවන්. රටකජුකාරයෙක් වුණා වෙන්න පුළුවන්. නමුත් ඉතිහාසය තුළ වන සාමාන්‍ය දැනුම විසින් ඔහුට මාතෘ භූමියට ඇල්ම ඇති කරනවා.
මෙන්න මේ විස්සෝපය මම හරියට භුක්ති වින්දා. ඒ නිසා මම ඊට අදාළ වැඩසටහන් කීපයක් කළා. ජාත්‍යන්තරය විසින් ළමා ලෝකය සංකර කරන්න උත්සාහ කරත්දි මම ‘හපන් පැදුර’ වැඩසටහන කරලා දේශීය සංගීතයට විලාසයට ඇති කැමැත්ත දරුවන් තුළ යළිත් ඇති කළා.
ඒ අතරම තමයි ඉතිහාස විෂය අළලා කිසියම් මාධ්‍ය කටයුත්තක් කළ යුතුය කියන හැඟීම මට ඇතිවුණේ. ඒ අනුව තමයි ‘මහා සිංහලේ වංස කතාව‘ පිළිබඳ යෝජනාව ස්වර්ණවාහිනි ආයතනයට ඉදිරිපත් කරලා ඒ සඳහා අනුමැතිය ලබාගන්න පුළුවන් වුණේ.
මේ වැඩසටහනත් එක්ක ඉතිහාස විෂය පිළිබඳ හා එහි අධ්‍යයනය පිළිබඳ මහා විශාල ප්‍රබෝධයක්, උනන්දුවක් ඇතිකරන්න ඔබට පුළුවන් වුණාද?
ඔව්. ඉතිහාස විෂය ඒ වන විට මගේ අධ්‍යයන පථයෙනුත් බැහැරවයි තිබුණේ. 1972 දි මම ඉතිහාස විෂය තහනම් කරපු දරුවෙක්. මමත් සා.පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලයේවත් ඉතිහාසය ඉගෙන ගෙන තිබුණේ නෑ.
නමුත් මේ වැඩසටහන නිසා 2000 සිටම මම ඉතිහාස විෂය අධ්‍යයනය කළා. 2002 තමයි මම ‘මහා සිංහලේ වංස කතාව‘ ආරම්භ කරන්නේ. මේ වැඩසටහන ලංකා මාධ්‍ය ඉතිහාසයේ සිද්ධවෙච්ච ලොකු වික්‍රමයක්.
වෙළෙඳ ආයතනයක මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් සඳහා පිරිනැමෙන කාලය හරි අඩුයි. ස්වර්ණවාහිනි අධිකාරිය මගේ අදහසට එකඟ වුණාට වෙළෙඳ අංශය මේකට දක්වන්නේ වෙනත් ප්‍රතිචාරයක්. මේ විෂය ජනපි‍්‍රය කරන්න පුළුවන් වෙයිද කියන තැන තමයි ඔවුන් ඉන්නේ.
ඒ මොකද? ඒ වන විට ඉතිහාස විෂය කියන එක ජනපි‍්‍රය නැති, අලස විෂයක් කියල සම්මත වෙලා ඉවරයි. ඒ සම්මතය තමයි වෙළෙඳ අංශය අරගන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කළා අව ප්‍රතිචාර කලාපයක් මේ වැඩසටහන සඳහා දෙන්න කියලා.
ඒ අනුව 2002 පෙබරවාරි 04 වැනිදා මම වැඩසටහන පටන් ගත්තා. මාසයක් දෙකක් ඇතුළත ආයතනයට සිද්ධ වුණා අධි ප්‍රතිචාර කලාපය වන සෙනසුරාදා රාත්‍රි 9.30 ට මේ වැඩසටහන ගේන්න. මේකට ස්වර්ණවාහිනියට වගේ ම මගේ රටේ ජන ප්‍රජාවටත් මම ගෞරව කරන්න ඕන.
මගේ විශ්වාසය සඵල වුණා. මේ රටේ අලස විෂයයක් යැයි ප්‍රතික්ෂේප කර තිබූ ඉතිහාස විෂය ජනකාන්ත විෂයයක් බවට පත්වුණා. 2005 වසර උදාවීමත් සමඟ මේ වැඩසටහනින් කියූ දේ ඉතා ඉහළින් අගයන අධිකාරිත්වයක් මේ රටේ පහළ වෙනවා. 2005 වනාහි මේ රටේ දේශපාලන සමාජීය, හැරවුම් ලක්ෂය කියලා මම ප්‍රකාශ කළේ ඒ නිසා.
මේ හැරවුම් ලක්ෂය හේතුකොට ගෙන ජාතිකත්වයට ඇලුම් කරන, ඉතිහාස විෂය පි‍්‍රයකරන, ගම හඳුනන නායකත්වයක් බිහිවීම හේතුවෙන්, මගේ වැඩසටහන පුරා කතා කරමින්, බැන අඬගසමින්, සාකච්ඡා කරමින් ආපු විෂයට ලොකු දීප්තියක් ලැබෙනවා.
2006 වසරේ මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනවා ඉතිහාස විෂය අනිවාර්ය විෂය පද්ධතියට ගේන්න ඕන කියලා. වැඩ සටහනේ නිර්මාතෘවරයා වශයෙන් මට විශාල සතුටක් ලැබෙනවා මේ වැඩසටහන මේ රටේ සමාජීය වශයෙන් ලොකු යෙදවුමක් කළා කියලා.
මාධ්‍යකරුවෙක් කොයිතරම් බලවන්තද? මාධ්‍යකරුවා හරියට ආණ්ඩුවක් වගෙයි. අමාත්‍යාංශයක් වගෙයි. නිවැරදි මාධ්‍යකරුවාට දේශපාලන බලයක්, පාර්ලිමේන්තුවක් අවශ්‍ය නෑ. ඒ නිසා මම නිවැරදිව මාධ්‍ය භාවිතා කරමින් මේ රටේ විශාල සමාජ පෙරළියක් ඇති කළා.
ඓතිහාසික ගණයේ චිත්‍රපට නිර්මාණය වන්නටත් මේ ප්‍රබෝධය බලපෑවා කියල ඔබ විශ්වාස කරනවාද?
ඔව්. 2008 දි මම ම මේ වැඩසටහනින් ප්‍රයෝජන ගන්නවා. මම ‘අබා’ චිත්‍රපටය නිර්මාණය කරනවා. මේ රටේ මෙතෙක් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය ලෙස අදටත් වාර්තාගත වෙන්නේ ‘අබා’. ඒ සඳහා වැල නොකැඩී සෙනඟ එන්නට මම ‘මහා සිංහලේ වංස කතාවෙන්’ ලබපු විශ්වාසය බලපෑවා.
මේ වන වි ඉතිහාස විෂය හැම තැනම උගන්වන්න පටන් අරන් තිබෙනවා. මම ‘මහා සිංහලේ වංස කතාව‘ වැඩ සටහනට යොදාගත්ත ‘මහා වංශයට විද්‍යුත් ටීකාවක්’ කියන වචනය අද ඉතිහාසයට ටියුෂන් දෙන ගුරුවරු ‘ඉතිහාසයට ටියුෂන් ටීකාවක්’ කියලා යොදාගෙන තිබෙනවා මම දැකලා තිබෙනවා. මේක දකිනකොට මට හරි සතුටුයි.
මහා සිංහලේ වංස කතාව ඉතිහාසය පිළිබඳ නව සමාජ රැල්ලක් ඇති කරන්න උල්පත පෑදුවා. මේ නිසා ඇතිවුණ ප්‍රබෝධයේ අතුරු ඵල තමයි චිත්‍රපට, නවකතා, නාට්‍ය වැනි දේවල්. බොහෝ දෙනා කියනවා මම ඉතිහාස රැල්ලක් හැදුවා කියලා.
මම ඒක විශ්වාස කරනවා. ඉතිහාස රැල්ල ඇතිවුණේ ‘අබා’ චිත්‍රපටයෙන්. ඒක මම කළේ ප්‍රායෝගික යෙදවුමක් විදියට. ‘අබා’ හදද්දි මම කිවුවා මම මේ විවර කරන්නේ සංස්කෘතික ගේට්ටුවක්. මේකෙන් තව බොහෝ දෙනාට එළියට එන්න පුළුවන් කියලා.
ඒ කියපු දේ අද ඉෂ්ට වෙලා තිබෙනවා. මම තවම මගේ දෙවැනි චිත්‍රපටය කළේ නෑ. නමුත් ඉතිහාසය පදනම් කරගත්තු නිර්මාණ රැසක් අද බිහිවෙලා තිබෙනවා. මේක බිහිවෙන්නේ මහා සිංහලේ වංස කතාවෙන් බිහිකරපු සංස්කෘතික ගේට්ටුවෙන්.
මහා සිංහලේ වංස කතාව ආරම්භ වූ මුල් කාලයේ මේ වැඩසටහනින් ජාතිකත්වය අවුස්සනවා වැනි චෝදනා ඔබට පැමිණියා නේද?
ඔව්. විශේෂයෙන් ම ‘මහා සිංහලේ’ කියන වචනය නිසා. නමුත් සිනමා වචනයෙන් කිවුවොත් මම ජීවිතේ දිහා බලන්නේ දුර රූපයකින්. ඒ නිසා එදා නැඟුණු මතවාදයට ම සාමකාමී පිළිතුරක් දුන්නා. ප්‍රධාන වශයෙන් ම මේ සඳහා විකල්ප මතවාද ගොඩ නැගුණා මේක සිංහල ජාතිවාදී වැඩසටහනක් කියලා.
ඒකට ප්‍රධාන හේතුව වුණේ මේකේ නම ‘මහා සිංහලේ වංස කතාව‘ වීම. මගෙන් ප්‍රශ්න කළා දෙමළ ජාතිය මුස්ලිම් ජාතිය ගැන මේකේ නැත්ද කියලා. මේකට මම උත්තර දුන්නා මේ සැකයට පිළිතුරු මේ වැඩසටහනින්ම ලැබේවි කියලා.
‘සිංහලේ’ කියන්නේ රූපකයක්. අද සිංහල කියලා ජාතියක් නෑ. භාෂාවක් විතරයි තිබෙන්නේ. මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ කෘතියේ කරෝලිස් යන්නේ ‘සිංහලේ’. ඉස්සර මට මතකයි අපේ ගම් පැත්තේ අය හරක් ගේන්න ‘සිංහලේ’ යනවා.
ඒ කාලේ සිංහලේ කිව්වේ රජරටට. සිංහල කියන වචනය දෙමළෙන් ලියන්නේ ‘ඊලම්’ කියලා. ඒ ලංකාවෙන් ගිය නාග රජ්ජුරුවන්ට ඉන්දියාවේ කිව්වේ ‘ඉලනාග‘ කියලා. ‘ඉල’ කියලා කියන්නේ හෙළ, හෙළයා කියන එකටයි.
ඒ නිසා මම හිතුවා මේ රටේ ඉතිහාසය හඳුන්වන්න තිබෙන හොඳම වචනය ‘සිංහලේ’ කියන එක. සිංහලේ කියන වචනය මගේ මාතෘ භූමියේ නාමයෙන් ‘මහා සිංහලේ’ කියලා මම ගෞරවනීය කරනවා. මහා බ්‍රිතාන්‍යය කියනවා නම් ‘මහා භාරතය’ කියනවා නම් ඇයි මට මගේ රට ‘මහා සිංහලේ’ කියන්න බැරි.
මේ වැඩසටහන ලංකාවේ දෙමළ ඉතිහාසය, යාපනයේ ඉතිහාසය, ආර්ය චක්‍රවර්තී ගැන, වීර පාණ්ඩ්‍යලා ගැන කතා කරනවා. යාල්පාන වෛපෙන්මාෙලෙ ගැන කතා කරනවා. එතැනින්ම ඔප්පු වෙනවා මේක ජාතිකත්වය අවුස්සන වැඩ සටහනක් නොවෙයි කියලා.
මේ සඳහා ඔබේ ප්‍රධාන මූලාශ්‍ර වෙන්නේ මහා වංශයද?
මහා වංශය මූලික කරගෙන ඊට අමතරව වංශත්තන් ප්‍රකාශනය, නමැති මහා වංශ ටීකාව, පූජාවලිය, රාජාවලිය, ධාතු වංශය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලියේ සිට අස්ගිරි තල්පත දක්වා ම පිරික්සනවා. පසුකාලීනව පුරාවිද්‍යාත්මක වශයෙන් සොයා ගත් සෙල් ලිපි ආදිය ආශ්‍රය කරගන්නවා. ඉතිහාස විෂයට අදාළ ප්‍රාමාණික බුද්ධිමතුන් සමඟින් සාකච්ඡා කරමින් තමයි අපි මේ ගමන ආවේ.
ඔබ නැවතුණේ කොතැනද?
2007 දි අපි නැවතුණේ 1815 දී මේ රට ගිවිසුමකින් අස්සන් කර සුද්දන්ට පැවරූ තැනින්.
ඔබ 2013 නැවත පටන් ගන්නේ?
මේ පාර මම මහා සිංහලේ වංස කතාව අලුත් තේමාවකින් පටන් ගන්නේ. ඒකට කියන්නේ ‘මහා සිංහලේ යටත් විජිත වංස කතාව‘ කියලයි. නියදිය වශයෙන් මම වසර 500 ක් තෝරා ගත්තා. 1505 තමයි ආරම්භ වෙන්නේ.
අවසන් වෙන්නේ 2005 න්. 2005 සහ 1505 කියන්නේ ලංකාවේ නිශ්චිත කේන්ද්‍රීය ලක්ෂ දෙකක්. 1505 කියන්නේ ලංකාවේ විනාශය ආරම්භ වූ වර්ෂය. 2005 කරන්නේ ලංකාවේ ජයග්‍රහණය ආරම්භ වූ වර්ෂය. පරාජය ආරම්භ වූ වසරේ සිට ජයග්‍රහණය ආරම්භ වූ වසර දක්වා ‘යටත් විජිත යනු කුමක්ද? යන්න ගැන තමයි මෙවර සාකච්ඡා කරන්නේ.
ඇයි මෙවරත් ඔබ ස්වර්ණවාහිනි නාළිකාවම තෝරා ගත්තේ?
මම 2010 වසරේදි ස්වර්ණවාහිනියෙන් ඉවත් වී නිදහස් මාධ්‍යවේදියෙක් වුණා. එහෙම වෙලා මම මගේ විෂය ඉතිහාස විෂය යැයි කෑකෝ ගසමින් ඒ පිළිබඳ යමක් කරන්න කැමැති යැයි කියමින් බොහෝ කලක් හිටියා. නමුත් මේ රටේ එක මාධ්‍යයක්වත් මා දිහා ඇහැරලා බැලුවේ නෑ.
මට කතා කළේ නෑ. මේක ජාතික වශයෙන් වැදගත්කමක් ඇති දෙයක් යැයි කියමින් මේ රටේ ජාතික මාධ්‍යවලට මගේ යෝජනා ඉදිරිපත් කරපු අවස්ථාත් තිබුණා. නමුත් ඒ කිසි කෙනෙක් මා දිහා හැරිලාවත් බැලුවේ නෑ.
නමුත් ස්වර්ණවාහිනි අධිපතිත්වය බුද්ධික කුලසේකර නමැති වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ඔස්සේ මට මේ ආරාධනාව කළා. ඒ නිසා ස්වර්ණවාහිනියට ගෞරව කරමින් මේ වැඩසටහන කරන්න මම තීරණය කළා.

silumina

0 comments:

Post a Comment