----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මහ සමයම

Saturday, January 26, 2013



මහාචාර්ය ආරියරත්න ඇතුගල අලුත් නිර්මාණ කාර්ය "මහ සමයම" ඔපෙරාව, ජන සම්ප්‍රදායන් ආශ්‍රයෙන් නිර්මාණය වූ දැවැන්ත වේදිකා නාට්‍යයකි.ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, සහන් රන්වල, ඉන්දිකා උපමාලි, මාධනී මල්වත්ත, චතුරිකා පීරිස්, සේනානායක වේරලියද්ද යන ශිල්පීන්ගේ රංග දායකත්වයෙන් සහ කෝලිත භානු දිසානායකගේ සංගීතය මෙහෙයවීමෙන් ද රවි බන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන සහ දර්ශන පියරත්න යන අයගේ රංග වින්‍යාසයගෙන්ද ජනවාරි 30,පෙබරවාරි 1,2 යන තෙදින පස්වරු 6 ට නෙළුම් පොකුණේදී වේදිකාගත වේ .
_________________________________________________________________________________

මහසමයම

profමහසොහොන් සමයමෙහි සමයම් යාම තුනකි. හැන්දෑ සමයම, මහ සමයම හා අලූයම් සමයම වශයෙන් එය හැඳින්වේ. මහසමයම මධ්‍යම රාති‍්‍රයේ නටයි.
මහසමයම පිටපත උපදින්නේ මවිසින් පුරාණෝක්ති හා පූජාකර්ම අධ්‍යයනය කරනු ලැබීමත් සමඟය. එය දීර්ඝකාලීන ව්‍යායාමයකි. සාම්ප‍්‍රදායික කලාවන් හි  ගැඹුරු සන්නිවේදනාර්ථ අධ්‍යයනය උදෙසා ‘සංජානන’ විෂය පළමුව අධ්‍යයනය කොට තිබීම මා හට බෙහෙවින් උපකාරි විය. එ් තුළින් අතීත සමාජයේ ජනවිඥාන ධාරාව හා සාම්ප‍්‍රදායික කලා මාධ්‍ය විශ්වීය මානයන් මත තබා හැදෑරීමට පසුබිමක් ලබා දුණි.
ඉන්පසු ව දේශීය ගැමි නාට්‍ය හා නර්තන සම්ප‍්‍රදායන් පිරික්සමින් සිටින විට ”වෙස්මුහුණු” මා සිත්ගත් පර්යේෂණ ක්ෂේත‍්‍රයක් බවට පත් විය. වෙස්මුහුණු විදේශිකයන්ට විකුණන භාණ්ඩ වන්නට පෙර ඒවායෙහි පැවැති විඥාන දහරාවන් හැදෑරීම මාගේ වුවමනාව වූ අතර විශ්ව වෙස්මුහුණු  පරිශීලනය මා අමන්දානන්දයට පත් කළ කරුණක් විය. මේ අතර දර්ශන පියරත්නයන් හා කළ කතාබහත් ඔහුගේ පශ්චාත් නිබන්ධනය වූ ”මහසොහොන් සමයමේ වත් පිළිවෙත රටාව හා සාහිත්‍ය”  ඇසුරු කිරීමත් දේශීය ගැමි නර්තන සම්ප‍්‍රදායන්හි සන්නිවේදනාර්ථ සොයා ගිය මාගේ ගමන වේගවත් කිරීමටත් රසවත් කිරීමටත් හේතු විය. ඉන් අනතුරුව දේශීය යාතුකර්මවල පවත්නා විශ්වීය ලක්ෂණ විමසීමට පටන් ගැනීමෙන් පසු අපගේ නිර්මාණ ක්ෂේත‍්‍රයට මේවා කැඳවා ගෙන ඒමේ වුවමනාව මා තුළ ඇති විය.
සාම්ප‍්‍රදායික කලාවන් රැකීම හා භාවිතය සම්බන්ධ දේශීය මිනුම්දඬු, ප‍්‍රශ්නකාරී වේ. එයට හේතුව සාම්ප‍්‍රදායික කලාවන් හි මානව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හා සන්නිවේදන විද්‍යාත්මක අර්ථ හඳුනා ගනිමින් ඒමත ගොඩනැගුණු නිර්මාණවේදයක් ශී‍්‍ර ලංකාවේ දක්නට නොලැබීමයි. විශේෂයෙන් සවිස්තරාත්මක  අධ්‍යයනය (Descriptive studies)  මඟින් බිහි වූ කෘති දක්නට ලැබෙතත් බහුවිෂය විද්‍යාත්මක පදනමින් වන නිර්මාණකරණයක් හෝ ශාස්තී‍්‍රය අධ්‍යයන හෝ ව්‍යාප්ත ව දක්නට නොලැබේ.
එසේ ම සාම්ප‍්‍රදායික කලාවන් ජාතික උරුමයන් ලෙස නොව සීමිත කොටසගේ උරුමයක් ලෙස පැවතීම එම කලාවන් හි පැවැත් ම, දියුණුව ඇන සිටීමට බලපෑ  ප‍්‍රධාන හේතුවයි. සාම්ප‍්‍රදායික දේ හමස් පෙට්ටියේ ලා රැුකීම විනාශයට මුල වන අතර සම්ප‍්‍රදායික කලාවන් දීර්ඝකාලීන ව පවත්වා ගෙන යෑමට හේතු වන්නේ ඒවා පොදු කලාවන්ට විවෘත කිරීමෙනි. ජන කලාවන්ට ලොල්වීම හෝ තණ්හාවෙන් රැකීම හෝ මඟින් ඒවායෙහි ප‍්‍රබෝධය හෝ පැවැත්ම තහවුරු නොකරයි.
දේශීය යාතුකර්ම තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතී. ගී‍්‍රක නාට්‍යයට රංග භූමියක් තිබුණ ද යාතු කර්මයට රංග භූමියක් නොවුණි. ශී‍්‍ර ලංකාවේ යාතුකර්මය සිදු කරන භූමි ප‍්‍රදේශය ම රංග භූමියක් විය. එකී රංග භූමිය විශ්ව ආකෘතියකට හසු නොවුණු නිසා යාතු කර්ම ගැමි යාතුකර්ම ලෙස  ම පැවතුණි.
ගී‍්‍රක නාට්‍ය මූලධර්මයනට නොදෙවෙනි නාට්‍යමය දෘෂ්ටිවාදයක් යතුකර්ම තුළ පවතින අයුරු අප අධ්‍යයන ඔස්සේ වටහාගත යුතුය. විශේෂයෙන් යාතුකර්ම ආධ්‍යාත්මික, අධි මානසික, මනෝවිද්‍යාත්මක හා නිර්මාණාත්මක පදනමකින් ගොඩනැෙඟන්නකි. රංග ශිල්පියා හා පේ‍්‍රක්ෂකයා අතර සම්බන්ධතාව ඉතා ම සියුම් සන්නිවේදනාර්ථ සහිතය. අනෙක් අතින් නාට්‍යමය උපකරණ හා පසුතල භාවිතයන් බොහෝ ප‍්‍රකාශනාත්මකය. නිදසුනක් ලෙස සූනියම් විදීය පසුතලය ලොව කිසිදු රටක සාම්ප‍්‍රදායික කලාවක දක්නට නොමැති නාට්‍යමය පසුතලයක් ලෙස මම දකිමි.
වෙස්මුහුණු අධ්‍යයනය කරන විට පෙනී ගිය ප‍්‍රධාන කරුණක් වන්නේ මේවා ශී‍්‍ර ලංකාව තුළ ගැඹුරු මානව හෝ සංස්කෘතික අධ්‍යයනවලට හසු ව නොමැති බවයි. මුලින් සඳහන් කළ සවිස්තරාත්මක තොරතුරු දැක්වීම් දක්නට ලැබෙතත් එම තත්ත්වය ද වර්තමානය වන විට බොහෝ වෙනස් ව අධ්‍යයන ක්ෂේත‍්‍රයන්ගෙන්  දුරස් වෙමින් ද පවතී. වෙස්මුහුණුවල පවත්නා ප‍්‍රකාශන ශක්තිය අපගේ වේදිකා නාට්‍ය තුළ ප‍්‍රමාණවත් ලෙස අප උරගා නොමැත්තේ ය.
අපගේ සාම්ප‍්‍රදායික සාමුහික ගැමි කලාවන් නාගරීකරණයට ගොදුරු වීම. ඉතිහාසය තුළ මුහුණ දුන් ප‍්‍රධාන ගැටලූවකි. එ්වා නාගරිකරණයට (Urbanization) හසු වීමෙන් එ්වායෙහි ගැඹුරු මානව වටිනාකම් යටගිය අතර, ඇතැම්  කලා අංග හා භාවිත ද්‍රව්‍යමය භාවිතයන් ද විනාශ වී ගොස් ඉතුරු වූ දෙයට භෞතික අගයක් ලැබුණි. එ් අයුරින් නර්තනය උත්සව ප‍්‍රසංග කලා අංග බවට ද වෙස්මුහුණ සංස්කෘතික අලෙවි භාණ්ඩ බවට ද පත්විය. අපගේ සම්ප‍්‍රදායික කලාවන්ට සිදු වූ අනෙක් අනතුර නම් විධිමත් අධ්‍යාපනයට නිසි ලෙස බද්ධ නොවීමයි. සාම්ප‍්‍රදායික ශිල්පීන් සාම්ප‍්‍රදායික අයුරින් ම ඒවා අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඇතුළත් කළ අතර පර්යේෂණ, ගවේෂණ හා නව නිර්මාණ අධ්‍යයන යනාදියට එම පරිසරය ප‍්‍රමාණවත් ලෙස අවකාශ ලබා දුන්නේ නැත. ප පාරම්පරික අනුකරණය ප‍්‍රධාන අධ්‍යාපන ප‍්‍රවේශය විය.
සාම්ප‍්‍රදායික කලා අධ්‍ය්‍යනයේ දී මතු වන ගැටලූ රැසකි. සම්ප‍්‍රදායික කලාවන් සංස්කෘතිය තුළ සිට විශ්ලේෂණය කරන විට පළමුව ඒවායෙහි දෘශ්‍යමාන මතුපිට සංස්කෘතිය හසු වේ. එලෙස ඉතිහාසය, සාහිත්‍යය, පුරාණෝක්ති, නැටුම්, සංගීත, ඇඳුම් පැළඳුම් හා සිරිත් විරිත් යනාදිය තුළ භෞතික වශයෙන් හසුවන විඥාන දහරාව අංග සම්පූර්ණ හෝ පරිශුද්ධ හෝ නොවේ. සංස්කෘතික කලා අංගවල නොපෙනෙන අගයන්, ආකල්ප, හා හැඟීම් යනාදිය හඳුනා ගැනීම අසීරුවේ. එබැවින් සාම්ප‍්‍රදායික සමාජ වකවානුව හා නූතන වකවානුව අතර ඇති පරතරය අවම කිරීමේ කාල යාත‍්‍රාකරණය යන්නෙන් අදහස් කෙරෙන්නේ අතීතයේ මිනිසා සිතු ආකාරය හඳුනාගැනීම ය.
සාම්ප‍්‍රදායික කලා ක‍්‍රම උත්පාදනයට බලපෑ ප‍්‍රවීණත්ව කුසලතා විමසන විට ප‍්‍රධාන සීමාවන් කීපයක් හමු වේ. ඒ අතර දැනුවත්භාවය හා සම්මුතික විවිධත්වය පිළිබඳ (Acceptance of Differences) පිළිබ`ද අවබෝධය ඉතා වැදගත් වේ. විශේෂයෙන් ඒ ඒ කාල වකාවනු අනුව යමක් පිළිබඳ පවත්නා සම්මුති වෙනස් වේ. එබැවින් සම්මුතික විවිධත්වය කාලානුරූපව හැදෑරීම නොකොට ඒවායෙහි සැබෑ වටිනාකම් හඳුනාගත නොහැකිය. එසේ ම ඒ ඒ වකවානුවල නිර්මාණ ශිල්පීන්ගේ ස්වයං දැනුවත්භාවය (Self-awareness) මත ද නිර්මාණ අගයන් වෙනස් වේ. යාතුකර්මයක කි‍්‍රයාදාම ඒ ඒ ඇදුරාගේ ස්වයං දැනුවත්භාවය මත වෙනස් වේ.  අනෙක් අතින් එ් එ් කාලවකවානුවල ශිල්පියාගේ කුසලතා අනුවර්තනයට ද භාජන වේ. එම අනුවර්තනය ද විවිධත්වය ද අතිශයින් ගතික කි‍්‍රයාවලියකි.
සාම්ප‍්‍රදායික කලාවන් හෝ නිර්මාණ ශිල්පීන් බොහෝ විට වර්තමාන අධ්‍යයන අතරට එකතු වන්නේ එ්කාකෘතික (Stereotype) අයුරිනි. කණ්ඩායම් නිර්මාණ සාමාන්‍යකරණය කිරීම එ මඟින් සිදු විය. එනම් යාතුකර්ම ගුරු කුල තුළ විවිධතා පැවතුණි ද බොහෝ අර්ථ විග‍්‍රහයන් දැක්වෙන්නේ එම සියලූ ගුරුකුල සාමාන්‍යකරණය කරමිනි. අනෙක් අතට එකී විග‍්‍රහ ඉදිරියට පමුණුවන්නේ ද ධනාත්මක හා ඍණාත්මක වශයෙනි. සාම්ප‍්‍රදායික මතධාරීන්ට අනුව මෙලෙස ධනාත්මක හා ඍණාත්මක වශයෙන් ප‍්‍රධාන වර්ගීකරණ දෙකකින් දැක්වීම එම කලාවන්හි යථාර්ථය වසන් වීමට හේතු වේ.
සාම්ප‍්‍රදායික කලාවන් සම්බන්ධ වත්මන් සමාජයේ පවත්නා පූර්ව විනිශ්චයන් හානිකර විනිශ්චයන් ලෙස සමාජ භාවිතාය තුළ පැවති. එ්වායෙහි නිවැරැදිතා අපට නැවත අධ්‍යයනයෙන් හඳුනාගැනීමට සිදු වේ. එනම් ‘මිථ්‍යාවට වහල්වීම’, ‘මිථ්‍යාව නොවටිනා දෙයකි’, ‘පුරාණය සාම්ප‍්‍රදායිකය’, ‘ගතානුගතිකය’, ‘ගැමි කලාවන් නූතන නාට්‍යයට තරම් නො වේ’. ආදී වශයෙන් ඇති පූර්ව විනිශ්චයන් පශ්චාත් අධ්‍යයනයට හසු කළ යුතු ව ඇත.  
ඉපැරණි පුරාණෝක්ති ප‍්‍රමුඛ කලාවන් හි සාර්වති‍්‍රක ගුණය (Ubiquitous) වැඩිය. සමාන වූ කි‍්‍රයා ලෝකයේ සියලූ ම සංස්කෘතීන්ගේ ම සිදු ව ඇති බව එ්වා තුළින් පැහැදිලි වේ. එ්වායෙහි අරමුණු සමාන වන අතර, ඒ සඳහා භාවිත කි‍්‍රයාමාර්ග පමණක් වෙනස් වේ. එබැවින් සාම්ප‍්‍රදායික කලා අධ්‍යයනයන්හි පදනම විශ්වීය වන්නේ ය. ඒ ඒ  රටවල සම්ප‍්‍රදායන්  තුලනාත්මක ව ගෙන හැදෑරීමෙන් බොහෝ නිර්මාණ ප‍්‍රවේශ හඳුනාගත හැකි වේ. 
  
සංස්කෘතිය හා ස්වභාව ධර්මය අතර සම්බන්ධතාවන්ගෙන් නිර්මාණාත්මක මානව ප‍්‍රකාශන හටගනී. එ් අනුව එක සංස්කෘතියක වටිනාකම්වලට වඩා අන්තර් සංස්කෘතික වටිනාකම් බලසම්පන්න වේ.  විශේෂයෙන් මනෝ විද්‍යාව බිහිවන්නටත් පෙර නූතන මනෝ විද්‍යාවටත් හසු නොවන පරා මනෝවිද්‍යාත්මක (Parapsychology) සංකල්ප හා න්‍යාය ධර්මයන්හි සිට කලාකරුවා කටයුතු කළ ආකාරය සම්ප‍්‍රදායික කලාවන් ඔස්සේ වටහා ගත හැකි ය. පරචිත්තඥානය (Telepathy) ඔස්සේ අන්‍ය මනසක්, කියැවීම යනාදියට තිබූ හැකියාව පැරණි සමාජ තුළ පැවැති කලාවන්ගෙන් දැකිය හැකිය. සාමාන්‍ය දැනුමට එහා ගිය ඉදිරි සිදුවීම් දැකීමේ දිවැස් (Clairvoyance) හැකියාව හා සිතෙහි බලයෙන් දුර ඇති වස්තූන් සෙලවීමේ හැකියාව (Telekinesis) වැනි දේ සාම්ප‍්‍රදායික යාතුකර්ම හා වෙස්මුහුණු විෂය තුළ දැකිය හැකියි. එබැවින් සාම්ප‍්‍රදායික දේ හුදු කලා ශිල්ප ක‍්‍රම පමණක් නොවන බව ද වටහා ගත යුතු ව ඇත.
බොහෝ සාම්ප‍්‍රදායික උගතුන්ගේ සාම්ප‍්‍රදායික විශ්ලේෂණයන් ආටෝප විද්‍යාත්මකය. කලා ක‍්‍රමයන් හි පවත්නා ගැඹුරු මනෝ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක හෝ සන්නිවේදන විද්‍යාත්මක තත්ත්ව අපේ දේ, රැකගත යුතු දේ, ලෙස ලගු කොට ඒවා සමඟ ජිවත් වූ ගුරු ඇදුරන්ගේ ගුණ වර්ණනා කරමින් ඔවුන්ගේ දේ භාවිත කිරීම හැරුණු කොට මේවායෙහි විද්‍යාත්මක පදනම් අධ්‍යයනය නොකිරීම පර්යේෂණ ක්ෂේත‍්‍රයේ ඇති බරපතළ තත්ත්වයකි.  
පුරාණෝක්තිගත ජන නාට්‍ය සම්ප‍්‍රදායට නූතන වේදිකාවට ආරාධනා කරනු වස් නිර්මාණ කෙරෙන ”මහසමයම” වේදිකා නාට්‍යය ශී‍්‍ර ලාංකේය නාට්‍ය වංශයට අලූත් පරිච්ෙඡ්දයක් එකතු කරනු ඇත. විශේෂයෙන් දේශීය පූජාකර්ම වන ශාන්ති කර්ම හා යාතුකර්මවල එන නාට්‍ය ලක්ෂණ මෙම නාට්‍ය තුළ පර්යේෂණාත්මක ව භාවිත කෙරේ. ඊට අමතර ව ඉන්දියානු මිථ්‍යාලෝකයේ පුරාවෘත ආභාසයන් ද අන්තර් සංස්කෘතික විඥාන සම්බන්ධතා විෂය කර ගැනීම මෙහි දී සිදු කෙරුණි. මානව හා මනෝවිද්‍යාත්මක, ආධ්‍යාත්මික හා භූතාපසරණ ප‍්‍රවේශයන් ඔස්සේ  නාට්‍ය තුළ ”වෙස්මුහුණු” භාවිත වන අතර, නූතන වේදිකාවට නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ලෙස වඩාත් අවධානය යොමු කොට නාට්‍යමය ලෙස භාවිත කෙරේ.
මහසමයම නාට්‍යයේ දී ඉන්දීය පුරාණෝක්ති අතර ප‍්‍රධාන ව එන බ‍්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර ති‍්‍රමුර්තිය හා බැඳුණු විශ්වයේ උපත පිළිබඳ ව පුවත පාදක කර ගැනීමෙන් අග්නිදිග ආසියානු අතීත ජනයාගේ චින්තන දහරාවන් හා ඒවා අපට බලපෑ ආකාරයත් නිර්මාණාත්මක ප‍්‍රවේශයන් ඔස්සේ විශ්වය හා මානව සම්බන්ධතා විශ්ලේෂණය කළ ආකාරයත් පිළිබඳ නිරීක්ෂණයක නිරත වේ. අනතුරු ව විදේශීය මිථ්‍යාවන් හා බලවේග අපගේ ආධ්‍යාත්මයන් යටත්විජිතකරණයට හසුකරණ ආකාරයත් එ් තුළ බලය කි‍්‍රයාත්මක වන ආකාරයත් ප‍්‍රශ්න කෙරේ.  අද අප මුහුණ දෙන සමාජ දේශපාලනික, සංස්කෘතික ප‍්‍රශ්න විසඳා ගැනීමට හෝ වටහා ගැනීමට අවශ්‍ය විශාල තීක්ෂණ බුද්ධිය ගොඩනඟා ගන්නේ කෙසේ ද ? අපට බලපෑම් කරන ආධ්‍යාත්මය අප විසින් ම පෙරළා දැමීමට උත්සාහ කළ යුතු නොවේ ද ? යනාදිය මෙම ප‍්‍රස්තුතයට හසු වේ.
මහාචාර්ය ආරියරත්න ඇතුගල

0 comments:

Post a Comment