----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

Saturday, January 26, 2013


හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගොළු හදවත” සිනමා පටයේ සුගත් ගේ චරිතය රඟපෑමෙන් අතිශය ජනපි‍්‍රය වූ වික්‍රම බෝගොඩ පසුගියදා (14) සිය ජීවිතයෙන් ද සමුගත්තේය.
ඔහු ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ යන තුන් ඈඳුතු චිත්‍රපටිවල තිස්ස කයිසාරුවත්ත නමැති චරිතයට බාල, තරුණ, මහලු යන අවස්ථාවලදී රංගනයෙන් දායකත්වය සැපයුවේය. ඊට අමතරව අහස් ගව්ව, ‘බිනරමලී’, කලණ මිතුරෝ ඇතුළු චිත්‍රපට 19 ක පමණ ද ‘නැට්ටුක්කාරී’, ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’, ‘තුරග සන්නිය’, ‘වගුරු බිම’, ‘ජේලර් උන්නැහේ’, ‘කැලණි පාලම’ වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය.
’ගොළු හදවත’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී තරුණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් සුගත් (වික්‍රම බෝගොඩ) පාරක තොටක තනිව ඇවිද යන්නට නොහැකි තරමේ ජනපි‍්‍රයත්වයකට හිමිකම් පෑවේය.
’ගොළු හදවත’ තිරගත වී වසරක් වත් ගෙවී නැති එක් දිනක මම ඔහුගේ නිවෙසට ගියෙමි. ඔහු සතුව වී කොටන මෝලක් විය. ගමේ මිනිසුන් විසින් රැගෙන ආ වී, මෝලට දමා කොටමින් සිටී. එදින සේවකයෝ නිවාඩු ගොස් සිටියහ.
මම ඔහුගෙන් මෙසේ අසමි. “පාරට බහින්නත් බැරිව ඉන්න ජනපි‍්‍රයත්වයේ හිණි පෙත්තටම ගිය සුගත් මොකද මේ වී කොටන්නේ” සුගත් මගෙන් මෙසේ ඇසීය. “ඇයි මං වී කෙටුවොත් කෙටෙන් නැද්ද? මේක මගේ. සේවකයෝ නැහැයි කියලා මං මේක නොකර හිටියොත් මේ වී අරන් ඇවිල්ලා ඉන්න මිනිස්සු අතරමං වෙනවා. අපි කවුරුත් මිනිස්සුනෙ.” ඒ වික්‍රම බෝගොඩගේ හැටිය. ගමේ මිනිසුන් සමඟ එකතු වී කෘෂිකර්මය දියුණු කරන්නට අප්‍රමාණ වෙහෙසක් දැරූ වික්‍රම බෝගොඩ ලංකා බැංකුවේ ඉහළ නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.
1972 වර්ෂයේ මා නිර්මාණය කළ “අන්තිම දා” කෙටි චිත්‍රපටයේ දේවිකා කරුණාරත්න සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ වික්‍රම බෝගොඩ රූපගත කළ දිනයේ පෙරවරු 10.30 ට පසු දර්ශන තලයේ දකින්නට නොසිටියේය. කටුනායක ගුවන් තොටුපළේ ලංකා බැංකු ශාඛාවේ ප්‍රධානියා වූ ඔහු මධ්‍යහ්න 12.00 ට පෙර එහි සිටිය යුතු බව මා සමඟ කලින් පවසා තිබුණි. ඒ ප්‍රථම වරට ජම්බෝ ජෙට් ගුවන් යානය කටුනායකට සම්ප්‍රාප්ත වීමත් එහි පැමිණෙන මගීන්ගේ මුදල් කටයුතු පිළිබඳ වගකිව යුතු නිලධාරියා ඔහු වූ බැවිනි.
ඔහුගේ රූපගත කිරීම් සියල්ල අවසන් වී තිබුණි. එහි යාම සඳහා වාහන පහසුකම් මා සලසන බවට පොරොන්දු වී සිටිය ද මගේ කෙටි චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් ඒ වෙනුවෙන් වැය වනවාට ඔහු අකැමැත්තෙන් සිටියෙන් ඔහු තම වියදමින් කුලී රථයක් ගෙන්වා ගෙන පන්නිපිටියේ සිට කටුනායක දක්වා පිටත්ව ගිය බව මෙම කෙටි චිත්‍රපටයේ රඟපෑ සිරිල් වික්‍රමගේගෙන් දැන ගන්නට ලැබිණි.
මෙම “අන්තිම දා” කෙටි චිත්‍රපටය සඳහා 1972 වර්ෂයේ චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයෙන් හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. ඉන් පසු මා හමුවන්නට පැමිණි වික්‍රම බෝගොඩ “සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයාණෙනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්” කියමින් මා වැලඳ ගත්තේය. ඔහුගේ ගමන් වියදම් වෙනුවෙන් මුදල් ලබා දුන්නද ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඒ වික්‍රම බෝගොඩගේ හැටිය.
මගේ “සුහද ප්‍රාර්ථනා” ටෙලි නිර්මාණයට සහභාගී කරවා ගැනීම සඳහා වරක් මම ඔහු වෙත ගියෙමි. මගේ බලවත් පෙරැත්තය මත එහි රංගනය සඳහා ඔහු දායක වූ අතර එය ඔහුගේ අවසාන රංගනය වන බව මම ද දැන නොසිටියෙමි.
මාධ්‍යවේදීහු ඔහු ගැන ලියන්නට සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි කරවාගන්ට ඔහුව සම්බන්ධ කර දෙන ලෙස වරින්වර මාගෙන් ඉල්ලීම් කරති. මම ඔහුගේ නිවෙසට ගොස් ඒවාට සහභාගී වී මෙම සුන්දර කලා කෙතට නැවත අවතීර්ණ වන මෙන් බැගෑපත් ලෙස ආයාචනය කරමි.
”ඕන නැහැ මචං මම මැරුණු දවසක මං ගැන ලියන්න කියපන්. මේ හුදකලාව මට හොඳයි.”
ආදරණීය බෝගොඩ! ඔබට නිවන් සැප ලැබේවායි දැන්ම ප්‍රාර්ථනය කළ නොහැකිය. මතු භවයේත් අප අතර ඉපිද රංගන ශිල්පියකු ලෙස පෙර මෙන්ම අප හා එක් වන ලෙස මම ප්‍රාර්ථනය කරමි.

0 comments:

Post a Comment