----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

Saturday, January 26, 2013


ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

- කීර්ති පැස්කුවල්
අපේ සංගීත ක්ෂේත්‍රයේ ළයාන්විතයා වන කීර්ති පැස්කුවල් සිය උපන් දිනය යෙදෙන සෑම ජනවාරි 29 වැනිදාවකදී ම සංගීතයට සම්බන්ධ කිසියම් සමාජ සද්කාරයක නියැළෙයි. ලබන 29 වැනිදා ද සමාජ සද්කාරයක් ලෙස කීර්ති “නිල් ආකාසේ” නමින් ළමා ගීත ඇල්බමයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි ඔහුට ආරාධනා කරමු.
නිල් ආකාසේ සඳ පායලා
රන් තැටියක් වාගෙ දිලෙනවා

දිදි දිලි නිවෙනවා
නිවි නිවි දිලෙනවා
රන්තරු රෑ අහසෙ බැබලෙනවා...!

 
(පද - උපුල් පෙරේරා)
“මම මගේ හැම උපන් දිනයකදී ම සංගීතය හා සම්බන්ධව සමාජයට සද්කාරයක් කරනවා. උදාහරණයකට සුනාමිය සිදු වූ අවස්ථාවේ දී අවතැන් වූවන් වෙනුවෙන් ගීත ප්‍රසංගයක් පැවැත්වූවා හා සමානව. මෙවර අපේ ළමා පරපුර වෙනුවෙන් ළමා ගීත එකතුවක් කරන්න ඕනෑ කියා හිතුණා. ‘නිල් ආකාසේ’ නමින් ලබන වැනිදා සවස මගේ මේ ළමා ගීත ඇල්බමය කෝට්ටේ පාගොඩ පාරේ ආනන්ද බාලිකා මාවතේ පිහිටි ශ්‍රී වජිර ළමා නිවාසයේ දී මවුපියන් අහිමි දරුවන් එකසිය විස්සක් ඉදිරියේ දී එළිදක්වනවා.”
ඔබේ ළමා ගීත එකතුව සමාජ සද්කාරයක් වෙන්නේ කෙසේ ද...?
වර්තමාන ළමා පරපුරට අහන්න ගයන්න ඔවුන්ට දැනෙන සුදුසු ළමා ගීත නැහැ. අද ළමයින් අහන්නේ ගයන්නේ වැඩිහිටියන්ගේ ගීත. ඒ නිසා ළමා මනසට උචිත ගී සංකල්පනා මෙන්ම ඔවුන්ට ගයන්න පුළුවන් තනු නිර්මාණ සහිත ළමා ගීත ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඉදිරිපත් කිරීම සමාජ සද්කාරයක් කියා මං විශ්වාස කරනවා. මෙවැනි ළමා ගීත ඇල්බමයකින් ආර්ථික වාසි බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් අපේ ළමා පරපුර වෙනුවෙන් මෙවැනි නිර්මාණ කර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මා මගේ පළමු ගීත කැසට් පටයේත් ළමා ගීතයක් ඇතුළත් කළා. ඉන්පසු සමබරතාව රැක ගනිමින් මගේ හැම ගීත කැසට් පටයකදී ම ළමා ගීතයක් බැගින් ඇතුළත් කළා. අද ළමයින් වෙනුවෙන් ළමා ගී නිර්මාණ වීම අවම මට්ටමක පවතින නිසා ම මට හිතුණා මෙවැනි ගීත තැටියක් ම කළ යුතුයි කියලා. මෙහි මගෙන් ගායනය හා වාදනය හදාරන ළමා ගායක ගායිකාවන් සමඟ මා ගැයූ ළමා ගී දාහතක් ඇතුළත් වෙනවා.”
ඔබේ දියණියන් දෙදෙනා සමඟ ගයන ගීතයකුත් මේ ගීත එකතුවේ ඇතුළත් වෙනවා නේද...?
ඔව්. මගේ නටාලියා සහ චාරුණි දියණියන් සමඟ මා ගයන ‘දුවේ බලන්නකෝ’ ගීතයත් මෙහි ඇතුළත් වෙනවා. තරු මල් ඇතුළු පරිසරය, සෞන්දර්ය, මවුපිය සෙනෙහස තේමා කරගෙන ආදර්ශයක් පණිවිඩයක් ගෙන දීමට හැකි ලෙස තමයි සියලුම ගී නිර්මාණය කර තියෙන්නේ. බහ තෝරන වයස අවුරුදු තුනේ සිට නවය, දහය අතර ළමයින්ගේ රසවින්දනය පිණිස මෙම ගීත යොමු කිරීම වැදගත් සද්කාරයක් වේවි. ඉදිරියේදී මෙම ගීත සඳහා රූප රචනා කර ඩී වී ඩී එළිදැක්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. මොකද කලකට ඉහත මා කාටූන් සහිතව ඉදිරිපත් කළ පැරැණි ළමා ගී එකතුව සාර්ථක වූ නිසා මෙම ගීතත් රූප රචනා සමඟ ඉදිරිපත් කළොත් ළමයින් අතර වැඩි භාවිතයක් වෙයි.
ඔබේ උපන් දිනය දා තවත් සමාජ සද්කාරයක් සිදු කෙරෙනවා නේද...?
හැම වසරකම මා නිකුත් කරන ‘ඉධදඪජ දුරකථන නාමාවලිය’ ඇතුළත් දිනපොතත් එදින ශ්‍රී වජිර ළමා නිවෙසේදී ම එළිදක්වනවා. අපේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂ, වාදන, ගායන, ගී පද රචක, ශබ්ද පරිපාලන, නිවේදන, ගුවන් විදුලි, රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍ය ආදි සියලුම අංශ නියෝජනය වන පරිදි සහෘද කලාකරුවන් සහ කලාකාරිනියන්ගේ දුරකථන අංක මෙම පොතට ඇතුළත් කර තිබෙන හෙයින් බොහෝ පිරිසකට මෙය ප්‍රයෝජනවත් වී ඇති බව අහන්න ලැබෙනවා. ඒ පිළිබඳ මා නිහතමානීව සතුටු වෙනවා. මා පෝෂණය කරන කලා ක්ෂේත්‍රයට මගෙන් සිදු කෙරෙන ඉතාම සුළු මෙහෙවරක් ලෙස මෙම දුරකථන නාමාවලිය හා දිනපොත නිකුත් කිරීම මම ඉතා කැමැත්තෙන් හා කැපවීමෙන් දිගට ම කරගෙන යනවා.
ඔබ අවුරුදු හතරක් ම විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ‘ඩ්‍රීම් ස්ටාර්’ වැඩ සටහන ගැනත් කතා කරමු.
අවුරුදු හතරක් ම එක දිගට ම ලංකාවේ මෙවැනි රියැලිටි වැඩ සටහනක විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත්තේ මා පමණක් ම විය යුතුයි. ‘ඩ්‍රීම් ස්ටාර්ස්’ වැඩ සටහන ඊට සහභාගි වූ නවක ගායක ගායිකාවන් සමඟ ඔවුන්ගේ සිනා කඳුළු අතරමැද සංවේදී වූත් ආස්වාදනීය වූත් වැඩ සටහනක් වූ බවයි මගේ හැඟීම. ඒ වගේ ම මෙමඟින් නව පරපුරට තමන්ගේ හැකියාව උරගා බලන්න අවස්ථා ලැබීම මම අගය කරනවා.
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඔබ දකින්නේ කොහොම ද?
අද නව ආරක ගීත රැල්ලක් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. එමෙන්ම ආදායම අධික නිසා ඇතැම් පිරිස් එවැනි ගී නිර්මාණය කරනවා. විශේෂයෙන් මෙම රැල්ලේ ගීත ‘රිංගින් ටෝන්ස්’ සමඟ සීමා සහිත කාලයක් පවතිනවා. ඉන්පසු නෑසී යනවා. හොර ගී තැටි වෙළෙදුන් නිසා නිෂ්පාදකයින් ගී තැටි නිෂ්පාදන නවත්තලා. නිසි ක්‍රමවේදයක් නැති නිසා හොර ගී තැටි වෙළෙඳුන් මෙල්ල කරන්න බැරිවෙලා තියෙනවා තවමත්. ඒත් කලාකරුවෙකු ලෙස මා යම් තාක් දුරට කරගෙන යනවා මගේ ගී නිර්මාණ කටයුතු දිගට ම. රස තියෙන දේ රසික රසිකාවියන් කොහේ තිබුණත් සොයා තෝරා බේරා ගන්නවා කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මොන බාධක ආවත් මගේ නිර්මාණ කටයුතු නොකඩවා ම කරගෙන යන්න මං තීරණය කරගෙන ඉන්නවා.
ඔබේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයට මොකද වුණේ...?
දැන් දෙවරක්ම මගේ ප්‍රසංගය කල් දාන්න වුණා. එයට විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ - මගේ රුචිකත්වය පිළිබඳ හේතුවක්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මගේ ප්‍රසංගය පවත්වන්න තමයි මගේ වැඩි රුචිකත්වය තියෙන්නේ. මට හුරු පුරුදු බවක් දැනෙනවා එහි ප්‍රසංගයක් පවත්වද්දී. ඉතින් එහි අලුත්වැඩියා කටයුතු කරගෙන යාම නිසා තමයි මගේ ප්‍රසංගය කල් දාන්න වුණේ. ඒත් මේ අවුරුද්දේ අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගය මම පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියක් එළිදක්වනවා. දැනට එහි ගීත අටක නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඉන් ‘රෑ අහස පුරා’ (පාතිමා) සහ ‘පිබිදෙන්න වෙර දරන තාරකා’ යන ගීත දෙක මේ දිනවල විද්‍යුත් මාධ්‍යවලට ප්‍රචාරක කටයුතු කිරීම පිණිස බාර දී තිබෙනවා.

0 comments:

Post a Comment