----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා

Wednesday, January 2, 2013


‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා

‘ප්‍රතිරූ’ නිෂ්පාදක වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල
නවක නිෂ්පාදකවරයකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල මේ දිනවල තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයායි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. තිරකතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස කලා ලොව නමක් දිනු වෛද්‍ය යකන්දාවල බොහෝ කාලයක සිට මාධ්‍ය, කලාව තුළ නියැළෙන්නෙකි. තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටය පිළිබඳවත් වෛද්‍ය යකන්දාවල ගේ කලා නිර්මාණ දිවිය පිළිබඳවත් සැකසෙන මේ කතා බහ ඒ වෙනුවෙනි.
* ‘ප්‍රතිරූ’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඔබ අදහස් කළේ ඇයි?
මේ චිත්‍රපටයේ නිර්මාපකයා මගේ ඥාතියෙක්. ඥාතිත්වය ඉක්මවා ගිය මිත්‍රත්වයක් අප අතර තිබෙනවා. කාලයක් තිස්සේ ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කපිල සූරියආරච්චිත් මමත් සාකච්ඡා කළා චිත්‍රපටයක් නිර්මාණය කරන්න.
ඒ අනුව අපි තිර රචනා කීපයක්ම බැලුවා. ඒත් එක්කම කපිලම ලියු ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ තිර රචනාවත් අපි කියෙව්වා.
ඒ තිර රචනය බලන කොට මට හිතුණා මේ තුළ යම්කිසි වටිනාකමක් තිබෙනවා. ඒ නිසා එය නිර්මාණය කරන්න ඕන කියලා. ඒ අනුව තමයි ‘ප්‍රතිරූ’ නිෂ්පාදනයට මම දායක වන්නේ.
* ඔබ කලාව, මාධ්‍ය සමඟ ඉතාම කිට්ටුවන්තයි ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මම වෘත්තිය වෛද්‍යවරයෙක්. නමුත් මම මාධ්‍යයට හුඟාක් කිට්ටුයි. මොකද මම වසර 15 ක් පමණ වැඩ කළේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ. ඒ ඔස්සේ විවිධ ලෙඩ රෝග ගැන ජනතාව දැනුම්වත් කරන්න මම විවිධ නිර්මාණ කළා.
ඒ නිර්මාණත් එක්ක මම මාධ්‍යයට සම්බන්ධ වුණා. ඒ ඇසුර නිසාම මම 2000 වසරේ දී ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව කළා. එය මගේ වෘත්තිය ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් වුණා. ඒත් එක්කම මම මාධ්‍ය හරහා හුඟාක් දේ සමාජයට ලබා දෙන්න කටයුතු කළා.
තිර රචනා, සංස්කරණය වැනි දේ දැන සිටි නිසාම කලාවට යොමු වුණා. ටෙලි නාට්‍ය දෙකක් නිර්මාණය කළා. ‘සුන්දරයි පේ‍්‍රමය’ කියන ටෙලි නාට්‍යය කොටස් 86 කින් යුතුව සිරස ටී. වී. එකෙන් විකාශය වුණා. හුඟාක් හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබුණා. මා නිර්මාණය කළ දෙවන ටෙලි නාට්‍යයට ඉතාම අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.
* වර්තමානයේ නිෂ්පාදකවරයෙක් විදිහට කලා ක්ෂේත්‍රයට පිවිසීම අවදානම් බව ඔබට සිතුණේ නැද්ද?
චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට වර්තමානයේ මුදල් යොදවන එක තමයි ලෝකෙ තිබෙන අවදානම්ම වැඩේ. විශේෂයෙන් ලංකාව වගේ රටක. මොකද අපි දන්නෙ නැහැ මෙයට සල්ලි යෙදෙව්වට පස්සේ ඒ වියදම් කළ මුදල නැවත ලැබෙයි ද කියලා.
අපි සල්ලිකාරයො නෙමෙයි. නමුත් අපි උපයපු දේවල් අපේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරල තිබුණු දේවල් තමයි මෙයට යෙදෙව්වේ. ඒ අවදානම ගත්තේ කලා නිර්මාණයක් කිරීමට තිබෙන කැමැත්ත, කලාවට තිබෙන ආදරය, ගෞරවය නිසා.
ඇත්තටම ඒ නිර්මාණය කරන කොට මම මුදල් යෙදෙව්වේ මුදල් ඉපැයීමේ චේතනාවෙන් නෙමෙයි. දැන් අවුරුදු පහකට වැඩිය නිර්මාණයක් කරලා පෝලිමේ තිබෙනවා. ඒ නිර්මාණයට යොදවපු මුදල මට කවදාවත් ඒ හරහා යළි උපයන්න ලැබෙන්නේ නැහැ.
හුඟාක් වේලාවට නිෂ්පාදකයා කියන කෙනා දිහා මිනිස්සු බලන්නේ මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් මුදල් යොදවන්නෙක් ලෙසයි. මම එයට විරුද්ධයි. මම හිතන්නේ නිෂ්පාදකවරයා කියන්නෙත් කලාකරුවෙක්.
දැන් බලන්න අපේ රටේ ඉන්න ලොකු ලොකු සල්ලි කාරයො චිත්‍රපට හදන්නෙ නැහැනෙ. කලාවට යම්කිසි කැමැත්තක් තිබෙන කෙනෙක් තමයි ටෙලි නාට්‍යයකට හෝ වෙනත් කලා නිර්මාණයකට මුදල් යොදවන්නේ. එහෙම නැතිනම් නිකම්ම පුද්ගලයෙක් කරන්නේ නැහැ. ඒ නිසා මම හිතනව නිෂ්පාදකයා කියන පුද්ගලයන් කලාකරුවන් ගොන්නට එක්කාසු විය යුතුයි කියලා.
* ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඔබට හිතෙන්නේ කුමක් ද?
මේ චිත්‍රපටය නරඹපු ඕනැම කෙනෙකුට පෙනෙන දෙයක්තමයි තමන්ගේ මවට සහ මව්බිමට කොපමණ වටිනාකමක් මෙහි අන්තර්ගත කර තිබෙනවා ද කියන කරුණ. ඒ වගේම සොල්දාදුවා ගැන කවුරුත් කතා නොකරන වේලාවක මේ චිත්‍රපටය ඔස්සේ සොල්දාදුවා ඉතාම ඉහළ තැනකට රැගෙන තිබෙනවා.
මේ චිත්‍රපටය පවුලේ සැමට එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. දරුවන්ට පෙන්විය යුතුම චිත්‍රපටයක්. තම පවුලේ වටිනාකම, මවගේ වටිනාකම ඒ අතර තිබෙන සම්බන්ධ මේ ඔස්සේ මනාව සියුම්ව විග්‍රහ කරනවා. මම දකින විදිහට මේ චිත්‍රපටය තුළ හැම කෙනෙකුගෙම අම්මා ඉන්නවා.
සමහර අවස්ථාවල චිත්‍රපටයේ අවසානය වෙන කොට අපිට පේ‍්‍රක්ෂකාගාරයෙන් ඇහෙන්නේ ඉකි ගහන හඬ. අඬන හඬ. ඒ අඬන්නේ වෙන මුකුත් නිසා නොවෙයි තමන්ගේ අම්මා මේ චිත්‍රපටයේ අන්තර්ගතයේ ඉන්න නිසා.
ඇය කොතන හරි තැනක ඉන්නවා. මං දකිනවා මගේ අම්මා ඒ චිත්‍රපටයේ බොහෝ තැන්වල ඉන්නවා. මගේ අම්මගේ තිබුණු ගතිගුණ. අම්මා මං වෙනුවෙන් මං එනකල් බලාගෙන ඉන්න හැටි ඒ විදිහටම මේ චිත්‍රපටය තුළ තිබෙනවා. මෙය මට විතරක් නෙමෙයි බලන හැම කෙනාටම තමන්ගේ මවගේ ගති පැවතුම් මතක් කර දෙන චිත්‍රපටයක්.

0 comments:

Post a Comment