----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ශිල්පියකුට ලැබෙන ඇගැයීම

Tuesday, February 22, 2011

මැටි කරත්තයේ ජයන්ත මුතුතන්ත්‍රි සහ කලම්බො-කලම්බෝ- අනසුයා සුබසිංහ

මේ ගමනේ මුල කොතැනද?

හම්බන්තොට බරවාකුඹුක ගමේ ඉපදිලා, ගම් මටටමේ නාට්‍ය කළා. කොළඹට ආවට පස්සේ ජන කරලියට සම්බන්ධ වුණා. චරන්දාස් සම්මාන ලැබීම, ‘බිංදු’ චිත්‍රපටයට සම්බන්ධ වීම කියන ගමන මැටි කරත්තය දක්වා ඉදිරියට ආවා.

ජන කරළියට සම්බන්ධවීමත් සමඟම හමු වන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු දැනමුතුකම් හා ක්ෂේත්‍රය ගැන කරන හැදෑරීම එක්ක තමයි මේ ගමන එන්නේ.

නළුකම එදා සහ අද පේන්නේ මොන විදිහටද?

ගම්වල කොල්ලො හැටියට නළුවා හා නිළිය කියන්නේ සුපිරි චරිත හැටියටයි අපි දැක්කේ. නමුත් අපි රඟපෑමට ආවට පස්සේ නළුවාට එහා ගිය රංගන කාර්ය කරන ශිල්පියා එහෙමත් නැත්නම් රංගන ශිල්පියාවීමයි අවශ්‍ය වෙන්නේ. කියන දේ අත්දැකීම් ඇසුරෙන් අවබෝධ කර ගන්නවා කිව්වොත් හරි.

වේදිකාව සජීවි කලාවක් නිසා ප්‍රේක්ෂකයා හා රංගන ශිල්පියා අතර බොරුවකට ඉඩක් නෑ. මේ නිසාම රංගනය කියන්නේ ඇඳුම් ආයිත්තම් අභ්‍යාසය කියන දේවල්වලට එහා ගිය නිරන්තරයෙන් ගවේෂණය කළ යුතු දැනුම්වත්ව සිටිය යුතු දෙයක් බවට පත් වෙනවා.

හොඳම නළුවා ලෙස ඔබ ලද සම්මානය ගැන ඔබේ හැඟීම?

හොඳම නළුවා සම්මානය ප්‍රධාන නළුවාට හම්බ වෙනවාය කියන අදහසක් තමයි මටත් තිබුණේ. ඒ නිසා උප ප්‍රධාන චරිතයක් රඟපාපු මම වසරේ ප්‍රශස්ත නළුවා සම්මානය හිමි වේවිය කියලා කොහෙත්ම බලාපොරොත්තු වුණේ නෑ.

මෙවර ප්‍රධාන චරිතයක් රඟපාපු ශිල්පියෙක් තෝරා ගැනීම වෙනුවට ප්‍රශස්ත රංගනය සඳහා සම්මාන පිරිනැමීම සිදු වී තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්. හේතුව ඉතා කෙටි නමුත් ප්‍රශස්ත රංගනයක් ඉදිරිපත් කළ හැකි ඕනෑම දක්ෂයෙකුට මේ අවස්ථාව උදා කර ගන්න පුළුවන්ය කියන සංඥාව මේකෙන් ලැබෙනවා.

සම්මානයක් කියන්නේ වැඩේ හොඳට කළාය කියන එකනෙ. මම වගේ කෙනෙකුට නම් මේ සම්මානය ටිකක් බර වැඩියි. බරපතළයි. මම කවුද, ඉදිරියට කරන්න ඕන මොනවාද, මාව මේ සම්මානය සඳහා තවදුරටත් සුදුස්සෙක් හැටියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණා ගැන හිතන්න මාව පොළඹවන්න මේ සම්මානය හේතු වෙනවා.

ඒ වගේම අද ජීවතුන් අතර නැතත් මගේ තාත්තා, ඒ වාගේම අම්මා, සහෝදර සහෝදරියන් අපේ මුරණ්ඩුකම් ඉවසමින් දක්වපු සහයෝගය නිසා තමයි මේ ගමන එන්න මට ලැබුණේ. ඒ හැමෝටම මේ වෙලාවේ මගේ් හෘදයංගම ස්තූ®තිය පුද කරන්නත් කැමැතියි.

*********************************************************************************

ඔබේ වේදිකා නාට්‍ය පසුබිම මොන වගේද?

මම ඉංග්‍රිසි වේදිකාවත් එක්ක හිටපු කෙනෙක්. පියල් කාරියවසම් තමයි මාව සිංහල වේදිකාවට ගෙනාවේ. මා ගැන කිසිම දෙයක් නොදැන මගේ රඟපෑමක් නොදැක මාව ඔහුගේ වේදිකා නිර්මාණයකට දායක කර ගත්තු නිසා ඔහු ගත්ත ඒ අවධානම නිසා තමයි අද මට සිංහල වේදිකාවේ රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ රාජිත දිසානායක හා ඉන්දික ෆර්ඩිනැන්ඩු ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කර ගත්තා.

ඉංග්‍රීසි හා සිංහල වේදිකාව ඔබට පේන්නේ මොන විදිහටද?

අපේ රටේ පොහොසත් ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවක් අතීතයේ තිබුණත් අද වෙන කෙට ඒක බොහොම පුංචි තැනකට සීමා වෙලා. එතැන වැඩ කරන ප්‍රමාණයත් ඉතාම අඩුයි. නමුත් සිංහල වේදිකාවේ තත්ත්වය ඊට වඩා හොඳයි. මෙතැන අත්හදා බැලීම් කරන, අභියෝග භාර ගන්න නාට්‍ය කලාව ගැන පර්යේෂණ හා ඉගෙනීම් කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම සිංහල නාට්‍ය ඉංග්‍රීසි නාට්‍යවලට සාපේක්ෂව රට වටා ගෙනි යන්න, දර්ශන වාර වැඩි ගණනක් පවත්වා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ අවස්ථාව ඉංග්‍රීසි වේදිකාවට නෑ.

මෙවර හොඳම නිළිය වීම ගැන?

නිළියක් හොඳ හෝ හොඳ නැති කියලා බෙදන්න බෑ. කැපවීම, හොඳ පිටපතක්, හොඳ අධ්‍යක්ෂවරයෙක්, හොඳ කණ්ඩායමක් තියෙනවා නම් ඒ ඔක්කොම එකතු වුණ තැන හොඳම නිර්මාණයත්. ඒකට ලැබෙන දායකත්වය මත හොඳම නිළියක් බිහි වෙනවාය කියලයි මම නම් හිතන්නේ. ‘කලම්බෝ කලම්බෝ’ නාට්‍යයේ පෙරහුරුව ප්‍රබලවීම තුළ තමයි මට මේකේ චරිත තුනකට සාර්ථකව පණ පොවන්න පුළුවන් වෙන්නේ.

ඔබ මෙතෙක් දායක වුණු නාට්‍යවලින් මේ නාට්‍ය වෙනස් වෙන්නේ මොන විදිහටද?

ලංකාවේ හැදෙන නාට්‍ය බොහෝමයක් දෙබස්වලට බර තිබ්බ යථාර්ථවාදී නාට්‍ය වෙද්දී ලෝක නාට්‍ය ශාරීරික හැකියාවන් මත බර තියලා භාෂාව අතික්‍රමණය කරන්න උත්සාහ කරමින් ඉන්න පසුබිමක මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයාත් ශිල්පීන් හැටියට අපිත් අර ලෝක ධාරාව අනුගමනය කරන්න උත්සාහ කළා. මේ සාර්ථකත්වයට ඒ උත්සාහයත් බලපෑවා කියලයි මම හිතන්නේ.

රංගන ශිල්පිනියක් හැටියට ඔබ ඔබව පවත්වාගෙන යන්නේ මොන විදිහටද?

මම සම්බන්ධ වෙන නාට්‍යවලට මං හුඟක් ආදරෙයි. පෙර පුහුණුව, රඟපෑම කියන දේවල්වලට පමණක් සීමා නොවී මාව අලුත් කර ගන්න, දැනුම එකතු කර ගන්න නිරන්තරයෙන්ම මම වෙහෙසෙනවා.

ඒක මම කැමැත්තෙන් කරන දෙයක්. අනික තමයි අවසන් පෙර පුහුණුවේදී නාට්‍යයේ තිබිය යුතුය කියලා අධ්‍යක්ෂවරයා තීරණය කරන ටයිමිං ඇතුළු සියල්ලම අකුරටම තිබිය යුතුය කියන එක මමත් තදින්ම පිළිගන්න නිසා ඒ දේ ප්‍රයෝගිකව කරන්නත් මම වෙහෙසෙනවා.

ශිල්පියකුට ලැබෙන ඇගැයීම කියන දේ ඔබ බලන්නේ මොන විදිහටද?

මේ වගේ ඇගැයීමක් ලැබීමෙන් තමන්ට වටිනාකමක් ලැබෙනවා.

ඒකටත් අදාළ අවුරුද්දේ ප්‍රශස්ත තත්ත්වයට පත්වෙන නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලැබීමේ වාසනාව තියෙන්නත් ඕන.

සම්මානය නිසා අපි කෙරෙහි අනිත් අයගේ අවධානය යොමුවීමත් හොඳ දෙයක්. ඒ වගේම දිරි දීමකුත් වෙනවා.

නමුත් සම්මානයක් ලැබුණු පළියට ඒ මත්තෙම කෙනෙකුට පවතින්න බැහැ. මම ඉදිරියටත් වැඩ කරන හා ඒ වෙනුවෙන් කැප වෙන ප්‍රමාණයට තමයි මට නිළියක හැටියට පවතින්න පුළුවන් වෙන්නේ.

0 comments:

Post a Comment