----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

පෙබ.16 වෙනස් කළ හැකිනම්

Friday, February 18, 2011

සිංහල සිනමා ඉතිහාසය සපුරා ලියන්නෙකුට එහි පැසසුම්, ගෞරවය, කීර්තිය ගැන, දින වකවානු සහිතව නොලියාම බැරි බව ඇත්තය. එහි ජීවත් වූ, ජීවත් වන අති ගෞරවාර්ථ නිර්මාණකරුවන්ගේ චරිත පිළිබඳ නොලියාම බැරි බව ඇත්තය.

කොටින්ම එහි ස්වර්ණමය යුගයන් පිළිබඳ ද නොලියාම බැරි බව ඇත්තය. එහෙත් මගේ මතය නම් එම අතීතය ලියන්නෙකුට එය අංග සම්පූර්ණ වන්නට නම් එහි අඳුරු දින වකවානු පිළිබඳව ද ලිවිය යුතු බවය.

ඒ හැම විටම මගේ මතකයේ එබඳු දින දෙකක් පිළිබඳව සිහියට එයි. එයින් එකක් වනුයේ 1983 ජූලි කලබල සමයයි. එයින් කවර වරදකින් හෝ අපේ හොඳම චිත්‍රාගාර දෙක සම්පූර්ණයෙන් විනාශ වූ අතර සිනමා ශාලා රාශියක් සහමුලින් එක රැයින් විනාශ වී ගියේය. එය බරපතළ ඛේදවාචකයක් වූ අඳුරු දිනයක් වූයේය. දෙවැන්න එයින් පස් වසක් ගෙවෙන්නට මත්තෙන් එනම් 1988 පෙබරවාරි 16 වැනිදා සිදු වූයේය. ඒ වූ කලී විජය කුමාරතුංගයන්ගේ ඝාතනයයි. 83 ජූලි කලබල සමයේ වූ විනාශයට වඩා යමක් විජයගේ ඝාතනය නිසා වී යයිි කෙනෙකු තර්කයක් නැගුවහොත් එය පුදුමයක් නොවේ.

83 දී විනාශ වූ බොහොමයක් දෑ එනම් සිනමාව සංස්කෘතික දායාදයක් යන ප්‍රංශ තර්කය සමඟ යම්තාක් දුරට එකඟ වන බැවින් සහමුලින් විනාශ වූ අපේ පැරණි චිත්‍රපට නැවත නිර්මාණය කළ නොහැකි බව ඇත්තය. එහෙත් නොපසුබට උත්සාහයත් දුර දක්නා ඥානයෙන් යුත් පිරිසක් සිනමාව මෙහෙයවීමට සිටියා නම් එකී ඛේදවාචකයට යම් ප්‍රමාණයකට මුහුණ දීමට හැකියාව තිබුණි. එනම් අහිමි වූ බොහෝදේ යළි ගොඩ නගා ගත හැකිව තිබිණ. එහෙත් විජය ඝාතනය එබන්දක් නොවීය. විජය වැන්නකු නැවත ඉපැද විය නොහැක. ගොඩ නැගිය නොහැකිය. ගසකට මලක් පළඳවා ගත නොහැකිය.

ගස විසින්ම ඒ මල උපද්දවනු මිසක යැයි විජය කුමාරතුංගයන් ඝාතනය කළ පුවත මෙරටට දැනුම් දී එයින් වසරකට පසුව එබඳුම ආකාරයට ඝාතනය වූ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාණන් විසින් කලකට ඉහත සිය ‘නොසැලෙන් ඉන්ද්‍රඛීලය’ කාව්‍ය සංග්‍රහයෙහි සඳහන් කළ වග මට මතකය. එයට වඩා ගැලපෙන මිනිසුන් අතර විජය කුමාරතුංගයන් ඉදිරියෙන්ම සිටින්නෙකි. (ප්‍රේමකීර්ති ද අල්විස් සම්බන්ධයෙන් ද එය එසේමය).

විජය ඝාතනය වන්නට දස වසරකට පෙර රුක්මණී දේවිය හදිසි අනතුරකින් මිය ගිය මොහොතේ ඇයගේ රසිකයෝ වැළපෙන්නට වූහ. ඒ වන විට ඇයට සිනමා කර්මාන්තය කෙරෙහි බලපෑම් කළ හැකි දැඩි ශක්තියක් නොවීය. එහෙත් විජය ගේ ඝාතනය වන විට මෙරට සිනමා කර්මාන්තයේ ප්‍රබලතම ජනප්‍රිය සාධකය වූයේ ඔහුයි. විජයගේ දේශපාලනය වැළඳ නොගත් කෙනෙකු පවා ඔහුගේ ප්‍රබලතම රසිකයකු වන තරමට ඒ ජනප්‍රියතාවය ඉහ වහා ගොස් තිබිණ.

ටෙලිවිෂනය ගෙයින් ගෙට යෑම අරඹා තිබූ එකල එයට අභියෝග කළ හැකි බලවත්ම සාධකය වූයේ විජයයි. ඔහුගේ ආකර්ෂණීය සිනහව, ඕනෑම කෙනෙකු වසඟ කළ හැකි පෞරුෂය හා ඔහුටම ආවේණික රංගන ශෛලිය විජයගේ බලවත්ම සාධකය වූයේය. විජය ඉගෙනුම ලැබූයේ කොටහේන ශාන්ත බෙනඩික්ට් සහ කඳානේ ද මැසිනඩ් යන විද්‍යාලයන්හිය. මේ විද්‍යාලයන් දෙකම මෙරට සිනමාව සම්බන්ධ කැපී පෙනෙයි.

එය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූවකි. එම විද්‍යාල දෙකෙන් තරම් (විශේෂයෙන් ශාන්ත බෙනඩික්ට්) සිනමා කර්මාන්තයට සම්බන්ධ පිරිස් බිහි වූ වෙනත් පාසල් නොමැති තරම්ය. ඔහු 1965 දී ශේෂා පලිහක්කාරගේ සෙරන්ඩිබ් ආයතනයට බැඳී නර්තනයත්, පී. වැලිකල හා ජේ. එච්. ජයවර්ධන යටතේ නාට්‍ය රංගනයටත් පිවිසෙයි. ඔහු මුලින්ම සිනමාවට පිවිසෙනුයේ මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකිනි. මේ පෙනී සිටීම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රේඛාවේ කළ පෙනී සිටීමට වඩා වෙනස් නොවෙයි.

ඔහු සෙරන්ඩිබ් ආයතනය මගින් නිර්මාණය කිරීමට සැරසුණු පුරන් අප්පු චිත්‍රපටය සඳහා ද තෝරා ගැනුණු නමුත් මේ චිත්‍රපටය නිෂ්පාදනය වූයේ නැත. ඔහු නළුවකු වනුයේ සරසවිය පුවත්පත හේතුවෙනි. එහි පළ කළ දැන්වීමකට අනුව සම්මුඛ පරීක්ෂණයකට යන විජය කුමාරතුංගයන්, සුගතපාල සෙනරත් යාපා විසින් හන්තානේ කතාව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයට තෝරා ගනු ලබයි. එබැවින්ම විජය සිනමාවට දායාද කර දීමේ ගෞරවයේ කොටසක් සරසවියට ද හිමි වෙයි. චරිතයක් නිරූපණය කළ චිත්‍රපට අතරින් මුලින්ම තිරයට එනුයේ ජී. ඩී. එල්. පෙරේරාගේ රෝමියෝ ජුලියට් කතාවයි. මේ අවදියේම ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිතිජය ගීත නාටකයේ ගායනයට ද ධර්මසිරි වික්‍රමරත්නගේ ඔන්න බබෝ ඇතින්නියා නාට්‍යයෙන් වේදිකා රංගනයට ද ඔහු පිවිසෙයි.

එහෙත් ඊළඟ දශකය පුරා ඔහු ගොඩ නැගෙනුයේ සිනමා නළුවකු ලෙසිනි. හැත්තෑව දශකයේ පිබිදෙන මෙරට නව පරපුරේ සිනමාවේ මහ ගෙදර වූ හන්තානේ කතාවේ සිට විජයට මුල් අවදියේ රඟන්නට ලැබෙන බොහෝ චරිත ඔහුගේ කඩවසම් ගැටවර බව විදහාපාන චරිතයන් විය. හන්තානේ කතාවේ මෙන්ම ඔහු සුපිරි තරුවක බවට පත් කරන තුෂාරා පවා ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නියෝජනය කරයි. වසන්ත ඔබේසේකරගේ දියමන්ති චිත්‍රපටයේ ද ඔහු විශ්ව විද්‍යාල තරුණයා විය.

ඔහු ජනප්‍රිය සාධකයක් බවට පිවිසීම ඇරඹෙනුයේ හතර දෙනාම සූරයෝ සමඟය. කලකින් දැකගන්නට නොලැබෙන පරිමාණයේ අංග සම්පූර්ණ චිත්‍රපටයක් වූ එහි ඔහු රඟනුයේ ගාමිණී ෆොන්සේකා සමඟය. එහි රඟන හතර දෙනාගෙන් එවකට එහි සිටි ළාබාලතම ගැටවරයා වනුයේ ද විජයමය.

ඊළඟ දශකය ඇතුළත විජය – මාලිනී නම් යුගය ඇරඹෙයි. ඔහු ජීවත් වනුයේ අවුරුදු 43 කි. ඔහුගේ ප්‍රථම චිත්‍රපටය ලෙස මනමාලයෝ සැලකුවහොත් ඔහු සිනමාවට පිවිසෙනුයේ විසි දෙහැවිරිදි වියේදීය. ඔහු විසි එක් වසරක් සිනමාවේ රැදී සිටියි. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් අවසන් වරට තිරගත වනුයේ ඇය ඔබට බාරයි චිත්‍රපටයයි. ඒ ඔහුගේ ඝාතනයෙන් දස වසරකට පසුවය. හැත්තෑව දශකයේ ගොඩ නැගුණු සෑම තරුණ සිනමාකරුවකුටම විජය නළුවකු වූයේය. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට අත ගැසුවේ නැත.

නිෂ්පාදනයට දායක වූයේ වරදට දඬුවම් චිත්‍රපටයෙනි. එය තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. තවත් නිෂ්පාදනයක් වූ සමාව කිසි කලක තිරගත වූයේ නැත. එමෙන්ම මා දන්නා තරමින් චිත්‍රපටය ඔහුට ඇවැසි පරිදි සකස් කර ගන්නට උත්සාහ කළේ ද නැත.

ඔහු සිනමාවේ සදාකාලික ආදරවන්තයා වුව ද, නොබියව ප්‍රතිවීර රංගනයෙහි ද යෙදිණ. අභිරහස, කැඩපතක ඡායා වැනි චිත්‍රපට එබඳු අවස්ථා වෙයි. පසු කලක ඔහු ජනප්‍රිය ප්‍රවාහයේ චිත්‍රපට ගොන්න මත කොටු වුව ද ඉන් බැහැර චිත්‍රපටවලට හැම විටම දායකත්වයක් පළ කළේය. ඇත්තම කරුණ නම් ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මෙන්ම ධර්මසේන පතිරාජට ද, වසන්ත ඔබේසේකරට ද, යසපාලිත නානායක්කාරට ද වුවමනා වූ නළුවකු විය. මේ දුර්ලභ අවස්ථාව විජය හැර ලද එකම ඉහළ පෙළේ නළුවා ජෝ අබේවික්‍රමයන් පමණක් විය.

මිය යන විට විජය මෙරට ජනප්‍රියම නළුවා විය. ඔහුගේ අවමගුල දා රැස් වූ මහ ජනකාය එතෙක් මෙතෙක් මෙරට කෙනෙකුගේ අවමඟුලක් සඳහා රැස් වූ අති විශාලම ජනකාය ලෙස සැලකේ. ඒ වෙනුවෙන් මෙරට සිනමා ශාලා සියල්ල වසා දැමිණ. ඔහුගේ මරණය දරා ගත නොහැකිව එක් අයෙක් සිය දිවි නසා ගත්තේය. ඔහුගේ මරණයෙන් පසු සදහටම සිංහල චිත්‍රපට නැරඹීම අතහැර දැමූ රසිකයෝ ද මෙරට වෙති. ඔහු ගායකයකු ලෙස කීර්තියට පත් වන්නට ගත්තේ අවසන් භාගයේය. නළුවකු ලෙස මෙන්ම ගායකයකු ලෙස ද ඔහු සම්මානයට පාත්‍ර විය. පිට පිටම සය වරක් ඔහු මෙරට ජනප්‍රිය නළුවා ලෙස අභිසෙස් ලද්දේය.

ඔහු ඝාතනය කොට වසර 23 කි. එය ඔහුගේ රංගන ජීවිතයට වඩා දෙවසරක් වැඩිමහල්ය. ජීවත්ව සිටියා නම් විජය ගේ රංගනය කවර දිසාවකට පරිවර්තනය වන්නට ඉඩ තිබුණි ද? ඇතැම් විටක මට සිතේ. පෞද්ගලිකව ගත් කළ එසේ ජීවත් වූවා නම් රසිකයකු ලෙස ඔහු දැන හඳුනා ගන්නට මට ඉඩ තිබිණ. මට කිසි කලක විජය කුමාරතුංගයන් පෞද්ගලිකව දැන හඳුනාගැනීමට අවස්ථාව ක් නොවීය.

එහෙත් 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් ඒ සියල්ලම පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවෙක් විසින් හමාර කර දමනු ලැබුවේය. අද මෙන් පුළුල් සන්නිවේදන ජාලයක් නොවූ එකල ඉන් මිනිත්තු කිහිපයකට පසු එනම් හරියටම දහවල් 12.45 දිවා ප්‍රවෘත්ති ගුවන් විදුලිය ඔස්සේ විකාශය වෙමින් තිබිණ. එක වරම ප්‍රවෘත්ති ප්‍රකාශය නතර විණ. ඒ වන විට ප්‍රවෘත්ති කියමින් සිටි නිවේදිකාවකගේ හඬ වෙනුවට දඩි බිඩියේ විකාශන මැදිරියට පැමිණි ප්‍රේමකීර්තිගේ හඬ නැඟිණ. විජය කුමාරතුංගයන් ඝාතනය කළ බැව් පැවසිණ.

අනේ ඒ දවස වෙනස් කළ හැකිව තිබුණා නම්?

0 comments:

Post a Comment