----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා පිළිතුරු දෙයි

Friday, February 18, 2011

‘සිංහාවලෝකනය’ දේශීය සිනමා වංශයට එක් වූ නවතම චිත්‍රපටයයි. එය මේ දිනවල ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ. ‘සිංහාවලෝකනය’ සමගින් නවක අධ්‍යක්ෂවරයකුගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවීම ද විශේෂත්වයකි. ඔහු සුනෙත් මාලිංග ලොකුහේවාය.

ප්‍රාමාණික හැදෑරීමකින් යුතුව සිනමාකරණයට පිවිසි සුනෙත් සිය කුලුඳුල් චිත්‍රපටයෙන්ම ඔහගේ නිර්මාණශීලිත්වය හා අනන්‍යතාව ප්‍රකට කර ඇතැයි සිතේ. එය අපේ අනාගත සිනමාව පිළිබඳ යම් සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි කරුණකි.

මුලින්ම ඔබේ සිතේ සිනමාකරුවකු වීමේ සිහිනය ඇති වෙන්නේ කොහොමද?

මම ඇත්තටම සිනමා අධ්‍යක්ෂවරයකු වෙන්න හීන මවපු කෙනෙක් නෙවෙයි. නමුත් පුංචි කාලේ ඉඳන්ම මට සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒක එන්නේ අපේ අම්මාගෙන්. ඇය හොඳ සිනමා රසිකාවක්. විශේෂයෙන්ම හින්දි චිත්‍රපට. මට මතකයි බලපු චිත්‍රපට හා නොබලපු චිත්‍රපට ලයිස්තුවක් ඇය වෙන වෙනම පොතක සටහන් කර තිබුණා. සිනමාව ගැන මුලින් මගේ සිතේ ඇල්මක්, උනන්දුවක් ඇති වුණේ ඒ විදිහට.

ඔබ මනෝ විද්‍යාව හැදෑරූ අයෙක්. මම හිතන්නේ බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් එය?

ඔව්. මම මනෝ විද්‍යාව විෂයයක් හැටියට හැදෑරුවා. මේ වෙන කොට මම මනෝ විද්‍යාව සම්බන්ධ පොත් පහක් ලියා පළ කර තිබෙනවා. නමුත් එහෙමයි කියා සිනමාව ගැන මට තිබුණ ඇල්මේ අඩුවක් වුණේ නැහැ. ඒ නිසාමයි මම පුවත්පතක තිබූූ දැන්වීමක් දැකලා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් පවත්වපු සිනමා පාඨමාලාවක් පවා හැදෑරුවේ.

පාඨමාලාව අවසන් වෙන්නත් කලින් මම කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා, මගේම තිර පිටපතක් ‘එරර් ඔෆ් ජජ්මන්ට්’ කියලා. ඒක කරන්න මගේ පන්තියෙම මිතුරු, මිතුරියෝ තමයි උදවු කළේ. පාඨමාලාව අවසානයේදී මට ඉතා ඉහළින් ලකුණු ලැබී තිබුණා.

අධ්‍යක්ෂවරයකු වීමේ මුල් පියවර තබන්නේ එතනින්?

තිර පිටපත් රචකයකු විදිහට යමක් කරන්නයි මුලින් මට ඕනෑකම තිබුණේ. මොකද මුලින් මම ආසා කළේ ඒ පැත්තට. නමුත් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නැරඹූ කෙනෙකු විදිහට මට හැකියාවක් තිබුණා නළු, නිළියන්ගේ රඟපෑම් සම්බන්ධයෙන් යම්, යම් විනිශ්චයකට එළඹෙන්න.

ඒ කියන්නේ?

ඔවුන්ගේ රඟපෑම්වල හොඳ හෝ නරක සම්බන්ධව. එතනදි මා දුටු දෙයක් තමයි අපේ රටේ නිර්මාණය වූ බොහෝ චිත්‍රපටවල නළු, නිළියන්ගේ රංගනයේ තිබූ දුර්වලකම නැතිනම් අඩුපාඩු.

මොකක්ද ඔබේ මිණුම් දණ්ඩ?

ඇත්තම කියනවා නම් හින්දි චිත්‍රපටවලින් හදා ගත් මිණුම් දණ්ඩක්. නමුත් අපි ඇත්තෙන්ම අපේ මිණුම් දණ්ඩ හැටියට ගත යුත්තේ් හොලිවුඩ් සිනමාව. මොකද බොලිවුඩ් සිනමාවේත් මිණුම් දණ්ඩ වෙන්නේ් හොලිවුඩ් සිනමාව. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපි තවමත් බොලිවුඩ් සිනමාව මට්ටමටවත් ගිහින් නැහැනේ. එතකොට අපට ඒ පඩිය නැගලා තමයි ඊළඟ මිණුම් දණ්ඩ දිහා බලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම සමහර දෙනාගේ විරෝධතාව මැද තවමත් භාවිත කරන්නේ බොලිවුඩ් සිනමාව තමයි අපේ මිණුම් දණ්ඩ හැටියට.

යුද්ධය පසුබිම් කර ගනිමින් චිත්‍රපට නිර්මාණය වීමේ ප්‍රවණතාවක් අප පසුගිය කාලය පුරා දැක්කා. නමුත් ඔබ තෝරා ගත්තේ ඊට හාත්පසින් වෙනස් වූ විෂයයක්?

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිකට් පිළිබඳ චිත්‍රපටයක් ඕනෑ කියලා මට හිතුණා. එහි තිර පිටපත ලියා මම ව්‍යාපෘති වාර්තාවකුත් හැදුවා. මට තේරුණා මේ වගේ චිත්‍රපටයක් කළොත් ලොකු ප්‍රේක්ෂක පිරිසක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි කියලා. හේතුව ක්‍රිකට් කියන්නේ ජනප්‍රිය විෂයක්. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ පවා මෙහි රඟපානවා. ඒ නිසා මම නවකයෙක් කියන එක පවා මට දැනුණේ නෑ මේ චිත්‍රපටය කරන කෙට.

ක්‍රිකට්, අපේ රටේ මේ තරම් ජනප්‍රිය නිසා ද ඔබ මෙවැනි තේමාවක් යටතේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ?

අපි දැන් ඉන්නේ ලෝක කුසලාන තරගාවලිය අභියස. ලෝක කුසලානය යළිත් වරක් අපේ රටට රැගෙන ඒමේ බලාපොරොත්තුවත්, ප්‍රාර්ථනාවත් අපේ සිත්වල තියෙනවා. ඒ නිසා ලොකු ක්‍රිකට් උණුසුමක් ඇති වෙලා තියෙනවා මේ වෙන කොට. මෙවැනි කාලයක ක්‍රිකට් පිළිබඳ තැනුණ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළොත් කොයි තරම් ප්‍රේක්ෂක පිරිසක් මේක ග්‍රහණය කර ගනීවිද කියා අප හිතුවා. මෙතනදි අපි ‘ක්‍රිකට්’ යොදා ගන්නේ වෙළෙඳ භාණ්ඩයක් හැටියට. ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්න උපක්‍රමයක් විදිහටයි අපි ක්‍රිකට්මෙහි භාවිතා කරන්නේ.

ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නෙත් ඒ වාණිජ අරමුණු සපුරා ගැනීම සඳහාද?

අපේ රටේ නැතත් මේ කාලෙදි පෙන්විය යුතුමයි කියා ඇතැම් රටවල චිත්‍රපට හැදෙනවා. ඊ. ඒ. පී. ආයතනය ‘සිංහාවලෝකනය’ චිත්‍රපටය පසුගිය ජනවාරි 14 වැනිදා ඉඳන් ප්‍රදර්ශනය කරන්න තීරණය කලේත් ලෝක කුසලානයට පෙර එය කළ යුතුයි කියන තැන ඉඳන්. අපේකම, ජාතික අභිමානය ගැන යම් කිසි විදිහක හැඟීමක් මේ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා තුළ ඇති බව මට විශ්වාසයි.

ඩෙලෝන් ජයසිංහ හා රයිනි චාරුකා කියන නවකයන් දෙපළ තමයි ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් සඳහා යොදා ගෙන තියෙන්නේ. එය අභියෝගයක් වුණේ නැතිද?

මෑතකදී අපේ රටේ තිරගත වුණ චිත්‍රපට දිහා බැලුවම අපි දකින්නේ එකම නළු, නිළි පිරිසක්. අපට ඕනෑ වුණේ අලුත්ම මුහුණු දෙකක් ප්‍රධාන චරිතවලට යොදා ගන්න. ඒ කාලේ අහම්බෙන් රයිනි චාරුකා ලංකාවට එනවා. රූකාන්ත ගුණතිලක මහත්තයාගේ් දුව. ඇය අමෙරිකාවේ ජීවත් වුණත් සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඇයට හොඳින් සිංහල කතා කරන්න පුළුවන්කම තිබුණා. ඇයට 1947 ගැමි තරුණියකගේ් චරිතයක් රඟපෑමේ හැකියාව තිබුණා.

නමුත් ප්‍රධාන නළුවාගේ කතාව මීට වෙනස්?

කලින් වසරේ තිරගත වූ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ නළුවකු තමයි අපි මේ චරිතයට මුලින් තෝරා ගෙන තිබුණේ. ඔහු ඒ වෙන කෙට විදෙස්ගතව හිටියේ. නමුත් රූගත කිරීමට දින පහළොවකට කලින් ඔහු අපට කිව්වා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න නොහැකි බව. ඒ වෙන කොට අපි තිර පිටපත පවා ඔහුට යවලයි තිබුණේ. කොහොම හරි රූගත කරන්න දවස් පහළොවකට කලින් අපට ප්‍රධාන නළුවා නැතිව යනවා. ඒ කාලෙදිම ඩෙලෝන් ඇමරිකාවේ ඉඳන් ලංකාවට එනවා. ඒකත් අහම්බයක්. ඔහු අමෙරිකාවේ පදිංචිව සිටි කෙනෙක්. ඒ නිසා ඔහුට සිංහල කතා කරන්න අමාරුයි. නමුත් ඔහුගේ් මුහුණේ් තිබුණා සිංහල පෙනුමක්. 1947 තරුණයකුගේ් චරිතය ඔහුට රඟපාන්න පුළුවන් කියලා අපට වැටහුණා. මෙතනදි ඩෙලෝන් ලොකු කැපවීමක් කළ බව කියන්න ඕනෑ. ඔහු සිංහල දෙබස් ඉංග්‍රිසියෙන් ලියා ගෙන තමයි මේ කටයුත්ත කළේ. අමෙරිකාවේ නිව්යෝක් නුවර ඉතා සුඛෝපභෝගී දිවියක් ගත කරන ඔහු වගේ කෙනෙක් අපිත් එක්ක තණ කොළ ගොඩේ වාඩි වෙලා ඉන්න තත්ත්වයට පත් වුණ එක ගැන අපි ඇත්තටම අගය කරන්න ඕනෑ.

’සිංහාවලෝකනය’ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක අනුකරණයක් බව ඇතැම් විචාරකයන් පවසනවා?

ක්‍රීඩා කරන පිරිසක් කාලය හරහා ගමන් කරලා ඒ ක්‍රීඩාව ප්‍රගුණ කරලා නැවත කාලය හරහා අවිල්ලා තරගයකින් ජයග්‍රහණය කරන කතාව ලෝක සිනමාවේ මේ විදිහට නිර්මාණය වුණේ ප්‍රථම වතාවට. ඒක මම ඉතාම වගකීමෙන් කියනවා. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් නෙවෙයි හොංකොං සිනමාවේවත් මේ වගේ් කතන්දරයක් මීට කලින් හැදිලා නෑ. සිංහල දෙපිරිසක් අතර මේ ක්‍රිකට් තරගය පැවැත් වුණා නම් එය එතරම් හැඟීමක්, උද්වේගයක් ඇති නොවන දෙයක් වෙන්න තිබුණ නිසා තමයි අප එය සිංහල, ඉංග්‍රිසි ජාතින් අතර පැවැති ක්‍රිකට් තරගයක් බවට පත් කළේ. අන්න එතනදි නම් යම් කෙනෙකුට පුළුවන් ඉන්දියානු චිත්‍රපටයක අනුකරණයක් තියෙනවා කියලා ඇඟිල්ල දිගු කරන්න. ඒ අයගෙන් මම අහන්නේ් ඉන්දියාවට විතරද ක්‍රිකට් ගැන කියැවෙන චිත්‍රපට හදන්න අයිතිය තියන්නේ කියලා. අපි ලෝක කුසලානය පවා දිනූ රටක්.

0 comments:

Post a Comment