----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මහ කම්පිත වලව්වෙන් ඇරඹි අපූරු නිර්මාණකරුවෙක්

Monday, February 21, 2011

‘ස්වයංජාත’ තැනූ සුදත් රෝහණ කේ. ඒ. ධර්මසේන ගැන කියන මතක සටහන්

‘කේ. ඒ. ධර්මසේන මිය ගොසින්’ මේ පුවත ඇසුණු මොහොතේ මම තරමක් තුෂ්නිම්භූ®ත වීමි. ඔහු ගිලන්ව සිටියත් මෙතරම් ඉක්මනින් අප අතහැර යනු ඇතැයි සිහිනෙකින් හෝ මට සිතුණේ නැත.

ධර්මසේනයන් සහ මා අතර ඇති සබඳතාවය දිගු ඉතිහාසයකින් යුතු එකකි. එය ඇරැඹෙන්නේ 1985 වසරේ පමණය. බලපිටිය මහකප්පින වලව්වේ තිස්ස අබේසේකරයන් විරාගය රූගත කරමින් සිටියේය. ධර්මසේන එහි සහය කැමරා ශිල්පියාය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ ලාල් වික්‍රමආරච්චිය. ඔහු දින කිහිපයකට සිය පෞද්ගලික වැඩ කටයුත්තකට නික්ම ගියේය.

චිත්‍රපටයේ වැඩ කටයුතු ගෙන යාමට ධර්මසේනයන්ට බාර විය. මා චිත්‍රපටයට සම්බන්ධ වූයේ සහය අධ්‍යක්ෂවරයකු සහ සහය සංස්කරණ ශිල්පියකු වශයෙන්ය. මම එවකට වයස අවුරුදු දහ අටක කොලු ගැටයෙක්මි.

ධර්මසේනයන් මගේ ආධුනිකත්වය සත පහකටවත් මායිම් කළේ නැත. වසර ගණනාවක් සබඳකම් පැවැත් වූ සහ මීට ප්‍රථම හමු වී ඇති කෙනෙකු පරිද්දෙන් මා සමඟ ඔහු ඉතාම සුහදව කතා කළේය. එතැන් පටන් අප මිතුදම මහමේරු පර්වතය සේ නොසෙල් වී තිබුණි.

ඒ මිත්‍රත්වයේ පවුර මත හිඳගෙන අපි බොහෝ නිර්මාණයන් කළෙමු. ඒවාහි සාර්ථකත්වය දෙය බලා නිහඬ නිහතමානී ආඩම්බරයකින් ධර්මසේනයන් මා සමඟ කතා කළ වදන් අදටත් දෙසවනේ දෝංකාර දෙන්නේ නෙතට කඳුළු නංවමිනි.

පසුකාලීනව මම වෘත්තීමය අධ්‍යක්ෂවරයකු වුණෙමි. ඔහු මගේ වෘත්තීමය ජීවිතය පසුපස සෙවනැල්ලක් මෙන් සිටියේය. ඔහුගේ වැඩ කටයුතුවල මනා පිළිවලක් තිබිණි. එමෙන්ම ඔහුගේ සර්වාංගයම අති සංවේදී මානුෂීය හැඟීම්වලින් පොහොසත්ය.

මේ මොහොතේ ඒ මානුෂීය හැඟීම් දහර ගැලූ එක් අවස්ථාවක් මගේ මනසේ සිතුවම් වෙයි.

මා දන්නා පරිදි ඔහු අවසන වැඩ කළේ මා අධ්‍යක්ෂණය කළ ස්වයංජාත ටෙලි නාට්‍යයේය. එහි ජගත් චමිල අතින් ගසා කැඩපතක් බිඳින දර්ශනයක් තිබිණ. ඒ දර්ශනය රූගත කර අවසන් වූ පසු මා කට් යන වචනය කියූ සැනින් ධර්මසේනයන් දිව ගියේ ජගත් ළඟටය. ඔහු ජගත්ගේ අත අල්ලා බැලීය. ජගත්ගේ අත තරමක් තුවාල වී ඇත. එය දැක ධර්මසේනයන් ජගත්ට ප්‍රථමාධාර ලබා දුන් අයුරු අදටත් මට මැවී පෙනේ. ඒ මානුෂිකත්වය අද කොහේදෝ සැඟව ගොසිනි.

මිල්ලෙ සොයා, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ, සක්මන් මළුව වැනි චිත්‍රපට සඳහා ඔහු සිය නිර්මාණශීලීත්වය නොඅඩුව ලබා දුන් බව ඒවා නරඹද්දී අපට දැනිණ.

එමෙන්ම මා නිර්මාණය කළ උතුවන්කන්දේ සරදියෙල්, කළුවර ගෙදර වැනි නිර්මාණවලට ඔහු ලබා දුන් අනගි සහය මගේ නිර්මාණ දිවිය ඇති තාක් කල් අමතක වන්නක් නොවේ.

පසුගිය කාලයේ ධර්මසේනයන් බොහෝ සේ රෝගාතුර විය. එහෙත් ඔහුගේ සිත තිබුණේ කැමරාව ළඟය. කතා කළේ ද නිර්මාණ ගැනය. නිවාඩු මොහොතක් බලා ඔහුත් සමඟ වැඩ කළ සහෘදයන් වන අපි ධර්මසේනයන්ව අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධිය වන්දනා කිරීම සඳහා රැගෙන යාමට තීරණය කළෙමු. එහෙත් එදින උදෑසන ගමන අවලංගු විය.

කෙසේ හෝ පන්සලක ශාන්ත පරිසරයක් තුළ මොහොතක් සිටීමට ඔහුට අවශ්‍ය වුණේය. එහෙයින් ඊට පහුවැනිදාම අපි ඔහුව කැළණි පන්සල වෙත ගෙන ගියෙමු. එය වැඳ පුදා ගත් ඔහු ආපසු එන අතරමගදී අසනීපය තරමක් උත්සන්න විය.

අපි දන්නා තැනක් වූ කැළණියේ සරසවි චිත්‍රගාරයට ධර්මසේනයන්ව ගෙන ගියෙමු. එතැන්දී ඔහුගේ සිතට නැගුණු සතුට මුහුණින් විරාජමාන වනවා අපි දුටුවෙමු. මට දැනුණ අයුරින් සරසවි චිත්‍රගාරය අප මිතු සමාගමේ සුපුරුදු නවාතැන් පොළක් වූ බැවින් පෙර මතකයන් ඔහුගේ සිතට නැගෙන්නට ඇති.

ඔහුගේ අසනීප තත්ත්වය යළි වැඩි විණි. අපි ළඟ ඇති පෞද්ගලික රෝහලකට ඔහුව වහාම ඇතුළු කළෙමු. එහෙත් දෛවය අපට හරස් විය. එතැන්දී ධර්මසේනයන්ගේ සුසුම් පොඳ මඳ සුළඟ හා මුසු වුණේය.

කිසි දිනෙක එළි නොදුටු මංමුලා වැල් බලංගොඩ දූවිලි ඇල්ලේ රූ ගන්වද්දී

වෙලේගෙදර රණසිංහ (සහාය කලා අධ්‍යක්ෂ), සන්ධ්‍යා මෙන්ඩිස් (දර්ශණ සම්බන්ධතා), වසන්ත විට්ටච්චි (සහාය වේෂ නිරූපණ), ඇන්ටන් (කැමරා සහාය), ශේෂා පලිහක්කාර (ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පි), එරල් කෙලී (කලා අධ්‍යක්ෂ), කේ. ඒ. ධර්මසේන (සහාය කැමරා ශිල්පි), තිස්ස අබේසේකර (අධ්‍යක්ෂ), දයාරත්න රටගෙදර (ප්‍රධාන සහාය අධ්‍යක්ෂක).

ස්වයංජාන ටෙලි නාට්‍යය දවස් එකසිය තිස් අටක් එක දිගට රූ ගැන්වීමේදී ඔහු වැඩ කළේ ඉතාම ජවසම්පන්නවය. අද ඒ ජවසම්පන්නකම ජයරත්න මල් ශාලාව තුළ නිහඬ වී සිටී. මේ කඳුළු සටහන් ඔබ කියවන මොහොතේත් ඔහු සදහටම නික්ම ගොසිනි.

ශාලාවේ දොරකඩ ළඟට වී ඔහුගේ නිසල දේහය දෙස බලා සිටිද්දී ධර්මසේනයන් ගැන මගේ මතකය චිත්‍රපටයක දර්ශන පෙලක් සේ දිග හැරිණ. ඒ බොහෝ තැන්වල මම සිටියෙමි. ඒ මා ඔහුගේ ඉතාම සමීපතමයකු බැවිනි.

එක් එක් යුගයන් වෙනස් වුවද කේ. ඒ. ධර්මසේනයන් සහ මා කලා ජීවිතය ඇරඹුවේ බලපිටිය මහ කප්පින වලව්වෙනි. ඒ වලව්වේ අතීත මතක අතර අපි දෙදෙනා හමුවන වාරයක් වාරයක් පාසා මතක් කරමින් ඇති වනතුරු සිනහ වුණෙමු. එතරම්ම ඒ කාලය සුන්දරය. අද ඉතිරි වී ඇත්තේ මා පමණි. ඒ ගැන සිතද්දී ම’සිත වාවන්නේ නැත. ඉකි බිඳිමින් හඬා වැටෙයි.

අවසන් වශයෙන් මෙලෙස සඳහන් කරන්නට කැමැත්තෙමි. කේ.ඒ. ධර්මසේන නොහොත් අප හිතවත් ධර්මෙ අයියාට මම කෙදිනකවත් නිවන් සුව නොපතන්නෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු වැනි අය මේ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය බැවිනි.

පෙර වාගේ නිදහසේ ඉගිලී යන විහඟකු වී අප කුරුළු රෑනට යළිත් එකතු වන්නට ඔබ අප අතරේම ඉපදේවා. ඒ මගේ එකම පැතුමයි.


0 comments:

Post a Comment