අද සරසවිය වේදිකාවට ගොඩ වෙන්නේ ලාංකේය වේදිකාවට නැතුවම බැරි ප්‍රවීණ අංග රචනා ශිල්පියකු හා රංගන ශිල්පියකු ද වන වසන්ත විට්ටච්චි. මේ සුදර්ශියේ නුග ගහ යට වසන්ත සරසවිය සමග කළ කතා බහක්.
අතීත මතකයෙන් කතාව පටන් ගමු.
හැත්තෑව දශකෙයේ මැද භාගයේ සෝවියට් සංස්කෘතික මන්දිරයේ රුසියන් භාෂාව හදාරන්න ගිය මට එතැනදී මුණ ගැහුණු නිමල් පතිරණ සහෝදරයා තමයි නාට්‍ය පැත්තට යොමු වෙන්න අවස්ථාව උදා කරලා දුන්නෙ. ඔහු නිර්මාණය කළ ‘රත්තෝ’ නාට්‍යයෙන් තමයි මම මුලින්ම වේදිකාව හඳුන ගත්තෙ.
ඒ නාට්‍යයෙන් පස්සෙ මට හිතුනා මේක කරුණු කාරනා දැනගෙන යන්න ඕන ගමනක්ය කියලා. ඒ නිසා ලයනල් වෙන්ටඩ් රංග ශිල්ප ශාලිකාවට බැඳිලා මහාචාර්ය සරච්චන්ද්‍රයන්, ධම්ම ජාගොඩයන් වගේ ප්‍රවීණ නාට්‍ය ඇදුරන් යටතේ නාට්‍ය විෂයක් හැටියට හදාරමින් මූලික අවබෝධයක් ලබා ගත්තා.
ඊළඟට සාලමන් ෆොන්සේකා මහත්තයගෙ නාට්‍ය වැඩ මුළුවලට සම්බන්ධ වුණා. ඊට අමතරව විදේශීය නාට්‍යකරුවන්ගෙ වැඩමුළු වලටත් සම්බන්ධ වුණා.
එතකොට අංග රචනා කලාව පැත්තට ඔබ යොමු වෙන්නෙ?
නවසිය හැත්තෑ නවයෙදි විතර, ප්‍රවීණ අංග රචනා ශිල්පී රංජිත් වික්‍රමසිංහ මගෙ මිත්‍රයෙක්. ඔහු අංග රචනා කරමින් සිටි නාට්‍යවලට සම්බන්ධ වෙලා අංග රචනා කටයුතුවලට සහය වෙමින් ඒ ශිල්පය ඉගෙන ගත්තා. මගේ පළමු අංග රචනා ගුරුවරයා හැටියට මම සලකන්නෙත් රංජිත් වික්‍රමසිංහවයි.
ඔහු මාර්ගයෙන් ඔහුගෙත් ගුරුවරයකු වුණු ශේෂා පලිහක්කාර මහතා හඳුනගෙන එතුමා යටතේ වැඩ කරමින් ඉගෙන ගත්තා. අංග රචනා කලාව කියන්නේ මොකක්ද කියන එක මම හරියාකාරව හඳුන ගත්තෙ එතුමන්ගෙන්.
එතුමන්ගෙ සහය අංග රචනා ශිල්පියකු හැටියට මම මුලින්ම සම්බන්ධ වුණේ චිත්‍රපට අංග රචනයටයි. ඒ ලබපු පන්නරය නිසාම මම අංග රචනා ශිල්පියකු හැටියට ප්‍රමාණාත්මක පැත්තට වඩා ගුණාත්මක පැත්තෙන් ඉස්සරහට ඇවිත් තියෙනවා.
කිසිම කල්ලියකට කණ්ඩායමකට බැඳෙන්නෙ නැතිව හොඳ නිර්මාණයක් නම් එතනට මගේ දායකත්වය අවශ්‍ය නම් දායක වීම තමයි මගේ් පිළිවෙත වෙන්නෙ. මේ නිසා තමයි මේ රටේ නිර්මාණ රැසකටම දායක වෙන්නත් දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නත් මට පුළුවන් වෙලා තියෙන්නෙ.
ඔබට දැනෙන විදිහට මේ ක්ෂේත්‍රයට එන්න පෙළඹවීමක් ඇති වුණේ මොන වගේ හේතුවක් නිසාද?
ප්‍රධානම බලපෑම ආවේ සාහිත්‍ය රස වින්දනයෙන් කියන එකයි මගේ හැඟීම. අප තුළ තියෙන ආකල්ප හා හැකියා මතු කරලා එළියට ගන්නෙ සාහිත්‍ය රස වින්දනයයි.
අද වෙන කොට නිර්මාණයක්ය කියලා කියන්න බැරි තරම් හරසුන් දේවල් බිහි වෙන්නෙ මෙන්න මේ රස වින්දනය නැති නිසයි. තමන් හොඳ රසිකයෙක් නෙවෙයි නම්, තමන්ට හොඳ රස වින්දනයක් නැත්නම් ඒ වගේ කෙනෙක් කොහොමද ප්‍රේක්ෂකයාට උසස් රස වින්දනයක් දෙන්නෙ.
අපේ රටේ ඇති වුණ සමාජ විපර්යාසයත් එක්ක හැම දේම පහසුවෙන් ළඟා කර ගන්න ගිය නිසයි කියවීම හා රස වින්දනය කියන දේවල් සමාජයෙන් ඈත් වුණේ.
එතකොට ඔබ රංගන ශිල්පියෙක් වෙන්නෙ?
අපට නම් බලපෑවෙ අපට කලින් පරම්පරාව. අපට කලින් රඟපාපු ශිල්පීන්ගෙ රඟපෑම් දැකලා, ඒවට ආශා කරලා, ආදරේ කරලා තමයි අපි රංගනයට යොමු වුණේ. අපට ඕන වුණේ මෙන්න මෙයා වගේ රඟපාන්න පුළුවන් නම් හොඳයි කියන තැනකට එන්නයි.
නමුත් අද වෙන කොට ඒ තත්ත්වය එහෙම පිටින්ම වෙනස් වෙලා. කලින් පරම්පරාවල හොඳ නිර්මාණ රස විඳින්න අපට තරම් අලුත් පරම්පරාවන්ට අවස්ථාව නොලැබීමේ ඛේදවාචකය නිසා මෙහෙම වුණාය කියලයි මට නම් හිතෙන්නෙ.
නිර්මාණකරුවෙකු බිහි වෙන්නෙ නිර්මාණ ඇසුරෙන්නෙ. එහෙම නම් ඒ ඇසුරක් නැති කොට නිර්මාණකරුවන් බිහිවෙන්න විදිහක් නැහැනෙ.
වේදිකාවක් මත කෙරෙන ඕනෑම දෙයක් නාට්‍යයක්ය කියලා පෙන්නන්න හදන ස්වභාවයක් දැන් දැන් දකින්න තියෙනවා. ඒ ගැන ඔබ හිතන්නෙ කොහොමද?
වේදිකාවක් මත කෙරෙන සියලුම දේ නාට්‍ය හෝ නාට්‍යයට අදාළ හෝ වෙන්නෙ නැහැනෙ. නාට්‍යයක මූලික වශයෙන් නාට්‍යමය රසය තියෙන්න ඕන. නාට්‍යමය ගුණාංග තියෙන්න ඕන.
නාට්‍යමය අත්දැකීම් තියෙන්න ඕන. මේ කිසි දෙයක් නැත්නම් ඒක නාට්‍යක් වෙන්නෙ නැහැනෙ. නිර්මාණකරුවෙක් නම් පළමුවෙන්ම ඔහු ඔහුට සුදුසුම ප්‍රකාශන මාධ්‍ය මොකක්ද, ඒ කියන්නෙ කෙටි කතාවද, කවියද, නාට්‍යය ද, චිත්‍රපටයක් ද කියන එක නිවැරැදිව අවබෝධ කර ගන්න පුළුවන්කමක් නිර්මාණකරුවෙකුට තියෙන්න ඕන.
නමුත් අද මේ කිව්ව දේ වෙනුවට බලන්නෙ තමන්ට ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන් මාධ්‍ය මොකක්ද කියලයි. අද හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්න දෘෂ්‍ය මාධ්‍යවලට එන්නයි. නමුත් ඒක දෘෂ්‍ය මාධ්‍යයට නොගැළපෙන නිර්මාණයක් නම් එතැනින්ම එයාගෙ ගමන නවතිනවා. මේ තත්ත්වය තුළත් යමක් හරියට කරන්න වෙර දරන අතලොස්සක් තරුණ නිර්මාණකරුවන් ඉන්න වගත් කියන්න ඕන.
යමක් කරන්න හදන තරුණ නිර්මාණකරුවන් ප්‍රවීණයන්ගෙ දැඩි විවේචනයට ලක් වෙනවා නේද?
ඒක වෙන්නෙ මෙහෙමයි. විදේශීය නිර්මාණ ආභාශය ඇසුරෙන් සිද්ධ වෙන නිර්මාණවල අපේකම කොතරම් දුරට මේ නව නිර්මාණ තුළ තියෙනවද කියන ප්‍රශ්නය බරපතළ විදිහට මතු වෙනවා.
දැන් උදාහරණයකට දයානන්ද ගුණවර්ධන මහත්තයා ගත්තම ඔහුගේ නිර්මාණ වැඩි හරියක් කෙරිලා තියෙන්නෙ වේදිකාවෙ. ඒවා අපේකම, අපේ කලාව, අපේ ගැමි කලාව මත පදනම් වූ නිර්මාණ. ආර්. ආර්. සමරකෝන්ව ගත්තොත් ඔහු පදනම් කර ගන්නෙ අපේම සාමාන්‍ය ජන ජීවිතය.
මේ විදිහට අපේ වේදිකාවේ සාර්ථක වුණු නිර්මාණකරුවන් බහුතරයක් අපේ සමාජයට ගෝචර කර ගන්න පුළුවන් දේ තමයි තමන්ගෙ නිර්මාණ සඳහා පාදක කර ගත්තෙ. මෙන්න මේ ලක්ෂණය ගිලිහී යාම තමයි අර කිව්ව චෝදනාවට ලක් වෙන්න ප්‍රධාන හේතුව.
තමන් ‘කාපු කට්ට’ ගැන සමහරු බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. ඔබට ඒක අදාළ වෙන්නෙ කොහොමද?
අපේ කාලෙ නම් කට්ටක් කන්න පුළුවන්ය කියන්නෙ නාට්‍ය කලාවට ලොකු සුදුසුකමක්. අද වෙන කොට නාට්‍යයක හැම දේටම වෙනමම පිරිසක් බිහිවෙලා ඉන්නවනෙ.
නමුත් අපේ කාලෙ එහෙමත් නැත්නම් එදා නාට්‍යයට සම්බන්ධ නළු නිළියන් ඇතුළුව නාට්‍ය කණ්ඩායම තමයි පෝස්ටර් ලිවිල්ලෙ ඉඳලා ඇලවිල්ල දක්වා හැම දේම කරන්නෙ.
මේ දේවල් කරන්න අද වගේ පහසුකම් හෝ මුදල් එදා තිබුණේ නෑ. ඒ නිසා දවස් ගණන් රෑ නිදි මරාගෙන වැඩ කරන්න වෙනවා. මෙන්න මේ කැපවීමත් එක්ක නාට්‍ය කණ්ඩායම ඇතුළෙ පුදුම බැඳීමක් ඇති වෙනවා. ඒ නිසාම මේක අපේ වැඩක් කියන හැඟිමත් ඇති වෙනවා.
අද හැමෝම බලන්නෙ තමන්ට අදාළ කොටස ගැන විතරයි. මෙන්න මේ නිසා තමයි එදා ශිල්පීන්ගේ කැපවීම කට්ට කෑමක් හා වටිනා දෙයක් බවට පත් වෙන්නෙ. අද තියෙන ක්ෂණික සමාජයේ ස්වභාවය නිසා තමයි එදා තිබුණු කැපවීම ලොකු දෙයක් වෙන්නෙ.
පුංචි උදාහරණයක් කියනව නම් එදා ධර්මසිරි බණ්ඩාරනායක ගේ යක්ෂාගමනය මාස අටකට වැඩි කාලයක් දිනපතා පුහුණුවීම් කළා. ශිල්පීන් හිටිය පනහක් විතර හිටියා. නමුත් අද නාට්‍ය හැදෙන්නෙ කොහොමද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.
රංගනයටත් සම්බන්ධ කෙනෙක් හැටියට රඟපෑම හා නළුකම කියන දේ ගැන ඔබ බලන්නෙ කොහොමද?
රංගන ශිල්පියා සහ නළුවා කියන දේ පටලව ගන්න අවස්ථාත් අපි දකිනවා. නළුවා කියන්නෙ අද වෙන කොට මොඩල් එක්ක ආදේශකයක් වෙලා තියෙනවා. රංග කාර්ය පිළිබඳ පුහුණුව වැඩි වන තරමට තමයි නාට්‍යයත් රඟපෑමත් කියන දෙකම සාර්ථක වෙන්නෙ. සතත අභ්‍යාසය කියන දේ රංගන ශිල්පියකුයට අත්‍යවශ්‍යයි. තමන්ගේ රංගන හැකියා මුවහත් වෙන්නෙ මේ අභ්‍යාසයෙන්.
රංගන ශිල්පියාට තමන්ගෙ ශරීරය, මනස, හඬ කියන කාරනා ගැන දැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මේ නිසා තමයි එදා රංගන ශිල්පියා වැඩමුළුවලින් බිහිකෙරවෙ. මට හිතෙන හැටියට නම් නළුවා කියන සංකල්පයට වඩා රංගන ශිල්පියා කියන සංකල්පය තමයි හොඳ. සුදුවට පෙනුමට ඉන්න කෙනෙක්ව දැක්කමත් මිනිස්සු කියනවනෙ ෂා නළුවෙක් වගෙයි කියලා.
රංගන ශිල්පියා කියන්නේ පිටට පෙනෙන රූපකායක් තියෙන කෙනෙක් විතරක් නෙවෙයි. කායික මානසික ක්‍රියාවලින් ඔස්සේ අවශ්‍ය රංගන හැඩතල මතු කර ගත හැකි, ඒ සඳහා වන දීර්ඝ හා අඛණ්ඩ අභ්‍යාසයක නියුතු කෙනා තමයි රංගන ශිල්පියෙක් වෙන්නෙ. රඟපෑම එකම විදිහේ කියලා අපට පෙනෙන්නෙ මේ කිව්ව ගුණාංග අදාළ රංගන ශිල්පියා තුළ නැති නිසයි.
අංග රචනය හැමෝටම කරන්න පුළුවන් දෙයක් ද?
අංග රචනය කියන්නේ කළු සුදු කරන දෙයක් නෙවෙයි. චරිතයක අභ්‍යන්තර චෛතසිකය, ගති ස්වභාවය මතු කරන මාධ්‍යයක්. එතැනදි පදනම් වෙන්නෙ හමේ වර්ණය. හමේ වර්ණය නිවැරැදිව හඳුන ගන්න බැරි කෙනෙකුට හොඳ අංග රචනා ශිල්පියෙක් වෙන්න බැහැ. අපේ රටට ආවේනික හමේ වර්ණය තලෙළු වර්ණය.
ඒ කියන්නෙ දුඹුරු මිශ්‍ර වර්ණය. ඒක හරියට හඳුණගන්න ඕන. සිනමාවෙ නම් අංග රචනය කාර්මික විෂයක්. එතනදි ඒ ශිල්පියා දළ සේයා පට, කාච පෙරහන් ආලෝකය, අඳුර මේ ආදී සෑම දෙයක් ගැනම අවබෝධයක් දැනුමක් ඇති කෙනෙක් වෙන්න ඕන.
මෙන්න මේ දැනුම එදා ශේෂා පලිහක්කාර මහත්මයා ඇතුළු මේ අංග රචනා කලාවේ ප්‍රවීණයො හොයා ගෙන ගිහින් ඒ දැනුම පසු පරම්පරාවට බෙදා දුන්නා. එතෙක් අපි ලබා තිබුණු දකුණු ඉන්දියානු ආභාශයෙන් හා බලපෑමෙන් මිදුණු ස්වභාවික අංග රචනයක් සොයා මතු කර ගන්නට මේ අයට පුළුවන් වුණා.
එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටේ ස්වභාවික අංග රචනා කලාවක් ස්ථාපිත වුණේ. මේක දියුණු කරන්න බටහිර රටවල ආභාෂයත් අපට ලැබුණා. නමුත් අද වෙන කොට ශිල්පීය වශයෙන් දියුණු ශිල්පීන් නෙවෙයි අංග රචනා කටයුතුවලට යොමු වෙන්න් මේක කොච්චර පල්ලෙහට වැටිලද කිව්වොත් සැලුන් කරන කට්ටියත් අද අංග රචනා කරනවා.
සැලුන්වල කරන්නේ මේක් අප් කරන එකනෙ. අනිත් අය අතරින් කැපිලා පේන්න සරසන එක අංග රචනා කලාව නෙමෙයි. අද වෙන කොට හමේ වර්ණය තේරුම් අරගෙන අංග රචනා කරන්නෙ කීයෙන් කී දෙනාද? අපි දකින අපේ නිර්මාණ දිහා බැලුවාම ඒවයෙ වැඩි හරියක් ඉන්නෙ සෙංගමාලය හැදුනා වගෙ කහ පාට වර්ණයක් ගාපු අය. එහෙම නැත්නම් සුදු. සුදු ලස්සනයි කියල හිතනවනෙ.
සුදු ලස්සනයි කියලා එකක් නෑ. එහෙම නම් මේ ලෝකෙ වැඩියෙන්ම ලස්සන වෙන්න ඕන සුද්දියොනෙ. එහෙම නම් නයිජීරියාව වගේ රටවලින් ලෝක රූප සුන්දරියො බිහි වෙන්නෙ නැහැනෙ.
ඒ නිසා මූණක තියෙන ඉරියව් නිවැරැදිව මතු කර ගැනීම තමයි අංග රචනාවේදි වැදගත් වෙන්නෙ. එහෙම නැතිව මුහුණේ පාටට හරි යන්න බෙල්ලයි, අත පයයි, ඉනයි, කකුලයි ඔක්කොම පාට කරන එක සරල කාර්යක්. ඒක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්.
නමුත් හමේ වර්ණය තේරුම් අරගෙන අදාළ චරිතයේ අභ්‍යන්තරික ගති ස්වභාවය මතු වන විදිහට හමේ වර්ණයෙන් මතු කළ හැකි හැඩ තල මතු කර ගන්න පුළුවන් කෙනා තමයි නියම අංග රචනා ශිල්පියෙක් වෙන්නෙ. මේ වගෙ අය අතලොස්සක් තමයි අද අපට ඉන්නෙ.
මේ අයගනෙුත් බහුතරය අර ප්‍රවීණයන් යටතේ් දැනුම ලබපු අයයි. ඒකට පරිභාහිරව ඉන්න අය අංග රචනය කියල කරන්නෙ අපි හැටේ දශකයේදී අතෑරලා දාපු එක නැවත මතු කරමින් ඉන්න එකයි. එදා අතෑරපු ඉන්දීය අංග රචනය වෙත තමයි අද අපි නැවත යමින් ඉන්නෙ.
කොයි වෙලාවෙ මඟුල් ගෙක යන්න කතා කරයිද දන්නෙ නෑ කියලා ඒකට සූදානම් වෙලා ඉන්නව වගේ නළු නිළියන්ව අපට අද දකින්න ලැබෙන්නෙ අංග රචනා කලාව විෂයක් හැටියට නොදන්න අය නිසයි. මේ නිසා චරිතාංග අංග රචනය කියන එක පවා අද මේ තත්ත්වයෙන් යට වෙලා.
කළු අයත් අද වෙන කොට සුදු කරලා පෙන්නන්නෙ ඒ නිසයි. අංග රචනයේදී ප්‍රධාන වශයෙන් මතු කළ යුතු ඇස්, නාසය, කම්මුල්, තොල් කියන දේවල් මතු කරන්නෙ කොහොමද කියන එක ගැනවත් නොදන්න අය අද මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.
වේදිකාව ස්වභාවිකත්වය කියන අන්තයටත්, අනෙකුත් මාධ්‍ය කෘතිම අන්තය කියන පැත්තටත් සීමාව ඉක්මවා තල්ලු වී යාමක් තමයි අද අපට අංග රචනයේදී දකින්න ලැබෙන්නෙ. නිර්මාණය, අංග රචනය හා ආලෝකය එකට යන දේවල් විත්තියවත් අද ඉන්න සමහරු දන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ.
යම් නිර්මාණයකට දායක වන අංග රචනා ශිල්පියකු දැනගෙන ඉන්න අවශ්‍ය කාරනා මොනවාද?
යම් නිර්මාණයකට අංග රචනා ශිල්පියෙක් සම්බන්ධ වෙනවා නම් එතනදි භූගෝලීය පරිසරය, ඒ කියන්නෙ කුමන පරිසරයකද නිර්මාණය ගොඩ නැගෙන්නෙ, ඒ නිර්මාණයේ ඓතිහාසික පසුබිම මොකක්ද? සමාජ හා කාල වකවානුව කුමක් ද අදාළ නිර්මාණය සිද්ධ වෙන්නෙ මොන ශෛලියකට අනුවද, කුමන ආකාරයේ ආලෝක තත්ත්වයක් හා කුමන ආකාරයේ ඇඳුම් නිර්මාණයක් ද සිද්ධ වෙන්නෙ කියන කාරනා ගැන මැනවින් දැනගෙන ඒ සඳහා පූර්ව සූදානමක් ඇතිව සිටිය යුතු වෙනවා. සරලව කිව්වොත් හිඟන්නෙක්ව මනමාලයෙක් වගේ හැඩ කරලා තියලා හරි යන්නෙ නැහැනෙ.
ප්‍රවීණ අංග රචනා ශිල්පියකු වන ඔබ රංගන ශිල්පියා කියන භූ®මිකාවට මාරු වෙද්දී ඔබව අංග රචනා වෙන්නෙ මොන විදිහටද, ඔබ ඒකට මුහුණ දෙන්නෙ මොන විදිහටද?
ඔව් සමහර නාට්‍යවලදී මම රංගන ශිල්පියා බවට පත් වෙද්දී ඒකට සම්බන්ධ වෙලා ඉන්න අංග රචනා ශිල්පියා සමස්ත නිර්මාණය දිහා බලන විදිහට, ඒකේ තවත් එක් රංග ශිල්පියෙක් හැටියට මාව අරගෙන මට අංග රචනය කරද්දී මගේ කෝණයෙන් ඒ දිහා බලලා ඒක එහෙම නෙවෙයි මෙහෙම කරමුය කියලා කියන්න මට කිසිම අයිතියක් නෑ.
නමුත් අදහසක් හැටියට මෙහෙම වුණොත් හොඳයි නේද කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම නම් ඒකට කිසිම බලපෑමක් කරන්නෙ නෑ. නමුත් යම් නිර්මාණයක මම අංග රචනා ශිල්පියා වගේම රංගන ශිල්පියා ත්වෙන වෙලාවල මගේ අංග රචනයත් මමමයි කර ගන්නෙ. මගේ ඇහැට පේන්නෙ නැති කොටසක නම් මගේ සහය ශිල්පියා උදව් වෙනවා.
අංග රචනා ශිල්පියෙක් හැටියට හිතා ගන්නවත් බැරි තරමෙ වෙනස්කමක් කරන්න පුළුවන්කමක් තියෙනවද?
ඒකට මම මගේ් මේ අත්දැකීම උත්තරයක් හැටියට කියන්නම්. රංගන ශිල්පියෙකුගේ ගමන් මග වෙනස් කරන්න පුළුවන්ය කියලා මට දැනිච්ච එක අවස්ථාවක් මේක. අසූව දශකයේ නිර්මාණය වුණු ‘පුන්තිලා’ නාට්‍යයේ පුන්තිලා හැටියට රඟපාපු නිහාල් සිල්වා කියන ශ්‍රේෂ්ඨ නළුවා, රංගධරයා උරහිස දක්වා කොණ්ඩෙ වවාගෙන හිටිය කෙනෙක්. ඒ වෙන කොට එයා නාට්‍ය 264 ත රඟපාලා තිබුණා කියලා මට කිව්වා.
ඒක විශාල සංඛ්‍යාවක්. නිහාල්ගේ රූපය මම වෙනස් කළා චරිත ස්වභාවය අනුව. පුන්තිලා කියන්නෙ බීපු වෙලාවට උග්‍ර සමාජවාදී මත දරන ඉතා හොඳ මනුස්සයෙක්. නමුත් නොබීපු වෙලාවට උග්‍ර ධනවාදියෙක් හා අන්‍යයන් තලා පෙළා දමන කෙනෙක්. මේ චරිතයේ නිරූපණය සඳහා මම නිහාල්ට කිව්වා, නිහාල් මේක ඔයාගෙ 265 වෙනි නාට්‍ය කර ගන්නෙ නැතිව මේක ඔයාගෙ පළවෙනි නාට්‍ය කර ගමුය කියලා.
ඒකට මම වර්තමානයේ මගේ රූපෙට සමාන එකක් මම සැලසුම් කළා. මැද තට්ටෙ වටේම කොණ්ඩේ, උඩු රැවුල, මැදි වයස. නිහාල් ගත් කකටම කිව්වෙ පිස්සුද මම කොල්ලෙක්නෙ. මම තට්ටෙ ගාගෙන ඉන්නෙ කොහොමද කියලා.
මම කිව්වා නිකමට ඒකත් කරලා බලමුය කියලා. පින්ලන්ත ජාතික හෙලේනා ලෙන්තිමතිත් මගේ ඩිසයින් එකට ගොඩක් කැමැති වෙලා ඒක කරන්නම ඕනය කියලා කිව්වා. පස්සෙ නිහාල්ව මම එක්ක ගිහිල්ලා පියවරෙන් පියවර පිංතූරත් අරගෙන තට්ටෙ ගෑවා.
අද වෙන කෛාට නිහාල් සිලවාගෙ කාබන් කොපි මෙච්චර බිහි වෙන්නේ මම එදා දාපු තට්ටෙ නිසා. නිහාල් මැරෙනකනුත් ඒක ඒ විදිහටම තිබ්බා. නිහාල් ගේ කලා ජීවිතයෙන් නිහාල් වෙනමම පුද්ගලයෙක් බවට පත් වුණා එදා මම එයා වෙනුවෙන් කරපු අංග රචනය නිසා.
දැන් බලන්න අද වෙන කොට කාටවත් නිහාල් සිල්වා කියන්නෙ කොණ්ඩෙ වවාගෙන හිටපු කෙනෙක්ය කියන මතකයවත් තියෙනවද කියලා? පුද්ගල ස්වභාවය වෙනස් කිරීම ඔහුගේ මුළු ජීවිත කාලයෙම ගමන් මග වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. පරාක්‍රම නිරිඇල්ල, ජයන්ත චන්ද්‍රසිරි, ධර්මසිරි බණ්ඩාරනායක, ජයලත් මනෝරත්න වගේ අය මගේ මේ අංග රචනා හැකියාව උරිමයෙන් තමන්ගෙ නිර්මාණවලට දායක කරගෙන තියෙනවා.
1 comments:
උසස් ලිපියකි
Post a Comment