රමණීය කඳුගැටයක් පාමුල ඉදිවුණු මේ අපූරු ගොඩනැඟිල්ල අපට කියාපාන්නේ දශක ගණනාවක ඉතිහාසයක අනුස්මරණීය මතකයක්. ගොඩනැඟිල්ලට ඉහළින් අහසට විහිදුණු දැවැන්ත සියඹලා රුකත් මේ ඉතිහාසයටම නෑකම් කියන්නක්. අද මේ කඳුගැටය පුරා විහිදුණු ගොඩනැඟිලි සියල්ල සෙවණ දෙන්නේ අපේ රටේ අනාගතය බාර ගන්නට ඉන්න ආදරණීය දූ දරුවන් රැසකට.
දශක ගණනාවක මනරම් අතීතයක සුවඳත් සමඟ මා පිවිස තිබුණේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට.
1934 මැයි මස 20 වැනි දින භාරතීය මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් අතින් මුල්ගල තබා ආරම්භ කරන ලද ‘ශ්‍රීපාලිය’ එදා මෙදා තුර මෙරට සෞන්දර්ය කලා විෂයයන් සඳහා ලබාදුන් දායකත්වය අතිමහත්ය.
හොරණ ශ්‍රීපාලියේ නිර්මාතෘවරයා වනුයේ විල්මට් ඒ.පෙරේරා මහතාය.
එකල පැවැති අධිරාජ්‍යවාදී පාලන ක්‍රමය යටතේ වූ අධ්‍යාපන විසමතා පිළිබඳ නිරන්තර උනන්දුවකින් කටයුතු කළ විල්මට් ඒ.පෙරේරා ගේ හිත රටට ඔබින ජාතික අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාව පිළිබඳ යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීපාලිය මෙරටට තිළිණ විය. ජාතික නැටුම් ගැයුම්වලට මුල්තැන දුන් කේරළ මහා කවි ‘වලතොල්’ ගේ කේරළ කලා මණ්ඩලයට ගිය විල්මට් ඒ.පෙරේරා බෙංගාලයේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට ද ගියේය.
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ඉන්දියාවේ නිදහස් සටනට පණපෙවූ මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර්, ජවහර්ලාල් නේරු, සරෝජිනී නායිදු ආදී ඉන්දියානු නායකයින්ගේ නිදහස් සටන් ව්‍යාපාරය දුටු ඔහු ශාන්ති නිකේතනයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ මනා අවබෝධයකින් පසු පෙරළා මෙරටට පැමිණියේ ලංකාවේද ශාන්ති නිකේතනයක් ආරම්භ කිරීමේ පරමාර්ථය ඇතුවයි.
ඒ අනුව හොරණ – කළුතර පාරට මුහුණලා පිහිටි ඔහුට අයිති ‘කපුකුල’ නම් වූ රබර් ඉඩමෙහි මෙම විද්‍යාලය ආරම්භ කිරීමට ඔහු සැලසුම් කළේය. ඔහුගේ ආරාධනයෙන් 1934 දී මෙරටට පැමිණි මහාකවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් අතින් එම විද්‍යාලය සඳහා මුල්ගල තබන ලදී. එදිනම එතුමන් විසින් රෝපණය කරන ලද සියඹලා පැළය අද මහා වෘක්ෂයක්ව ශ්‍රීපාලි භූ®මියේ විශාල පෙදෙසකට සිසිලස පතුරයි. මෙම සියඹලා ගස පා මුල දක්නට ලැබෙනුයේ රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ කවි පන්තියක් කොටන ලද ශිලා පුවරුවකි.
ශ්‍රීපාලි විද්‍යාලයට ශ්‍රීපාලි යන නාමය තබන ලද්දේ ද තාගෝර්තුමන් විසිනි. ශ්‍රියා කාන්තාව වාසය කරන ස්ථානය යන අරුත් ඇතිව ‘ශ්‍රීපොල්ලි’, ‘ශ්‍රීපාලි’ යන නම තබනු ලැබීය. අවට ගම්වාසීන් ඇතුළු මහජනයාගෙන් පිරීගිය උත්සවයකදී ජාතික ඇඳුමින් සැරසුණ රත්නවීර සිරිසේන, ජයසුන්දර හා ගුණතිලක යන නම්වලින් යුතු දරුවන් හතර දෙනෙකු තාගෝර්තුමාගේ ආශිර්වාදය ලබාගෙන ශ්‍රීපාලියෙහි පළමුවන ශිෂ්‍යයින් වශයෙන් බඳවා ගැනිණි.
ශ්‍රීපාලිය පිරිමි ළමයින්ගේ ඉංග්‍රීසි පාඨශාලාවක්, කර්මාන්ත ශාලාවක්, කලා භවනක්, ගොවිපළක්, පුස්තකාලයක්, කියවීම් ශාලාවක් හා ගම්බද ක්‍රීඩා පිටියකින් ද සමන්විත විය. කඳුගැටය මුදුනේ පිහිටි පැරණි නිවාසය ශිෂ්‍ය නිවාසය මෙන්ම නැටුම් ගැයුම් වැයුම් ඉගැන්වීමේ සහ චිත්‍ර ශිල්පය හැදෑරීමේ ස්ථානය ද විය. ශිෂ්‍ය නිවාසය අසල කඳුමුදුනේ ගල්තලාවේ සෑම ශිෂ්‍යයෙකුටම ආගම ඇදහීම සඳහා උපාසන මළුවක් සාදනු ලැබීය.
මේ උපාසන මළුව අද ද දක්නට ලැබෙන අතර අද ද පාසල ආරම්භවන්නට පෙර සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙතැනට රැස්ව ආගම සිහිකර ශ්‍රීපාලියටම වෙන්වුණු ගීත ගායනා කරමින් පෙරහරින් පාසල වටා පැදකුණු කරති.
ශ්‍රීපාලියේ මුල්ම විදුහල්පතිවරයා වූයේ හොරණ වෑවල ඩබ්ලිව්.ඒ.එස්.ෆොන්සේකා මහතාය. ජාතික ඇඳුමින් සැරසුණු ඔහු ශ්‍රීපාලිය වඩා වර්ධනය කිරීමට එහි නිර්මාතෘ විල්මට් ඒ.පෙරේරා මහතාට මහත් වූ සහයෝගයක් දැක්වීය. අද දක්වාම ශ්‍රීපාලියේ භාවිතා වන ‘මේ සිරි ලක්දිව තුම් ශ්‍රීපාලි අපේ’ යන ගීතය ඔහුගේ රචනයකි.
පාණදුර වලපොල ජෝතිරතන ස්වාමීන්වහන්සේ ශ්‍රීපාලියේ සිංහල, පාලි, සංස්කෘත භාෂා ඉගැන්වූ ආචාර්යවරයා වූ සේක. ශ්‍රීපාලි කඳුමුදුනේ උපාසන ගල අසල කුටියක උන්වහන්සේ නේවාසිකව වැඩ සිටි සේක. මේ කර්මාන්ත අංශය එකල හැඳින්වූයේ ශිල්පායතනය නමිනි.
කලාභවනෙහි සංගීත ඉගැන්වීම සඳහා මුලින්ම පැමිණි ආචාර්යවරයා වූයේ සරණගුප්ත අමරසිංහ මහතා ය. ඩිල්රුබා, එස්රාජ් වැනි භාණ්ඩ වාදනය ඉගැන්වීම හා ගායනය ඉගැන්වීම ඔහුට භාරවිය. ශාන්ති නිකේතනයේ හා ලක්නව් භාත්ඛණ්ඩ සරසවියෙන් උගත් ඔහු එකල විසූ දක්ෂ සංගීතඥයෙකු විය. විල්මට් ඒ.පෙරේරා මහතාගේ බිරිඳ වූ පෙරේරා මැතිනිය චිත්‍ර ශිල්පය ඉගැන්වූ ආචාර්යවරිය වූවාය. ඉංග්‍රීසි පාසලේ උගන්නා සෑම ශිෂ්‍යයකුටම ශිල්පායතනයෙන් කිසියම් වූ කර්මාන්තයක් ඉගෙනීම ද එකල අනිවාර්ය විය.
එකල පිරිමි ශිෂ්‍යයන් 17 – 20ක් පමණ වූ ශ්‍රීපාලියට දරුවන් එවීමට බොහෝ මව්පියෝ අකැමැති වූහ. චිත්‍ර, නැටුම්, සංගීත ආදිය ඉගෙනීමෙන් තම දරුවන්ට අනාගතයක් නැතැයි යන හැඟීම එකල මව්පියන් සතුවිය. සෞන්දර්යය අංශයන් සඳහා දක්ෂතම ආචාර්යවරුන් තෝරාගැනීම විල්මට් ඒ.පෙරේරාගේ අභිප්‍රාය වූයෙන් ඔහු 1935 දී ලංකාවේ කෑගල්ල ප්‍රදේශයේ ඇතිවුණු දරුණු මැලේරියා වසංගතයට සහනාධාර ලබාදීමට ගියේය.
එහිදී දක්ෂතම නැටුම් පරපුරක නැට්ටුවන් මුණගැසීමෙන් ඔවුන් ශ්‍රීපාලියට කැඳෙව්වේය. ඒ අනුව කෑගල්ල අරණායක ගැවිලපිටියේ බුදවත්තේ නැටුම් පරපුරේ ජේම්ස් දම්මන්නාගොඩ ශ්‍රීපාලියේ මුල්ම උඩරට නැටුම් ගුරුවරයා විය. ඔහුගෙන් පසු එම නැටුම් පරපුරෙහිම පුංචිගුරු ටී.සුබන්චි, සුමිත්‍රා යන ආචාර්යවරු ශ්‍රීපාලියෙහි උඩරට නැටුම් ගුරුවරුන් ලෙස වරින් වර සේවය කළෝය.
මේ නැටුම් ශිල්පය කෙතරම් අනර්ඝ වූයේ ද කිවහොත් රවීන්ද්‍ර සංගීතයෙහි නිපුණයෙකු වූ ද, ශාන්ති නිකේතනයේ දක්ෂතම නෘත්‍ය නාට්‍ය (මුද්‍රා) ශිල්පියා වූ ද, මනිපූරි හා බාලි නැටුම් ප්‍රගුණ කළ ශාන්ති දේව ඝෝෂ් ශිල්පියා 1936 වර්ෂයේ දී උඩරට නැටුම් හදාරනු පිණිස ශ්‍රීපාලියට පැමිණියේය. ඒ සමඟම ඔහු ශ්‍රීපාලි ශිෂ්‍යයන්ට සංගීතය ඉගැන්වූයේය.
1937 දී ලක්නව් හි භාත්ඛණ්ඩ විද්‍යාලයේ උපාධිධරයකු වූ සංගීත විශාරද ‘විද්‍යාධර්වසල්වාර්’ නම් මරාටි සංගීතඥයා ශ්‍රීපාලියට එක්විය. කේරළයේ කේරළ කලා මණ්ඩලයේ ‘ආනන්ද ශිවරාමන්’ නම් දක්ෂතම කථකලි නළුවා ශ්‍රීපාලියේ කථකලි නර්තන ආචාර්යවරයා වශයෙන් පත්ව ආවේය. චිත්‍ර ශිල්පය ඉගැන්වීම සඳහා ශාන්ති නිකේතනයෙන් ‘කිරාන් දේ’ නම් වංග චිත්‍ර ශිල්පියා ශ්‍රීපාලියට පැමිණියේය. ඔහු රවීන්ද්‍ර සංගීතයෙහි ද අති දක්ෂයකු වූ අතර සංගීතය ද ඉගැන්වූයේය. ඔහු විසින් අඳින ලද බිතු සිතුවම් කිහිපයක් ශ්‍රීපාලියේ රවීන්ද්‍ර ශාලාවේ මේ දක්වා ද දක්නට ලැබේ.
ආනන්ද සමරකෝන්, ඇල්.ටී.පී.මංජු ශ්‍රී යන ලංකාවේ සුප්‍රසිද්ධ ශිල්පියෝ එදා ශ්‍රීපාලියට පැමිණ කිරාන් දේ මහතාගෙන් චිත්‍ර ශිල්පයේ ආභාසය ලබාගත් අය අතර වූහ.
1938 දී ‘ජයන්ති ලාල් පරාක්’ නම් චිත්‍ර ශිල්පියා බොම්බායේ සිට මෙහි පැමිණියේය. ඔහු ශ්‍රීපාලියෙන් උඩරට නැටුම් ඉගෙන ගෙන මෙහි නැටුම් උගනමින් සිටි සිසුන්ට ඉන්දියානු නැටුම් උගන්වා කලකින් සියරට ගිය තවත් ආචාර්යවරයෙකි.
එකල ශ්‍රීපාලි ශිෂ්‍යයන්ගේ පාසල් ඇඳුම වූයේ රෙදි බැනියමින් යුත් ජාතික ඇඳුමයි. ශාන්ති නිකේතනයේ වැඩිහිටි ශිෂ්‍යයන් ඇමතූ වදන් වූ ‘ශාන්තිදා (ශාන්ති අයියා) ‘බච්චු දී’ (අක්කා) යන සම්ප්‍රදාය අනුගමනය කරමින් ශ්‍රීපාලි ශිෂ්‍යයෝ ද තම වැඩිහිටි ශිෂ්‍යයන්ට ‘අයියා’ යනුවෙන් ඇමතූහ.
එකල ශ්‍රීපාලියට ඇතුළත් වූ සෑම ශිෂ්‍යයකුම නේවාසික විය යුතු බව ප්‍රතිෂ්ඨාචාර්යතුමාගේ අදහස විය. ගුරු ඇසුරෙහි හැදී වැඩී යාම පැරණි ගුරුකුල ක්‍රමයට අයත් වූවක් විය. මේ නිසා ආරම්භයේ සිටම සෑම ශිෂ්‍යයෙකුම ‘අවන්ති’ නිවාසයේ නේවාසික වූයේය. එම ශිෂ්‍යයෝ සහෝදරයන් මෙන් එක පවුලක ඇතිදැඩි වූහ. ඔවුන්ගේ ආහාරය සඳහා එකල ලැබුණේ නිවුඩු සහිත සිංහල හාලේ බතය.
එයට හාල් ලැබුණේ විල්මට් පෙරේරා මහතාට අයත් අනුරාධපුරයේ කුට්ටම්පොකුණ වෙල් යායෙනි. මාළුපිනි අතර පරිප්පු අනිවාර්යය විය. මේ බත සැපයීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වන ලද පිත්තල තැටි හා පිත්තල ජෝගුද විය. 1950 දශකය අවසන් වන තුරුම මේ තැටි හා ජෝගු විය. ශිෂ්‍ය නිවාසයට අවශ්‍ය කිරි සැපයීම සඳහා රයිගම් කෝරළ ග්‍රාම ජීවිත සංරක්ෂණ සංගමය මඟින් බේත් කොටුවට යාබද කිරි ගොවිපළක් ද පවත්වාගෙන යන ලදී. පසු කලෙක ගොවිපළෙන් කොටසක් ශ්‍රීපාලි ක්‍රීඩා භූ®මිය ලෙසට සකස් කරන ලදී.
යටත්විජිත යුගයේදී හෙළ කලාවන් යළි පණගැන්වීම අරමුණු කරගනිමින් ආරම්භ කළ ශ්‍රීපාලිය 1936 ජනවාරියේ පටන් ආධාර ලබන තුන්වැනි ශ්‍රේණියේ විදුහලක් වශයෙන් ලියාපදිංචි කරන ලදී. එහිදී ඉංග්‍රීසි අනිවාර්යයෙන් උගත යුතු අතර ශ්‍රීපාලියට ආවේණික වැදගත් නියමයන් එලෙසම පවත්වාගෙන ගියේය. මුලින්ම ඇති කළ පරිදි බදාදා සහ ඉරිදා සතියේ නිවාඩු දිනයක් වූ අතර ඉතිරි පස් දවස පාසල් දින විය.
විදේශීය නම් ගම් ලබා සිටි හැම දෙනාම දේශීය හෝ පෙරදිගට ගැළපෙන නම් ලබාගත යුතු විය.
1941 දී ශ්‍රීපාලියට කාන්තාවන් ඇතුළු කරගැනීම ආරම්භ විය. සැම ශිෂ්‍යාවක්ම අනිවාර්යයෙන්ම ළමා සාරියෙන් සැරසිය යුතුªයි.
ශ්‍රීපාලි භූමියේ අදත් ප්‍රෞඩව නැඟී සිටින්නේ එදා රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් විසින් මුල්ගල තබා ඉදිකරන ලද ගොඩනැඟිල්ලය. වර්තමානයේ එය භාවිතාවනුයේ පුස්තකාල ගොඩනැඟිල්ල වශයෙනි. ස්වභාව ධර්මයේ සුන්දරත්වයෙන් පොහොසත් රමණීය කඳුගැටයක ඉදිවුණු ශ්‍රීපාලියේ සියලු ගොඩනැඟිලි දේශීයත්වයට අදාළ ලෙස ගොඩ නඟන්නට එදා විල්මට් ඒ. පෙරේරා දැඩි උත්සාහයක් ගත්තේය.
ශ්‍රීපාලිය රජයට පවරා ගැනීමෙන් පසු මේ දක්වාම දිවයිනේ කීර්තිමත් නමක් දිනාගත් පාසලක් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බබළයි. මේ වන විට 75 වැනි වසර සමරන ශ්‍රීපාලියේ වර්තමාන විදුහල්පතිවරයා වන්නේ ජේ.ඩී.එල්.වී.කේ.ජාසිංහ මහතාය. 75 වැනි සංවත්සරය වෙනුවෙන් වසර පුරාම විශේෂ උත්සව මාලාවක් සංවිධානය කර තිබෙන අතර මේ වන විට සිසුන් 4000ක් ගුරුවරුන් 152ක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 31 දෙනෙක් ශ්‍රීපාලියට ඇතුළත් වෙති.
සාරධර්ම අගයන සමාජයක් බිහිකිරීම උදෙසා විල්මට් ඒ. පෙරේරාගේ දර්ශනය හා අරමුණු මූලික කරගනිමින් ශ්‍රීපාලි සම්ප්‍රදායයන් රකිමින්, නව ලොවට උචිත, නවීන දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් බිහිකිරීම පිණිස වර්තමානයේ ශ්‍රීපාලිය කැපවී සිටියි.
0 comments:
Post a Comment