----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හඬ ඇසූ පමණින්ම රටම හඳුනන මර්සි එදිරිසිංහ සමඟ කතා බහක්

Sunday, September 5, 2010

මර්සි රංගනයට අති දක්‍ෂ රංගනවේදිනියකි. හාසෝ‍යීත්පාදක නාට්‍ය හරහා සුවහසක් ප්‍රේක්‍ෂක සිත් අමන්දානන්දයට පත් කළ මර්සි අද ද සිය අති විශිෂ්ට වූ ප්‍රතිභාව හරහා ප්‍රේක්‍ෂක සිත් මත අපුරූ සිතුවම් අඳීන්නීය. එදා ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන්ම වෙන් වූ කලා කෘතීන්හි ප්‍ර‍්‍රධාන භූමිකාවන් හෙබ වූ අපේ කතා නායිකාව ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ තමා වෙනුවෙන්ම පිටුවක් වෙන් කරගනු ලැබුවේ උප්පත්තියෙන්ම ගෙනා ඒ අති විශිෂ්ට හැකියාව නිසාමය.

හඬ ඇසෙද්දී ලංකාවම හඳුනන මේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනිය තමාගේ රංගන කෞෂල්‍ය හරහා වේදිකාවත්, පුංචි තිරයත් සැරසූ වාර අනන්තය.

ඒ හැකියාවන් ඔස්සේ රටක් නැළැ වූ, සැනසූ මර්සි අද අපේ කතා නායිකාවයි. හරබර චරිත හරහා ප්‍රේක්‍ෂයින්ට යමක් දැනෙන්ට කතා කරන මේ විශිෂ්ට රංගනවේදිනිය අද මෙසේ සරසවිය හා එක් වී ඔබ හමුවන්නීය.

එහෙම නම් එදත් අදත් ලාංකේය කලා තරු අතරේ කාන්තිමත්ව බබලන මර්සි එදිරිසිංහ නම් තාරකාවේ කාන්තිය සමඟ අපි දැන් එක් වෙමු.

මුලින්ම මම ඔබව කැඳවාගෙන යන්නේ මෙනෙහි කරමින් සතුටු විය හැකි ඔබේ ආදරණීය අතීතය වෙතටයි. අවම පහසුකම් යටතේ රංගන දිවිය දික්විජය කළ ඒ අතීතයෙන් මේ කතාබහ අරඹමු.

ඇත්තටම ඒ අතීතය මතක් කරලා ඕනෑම වේලාවක සතුටු වෙන්න එදා සිටි හැමෝටම පුළුවන්. අපි අපේ වේදිකා නාට්‍ය අරගෙන රට වටේම ගිය කාලෙ හරිම සුන්දරයි. ඒ දවස්වල වේදිකා නාට්‍ය වලට රටේ ලොකු පිළිගැනීමක් තිබුණා.

ගම් දනව්වලට අපි යද්දී නාට්‍ය කණ්ඩායම් පිළිගන්න මිනිස්සු මග බලාගෙන හිටියා මට අද වගේ මතකයි. නිෂ්පාදකයා කවුරු වුණත්, අධ්‍යක්ෂවරයා කවුරු වුණත් අපි නිතරම හිතන්න පුරුදු වෙලා තිබුණේ මේ නාට්‍ය මගේ කියලා. ඒ නිසාම අප අතරේ ලොකු බැඳීමක් තිබුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් ඒක හැබෑම සහෝදර බැඳීමක්.

ඒ දවස්වල හිටිය නළු නිළියන්ගේ ඔළුවේ කුණු තිබුණෙ නැහැ.

දවස් හතර පහේ ගමන් යන කොට අපි විවේක ගත්තේ එකම කාමරේ. එහෙම ඉන්න තරම් බැඳීමක් එකිනෙකා පිළිබඳ අවබෝධයක්, එකිනෙකා පිළිබඳ විශ්වාසයක් අපට තිබුණා. ඇත්තටම ඒ කාලේ හරි ලස්සනයි. අපි කොච්චර දුක් වින්දත් ඒ දුක ඇතුළේ ලොකු සතුටක් පිරිලා තිබුණා.

මට මතකයි අපි ඉස්සර නුවර යන හැටි. නුවර යන්න තිබුණේ කඩුගන්නාව ගල් උමග යටින්. අපි යන බස් එකේ වහලේ වේදිකා පසුතලවලට අවශ්‍ය දේවල්, ලයිට් වගේම දවස් හතරකට පහකට අපට වුවමනා දේවලුත් පටවලයි තියෙන්නේ. දැන් බස් එක යනවා.

නාට්‍ය ඉන්න හැමෝම යන්නේ් මේ බස් එකේ. හැබැයි මේ බස් එක ගල් උමගෙන් ඇතුළු කරන්න බැහැ. එච්චරට බස් එක උඩ බඩු පිරිලා. අපි හැමෝම බස් එකෙන් බැහැලා බස් එක උඩ තියෙන බඩු බාලා බස් එක උමගෙන් එහා පැත්තට යවලා ආයෙමත් බඩු ටික ගෙනිහින් බස් එකට පටවනවා.

ඒ හැම දේම කළේ නළු නිළියන්, අධ්‍යක්ෂවරයා, කාර්මික ශිල්පීන් ඔක්කොම එකතු වෙලා. අපිට හදිස්සියක් තිබුණේ නැහැ. ලොකුකම් ඔළුවේ තිබුණේ නැහැ. ඔළුවේ තිබුණේ මේ වැඩේ අපේ කියන එක විතරයි. ඒ හින්දා වෙන්න ඇති එදා කැපවීමෙන් වැඩ කළ හැමෝම අද කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්නේ.

එදා වේදිකා නාට්‍ය බලන්න මිනිස්සුන්ගේ තිබුණෙ ඉහළ කැමැත්තක්. අපි ඒ ප්‍රතිචාර ගැනත් කතා කරමු?

එදා කලාව කැප වෙලා තිබුණේ මිනිස්සුන්ගේ වින්දනය වෙනුවෙන්. ඒ නිසාම මිනිස්සුත් කලාව වෙනුවෙන් කැප වෙලා හිටියා. මට මතකයි දර්ශන වාර දෙක පෙන්වන්න ගිය තැන්වල දර්ශන වාර තුන හතර පෙන්වන්න අපට සිදු වුණා. ජනතාවගේ් කැමැත්ත වෙනුවෙන් අපි කාලය කැප කළා. ඒ නිසාම ජනතාව අපටත් ආදරය කළා.

තාරාවෝ ඉගිලෙති, රන්කඳ, දුන්න දුනු ගමුවේ, ඉඩම, අල්ලපු ගෙදර, මූදු පුත්තු වගේ නාට්‍ය රඟපාලා ලබපු ප්‍රේක්ෂක ප්‍රතිචාර මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

එදා වේදිකාව සහ අද වේදිකාව ඔබ දකින්නේ කොහොමද?

මට නම් දැනෙන්නේ අහසට පොළව වගේ කියලා. හැබැයි අදත් වේදිකා නාට්‍යවලට හොඳ පිළිගැනීමක් තියෙනවා. හොඳ නාට්‍ය බිහි නොවෙනවාත් නොවෙයි. මා හිතන්නේ අද වේදිකා නාට්‍ය නළුවෝ අතර කැපවීමෙන් වැඩ කරන අය ඉන්නේ අඩුවෙන්. ඇතැම් වෙලාවට අද වේදිකා නාට්‍ය සම්මාන උළෙලවලට විතරක් සීමා වෙලා.

රසාස්වාදයට වඩා මුදල්වලට නැඹුරු වෙලා. ඇතැම් නාට්‍ය සාමාන්‍ය ජනතාවට නොතේරෙන තරමටම පැටලුම් සහගතයි. ඒ නිසාම තවමත් රසාස්වාදය සපිරි පැරැණි නාට්‍යවලට ජනතාවගේ කැමැත්තක් තිබෙනවා.

ඊළඟ මොහොතේ අපි විනෝද සමය ළග මොහොතක් නවතිමු.

විනෝද සමය කියන්නේ මගේ ජීවිතයේ අහඹු සන්ධිස්ථානයක්. දවසක් මම ගුවන් විදුලි කොරිඩෝවෙන් ඇතුළු වෙලා ටික දුරක් යද්දී ඇනෙස්ලි මහත්තයා කතා කළා.

එතුමා මගෙන් උදව්වක් ඉල්ලුවා. එදා විනෝද සමය කතා මාලාවේ ගැහැනු චරිතයට පණ පොවන හඬ කැවීමේ ශිල්පියා අසනීපයක් නිසා පැමිණ සිටියේ නැහැ.

ඇනෙස්ලි මහත්තයා ඒ චරිතය කරන්න මට ආරාධනා කළාම මාව කරකවල අතහැරියා වගේ දැනුණා. පුංචි කාලේ ඉඳලම අභියෝග භාර ගන්න පුරුදු වෙලා හිටිය මම එදා ඒ අභියෝගයත් භාර ගත්තා.

මට ඇනෙස්ලි මහත්තයා පිටපත දුන්නේ හරියටම 11.30 ට. වැඩ සටහන සජීවීව විකාශය වන්නට තිබුණේ 12.00 ට.

හැම දේටම තිබුණේ පැය භාගයක්. ඒ පැය භාගයේදී මම පිටපත කියවලා අඩුවක් නැති වෙන්න මගේ චරිතයට හඬ කැව්වා.

එදා විනෝද සමයට ඓතිහාසික දිනයක් වුණා. විනෝද සමය පළමු වතාවට කාන්තාවකගේ හඬක් කාන්තාවක් නියෝජනය කළ දවස එදා.

ඊට පස්සේ තමයි හන්දියෙ ගෙදර නාට්‍යයේ මිස් ඩූලිට්ල් චරිතය මට ලැබුණේ. ඒ චරිතය ලංකාවේ මිනිස්සුන්ට අදටත් මතකයි. ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ යමක් කරන්නට ලැබීම ඇත්තටම මට සතුටක්.

එදා ගුවන් විදුලි නාට්‍යවලට තිබුණු තැන අදටත් එහෙමමයි කියලා ඔබ හිතනවාද?

ගුවන් විදුලිය කියන්නේ ශ්‍රවණ මාධ්‍යයක්. ගුවන් විදුලි නාට්‍ය අහන ගමන් මිනිස්සු තම තමන්ගේ වැඩ කටයුතුත් කර ගත්තා. නමුත් රූපවාහිනිය එහෙම නෙවෙයි.

ඒක වෙනමම මාධ්‍යයක්. රූපවාහිනිය නරඹන්නට ඒ වෙනුවෙන්ම කාලය කැප කළ යුතුයි. මා හිතන්නේ මේ හේතුව නිසා අදටත් ගුවන් විදුලි නාට්‍ය ඉතා ඉදිරියෙන් තිබෙනවා.

නමුත් අවාසනාවකට අද හොඳ ගුවන් විදුලි නාට්‍ය රචකයින්ගේ හිඟයක් පවතිනවා.

ඔබ ලංකාවේ වේදිකාව තුළ ගායනයෙන් පෙරළියක් ඇති කළ රංගන ශිල්පිනියක්.

තාරාවෝ ඉගිලෙති වගේ නාට්‍යවල මා ගැයූ ගී එක රැයකින් ජනප්‍රිය වුණා.

එදා ප්‍රේක්ෂකාගාරයෙන් මගේ ගීතය ඇතුළු සියලුම ගීත වලට අත්පොලසන් වැයුණා. මා ගැයූ මේ සියලු ගීත එකතු කරලා ‘ගයයි මර්සි ගී’ නමින් සී. ඩී. පටයක් නිකුත් කළා. පුංචි කාලේ මට වුවමනා වෙලා තිබුණේ ගායිකාවක් වෙන්න. නිළියක් වීම හරහා ඒ හීනය සැබැ කර ගැනීම සතුටක්.

අපි මේ කතාබහ වර්තමානයට වෙතට ගෙන එමු.

මේ දවස්වල වැඩ කටයුතු කිහිපයක් නිසාම කාර්ය බහුල වෙලා ඉන්නේ. හෙක්ටර් විජේසිරිගේ දෙව්ලෝ දෝණි නම් වන අතිශය ජනප්‍රිය වූ නාට්‍යය යළි නිෂ්පාදනය කිරීමේ කටයුත්තට යොමු වුණා. එය ඉතාම සාර්ථකව මේ දිනවල සිදු කෙරෙනවා. දෙව්ලෝ දෝණි ගැහැනු චරිතයක් වටා ගෙතෙන රසවත් කතාවක්. ඒ චරිතය රඟපෑමේ වගකීම ද මා බාර ගත්තේ බොහොම කැමැත්තෙන්.

ඒ වගේම මර්සි එදිරිසිංහ රසික නිවහන සම්බන්ධයෙන් මේ දිනවල කටයුතු කරනවා.

මර්සි එදිරිසිංහ රසික පදනම නිසා මම ඉන්නේ සතුටෙන්. මා වටා සිටින රසික පිරිස සමඟ සම්බන්ධ වීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. මෙම නිවහන ඕනෑම කෙනෙකුට විවෘතයි. දෙහිවල පිහිටුවා තිබෙන මගේ රසික නිවහනට ඕනෑම කෙනෙකුට ගොඩ වෙන්න පුළුවන්. මාව මුණ ගැහෙන්නත් පුළුවන්. හැමෝටම එකතු වෙලා සමාජයට යහපතක් කරන්න තමයි මේ නිවහන ඉදි වුණේ.

මේ දිනවල විකාශය වන අමන්දා ටෙලි නාට්‍ය මේ කතාබහේදී අමතක කරන්න බැහැ.

ඇත්තටම අමන්දා හි පොඩි නෝනා මට ලැබුණු වෙනස්ම චරිතයක්. ඒ නිසාම ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි. පොඩි නෝනා වෙනුවෙන් මං බාහිර ස්වරූපය පවා වෙනස් කර ගත්තා. ඒ තමයි මගේ් රංගනය වෙනුවෙන් කැපවීමේ ස්වභාවය.

අතීතය, වර්තමානය මෙන්ම එළඹෙන අනාගතයේත් ඔබ රටට හොඳ සම්පතක්. ආයෙත් හැරිලා බලද්දී ඔබට මොනවද හිතෙන්නේ?

අපි කලාවෙන් සල්ලි හම්බ කළේ නැහැ. නමුත් මිනිස්සු හඳුනා ගත්තා. ඒ මිනිස්සුන්ගේ ආදරය, සෙනෙහස, ගෞරවය දිහා බලද්දී නිළියක් වීම කොච්චර නම් වාසනාවක් ද කියලා මට හිතෙනවා.

අවසානයේ කියන්න ඔබ මෙන්ම ඔබේ රසික නිවහනට ගොඩ වදින්නට කැමැත්තෙන් සිටින අයට ඔබේ දුරකතන අංකය.

0777576277

0718275098

0 comments:

Post a Comment