රෝහිත සහ චමිලා සමඟ කතාබහක්
හෙන්රික් ඉබ්සන් ගේ බෝනිකි ගෙදර (Doll’s House) මින් පෙරත් අවස්ථා කිහිපයකදී අපේ වේදිකාවේ දිග හැරී තිබෙනවා. වේදිකාව මත අඹු සැමි ජීවිතයේ බල සම්බන්ධතාවයන් දෙස එබී බලන්නට දරන මේ නාට්‍යමය වෑයම ඔබ හමුවට ගෙන එන්නේ කොළඹ විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ ඉදිරිපත් කිරීමක් සහ ජගත් බණ්ඩාර පතිරගේ අධ්‍යක්ෂණයක් ලෙසිනි. සැප්තැම්බර් 2, 3 දිනවලදී ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවීමට නියමිත මේ පරිවර්තන නාට්‍යයේ පරිවර්තනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ගෙනි. මේ එහි රංග කාර්යට එක්ව සිටින රෝහිත කරුණාරත්න හා චමිලා පීරිස් සමඟ කළ කතා බහකි.
මේ නාට්‍ය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?
රෝහිත:
මේක දහ නම වැනි සියවසේ නාට්‍යයක්. මේ නාට්‍යයේ විශේෂත්වය තමයි මේකේ කතා කරන දේවල් එදා අද වගේම හෙටත් වලංගු වීම. ඒ නිසාම තමයි මේක විශ්ව නාට්‍යයක් වෙන්නේ.
චමිලා:
මෙහි ‘නෝරා’ කියන චරිතය මුළු ලෝකෙම නාට්‍ය කලාව දන්න කාගෙත් අවධානය දිනා ගත්තු ගෑනු චරිතයක්. මේ නාට්‍යයේදී මට ඒ චරිතය රඟපාන්න ලැබීම නිළියක හැටියට මට ලැබුණු භාග්‍යයක්. ඒ චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න තමයි මම මේ දවස්වල වෙහෙසෙන්නේ.
මම මේ දක්වා වේදිකාවේ කරපු චරිත අතලොස්ස අතරින් සංකීර්ණම චරිතය ‘නෝරා’ කියලයි මට හිතෙන්නේ. 1879 දී රචනා වුණු මේ නාට්‍ය අද සමාජයටත් වලංගුවීමෙන්ම මේ නාට්‍ය කොතරම් ප්‍රබලද කියන එක ඔප්පු වෙනවා.
නාට්‍යයේ පෙළ සහ නාට්‍යමය ගොඩ නැගීම ගැන කතා කළොත්?
රෝහිත:
මේ නාට්‍යයේ හැම චරිතයකටම සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ නාට්‍ය ගොනුවෙලා තියෙන්නේ ප්‍රධාන දර්ශන තුනක එකතුවක් හැටියටයි. ඒ ඒ දර්ශන වලදී අදාළ චරිත වෙනස් වෙන්න ඕන තැන් ඉතා පැහැදිලිවම ගණනය කරලම දීලා තියෙනවා. මේක තාත්වික රංගනයට විශාල පහසුවක්.
යම් කිසි සීමිත ආකෘතියක රඟපානවාට වඩා චරිතය නිසි ලෙස තේරුම් ගැනීම තමයි මේ වගේ තාත්වික රංගනයකදී වැදගත් වෙන්නේ. ආයාසයෙන් රඟපාන්න දෙයක් මේකේ නෑ.
මේ පිටපතේ සංවාද විසින්ම අවශ්‍ය රංගනය මතු කරලා ගන්න පුළුවන් සමත්කමක් ඇතුවයි මේක රචනා වෙලා තියෙන්නේ. රංගන ජීවිතයේ අපේ අත්දැකීම් අපේ චරිතවලට මුසු කළාම හොඳ රංගනයක් එළියට එන විදිහටයි මේක ගොඩ නැගිලා තිබෙන්නේ.
චමිලා:
මට තවම නෝරා මුණ ගැහිලා නෑ. ඒ නිසා මම මගේ් අතීත රංගන අත්දැකීම් ඇසුරෙන් නෝරාව තවම හොයමින් ඉන්නවා. මේ චරිතයේ විවිධ පැතිකඩ හඳුනා ගන්න උත්සාහ කරනවා. හේතුව නෝරා කියන්නේ ජීවිතය යථාර්ථවාදීව දකින්න උත්සාහ කරන ගැහැනියක්. මගේ් අවට සමාජයෙන් ලබපු සහ මගේ ජීවිත අත්දැකිම් මේකට මම මුසු කරනවා. මේ චරිතය අපේම ජීවන අත්දැකීම් මතින් වඩා හොඳින් ගොඩ නගන්න පුළුවන්ය කියන එකයි මගේ අත්දැකීම.
රංගන ශිල්පීන් හැටියට අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය ඔබට දැනෙන්නේ කොහොමද?
රෝහිත:
නාට්‍ය අධ්‍යක්ෂවරයා හැටියට තමන්ට අවශ්‍ය තැනකට මේ නාට්‍ය අරගෙන යන අතරෙම මේ නිර්මාණයේ මුල් හිමිකරුවා වන ඉබ්සන් ගේ බලාපොරොත්තු රැක ගන්නත් සමත් වෙලා තියෙනවා.
ඒකට මේ නාට්‍යයත් එක්ක ජීවත්වෙමින් එය හදාරමින් ජගත් ලොකු වෙහෙසක් ගන්න බවත් අපට අත්දකින්න ලැබෙනවා.
ඔහු දෙන උපදෙස් නාට්‍යයේ යටි පෙළ මතු කර ගන්න විශාල ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. අධ්‍යක්ෂවරයා හැටියට ජගත් එක්ක සිද්ධ වෙන දීර්ඝ අදහස් හුවමාරුව මේ නාට්‍යයත් එක්ක අද අපි ඉන්න තැනට එන්න ලොකු පිටිවහලක් වුණා.
චමිලා:
අධ්‍යක්ෂවරයෙක් හැටියට ජගත් ගේ මේ පළමුවැනි නාට්‍යය. නමුත් ඒ ගැන ඔහු හොඳ අධ්‍යයනයක් කරලා තියෙන විත්තිය පේන්න තියෙනවා.
රෝහිත:
මේ නාට්‍යයේ චරිත අටක් විතර තමයි තියෙන්නේ. නමුත් මේක සමස්තයක් හැටියට ගත්තම අති දැවැන්ත නාට්‍යයක්. මේකේ් සෙට් එක, මියුසික්, කොස්ටියුම්, නැටුම් මේ හැම එකක්ම සම්බන්ධයි පිටපතත් එක්ක.
ඒවා යෙදෙන්නේ පිටපත විසින් එය ඉල්ලා හිටින නිසයි. ඒකෙන් පිට නළුවෙකුට නිළියකටවත් වචනයකින්වත් පිට පනින්න බැහැ.
රඟපෑම කොටු කරලා නැති වුණාට පිටපත විසින්ම පනවන ලද සීමා අවබෝධ කරගෙනයි මේ රඟපෑම් කරන්න වෙන්නේ. මොකද මේක ලෝකෙම දැකලා තියෙන නාට්‍යයක් නිසා. මේකේ සුළු අඩුපාඩුවක් පවා දැනුවත් රසිකයාට පහසුවෙන් දැනෙනවා. ඒ නිසා ඒ වගේ් අතපසුවීමකටවත් ඉඩක් මේකේ නෑ.
චමිලා
චරිත අටක් තිබුණට ප්‍රධන චරිතය නෝරා. නමුත් නෝරව මතු කරලා එළියට ගන්න මේකේ සෙසු චරිත අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සෙසු චරිත සමඟ ගැටෙන ප්‍රමාණයට තමයි නෝරා එළියට එන්නේ. ඒක මේ චරිත නිරූපණයේ විශේෂ දෙයක් හැටියටයි මට පෙන්නේ.
අද වෙන කොට ප්‍රේක්ෂකාගාරයේ රස වින්දන තත්ත්වය ඔබ තේරුම් ගන්නේ මොන විදිහටද?
රෝහිත:
අනූව දක්වාම වගේ මේ රටේ නාට්‍ය කලාවේ යම් පිබිදීමක් තිබුණා. නමුත් පසුකාලීනව ඇති වුණු සමාජමය හේතු මත වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය යම් පසුබෑමකට ලක් වුණා. නැවතත් අපේ පැරණි නාට්‍ය ප්‍රතිනිර්මාණය වෙමින් තියෙන පසුබිමක තමයි මේ නාට්‍ය කරළියට එන්නේ.
ප්‍රේක්ෂකාගාරය බලෙන් පුරවන්න බැහැ. ඒක අවබෝධ කරගෙන නාට්‍යයක් රස විඳින්න සූදානමින් එන රසිකයාට හොඳ නාට්‍ය රස වින්දනයක් දෙන්න පුළුවන් නාට්‍යයක් මේක. නාට්‍ය රස විඳලා හුරුවක් තියන ප්‍රේක්ෂකයන්ටයි මෙවැනි නාට්‍ය විඳින්න පුළුවන්.
චමිලා:
අවංකවම කියනවා නම් අද අපි ජීවත්වන මේ සමාජයට තියෙන්නේ අන්තිම අඩු මට්ටමේ රසිකත්වයක්නෙ. වෙන එකක් තියා සිංදුවක් ගත්තත් ඒවයෙ ගන්නම දෙයක් නැහැනෙ.
ගවුම ගැනයි සාය ගැනයිනෙ අද සිංදු ලියවෙන්නේ.
රසිකත්වය හිස් වෙච්ච සමාජයකනෙ අපි ජීවත් වෙන්නේ. ඒ වගේ සමාජයක නාට්‍යයක් තේරුම් ගන්න තරම් රසිකත්වයක් තියෙන සුළු පිරිසක් තමයි අපට රසිකයො හැටියට අපේක්ෂා කරන්න වෙන්නේ.
මේක කනගාටුදායක තත්ත්වයක් වුණත් මේක මට හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න හොඳ අවස්ථාවක් වේවිය කියන විශ්වාසය උඩ තමයි මම මේක භාර ගත්තේ. කලාකාරයෙක් හැටියට අපි දුක් මහන්සියෙන් ගොඩ නගන දේ රස විඳින්න, ඒ ගැන සංවාද කරන්න රසිකයාට තියෙන වගකීම තේරුම් ගත්තු රසික සමාජයක් අද අපට නැහැ.
ඒ නිසා විශාල රසික පිරිසක් බලාපොරොත්තුවෙන් නාට්‍යයක් කරන්න ගියොත් නිර්මාණකරුවා අමාරුවක වැටෙනවා. රසික සමාජයේ තියෙන මේ පසුගාමී තත්ත්වය ගැන රංගන ශිල්පිනියක් හැටියට මට නම් තියෙන්නේ කනගාටුවක්.
රෝහිත:
මමත් පිළිගන්නවා අද වෙන කොට අපේ සමාජයේ රස වින්දනයේ පසුබෑමක් තියෙන විත්තිය. ඒත් එහෙමය කියලා සීරියස් නාට්‍ය රස විඳින අය නැහැ කියලා අපි මේක පටන් ගන්නෙ නැත්නම් හැමදාම එක තැනනෙ. ඒ නිසා අපි මේ වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕනෑ. අද මේ නාට්‍යයත් එක්ක ඉන්න අපි යම් කිසි දෙයක් මේකට එකතු කළේ නැත්නම් කවුද ඒක කරන්නෙ?
හැමදාමත් ප්‍රේක්ෂකාගාරයට බැන බැන හිටියයි කියලා සිද්ධ වෙන සෙතක් නැහැනෙ. මම නම් හිතන්නේ අපි හොයා බලන්න ඕන මිනිස්සු නාට්‍යවලට එන්නෙ නැත්නම් ඒකට හේතු මොනවාද, ඒවා හරි ගස්සන්නේ කොහොමද කියලා. මේ උත්සාහය අපි හරි කරල බලන්න ඕනෑ.
මේ නාට්‍යයට අනුග්‍රහය දක්වන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය. ඒ අයගෙ බලාපොරොත්තුවත් නාට්‍ය කාලවේ සිද්ධ වෙන්න ඕන වෙනස්කම් මේ නාට්‍ය ඔස්සේ සිද්ධ කරන්න පුළුවන්ද කියන එක අත්හදා බලන්නයි. අපි බලමු මේකට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා.
ජනමාධ්‍ය කලාව හා රසික ජනතාව අතර සම්බන්ධය ඔබ බලන්නේ මොන විදිහටද?
රෝහිත:
මේ රටේ ජනතාවට කලා රස වින්දනය ලබා ගැනීීමේදී යා යුතු මඟ කියාදීමේ වගකීම මාධ්‍යවලට තියෙනවා.
නමුත් මාධ්‍ය ඒ වගකීමෙන් බැහැර වෙලා එයාලට වාණිජ පැත්තෙන් වාසිදායක සරළ රස වින්දනය පැත්තට බර වෙලයි තියෙන්නේ. අපට ආවේනික කලාව හඳුනා ගන්න අත්වැලක් ලබාදීම මාධ්‍යවල යුතුකමක් කියලයි මට හිතෙන්නේ.
චමිලා:
අනිවාර්යයෙන්ම හරවත් දේ ජනතාවට හඳුන්වා දෙන්න අඩුම තරමින් සුළු ඉඩක් හෝ වෙන් කිරීමේ වගකීම මාධ්‍යවලට තියෙනවා. මම එහෙම කියන්නේ මාධ්‍ය හැම එකකක්ම යැපෙන්නේ මහජනතාවගේ මුදල්වලින් නිසා. බොරු උඩ පැනිලි, ගේම් ෂෝවලට ඉඩක් වෙන් කරන මාධ්‍ය සමාජයට හරවත් රස වින්දනයක් දෙන්න මැලි වෙන්නේ ඇයි. සමාජ වගකීමක් දරන හැමෝටම තමන් කරන වැඩේ හා තමන්ගෙන් ඉටු වෙන්න ඕන දේ ගැන හිතන්න තරම් ඥානයක් තියෙන්න ඕන. එහෙම නැතිව මේවාට යන්නන් වාලේ යන්න ඇරියොත් තව තවත් පරිහානියට පත් වෙනවා. මේ රටේ දරුවන් මොකවත්ම නොදන්න පිරිසක් නොකිරීමේ වගකීම අමතක කරන්න මාධ්‍යවලට පුළුවන්කමක් නෑ.
මේ කටයුත්තට ලැබෙන දායකත්වය ගැන කියන්න යමක් තියෙනවාද?
රෝහිත:
මේ නාට්‍යයට නෝර්වේ තානාපති කාර්යාලයෙන් ලැබෙන අනුග්‍රහය ඉතා වැදගත්. නිර්මාණකරුවන් දිරි ගන්වලා, ඒ අයගේ නිර්මාණ එළි දක්වන්න ලබා දෙන අත්වැල අගය කරන්න ඕන.
මේ වගේ කාලෙක මේ වගේ නාට්‍යයක් කරළියට ගේන්න කොළඹ සරසවියේ ආදි සමාජ විද්‍යා විද්‍යාර්ථීන්ගේ සංගමය දරන උත්සාහයත් අගය කළ යුතුයි.
ඒ වගේම මේ නාට්‍ය රට වටා ගෙන යන්නත් ඉදිරියේදී කලා රසය හඳුනන යම් පිරිසක් ඉදිරිපත් වෙනවා නම් වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.
චමිලා:
රෝහිත, මම, මල්කාන්ති ජයසිංහ, පාලිත සිල්වා, අජිත් සිරිමාන්න, ඉෂාරි සමරසිංහ, සුමිත් සමරසිංහ ඇතුළු රංගන ශිල්පීන් එකතු වෙලා පැය දෙක හමාරක කාලයක් රඟ දක්වන නාට්‍යක් මේක. කලා ක්ෂේත්‍රයේ ඉන්න කලාව ගැන කතා කරන හැමෝම බලන්න ඕන නාට්‍යයක් මේක.
මේකේ තියෙන හැම වචනයක්ම, හැම සිද්ධියක්ම අපි දිහාම ආපහු හැරිලා බැලීමක්. අපේම ජීවිත දිහාට කන්නාඩියක් අල්ලනවා වගේ් වැඩක්.
මේ නිසා එන්න පුළුවන් හැමෝම මේ නාට්‍ය බලන්න එන්න. ඒක ඔබේම ජීවිතයට එබී බැලීමක් වෙනවා නො අනුමානයි. ඒ අත්දැකීම ලබන්න නම් සැප්තැම්බර් 2 සහ 3 හවස 6.30 ට ලුම්බිණියට එන්න
0 comments:
Post a Comment