----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

බඹර වළල්ල

Monday, August 9, 2010

තම කුලුඳුල් සිනමා නිර්මාණයෙන් උපන් පිං බිමට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අතුල ලියනගේ සරසවිය මැද පිටුවට එක්වෙමින් එසේ කියයි

‘බඹර වළල්ල’ අතුල ලියනගේ අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණයයි. එය හෙට (06) සිට කොළඹ රීගල් ඇතුළුඛ්ඡ්ඹ් මණ්ඩලයේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කෙරේ. එය මෙරට ප්‍රදර්ශනයට පෙරාතුව ලෝක පරිමාණයේ ඇගයීමට ලක්වූ අපේ සිනමාවට අභිමානයක් එක් කළ විශිෂ්ට සිනමා කෘතියකි.

පසුගිය දා අමෙරිකාවේ දී නිමා වූ 43 වැනි හූස්ටන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි ජූරියේ විශේෂ රෙමි සම්මානයෙන් හා විශිෂ්ටතම කැමරාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ‘බඹර වළල්ල’ අපේ සිනමා ඉතිහාසයේ හූස්ටන් සිනමා උළෙලක සම්මානයට පාත්‍රවූ එකම චිත්‍රපටය ද වේ.

‘අමුඩයේ සිට ඩෙනිමට’ තේමා පාඨය සමගින් රිදී තිරය මත දිග හැරෙන මෙම අපූර්ව සිනමා සිත්තම පිළිබඳ එහි අධ්‍යක්ෂ අතුල ලියනේ හා ‘සරසවිය’ කළ සුවිශේෂී සංවාදය මෙතැන් සිට පාඨක ඔබ හමුවේ දිග හැරේ.

‘බඹර වළල්ල’ ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය කොහොමද ඔබ මෙතනට තල්ලු වුණේ...?

අවුරුදු විස්සක් පුරා මම එකතු කරගත් අත්දැකීම් මට සිනමාවට ගේන්න ඕනෑ වුණා. ඇත්තෙන්ම මම වැඩිපුර සම්බන්ධ වෙලා හිටියේ වේදිකාවට. එහෙම ඉන්දැද්දිත් මම සිනමාව ගැන හැදෑරුවා. ෂෙල්ටන් පයාගල තමයි මගේ ගුරුවරයා වුණේ. ඔහු පුස්තකාලයක් හා සමාන පුද්ගලයෙක්.

අවුරුදු දහයක කාලයක් මම ඔහුගෙන් සිනමාව පිළිබඳ බොහෝ දේ දැනකියා ගත්තා. සිනමාව අනිවාර්යයෙන්ම විෂයානුබද්ධ දෙයක්. සමාජ විද්‍යාව හා මානව විද්‍යාව තමයි මම කැමැතිම විෂයයන්. ඒ විෂයයන් අධ්‍යයනය කිරීමෙන් මා ලත් දැනුම සිනමා මාධ්‍යයෙන් එළි දක්වන්න මා කළ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ‘බඹර වළල්ල’ හරහා ඔබ දකින්නේ.

ඔබ වඩාත් සමීපව සිටියේ වේදිකාවට, පසුකලෙක පුංචි තිරයටත් ඔබ සේන්දු වෙනවා. නමුත් ඇයි ඔබ සිනමාව හරහා ඔබේ ආත්ම ප්‍රකාශනය එළි දක්වන්න කල්පනා කළේ...?

2000 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරමින් මගේ ‘මරණ වරණ’ හොඳම නාට්‍යය පිටපත විදියට තේරුණා. එම වසරේදීම රාජ්‍ය යොවුන් නාට්‍ය උළෙලේ හොඳම අධ්‍යක්ෂ, හොඳම නිෂ්පාදක, හොඳම නළුවා ඇතුළු සම්මාන කිහිපයකුත් ඒ නාට්‍යයට හිමිවුණා. නමුත් ඊට පසු නිර්මාණාත්මකව මම කිසිම මාධ්‍යයකට දායක වුණේ නැහැ. රංගන ශිල්පියකු හැටියට විතරයි මම කටයුතු කළේ. වසර නවයකට පස්සේ තමයි මම තිර පිටපත ලියමින් ‘බඹර වළල්ල’ අධ්‍යක්ෂණය කළේ.

මම වේදිකාවෙන් සිනමාවට ආ කෙනෙක්. සිනමාවේ හිඳීමම පමණක් සැබෑ සිනමාකරුවකු වීමට සුදුසු කමක් වෙන්නේ් නෑ. ඊට පිටින් ඉඳන් තමයි සිනමාව ගැන හදාරන්න ඕනෑ. මේක චරිත පදනම් කරගත්ත චිත්‍රපටයක්. චරිතවලින් ලීඩර් කෙනෙක් බිහි කරන්න මට ඕනෑ වුණා. එතැනදී මම සිනමාව නමැති ප්‍රබල මාධ්‍ය මගේ ආත්ම ප්‍රකාශනය ලෙස භාවිතා කළා.

වේදිකාව හා සිනමාව මාධ්‍යයන් දෙකක්. නමුත් මේ මාධ්‍යයන් දෙකම ඔබ බොහොම සූක්ෂම ලෙස ග්‍රහණය කරගනිමින්, එහි රුව ගුණ හඳුනාගනිමින් නිර්මාණකරණයේ යෙදී ඇති වග පෙනෙන්නට තිබෙනවා...?

ඇත්තෙන්ම වේදිකාවත්, සිනමාවත් කියන්නේ සපුරා වෙනස් මාධ්‍ය දෙකක්. හැබැයි ඒ කියන්නේ වේදිකාව O/L, සිනමාව A/L කියලා නෙවෙයි. සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය, එතැනදි කිසිවකුට බැහැ අධ්‍යක්ෂවරයා අභිබවා යන්න. සියල්ලන් ඔහුට නතු වෙනවාමයි. වේදිකාවේදී අඩුම තරමින් තිරය ඇරෙන තැන ඉඳලාවත් නළුවාට හෝ නිළියට ප්‍රම්‍රඛතාවය ලැබෙනවා.

ඒ කියන්නේ වේදිකාවේ දී ප්‍රමුඛතාවය හිමිවන්නේ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට කියලද ඔබ කියන්නේ...?

නැහැ. මම එවැන්නක් නෙවේ කිව්වේ. වේදිකාවත් සිනමාව වගේම සහජාත මාධ්‍යයක්. එතැනදිත් රංගන ශිල්පියා හෝ ශිල්පිනිය අධ්‍යක්ෂවරයා යටතේ මාස කිහිපයක පුහුණුවක් ලබනවා. නරඹන්නන් අතරට යන්නේ ඊට පස්සේ. නමුත් එතනදි චිත්‍රපටයක වගේ දැඩිව අධ්‍යක්ෂවරයාට නතුවීමක් සිදුවෙන්නේ නැහැ.

වේදිකාවේ ඉඳන් සිනමාවට මේ පිම්ම පනින එක ඔබට අභියෝගයක් වුණේ නැතිද...?

නැහැ. එය මට අභියෝගයක් වුණේ නැහැ. සිනමාවට නිර්මාණාත්මකව දායක වෙන්න මට ලොකු උවමනාවක් තිබුණා. මගේ ඒ තීරණය නිවැරදියි කියලා හිතෙනවා.

‘බඹර වළල්ල’ නමෙන් පවා වෙනස් වූ චිත්‍රපටයක්. මෙහි අරුත නොදත් අය පවා මේ සමාජයේ ඉන්නවා?

බඹරු, මිනිස්සුන්ට අනින්න එන්නේ වළල්ලක් වගේ රවුමට හැදිලා කියලා කතාවක් අපේ ගැමි වහරේ තියෙනවා. ඔවුන් ඒකට කිව්වේ ‘බඹර වළල්ල’ කියලා. ඒ වගේම අපේ පහතරට නැටුම් සම්ප්‍රදායේ තියෙනවා ‘මහ මාලක්කන’ කියලා නැටුමක්. එක රවුමට මේක නටන්නේ. මේ රවුමට ඇතුල් වෙන්න ලේසි නැහැ. ඒ වගේම පිටවෙන්නත් ලේසි නැහැ. නමුත් මේක හරි විචිත්‍රවත් නර්තනයක්. ඒකටත් බඹර වළල්ල කියා කියනවා. මේ චිත්‍රපටයේ අන්තර්ගතයෙන් කියැවෙන්නේ ඒ සිස්ටම් එකට ඇතුළුවෙන එකත්, එයින් ගැළවෙන එකත් ලෙහෙසි නැහැ කියන එකයි.

‘අමුඩයේ සිට ඩෙනිමට’ යන තේමාව ඇයි මේ චිත්‍රපටයට යෙදුවේ...?

සංවෘත ආර්ථිකයේ දී වී වෙළෙඳාම් කළ පුද්ගලයෙක් විවෘත ආර්ථික ක්‍රමය තුළ මිනී පෙට්ටි වෙළෙන්දෙක් බවට පත්වෙනවා. මේ කාල පරාසය තුළ අපේ සමාජ සංස්ථාව කොතෙක් දුරට වෙනස් වෙලාද, සමාජ පුරුෂාර්ථයන්, මිනිස්කම් කොතෙක් බිඳ වැටිලාද කියන කාරණායි මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරන්නේ. ‘අමුඩයේ සිට ඩෙනිමට’ කියන තේමාව චිත්‍රපටයේ නම ඉදිරියට එක්වන්නේ ඒ හරහා.

අධ්‍යක්ෂණයට අමතරව ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවකටත් පණ පොවනවා. මේ කාර්යයන් දෙක එකවර කිරීම දුෂ්කර කටයුත්තක්. එහිදී ඔබ සාර්ථක වුණා කියලා සිතනවාද...?

මට ‘හූස්ටන්’ සිනමා උළෙලේදී ලැබුණේ ‘ක්‍රියේටිව් එක්සලන්සි’ කියන සම්මානයයි. මගේ රංගනයත් සමගින් චිත්‍රපටයේ සමස්ත ක්‍රියාවලියටමයි ඒ සම්මානය හිමිවුණේ. චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ අතරට ගියාම ඔවුන්ගේ ප්‍රතිචාරවලින් දැන ගන්න පුළුවන් මගේ සාර්ථකත්වය. මම හිතන්නේ මේ අධ්‍යක්ෂණය කරන ගමන් රඟපෑම මට අභියෝගයක් වුණේ නම් නැහැ.

‘ගෝනමඩිත්තේ පොඩි එකා’ නමින් ඔබ රඟපාන වෙනස්ම මාදිලියේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

ඔහු ඇඟ, මස පමණක් විශ්වාස කරන පහළ අධ්‍යාපනයක් ලද තරුණයෙක්. එවැනි අය අපේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නරඹන තුරු ඒ ගැන වැඩියමක් කියන්න මම කැමැති නැහැ.

ඔබ ඒ නිගමනය ප්‍රේක්ෂකයාට බාර කරන්නේ ඇයි. කලාකරුවා කියන්නේ රසිකයාට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් නේ...?

කලාව වේවා, සාහිත්‍ය වේවා, මානව, සමාජයේ ක්‍රියාකාරකම් මතමයි ඒවායෙහි නිර්මාණ පාර්ශවයන් ගොඩ නැගෙන්නේ. කලාව තියෙන්නේ මිනිසාට වඩා උඩින් නෙවෙයි. කලා නිර්මාණයක් කියන්නේ මානව විද්‍යාත්මක සමාජයේ තවත් ප්‍රතිඵලයක්. කලාව මානව ගනුදෙනු වලින් ගැළවුණාට පස්සේ තමයි විඳින්නට පුළුවන් වෙන්නේ. ඇත්තටම කලාව කියන්නේ අමුතු දෙයක් නෙවෙයි.

මිනිසුන්ගේ දෛනික කටයුතු දිහා ආපසු හැරී බැලීමක්. කලාකරුවා හොඳ ඇනලයිසර් කෙනෙක් වෙන්න ඕනෑ. මම හිතන්නේ කලාවේ පළමුවැනි දේ තමයි වින්දනය. ඊට පස්සේ තම නැණ පමණින් එක් එක් අය ඒවා විඳිනවා. බඹර වළල්ල වින්දනාත්මක චිත්‍රපටයක්. අධ්‍යාපනය ලද, නොලද හැමෝටම සම අසුන්ගෙන නරඹන්න පුළුවන් නිර්මාණයක්.

මැල් ගේ භූමිකාව නිරූපණය කරන මහේන්ද්‍ර පෙරේරාගෙන් ඔබ අති විශිෂ්ට රංගනයක් උකහාගෙන තිබෙනවා. මාධ්‍ය දර්ශනය නැරඹූ බොහෝ දෙනෙක් පැවසුවේ එය මහේන්ද්‍රගේ රංගන දිවියේ කූටප්‍රාප්තිය වගේම සිංහල සිනමාවේ නළු චරිත අතරට එක් වූ විශිෂ්ටතම රංගනයක් බවයි...?

බොහෝ වෙලාවට මහේන්ද්‍රට හමුවුණේ ඔහුට වඩා වයසින් අඩු චරිත. ඒ කියන්නේ චේන් කෑලි දාගෙන, ජෙල් ගාගෙන ඉන්න චරිත. මහේන්ද්‍ර හරි සරලයි. ඔහු නිතරම රංගනයේ දී ඉන්නේ සීරෝවල. එහෙම බිංදුවේ ඉන්න කොට අධ්‍යක්ෂවරයාට පුළුවන් ඔහු එකට, නැතිනම් දෙකට ගේන්න.

ඔහු ඇක්ටින් ටෙක්නොලජි එක හොඳින් දන්න නළුවෙක්. තවත් විදියකට කිව්වොත් මහේන්ද්‍ර වතුර වගේ, අපට පුළුවන් ඒ වතුර තැඹිලි, රතු හෝ අවශ්‍ය වර්ණයකට හරවා ගන්න. ඔහු ජාත්‍යන්තර දැනුම හදාරපු නළුවෙක්. මට වඩා ප්‍රවීණයෝ චිත්‍රපටය බලලා මහේන්ද්‍රගේ රංගනය ගැන ලොකු පැහැදීමකින් කතා කළා.

ඔවුන් කිව්වේ අපේ සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චරිත වූ ගෝරිං මුදලාලි, විලී අබේනායකටත් වඩා ‘මැල්’ ඉදිරියට ගිහින් තියනවා කියලා. වේදිකාව හුරු නළුවෙක් වුණත් මහේන්ද්‍රගේ ඕවර් ඇක්ටින් නැහැ. ඔහු ඩිරෙක්ෂන් බාර ගන්න දන්න නළුවෙක්.

මැල් කියන්නේ බහුවිධ චරිතයක්. ඔහු හරහා ඔබ ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ එකම මිනිසකු තුළ සැඟවී සිටින මිනිසුන් කිහිප දෙනෙක් ගැන...?

ඔහු මුලින් කරන්නේ වී වෙළෙඳාම. ඊට පස්සේ මිනී පෙට්ටි සාප්පුවක හිමිකරුවෙක් වෙනවා. තමන්ට අකැමැති අයගෙන් බොහෝම සූක්ෂමව පළිගන්න කෙනෙක් ඔහු.

ඒ වගේම ආදරවන්තයෙක්. විශේෂයෙන්ම මම මහේන්ද්‍ර නිරූපණය කරන මේ මැල් ගේ චරිතය හරහා උත්සාහ කළේ සුදු කරපටි අපරාධකරුවන්ගේ මානසිකත්වය ගැන කතා කරන්න. සමාජ විද්‍යාත්මක පදනමක හිඳ ඒ අපරාධකරුවන් දෙස බලන්න මම උත්සාහ කළා.

ප්‍රවීණ මෙන්ම නව පරපුරේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් ඔබේ මෙහෙයවීම යටතේ වෙනස්ම ආකාරයේ රංගනයන් ඉදිරිපත් කරන ආකාරයකුත් අපි දැක්කා...?

ශ්‍රියන්ත මෙන්ඩිස්, නීටා ප්‍රනාන්දු, දමිතා අබේරත්න, අනුරුද්ධිකා පාදුක්කගේ වගේ නළු නිළියන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.

ඒ ඒ චරිතවලට ඔවුන් උපරිම සාධාරණයක් ඉටු කළා. මුළු ජීවිතේටම කැමරාවක් දැකපු නැති ආධුනිකයෝ දහ දෙනෙකුත් මේ චිත්‍රපටයේ රඟපෑවා. එයත් මට ලොකු සතුටක්.

නව පරපුරේ දක්ෂ ගායකයෙකු හා සංගීතවේදියකු වන කසුන් කල්හාර සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ඔබේ චිත්‍රපටයෙන්...?

මම හඳුනා ගත්ත විදිහට කසුන් කල්හාර කියන්නේ විශේෂ සංගීත ඥානයකින් හෙබි සංගීතවේදියෙක්. මේ චිත්‍රපටය මුලින් ඔහුට පෙන්නලා මම කිව්වා, කැමතිනම් විතරක් මේ වැඩේ බාර ගන්න කියලා.

චිත්‍රපටය නරඹලා ඔහු කැමැති වුණා සංගීත අධ්‍යක්ෂණය කරන්න. සිනමා සංගීතය යනු කුමක්ද කියන එක මම හිතන්නේ කසුන්ගේ සංගීත නිර්මාණය හරහා අපට අත් විඳින්න පුළුවන් වේවි.

හොඳයි, අතුල අවසන් වශයෙන් කියන්න ‘බඹර වළල්ල’ ලැබූ අන්තර්ජාතික සම්මානය ගැන ඔබේ තක්සේරුව කුමක්ද කියා...?

මෙවර පැවැත්වුණේ 43 වැනි අන්තර්ජාතිත හූස්ටන් සිනමා උළෙල. රටවල් 23 ක චිත්‍රපට 2400 ක් අතරින් තමයි මට මේ සම්මානය ලැබුණේ.

ඒ වගේම හොඳම කැමරාකරණයට හිමි සම්මානය ත්‍රිශූලදීප තඹවිටට ලැබුණේ. මේ රටවල් 23 ට සමාජවාදී, ධනවාදී, සංවර්ධිත, ඌණ සංවර්ධිත මෙකී නොකී රටවල් අයිති වුණා. ඇත්තෙන්ම මේ සිනමා උළෙල ලෝකයේ විශිෂ්ටතම සිනමා උළෙලවලින් එකක්. අමරිකාව, ප්‍රංශය, ඉරානය, ජර්මනිය, කොරියාව ඇතුළු රටවල් රැසක් මෙවර උළෙල නියෝජනය කළා. මේ සිනමා උළෙලේ ඉතිහාසය ගත්තොත් ස්ටීවන් ස්පීල්බර්ග්, එතකොට ග්ලැඩියේටර් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රීඩ්ලි ස්කොට් වගේ දැවැන්ත සිනමාකරුවන්ට ෆස්ට් ඩිරෙක්ෂන් අවෝඩ් එක ලැබුණ සිනමා උළෙලක්.

0 comments:

Post a Comment