----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අති විශිෂ්ට රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු කියයි

Wednesday, August 25, 2010

බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක්
මටත් වාසනා.... හෙටත් වාසනාවන්......

තාරුණ්‍යයේ නොදැමුණු ආශාවන්ට අවනත වී, අසම්මත ප්‍රේමයක මිහිරෙන් මත්ව ඈ එදා එලෙස ගැයුවේ ආදරයේ හංස ගීතයයි.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.....

සිය ආදරණීය සැමියාගේ සෙනෙහසට පිටුපා සල්ලාල පෙම්වතකුගේ ප්‍රේම මායා දැලේ පැටලුණු ඈ අවසන නතර වූයේ කඳුළු සයුරක් මැදය.

එදා “දුහුළු මලක්” චිත්‍රපටයේ “නිලූපා” ලෙසින් රිදී තිරයට අපූර්වත්වයක් එක් කළ ඒ සොඳුරු රුවත්තියගේ කඳුළු කතාව තවමත් අපට අමතකව නැත.

ඒ නිලුපා අපේ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු බව “දුහුළු මලක්” නැරඹු කිසිවකුටත් රහසක් නොවේ. මේ දිනවල “බඹර වළල්ල” චිත්‍රපටයෙන් ඈ අප හමුවට එන්නේ උම්මත්තක ගැහැනියකගේ චරිතය රඟමිනි. එය ඇගේ රංගන දිවියේ වෙනස්ම මගක් ගත් චරිතයකැයි මට සිතේ.

ඇත්තෙන්ම මෙවැනි චරිතයක් රඟපෑමේ ආසාවක් කාලෙක ඉඳලා මගේ හිතේ තිබුණා. මට කරන්න තිබුණේ සීන්ස් දෙක තුනක් වුණාට මෙය ප්‍රබල සහ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතයක්. මීට කලින් “පවුරු වළලු” චිත්‍රපටයේ වයලට් ගේ චරිතයෙනුත් මම කාන්තාවකගේ සියුම් මානසිකත්වයක් නිරූපණය කළා.

ඒත් “බඹර වළල්ල” උමතු ගැහැනිය මම දකින්නේ නූතන පටාචාරවක් විදිහට. දියණිය ගෙළවැළලාගෙන මියයාමත්, පුතා සිරගෙට නියම විමත් නිසා ඇතිවුණ තදබද මානසික කම්පනයෙන් තමයි ඈ මෙවැනි තත්ත්වයකට පත් වෙන්නේ.

නීටා අක්කාගේ රංගනය දැක්කට පස්සේ මට හිතුණේ “ටිකයි, හොඳයි” කියලා. ප්‍රවීණ නිළියක් වුණත් ඔයා මේ සුළු චරිතය ආසාවෙන් රඟපෑවා....?

මම හිතන්නේ අසංක, රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම බලන්න ඕනෑ චරිතයේ විශාලත්වය නෙවෙයි, තමන්ට ඒ රංගනයෙන් යමක් ඉදිරිපත් කරන්න පුළුවන් ද කියන එකයි.

ලැබෙන ඕනෑම සුළු චරිතයක් රඟපානවා කියලා නෙවෙයි මේ කියන්නේ, මම එහෙම චරිත ප්‍රතික්ෂේප කරපු අවස්ථාවත් තියෙනවා. නමුත් සුළු චරිතයක වුණත් කරන්න දෙයක් තියෙනවා නම් ඒක සතුටෙන් බාර ගන්නවා. රඟපාන චරිතයත් එක්ක අපි මානසිකව වගේම අධ්‍යාත්මිකවත් බැඳෙන්න ඕනෑ.

මේ චරිතයේ ඒ බැඳීම තිබුණ ද....?

පිටපතක් නැතුව මම මේ චිත්‍රපටයේ රඟපෑවේ. අතුල මේ චරිතය විස්තර කරද්දී මට එය මැවී පෙනුණා. ඒ මනස් චිත්‍රය තුළින් තමයි මම මේ චරිතයේ ජීවත් වුණේ. අනෙක මට අතුල ගැන ලොකු විශ්වාසයක් තිබුණා.

චිත්‍රපටය නිෂ්පාදනයේ දී මම මුදලින් පවා දායකත්වයක් දුන්නේ ඒ නිසයි. ඇත්තටම මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අතුල ඇතුළු අපි කීප දෙනෙක්ම එකතු වෙලා. හොඳ නිර්මාණයකට දායක වුණා කියන සතුට මට තියෙනවා.

අතුල වගේ නිර්මාණශිලී තරුණයෙක් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීම ගැන.....?

මේ වගේ තරුණ, නිර්මාණශීලි අධ්‍යක්ෂවරුන් අපේ සිනමාවට වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕනෑ කාලයක් මේ. ඔහුගේ සිනමාරූපී හැඟීම් හරි ප්‍රබලයි.

ඒ වගේම ඔහු නළු, නිළියන් එක්කත් කටයුතු කරන්නේ ලොකු බැඳීමකින් හා විශ්වාසයකින්. අතුල පුදුම ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්. ඔහු ලේසියෙන් පසු බහින්නේ නෑ. ඒ ආත්ම විශ්වාසයම තමයි මම හිතන්නේ අතුලට ශක්තියක්, ධෛර්්‍යයක් වුණේ.

මේ මම ශි‍්‍රයන්තයි, මනෝරත්නයි එකක් රඟපාපු මුල්ම වතාව. එතකොට මහේන්ද්‍ර, සරත්, දමිතා, බිමල්, අතුල, අනුරුද්ධිකා, සචින්, දසුන් වගේ විවිධ නළු නිළයන් එක්ක රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක්.

මේ අය අතරින් ඔයාගේ හදවතට වැඩියෙන්ම දැනෙන රඟපෑම ඉදිරිපත් කළේ කවුද?

මාර ප්‍රශ්නයක් නේ අසංක ඇහුවේ. කොහොමද එහෙම එක් කෙනෙක් කියලා කියන්නේ.....

නෑ මම ඇහුවේ ඔයත් ප්‍රේක්ෂකයෙක් විදිහට හිතලා....?

මම හිතන්නේ මහෙන්ද්‍ර රඟපෑ “ මැල් මහත්තයා” ගේ චරිතය ඉතාම හොඳයි. ශි‍්‍රයන්ත වුණත් ඉතාමත් සියුම් විදියට මේ චරිතය කරලා තියෙනවා. අර මිනී එම්බාම් කරන මනුස්සයාගේ චරිතයටත් මම හරිම කැමැතියි. හරිම තාත්විකයි.

ඒ චරිතයත් මට හරියට හිතට වැදුණ. දමිතාගේ රංගනයත් ඉතාමත් උසස් මට්ටමක තියෙන්නේ, හැමෝම ගැන ආසයි. ඒ අතරින් මහේන්ද්‍ර විශේෂයි. ඔහු මැල් මහත්මයාම තමයි. ඒ වගේම පොඩි එකා පොඩි එකාමයි.

ඔයත් ජාත්‍යන්තර සම්මාන දිනූ නිළියක්, නිෂ්පාදිකාවක්, නමුත් ක්ෂේත්‍රයේම ඇතැමුන් මේ සම්මාන ගැන අවඥාවෙන් කතා කරන අවස්ථා අප දැක තියෙනවා. නීටා අක්කට මොකද මේ ගැන හිතෙන්නේ.....?

අපි චිත්‍රපට හදන්නේ් අපේ රටට. අපේ මිනිස්සුන්ට. ඒත් අපට ඒවායෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් නම් හොඳයි. ඒක රටට ලොකු ගෞරවයක්. අපේ දක්‍ෂකම්වලට දිරිගැන්වීමක්. ජාත්‍යන්තරයට නොගියා කියලා චිත්‍රපට හොඳ නෑ කියන්න බෑ. “දුහුළු මලක්” වගේ චිත්‍රපටයකට අදටත් මිනිස්සු ආදරේ කරන්නේ ඒකයි. නමුත් ජාත්‍යන්තරයට ගියාම අපේ සිනමාවට වැඩි වටිනාකමක් එක් වෙනවා.

එතකොට ඒ වගේ සම්මාන අවතක්සේරුවකට ලක් කරන අයට මොකද කියන්නේ....?

ඒ සම්මාන වැඩක් නෑ කියල කාටවත් කියන්න බෑ. ඒවා ගැන අවතක්සේරුවෙන් කතා කරන්නේ මම හිතන්නේ ඊර්ෂ්‍යාකාරයෝ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා කියන්න. අපේ රටේ එක එක විදියට තමයි සම්මාන ගන්න අයට සලකන්නේ.

ඒක සෝමරත්න දිසානායකටත්, අතුල ලියනගේටත්, බෙනට් රත්නායකටත් එහෙම නැතිනම් තව කාට හරිත් එකම විදිහක් වෙන්න ඕනෑ. එහෙම සම්මානයක් ගෙනාවම සමහරුන්ව මහ ඉහළින් අගය කරනවා. ඒත් තව කෙනෙකුට කුඩම්මාගේ් සැළකිල්ල, ඒක හොඳ නෑ.

නීටා අක්කටත් එවැනි අසාධාරණයක් සිදු වී තියෙනවාද?

නැහැ. මම ගැන නෙවෙයි කියන්නේ. මට එහෙම පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා නැහැ. මට ජාත්‍යන්තර සම්මාන පිරිනැමුණ වෙලාවේ අපේ මවුබිමෙනුන් ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් පොදුවේ ගත්තම හැමෝටම එක වාගේ සැලකිල්ලක් අවශ්‍යයි කියන දේ තමා මම කිව්වේ.

ඔයා ප්‍රබල චරිතයක් නිරූපණය කළ “තේජා” චිත්‍රපටය තිරගත වෙනතුරු ප්‍රේක්ෂකයෝ මඟ බලා ගෙනයි ඉන්නේ...?

මටත් ඒ ආසාවම තියෙනවා. ඒත් තාම ඒක ප්‍රදර්ශනය කෙරෙන දිනයක් ගැන නම් නිශ්චිත තොරතුරක් නෑ. හැබැයි දැනටමත් ප්‍රේක්ෂකයෝ හුඟ දෙනෙක් දන්නවා මම එවැනි චරිතයක් රඟපෑ බව.

එයත් සුවිශේෂී චරිතයක්....?

ඔව්, තේජා කියන මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. ඇය ඇඟළුම් සේවිකාවක්. තමන්ට සිදුවන අසාධාරණකම් ඉදිරියේ ඇය වෘත්තීය සමිතියක් හදාගෙන සේවක අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා. මෙතනදී මගේ උපදේශිකාව වෙන්නේ අයිරාංගනී සේරසිංහ.

ඇත්තෙන්ම ඈ රඟපාන්නේ කලක් අපේ රටේ වාමාංශික දේශපාලන කරළියේ සිටි වීරෝධාර කාන්තාවකගේ චරිතය. අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නිළියක් එක්ක ඒවගේ සමීපව රඟපාන්න ලැබීමත් ලොකු සතුටක්. මහේන්ද්‍ර පෙරේරා තමයි මගේ සැමියා විඳිහට රඟපාන්නේ. චිත්‍රපටය ආවට පස්සේ අපි ඒ ගැන වැඩි දුරට කතා කරමු.

තවත් චිත්‍රපට තිරගත වෙන්න තියෙනව ද...?

ජෝශප් වාස් පියතුමාගේ් චරිත කතාව ඇසුරින් සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. මවකගේ් චරිතයක් මම රඟපාන්නේ. දැනට නම් එච්චරයි. අවුරුද්දකට එක හොඳ චිත්‍රපටයක රඟපෑවත් ඇති කියන තැනයි දැන් මම ඉන්නේ.

සිනමාවේ තවමත් රැදී ඉන්න ඔයාට වරම් ලැබිලා තියෙන්නේ ඔයාගේ කැමැත්ත නිසාද, නැතිනම්, ඔයාට ප්‍රේක්ෂකයෝ කැමැති නිසා ද, එහෙමත් නැතිනම් නීටා ප්‍රනාන්දුගේ තැන කාටවත් පිරිවිය නොහැකි නිසා ද....?

මම හිතන්නේ අසංක, ඔය කාරණා කීපයම බලපාන්න ඇති. මම සිනමාවට ආදරෙයි. චරිතවල ජීවත් වෙන්න ආසයි. රඟපාන්න ගියාම මාව අමතක කරලා ඒ චරිතයේයි මම ජීවත් වෙන්නේ. නැවත ගෙදර යන්න වෙලාව ආපුවාම හිතට දැනෙන්නේ දුකක්.

මම කලාවෙන් ජීවත් වෙන කෙනෙක් නෙවේ. කලාව වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. අතින් තමයි කෑම බීම. පුළුවන් තරම් කාලයක් සිනමාවේ රැඳිලා ඉන්නවා. සිනමාව කියන්නේ මට කවදාවත් අත් මිදෙන්න බැරි දෙයක්. ඔව්.....මම මැරෙනකල්ම රඟපානවා.

“හැමදාම රඟපාන්න බෑ. එයින් ඉවත් විය යුතු කාලයක් තියෙනවා” කියන පිරිසකුත් ඉන්නවා. අත්තෙන්ම නළුවකුට හෝ නිළියකට පුළුවන් ද එහෙම හැමදාටම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න....?

තමන් කැමැති නම් පුළුවන් මැරෙනකල් වුණත් රඟපාන්න. දැන් රඟපෑමෙන් විශ්‍රාම ගන්න ඕනෑ කියලා නියමිත කාලයක් නෑ. හොඳ උදාහරණය දෙනවක හාමිනේ, එතකොට හියුගෝ මාස්ටර්, මේ අය තමන්ගේ අවසාන කාලයේ පවා රඟපෑවා. ප්‍රේක්‍ෂකයෝ කිසි දිනෙක ඒ අය ප්‍රතික්ෂේප කළේ නෑ.

එදා ඒ වගේ අය ඉවත් වුණා නම් වයසයි කියලා අපේ සිනමාවට, ප්‍රේක්ෂකයන්ට කොයි තරම් අසාධාරණයක් වෙනවද? දැන් ජෝ අයියා අදට වුණත් පිටපතක් නොබලා රඟපායි. ඒ වගේ අය හොයන්න නෑ. මගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා මම තවම සිනමාවේ රැඳිලා ඉන්නවා. ඒ අය තමයි මගේ ශක්තිය, ධෛර්්‍යය.

සිනමා නිළියක් වීම ගැන අද ආපහු හැරිලා බලද්දී නීටා අක්කට මොකද හිතෙන්නේ....?

සෑහීමකට පත් වෙන්න පුළුවන් වගේම ඒක මට ලොකු සතුටක්. මම බොහොම දුක් කම්කටුළු මැද්දේ මේ ගමන ආවේ. ඒ නිසා ලොකු තෘප්තියක්, හිතට දැනෙනවා.

සිනමා නිළියක් නොවුණා නම්.....?

එහෙනම්, අනිවාර්යයෙන්ම නැටුම් ගුරුවරියක්. ඒ කාලේ මගේ හිතේ තිබුණා හේවුඩ් එකට ගිහින් නර්තනය හදාරන්න. ඒත් ඊට කලින් මට සිනමාවේ දොර හැරුණා.

දෛවය එදා ඒ වෙනස ඇති නොකළා නම් අද අපට කියන්න වෙන්නේ “ නර්තන ආචාරිනී” නීටා ප්‍රනාන්දු කියලයි....?

ඔව් ඒක එහෙම වෙන්න තිබුණා.



උපුටා ගැනීමකි.

සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ සද්සිතිවිල්ලෙනි

Source සරසවිය 2010 - 08 - 19

0 comments:

Post a Comment