----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා

Thursday, August 12, 2010


දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා

----ආර්. ආර්. සමරකෝන්----
*--අත්‍යාවශ්‍ය විමසුමක්--*



රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් කවුරුත් දන්නා ආර්. ආර්. සමරකෝන් හෙවත් කැළණි පාලම හැදු ආර්. ආර්. සිය 71 වෙනි උපන්දිනයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී දිවි රඟ මඩලින් බැස ගියේය. කෙතරම් බැලූවත් එපා නොවෙන අතළොස්සක් සිංහල නාට්‍ය අතරින් හුණුවටය හෝ සුභ සහ යස හැරුණු විට වැඩිම පේ‍්‍රක්ෂක සම්භාවනාවට පාත‍්‍ර වූ නාට්‍යය කැළණි පාලමයැයි සිතමි.

කැළණි පාලමයැයි කියූ විට බොහෝ දෙනෙකුට සිහියට එන්නේ් අර අපූරු ”මැම්බර් මහත්තයා”වය. අපේවේදිකාව නිපද වූ විශිෂ්ටතම රංගධරයෙකු වන ජේ. එච්. ජයවර්ධන විසින් නිරූපණය කරන ලද එකී චරිතය පමණක් නොව චුට්ටේ (නීල් අලස්), මැටිල්ඩා (රම්‍යා වනිගසේකර), රූපවතී (මැණිකේ අත්තනායක), සරණපාල (සිරිල් ධර්මවර්ධන), සුරංගනී (ගීතා කාන්ති ජයකොඩි) වැනි පාලම උඩ ලෝකයේ චරිත ද පේ‍්‍රක්ෂක සන්තානයේ සදා රැඳුණෝ වෙති. ඔවුන් එහි ලා ප‍්‍රකට කළ රංගන කෞශල්‍යයත් ඔවුන් කරළිය මත හසුරුවා ගන්නට ආර්.ආර්. දැක්වූ බුහුටි බවත් නොවන්නට කැළණි පාලම කෙතරම් අපූර්ව පෙළක් වුවද එ් සා සාර්ථකත්වයක් අත් කර නොගන්නට ඉඩ තිබිණි.
තිරය පිටුපස යෝධයෙකු වූ සමරකෝන් ඉන් බැහැර ජීවිතයේදී නිහඬ මිනිසෙකු විය. නාට්‍ය අරික්කාලක් කිරීමෙන් පසු ටෙලි නාට්‍ය උමතුවට ගොදුරු වීමෙන් කාලයත් හොඳ නිර්මාණයකට යොදවා ගත හැකි ශක්තියත් අපතේ් යවන අපේ කාලයේ තරුණ නාට්‍යකරුවන්ට වඩා වෙනස් ලෙස, ආර්. ආර්. ද ඇතුළත් හැටේ දශකයෙන් ගමන් ඇරඹූ නිර්මාණකරුවෝ අද පවා අපට කතා කළ හැකි බොහෝ හොඳ නිර්මාණ බිහි කළහ.

කැළණි පාලම යනු එබඳු එක් කඩ ඉමකි. විවිධ පර්යේ්ෂණ මැද අසාර්ථක දරු උපත් පෙරහැරකට පසුත්, හසරක් නැතිව මග සොයමින් සිටි සිංහල නාට්‍යය නිසි ලෙස ගැබ් ගැන්වෙන්නේසරච්චන්ද්‍ර අතිනි. එහි ඵලය 1956 දී ”මනමේ” බිහිවීමය. ඉනික්බිති, සිදු වූයේ හැමෝම සරච්චන්ද්‍රලා වීමට යෑමෙන් ”කට්ටියම හොඳටම නා ගැනීමය”. එසේ, මනමේ යෝධ සෙවණැල්ල යට අනුකාරකවාදීන් අතින් ගෙල සිර කරන ලදුව හුස්මක් සොයමින් සිටි සිංහල ස්වභාවික නාට්‍යයට නැවත ඔක්සිජන් දෙන්නේ් සුගතපාල ද සිල්වා ය. ඒ සුගත් 1962 දී ”බෝඩිංකාරයෝ” කරළියට ගෙන ඒමෙනි. ඉන් අනතුරුව එන යුගය පුරාවට මෙකී සම්ප‍්‍රදායන් ද්වයම බොහෝ දක්ෂයන් අතින් දැඩි ලෙස පරීක්ෂණයට බඳුන් වන අතර, 1978 දී සමරකෝන් විසින් කැළණි පාලම වේදිකාව මතට ගෙන එනු ලැබීමෙන්, ලාංකේය යථාර්ථවාදී රංග ව්‍යාපාරයේ තවත් එක් විශිෂ්ට කඩ ඉමක් සටහන් කරනු ලබයි.

සමරකෝන් ස්වතන්ත‍්‍ර රචකයෙකු විය. ලෙඩක් නැති ලෙඩෙක් (1965), චරිත දෙකක් (1967), අහසින් වැටුණු මිනිස්සු (1971), ඉඩම (1975), කැළණි පාලම (1978), ජේලර් උන්නැහේ් (1986), මිනිහෙක් (කෙටි නාට්‍යය- 1979), දුවිලි (1990), රජ කතාව (1991), කපුටු බෝ (2003), කකුල් හතරේ ඉලන්දාරියා (2009) යන ඔහුගේ සියළු නාට්‍ය නිර්මාණ ස්වතන්ත‍්‍ර රචනා ය. නාට්‍ය නිෂ්පාදකයෙකු තමන් විසින්ම ලියන ලද පිටපත් ඇසුරෙන්ම සිය නාට්‍ය චාරිකාවේ නියැලීම අපූර්වත්වයකි.

”හොඳ” නාට්‍ය පෙළක් තමන්ගේම අමු ද්‍රව්‍ය වලින් ගොඩ නගා ගැනීම ”හපන්කම”කි. හොඳ විදෙස් නාට්‍ය පරිවර්තනය කිරීම මෙන්ම හොඳ ස්වීය නිර්මාණ කිරීම ද රටක නාට්‍ය කලාවේ උන්නතියට හේතු වෙයි.

සමරකෝන් ”වේදිකාව” සිය පරම ප‍්‍රකාශන මාධ්‍යය බව ඇදහුවේය. තමා අතින් ලියැවෙන පෙළ තමා අතින් නිෂ්පාදනය වීමෙන් පමණක් සාර්ථකත්වයට එළැඹිය හැකි බව ඇදහුවේය. අපේ් පරම්පරාවේ (අනූව දශකයේ) නාට්‍යකරුවන්ගෙන් එමග ගත් අය අතුරින් වඩාත්ම අවධානයට ලක් වෙන නාට්‍යකරුවා රාජිත දිසානායකය. සක්වාදාවලේසිට සිහින හොරු අරං දක්වා රාජිත ලියා නිපැයූ නාට්‍යාවලිය විමසන කල අනූ හතරේ සිට අද දක්වාම රාජිත විසින් කරනු ලැබ ඇත්තේ ද සමරකෝන් මෙන්ම ”වේදිකාව” ස්වකීය ප‍්‍රකාශන මාධ්‍යය ලෙස භාවිතා කළ හැකි උපරිම සීමාව සොයා යාම බව පැහැදිලිය. ඉන්දික ෆර්ඩිනැන්ඩු ද එමග ගන්නා බවට පෙර ලකුණු පහළ ව ඇතත්, ඔහුගේ ඉදිරි මග කෙබඳු වේදැයි කියන්නට තවමත් කල් වැඩිය.

සමරකෝන් නාට්‍යාවලියෙහි තවත් සුවිශේ්ෂ ලක්ෂණයක් වන්නේ, ඔහු අන් නිෂ්පාදකයන් විසින් බහුල ලෙස යොදා ගන්නා බොහෝ ආනුශංගික අංග සම්බන්ධයෙන් දක්වන ”දැනුවත්” නොසැලකිල්ලයි. ඔහුගේ් කිසිම නාට්‍යයක ඔහු සංගීතය යොදා නොගනී. ගීත යොදා නොගනී. මෙකී අංග මගින් නාට්‍යයක ඉටු කරනු ලබන කාර්්‍යය වන්නේ පැහැදිලි ලෙසම රංගන ශිල්පීන්‍ෙභාව ප‍්‍රකාශන සෞන්දර්යාත්මකව පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කිරීමත්, එමගින් පෙළ විසින් ඉල්ලා සිටිනු ලබන නාට්‍යමය සන්දර්භයේ රිද්මය නඩත්තු කිරීමත්ය. සමාන්‍යයෙන් ලංකාව බඳු රටවල රසික සමූහයා වැළඳ ගන්නේ ගීත සහ සංගීතය ද අනුපාන ලෙස ගත් නාට්‍යයය. ඉතාම ජනප‍්‍රිය වූ සුභ සහ යස වැනි ව්‍යතිරේකයක් හැරුණු විට අන් සියල්ලෙහි අඩු වැඩි වශයෙන් සංගීතය සහ ගීත යොදා ගෙන තිබෙයි. එසේ් වී නම්, කිසිදු ගීයක් හෝ සංගීත ඛණ්ඩයක් යොදා නොගන්නා කැළණි පාලම, අර තරම් ”දිව්වේ” මන්ද යන්න සොයා බැලිය යුතුය. (එය දිවයින පුරා දර්ශන වාර 3000කට වඩා වැඩියෙන් රඟ දක්වා තිබේ.)

ඇත්තෙන්ම, ආර්.ආර්. එම”හපන්කම” පෑවේ ”දෙබස්” මගින් ය. (ඔහු අපේ වේදිකාවට මෙතෙක් පහළ වූ ශූරතම දෙබස් රචකයා වේ ය යන ඇස්තමේන්තුව සමග කැළණි පාලමේ දෙබස් අවධානයෙන් සලකා බැලූ කිසිවෙකු හෝ විරුද්ධ නොවෙනු ඇත.* ඔහු රිද්මයක් සහිත පේ‍්‍රක්ෂාවක් නිපයූවේ චරිත අතර හුවමාරු වන දෙබස් (වචන) වල අන්තර් සංඝටනාව මගිනි. එක දෙබසකින් පසු අනෙක් දෙබස පැන නගින්නේ්, සාමාන්‍ය ”නැරඹීමක” දී අවිෂයය වන්නා වූ එහෙත් සමීප නැරඹීමකින් පමණක් හෙළිදරවු වන එක්තරා රිද්මයානුකූල පිළිවෙළකටය.

සුගතපාල ද සිල්වා මෙසේ් කියා තිබෙයි. ”ආර්. ආර්. ගේ බස එදිනෙදා භාවිත බස ලෙස කණට ඇසුන ද නාට්‍යයට අවශ්‍ය කාව්‍යමය ගුණය එහි ගැබ් වෙයි. අපි බොහෝ දේ්වල් මතක තබා ගන්නේ කවියෙනි. අප්ත පද වලිනි. මතකයේ් රැඳෙන කියුම් මගිනි. ආර්. ආර්. මේ රහස අවබෝධ කර ගත් නාට්‍ය කරුවෙකි. ඔහු ටිකකින් හුඟක් කියන්නේ එහෙයිනි.”

මේ සම්බන්ධයෙන් යම් අදහසක් දීම පිණිස මැටිල්ඩා සහ සරණපාල අතර පහත එන දෙබස උපුටමි.

සරණපාල- (ඇතුල් වෙමින්) අම්මේ, දාන්ඩකෝ ප්ලේන් ටී පාරක්.

මැටිල්ඩා- (ඉදිරියට පැමිණ) මම දෙනව උඹට හොඳවැයින් කම්මුල් පාරක්. කොහෙද යකෝ එළිය වැටිච්ච වෙලේ ඉඳන් අර බල්ලගෙ පස්සෙයි - මේ බැල්ලිගෙ පස්සෙයි වීදියක් වීදියක් ගානෙ සවාරි ගහන්නෙ. හරියට වීදියෙ බණ්ඩාර වාගෙ. උඹ හිතනවද ඔය එකෙක්වත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඇවිත් හුළැගිල්ලවත් දික් කරයි කියල. එහෙම නං ඉතිං කැළණි ගඟත් හිඳෙන්න ඕන. කොහෙන්ද උඹට ඔය කමිසෙ.

සරණපාල- යාළුවෙකුගෙන් ඉල්ල ගත්තා.

මැටිල්ඩා- ඇයි උඹ ඊයෙ රාත්තිරියෙ ගෙදර ආවෙ නැත්තෙ?

සරණපාල- මේ බිංගේ් ඇතුලෙ තුන්දෙනෙකුට නිදා ගන්න පුළුවන්ද?

මැටිල්ඩා- ආව් අම්ම. මදැයි උඩ ගිහින් තියෙන තරම. කියාපන්කො තාත්තට කිරි ගරුඬෙන් මාළිගාවක් හදල දෙන්ඩ කියල. පණුවො කාපු දතක් වාගෙ මුළු ගේම හෙල්ලූම් කනවා. ඊයෙ ? ගහපු හුළං පාරට තව පොඞ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොට්ට බහින්න බෑ ඉහේ කෙස් ගානට ණය වෙලා. එ්වා ඔන්නෑ උඹ පලයං රෝන්දෙ. ඇයි ඉතිං මම හිඟා කාල හරි තුන් වේලම බොක්ක පුරවනවනෙ. අර බෙළෙක්කෙ ඇති තේ කහට ටිකක් ගිහිං වක්කර ගෙන බීපන්. ඇයි පාවඩ එලනකල්ද බලාගෙන ඉන්නෙ? ගිහින් වක්කරගෙන බීපන්.

සරණපාල- මට ඕන්නෑ.

මැටිල්ඩා- උඹට මං සුද්ද සිංහලෙන් කියන්නෙ. ඔය පිප්ප්ලි ගෙරවිලි වලට එන්ඩ එපා මාත් එක්ක ඕං ඇහුනද? උඹලට රාජ බෝජන දෙන්ඩ අපට හයිය නෑ.


මේ දෙබසෙහි කිසිදු උච්චාරණ පලූද්දක් නැත. එනම්, දෙබස රංගනයේදී සුඛනම්‍ය ලෙස හසුරවා ගත හැක. වෙනත් නාට්‍යයක සෘජු ලෙස දෘශ්‍යමාන වන ආනුශංගික අංගවලින් කුළු ගැන්වෙන සෞන්දර්යය, මේ නාට්‍යය තුළ උත්පාදනය වන්නේ් චරිත වල හැසිරීම් මගිනි. හැම චරිතයක්ම සියුම් ලෙස විග‍්‍රහ කෙරේ. රූපවතීගේ ශරීර මාංශය පතමින් ප‍්‍රයෝග යොදන මැම්බර් ඇයගේ කතාව ඇසූ පසු තමන් ගැනම කලකිරෙන අන්දමත්, ගනුදෙනුව පිණිස ගෙන ආ මුදල් විසි කර යන අන්දමත් විමසන්න. වර්ග චරිතයක් බවට පත් වී ඝාතනය වන්නට ඉඩ තිබූ මැම්බර්ගේ් චරිතය යට සැඟවුනු සුන්දරකම සමරකෝන් පෙන්වන්නේ් එක දෙබස් ඛණ්ඩයකිනි.

රූපවති- කන බොන දේවල් සල්ලිය බාගෙ පයට පෑගෙන්ඩ වීසි කරන එක පව් දෙය්යනේ

මැම්බර්- එ්ක තමා යකෝ ඇහිඳගන්ඩ කිව්වෙ. මං යනවා මාටින්කාරය ආවොත් කියාපන් මං ගියා කියල. කියාපං මං කෑවට බිව්වට රෝන් සයිඞ් එකෙ යන මිනිහෙක් නොවෙයි කියල.

ආර්.ආර්.ගේ් නාට්‍ය වලින් කැළණි පාලම හැරුණු විට පේ‍්‍ර්ක්ෂකයන් විසින් දැඩිව වැළඳ ගත් අනෙක් නාට්‍ය වූයේ් ”අහසින් වැටුනු මිනිස්සු” (1971) සහ ”ඉඩම” (1975) යි. ආර්. ආර්. සිය නාට්‍ය ව්‍යාපාරයෙහි ලා වඩාත්ම රුචි කළේ සමාජයේ පීඩිත මිනිසුන්ගේ් ජීවිත ඉරණම විමසීමය. ඔහුගේ් මුල්ම සාර්ථක නිර්මාණය සේ සැලකෙන අහසින් වැටුණු මිනිස්සු සිංහල වේදිකාව මත එබඳු සෘජු දේ්ශපාලනික මැදිහත්වීමක් සහිත පළමු කෘතිය ලෙස සැලකිය හැක.

ඔහු ස්වකීය නාට්‍ය සඳහා යථෝක්ත තේ්මාව විවිධ ලෙස භාවිතා කොට ඇති අයුරු, ඔහුගේ් එක් එක් නාට්‍යයේ් තේ්මා ඇසුරින් වටහා ගත හැක.

අහසින් වැටුණු මිනිස්සු-
නාගරික මුඩුක්කු පවුලක් වටා ගෙතුනු නාට්‍යයකි. දරීද්‍රතාවය විසින් මිනිසුන් තමන් තුළ ඇති මිනිස් වටිනාකම් කෙරෙන් පිරිහෙලනු ලැබ ඇති අන්දම විෂයය කර ගනියි.

ඉඩම-
නිර්ධනීන් ගේ් ඉඩම් ප‍්‍රශ්ණය සාකච්ඡා කරයි. පසු වැඩවසම් ලක්ෂණ සහිත සමාජයන්හී දක්නට ලැබෙන ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව සලකා බැලෙයි.

කැළණි පාලම-
නිවාස අහිමි, කීර කොටු ආශ‍්‍රිත නිර්ධනීන් ගේ් ජීවිත විෂයය කර ගනියි. පාලක පංතිය එකී ගැටළු විසඳීම වෙනුවට කැරට් අල පෙන්වා රැවටීමේ සදාතනික ගැටළුව සාකච්ඡා වෙයි.

ජේ්ලර් උන්නැහේ්-
අපරාධකරුවන් මුර කරන බන්ධනාගාර නිලධාරියෙකු ගැන කතාවකි. අපරාධකරුවන් ද ඔවුන් බලා ගැනීමට යොදවා සිටින මුරපල්ලන් ද යන මේ සියල්ලෝ එකම පංතියකට අයත් පීඩිතයෝ ය යන්න සාකච්ඡුා වෙයි.

සමාජ දේශපාලනික ගැටළු ස්පර්ශ කළ ද ආර්. ආර්. ස්වකීය නිර්මාණකරණයේ දී සෘජු දේශපාලන ප‍්‍රචාරකවාදයකට යට නොවෙයි. සමාජ යථාර්ථයේ සැබෑව නිර්දය ලෙස වේදිකාව මත විවර කොට දී එතැනින් එහාට සිතිය යුතු දේ ඔහු පේ‍්‍ර්ක්ෂකාගාරයට භාර දෙයි. ආර්.ආර්. ස්ථානගතව හිටියේ අමරසේකර විසින් 1976 නාට්‍ය උළෙල අවසානයේ දී පපඩම් නාට්‍ය ලෙස ගර්හාවට ලක් කරන ලද නාට්‍ය ව්‍යාපාරය තුළ නොවේ. (එම අමරසේකරම මේ වන විට ජාතික චින්තන පපඩම තුළ කරවටක් ගිලී ඇති අන්දම වෙනම කතා කළ යුතු දෙයකි!) ගුණදාස අමරසේ්කරම කැළණි පාලම මංගල දැක්ම බැලීමෙන් පසු තමන්ව පසෙකට කැඳවා බෙහෙවින් ප‍්‍රශංසා කළ අන්දම ආර්.ආර්. කැළණි පාලම පිටපතේ පෙරවදනේ සඳහන් කරයි. නාට්‍යය පිළිබඳ පළමු විචාරය ඬේලි නිවුස් පත‍්‍රයට ලියා යවා ඇත්තේ ද අමරසේ්කර ය. පසුකාලීනව 1981 දී අමරසේ්කර ”කැළණි පාලම සිංහල නාට්‍ය ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් බව මම තවමත් පිළි ගනිමි”යැයි සඳහන් කෙරුවේය.

කැළණි පාලම ගැන විමසුමක් කළ ධර්මසේ්න පතිරාජ සමරකෝන්ට පමණක් නොව වෙනත් ඕනෑම නාට්‍ය නිෂ්පදකයෙකුට දෙබස් නාට්‍යයේ ආකෘතිය මින් එහාට වර්ධනය කළ හැකි වේයැයි නොසිතන බව කියයි. ඇත්තවශයෙන්ම සිදු වූයේද එයයි. සමරකෝන්ටම පවා තමන් නිපැයූ කැළණි පාලමෙන් එහාට යා ගත නොහැකි විය!

අවසාන වශයෙන්, සමරකෝන් ගොඩ නැගූ නාට්‍ය සම්ප‍්‍රදාය ලාංකේය නාට්‍ය කලාව තුළ ස්ථානගත වන්නේ කවර තැනක ද යන්නත් එමගින් මතු පරපුරට ලබා ගත හැකි යහපත් අගෝංපාග කවරේ ද යන්නත් පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු විය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. එමෙන්ම මෙතෙක් පළ නොවූ සමරකෝන්ගේ පිටපත් මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට යම් වැඩ පිළිවෙළක් දියත් වන්නේ නම් එය ද ඔහුගේ නාට්‍ය මග හදාරන සිසුන්ට ද නාට්‍ය ලැදි පොදු පාඨක ප‍්‍රජාවට ද මහත් පිටිවහලක් වනු නියතය.

මාෂා ජයසේන
2010.08.09



ඇමිණුම-1
ආර්. ආර්. සමරකෝන් පිළිබඳ තොරතුරු කිහිපයක්-

උපන් දිනය- 1939 අගෝස්තු 14
උපන් ගම- නාවලපිටිය, දෙකිඳ
නියැලූනු වෘත්තිය- සතොස ආයතනයේ ලිපිකරුවෙක් ලෙස භාෂා පරිවර්තකයෙක් ලෙස සහ පසුව කළමනාකරුවෙක් ලෙස.
බිරිඳ- රම්‍යා වනිගසේකර

එළි දැක්වූ පොත්- දෙහදක් අතර, ගැහැණියකගේචරිතයක්, ගේකුරුල්ලෝ, එක කුසේ උපන් එවුන් යන නවකතා

ගුවන් විදුලි නාට්‍ය- සුදු වළාකුළු

ලැබූ සම්මාන-
අහසින් වැටුණු මිනිස්සු සඳහා-
1971 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නව නිර්මාණ පිටපත, හොඳම (නව නිර්මාණ) නිෂ්පාදනය, හොඳම නළුවා (රංජිත් යායින්න) හොඳම සහාය නිළිය (චන්ද්‍රා කළුආරච්චි).
ඉඩම සඳහා-
1975 උළෙලේ් හොඳම ස්වතන්ත‍්‍ර රචනය, හොඳම නිළිය (චන්ද්‍රා කළුආරච්චි*.
”ගේ කුරුල්ලෝ” ප‍්‍රබන්ධය සඳහා-
රාජ්‍ය සාහිත්‍ය සම්මානය.


ඇමිණුම-2
කැළණි පාලම ලියූ හැටි
කැළණි පාලම” මුද්‍රිත පිටපත- ආර්. ආර්. සමරකෝන්ගේ පෙරවදනෙන්

අහස නොකඩවාම දින දහයක් දොළහක් හඬා වැටිණ. වැහි වතුර පාර තොට පුරා දෝරේ යන්නට විය. වැස්සේ් හැඩ රුව අනුව එය කොළඹට පමණක් නොව මුළු රටටම ඇද හැලෙන්නක් බව මට තේ්රුම් ගියේ්ය. එක් සෙනසුරාදාවක හවස් වරුවේ තවත් වගුරුවන්නට කඳුළු නැති බැවින්දෝ හිටි හැටියේම වැස්ස තුරල් වී කහ පැහැති අව් රැල්ලක් ද එබිකම් පාන්නට විය. මම කලින් නියම කරගත් ගමනකට සැරසී එළියට බැස්සෙමි. ගල්කිස්සෙන් කිරිබත්ගොඩට යන බසයකට ගොඩ වූ මට දෙමටගොඩට යාගත නොහැකි විය. අහස ගුගුරා යළි මහ වැස්සක් ඇද හැළිණ. කුඩ කබලක්වත් රැගෙන ඒමට අමතක වූ බැවින් මම හිත යටින් වෙව්ලා ගියෙමි. කැළණි පාලම පසු කරත් දී අන් කවරදාකවත් නොදුටු දසුනින් මම අන්ද මන්ද වීමි.

පාලම දෙපැත්තේ තැනින් තැන පොල් අතු කූඩාරම් කීපයක් අටවා තිබිණ.

මම යන්නට ගිය ගමන අමතක කොට ඊළග බස් නැවතුම්පොළෙන් බැස මහ වැස්සේ්ම තෙමි තෙමි යළි පාලම පැත්තට ආවෙමි. පොල් අතු කූඩාරම් තුළ ගැහැණු පිරිමි ගුලි ගැසී සිටියහ. එක් කූඩාරමක් එක පවුලකට අයත් බව මට පසක් විය. ඔවුන් කමින් බොමින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් කෙළිදෙළෙන් කල් ගෙවන බව තේ්රුම් ගන්නට මට අපහසු නොවීය. කිසිවෙකු තුළ කණස්සල්ලක් පීඩාකාරී හැඟීමක් නොවූ බව ඔවුන්ගේ් මුහුණේ ඉරියව් වලින් පැහැදිලි විය. ඇෙඟ් නූල් පොටක්වත් නැති අවුරුදු දෙකේ තුනේ කුඩා ළමුන් මහ වැස්සේ පදික වේදිකාව උඩ එහෙ මෙහෙ දුව පනිමින් කොක් හඬලා සිනා සෙමින් කෙළි සෙල්ලම් කළහ. අපි යාන්තම් සිරි පොදක් පින්නක් වැටෙන විටක වුවද අපේ් දරුවන් එළිමහනට නොයවා ගෙය තුළ සිර කර ගෙන සිටිමු. මොවුනට මේ තරම් රළු පරිසරයකට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලැබුනේ කවර වරමකින් දැයි සිතත්ම මගේ සිත සසලව ඉරි තලා ගියේ්ය.

”මහත්තයා කාවද හොයන්නේ” එක් මහළු මිනිසෙක් වැස්සේ තෙමී ගෙන මා අසලට විත් ඇසීය.

”කවුද මේ මිනිස්සු?” මම ඇසීමි.

”අපි කීර කොටුවල පදිංචි උදවිය. ගංවතුර හින්ද පාලම උඩට ආව. හැම අවුරුද්දෙම මෙහෙම තමයි.” ඔහු කීයේ බාගෙට සිනා සෙමිනි.

මේ සිද්ධිය මාස කීපයක් මුළුල්ලේ මගේ සිත තුළ හොල්මන් කරන්නට විය. ඉන් මිදෙන්නට බැරිම තැන මම ”කැළණි පාලම” නාට්‍යය ලියන්නට පෙළඹුනෙමි. ”කැළණි පාලම” සම්පූර්ණයෙන්ම ලියා අවසන් කරන්නට මට මාස හයක තරම් කාලයක් ගත විය. මා දැනට නාට්‍ය අටක් පමණ ලියා නිෂ්පාදනය කර ඇත. ඒවා අතුරින් වඩාත්ම රසික ප‍්‍රසාදයට ලක් වූයේ ”කැළණි පාලම”යි.


ඡායාරූප සහ ආශ‍්‍රිත මූලාශ‍්‍ර-

1. රාජ්‍ය නාට්‍ය උළෙල සමරු කලාප
2. රාජ්‍ය නාට්‍ය උළෙල රජත ජයන්ති සමරු කලාපය
3. අභිනය 7 කලාපය- 60 දශකයේ නාට්‍යකරුවෝ
4. කැළණි පාලම මුද්‍රිත පිටපත (රන්ජන ප‍්‍රකාශන)
5. කැළණි පාලම (රූපවාහිනී) පටිගත කිරීම (මුල් නිෂ්පාදනය)
6. කැළණි පාලම සමරු කලාප



0 comments:

Post a Comment