----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

Sunday, April 28, 2013


ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

සෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.
ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.
සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සංස්කෘතික ඝාතනයක් ය” යන්නයි. ඔහු එය එසේ නිර්වචනය කරන්නේ කුමන අරමුණකින්දැයි නොතේරේ. එහෙත් ඒ සඳහා ඔහු යොදා ගන්නා පටු නිර්ණායක දෙස බැලූ විට, ඒවා හුදෙක් අනවබෝධය මත ඇති කර ගත් වැරැදි ආකල්ප බව පැහැදිලිව පෙනේ.
සෝමරත්න මහතාගේ ලිපියේ පුන පුනා දක්වන කරුණක් වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” මඟින් දේශීය සංස්කෘතියට විශාල හානියක් සිදු වන බවයි. මෙමඟින් මෙරට සම්භාව්‍ය සංගීතය හෝ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ කිසිදු ඇගැයීමක් සිදු නොකරන බව ද ඔහු විශේෂයෙන් පවසයි. සෝමරත්න දිසානායක මහතාට දැඩි ලෙස වැරැදී ඇත්තේ එතැන ය.
මෙම සම්මාන උලෙළේ නාමය දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට එකී කාරණා හොඳින් වටහා ගත හැකිය. මෙය “දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස්” මිස, දෙරණ මියුසික් අවෝර්ඩ්ස් නොවේ. “මියුසික් වීඩියෝ” යනු, ගීත සඳහා සිදු කරනු ලබන රූප රචනාමය දෘශ්‍ය නිර්මාණ ය. “දෙරණ” යනු ටෙලිවිෂන් නාළිකාවකි. දෘශ්‍ය නිර්මාණ යනු අපගේ විෂය පථයේම කොටසකි.
එබැවින් අපගේ අරමුණ වන්නේ, මෙරට ගීත සඳහා බිහිවන දෘශ්‍ය නිර්මාණ සහ ඒවායේ නිර්මාණකරුවන් දිරි ගැන්වීමය. ඒ හුදෙක් ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා ය. ගුවන් විදුලියට “ශ්‍රව්‍ය නිර්මාණ” අදාළ වන්නේ යම් සේද, රූපවාහිනියට “දෘශ්‍ය නිර්මාණ” (ශ්‍රව්‍ය දෘශ්‍ය) එපරිද්දෙන්ම වැදගත් වේ.
ටෙලිවිෂන් නාළිකාවක ගුවන් කාලයෙන් සැලකිය යුතු ඉඩක් “මියුසික් වීඩියෝ” මඟින් ආවරණය වේ. ටෙලිවිෂන් නාළිකාවක පැවැත්ම උදෙසා මියුසික් වීඩියෝ මඟින් සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයි. එකී මෙහෙවර අගයා කෘතගුණ දැක්වීමක් ලෙස මියුසික් වීඩියෝ ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන උලෙළක් පවත්වන එකම නාළිකාව ද ටී. වී. දෙරණ යි. එසේ තිබියදී, කරුණු නිසි ලෙස නොදැන මෙසේ නිර්දය විවේචන නැඟීම කොතරම් අසාධාරණ ද?
මෙම සම්මාන උලෙළ තුළ “සංගීතය” පිළිබඳ කිසිදු ඇගැයීමක් කරන්නට අපට අයිතියක් නොමැත. “සංගීත සම්මාන” යනු වෙනමම විෂයයකි. හොඳම ගීතය, හොඳම පද රචකයා, හොඳම ගායකයා සහ ගායිකාව, හොඳම සංගීතඥයා යනා දී සංගීතයට සම්බන්ධ කිසිඳු සම්මානයක් මෙහිදී පිරි නොනැමේ. මෙය හුදෙක් “මියුසික් වීඩියෝ” සඳහාම වෙන් වූවකි.
සෝමරත්න මහතා සඳහන් කරන ආකාරයට, මෙරට දේශීය සම්භාව්‍ය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය හෝ සරල සංගීතය ඇගැයීම අපගේ විෂය ක්ෂේත්‍රයට අයත් නොවන අතර, අපට හැකියාව ඇත්තේ විවිධ සංගීත ශෛලී ආශ්‍රයෙන් බිහි වී ඇති “සංගීත වීඩියෝ නිර්මාණ” ඇගැයීමටය.
ඔහු පවසන පරිදි, දේශීය සම්භාව්‍ය සංගීතය හෝ සරල සංගීතය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළ හැක්කේ, ඒ ආශ්‍රයෙන් බිහි වූ සංගීත වීඩියෝ ඇත්නම් පමණි. නමුත් කනගාටුදායක කරුණ නම් ඔහු සඳහන් කරන ආකාරයේ සම්භාව්‍ය සංගීතය නියෝජනය කරන කිසිඳු සංගීත වීඩියෝවක් තරගය තුළදී අපට මුණ නොගැසීමයි. එසේ තිබුණා නම් නිසැකවම එයට ඉහළ ඇගැයීමක් හිමි වන්නට ඉඩ තිබිණ.
අනෙක් වැදගත් කරුණ නම්, මෙය අයදුම්පත් කැඳවා ඒ අනුව ලැබෙන නිර්මාණ අගයනු ලැබීමක් මිස, අප සොයා ගොස් කිසිවකුට සම්මාන පිරිනැමීමක් නොවේ. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත ප්‍රවීණයන් පස් දෙනෙකු ගෙන් සමන්විත විශේෂ ජූරියක් මඟින් ලබා දෙනු ලබන විනිශ්චය අනුව සම්මාන ප්‍රදානය සිදු කෙරෙන අතර ඊට අපගෙන් කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවේ.
අප විසින් දක්වනු ලබන වසරක කාල සීමාව තුළ නිර්මාණය වූ සංගීත වීඩියෝ පමණක් තරගය සඳහා භාර ගැනෙන අතර, ඊට කිසිදු භේදයකින් තොරව අදාළ සුදුසුකම් සපුරා ඇති ඕනෑම නිර්මාණකරුවෙකුට ඉදිරිපත් වීමේ හැකියාව ද පවතී. එසේ තිබියදී “සම්භාව්‍ය ගණයේ සංගීත වීඩියෝ නිර්මාණ බිහි නොවන්නේ හෝ එවැනි නිර්මාණ තරගය සඳහා ඉදිරිපත් නොවන්නේ අපගේ වරදින් ද? යන වග අපි සෝමරත්න මහතාගෙන් අසමු.
සෝමරත්න මහතාගේ අදහසට අනුව ඔහුට ඇත්තේ මෙරට භාවිත නූතන සංගීතය පිළිබඳ ගැටලුවකි. ඔහුට ඇත්තේ ජාත්‍යන්තරයේ ඉතා ප්‍රචලිත රෙගේ, රොක්, පොප් වැනි ජනප්‍රිය සංගීත ශෛලීන් මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ හිතේ අමාරුවකි. එහි තේරුම් බේරුම් කර ගත යුතු කරුණු දෙකක් ඇත.
එකක් නම් ආර්ථිකයේ සියලු දොරගුළු ලෝක වෙළෙඳපොළ සඳහා විවෘත කර ඇති රටක, සමාජයීය වශයෙන් මහා පරිමාණ වෙනස්කම් සිදුවෙමින් පැවැතියදී, සංගීතය පමණක් එකී ගෝලීය ප්‍රවාහයන් ගෙන් මුදවා ගත හැකි ද යන්නයි. සෝමරත්න දිසානායක මහතා මුළා වී ඇත්තේ එතැනය. ඔහු පදනම් විරහිත අස්ථාන චෝදනා නඟමින් “දෙරණ” හෙළා දකින්නට වැර දරන්නේ ඒ නිසාය.
පසුගියදා පැවැති “ස්ලිම් ජනතා සම්මාන උලෙළ” ගැන ද ඔහු යමක් සඳහන් කරයි. මෙම සම්මාන උලෙළේ දී ජනතා ගායකයා ලෙස පණ්ඩිත් අමරදේවයන් සම්මානයට පාත්‍ර වූ බවත්, ජනතා ගායිකාව ලෙස විශාරද නන්දා මාලනිය සම්මානයෙන් පිදුම් ලැබූ බවත් සඳහන් කරන සෝමරත්න මහතා, සිතාමතාම එක් කරුණක් අමතක කරයි.
එනම්, මෙවර ජනතා ගීතය ලෙස සම්මාන ලැබුවේ, මේ දිනවල ඉතා ජනප්‍රිය (දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළේ ජනප්‍රියම මියුසික් වීඩියෝවට හිමි රිදී සම්මානය හිමි කරගත්) රොෂාන් ප්‍රනාන්දුගේ “ඔයා නිසා හඬලා” යන ගීතය යන්නයි. එසේ කරන්නට ඇත්තේ, එම ගීතය ද ඔහුගේ ගර්හාවට ලක්වන ජනප්‍රිය රැල්ලේ ගීතයක් වන නිසා විය යුතුය.
ළමයින් වෙනුවෙන් චිත්‍රපට තනන සෝමරත්න දිසානායක මහතාට නූතන තරුණ රසඥතාව පිළිබඳ නිසි වැටහීමක් නොමැති වීම ගැන අපි කනගාටු වෙමු. ඉහතින් සඳහන් කළ ආකාරයට, මෙරට නූතන තාරුණ්‍යයේ රස වින්දන පරාසය සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට විහිදී ඇත.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙරට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුව මෙහෙයවන තත්ත්වයකට පත්ව ඇත. එසේ නොවුවහොත් ඒවායේ පැවැත්ම පිළිබඳ විවිධාකාර අර්බුද මතු වනු ඇත. සෝමරත්න මහතා චෝදනා නඟන රෙගේ, රොක්, රැප්, පොප් යනාදී බටහිර සංගීත ශෛලී යොදා ගනිමින් ජාත්‍යන්තරය ජය ගත් මෙරට නූතන පරපුරේ අති දක්ෂ තරුණ සංගීතඥයන් ද හමුවේ.
“භාතිය සන්තුෂ් සහ ඉරාජ්” යනු එවැනි තිදෙනෙකි. නිදසුනක් ලෙස, පසුගිය කාලයේ බංග්ලාදේශය තුළ රිංගින් ටෝන් මඟින් වැඩිම ආදායමක් උපයන ලද “මුන් ජානි” නමැති ගීතය පෙන්වා දිය හැකිය. රට ජනප්‍රියතම ගායිකාවක් වන “කෝනා” ගායනා කරන එම ගීතය, ඉරාජ් විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම, ඉන්දියාවේ මේ දිනවල අතිශයින් ජනපි‍්‍රය “කඩල්” චිත්‍රපටයේ තේමා ගීතය, මෙරට නූතන පරපුරේ දක්ෂ ගායකයෙකු වන “දිනේශ් කනගරත්නම්” ගායනා කරන්නකි. එහි අධ්‍යක්ෂවරයා පෙරළිකාර සිනමාවේදී මනිරත්නම්ය.
සංගීතය ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහමන්ගේ ය. ඉන්දියාවේ මෑතකදී ජනපි‍්‍රය වූ “වේට්ටෙයිකාරන්” චිත්‍රපටයේ ඉතාමත් ජනප්‍රිය වූ “චින්නතාමරෙයි” ගීතය ඉරාජ්ගේ නිර්මාණයකි. එය 2011 වර්ෂයේ දී එරට විජේ ටී වී සම්මාන උලෙළේ ජනප්‍රියම ගීතය බවට පත්විය. ශ්‍රී ලංකාවේ නූතන සංගීත ක්ෂේත්‍රයේ දිසාව කොයිබට ද යන්න පෙන්වා දෙන සරල නිදසුන් කිහිපයකි ඒ. අවශ්‍ය නම් මෙවැනි අවස්ථා රැසක් පෙන්වා දිය හැකිය.
සෝමරත්න මහතා පෙන්වා දෙන තවත් බොළඳ කරුණක් නම්, මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සඳහා සහභාගි වූ ඇතැම් “ලලනාවන් කොට ගවුම් ඇඳීම” නිසා. ඔවුන් ගෙන් වෙනදා දුටු නාරි ලාලිත්‍යය මෙදින දක්නට නොලැබුණු බවයි. සිනමාකරුවෙකු ලෙස ඔහු එවැන්නක් පැවසීම විහිළුවට කරුණකි. 60 දශකයේ සිට මෙරට සිනමාව තුළ පවා ජනපි‍්‍රය කොට ගවුම (මිනී ගවුම) සෝමරත්න මහතා ඇත්තෙන්ම මීට පෙර දැක නැති ද යන්න මහත් ප්‍රහේලිකාවකි. අනෙක් අතට මෙරට කාන්තාවන්ට තමා කැමැති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ඊට තහංචි පැනවීමට අපට නොහැකිය.
“ටී. වී. දෙරණ” තේමා පාඨය වන්නේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන්න ය. අප සැම විටම මෙරට සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කටයුතු කරනු මිස, එය වැනසීමට කටයුතු නොකරන බව ද මෙහි දී අවධාරණයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු.
“දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” සංවිධාන කරනු ලැබුවේ, දේශීය සංගීත වීඩියෝ ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ යෙදී සිටින තරුණ නිර්මාණකරුවන්ට අත දීමක් වශයෙනි. ඒ හැර දේශීය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැත.
READ MORE - සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී


‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී

‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂ දැක්මක් මැයි මස 03 වන සිකුරාදා සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදී වේදිකාගත වෙයි.
වසර 15 කට පසු කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යළිත් එකම වේදිකාවකින් ප්‍රේක්ෂක ජනතාව හමුවට ඒම ‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂත්වයකි. අධ්‍යක්ෂණය උදයසිරි වික්‍රමරත්න ගෙනි.

READ MORE - ‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී

නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’


චිත්‍ර දැක්මක්

යොවුන් චිත්‍ර ශිල්පිනි නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම ‘පියවර’ නමින් අද (28) හෙට (29) දිනවල කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ.
ලංකා කලා සංගමයේ චිත්‍ර කලා පාසලේ සිසුවියක් වන නිශාන්‍යාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය හා අනුග්‍රහය ලංකා කලා සංගමය විසින් දරනු ලබයි.
 
READ MORE - නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’

නිසි වෙලාවට ඒක සිද්ධවේවි


නිසි වෙලාවට ඒක සිද්ධවේවි

තෙසාරා ජයවර්ධන
“තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද එක්වන්නේ තෙසාරා ජයවර්ධන. ඇය ටෙලිනාට්‍යය චිත්‍රපට රංගන ශිල්පිනියකි. එසේ ම ඇය කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මේ වනවිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී ඇති තෙසාරා දක්ෂතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ද වරක් හිමිකර ගැනීමට සමත් වී ඇත.
මොන වගේ වැඩ කටයුතුත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නේ?
මේ දිනවල ‘සකි සඳ සුවාරිස්’ ටෙලිනාට්‍යය රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ ටෙලිනාට්‍ය මේ දිනවල හිරු රූපවාහිනී නාළිකාවෙන් විකාශය වෙනවා. මම එහි නිරූපණය කරන්නේ සිමෝනා චරිතය.
මීට කලකට පෙර ඔබේ රංගනය සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව් ඒ 2008 අවුරුද්දේදි. ඔව් ඒ; අශෝක හඳගම නිර්මාණය කළ “නැඟෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන්. මෙහිදී මට සම්මාන 2 ක් හිමි වුණා. ඒ, ඕ සී අයි සී සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයත්, රාජ්‍ය ටෙලිනාට්‍ය උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයත්.
ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
මම මුලින් ම රංගනයෙන් දායක වුණේ ‘සිහින දෙව්දුව’ චිත්‍රපටයට. ඉන්පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ “අම්මාවරුනේ” චිත්‍රපටයටත් සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘යහළුවෝ’ සහ ‘වෛශ්නාවි’ චිත්‍රපට වලටත් එම රංගනයෙන් දායක වුණා. වෛශ්නාවි ළඟදීම තිරගත වේවි.
ඊට අමතරව ප්‍රියංකර විතානච්චිගේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේත් මගේ රංගනයක් ඇතුළත්. ඒ මම රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට. ඒ වගේ ම ‘සඳලි සහ තාරකා’, ‘රංගන විජිතය’, ‘සමනළියක් ඉකි බින්දා’, ‘හිම කඳුළු’ ටෙලිනාට්‍යවලටත් තවත් ටෙලිනාට්‍ය කීපයකටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඔබ හිතන විදියට ප්‍රේක්ෂකයින් ඔබට වඩාත් සමීප වුණේ කුමන චරිතයෙන් ද?
‘සඳලි සහ තාරකා’ ටෙලිනාට්‍යයේ රාධිකා ගේ චරිතයෙන් තමයි ප්‍රේක්ෂකයින් මාව හොඳින් හඳුනා ගත්තේ.
ඔබ කලාවට සම්බන්ධ වුණේ ඔබට කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් තිබෙන නිසා ද?
මම කලාවට සම්බන්ධ වුණේ කලාවට තිබුණු ආශාව නිසයි. නමුත් කලාවට සම්බන්ධ වෙන්න දෙමව්පියන්ගේ සහ කලාවට සම්බන්ධ මගේ පවුලට සමීප උදවියගෙන් මට විශාල සහයෝගයක් රුකුලක් ලැබුණා.
මගේ තාත්තා ආචාර්ය අමර ජයවර්ධන, මව ආචාර්ය ජයන්ති ජයවර්ධන. මගේ තාත්තා චිත්‍රපට කීපයක් ම නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපටවල රඟපෑමේ අවස්ථාව මට හිමිවුණා.
රංගනයට අමතරව ඔබ ලේඛනයෙත් යෙදෙනවද?
ඔව් මම ලියන්න කියවන්න හරි කැමැතියි. මගේ අම්ම ලේඛිකාවක්. ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ග්‍රන්ථ කීපයක් ම රචනා කරල තියෙනවා. මම ලේඛනයට යොමු වුණේ අම්ම නිසා. මගේ පළමු නවකතාව ‘සඳ නොදුටු තාරකා’ එය සරසවි ප්‍රකාශනයක්. ඒක පුනරුත්පත්තිය ගැන කියවන කුතුහලයෙන් පිරුණු කතාවක්. මගේ දෙවැනි කෘතිය ‘හිරු නොදුටු දේදුනු’ එයත් කුතුහලය දනවන කතාවක්.
ලේඛනයේදී ඇයි ඔබ පුනරුත්පත්තිය වැනි තේමාවක් තෝරාගත්තේ?
පුද්ගලිකව මම කැමැතියි, කුතුහලය දනවන අභිරහස් නිර්මාණවලට. රඟපෑමේදී වුණත් මම කැමැති එවැනි නිර්මාණවලට දායක වෙන්නයි.
රංගනයට ලේඛනයට අමතරව ඔබ නිරත වී සිටින වෙනස් ක්ෂේත්‍ර මොනවාද?
මම නිවේදන කටයුතු වලටත් ගොඩක් කැමැතියි. මම පළමුවෙන් ම කළේ ජාතික රූපවාහිනියේ ‘ලංකා ව්‍යාපාරික පුවත්’ වැඩසටහන. ඉන්පසුව මම ස්වර්ණවාහිනි ආයතනයේ ස්ටොක් මාකට් වැඩසටහන ඉදිරිපත් කළා. මේ දිනවල සියත නාළිකාවේ යාන වාහන වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය විෂය පිළිබඳව කතිකාචාර්යවරියක් ලෙසින් සේවය කරනවා.
පසුගියදා ඔබට අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණයකුත් හිමි වුණා නේද?
ඔව්, මහා බ්‍රිතාන්‍යයේ සී අයි එම් ආයතනය මගින් පැවැත්වූ වරලත් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවේ ලොව විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි සම්මානය මට හිමි වුණා.
කවුද ඔබේ පවුලේ ඉන්නේ?
මගේ පවුලේ අය ඉන්නේ නවසීලන්තයේ. අම්මයි තාත්තයි මල්ලි තමයි මට ඉන්නේ. පොඩි කාලේ ඉඳලම මම හැදුණේ වැඩුණේ නවසීලන්තයේ.
ඔබ දැන් විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
ඔව්. නිසි කාලයට නිසි වෙලාවට ඒ දේවල් සිදුවේවි.
මොනවගේ බලාපොරොත්තු ද අරමුණු ද ඔබට තියෙන්නේ?
හොඳ නිර්මාණවලට දායක වෙමින් දිගටම කලාව තුළ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මම ඉගෙන ගන්න දේවල් මේ රටේ දරුවන්ට කියා දීමෙන් මේ රටට සේවයක් කරන්නත් මගේ විශාල ආශාවක් තියෙනවා.
READ MORE - නිසි වෙලාවට ඒක සිද්ධවේවි

පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

Monday, April 1, 2013

පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි.
එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. එම ලිපිය පළවූ ‘පියවර’ සඟරාව එකී විශ්ව විද්‍යාලයයේ ප්‍රකාශනයකි.
ඊට පසු පතිරාජ ‘තේමාව, දෘශ්‍ය රූප හා මිනිසා සහ කපුටා’ (සමකාලීන සිනමාව 1970) ‘තුංමංහංදිය’ (සරසවිය 1970 නොවැම්බර් 12) ‘මෙහෙයවීම’ (‘කෙටි චිත්‍රපට’ සඟරාව) යනාදි වශයෙන් සිනමාව අළලා ලිපි කීපයක්ම ලියා ඇත. ඉන් ලිපි දෙකක් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයත් ‘තුංමංහංදිය’ චිත්‍රපටයත් පිළිබඳ විචාර වන අතර අනිත් ලිපිය කෙටි චිත්‍රපට කලාව ගැන ලියැවුණකි.
පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ ‘සතුරෝ’ (1970) නම් වූ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. ඒ වන විට ලෝක සිනමාවේ නොයෙක් ප්‍රවණතා සිදුව තිබිණි. 1958 - 59 කාලයේ ඇරැඹුණු ප්‍රංශ නවරැල්ල (NEW WAVE) ඒ වන විට නිම වී තිබුණු අතර බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ (CINEMA NOVO) නම් වූ සිනමා ව්‍යාපාරය ආරම්භව එහි වර්ධිත අවස්ථාවක පැවතුණේය.
ඉන්දියාවේ සමාන්තර සිනමාවක් (PARALLEL CINEMA)  බිහිවෙමින් තිබිණි. මේ සිනමා ව්‍යාපාරවලට අයත් ඇතැම් චිත්‍රපට පතිරාජට දක්නට ලැබුණු අතර අවම වශයෙන් එකී චිත්‍රපට ගැන පළවූ විචාරාත්මක ලිපි ඔහුට කියවන්ට ලැබුණේය.
ප්‍රංශ නවරැල්ල පතිරාජගේ සිනමා භාවිතය කෙරෙහි නොමඳ බලපෑමක් ඇතිකළ සිනමා ප්‍රවේගයකි. ‘ශ්‍රී ලංකන් සිනමා’ යන නමින් ජෙෆ් බර්ටන් ඕස්ට්‍රේලියාවේ පළවන ‘සිනමා පේපර්ස්’ නම්වූ සඟරාවට ලියු ලිපියේදී පතිරාජ තමන්ට දකින්නට ලැබුණු ප්‍රංශ නවරැල්ලට අයත් ඇලන් රෙනේ ගේ ‘ලාස්ට් ඉයර් ඉන් මාරියන්බාද්’ නමැති චිත්‍රපටය තම සිතේ සන්ත්‍රාසයක් ඇතිකළ බව කියා ඇත. (ඉහත ලිපිය 1978 පළවූ ‘සිනමානුරූප’ නම් වූ සඟරාවේ පරිවර්තනය කොට පළකර ඇත)
ශොන් ලූක් ගොඩාඩ්ගේ ‘බ්‍රෙත්ලස්’ වැනි චිත්‍රපටයකත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ වැනි චිත්‍රපටයකත් කිසියම් සමානකමක් දැක්ක හැකිය. ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයට වස්තු විෂයය වූයේ ප්‍රංශ සමාජයේ නන්නත්තාර තාරුණ්‍යයයි. මෙහි ශොන් පෝල් බෙල්මොන්ඩෝ රඟපාන මිෂෙල්ගේ චරිතයත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය රඟපාන විජේගේ චරිතයත් අපට සංසන්දනය කළ හැකිය.
කලංසූරියගේ රංගනයත් ඔහුගේ බාහිර හැඩරුවත් බොහෝ දුරට බෙල්මොන්ඩෝ ගේ රංගනයට හා බාහිර හැඩරුවට සමරූපී වූයේය. එහෙත් වරක් කලංසූරිය මා සමඟ ඉතාම අවංකව කියා සිටියේ තමා බෙල්මොන්ඩෝගේ රඟපෑම් කිසිවක් දැක නැති බවයි.
ආසියා, අප්‍රිකා හා ලතින් අමෙරිකානු වැනි තුන්වැනි ලෝකයේ රටවල විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල දේශපාලන සිනමා ව්‍යාපාරය ආරම්භ වූයේ හැටේ දශකයේදීය. එහි පුරෝගාමි අවස්ථාවක් බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ නම් වූ ව්‍යාපාරය සනිටුහන් කරයි. නෙල්සන් පෙරෙයිරා ඩොස් සන්ටොස්ගේ ’VIDAS SECAS’ (1962) රුයි ගුඒරාගේ ‘OS FUZIS’  (1963) ග්ලෝබර් රෝෂාගේ ‘BLACK GOD, WHITE DEVIL’ (1964) යන චිත්‍රපට මෙම සිනමා ව්‍යාපාරයේ පැහැදිලි නියෝජනයන්ය.
ඉහත සඳහන් චිත්‍රපට පතිරාජට අපේ රටේ දී දක්නට නොලැබුණා යැයි සිතිය හැකි වුවත් ඔහු සතු ඉංගිරිසි දැනුම මත එක් සිනමාකරුවන් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන රචිත ලිපි කියවීමට අවස්ථාවක් ලැබුණේ යැයි උපකල්පනය කළ හැකිය. 1970 පමණ වන විට බ්‍රෙසීල සිනමාව ගැන විශේෂයෙන් ග්ලෝබර් රෝෂා ගැන සිංහලෙන් පවා ලිපි පළ වූයේය.
පියසිරි නාගහවත්ත ලියු ‘සිනමා සටහන්’ නම් වූ ග්‍රන්ථයේ බ්‍රෙසීල සිනමාව ගැනත් රෝෂා ගැනත් සඳහන් වෙයි. එසේම 1971 දී පළවූ ‘සමකාලීන සිනමාව‘ නම් වූ සඟරාවේ ‘ග්ලෝබ් රෝකාගේ ‘ඔළු හතේ සිංහයා කල්ලන්ගේ විප්ලවයේ ප්‍රතිමූර්තියකි’ නමින් පරිවර්තන ලිපියක් පළවී තිබේ.
ආර්ජෙන්ටිනාවේ ෆර්නැන්ඩු සොලනාස්, ඔක්ටාවියෝ ගෙටීනෝ, බොලිවියාවේ ජෝර්ජ් සන්ජින්ස්, චිලියේ මැනුවෙල් ලීටින්, කියුබාවේ ජුලියා ගාර්ෂියා එස්පිනෝසා, මැනුවෙල් ඔක්ටාවියෝ ගෝමස්, තෝමස් ගුතිරෙස් අලියා, හම්බර්ටෝ සොලාස්, සන්තියාගෝ අල්වා රේස්, ඇල්ෆ‍්‍රඩ් ගුඒරා වැනි සිනමාකරුවන් ගැන ද පතිරාජ නොදැනුවත්ව සිටියා යැයි සිතිය හැකි ද?
විශේෂයෙන් සොලනාස්ගේ සුප්‍රකට උද්ධෘතයක් වූ “ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයකට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුව කි” යන්න පතිරාජ දැන සිටි අයුරු සාක්ෂාත් වන්නේ හැත්තෑව දශකයේ දී පමණ පළවූ ‘සිනමාව විප්ලවීය කලා මාධ්‍යයකි’ යන පොත් පිංචෙනි. එය පතිරාජ සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡාවක් අනුව සකස් කරන ලද්දකි.
එකී සාකච්ඡාවේදී පතිරාජ සොලනාස්ගේ ඉහත උද්ධෘතය ගෙනහැර පායි. ස්පාඤ්ඤයේ ලුවිස් බුනුයෙල්ගේ සිනමාව ද හැත්තෑව දශකයේ දී මෙරට සිනමා ලේඛකයන්ගේ අවධානය දිනාගත්තකි. ඔහුගේ ‘ලොස් ඔල්විදාදෝස්’ (LOS OLVIDADOS) වැනි චිත්‍රපටයක් අපට සිහිපත් කරවන්නේ පතිරාජගේ ‘අහස් ගව්වයි.’ ඊටත් වඩා ඔහුගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයයි. රැකියා විරහිත නන්නත්තාර ගැටවරයන් ප්‍රචණ්ඩත්ව ගොදුරු වන ආකාරය ‘ලොස් ඔලිවිදාදෝස්’ චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙයි.
තුන්වැනි ලෝකයේ රටවලින් අප්‍රිකාව ගැන කතා කරද්දි අපට විශේෂයෙන් සිහිපත් වන්නේ සෙම්බෙනේ උස්මාන්ගේ සිනමාවය. සෙම්බේනේ අප්‍රිකානු සිනමාවේ (විශේෂයෙන් සෙනගාල් සිනමාවේ) පියා ලෙස සැලකෙන්නෙකි. ඔහු සිනමාකරණයට එළැඹෙන්නේ හැටේ දශකය මැද භාගයේදී පමණය. එසේ වුවත් සෙම්බේනේ ගේ චිත්‍රපට පතිරාජ කෙරෙහි බලපෑ බවක් පෙනී නොයයි.
ඉන්දීය සමාන්තර සිනමාවක ආරම්භය සිදුවන්නේ 1969 දීය. විශේෂයෙන් ඉන්දීය චිත්‍රපට මූල්‍ය සංස්ථාවේ ආයෝජනයෙන් එම වසරේ බිහිවූ චිත්‍රපට තුනක් සමඟය. ඒ චිත්‍රපට තුන නම් ම්‍රිනාල් සෙන්ගේ ‘BHUVAN SHOME’  (බූවාන් ශෝමේ), මනි කවුල්ගේ ‘USKI ROTI’  (උස්කි රොටී) හා බාසු චැටර්ජිගේ ‘SARA AKASH’ (සාරා ආකාශ්) ය. මෙයින් ම්‍රිනාල් සෙන් ඉන්දිය මහා සිනමාකරු වූ සත්‍යජිත් රායිට විකල්ප වූ සිනමා මඟක් අනුගමනය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය.
ඔහුගේ කල්කටා ත්‍රිත්වය INTERVIEW, (ඉන්ටවීව්) CULCATTA 71’ (කල්කටා 71’) සහ PADATIK (පදතික්) සමඟ පතිරාජගේ චිත්‍රපට සැසඳීම වැදගත්ය. එයිනුත් ‘ඉන්ටර්වීව්’ චිත්‍රපටයේත් පතිරාජගේ ‘සතුරෝ’ නම් වූ කෙටි චිත්‍රපටයේත් අත්දැකීම එක හා සමානය. (‘ඉන්ටර්වීව්’ චිත්‍රපටය හැත්තෑව දශකය මුලදී පමණ මෙරට චිත්‍රපට විචාරක සංගමය සංවිධානය කළ අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී තිරගත විය.)
රිත්වික් ඝටක් ගේ චිත්‍රපට පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වූ මුල් අවදියේ දැක තිබුණා ද යන්න සැක සහිතය. එහෙත් ඝටක්ගේ ‘නාගරික්’(NAGARIK) වැනි චිත්‍රපටයක වස්තු විෂයයත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටයේ වස්තු විෂයයත් අතර යම් යම් සම ලක්ෂණ දක්නා ලැබේ. ‘නාගරික් චිත්‍රපටයේ කතා නායකයා ද රැකියා විරහිත තරුණයෙකි. සිනමාව හා දේශපාලනය’ හා සම්බන්ධයෙන් රිත්වික් ඝටක් සතු චින්තනයත් පතිරාජ සතු චින්තනයත් අතර ඇත්තේ ද දෘඪ සමීපත්වයකි. ඝටක් මෙසේ කියා ඇත.
“සටන් පාඨ කීම හෝ විසඳුම් ඉදිරිපත් කිරීම මගේ කාර්ය නොවේ. ප්‍රශ්නයේ යථා තත්ත්වය ඉදිරිපත් කිරීමත් ඒ ගැන සිතීමට සැලැස්වීමත් මම සිතන්නේ වැදගත්.” පහත එන්නේ ඊට ම සමාන වූ පතිරාජගේ කියුමකි. “මිනිසුන්ගේ සිත්සතන් වෙනස් කිරීමට මගේ අභිලාෂයක් නැහැ. මට මිනිසුන්ට දෙන්න පණිවුඩයක් නැහැ. දැනට පවතින නොයෙක් නොයෙක් ප්‍රශ්න, තත්ත්ව ගැන සාකච්ඡා පමණයි මට අවශ්‍ය.” (‘සිනමා පේපර්ස්’ සඟරාව)
පතිරාජ පසු කලෙක ඉන්දීය සිනමාව කෙරෙහි කෙතරම් විෂයාශක්ත වී ද කිවහොත් ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා මාතෘකා කොට ගත්තේ බෙංගාලි සිනමාවය. විශේෂයෙන් එම සිනමාව නියෝජනය කරන සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් හා ම්‍රිනාල් සෙන්ගේ සිනමාවය. පතිරාජ මෑතදී මහාචාර්ය ආරිය රාජකරුණා අභිනන්දන ග්‍රන්ථයට ලියු දීර්ඝ ලිපිය ද ඉන්දීය සිනමාව පාදක කර ගත්තකි. එම ලිපියේ මාතෘකාව මෙපරිදිය. ‘INDIANITY AND MODES OF REALISM AND MELO DRAMA IN INDIAN FILMS’.
හැත්තෑව දශකය වන විට තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ ද නව සිනමාවක් මතුවී ආවේය. ලිෆෝ බ්‍රෝකා හා ඉස්මයිල් බර්නාල් යන දෙදෙනා නියෝජනය කළේ එකී නව සිනමාවයි. එහෙත් ඔවුන්ගේ චිත්‍රපට මෙරටදී දක්නට අවස්ථා නොලැබිණි. හොලිවුඩ් සිනමාවේ ස්වාධීන මඟක් ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කීප දෙනාගෙන් කෙනකු වන ජෝන් ෂෙල්සිංගර් නිර්මාණය කළ ‘මිඩ් නයිට් කව්බෝයි’ (MID NIGHT COWBOY) නමැති චිත්‍රපටයේත් පතිරාජගේ ‘අහස් ගව්වෙත්’ යම් යම් සමානතා කිසියම් විචාරකයකුට දැක්ක හැකිය.
එහි ඩස්ටින් හොෆ්මාන් හා ජෝන් වොයිට් රඟපාන චරිත දෙකත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා රඟපාන චරිත දෙකත් අතර කිසියම් සාම්‍යයක් පවතී.  එම චරිත දෙකම විරක්ෂාභාවයට පත් චරිතය. ඔවුන් මුහුණ දෙන්නේ ද එකබඳු අත්දැකීම් වලියකටය. ඉහත සාධක ඔස්සේ මා පෙන්වා දීමට උත්සාහ දැරුවේ ධර්මසේන පතිරාජ එකී විදේශීය චිත්‍රපට අනුකරණය කළ බව නොව ඇතැම් විට නිර්මාණ ආභාසයක් ලත් බවය. ඔහු එබඳු චිත්‍රපට දැක නොතිබුණත් එම චිත්‍රපට ගැන පළවු විචාර ලිපි ඔස්සේ ඒවායින් පෝෂණයක් ලද බවය.
තමා නරඹන හෝ කියවන හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂවරයකුගේ විඥානයේ රැඳී පවතී. ඔහු නිර්මාණයක් කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව එම චිත්‍රපට ඔහු කෙරෙහි සෘජුව හෝ වක්‍රව බලපායි. මතැන සිදුව ඇත්තේද එවැන්නකි.
READ MORE - පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ

රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ

- නිහාල් ගම්හේවා
පසුගිය 24 වැනිදා - ‘රසඳුන’ කලාපයේ පළවූ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා ලිපිය මඟින් රෝයි පීරිස් ඉදිරිපත් කළ චෝදනා සහ අභියෝගය සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමෙන් වැළකී සිටින බව ප්‍රවීණ සංගීතඥ හා ගී පද රචක නිහාල් ගම්හේවා අප සමඟ පවසා සිටියි.
තමා වැඩිහිටි කලාකරුවෙකු වශයෙන් අනවශ්‍ය වාද විවාද සඳහා පැටලීමට අදහස් නොකරන බව සඳහන් කළ ගම්හේවා තවදුරටත් මෙසේ ද සඳහන් කළේ ය.
“ඔය ළමයා (රෝයි) ගායනා කළ ‘මා දෑසේ වේදනා’ - ‘රත්තරං ප්‍රාර්ථනා’ ගීත දෙක වගේ ම ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ‘පෙම්වතුන් සිනාසේ’ ගීතයත් මම රිංගින්ටෝන්ස් සඳහා දීලා තිබෙනවා. මම ඔය හැමදේම කර තියෙන්නේ බුද්ධිමය දේපළ නීතියෙන් ලැබී තිබෙන හිමිකම් යටතේ නීත්‍යානුකූ®ලවයි.
ශිහාන් මිහිරංග (“මා දෑසේ වේදනා”) සහ තීක්ෂණ අනුරාධ (“රත්තරං ප්‍රාර්ථනා”) ගීත දෙක ගැයුවේ රිංගින්ටෝන්ස් සඳහා පමණයි. මේ ගීත දෙක ගායනා කරන්න තුන් වැනි පාර්ශ්වය හැටියට ඔය ළමයා (රෝයි) ට තියෙන අයිතිය අපි තවම තහනම් කරලා නැහැ. ඊට වඩා ඕවා ගැන අපි කතා කරන්න ඕනෑ නැහැ.”
“මම ජාතික තරුණ සේවා සභාවට පැමිණියේ උපදේශකවරයෙකු ලෙසයි. ඔය ළමයා (රෝයි පීරිස්) එවිට උන්නේ අභ්‍යාසලාභියෙකු ලෙසයි. මා දැන් වැඩිහිටියෙක්. ගුරු ගෝලයෝ වශයෙන් මෙන් ම කලාකරුවන් වශයෙන් ද අදහස් වලින් මෙලෙස බැණ දොඩා ඇණ කොටා ගන්න.
අපහාස කරගන්න ඕනේ නැහැ අපි. ගුරුවරයෙකු ලෙස මා සිතන්නේ එහෙමයි. දිගින් දිගටම අපහාස වන අයුරින් ඒ ළමයා කටයුතු කළොත් පමණක් මං හිතාගෙන ඉන්නවා නීතිමය පියවරක් ගන්න. දැනට නීතිඥ උපදෙස් අනුව මම කටයුතු කරමින් සිටිනවා.”
READ MORE - රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

ආචාර්ය සෝමරත්න දිසානායක
* සංස්ථාව තීරණය කළ පිටපත් 35 නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඔබ විරුද්ධ වුණේ ඇයි?
දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්‍රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව.
නමුත් අපි හිතුවා අපේ චිත්‍රපටවලට තිබෙන ඉල්ලුම නිසා අපි එකවර ලංකාව පුරාම ආවරණය වන විදියට, ලංකාවේ දුර බැහැර සිටින ප්‍රේක්ෂකයාටත් සාධාරණයක් වන විදියට අපේ පිටපත් දුර බැහැර ප්‍රදේශවලටත් මුදා හැරිය යුතුයි කියලා.
ඒක අපි ගන්න අවදානමක්. අපි වැඩිපුර පිටපත් ගහනවා කියන්නේ වැඩිපුර වියදම් කිරීමක්. එක පිටපතකට ලක්ෂ දෙකහමාරක් විතර අපි වැඩිපුර වියදම් කරනවා. එහෙම ගහල පිටපත් වැඩිපුර දුන්නම ලංකාව පුරාම ප්‍රේක්ෂකයෝ ඒක බලනවා.
ඒ වගේම තමයි සිනමාව අර්බුදයකට මුහුණ දීලා තිබුණා 90 දශකයේ සහ 2000 මුල හරියෙදි. සිනමා ශාලා වැහෙන්න ගත්තා. සිනමා ශාලාවලට මිනිස්සු ආවේ නෑ. සිනමාව ප්‍රතික්ෂේප වෙමින් පැවතුණා.
ඔවුන්ට රසවිඳින්න පුළුවන් චිත්‍රපට ප්‍රමාණවත් ලෙසින් නිෂ්පාදනය නොවුණු නිසයි එහෙම වුණේ. නමුත් මගේ චිත්‍රපට රැල්ල ආවට පස්සේ මම තනිකරලා කතා කරනවා නෙමෙයි.
මගේ චිත්‍රපට සමඟ තවත් ආකර්ෂණීය චිත්‍රපට හදපු නිර්මාණ කරුවෝ පිරිසක් හිටියා. අන්න ඔවුන්ගේ චිත්‍රපට බලන්න ප්‍රේකෂකයෝ ආපසු සිනමා ශාලාවලට එන්න පටන් ගත්තා. එතකොට අර වහල තිබුණ චිත්‍රපට ශාලා ඇරියා. අලුතින් සිනමා ශාලා පටන් ගත්තා.
සිනමාවේ ප්‍රබෝධයක් ඇතිවුණා. අපේ චිත්‍රපටවලට සෙනඟ ආකර්ෂණය වෙනකොට, බෙදා හැරීමේ සිනමා මණ්ඩල අපේ චිත්‍රපට ඉල්ලනකොට ආකර්ෂණයක් නොමැති චිත්‍රපට හදන අයට පොඩි මදි පාඩුවක් වෙනවා.
ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට අපි ලක්වෙනවා. ඒ නිසා ඔවුන් තමයි එකතුවෙලා නීතියක් ගේන්නේ ජනපි‍්‍රය චිත්‍රපටවල පිටපත් ගාණ සීමා කළ යුතුයි කියලා.
ඔවුන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සහ අනෙකුත් බලධාරින් කැමැති කරවාගෙන තීරණයකට ආවා. මුලින් සභාපති අපෙන් විමසා සිටියා මේ ගැන. අපි ඒකට කොහෙත්ම කැමැති වුණේ නෑ. නමුත් සභාපති ඒකපාර්ශ්වීයව කන්දීමෙන් ඒ තීන්දුව ගත්තා. දැන් අපි කියා සිටින්නේ මේ පිටපත් 35 සීමාව කියන්නේ අර ප්‍රබෝධයෙන් නැඟී සිටි සිනමාව යළි පරිහානිය කරා යොමු කිරීමක් කියලයි. මම කියනව විතරක් නොවෙයි මට ඒක සනාථ කරන්නත් පුළුවන් ඒක එහෙම වෙනවයි කියලා.
* නමුත් ඔබට ප්‍රතිවිරුද්ධ අදහස් දරන බහුතරයක් කියා සිටින්නේ පිටපත් 50 සීමාවට ගියොත් මෙය කිහිපදෙනෙකුට පමණක් සීමාවෙනවා. චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම දික්වෙනවා. එවැනි විශාල පිටපත් ප්‍රමාණයක් නිකුත් කරන්නට ප්‍රමාණවත් සිනමා ශාලා අපට නැති නිසා බහුතරයක් සිනමා නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන බවයි.
පෝලිම දික්වෙනවා කියන්නේ දැනට අවුරුදු ගණනාවකට පෙර හදපු චිත්‍රපට තවමත් ප්‍රදර්ශනය නොවීම නිසානේ. අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ කියලා. මම චිත්‍රපටයක් හදලා සිනමා ශාලාවකට හෝ මණ්ඩලයට දෙන්නත් ඔවුන් ඒක ගන්නත්, අර අනෙක් කෙනාගේ චිත්‍රපටය නොගන්නත් හේතුව මොකක් ද? ඒ චිත්‍රපටයේ අන්තර්ගතයේ තිබෙන කුමක් හෝ අඩුපාඩුවක් වෙන්න පුළුවන්.
දුර්වල, අවර ගණයේ, මහජන ඉල්ලුමක් නැති නිර්මාණ හදපුවම කාගේද වැරැද්ද? ඒක විකිණෙන්නේ නැතිකොට අර විකිණෙන බඩුහදපු නිර්මාණකරුවද වැරදි? අපි කියලා නෑනේ කාටවත් හොඳ චිත්‍රපට හදන්න එපා. ජනපි‍්‍රය චිත්‍රපට හදන්න එපා කියලා. ඕන කෙනෙකුට විවෘතයි. මේක තරගයක්.
මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාවක්. අපි කියන්නේ නෑ අහවල් අයගේ චිත්‍රපටවලට වැඩි සැලකිලි දෙන්න කියලා. අපි කියන්නේ සමස්තයක් හැටියට විවෘතව තියන්න. කැමැති කෙනෙක් ආකර්ෂණීය චිත්‍රපට හදන්න. තමන්ගේ චිත්‍රපටයට ආකර්ෂණයක් තිබෙනවා නම් ඒක යනවා. දුවන්නේ නැතිනම් ඒකට වෙන කරන්න දෙයක්නෑ. ඒක ඒ අයගේ අසාර්ථකත්වය.
* එතකොට මේ ප්‍රශ්නය නිසා වසරකට ප්‍රදර්ශනය වන චිත්‍රපට ප්‍රමාණය සීමා සහිත වීම සහ පෝලිම දිග්ගැසීම ගැන ඔබ මොනවද කියන්නේ?
පෝලිම දිග්ගැස්සවීමේ ප්‍රශ්නයක් තාම වෙලා නෑ. අපි 2000 දශකය ගත්තොත් මේ ටිකට ජනපි‍්‍රයයි කියන බැඳගෙන දුවන, දින සියය ඉක්මවන, පිටපත් 35 ට වැඩිය මුද්‍රණය කරන මෙවැනි චිත්‍රපට අවුරුද්දට එකක් නැතිනම් දෙකක් හැදෙන්නේ. දවස් 365 ක් අවුරුද්දට තිබෙනවා. අපිට සිනමා ශාලා එකසිය පනස් ගණනක් තිබෙනවා. එකසිය පනස් ගණනේම දවස් තුන්සිය හැටපහේම ඔය කියන ජනපි‍්‍රය චිත්‍රපට දුවන්නේ නෑ. ඒ අතරතුර ඉඩ තිබෙනවා. ඒ ඉඩතියෙන තැන්වලට ඔවුන්ට යන්න පුළුවන්.
* ඔය කියන අර්බුදයට තමයි චිත්‍රපට සංස්ථාව සහ ඔබ අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වුණේ?
ඔව්. ඔය චක්‍රලේඛය පිට කරන්නේ සභාපතිගේ අස්සනින්. අපි දන්නේ නෑ ඒක කාගේ යෝජනාවක් ද කොහෙන් පටන් ගත්තද කියලා. සභාපතිගේ අස්සනින් චක්‍රලේඛයක් යවනකොට අපි ඇඟිල්ල දික් කරන්නේ සභාපතිට. අපි ඔහුට එහි ආදීනව පැහැදිලි කරලා මේක කරන්න එපා කියලා කිවුවා.
ඊට කලින් පහුගිය අගෝස්තු මාසේ එයා දැන්වීමක් දාලා පුවත්පත්වල තිබුණ මෙහෙම කරන්න අදහසක් තිබෙනවා. අදහස් දක්වන්න කියලා. අපි ඒකටත් අදහස් දැක්වූවා. මම සිනමා නිර්මාණ සංසදයේ සභාපති හැටියට අදහස් දැක්වුවා. සිනමා මණ්ඩල පහෙන් හතරක් ම අදහස් දක්වලා තිබුණා. මේක කරන්න එපා කියලා.
ඒ කිසි කෙනෙකුට කන්දීමක් කරලා නෑ. එයා කන්දීලා තියෙන්නේ ආකර්ෂණීය නොවන චිත්‍රපට හදන පිරිසකට පමණයි. මම කියන්නේ වර්තමාන සභාපතිතුමාගේ මේ චක්‍රලේඛය නිසා සිනමාවට සිදුවන්නේ අයහපතක් බවයි. අපේ රටේ ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා මේ නිසා.
* චිත්‍රපට සංස්ථා සභාපතිවරයා සහ ඔබ දැන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ මතවල. නමුත් ඔය සභාපතිවරයා පත්කරන්නටත් ඔබලාම නේද මහන්සි වුණේ?
අපේ දේශපාලන ජයග්‍රහණය පසුව එක එක්කෙනා තනතුරු ඉල්ලා සිටියා. නමුත් මගේ එහෙම ඉල්ලීමක් තිබුණේ නෑ. මම වැඩ කලේ රටේ පොදු යහපත තකා. මට දුන්න තනතුරුත් මම ප්‍රතික්ෂේප කළා. නමුත් සමහරු තනතුරු බලාපොරොත්තු වුණා. එහෙම බලාපොරොත්තු වන විට ඒවාට සුදුසුයැයි කියලා හිතෙන අය අපි නිර්දේශ කළා. අසෝක සේරසිංහ මහතාත් එවැනි නිර්දේශයක්.
ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. සිනමාවට කෙසේ වෙතත් වේදිකා නාට්‍යවලට හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. අපිට හිතුණා ඔහු නිර්දේශ කළ යුතුයි කියලා. ඒ නිසා අපි දුන්න ලැයිස්තුවේ චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට ඔහුගේ නම අපි නිර්දේශ කළා. නමුත් අද අපිට පේනවා ඔහු සිනමා ක්ෂේත්‍රයේ පරිහානියට වැඩ කරනවා. ඔහු ඒ තනතුරට, නායකත්වයට සුදුසු කෙනෙක් නොවෙයි කියලා.
* ඉදිරියට චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ පිළිවෙළට නේද?
රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිළිවෙළට පෙන්වන්න කියලා චිත්‍රපට සංස්ථාව නියෝගයක් කළාට සභාපතිවරයා දන්නම දෙයක් තමයි චිත්‍රපට බෙදාහැරීම පුද්ගලීකරණය වී තිබීම. ඒ නිසා රජයට බලපෑම් කරන්න බෑ පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලට ඔබලා මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියලා.
* ඔබ පෝලිමෙන් පනිනවා කියලා තමයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ?
පෝලිමෙන් පනින්න පෝලිමක් තියෙන්න එපායැ. පෝලිමක් කියලා එකක් නෑ මේ ක්‍රමයට. චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලීකරණය කරලා නිසා අපි පෞද්ගලික මණ්ඩලයට ගිහින් අපි කතා කරලා අපේ චිත්‍රපටය ගැන කියලා මේ වකවානුවේ අපිට ප්‍රදර්ශනය කරන්න ඕන ඔබට පුළුවන්ද? කියලා අහලා බලලා තමයි අපි නිර්මාණය කරන්නේ.
ඒ අංශයේ අයිතියක් තමයි පුළුවන්ද බැරිද කියලා කියන්න. ඒක මට විතරක් සීමා වුණ දෙයක් නොවෙයි. ඕනම නිර්මාණකරුවකුට එසේ පෞද්ගලික මණ්ඩලයට ගිහින් කතා කරලා තමන්ගේ චිත්‍රපටය දාගන්න පුළුවන්. එතකොට ඒ ගොල්ල ඇවිත් චිත්‍රපටය බලනවා. බලලා තීරණය කරනවා ගන්නවද නැත්ද කියලා. සමහර ඒවා ප්‍රතික්ෂේප වුණාම කාගෙද වැරැද්ද?
* ඔවුන් කියන්නේ සියලු දෙනාටම පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලයි.
ඔව්. එහෙම තිබිය යුතුයි තමයි. එහෙම තියෙන්න නම් පළමුවෙන්ම කරන්න ඕන පෞද්ගලීකරණය අයින් කළ යුතුයි. එහෙම කරල සියලුම සිනමා ශාලා රජයේ පාලනයට ගත යුතුයි. දැන් එතකොට ආණ්ඩුවේ නීතිය මේකයි කියලා කිව හැකියි. එහෙම කමක් නෑ. රජයේ එවැනි නීතියක් තිබෙනවා නම් අපි ඒකට බැඳී සිටිය යුතුයි.
* මේ ප්‍රශ්නෙදි ඔබ වතාවක් පුවත්පත්වලට කියලා තිබුණ පිටපත් 35 ට සීමා කළොත් ඔබ සිනමාවෙන් අයින් වෙනවා කියලා. දැන් චිත්‍රපට සංස්ථාව එය ක්‍රියාත්මක කරනවා. කියූ පරිදිම ඔබ සිනමාවෙන් ඉවත් වෙනවද?
ඒක මගේ මේ චණ්ඩිකමකටවත් කාටවත් පාඩමක් උගන්වන්නවත් කරපු එකක් නෙමෙයි. මම අයින්වෙන්නේ මට මේ පිටපත් 35 සීමාව යටතේ මගේ රටාවේ චිත්‍රපට මට කරන්න බෑ. මම වියදම් කරන මුදල් මට උපයාගන්න බෑ. දැනට තිබෙන වියදම් බලපුවම පළමුවැනි වටයේ පිටපත් 35 මුදාහැරලා ආදායම් ලබාගන්න බෑ.
මේක මට විතරක් නෙවෙයි මෙවැනි ආකර්ෂණීය දැවැන්ත චිත්‍රපට කරන සියලු දෙනාටම කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි ඔවුන්ට අයින් වෙන්න වෙනවා. මට හැමදාම පාඩු විඳ විඳ චිත්‍රපට කරන්න බෑනේ. මේක මහජන සේවයක් නොවෙයිනේ. ඒ නිසා මට අයින්වෙන්න වෙනවා.
* චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔබේ බිරියත් ඉන්නවා නේද?
මගේ බිරිය ඉන්නවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මොනවා වෙනවද කියලා මට වග කියන්න බෑ. ඒ ගැන තොරතුරු මම දන්නෙත් නෑ. මම එක දෙයක් දන්නවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වැරදි තීරණයක් අරන් ඒක ජන සම්මත කළොත් ඒක අපට දැනෙනවා. නමුත් මේ පිටපත් 35 සීමාව කවදාවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කතා කරපු දෙයක් නොවෙයි. එහෙම එකක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කතා කරලා නෑ. කොහෙවත් වාර්තාවෙලා නෑ. අපි නම් දකින්නේ මේ තීරණය අදූරදර්ශී, සාකච්ඡාවලින් තොරව එක්තරා පිරිසක් සතුටු කරන්න ගත්ත තීරණයක් විදියට.
* ඔබේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට මොකද වෙන්නේ. ඒක ඔබ සිතා සිටි නියමිත කාලයට තිරගත වෙනවද?
’සිරි පැරකුම්’ චිත්‍රපටයට මම හිතන්නේ නෑ සභාපතිගේ චක්‍රලේඛයට අදාළයි කියලා.
* එහි පිටපත් 50 ක් මුද්‍රණය කරනවද?
මම දන්නේ නෑ. මම හිතාගෙන ඉන්නේ මුද්‍රණය කරනවා කියලා. මට හිතෙනවා සභාපති ඒකට විරෝධය පායි කියලා. නමුත් මම කියා සිටිනවා මම තිරගත කරනවා. මට ඒකට අයිතියක් තියනවා කියලා. මොකද මම චිත්‍රපටය හදන්න ගන්නේ අවුරුදු දෙකකට කලින්.
ඒ කාලේ සැලසුම් කරනකොට මෙහෙම නියෝගයක් රටේ තිබුණේ නෑ. ඒ නිසා මම තිරගත කරන කාලය, මුදාහරින පිටපත් ගණන සහ මණ්ඩලය තීරණය කරලා තමයි මුදල් වැය කළේ. සභාපතිතුමා විරුද්ධ වුණොත් ඉන් එහාට ගොස් අධිකරණ බලයකින් හරි ඒ පිටපත් 50 මුදාහැරීමේ අයිතිය මට තියනවා කියලා මම හිතනවා.
READ MORE - චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

භාග්‍යා හෙට්ටිආරච්චි
’ඉඳුවරී’ ටෙලිනාට්‍යයේ “සුංගි” ඔබට මතක ද? “සුංගි” ගේ චරිතය නිරූපණය කළ ඒ රුවැත්තිය භාග්‍යා හෙට්ටිආරච්චි. භාග්‍යා රංගනයට පිවිස ගතවූයේ කෙටි කලක් වුවද ඉතා හොඳ චරිත කීපයක්ම නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත.
භාග්‍යා රංගනයට පමණක් නොව ගායනයට ද දක්වන්නේ අපූරු දක්ෂතාවයකි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප භාග්‍යා එක් කර ගන්නේ ඇයගේ නවතම තතු විමසන්නටය.
ඔබ රංගනයට පිවිසි ආකාරය සිහිපත් කරමු
මගේ මුල්ගම ගම්පහ; දැන් පදිංචිය මහරගම. පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකාවට. පාසල් යන කාලේ පටන් මම ආශා කළේ සංගීතයට. පාසලේදි මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා.
සංගීතයට තිබුණු ඇල්ම නිසාම ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා වසර 6 ක් පමණ. ඒ අතරතුරේදි තමයි මට රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඉන්පසුව මට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
රංගන ශිල්පිනියක් වීමේ ආශාව හිතේ කොනක හෝ තිබුණ ද?
මම ආශා කළේ ගායිකාවක් වෙන්න. නමුත් යොමුවුණේ රංගනයට.
එතකොට ඔබේ පළමු ටෙලිනාට්‍යය?
සිරස නාලිකාවෙන් විකාශය වුණු “සඳ සාක්කි.” එය දීර්ඝ ටෙලි නාට්‍යයක්. එහි මම නිරූපණය කළේ පාද දෙකම අහිමි තරුණියකගේ චරිතයක්.
එතකොට ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
“සඳසාක්කි”, “ඉඳුවරී”, “බාලොලි මල්” “හිම පියලි” “රන්තරු” “සොයුරී” සහ තවත් ටෙලි නාට්‍ය කීපයකටම මම දායක වෙලා තියෙනවා.
සිනමාවට ඔබේ දායකත්වය...?
මේ වන විට මම එක් සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ රොෂාන් කුරුප්පුගේ “මල් විල ෆාම්” චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මම. ඒ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
ඔබ හිතන විදියට ඔබගේ රංගනය ප්‍රේක්ෂකයින් හඳුනාගන්නේ කුමන චරිතයෙන් ද?
‘ඉඳුවරී’ ටෙලි නාට්‍යයේ ‘සුංගි’ කියන චරිතයෙන්. ඒ චරිතය තුළ මට ගොඩක් දේවල් කරන්න තිබුණා. ඒ රංගනය දැකපු අධ්‍යක්ෂවරු කීපදෙනෙක්ම මාව ඔවුන්ගේ නිර්මාණවලට දායක කරගත්තා.
එතකොට ඔබ මේ දවස්වල මොනව ද කරන්නෙ...?
“සසර සක්මන” ‘හිම පියලි’ ‘රන්තරු’ සහ තවත් ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම්වලට මේ දිනවල දායක වෙනවා.
ඔබ මෙතෙක් රඟපා ඇති චරිතවල ස්වභාවය...?
මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් ගතවෙලා තියෙන්නේ කෙටි කාලයක් වුණත් හොඳ ටෙලිනාට්‍ය කීපයකම විවිධාකාරයේ චරිත නිරූපණය කිරීමට තරම් මම වාසනාවන්ත වුණා. ඒ චරිත අතර පෙම්වතිය, දියණිය වැනි චරිත වගේ ම ඉතාම සංකීර්ණ චරිතත් තිබුණා. එලෙස විවිධාකාරයේ චරිත නිරූපණය කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි.
ඔබ ප්‍රවීණයින් එක්ක සාර්ථකව එකට වැඩ කරනවා ද?
පසුගිය කාලෙ මම ප්‍රවීණයින් රැසක් සමඟම වැඩ කළා. මම ප්‍රවීණයින්ට ගොඩක් ගරු කරනවා. ඔවුන්ගෙන් අපේ රංගන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් ලබාගත හැකි දේ බොහොමයි. විශේෂයෙන්ම ජයනි අක්කා (ජයනි සේනානායක) කුමාර තිරිමාදුර අයියා මට ගොඩක් උදව් කරනවා.
දැන් ඔබ සංගීතය අමතක කරල ද?
නැහැ. මට එහෙම කරන්න හැකියාවක් නෑ. කේමදාස මාස්ටර් ඉන්න කාලේ මම මාස්ටර්ගේ ප්‍රසංගවලට ගොඩක් දායක වුණා. නමුත් වැඩියෙන් රංගනයට යොමු වුණු නිසා සංගීත කටයුතු තරමක් මඟ හැරුණා. මේ දිනවල මගේ නවතම ගීතයක වැඩ කරගෙන යනවා. මැයි මාසයේ දී පමණ ඒ ගීතය රූප රචනාවක් සමඟින් රසිකයින්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගනය සරල ද?
නැහැ. කොහෙත්ම නෑ. ඒකට උපතින්ම ලැබුණු වාසනාවනක් වගේම අභ්‍යාස කිරීමෙන් ලබාගත් දැනුමත් තියෙන්න ඕන. රංගනය ප්‍රගුණ කළ යුතු විෂයයක්. ඒ සඳහා විශේෂ අභ්‍යාස ක්‍රම තිබෙනවා. මම හිතනවා මට රංගනය ගැන ඉගෙනගන්න ලැබුණේ එය ඉගෙන ගන්න ඉන්න හොඳම කෙනාගෙන් කියලයි.
ඒ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන්. කේමදාස මාස්ටර් ඉගැන්නුවේ සංගීතය පමණක් නෙමෙයි. රංගනය පිළිබඳ මනා දැනුමක් අපට ලබා දුන්නා. ඒ ඔපෙරාවලට අපට සම්බන්ධ කර ගැනීමේදී. ඉදිරියටත් මට රංගනය ගැන මේ රටේ ප්‍රවීණයින්ගෙන් මෙන්ම තවත් ක්‍රම වලින් හදාරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ඔබ රැකියාවක් ලෙස මොනව ද කරන්නෙ?
දැන් මගේ රැකියාව රඟපෑම.
දිගටම රංගනයේ ඉන්නව ද?
ඔව් මට හැකිතාක් කල් මම රංගනයේ යෙදෙනවා. ඒ වගේම කවදා හෝ දක්ෂතම රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමි කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා.
ඔබේ පවුලේ තොරතුරු...?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ.
පවුලේ අය හැර ජීවිතයට සමීප තවත් කෙනෙකුන් ඔබට ඇති නේද?
දැනට නම් නෑ. මගේ ක්ෂේත්‍රය හොඳින් තේරුම් ගත්ත, මට ගොඩක් ආදරය කරන කෙනෙක් මගේ ජීවිතයට සමීප වේවි කියල මම හිතනව.


Silumina
READ MORE - මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

අනේ මෙහෙම ලව්

අනේ මෙහෙම ලව්

 

කරල් හතර 540 යි
දැයට කිරුළ ප්‍රසංගයට ගිය අපේ මාධ්‍ය සගයකුට, තමන්ගේ අනාගත බිරින්දෑ එහි රාජකාරියක නිතරව සිටීමේදී හමුවීම ආනන්ද ජනක කාරණාවක් වුණා. ගිය රාජකාරිය පැත්තකට දමා ඈත් සමඟ ඇවිදිද්දී ඈ තම පෙම්වතාට අපූරු තෑග්ගක් අරන් දුන්නා. ඒ අලුතින්ම නෙලා ගත් බඩ ඉරිඟුයි.
කොළඹ උපන් පත්තර සගයාට බඩ ඉරිඟු තම්බන හැටිත්, එහි රසත්, ගුණත් විස්තර කර දුන් ඇය තම රාජකාරි සඳහා එහි නතර වූවා. මාධ්‍ය සගයා ආපසු කොළඹ ආවා. ඒ බඩ ඉරිගු තම්බා කෑමේ සිහිනයත් එක්කයි.
ගමන පුරාම දැඩි නින්දේ පසු වූ ඔහු නිවෙස අසලදී රථයෙන් බැස ගියා. ගෙදරට ගොඩවන විටම සිහිපත් වූයේ බඩ ඉරිගු බස් රථයේ අමතක වූ බවයි.
සෙසු හිතවතෙකු දැන ගත්තොත් ඒ බඩ ඉරිගු ආපසු නෙලැබේ යැයි සිතූ ඔහු ආයතනය වෙනුවෙන් මාධ්‍යවේදීන් ගමන් ගත් බස් රථයේ සහායකයාට එස්. එම්. එස්. පණිවුඩයක් යැව්වේ බඩ ඉරිඟු කරල් ඔවුන්ගේ සමාගමේ තබා ගන්නා ලෙසයි.
ඊළඟට අපේ මාධ්‍ය සගයා කළේ කිරිබත්ගොඩ සිට ත්‍රීවිලරයක නැගී නුගේගොඩ පැත්තේ ප්‍රවාහන සමාගමට පැමිණීමයි. ඒ රිය සහායකයා වෙනත් රාජකාරියට යාවි යැයි ඇති වූ බිය නිසයි.
කෙසේ වුවත් අපේ මිත්‍රයාට රුපියල් පන්සියයක ගාස්තුවක් ත්‍රීවිලරයට ගෙවන්නත් සිදු වුණා. ඒ වන විට, පෙම්වතිය ලබා දුන් බඩ ඉරිගු කරල් හතරේ වටිනාකම රුපියල් පන්සිය හතළිහක් වූ නමුත් බඩ ඉරිඟු කරල්වල රසය නම් වැඩි වෙනසක් වී තිබුණේ නැහැ.
READ MORE - අනේ මෙහෙම ලව්

හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා

Tuesday, March 26, 2013


හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා
2013 මාර්තු මස 10 14:55:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පියාගේ ප‍්‍රතිභාපූර්ණ රංග කුසලතාවයද, මවගේ ශාස්ත‍්‍රීය සංගීත රිද්මයද  සිය ආත්මයෙන්ම සමීප කරගත් මේ පුතුන් දෙදෙනා ගැන හෝ ඒ මාපිය යුවළ ගැන  අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැත.  මුළු රටම ඔවුන් ගැන දන්නේය. ජැක්සන් ඇන්තනි - කුමාරි මුණසිංහ නමැති ඒ ප‍්‍රවීන කලාශිල්පී යුවළගේ මේ පුතුන් දෙදෙනා මෙන්ම දියණිය මාධවී යන ඒ පවුලම කලා අංශයේ ගසට - පොත්ත  මෙන් බැඳී සිටින පවුලකි. අද අප මේ කතා කිරීමට සූදානම් වන්නේ ඒ හැඩකාර - කලා  පවුලේ මේ විසේකාර පුතුන් දෙදෙනා  ගැනයි. විසේකාර කොල්ලන් යැයි කාට හෝ කියූ කළ බොහෝ දෙනා හිතන්නේ ඔවුන් මොකක් හෝ දඩබ්බර වැඩක් කර ඇතැයි කියා විය හැකිය. මේ කාලයේ  එවැනි දේ  බහුලව අසන්නට ද ලැබේ. නමුත් මේ දෙදෙනාගේ  විසේකාර  කම ඇත්තේ  කලාව වෙනුවෙනි. ඒ සෞන්දර්යාත්මක විසේකාරකම සමාජයට යහපතකි. ඒ නිසාම අප ඔවුන් දෙදෙනා මෙලෙස  සැඳැල්ලට කැඳවීමු.

‘‘ජැක්සන්-කුමාරි’’  යුවළගේ ලොකු පුතා හෙවත් පවුලේ දෙවැන්නා අඛිල ධනුද්ධරය. තුන්වැන්නා හෙවත් පවුලේ අන්තිමයා සජිත අනුත්තරය. ඔහු ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ, සෝමරත්න දිසානායකගේ සූරිය අරණ  චිත‍්‍රපටයේ වැදි පැටියාගේ චරිතය සමගය. එම චිත‍්‍රපටයේ රඟපාන  විට කොලූ පැංචෙකු  වූ සජිත  අද කඩවසම් නව යෞවනයෙකි. ශාන්ත ජෝෂප් සහ කොළඹ ආනන්ද  මහා විද්‍යාලයෙන්  අධ්‍යාපනය ලබා ඇති සජිත පසුගිය වසරේ උසස්  පෙළට  මුහුණ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ඇත. කලා අංශයෙන් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ඇති ඔහු දැන් සූදානමින් සිටින්නේ සරසවි ප‍්‍රවේශය සඳහාය. එලෙසින් සරසවි වරම් ලබා සිටින සජිතගේ අරමුණ වන්නේ උපාධිය ලබා ගත් පසු  කලා අංශයේ විවිධ ඉසව් ඔස්සේ නිර්මාණාත්මක  ගමනක  යෙදීමටය. වයස  අවුරුදු 21 සපුරන සජිත කලා අංශය තෝරා ගැනීම ගැන පවසන්නේ මෙලෙසිනි.

‘‘කලාව අපේ පවුලෙන්ම ආ දෙයක්. හැබැයි සාමාන්‍ය පෙළ දක්වා  අම්මයි - අප්පච්චියි අපට මග පෙන්වීම හැර  බලපෑම්  කළේ  නැහැ. අපට කැමති විදියට විෂයයන් තෝරා ගන්න ඉඩ දුන්නා’’

ඒ  විදියට අධ්‍යාපනය ලද සජිත  කලා අංශය  තෝරා  ගත්තද,  අය්යා අඛිල  ධනුද්ධර කලා  අංශ ගැන හිතපු කෙනෙක් නම් නොවෙයි. කොළඹ ශාන්ත  ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අඛිලගේ වයස අවුරුදු 23කි. ඔහුගේ ආසාව තිබෙන්නේ වාණිජ  අංශයටය. එම අංශයෙන් ඩිප්ලෝමා සහතික ලබා ඇති ඔහු කලාවට සම්බන්ධ  වී ඇත්තේ අහම්බයකිනි.
‘‘ඇත්තෙන්ම  අය්යා කලාවට සම්බන්ධ වීම ගැන  මට අද පුදුමත් හිතෙනවා. එයාගෙ  වැඩිපුර  ආසාව තිබුණේ ව්‍යාපාර  අංශයට.”

සජිත මල්ලී  අය්යා ගැන අද පවසන්නේ  එලෙසිනි. අඛිල මුලින්ම තාරුණ්‍ය ස්පර්ශ කළේ රොමේෂ් සුගතපාලගෙ ‘‘දිගුදෑස දුටුවාම’’ ගීතයේ රූප රචනයට පෙනී සිටීමෙනි. ඉන්පසු එහි දෙවැනි ගීතය වූ දිගු දෑස දුටුවාම ගීතයට  පෙනී  සිටි අඛිල සිනමාවට පා තබන්නේ සෝමරත්න  දිසානායකයන්ගේ  ‘‘සිරිපැරකුම්’’  චිත‍්‍රපටය සමගය. එහි ප‍්‍රධාන  චරිතයට දායකව සිටින්නේ මේ අඛිලය. හෙට දින  තිරගත වීමට නියමිත සිරි පැරකුම්  චිත‍්‍රපටයේ  රඟපාන ඒ චරිතය සමග අඛිල ගැන බොහෝ දෙනා කතා කරනු ස්ථිරය. සජිත ගැන බොහෝ දෙනා අද  කතා කරන්නේ දෙරණ  සිටි ඔෆ්  ඩාන්ස් නිසාය. එහි ෂෂිකා ජෝන්ස්  සමග නර්තනයේ යෙදෙන්නේ  ඔහුය. සජිත එක්ක අතීතයට ගියොත්, මුලින්ම ඔහු ගැන කතා කර ඇත්තේ ශ්‍රී ලාංකීය රසිකයින් නොවේ.  යුරෝපයේ සිනමාලෝලී  රසිකයින්ය.  ඕෆ්රෝඞ් නමැති ජර්මානු චිත‍්‍රපටයක  රඟපෑම ඊට  හේතුවය.  සුමිත්  කුමාරගෙ  කුරුළු පිහාටු  සහ සජිතගෙ  අප්පච්චි කළ  අබා චිත‍්‍රපටවල  රඟපා ඇත්තේ  ඉන් පසුවය.
මේ විදියට විස්තර කියැවෙන   සජිත සහ අඛිල ඇතුළු පවුලේ කට්ටිය එකට එකතුවුනාම එතැන පුදුම සුන්දර  හමුවක්   නමුත්  ප‍්‍රශ්නය වනනේ මේ ඔක්කොම කාර්ය බහුල  අය නිසා එකට එකතුවීමට ලැබෙන කාලය ඉතා අල්ප වීම මේ ළඟදී දවසක මේ පවුලේ අය  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක යෙදුණා.
එහිදී කට්ටිය එකට එකතුවෙලා ගී - ගයමින් - රඟමින් ගත කළ මොහොත අතිශය සුන්දර  සිහිවටනයක් බව සජිත සිහිපත් කරයි. අම්මා ගායන  ශිල්පිණියක් නිසා එවැනි  අවස්ථාවලදී මේ අයට ඇයගෙන් සුන්දර ගීත අහන්නට ලැබෙයි. අක්කා  මාධවීට ඉතා  හොඳ  ගායන හැකියාවක් ඇත.  ඇය  වැඩිපුර ගයන්නේ චන්ද්‍රලේඛා සහ නිරෝෂාගේ ගීතය. අද මාධවි ගැන  වැඩිපුර කතා නොකරන්නේ ඇය විවාහ වූ නිසාම නොවෙයි.
ඇය උසස්  අධ්‍යාපන කටයුතුවල නියැලී  සිටින නිසයි. මේ වන විට  කැළණි සරසවියේ පුරාවිද්‍යා, අංශයේ උපාධිධාරිණියක වන්නීය. අනාගතයේදී  මහාචාර්යවරියක  ලෙස කටයුතු කරනු ඇතැයි  සජිත  මල්ලී අනුමාන කරයි.
‘‘ඇත්තෙන්ම අය්යටයි - මටයි ඉගෙන ගන්න ආසා හිතුණෙ  අක්කා නිසයි. අක්කා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. මට මේ උසස්  පෙළ ඉස්තරම්  විදියට පාස්වෙන්න  උදව් කළේ අක්කා.  අපේ අම්මා රජයේ රැකියාවක් කළේ. ඉතින් අම්මයි - අප්පච්චියි කාර්ය බහුල වුනාම ඉස්සර  අක්කා අපට උයලාත් දුන්නා. අපිව බලා ගත්තෙ එයා. අක්කා විවාහ වුණේ  වෛද්‍යවරයෙක් එක්ක. දැන් ඒ  අය්යත්  වැඩිපුර විදේශීය අධ්‍යාපනය ලබා මෙහි ඇවිත්. ඒ දෙන්නත් අපි එක්ක  සිටීම ගැන අපට ලොකු  සතුටක්  තියෙන්නෙ.’’

තම පවුලේ ශක්තිමත් බව සහ ඉස්තරම්  ආකාරයේ  සහෝදර  බැඳීම ගැන ඒ පවුලේ බඩ පිස්සා  ප‍්‍රකාශ කළේ එලෙසිනි. මේ අය්යා - මලෝ  දෙන්නා තම අම්මා - අප්පච්චි මෙන්ම  අක්කා ගැනද වඩාත් ආඩම්බර වෙයි. ඒ ආඩම්බරකමට හේතුවක් ඇත.  අරුත්බර බව ඊට හේතුවය. විසේකාර තාරුණ්‍යය සමාජයට හිතකර වී ඇත්තේ  ඔවුනට මේ පවුලෙන් ලැබුනු හරවත්  බව, මඟ පෙන්වීම නිසාම නොවේද? සජිත  සහ අඛිලගෙ හමුව අවසන අපට වටහාගත් දේ එයයි. රටට  ප‍්‍රකට වගේම ඔවුනගේ පවුලත් අරුත්බර යැයි සඳහන් කළ හැකිමය.

පසුතලය :  Cotton Collection - (ධර්මපාල මාවත) 

READ MORE - හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා

ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා


ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා
2013 මාර්තු මස 11 14:52:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ මං රඟපෑවේ ප‍්‍රධාන චරිතය,  දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත‍්‍රපටයේ මගේ රඟපෑම කොච්චර  දුර්වලද කිව්වොත් ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මගේ රඟපෑමට හූ  කිව්වා. මෙහි වරද  අධ්‍යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. 

මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ  ප‍්‍රධාන චරිතය රඟපෑ  විජේරත්න වරකාගොඩ  නම්  සම්මානනීය රංගන ශිල්පියායි. 
දෙස් විදෙස් පදිංචි ශ්‍රී ලාංකිකයන් හොඳින් හඳුනන මුවන්පැලැස්සේ ‘‘කෝරලේ මහත්මයා’’ හෙවත් විජේරත්න  
වරකාගොඩ  ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  පිළිබඳ  තොරතුරු  ‘‘මතක පොතට’’  කියන්නට  සිය මතකය අවදිකළේ මෙහෙමයි. 
මේ චිත‍්‍රපටය  තිරගත කෙරුණේ  1965 වසරේ අගෝස්තු  මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප‍්‍රවීණ  චිත‍්‍රපට  නළුවෙකුව සිටි ආනන්ද  ජයරත්න කතාව  හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා  විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත  ගායනය කළා අමිතා  වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප‍්‍රනාන්දු. 
මා  සමඟ රඟපෑවා ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා,  ආනන්ද  ජයරත්න, ජී.ටී. වික‍්‍රමසිංහ,  වික‍්‍රම  බෝ්ගොඩ, සීතා කුමාරි, අයිරාංගනී  පෙරේරා යන ශිල්පීන්.
මං රඟපෑවේ නීතිඥවරයෙකුගේ චරිතයක්, මගේ බිරිඳ හැටියට ක්ලැරිස් ද  සිල්වා රඟපෑවා. ඇය පාසල් ගුරුවරියක්. අපේ දියණියගේ චරිතය රඟපෑවේ අයිරාංගනී පෙරේරා. ගාමිණී  ෆොන්සේකා රඟපෑවේ අපේ පවුලේ හිතවතෙක් විදියට. ඔහු හමුදාවේ මේජර් කෙනෙක්. 
නීතිඥවරයා  ඉතාම කාර්යබහුලයි. මේ නිසා ගෙදර දොර අවශ්‍යතාවලට මේජර්වරයාගෙන් උදව්ගන්න සිදුවුණා. බිරිඳට  ගමන් බිමන් යන්න සිදුවුණෙත් ඔහු සමග. මේ හිතවත්කම  පසුකාලීනව නීතිඥවරයාගේ සැකයට තුඩුදෙනවා. මේ සැකය උග‍්‍ර අතට  හැරුණාම නීතිඥයා සිය බිරිඳ ගෙදරින් පන්නා ගන්නවා. අන්තිමට  දරුපවුලම නන්නත්තාරවෙලා  යනවා. කාලයක් ගතවෙනකොට  අහම්බෙන්  වගේ  නීතිඥයාට සිය  බිරිඳ  මුණගැහෙනවා. එම අවස්ථාවේදී  ඔහුගේ සැකය දුරුවී ගිහින් නැවතත්  ඒ පවුල  එක සෙවණකට එක්වෙනවා. මේ තමයි කතා  සාරාංශය. 
මේ  චිත‍්‍රපටයේ ප‍්‍රධාන  චරිතයට මාව තෝරාගන්නා විට රොබින් තම්පෝගේ  ‘‘සුහද දිවි පිදුම’’ චිත‍්‍රපටයේ නීතිඥයෙකුගේ චරිතයක් රඟපාලා තිබුණා. එතැනදී මට තිබුණේ විත්තිකරුවෙක්  වෙනුවෙන් උසාවියේ දේශනයක් කරන්න. ඒ හැරුණාම තම්පෝගේ ‘‘සුදු සඳේ කලූවලා’’  ‘‘සමාජේ අපි  ඔක්කොම සමානයි’’ ‘‘ගම්පෙරළිය’’ යන චිත‍්‍රපටවල  සුළු සුළු චරිත කරලා තිබුණා. අවංකව නිහතමානීව කියනවා නම් ආදරයයි කරුණාවයි  චිත‍්‍රපටයේ රඟපානකොට මං ආධුනික නළුවෙක්. 
 
රූපගතකිරීම් කළේ කොළඹ නගරයේමයි. ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  ආනන්ද ජයරත්නගේ ප‍්‍රථම අධ්‍යක්ෂණය. මෙය දුර්වල නිර්මාණයක් වූ නිසාම එය ඔහුගේ අවසාන අධ්‍යක්ෂණයත් වුණා. 
ආනන්ද ජයරත්න ඉතාම දක්ෂ නළුවෙක්. ඒ වගේ නළුවෙක් ආයෙත් බිහිවන්නේත් නැහැ. එහි තර්කයක් නැහැ. නමුත් මේ චිත‍්‍රපටය ගැන ඇත්ත කතා කරනවා නම් ඔහුගේ අධ්‍යක්ෂණය අන්තිම දුර්වලයි. මට සමාවෙන්න ඔහුට අපහාස  කිරීමේ චේතනාවෙන්  නම් නෙවෙයි මං මෙහෙම කියන්නේ. ඔහු චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම දැනගෙන හිටියේ නැහැ.  සෙල්ලක්කාරයෙක් වගෙයි ඔහු අපිව මෙහෙයවූවේ.
එක උදාහරණයක් පෙන්වන්නේනම්, මිස්ටර් විජේරත්න අතන හිටගන්න. ඔන්න මං හිටගත්තා. බිත්තිය අල්ලගන්න. ඔන්න මං බිත්තිය අල්ල ගත්තා. එක පාරටම ආපහු  හැරෙන්න. දැන් අඩි තුනක් විතර  ඉස්සරහට  එන්න.  දැන් දොරෙන්  එළිය බලන්න. දැන් ක්ලැරිස් මිස්ටර්  විජේරත්න වරකාගොඩගේ ඉස්සරහට එන්න.  ඔන්න  ක්ලැරිස්  ආවා කියමුකෝ දැන් ක්ලැරිස්ගෙ බෙල්ලෙන්  අල්ලලා එළියට  තල්ලූ කරන්න. මෙන්න  මේ විදියට තමයි  අපිව මෙහෙයවුවේ. ඉතින් කොහොමද හැඟීමක්  එන්නේ.  ඒ දර්ශනයට අවශ්‍ය ‘‘මූඞ්’’  එක  ගන්නේ කොහොමද. මිස්ටර් ආනන්ද තව එකපාරක් ගනිමුද ඒ සීන් එක කියලා කිව්වම ඉංග‍්‍රීසියෙන් උත්තර දෙනවා නෝ....නෝ....  දැටිස්  ඕකේ කියලා. 
අවස්ථා කිහිපයකදීම මට තේරුණා මං නම් ඉවරෙටම ඉවරයි කියලා. ඉතින් දාලා යන්නත් බැහැ. ඒකත් මහා අපරාධයක් නිශ්පාදකයා අමාරුවේ.
හැබැයි රඟපෑමේ අත්දැකීම් තියෙන  ක්ලැරිස් සහ ගාමිණී  චරිත  හරියට කළා. මං ආධුනික බව ඇත්ත. ඒත් යම් විශ්වාසයක් ඇතුවනේ මාව ප‍්‍රධාන චරිතයට ගත්තේ. එහෙමනම් අධ්‍යක්ෂවරයා දැනගන්න  ඕනෑ  උවමනා  රංගනය මගෙන් හූරලා ගන්න. එහෙම උත්සාහයක් ආනන්ද ළඟ තිබුණේ නැහැ. මං  වාද කරන්න ගියෙත් නැහැ. කටපියාගෙනම හිටියා. මට මතකයි විජය කුමාරතුංග  ‘‘මරුවා සමග  වාසේ’’ චිත‍්‍රපටයේ රඟපාන කාලේ පත්තරයකට ප‍්‍රකාශයක් කරලා  තිබුණා අධ්‍යක්ෂ ටයිටස්  තොටවත්ත මහත්මයා තමන්ගෙ රඟපෑම හූරලා ගත්තා කියලා. අන්න ඒ වගේ මගේ  ශරීරය තුළ තිබුණු රඟපෑමේ කුසලතාව හූරලා ගන්න ආනන්ද සමත් වුණේ නැහැ කියන එකයි මං  කියන්නේ.  
 
චිත‍්‍රපටය තිරගතවුණාම මං බලන්න ගියා. මගේ රඟපෑම් දැකලා මටම මාව එපා වුණා. අනේ අපොයි කියලා හිතුණා. හොඳම   පේ‍්‍රක්‍ෂ්කයෝ ඉන්නේ ගැලරියේ. කියලා වැඩක් නැහැ. මං  පෙනීසිටිය හැම රූප රාමුවකටම ගැලරියෙන් ‘‘හූ’’ කිව්වා. හැබැයි මං වෘත්තීය නළුවෙක් වුණා නම් ඉවරෙටම ඉවරයි. එහෙනම් ජීවත්වෙන්න  විදියක් නැතුව නන්නත්තාර වෙනවා සිකුරුයි. හොඳ  වෙලාවට මං රස්සාවක් කළේ.  මුලදී  පොලිස්  පරීක්ෂකවරයෙක්ව ඉඳලා පස්සෙ ලංකා වානේ සංස්ථාවේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී විදියට රැකියාව කළේ. 
‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයට මාව ගත්තේ ගිවිසුමක් අනුව නෙවෙයි. මට කිසිම ගෙවීමක් කළේ නැහැ. මං ඉල්ලූවෙත් නැහැ. එච්චරයි. 

ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට  පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක  දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ‍්‍රියානි අමරසේන සහ වික‍්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’  සහ ‘‘නිධානය’’.
මෙන්න මේ ටිකත් කියන්න  ඕනෑ. ‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයෙන් පසුව මං අමරනාත්  ජයතිලකගේ ‘‘අරුණට පෙර’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවා. ඒ වසරේ හොඳම නළුවාට  පිදෙන  ජනාධිපති සම්මානයත්   ඕ.සී.අයි.සී සම්මානයත් ලබාගන්න  මට හැකියාව ලැබුණා. 

අමරදාස සිල්වා


​


READ MORE - ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී


සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී
2013 මාර්තු මස 11 15:48:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි.

මගේ දෝනිට බඩගිනිද පුතේ...”
නිළිය වහාම අර බිළිඳිය දෝතින් ගෙන ඇයට කිරි පොවන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ තිස්සෙ බිළිඳිය මවගේ ලැමදෙන් කිරි උරා බිව්වාය. ඇයට තවත් බඩගිනිය. තවත් කිරි අවශ්‍යය. අම්මා අනෙක් පියවුර බිළිඳියගේ දෙතොල් අතර තබන්නට සැරසුනා පමණි.
”ඊළඟ සීන් එකට වෙලාව හරි...”
නිළිය වෙත ආ නාට්‍යයේ නිෂ්පාදක කීවේය.
මං ගිහින් එන්නන් දෝණි. කී විමලා බිළිඳිය කාන්තාව අත තබා ආපසු වේදිකාවට ගියාය.
විමලා සමග රඟපෑවේ රොම්ලස්ද සිල්වා නම් නළුවෙකි. ඔහුට සහෝදර නිළියගේ හැට්ටයේ බොත්තම ගැලවී ඇති බව පෙනිණි.
හැට්ටෙ බොත්තම... හැට්ටෙ බොත්තම
ඔහු රහසින් මෙන් නිළියට කීවේය. එහෙත් චරිතයට සම වැදී සිටි නිළියට රොම්ලස් රහසින් සහ අභිනයෙන් කී දේ තේරුණේ නැත.

 
සුජාතා හා රංජනී..
ඇය තවමත් රඟපාන්නේ හැට්ටෙ උඩ බොත්තම නැතිවය.
හැට්ටෙ ඇරිලා.
රොම්ලස් එවර ටිකක් සද්දයට කීවේය.
විමලා වහාම පසෙකට හැරී හැට්ටයේ බොත්තම පියවා ගත්තාය.
ඒ විමලා කාන්තා වූ කලී එවකට ටවර් නාට්‍ය කණ්ඩායමේ සිටි ප‍්‍රවීණ ශිල්පිණියකි. රැඟුමට මෙන්ම ගැයුමට ද හපනියකි. එදා ටවර් රඟහලේ පසු පස දොරකඩට වී ඇනුම් ඇර ඇර සිටි බිළිඳිය සුජාතාය. එදා සුජාතා පෙරේරා වූවත් පසු කලෙක සුජාතා අත්තනායක ලෙසින් ජනප‍්‍රිය ශිල්පිනියක බවට පත් වූ ගායිකාවය.
දැන් ඒ සුජාතා අත්තනායක මා ඉදිරිපිටය. නුගේගොඩ විමලවත්ත පාරේ පිහිටි ඇගේ සොඳුරු කැදැල්ලේ විසිත්ත කාමරයෙහි මම වාඩිවී සිටිමි.
ඇයට ලැබුණු විවිධ සම්මාන රාශියක් පසෙක ඇති මේසයක් මතය.”
”ඒ සියල්ල නිහඬව කියා පාන්නේ සුජාතාවගේ දක්ෂකමය.”
”මේ තියෙන්නේ සුජාතා කළ පොත”
සුජාතාගේ ආදරණීය සැමියා නවරත්න මාහට පොතක් ගෙනවිත් දෙයි. ටවර්හෝල් නූර්ති ගී නම් වූ එම පොත මම අතට ගතිමි. එහි කතුවරිය සුජාතා අත්තනායකය.
සුජාතා අත්තනායක ගැන අප දැන සිටියේ දිවයිනේ අග‍්‍රගණ්‍ය ගායන ශිල්පිණියක ලෙසිනි. ඇගේ මාධූර්යවත් හඬ තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැත. ”පුතුනේ මේ අහගන්න පුතුනේ, සඳ බැස නෑ වෙසක් සඳ, සාධු දන්ත දා, මල් සරාට පේ‍්‍රම ලෝකෙ මාළිගා තනා, ඇතුළු ගීත සිය දහස් ගණනක් පිළිබඳ මියුරු මතකය හිතේ අවදිවෙයි.
එහෙත් ඒ ගැන නොඅසමි.
ඔය දවස්වල කොහෙද පදිංචි වෙලා හිටියෙ.
මම සුජාතාගේ බාල කාලය ගැනම අසමි.
‘‘කැලණියෙ වෙදමුල්ලෙ
ඔය කාලෙ ටවර් රඟහලේ නාට්‍ය තිබුණෙ සති අන්තයෙද?
”නෑ සතියෙ දවස්ලත් තිබුණ. ටවර් රඟහලේ විතරක් නෙමේ. ටවර් හෝල් නාට්‍ය අරගෙන අම්මලා රට වටේමත් ගියා...”
මේ වනවිට සුජාතාගේ අක්කා ප්ලොරිදේවි ද ටවර් හෝල් කණ්ඩායමේ නාට්‍ය ශිල්පිනියකි. මේ නිසා පුංචි සුජාතාටද රංගනය ගායනය සහ නර්තනය යනු අමුතු දේවල් නොවේ. ටවර් රඟහලේ දකින නාට්‍යය ගෙදර ඇවිත් රඟපාන්නටත් හින්දි චිත‍්‍රපටියක් බලා ඇවිත් එහි ගීතය ගයමින් නටන්නටත් සුජාතාට උපන් හපන්කම් තිබිණි.
”ප්ලෝරිදේවි අක්කා මට වැඩියෙ අවුරුදු දොළහකින් වැඩිමල්.” සුජාතා කියයි.
අක්කටත් හොඳට නටන්න පුළුවනි. ඒ ආභාෂය මටත් තිබුණා. ඒ හින්ද පුංචි කාලෙදිම මමත් නැටුම් පන්තියකට ගියා. ශාන්ති කුමාර් තමා මගේ ගුරුවරයා. එයාගෙ පංතියෙ මගෙත් එක් ඒ කාලේ ඉගෙන ගත්තු හුඟාක් අය පස්සේ කාලෙදි හුඟාක් ජනප‍්‍රිය වුණු ශිල්පීන් බවට පත් වුණා. ශ්‍රීමතී රසාදරී, කාන්ති ලංකා, ගීත බාලි වගේ අය ඒ පංතියෙ ඉගෙන ගත්තා
ඉතින් අම්මයි අක්කයි වගේ ඔබත් ටවර්හෝල් නාට්‍යවල රඟපෑවද!
මම සුජාතාට තවමත් ටවර් ශාලාව තුළම රඳවා තබාගනිමින් ඇසුවෙමි.
ඔව්, මං ටවර් හෝල් නාට්‍යයක රඟපානකොට මගේ වයස අවුරුදු නමයයි.
‘මතකද ඒ නාට්‍යයෙ නම?
විදුර නාඩගම, මම කළේ ඒකෙ ළමා චරිතයක්.
වයස අවුරුදු නමයේදී නාට්‍යයක රඟපෑ පුංචි සුජාතා ඊට වසර දෙකකට පසුව ගීතයක් ගායනා කරමින් ගායිකාවක බවටද පත් වූවාය. ඇය මුලින්ම ගැයූ ගීතය සාධු දන්ත දා නම් වූ බොදු බැති ගීතයකි.
 
”ඒ ගීතය ගුවන් විදුලි තැටියකටත් නැගුණා. තැටිගත වුණු මගේ පළමුවැනි ගීතය ඒක”
මේ ගීතය ඇසූ චිත‍්‍රපට නිෂ්පාදකවරු සුජාතාගේ කටහඬෙහි අපූර්වත්වය දැනිණි.
ඔවුහු සුජාතා ලවා චිත‍්‍රපටවලට පසුබිම් ගීත ගායනා කරවා ගත්හ.
මම මුලින්ම ගීත ගයපු චිත‍්‍රපටිය සොහොයුරෝ. සුරතල් මගේ පොඩි මුව පැටියා කියන ගීතය. මේ ගීතයට රඟපෑවේ ලීනා ද සිල්වා.
පුංචි සුජාතා ඒ අයුරින් ඇරඹූ කලා ගමනේ ඉදිරිය බොහෝ අලංකාර විය. ඇය කථක් වැනි ශාස්ත‍්‍රීය නැටුම් සම්ප‍්‍රදායක්ද උගත්තාය. නර්තනය, ගායනය, වාදනය, යන සෑම අංගයක්ම සුජාතාට අතැඹුලක් වැනිය. සිංහල, හින්දි දෙමළ මෙන්ම බෙංගාලි ගී ද  ඕනෑම එකක් නිවැරැදි ශ‍්‍රැතියට ගැයීමේ දුර්ලභ හැකියාව මේ ශිල්පිනිය සතුය. ඇය ඉදිරිපත් කළ ඇසි මිහිර ප‍්‍රසංගත් ඉන්දියාවේ නාග්පූර් නුවර දී ඉදිරිපත් කළ සුජාතා ස්වර සංගීත් ප‍්‍රසංගවලදීත් ඇය විවිධ භාෂාවලින් ගී ගැයුවාය. මේ මොන බසකින් ගැයුවත් ඒ ගී වෙන කාගේවත් ගී නොවීමද විශේෂත්වයකි.
මේ තරම් හපන්කම් කළ සුජාතා අත්තනායක වෘත්තියෙන් අධ්‍යාපනයට සම්බන්ධය. ඇය අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස මහඟු සේවයක් සංගීතය වෙනුවෙන් ඉටුකර තිබේ.
”ඔය කාලෙ මට තේරුණා පැරැණි නූර්ති ගී කිසිවක් නිවැරදි නැති බව. හුඟාක් දුර්ලභ නූර්ති ගීත් තිබුණා. මේවා වැළලී යාමට ළංවෙලයි තිබුණෙ. ඒ නිසා මේවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම මට තේරුණා. මම අසූගණන්වල අම්මත් එක්ක එකතුවෙලා මේ නූර්ති ගී  පිටපත් කරන්න පටන් ගත්තා. අම්මා ළඟට ගිහින් සර්පිනාවෙන් මේ නූර්ති ගී වාදනය කළා. අම්මා ඒවා ගායනා කළා. මම අදාළ ස්වර ලියාගෙන ස්වර ප‍්‍රස්තාර හැදුවා. ඔය විදිහට එක්රැස් කළ ගීත දෙසීයක් විතරම තියෙනවා. එයින් කොටසක් තමයි මේ විදියට පොතක් බවට පත් කෙරුණේ.” 
අසූ ගණන්වල ආරම්භ කළ කටයුත්තක් අවසන් කිරීමට මේ තරම් කාලයක් ගත වූයේ කෙසේදැයි මට ප‍්‍රශ්නයකි.
”මගේ අම්මා 1993 දී නැතිවුණා. ඔය අතරෙ අපි අවුරුදු විස්සක් විතරම හිටියෙ ඇමරිකාවෙ. මේ වෙද්දි හැම දෙයක්ම එපා වෙලා මං හිටියෙ. හේතුව වුණේ මගේ පුතාගෙ වියෝගය. මේනිසයි මේ පොත එළියට ඒම මේ තරම් ප‍්‍රමාද වුණේ.
කෙසේ හෝ වේවා සුජාතාගේ නූර්ති ගී පොත ඉකුත් ජනවාරි 28 වැනිදා ටවර්හෝල් පදනමේදී දොරට වැඩියේය. ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ප‍්‍රමුඛ කලාකරුවන් ඉදිරිපිට කෙරුණු මේ උළෙලේදී නූර්ති ගී ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
මේ ප‍්‍රසංගයේදී නූර්ති ගී ගායනා කළේ මගේ පවුලෙ අය. නංගි රංජනී, මල්ලි සුසිල්, හේලි අත්තනායක, සංදේශ් තිසෙත් ඉන්දික කියන මගේ මුණුබුරු බිරියන්. ඒ වගේම අනෝජා වීරසිංහයි ජගත් වික‍්‍රමසිංහයි එදා නූර්ති ගී ගායනා කළා.”
සුජාතා අත්තනායක මට එසේ කියා ගිටාරය වයන්නට පටන් ගත්තාය. තාමත් ඇගේ සංගීත වාදන අතිශයින් මිහිරිය.
”මම මගේ ප‍්‍රසංගවලදීත් සිතාරයත් පියානෝවත් වාදනය කරනවා.” ඇය කීවාය.
ඇගේ අතැඟිලි තුඩුවලින් පිරිමැදෙන සිතාරයේ තත් අතරින් මතු වූ මියුරු හඬ හැරදා නික්ම යන්නට අපහසු තරම්ය. එහෙත් යා යුතුය.


සටහන - ශාන්ත කුමාර විතාන 

ඡායාරූප හා ඡායාරූප පිටපත් කිරීම - පුෂ්පා වීරසේකර 


සුජාතා අම්මා සමග....

සුජාතා ප්ලෝරිදේවි සහ ලලිත්.

READ MORE - සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී

රජීව්ගෙන් සිංහල පොප් ගී


රජීව්ගෙන් සිංහල පොප් ගී
2013 මාර්තු මස 15 16:11:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස්ට වඩා සාධාරණයක් කළ ශිල්පියා රජීව් සෙබස්තියන් බව බොහෝ දෙනාගේ හැඟීමය. ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අපූරු සංගීතඥයාගේ නිර්මාණවලට බෙහෙවින් පෙම්බැඳි රජීව් තම ගායන අංශය පටන් ගත්තේ තරුපහේ හෝටල්වල ඉංගී‍්‍රසි ගී ගයන ශිල්පියකු ලෙසය. පසුව ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැයූ ”ලෝකේ ජීවත්වන්නට” ගීතය ගයමින් සිංහල රසිකයින් අතරට ආ රජිව්, ඉන්පසු ඔහුගේම නිර්මාණ සමග ප‍්‍රසංග වේදිකාවට අවතීර්ණ විය. තම පාසල් දිවියේ සිටම ක්ලැරන්ස්ගේ රසිකයකු වූ රජීව් එදා ක්ලැරන්ස් සමග එකම කණ්ඩායමක සිටි තරු රෑණක් ඒකරාශි කොට උපහාර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඇනස්ලි, ඉන්ද්‍රානි, ෂ්‍යාමි, අනිල් ඇතුළු ඒ පිරිස සමග ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගයේ හැඩ සමග තවත් විස්තර කියන්නට අපි රජීව්ට ඉඩ ලබා දෙමු.


රජීව් පසුගිය කාලයේ ඔබ ගැන වැඩි දෙනා කතා කළේ ගායනයටත් වඩා රියැලිටි තරග විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළ නිසා නේද?
සහතිකෙන්ම ඔව්. මම එහිදී ලබාදුන් ඍජු තීරණ නිසා මම හිතන්නෙ වෙනම ආකෘතියක් ඇතිවුණා.

කොහොමද අද දවසේ ඔබගේ කටයුතු?
සුපුරුදු පරිදි මගේ සංගීත කණ්ඩායමේ කටයුතු කරගෙන යනවා. රජීව් ඇන්ඞ් ද ක්ලැන් පටන් අරගෙන වසර 23 ක් ගෙවිලා ඉවරයි. මම නිෂ්පාදනය කරන ගීත සහ ලෙජන්ඞ්ස් ඔෆ් ශ්‍රී ලංකන් පොප්, ඩෙස්මන් ඇන්ඞ් ඩෙස්මන්, ටි‍්‍ර බියුට් ටු මිල්ටන්, ටි‍්‍රබියුට් ටු ක්ලැරන්ස් ඇතුළු දැවැන්ත ප‍්‍රසංග 15 ක් විතර අප කර තිබෙනවා. ඊට අමතරව අපේම ගීත කළා. කැළණි විහාරය, වීදුරුමල් සහ ඩෙස්මන්ට සහ මනෝහරන්ට කළ රුහුණ-යාපනය, කොරීන්ට කළ ”කොණ්ඩෙ නැතත් ඉණගාවට” ගීතය ඇතුළු ගීත රසිකයින් අතරට ගිය ඒවා. ටෙලිනාට්‍යයකට සංගීතය නිර්මාණය කරමින් සිටිනවා. සංකල්ප පුනාවර්ධනගේ.

ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංගයක් නැවතත්. මේ සැරේ මොනවද කරන්න හදන්නේ?
වසර 12 කට විතර උඩදී මම ටි‍්‍රබියුට්ටු ක්ලැරන්ස් නමින් ප‍්‍රසංගයක් කළා. මම යමක් කළොත් ආයෙ එය දෙවන වතාවට කරන්නෙ නැහැ. මගේ කලාව එහෙමයි. නමුත් 
පසුගිය වසර දොළහ මම නිහඬව බලා සිටියා. මේ ක්ෂේත‍්‍රයේ මොකද වෙන්නෙ කියලා? මම විතරක් නෙවෙයි. ක්ලැරන්ස්ගේ සමීපතම සගයින් වූ ඇනස්ලි, ඉන්ද්‍රානි, අනිල්, පි‍්‍රයා වගේ බොහෝ දෙනා ක්ලැරන්ස් වෙනුවෙන් කළ ප‍්‍රසංගවලින් ඈත්වන බවක් දකින්න ලැබුණා. නීතිමය වාතාවරණ සහ විවිධ හැල හැප්පීම් මැද්දෙ එම ප‍්‍රසංග කෙරෙන හැටි බලා සිටියා. මේ සියල්ල  අතරේ එම් එන්ටර්ටේන්මන්ට් වෙත ක්ලැරන්ස් විජේවර්ධන ගීත තිහක් පමණ ලබාදී ඇති බව දැන ගන්න ලැබුණා. අපිට එම ආයතනයෙන්ම ආරාධනාවක් ලැබීම මත යමක් කරන්න හිතුවා. ඒ අනුව නැවත වතාවක් සියලූ ශිල්පීන් ඒකරාශී කරවලා මෙවැනි ප‍්‍රසංගයක් කරන්න කටයුතු සම්පාදනය කළා.

මේ දක්වා පැවැත්වූ ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංග සහ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන ප‍්‍රසංගයේ වෙනස මොන වගේද?
බොහෝ දේ වුණා. නමුත් ක්ලැරන්ස් විජේවර්ධන ප‍්‍රතිරූපයට වටිනාකමක් ලැබුණු ප‍්‍රසංග නොලැබුණු බව මගේ හැඟීමයි. ඒ නිසා ඔහුගේ ප‍්‍රතිරූපයට වඩා සාධාරණයක් කළ හැකි ප‍්‍රසංගයක් කිරීම හොඳ බව තේරුම් ගියා. මෙය මුදල් හම්බ කිරීමට වඩා ඒ ප‍්‍රතිරූපය රකින ප‍්‍රසංගයක් වේවි. මොකද නෙළුම් පොකුණ වැනි රඟහලක ප‍්‍රසංගයක් කිරීමෙන් ලාබ ලබන්න බැහැ. නමුත් ඉහළ ප‍්‍රාසාංගික අත්දැකීමක් ලබාදිය හැකියි. මෙම ප‍්‍රසංගයට ශිල්පීන් 13 දෙනෙක් පමණ දායක වෙනවා. ඉන්දියාවේ සිට ඒ.ඊ. මනෝහරන් පවා එනවා. අපේ නිහාල් නෙල්සන් පවා ගී ගයනවා. ක්ලැරන්ස් නිහාල් නෙල්සන්ටත් ගී තනු නිර්මාණය කර දී තිබෙනවා. ඉන්ද්‍රානි, ඇනස්ලි, අනිල්, නීලා, කලාශූරී ලතා වල්පොල, මරියසෙල්, ටී.එම්., ජැක්සන් ඇන්තනී, ශ්‍යාමි, දමයන්ති ජයසූරිය, පි‍්‍රයා සූරියසේන වැනි බොහෝ ශිල්පීන් එකතු කරගෙන මම මෙම ප‍්‍රසංගය කරන්නෙ. මේ හැමෝම ඔහුගෙ සංගීතයට ජීවතුන් අතර සිටියදී ගී ගැයූ අයයි. එහෙමත් නැත්නම් යුග ගී ගැයූ අයයි. එතුමා මට පවා දිනුම පරාදය නමින් ගීතයක් නිර්මාණය කළා. මට  ඕනෑ වුණේ ඔහු කළ සංගීතය ඒ ආකාරයෙන්ම බොහොම සියුම් වෙනස්කම් සහිතව ප‍්‍රචලිත කිරීමටයි.

කවද ද කොහොමද මෙය පැවැත්වෙන්නේ? මොනවද තියෙන විශේෂාංග?
ද ස්ටෝර් ඔෆ් සිංහල පොප් නමැති මෙම ප‍්‍රසංගයේදී ඇතැම් විට වැඩිය අහලා නැති ගීත අහන්න ලැබේවි. ක්ලැරන්ස් සමග නිහාල් නෙල්සන් පවා එකට ගී ගයා තිබෙනවා. ඇත්තටම බොහෝ සැඟවුණු දේ ගැන සමහරු දන්නේ නැහැ. ඒ සියල්ල සමග ගයනි කරුණාරත්න ඩාන්ස් ඇකඩමිය නර්තනයෙන් ප‍්‍රසංගය හැඩ කරාවි. විජය කොරයා ප‍්‍රසංගය මෙහෙයවන අතර මෙය පැවැත්වෙන්නෙ මාර්තු (31) සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදීයි. සංගීතය රජීව් ඇන් ද ක්ලෑන්. අමතරව වී. හේමපාල පෙරේරා, වැනි ශිල්පීන් ද දායක වෙනවා.

ඇත්තටම ක්ලැරන්ස් හා ඔබ අතර මිත‍්‍රත්වයක් ඇතිවුණේ කොහොමද?
පාසල් යන කාලයේ සිටම මම ඔහුගේ රසිකයෙක්. දුරකථනයෙන් පවා කතා කළා. එදා වගේම අදත් හෙටත් මම ඔහුගේ රසිකයෙක්. අලූත් නිර්මාණ ගැන මේ දිනවල ඔහු එක්ක කතා කළ සැටි මතකයි. ඔහු තේරුණා මම හොඳ රසිකයෙක් කියලා. පසුව බොහෝ සමීප මිතුරන් වගේ වුණා. මගේ ගායන ක්ෂේත‍්‍රයේ නිර්මාණ කරු ලෙස වීරයා ඔහුයි. ඩෙස්මන් සිල්වා 
ප‍්‍රසාංගික වීරයායි.

රජීව් අද වන විට ඔබගේ ජීවිතය මොන වගේද?
සංගීතය අංශයෙන් ගත්තොත් ගීත රචනා කළා. තනු නිර්මාණය කළා. ගායනය කළා. කණ්ඩායමට වසර 23 ක් පුරා නායකත්වය දුන්නා. පුද්ගලිකත්වය ගැන කතා කරනවාට වඩා මට වටින්නේ සහ මාව සමාජයට වටින්නේ ඉහත කී සියල්ල නිසයි.

පසුතලය-  park Street mews

​

READ MORE - රජීව්ගෙන් සිංහල පොප් ගී

ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි

Sunday, March 24, 2013


ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි

එම්. සෆීර්
ශ්‍රී ලංකාවේ සංවිධානය වන එකම ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වන ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ’ දෙවැනි වරටත් මේ මස 28 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ 08 බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ. එහි උත්සව අධ්‍යක්ෂ එම්. සෆීර් හා මේ කතා බහ, නාට්‍ය උලෙළේ විශේෂත්ව සහ එහි පෙළ ගැස්ම පිළිබඳවය.
මේ ජාත්‍යන්තර රංග කලා උලෙළේ අරමුණ කුමක්ද?
රටකට මෙවැනි උලෙළක් ඉතාම වැදගත්. මොකද රටේ සංවර්ධනය මනින සාධක අතර සංස්කෘතිමය දායකත්වය එහි පැවැත්ම සහ වර්ධනය ඉතා ම ප්‍රබල ලෙස නැඟී හිඳිනවා.
අනික ජාත්‍යන්තර නාට්‍ය කලාවක් සජිවීව දකින්න, විඳින්න බොහෝ නාට්‍යකරුවන්ට අවස්ථාවක් නැහැ.
ඒ සඳහා පිටරට යන්න පුළුවන් කීයෙන් කී දෙනකුට ද... නාට්‍යකරුවන්ට වගේ ම ප්‍රේක්ෂකයාටත් මේ ගැටලුව පොදුයි.
පිටරටවල නාට්‍ය නැරැඹීම හරහා අපි හුඟක් දේ ඉගෙන ගන්නවා. ඉතින් මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් මෙරට පැවැත්වීමේ පොදු අරමුණු තමයි නාට්‍යකරුවන්ට සහ ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම විඳින්නට සැලැස්වීම.
එය ලාංකේය රංගකලාවේ ප්‍රගමනයට ජාත්‍යන්තර දායකත්වය ලබා ගනිමින්, නූතන තරුණ තරුණියන් ගේ සංවෘත දැනුම විවෘත දැනුමකට පරිවර්තනය කිරීමක්. ඒ වගේ ම ඒ සඳහා නූතන ප්‍රේක්ෂකාගාරයක් ඇති කිරීමක්.
මෙය පෙළ ගැසෙන්නේ...
ඉන්දියාවේ ‘ලාස්ට් කලර්...’, ඕස්ටේ‍්‍රලියාවේ ‘සෙන්ග් හේ වෙන් ද ඩ්‍රැගන් ශිප් කේම්...’, අසර්බයිජානයේ ‘කොන්ත්‍රාබ්ස්’, ඉන්දියාවේ (පූනේ) ‘කෆිලා’, නේපාලයේ ‘මිස් මාර්ගරිඩාස් වේ...’, සෞදි අරාබියේ ‘මේස්ත්‍රෝ’, ඊජිප්තුවේ ‘ප්‍රෙසන්ස්’, ඉන්දියා - ශ්‍රී ලංකා ‘නොටඩ් රෝප්ස්’ සහ ශ්‍රී ලංකාවේ ‘ඩිසාස්ටර් මාර්කට්’ කියන නාට්‍ය 09, මේ උලෙළ පුරා පෙළ ගස්වා තිබෙනවා.
එසේ ම ලොව පුරා සිටින නාට්‍යකරුවන්ට කරන ලද ආරාධනයකින් පසු එයින් තෝරා ගත් නාට්‍ය කණ්ඩායම් හා විද්වතුන් එක් කරමින් දින 08 ක් පුරා නාට්‍ය දර්ශන, වැඩමුළු හා විද්වත් හමුවීම්වලින් මේ නාට්‍ය උලෙළ සමන්විත යි.
ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් විඳින්නට පොදු ප්‍රේක්ෂකයාට භාෂාව ගැටලුවක් නොවෙයි ද....
රටවල් හයකින් පැමිණි කණ්ඩායම් 06 ක් සිය උසස් ම නිර්මාණ මේ උලෙළේ දී වේදිකාගත කරනවා. එයිනුත් අසර්බයිජානය, ඕස්ට්‍රියාව, නේපාලය, සෞදි අරාබිය සහ ඊජිප්තුව රටවල නාට්‍ය, අපේ අය කවදාවත් දැකලා නැහැ. නමුත් මේ රටවල නාට්‍ය කලාවෙන් ගත හැකි බොහෝ දේ තිබෙනවා. නමුත් භාෂාවයි ප්‍රශ්නය.
මේ සඳහා අප භාවිතා කළ, උපක්‍රමය තමයි දෙබස් නැති හෝ අවම දෙබස් වලින් (එය ද ඉංග්‍රීසි බසින් පමණක්) යුතුව නාට්‍ය ඉදිරිපත් කිරීම.
ජාත්‍යන්තර නාට්‍ය කලාවට, ගෝලීය භාෂාවක් තියෙනවද කියන සොයා බැලීමත් මෙහිදී සිදු කෙරෙනවා.
උදාහරණයක් කියන්නම්. අඩුම තරමේ යාපනේ හදන දෙමළ නාට්‍යයක් අපට තේරෙනවද. සිංහල නාට්‍යයක් දෙමළ ප්‍රේක්ෂකයන්ට තේරෙනවද. මා ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලයට ගිහින් හදපු නාට්‍යයක් තියෙනවා. විනාඩි 75 ක් පුරා දිවෙන මේ නාට්‍යයේ එකම දෙබසක් හෝ නැහැ. නළුවාගේ සිරුර, රිද්මය, චරිතයේ හැඩතල, සජීවී සංගීතය..... පසුබිම, ආලෝකය වැනි දේ භාවිතා කරලා තමයි දෙබස්වලින් කියන්න අවශ්‍ය පණිවුඩය අපි ප්‍රකාශ කරන්නේ.
ගිය අවුරුද්දෙත් මේ උලෙළට මං එක නාට්‍යයක් (කූඩුවෙලා) කළා. ඒක දැකලා තමයි මේ අවුරුද්දෙ ඉන්දියාවෙන් අපිට ආරාධනයක් ලැබුණේ ඇවිත් පූනේ විශ්වවිද්‍යාල සිසුන් සමඟ නාට්‍යයක් කරන්න කියලා.
එය නාට්‍ය කරුවෙක් විදියට මට ලොකු ආඩම්බරයක්. මෙවර එය උලෙළේ වේදිකාගත වන්නේ ඉන්දියා - ශ්‍රී ලංකා හවුල් නිර්මාණයක් ලෙසින්. ‘ගැටගැසුණු ලණු (Knoted ropes)කියන මේ නාට්‍යයේ එකදු දෙබසක් හෝ නැහැ.
නමුත් කොයි රටේ මනුෂ්‍යයාටත් දැනෙන විදියට චරිත හැසිරෙනවා. නාට්‍ය පුරා මෙහි චරිත හැසිරෙන්නේ ඉටිපන්දම් 15 ක ආලෝකයෙන් පමණයි. එය මේ රටේ නාට්‍ය කලාවට අලුත් දෙයක්.
ප්‍රවීණ නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ලගේ ‘ඩිසාස්ටර් මාර්කට්’ තමයි මෙවර ශ්‍රී ලංකා නියෝජනය ලෙස ඉදිරිපත් වන්නේ. ඉතින් අපේ සිංහල ප්‍රේක්ෂකයාට ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳින්න මේ තමයි ලැබෙන හොඳම සහ එකම අවස්ථාව.
අනික නාට්‍ය උලෙළ පැවැත්වෙන හැම දිනෙකම ප්‍රධාන ආරාධිතයා වන්නේ, අදාළ රටේ තානාපතිවරයා හෝ මහ කොමසාරිස්වරයා සහ දේශීය රංග කලාවේ ප්‍රවර්ධනයට දිගුකාලීන දායකත්වයක් ලබාදුන් දේශීය නාට්‍යකරුවෙක්.
ඒ වගේ ම ගෞරව සම්මාන පිදීමක් ද සිදුවන බව ඔබ කීවා...
ඔව්. මු.දු. රංජිත් සිල්වා, ඩී.කේ. ආටිගල, ප්‍රියංකර රත්නායක, මංගල සේනානායක, සමන් ගාමිණී, ජොෂුවා පියතුමා, අමිතා රබ්බිඩිගල, රුවන්ති ඩී. මිකේරා, ට්‍රේසි හොල්සිංගර් කියන නාට්‍යවේදීන්. “දේශීය රංග කලාවට ප්‍රාදේශීය මට්ටමේ සිට අප්‍රමාණ දායකත්වයක් ලබාදීම සහ දේශීය රංග කලාවට විද්‍යාර්ථීන් බිහි කිරීම උදෙසා කළ කැපවීම වෙනුවෙන්...’ කියන පදනමේ පිහිටායි, අප ඔවුන් මෙසේ ගෞරවයට පාත්‍ර කරවන්නේ.
READ MORE - ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි