----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

Sunday, April 28, 2013


ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

සෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.
ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.
සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සංස්කෘතික ඝාතනයක් ය” යන්නයි. ඔහු එය එසේ නිර්වචනය කරන්නේ කුමන අරමුණකින්දැයි නොතේරේ. එහෙත් ඒ සඳහා ඔහු යොදා ගන්නා පටු නිර්ණායක දෙස බැලූ විට, ඒවා හුදෙක් අනවබෝධය මත ඇති කර ගත් වැරැදි ආකල්ප බව පැහැදිලිව පෙනේ.
සෝමරත්න මහතාගේ ලිපියේ පුන පුනා දක්වන කරුණක් වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” මඟින් දේශීය සංස්කෘතියට විශාල හානියක් සිදු වන බවයි. මෙමඟින් මෙරට සම්භාව්‍ය සංගීතය හෝ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ කිසිදු ඇගැයීමක් සිදු නොකරන බව ද ඔහු විශේෂයෙන් පවසයි. සෝමරත්න දිසානායක මහතාට දැඩි ලෙස වැරැදී ඇත්තේ එතැන ය.
මෙම සම්මාන උලෙළේ නාමය දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට එකී කාරණා හොඳින් වටහා ගත හැකිය. මෙය “දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස්” මිස, දෙරණ මියුසික් අවෝර්ඩ්ස් නොවේ. “මියුසික් වීඩියෝ” යනු, ගීත සඳහා සිදු කරනු ලබන රූප රචනාමය දෘශ්‍ය නිර්මාණ ය. “දෙරණ” යනු ටෙලිවිෂන් නාළිකාවකි. දෘශ්‍ය නිර්මාණ යනු අපගේ විෂය පථයේම කොටසකි.
එබැවින් අපගේ අරමුණ වන්නේ, මෙරට ගීත සඳහා බිහිවන දෘශ්‍ය නිර්මාණ සහ ඒවායේ නිර්මාණකරුවන් දිරි ගැන්වීමය. ඒ හුදෙක් ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා ය. ගුවන් විදුලියට “ශ්‍රව්‍ය නිර්මාණ” අදාළ වන්නේ යම් සේද, රූපවාහිනියට “දෘශ්‍ය නිර්මාණ” (ශ්‍රව්‍ය දෘශ්‍ය) එපරිද්දෙන්ම වැදගත් වේ.
ටෙලිවිෂන් නාළිකාවක ගුවන් කාලයෙන් සැලකිය යුතු ඉඩක් “මියුසික් වීඩියෝ” මඟින් ආවරණය වේ. ටෙලිවිෂන් නාළිකාවක පැවැත්ම උදෙසා මියුසික් වීඩියෝ මඟින් සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයි. එකී මෙහෙවර අගයා කෘතගුණ දැක්වීමක් ලෙස මියුසික් වීඩියෝ ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන උලෙළක් පවත්වන එකම නාළිකාව ද ටී. වී. දෙරණ යි. එසේ තිබියදී, කරුණු නිසි ලෙස නොදැන මෙසේ නිර්දය විවේචන නැඟීම කොතරම් අසාධාරණ ද?
මෙම සම්මාන උලෙළ තුළ “සංගීතය” පිළිබඳ කිසිදු ඇගැයීමක් කරන්නට අපට අයිතියක් නොමැත. “සංගීත සම්මාන” යනු වෙනමම විෂයයකි. හොඳම ගීතය, හොඳම පද රචකයා, හොඳම ගායකයා සහ ගායිකාව, හොඳම සංගීතඥයා යනා දී සංගීතයට සම්බන්ධ කිසිඳු සම්මානයක් මෙහිදී පිරි නොනැමේ. මෙය හුදෙක් “මියුසික් වීඩියෝ” සඳහාම වෙන් වූවකි.
සෝමරත්න මහතා සඳහන් කරන ආකාරයට, මෙරට දේශීය සම්භාව්‍ය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය හෝ සරල සංගීතය ඇගැයීම අපගේ විෂය ක්ෂේත්‍රයට අයත් නොවන අතර, අපට හැකියාව ඇත්තේ විවිධ සංගීත ශෛලී ආශ්‍රයෙන් බිහි වී ඇති “සංගීත වීඩියෝ නිර්මාණ” ඇගැයීමටය.
ඔහු පවසන පරිදි, දේශීය සම්භාව්‍ය සංගීතය හෝ සරල සංගීතය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළ හැක්කේ, ඒ ආශ්‍රයෙන් බිහි වූ සංගීත වීඩියෝ ඇත්නම් පමණි. නමුත් කනගාටුදායක කරුණ නම් ඔහු සඳහන් කරන ආකාරයේ සම්භාව්‍ය සංගීතය නියෝජනය කරන කිසිඳු සංගීත වීඩියෝවක් තරගය තුළදී අපට මුණ නොගැසීමයි. එසේ තිබුණා නම් නිසැකවම එයට ඉහළ ඇගැයීමක් හිමි වන්නට ඉඩ තිබිණ.
අනෙක් වැදගත් කරුණ නම්, මෙය අයදුම්පත් කැඳවා ඒ අනුව ලැබෙන නිර්මාණ අගයනු ලැබීමක් මිස, අප සොයා ගොස් කිසිවකුට සම්මාන පිරිනැමීමක් නොවේ. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත ප්‍රවීණයන් පස් දෙනෙකු ගෙන් සමන්විත විශේෂ ජූරියක් මඟින් ලබා දෙනු ලබන විනිශ්චය අනුව සම්මාන ප්‍රදානය සිදු කෙරෙන අතර ඊට අපගෙන් කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවේ.
අප විසින් දක්වනු ලබන වසරක කාල සීමාව තුළ නිර්මාණය වූ සංගීත වීඩියෝ පමණක් තරගය සඳහා භාර ගැනෙන අතර, ඊට කිසිදු භේදයකින් තොරව අදාළ සුදුසුකම් සපුරා ඇති ඕනෑම නිර්මාණකරුවෙකුට ඉදිරිපත් වීමේ හැකියාව ද පවතී. එසේ තිබියදී “සම්භාව්‍ය ගණයේ සංගීත වීඩියෝ නිර්මාණ බිහි නොවන්නේ හෝ එවැනි නිර්මාණ තරගය සඳහා ඉදිරිපත් නොවන්නේ අපගේ වරදින් ද? යන වග අපි සෝමරත්න මහතාගෙන් අසමු.
සෝමරත්න මහතාගේ අදහසට අනුව ඔහුට ඇත්තේ මෙරට භාවිත නූතන සංගීතය පිළිබඳ ගැටලුවකි. ඔහුට ඇත්තේ ජාත්‍යන්තරයේ ඉතා ප්‍රචලිත රෙගේ, රොක්, පොප් වැනි ජනප්‍රිය සංගීත ශෛලීන් මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ හිතේ අමාරුවකි. එහි තේරුම් බේරුම් කර ගත යුතු කරුණු දෙකක් ඇත.
එකක් නම් ආර්ථිකයේ සියලු දොරගුළු ලෝක වෙළෙඳපොළ සඳහා විවෘත කර ඇති රටක, සමාජයීය වශයෙන් මහා පරිමාණ වෙනස්කම් සිදුවෙමින් පැවැතියදී, සංගීතය පමණක් එකී ගෝලීය ප්‍රවාහයන් ගෙන් මුදවා ගත හැකි ද යන්නයි. සෝමරත්න දිසානායක මහතා මුළා වී ඇත්තේ එතැනය. ඔහු පදනම් විරහිත අස්ථාන චෝදනා නඟමින් “දෙරණ” හෙළා දකින්නට වැර දරන්නේ ඒ නිසාය.
පසුගියදා පැවැති “ස්ලිම් ජනතා සම්මාන උලෙළ” ගැන ද ඔහු යමක් සඳහන් කරයි. මෙම සම්මාන උලෙළේ දී ජනතා ගායකයා ලෙස පණ්ඩිත් අමරදේවයන් සම්මානයට පාත්‍ර වූ බවත්, ජනතා ගායිකාව ලෙස විශාරද නන්දා මාලනිය සම්මානයෙන් පිදුම් ලැබූ බවත් සඳහන් කරන සෝමරත්න මහතා, සිතාමතාම එක් කරුණක් අමතක කරයි.
එනම්, මෙවර ජනතා ගීතය ලෙස සම්මාන ලැබුවේ, මේ දිනවල ඉතා ජනප්‍රිය (දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළේ ජනප්‍රියම මියුසික් වීඩියෝවට හිමි රිදී සම්මානය හිමි කරගත්) රොෂාන් ප්‍රනාන්දුගේ “ඔයා නිසා හඬලා” යන ගීතය යන්නයි. එසේ කරන්නට ඇත්තේ, එම ගීතය ද ඔහුගේ ගර්හාවට ලක්වන ජනප්‍රිය රැල්ලේ ගීතයක් වන නිසා විය යුතුය.
ළමයින් වෙනුවෙන් චිත්‍රපට තනන සෝමරත්න දිසානායක මහතාට නූතන තරුණ රසඥතාව පිළිබඳ නිසි වැටහීමක් නොමැති වීම ගැන අපි කනගාටු වෙමු. ඉහතින් සඳහන් කළ ආකාරයට, මෙරට නූතන තාරුණ්‍යයේ රස වින්දන පරාසය සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට විහිදී ඇත.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙරට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුව මෙහෙයවන තත්ත්වයකට පත්ව ඇත. එසේ නොවුවහොත් ඒවායේ පැවැත්ම පිළිබඳ විවිධාකාර අර්බුද මතු වනු ඇත. සෝමරත්න මහතා චෝදනා නඟන රෙගේ, රොක්, රැප්, පොප් යනාදී බටහිර සංගීත ශෛලී යොදා ගනිමින් ජාත්‍යන්තරය ජය ගත් මෙරට නූතන පරපුරේ අති දක්ෂ තරුණ සංගීතඥයන් ද හමුවේ.
“භාතිය සන්තුෂ් සහ ඉරාජ්” යනු එවැනි තිදෙනෙකි. නිදසුනක් ලෙස, පසුගිය කාලයේ බංග්ලාදේශය තුළ රිංගින් ටෝන් මඟින් වැඩිම ආදායමක් උපයන ලද “මුන් ජානි” නමැති ගීතය පෙන්වා දිය හැකිය. රට ජනප්‍රියතම ගායිකාවක් වන “කෝනා” ගායනා කරන එම ගීතය, ඉරාජ් විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම, ඉන්දියාවේ මේ දිනවල අතිශයින් ජනපි‍්‍රය “කඩල්” චිත්‍රපටයේ තේමා ගීතය, මෙරට නූතන පරපුරේ දක්ෂ ගායකයෙකු වන “දිනේශ් කනගරත්නම්” ගායනා කරන්නකි. එහි අධ්‍යක්ෂවරයා පෙරළිකාර සිනමාවේදී මනිරත්නම්ය.
සංගීතය ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහමන්ගේ ය. ඉන්දියාවේ මෑතකදී ජනපි‍්‍රය වූ “වේට්ටෙයිකාරන්” චිත්‍රපටයේ ඉතාමත් ජනප්‍රිය වූ “චින්නතාමරෙයි” ගීතය ඉරාජ්ගේ නිර්මාණයකි. එය 2011 වර්ෂයේ දී එරට විජේ ටී වී සම්මාන උලෙළේ ජනප්‍රියම ගීතය බවට පත්විය. ශ්‍රී ලංකාවේ නූතන සංගීත ක්ෂේත්‍රයේ දිසාව කොයිබට ද යන්න පෙන්වා දෙන සරල නිදසුන් කිහිපයකි ඒ. අවශ්‍ය නම් මෙවැනි අවස්ථා රැසක් පෙන්වා දිය හැකිය.
සෝමරත්න මහතා පෙන්වා දෙන තවත් බොළඳ කරුණක් නම්, මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සඳහා සහභාගි වූ ඇතැම් “ලලනාවන් කොට ගවුම් ඇඳීම” නිසා. ඔවුන් ගෙන් වෙනදා දුටු නාරි ලාලිත්‍යය මෙදින දක්නට නොලැබුණු බවයි. සිනමාකරුවෙකු ලෙස ඔහු එවැන්නක් පැවසීම විහිළුවට කරුණකි. 60 දශකයේ සිට මෙරට සිනමාව තුළ පවා ජනපි‍්‍රය කොට ගවුම (මිනී ගවුම) සෝමරත්න මහතා ඇත්තෙන්ම මීට පෙර දැක නැති ද යන්න මහත් ප්‍රහේලිකාවකි. අනෙක් අතට මෙරට කාන්තාවන්ට තමා කැමැති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ඊට තහංචි පැනවීමට අපට නොහැකිය.
“ටී. වී. දෙරණ” තේමා පාඨය වන්නේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන්න ය. අප සැම විටම මෙරට සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කටයුතු කරනු මිස, එය වැනසීමට කටයුතු නොකරන බව ද මෙහි දී අවධාරණයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු.
“දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” සංවිධාන කරනු ලැබුවේ, දේශීය සංගීත වීඩියෝ ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ යෙදී සිටින තරුණ නිර්මාණකරුවන්ට අත දීමක් වශයෙනි. ඒ හැර දේශීය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැත.

0 comments:

Post a Comment