----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි

Sunday, March 24, 2013


ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි

එම්. සෆීර්
ශ්‍රී ලංකාවේ සංවිධානය වන එකම ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වන ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ’ දෙවැනි වරටත් මේ මස 28 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ 08 බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ. එහි උත්සව අධ්‍යක්ෂ එම්. සෆීර් හා මේ කතා බහ, නාට්‍ය උලෙළේ විශේෂත්ව සහ එහි පෙළ ගැස්ම පිළිබඳවය.
මේ ජාත්‍යන්තර රංග කලා උලෙළේ අරමුණ කුමක්ද?
රටකට මෙවැනි උලෙළක් ඉතාම වැදගත්. මොකද රටේ සංවර්ධනය මනින සාධක අතර සංස්කෘතිමය දායකත්වය එහි පැවැත්ම සහ වර්ධනය ඉතා ම ප්‍රබල ලෙස නැඟී හිඳිනවා.
අනික ජාත්‍යන්තර නාට්‍ය කලාවක් සජිවීව දකින්න, විඳින්න බොහෝ නාට්‍යකරුවන්ට අවස්ථාවක් නැහැ.
ඒ සඳහා පිටරට යන්න පුළුවන් කීයෙන් කී දෙනකුට ද... නාට්‍යකරුවන්ට වගේ ම ප්‍රේක්ෂකයාටත් මේ ගැටලුව පොදුයි.
පිටරටවල නාට්‍ය නැරැඹීම හරහා අපි හුඟක් දේ ඉගෙන ගන්නවා. ඉතින් මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් මෙරට පැවැත්වීමේ පොදු අරමුණු තමයි නාට්‍යකරුවන්ට සහ ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම විඳින්නට සැලැස්වීම.
එය ලාංකේය රංගකලාවේ ප්‍රගමනයට ජාත්‍යන්තර දායකත්වය ලබා ගනිමින්, නූතන තරුණ තරුණියන් ගේ සංවෘත දැනුම විවෘත දැනුමකට පරිවර්තනය කිරීමක්. ඒ වගේ ම ඒ සඳහා නූතන ප්‍රේක්ෂකාගාරයක් ඇති කිරීමක්.
මෙය පෙළ ගැසෙන්නේ...
ඉන්දියාවේ ‘ලාස්ට් කලර්...’, ඕස්ටේ‍්‍රලියාවේ ‘සෙන්ග් හේ වෙන් ද ඩ්‍රැගන් ශිප් කේම්...’, අසර්බයිජානයේ ‘කොන්ත්‍රාබ්ස්’, ඉන්දියාවේ (පූනේ) ‘කෆිලා’, නේපාලයේ ‘මිස් මාර්ගරිඩාස් වේ...’, සෞදි අරාබියේ ‘මේස්ත්‍රෝ’, ඊජිප්තුවේ ‘ප්‍රෙසන්ස්’, ඉන්දියා - ශ්‍රී ලංකා ‘නොටඩ් රෝප්ස්’ සහ ශ්‍රී ලංකාවේ ‘ඩිසාස්ටර් මාර්කට්’ කියන නාට්‍ය 09, මේ උලෙළ පුරා පෙළ ගස්වා තිබෙනවා.
එසේ ම ලොව පුරා සිටින නාට්‍යකරුවන්ට කරන ලද ආරාධනයකින් පසු එයින් තෝරා ගත් නාට්‍ය කණ්ඩායම් හා විද්වතුන් එක් කරමින් දින 08 ක් පුරා නාට්‍ය දර්ශන, වැඩමුළු හා විද්වත් හමුවීම්වලින් මේ නාට්‍ය උලෙළ සමන්විත යි.
ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් විඳින්නට පොදු ප්‍රේක්ෂකයාට භාෂාව ගැටලුවක් නොවෙයි ද....
රටවල් හයකින් පැමිණි කණ්ඩායම් 06 ක් සිය උසස් ම නිර්මාණ මේ උලෙළේ දී වේදිකාගත කරනවා. එයිනුත් අසර්බයිජානය, ඕස්ට්‍රියාව, නේපාලය, සෞදි අරාබිය සහ ඊජිප්තුව රටවල නාට්‍ය, අපේ අය කවදාවත් දැකලා නැහැ. නමුත් මේ රටවල නාට්‍ය කලාවෙන් ගත හැකි බොහෝ දේ තිබෙනවා. නමුත් භාෂාවයි ප්‍රශ්නය.
මේ සඳහා අප භාවිතා කළ, උපක්‍රමය තමයි දෙබස් නැති හෝ අවම දෙබස් වලින් (එය ද ඉංග්‍රීසි බසින් පමණක්) යුතුව නාට්‍ය ඉදිරිපත් කිරීම.
ජාත්‍යන්තර නාට්‍ය කලාවට, ගෝලීය භාෂාවක් තියෙනවද කියන සොයා බැලීමත් මෙහිදී සිදු කෙරෙනවා.
උදාහරණයක් කියන්නම්. අඩුම තරමේ යාපනේ හදන දෙමළ නාට්‍යයක් අපට තේරෙනවද. සිංහල නාට්‍යයක් දෙමළ ප්‍රේක්ෂකයන්ට තේරෙනවද. මා ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලයට ගිහින් හදපු නාට්‍යයක් තියෙනවා. විනාඩි 75 ක් පුරා දිවෙන මේ නාට්‍යයේ එකම දෙබසක් හෝ නැහැ. නළුවාගේ සිරුර, රිද්මය, චරිතයේ හැඩතල, සජීවී සංගීතය..... පසුබිම, ආලෝකය වැනි දේ භාවිතා කරලා තමයි දෙබස්වලින් කියන්න අවශ්‍ය පණිවුඩය අපි ප්‍රකාශ කරන්නේ.
ගිය අවුරුද්දෙත් මේ උලෙළට මං එක නාට්‍යයක් (කූඩුවෙලා) කළා. ඒක දැකලා තමයි මේ අවුරුද්දෙ ඉන්දියාවෙන් අපිට ආරාධනයක් ලැබුණේ ඇවිත් පූනේ විශ්වවිද්‍යාල සිසුන් සමඟ නාට්‍යයක් කරන්න කියලා.
එය නාට්‍ය කරුවෙක් විදියට මට ලොකු ආඩම්බරයක්. මෙවර එය උලෙළේ වේදිකාගත වන්නේ ඉන්දියා - ශ්‍රී ලංකා හවුල් නිර්මාණයක් ලෙසින්. ‘ගැටගැසුණු ලණු (Knoted ropes)කියන මේ නාට්‍යයේ එකදු දෙබසක් හෝ නැහැ.
නමුත් කොයි රටේ මනුෂ්‍යයාටත් දැනෙන විදියට චරිත හැසිරෙනවා. නාට්‍ය පුරා මෙහි චරිත හැසිරෙන්නේ ඉටිපන්දම් 15 ක ආලෝකයෙන් පමණයි. එය මේ රටේ නාට්‍ය කලාවට අලුත් දෙයක්.
ප්‍රවීණ නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ලගේ ‘ඩිසාස්ටර් මාර්කට්’ තමයි මෙවර ශ්‍රී ලංකා නියෝජනය ලෙස ඉදිරිපත් වන්නේ. ඉතින් අපේ සිංහල ප්‍රේක්ෂකයාට ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳින්න මේ තමයි ලැබෙන හොඳම සහ එකම අවස්ථාව.
අනික නාට්‍ය උලෙළ පැවැත්වෙන හැම දිනෙකම ප්‍රධාන ආරාධිතයා වන්නේ, අදාළ රටේ තානාපතිවරයා හෝ මහ කොමසාරිස්වරයා සහ දේශීය රංග කලාවේ ප්‍රවර්ධනයට දිගුකාලීන දායකත්වයක් ලබාදුන් දේශීය නාට්‍යකරුවෙක්.
ඒ වගේ ම ගෞරව සම්මාන පිදීමක් ද සිදුවන බව ඔබ කීවා...
ඔව්. මු.දු. රංජිත් සිල්වා, ඩී.කේ. ආටිගල, ප්‍රියංකර රත්නායක, මංගල සේනානායක, සමන් ගාමිණී, ජොෂුවා පියතුමා, අමිතා රබ්බිඩිගල, රුවන්ති ඩී. මිකේරා, ට්‍රේසි හොල්සිංගර් කියන නාට්‍යවේදීන්. “දේශීය රංග කලාවට ප්‍රාදේශීය මට්ටමේ සිට අප්‍රමාණ දායකත්වයක් ලබාදීම සහ දේශීය රංග කලාවට විද්‍යාර්ථීන් බිහි කිරීම උදෙසා කළ කැපවීම වෙනුවෙන්...’ කියන පදනමේ පිහිටායි, අප ඔවුන් මෙසේ ගෞරවයට පාත්‍ර කරවන්නේ.

0 comments:

Post a Comment