පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්
ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි.එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. එම ලිපිය පළවූ ‘පියවර’ සඟරාව එකී විශ්ව විද්‍යාලයයේ ප්‍රකාශනයකි.
ඊට පසු පතිරාජ ‘තේමාව, දෘශ්‍ය රූප හා මිනිසා සහ කපුටා’ (සමකාලීන සිනමාව 1970) ‘තුංමංහංදිය’ (සරසවිය 1970 නොවැම්බර් 12) ‘මෙහෙයවීම’ (‘කෙටි චිත්‍රපට’ සඟරාව) යනාදි වශයෙන් සිනමාව අළලා ලිපි කීපයක්ම ලියා ඇත. ඉන් ලිපි දෙකක් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයත් ‘තුංමංහංදිය’ චිත්‍රපටයත් පිළිබඳ විචාර වන අතර අනිත් ලිපිය කෙටි චිත්‍රපට කලාව ගැන ලියැවුණකි.
පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ ‘සතුරෝ’ (1970) නම් වූ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. ඒ වන විට ලෝක සිනමාවේ නොයෙක් ප්‍රවණතා සිදුව තිබිණි. 1958 - 59 කාලයේ ඇරැඹුණු ප්‍රංශ නවරැල්ල (NEW WAVE) ඒ වන විට නිම වී තිබුණු අතර බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ (CINEMA NOVO) නම් වූ සිනමා ව්‍යාපාරය ආරම්භව එහි වර්ධිත අවස්ථාවක පැවතුණේය.
ඉන්දියාවේ සමාන්තර සිනමාවක් (PARALLEL CINEMA) බිහිවෙමින් තිබිණි. මේ සිනමා ව්‍යාපාරවලට අයත් ඇතැම් චිත්‍රපට පතිරාජට දක්නට ලැබුණු අතර අවම වශයෙන් එකී චිත්‍රපට ගැන පළවූ විචාරාත්මක ලිපි ඔහුට කියවන්ට ලැබුණේය.
ප්‍රංශ නවරැල්ල පතිරාජගේ සිනමා භාවිතය කෙරෙහි නොමඳ බලපෑමක් ඇතිකළ සිනමා ප්‍රවේගයකි. ‘ශ්‍රී ලංකන් සිනමා’ යන නමින් ජෙෆ් බර්ටන් ඕස්ට්‍රේලියාවේ පළවන ‘සිනමා පේපර්ස්’ නම්වූ සඟරාවට ලියු ලිපියේදී පතිරාජ තමන්ට දකින්නට ලැබුණු ප්‍රංශ නවරැල්ලට අයත් ඇලන් රෙනේ ගේ ‘ලාස්ට් ඉයර් ඉන් මාරියන්බාද්’ නමැති චිත්‍රපටය තම සිතේ සන්ත්‍රාසයක් ඇතිකළ බව කියා ඇත. (ඉහත ලිපිය 1978 පළවූ ‘සිනමානුරූප’ නම් වූ සඟරාවේ පරිවර්තනය කොට පළකර ඇත)
ශොන් ලූක් ගොඩාඩ්ගේ ‘බ්‍රෙත්ලස්’ වැනි චිත්‍රපටයකත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ වැනි චිත්‍රපටයකත් කිසියම් සමානකමක් දැක්ක හැකිය. ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයට වස්තු විෂයය වූයේ ප්‍රංශ සමාජයේ නන්නත්තාර තාරුණ්‍යයයි. මෙහි ශොන් පෝල් බෙල්මොන්ඩෝ රඟපාන මිෂෙල්ගේ චරිතයත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය රඟපාන විජේගේ චරිතයත් අපට සංසන්දනය කළ හැකිය.
කලංසූරියගේ රංගනයත් ඔහුගේ බාහිර හැඩරුවත් බොහෝ දුරට බෙල්මොන්ඩෝ ගේ රංගනයට හා බාහිර හැඩරුවට සමරූපී වූයේය. එහෙත් වරක් කලංසූරිය මා සමඟ ඉතාම අවංකව කියා සිටියේ තමා බෙල්මොන්ඩෝගේ රඟපෑම් කිසිවක් දැක නැති බවයි.
ආසියා, අප්‍රිකා හා ලතින් අමෙරිකානු වැනි තුන්වැනි ලෝකයේ රටවල විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල දේශපාලන සිනමා ව්‍යාපාරය ආරම්භ වූයේ හැටේ දශකයේදීය. එහි පුරෝගාමි අවස්ථාවක් බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ නම් වූ ව්‍යාපාරය සනිටුහන් කරයි. නෙල්සන් පෙරෙයිරා ඩොස් සන්ටොස්ගේ ’VIDAS SECAS’ (1962) රුයි ගුඒරාගේ ‘OS FUZIS’ (1963) ග්ලෝබර් රෝෂාගේ ‘BLACK GOD, WHITE DEVIL’ (1964) යන චිත්‍රපට මෙම සිනමා ව්‍යාපාරයේ පැහැදිලි නියෝජනයන්ය.
ඉහත සඳහන් චිත්‍රපට පතිරාජට අපේ රටේ දී දක්නට නොලැබුණා යැයි සිතිය හැකි වුවත් ඔහු සතු ඉංගිරිසි දැනුම මත එක් සිනමාකරුවන් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන රචිත ලිපි කියවීමට අවස්ථාවක් ලැබුණේ යැයි උපකල්පනය කළ හැකිය. 1970 පමණ වන විට බ්‍රෙසීල සිනමාව ගැන විශේෂයෙන් ග්ලෝබර් රෝෂා ගැන සිංහලෙන් පවා ලිපි පළ වූයේය.
පියසිරි නාගහවත්ත ලියු ‘සිනමා සටහන්’ නම් වූ ග්‍රන්ථයේ බ්‍රෙසීල සිනමාව ගැනත් රෝෂා ගැනත් සඳහන් වෙයි. එසේම 1971 දී පළවූ ‘සමකාලීන සිනමාව‘ නම් වූ සඟරාවේ ‘ග්ලෝබ් රෝකාගේ ‘ඔළු හතේ සිංහයා කල්ලන්ගේ විප්ලවයේ ප්‍රතිමූර්තියකි’ නමින් පරිවර්තන ලිපියක් පළවී තිබේ.
ආර්ජෙන්ටිනාවේ ෆර්නැන්ඩු සොලනාස්, ඔක්ටාවියෝ ගෙටීනෝ, බොලිවියාවේ ජෝර්ජ් සන්ජින්ස්, චිලියේ මැනුවෙල් ලීටින්, කියුබාවේ ජුලියා ගාර්ෂියා එස්පිනෝසා, මැනුවෙල් ඔක්ටාවියෝ ගෝමස්, තෝමස් ගුතිරෙස් අලියා, හම්බර්ටෝ සොලාස්, සන්තියාගෝ අල්වා රේස්, ඇල්ෆ‍්‍රඩ් ගුඒරා වැනි සිනමාකරුවන් ගැන ද පතිරාජ නොදැනුවත්ව සිටියා යැයි සිතිය හැකි ද?
විශේෂයෙන් සොලනාස්ගේ සුප්‍රකට උද්ධෘතයක් වූ “ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයකට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුව කි” යන්න පතිරාජ දැන සිටි අයුරු සාක්ෂාත් වන්නේ හැත්තෑව දශකයේ දී පමණ පළවූ ‘සිනමාව විප්ලවීය කලා මාධ්‍යයකි’ යන පොත් පිංචෙනි. එය පතිරාජ සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡාවක් අනුව සකස් කරන ලද්දකි.
එකී සාකච්ඡාවේදී පතිරාජ සොලනාස්ගේ ඉහත උද්ධෘතය ගෙනහැර පායි. ස්පාඤ්ඤයේ ලුවිස් බුනුයෙල්ගේ සිනමාව ද හැත්තෑව දශකයේ දී මෙරට සිනමා ලේඛකයන්ගේ අවධානය දිනාගත්තකි. ඔහුගේ ‘ලොස් ඔල්විදාදෝස්’ (LOS OLVIDADOS) වැනි චිත්‍රපටයක් අපට සිහිපත් කරවන්නේ පතිරාජගේ ‘අහස් ගව්වයි.’ ඊටත් වඩා ඔහුගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයයි. රැකියා විරහිත නන්නත්තාර ගැටවරයන් ප්‍රචණ්ඩත්ව ගොදුරු වන ආකාරය ‘ලොස් ඔලිවිදාදෝස්’ චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙයි.
තුන්වැනි ලෝකයේ රටවලින් අප්‍රිකාව ගැන කතා කරද්දි අපට විශේෂයෙන් සිහිපත් වන්නේ සෙම්බෙනේ උස්මාන්ගේ සිනමාවය. සෙම්බේනේ අප්‍රිකානු සිනමාවේ (විශේෂයෙන් සෙනගාල් සිනමාවේ) පියා ලෙස සැලකෙන්නෙකි. ඔහු සිනමාකරණයට එළැඹෙන්නේ හැටේ දශකය මැද භාගයේදී පමණය. එසේ වුවත් සෙම්බේනේ ගේ චිත්‍රපට පතිරාජ කෙරෙහි බලපෑ බවක් පෙනී නොයයි.
ඉන්දීය සමාන්තර සිනමාවක ආරම්භය සිදුවන්නේ 1969 දීය. විශේෂයෙන් ඉන්දීය චිත්‍රපට මූල්‍ය සංස්ථාවේ ආයෝජනයෙන් එම වසරේ බිහිවූ චිත්‍රපට තුනක් සමඟය. ඒ චිත්‍රපට තුන නම් ම්‍රිනාල් සෙන්ගේ ‘BHUVAN SHOME’ (බූවාන් ශෝමේ), මනි කවුල්ගේ ‘USKI ROTI’ (උස්කි රොටී) හා බාසු චැටර්ජිගේ ‘SARA AKASH’ (සාරා ආකාශ්) ය. මෙයින් ම්‍රිනාල් සෙන් ඉන්දිය මහා සිනමාකරු වූ සත්‍යජිත් රායිට විකල්ප වූ සිනමා මඟක් අනුගමනය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය.
ඔහුගේ කල්කටා ත්‍රිත්වය INTERVIEW, (ඉන්ටවීව්) CULCATTA 71’ (කල්කටා 71’) සහ PADATIK (පදතික්) සමඟ පතිරාජගේ චිත්‍රපට සැසඳීම වැදගත්ය. එයිනුත් ‘ඉන්ටර්වීව්’ චිත්‍රපටයේත් පතිරාජගේ ‘සතුරෝ’ නම් වූ කෙටි චිත්‍රපටයේත් අත්දැකීම එක හා සමානය. (‘ඉන්ටර්වීව්’ චිත්‍රපටය හැත්තෑව දශකය මුලදී පමණ මෙරට චිත්‍රපට විචාරක සංගමය සංවිධානය කළ අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී තිරගත විය.)
රිත්වික් ඝටක් ගේ චිත්‍රපට පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වූ මුල් අවදියේ දැක තිබුණා ද යන්න සැක සහිතය. එහෙත් ඝටක්ගේ ‘නාගරික්’(NAGARIK) වැනි චිත්‍රපටයක වස්තු විෂයයත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටයේ වස්තු විෂයයත් අතර යම් යම් සම ලක්ෂණ දක්නා ලැබේ. ‘නාගරික් චිත්‍රපටයේ කතා නායකයා ද රැකියා විරහිත තරුණයෙකි. සිනමාව හා දේශපාලනය’ හා සම්බන්ධයෙන් රිත්වික් ඝටක් සතු චින්තනයත් පතිරාජ සතු චින්තනයත් අතර ඇත්තේ ද දෘඪ සමීපත්වයකි. ඝටක් මෙසේ කියා ඇත.
“සටන් පාඨ කීම හෝ විසඳුම් ඉදිරිපත් කිරීම මගේ කාර්ය නොවේ. ප්‍රශ්නයේ යථා තත්ත්වය ඉදිරිපත් කිරීමත් ඒ ගැන සිතීමට සැලැස්වීමත් මම සිතන්නේ වැදගත්.” පහත එන්නේ ඊට ම සමාන වූ පතිරාජගේ කියුමකි. “මිනිසුන්ගේ සිත්සතන් වෙනස් කිරීමට මගේ අභිලාෂයක් නැහැ. මට මිනිසුන්ට දෙන්න පණිවුඩයක් නැහැ. දැනට පවතින නොයෙක් නොයෙක් ප්‍රශ්න, තත්ත්ව ගැන සාකච්ඡා පමණයි මට අවශ්‍ය.” (‘සිනමා පේපර්ස්’ සඟරාව)
පතිරාජ පසු කලෙක ඉන්දීය සිනමාව කෙරෙහි කෙතරම් විෂයාශක්ත වී ද කිවහොත් ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා මාතෘකා කොට ගත්තේ බෙංගාලි සිනමාවය. විශේෂයෙන් එම සිනමාව නියෝජනය කරන සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් හා ම්‍රිනාල් සෙන්ගේ සිනමාවය. පතිරාජ මෑතදී මහාචාර්ය ආරිය රාජකරුණා අභිනන්දන ග්‍රන්ථයට ලියු දීර්ඝ ලිපිය ද ඉන්දීය සිනමාව පාදක කර ගත්තකි. එම ලිපියේ මාතෘකාව මෙපරිදිය. ‘INDIANITY AND MODES OF REALISM AND MELO DRAMA IN INDIAN FILMS’.
හැත්තෑව දශකය වන විට තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ ද නව සිනමාවක් මතුවී ආවේය. ලිෆෝ බ්‍රෝකා හා ඉස්මයිල් බර්නාල් යන දෙදෙනා නියෝජනය කළේ එකී නව සිනමාවයි. එහෙත් ඔවුන්ගේ චිත්‍රපට මෙරටදී දක්නට අවස්ථා නොලැබිණි. හොලිවුඩ් සිනමාවේ ස්වාධීන මඟක් ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කීප දෙනාගෙන් කෙනකු වන ජෝන් ෂෙල්සිංගර් නිර්මාණය කළ ‘මිඩ් නයිට් කව්බෝයි’ (MID NIGHT COWBOY) නමැති චිත්‍රපටයේත් පතිරාජගේ ‘අහස් ගව්වෙත්’ යම් යම් සමානතා කිසියම් විචාරකයකුට දැක්ක හැකිය.
එහි ඩස්ටින් හොෆ්මාන් හා ජෝන් වොයිට් රඟපාන චරිත දෙකත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා රඟපාන චරිත දෙකත් අතර කිසියම් සාම්‍යයක් පවතී. එම චරිත දෙකම විරක්ෂාභාවයට පත් චරිතය. ඔවුන් මුහුණ දෙන්නේ ද එකබඳු අත්දැකීම් වලියකටය. ඉහත සාධක ඔස්සේ මා පෙන්වා දීමට උත්සාහ දැරුවේ ධර්මසේන පතිරාජ එකී විදේශීය චිත්‍රපට අනුකරණය කළ බව නොව ඇතැම් විට නිර්මාණ ආභාසයක් ලත් බවය. ඔහු එබඳු චිත්‍රපට දැක නොතිබුණත් එම චිත්‍රපට ගැන පළවු විචාර ලිපි ඔස්සේ ඒවායින් පෝෂණයක් ලද බවය.
තමා නරඹන හෝ කියවන හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂවරයකුගේ විඥානයේ රැඳී පවතී. ඔහු නිර්මාණයක් කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව එම චිත්‍රපට ඔහු කෙරෙහි සෘජුව හෝ වක්‍රව බලපායි. මතැන සිදුව ඇත්තේද එවැන්නකි.
0 comments:
Post a Comment