ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ
රජීව් සෙබැස්ටියන් ගෙන් ක්ලැරන්ස් උපහාර ප්‍රසංගයක්
ශ්‍රීලාංකේය සංගීත ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නාමය හැඳින්විය හැකි ය. ඔහු අප අතරින් සදහටම සමුගෙන පුරා වසර ගණනාවක් ගත වුණත් තවමත් ඔහු අප අතර ජීවමාන වනුයේ නිර්මාණ ලෝකයට ඔහු විසින් දායාද කරන ලද අපූර්ව නිර්මාණ ගොන්න නිසාවෙනි. ගායකයෙකු වශයෙන් පමණක් නොව ගී තනු නිර්මාණ ශිල්පියකු වශයෙන් ද සිය නිර්මාණ භාවිතයේ අමුතු ඉසව් සොයා ගිය ඔහු වැන්නකු අදටත් අපට අමතක කළ නොහැකි ය.

ඔහු පිළිබඳ වූ මේ සටහන තබන්නට සුවිශේෂී වූ හේතුකාරණාව වන්නේ ඔහු වෙනුවෙන් පිදෙන උපහාර ප්‍රසංගයක් වෙනුවෙනි. ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ආදරය කරන, ගෞරව කරන ඔහුගේ ඇසුරින් සංගීත ලෝකයේ විසල් මංපෙත් විනිවිද දකින්නට ශක්තිය හිමිකර ගනිමින් සංගීත ලෝකයේ දිගු ගමනක නිරත වෙන රජීව් සෙබැස්ටියන් මේ ප්‍රසංගයේ මූලිකයා ය.
එළඹෙන 31 වැනි ඉරිදා රාත්‍රි 7.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී දිගහැරෙන ‘The unforgetable story of sinhala pop’ (අමතක කළ නොහැකි සිංහල පොප් වංශ කතාව) නම් වූ අසිරිමත් ප්‍රසංගය ක්ලැරන්ස් වෙනුවෙන් පිදෙන අති ගෞරවනීය උපහාර ප්‍රසංගයකි.
“මීට අවුරුදු දොළහකට ඉස්සර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ‘tribute to clarence’ නමින් මම ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් පැවැත්වූවා. ඊට පස්සේ ඇනස්ලි මාලේවන ‘සුපර් ගෝල්ඩන් චයිම්ස් රී යුනියන්’ නමින් තවත් වටිනා ප්‍රසංගයක් කළා.
මේ හැම දේකදීම අපේ රටේ රසික ජනතාව ඉතාමත් ම ප්‍රබෝධයට පත්වුණා. නමුත් පසුකාලීනව ඇනස්ලිට, මට, ඉන්ද්‍රානිට, අනිල්ට, ප්‍රියාට මේවායින් ඈත් වෙන්න සිද්ධ වුණා.
කොටින්ම කිවුවොත් එයින් අපිව ඈත් කළා. ඒකට හේතුව වුණේ හැට පැනපු තට්ටේ පෑදිච්ච නාකින්ට තොප්පි දාගෙන ක්ලැරන්ස්ගේ ගීත ගායනා කරන්න ආසාවක් ඇතිවුණ නිසා. ඒ නිසා අවුරුදු දොළහකින් ක්ලැරන්ස්ට උපහාරයක් කරන්න අපට බැරිවුණා.
ඔය අතරෙදි තමයි මට දැනගන්න ලැබුණේ ක්ලැරන්ස් නිර්මාණය කරන ලද ගීත 30 ක් සම්පූර්ණ අයිතිය එම්. එන්ටර්ටේන්ට්මන්ට් ආයතනයට විකුණා තිබෙන බව. මේක කරලා තිබෙන්නේ ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ පරිහරණය කරන අය. එම්. එන්ටර්ටේන්ට්මන්ට් ආයතනය කැමැත්ත පළ කළා ඒ ගීතවලින් ප්‍රසංගයක් පවත්වන්න.
ක්ලැරන්ස් ගේ ගීත ගායනා කරලා මගේ ප්‍රතිරූපය හදාගන්නවත්, ජනප්‍රිය වෙන්නවත් මට කොහෙත් ම උවමනාවක් නෑ. පොප් සංගීතය ව්‍යාප්ත කරලීම සඳහා දායක වුණු මුල් හඬවල් එකතු කරගෙනයි මේ ප්‍රසංගය කරන්නේ. ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, ශ්‍යාමි ෆොන්සේකා, ටී.එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන, නීලා වික්‍රමසිංහ, ජැක්සන් ඇන්තනී, මරියසෙල් ගුණතිලක, නිහාල් නෙල්සන්, ලතා වල්පොල, දමයන්ති ජයසූරිය, ගීත ගායනයට එක් වෙනවා. ඒ වගේ ම මේ ප්‍රසංගය වෙනුවෙන් ඒ.ඊ. මනෝහරන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙනවා.
මේ ප්‍රසංගයත් සමඟ pop සංගීතය moonstone වල සිට super golden chimes දක්වාත්, ඉන්පසු චිත්‍රපට සංගීතය දක්වාත් චිත්‍රකතා චරිත ඇසුරින් නිර්මාණය වූ ගීත දක්වාත් ටෙලිනාට්‍ය සඳහා නිර්මාණය වූ ගීත දක්වාත් ව්‍යාප්ත වූ සැටි පෙන්නුම් කෙරෙනවා. බොහෝ අය නොදන්නා සත්‍යය ලොවට හෙළි පෙහෙළි කරන පොප් නිර්මාණ මෙයට ඇතුළත් වෙනවා. මේ ප්‍රසංගයේ සංගීතය ‘රජීව් ඇන්ඩ් ද ක්ලෑන්’ සංගීත කණ්ඩායමෙන්, ගයනි කරුණාරත්න ප්‍රමුඛ ගයනි’ස් ඩාන්ස් ස්ටුඩියෝ නර්තන නිර්මාණයෙන් ද විජය කොරයා කථනයෙන් ද දායක වෙනවා. ගීත තිහකට අධික ප්‍රමාණයක් මෙහිදී ගැයෙනවා.
“පොප් සංගීතය සමඟ Box guitarසංස්කෘතිය තමයි මුලින් ශ්‍රී ලංකාවේ තිබුණේ. ඒකට සීමාවෙලා තිබුණු pop සංගීතය electric guitarසංස්කෘතියට රැගෙන ආවේ ක්ලැරන්ස්. නමුත් මේ වනවිට ඒ ඉතිහාසය විවිධාකාරයෙන් විකෘති වීමට සහ සත්‍ය වැළලී යන ආකාරයක් දකින්නට ලැබෙනවා.
ඊට හේතුව බොහෝ අය පෙට්ටගම් අවුස්සන්න ගත්තේ ක්ලැරන්ස් ගේ මරණයෙන් පස්සෙයි. නමුත් අපි නම් පුංචි කාලේ ඉඳලම ‘තැටි’ කැසට් පට, සංයුක්ත තැටි බොහෝ ම ආදරෙන් එකතු කළා. ඒ වගේ ම ඔහු ඇසුරු කරන්න ලැබීම මහත් වාසනාවක්. ගෞරවයක් ලෙසට සලකනවා.
මේ ප්‍රසංගයේ පරමාර්ථය මුදල් හම්බ කිරීම නම් නෙළුම් පොකුණ වගේ මිල අධික රංග ශාලාවක පවත්වන්නේ නෑනේ. මේ සා විශාල ශිල්පීන් පිරිසක් එකතු කරගන්නෙත් නෑ. මේ හැමෝම ක්ලැරන්ස් ගේ ගී තනු ගායනා කළ අය. එහෙමත් නැතිනම් ඔහුත් සමඟ යුග ගී ගැයූ අය. 70 දශකයට පෙම් බඳින අය අදටත් මේ මුල් නිර්මාණවලට දායක වුණු හඩවල්වලට ආදරෙයි. ඒ වෙනුවෙනුයි මේ ප්‍රසංගය කරන්නේ.
හේමාලි
Silumina
0 comments:
Post a Comment