----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්

Saturday, December 8, 2012

මලට බඹරෙකු සේ සිතට එන

ක්ලැරන්ස්
සුමියුරු සත්සර රාවයට මුසුව ඔහුගේ ගී හඬ ගුවන් තලයේ පාවී ඇවිත් අදත් ගීතලෝලී සිත් ස්පර්ශ කොට අමන්දානන්දයට පත් කරන අයුරු අපූර්ව ය. වියෝ වී වසර දාසයකට පසුව අද ද ඔහු සිය සහෘද සිත් සමීපයේ හිඳිමින් ගී ගයනු වැනිය.
ගායන ශිල්පියෙකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණකරුවෙකු, වාදකයෙකු සහ සංගීතඥයෙකු ලෙස සිය ප්‍රතිභාවෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් ඉටු කළ ඔහු ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධනය. කවුරුත් දන්නා නමින් නම් ක්ලැරන්ස් විජේවර්ධනය.
1943 අගෝස්තු තුන්වැනිදා හපුතලේ දී මෙලොව එළිය දුටු ක්ලැරන්ස් සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූවේ ය. පාසල් වියේ දී සංගීතයට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් විනෝද ගමන් යාමටත් බෙහෙවින් පි‍්‍රය කළ ක්ලැරන්ස් ගිටාරයක් දකින්න සිත තුළ පැවති ආසාවට මිතුරෙකුගේ ඇඳුම් සෝදා දුන් අයුරු 1980 වසරේ දී ඔහු වෙනුවෙන් පළ කළ “මල්පියලි” සඟරාවේ විශේෂ කලාපයට අප සමඟ පැවසුවේ නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගෙනය.
සැබැවින්ම ඔහු නිහතමානි, සරල මිනිසෙකු වූවේ යයි අපි සිතමු. වයස අවුරුදු එකොළහේ දී පළමු වරට ගිටාරයක් වාදනය කළ ක්ලැරන්ස් 1996 දෙසැම්බර් 13 වැනිදා ජීවිතයෙන් සමුගෙන යනතුරු ගිටාරයට පෙම් කළේය. සුමියුරු ගී තනු දහස් ගණනක් මවන්න ගිටාරය ඔහු සහාය කර ගත්තේය.
අද මේ වන විට ක්ලැරන්ස් පරිහරණය කළ ගිටාරය මේ රටේ නැතත් (එය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා සහ දියණිය අමිලා ළඟ ය.) ඔහු නිර්මාණය කළ තුන්දහසක් පමණ වූ රසබර ගීතාවලියෙන් ගීත දහසකට වඩා ප්‍රමාණයක් අපගේ රස වින්දනය පිණිස ඉතිරිව ඇත. “සංගීත කණ්ඩායම්” කුලයේ පුරෝගාමියා වූ නෙවිල් ප්‍රනාන්දුගෙන් ඇරඹි බවට සැලකිය හැකි බටහිර ජනපි‍්‍රය සංගීත කලාවට දේශීයත්වය මුසු කිරීමේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ දායකත්වය සුවිශේෂය.
සංගීත කණ්ඩායම්, චිත්‍රපට රූපවාහිනී නාට්‍ය, පටි සහ තැටි සඳහා ක්ලැරන්ස් ගී පද රචනය, තනු නිර්මාණය සහ ගායනය යන ත්‍රිවිධාකාරයෙන් කර ඇති දායකත්වය පිළිබඳව තොරතුරු බිඳක් මෙම සමරු සටහනේ මෙලෙස අකුරු කිරීම වටී යයි සිතමු.
හැටේ දශකයෙන් ඇරඹෙන ඔහුගේ ප්‍රසිද්ධ සංගීත චාරිකාවේ මුලින්ම “මුන්ස්ටෝන්” කණ්ඩායම සමඟ කළ නිර්මාණ ද ඉන්පසු “ගෝල්ඩන් චයිම්ස්” - “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සහ “මදාරා” කණ්ඩායම් සමඟ කළ නිර්මාණ ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රයත්වයට පත්විය. එම ගී අතර “වන දෙව් ලිය තුරුලේ” - “කාගෙද ගොන් වස්සා” - “මම එදා ගොසින්” - “දිල්හානි දුවනී” - මංගෝ කළු නැන්දේ” - “රුවන්පුරය” - කිම ද නාවේ” - “ගමෙන් ලියුමක් ඇවිල්ලා” - “උඩරට නිළිය හැඩ වගේ” - “මා ආදරෙයි නංගියේ” වැනි ගී මුතු සිය ගණනකි.
ක්ලැරන්ස්ගේ කණ්ඩායම් සංගීත දිවියේ ස්වර්ණමය යුගය වූ හැත්තෑව දශකයේ දී ඔහුගේ විවාහය ද (1972 මැයි 15 වැනි දා ශීලා රම්‍යදාස සමඟ) සිදු වූ අතර චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට එක් වීම ද සිදු විය. ඒ 1975 දී “සිකුරුලියා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වෙමින්ය. එම චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා “කොමල ලියා සිකුරුලියා” ගීතය අද ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රය ගීතයක් වන අතර “අපේක්ෂා” (1978) - “හලෝ ශ්‍යාමා” (1982) - “චලිත රංගාලි” (1985) වැනි චිත්‍රපට සඳහා ද ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේය. ඔහුගේ සිතැඟි සත්සරින් රිද්ම ගත වූ ක්ලැරන්ස්ම ගැයූ “සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි” ගීතය මෙන්ම “සඳ තනිවෙලා” සහ “කලක් ඇවෑමෙන් පෙරුම් පුරා” (මිල්ටන් මල්ලවආරච්චි සමඟ ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක) - “ඔකඳ වෙලා සිත” (ඇන්ජලින්) - “සොඳුරු ලොවට මල් වැහැලා” (එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක) - “වසන්තයේ මල් කැකුළයි” (ඉන්ද්‍රානි පෙරේරා) වැනි ගීත ද තවමත් රසික ආදරය දිනාගෙන ඇති සුමියුරු චිත්‍රපට ගීත වේ.
කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත “දිලීප පොඩි පුතු” ගීතය ගයමින් ඒකල (තනි) ගීත ගායනයට එක් වූ ක්ලැරන්ස් “මලට බඹරෙකු සේ” - “මුව හසරැලි සාගරේ” - “හද විලේ ඔබ පිපුණා” - “සිහින ලොවක් දුටුවා මතකයි” - “රන් දුනුකේ මල” - “රන් සමනලයින් ඉගිලෙනු දැක මට” - “දුව මා වගේදෝ” - “හිරු පිබිදෙන විට” (මාලිනියේ) - “හින්දි වදන් මියුරු සරින්” - “දිනෙක මේ නදී තීරේ” වැනි රසබර ගීතාවලියක් සිය හඬින් ගීතවත් කළේ ය. ඔහු ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය “ජනක හා මංජු” චිත්‍රපටය සඳහා ලතා වල්පොල සමඟ ගැයූ “ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑ වේ” ගීතය සහ තනිව ගැයූ “සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා” ගීතය ද ගීතලෝලීන්ගේ සිත්ගත් ගීතය.
“සුසීමා” සහ “නිදිකුම්බා මල්” ටෙලි නාට්‍ය සඳහා ද සංගීත නිර්මාණයෙන් දායක වූවේ ක්ලැරන්ස් ය. මෙම ටෙලි නාට්‍යයේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය ගීතය ගැයීමෙන් පසුව වැනි ප්‍රතිභාසම්පන්නයෙකුගේ තනුවකට ගීතයක් ගයන්න ලැබීම පිළිබඳව මහත් සතුටින් කළ ඇගයීම තමාට චිත්ත පී‍්‍රතියක් වූ වග එකල ක්ලැරන්ස් අප සමඟ නිහතමානීව ප්‍රකාශ කළේ ය. “සුසීමා” ටෙලි නාට්‍ය සඳහා ක්ලැරන්ස් නිර්මාණය කළ “දේවතාවන් සිතන දේවල්” (ක්ලැරන්ස්) - “සිතේ සුසුම් නිවනා ගායනා” (ක්ලැරන්ස් සමඟ ජැක්සන් ඇන්තනී) - “රෑ තාරකාවෝ මුමුණා කියයි” (ජැක්සන් සමඟ ජෝර්ජ් සේනානායක) සහ “දෑස පියා ගත් කල මැවෙන්නෙ ඔබෙ රුව“ (ජැක්සන් සහ ජෝර්ජ්) ටෙලි නාට්‍ය ගීත ක්ෂේත්‍රයේ අමතක කළ නොහැකි රසබර ගී නිර්මාණය.
ගුවන් විදුලිය, කැසට් පට සහ තැටි සඳහා ද ක්ලැරන්ස් කළ නිර්මාණ දහස් ගණනකි. ;මහි දී සිය සහෝදර ගායක ගායිකාවන් වෙනුවෙන් ගී පද රචනයෙන් මෙන්ම ස්වර (තනු) රචනයෙන් ද නොමසුරුව දායකත්වය සපයා ඇති ක්ලැරන්ස් සිය නිර්මාණ ප්‍රතිභාව මෙන්ම සිය අනන්‍යතාව ද එම නිර්මාණවලින් පෙන්වා තිබීම විශේෂය. “විකසිත වත කමලේ” (මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි) - “සීත රෑ වසන්තේ” (සනත් සමඟ මල්කාන්ති) - “සීගිරි ළඳුනේ” - “රුවට රුවේ සකුරා ඉවුරේ” (ටී. එම්. ජයරත්න) -”රටකින් එහා ඉගිලී” - “ඈත රන් විමන්” - “පැතුම් පිරීලා” - “හිරු ද මුවා වී” (පි‍්‍රයා සූරියසේන) - “මල් පිබිදෙන එක වසන්ත සමයක” - “උමයංගනියෝ” (එච්. ආර්. ජෝතිපාල) - “තනි වී සිටින්නයි” - “අවසර නැත මට” - “සුළඟේ පාවී” - “කෙසේ කියන්න ද” - “මට මෙන් ඔහුට ද” (මිල්ටන් මල්ලවආරච්චි) - “පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය” - “මා පෙර සසරේ” (ඇන්ජලින්) - “මතකය ඇසුරින්” - “එදා තරම් මගේ සිතේ” - “එක දවසක් මා දුටුවා” (ඉන්ද්‍රානි පෙරේරා) - “කඩුපුල් මලක් පිපිලා” - “රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ” (වර්නන් පෙරේරා) - “උතුමාණෙනි” සහ “කැලේ සිංහයා” (නිහාල් නෙල්සන්) - “බෙත්ලෙහෙම් පුරේ” (අනිල් භාරතී) - “යොවුන් සිහින ලෝකේ” (මරියසෙල් ගුණතිලක) - “වේදිකාව ජීවිතේ අපේ” (අතුල අධිකාරි) - “මී විත පුරවා” (මර්වින් මිහිඳුකුල) වැනි ජනපි‍්‍රය ගීත දහස් ගණනක් එම නිර්මාණ අතර වේ.
වර්තමානයේ දී ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත සම්බන්ධව පැන නැඟී ඇති සිද්ධි කිහිපයක් ද වේ. ගායන ශිල්පී ඇනස්ලි මාලේවන අධිකරණ නඩුවේ නඩු විභාගයකට මුහුණ දී සිටින අතර ගායන ශිල්පී රජිව් සෙබස්තියන් අධිකරණ නියෝගයක් අනුව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බුද්ධිමය දේපළ වෙනුවෙන් විජේවර්ධන පාර්ශ්වයට වන්දි මුදලක් ගෙවමින් සිටියි. එමෙන්ම “ටොරානා” ආයතනයට එරෙහිව කෝටියක වන්දි මුදලක් අය කර ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශ්වය කටයුතු යොදා ඇත. මේ අතර ලාංකිකා පෙරේරා, අනිල් භාරතී, පි‍්‍රයා සූරියසේන සහ “මේරියන්ස්” නලීන් පෙරේරාට ද ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳව එන්තරවාසි යවා තිබේ.
මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ද ඇත. එනම් වර්තමානයේ ක්‍රියාත්මක වන “බුද්ධිමය දේපළ පනත” පණ ගැන්වීමට අතීතයේ දී ක්ලැරන්ස් ද දායක වූ වගයි. එහෙත් තවමත් අප රටේ සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන ගායක ගායිකාවන්, ගී පද රචකයින් සහ සංගීතඥයින් බුද්ධිමය දේපළ පනත පිළිබඳ නිසියාකාර හැදෑරීමක් කර හෝ වැටහීමක් ලබා නොමැති හෙයින් එදා ක්ලැරන්ස් කළ එම යහපත් දායකත්වය පිළිබඳ ඇගැයීමක් මෙතෙක් කෙරී නොමැත. එහෙයින් අවම වශයෙන් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් සලසා ඇති ප්‍රතිපාදන පිළිබඳ පමණක්වත් දැන සිටීම සංගීත ක්ෂේත්‍රයේ නියුතු සැමට යහපත් වේ යැයි අපි යෝජනා කරමු.
ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් පැන නැගී ඇති තවත් ප්‍රධාන සිද්ධියක් වී ඇත්තේ ඔහුගේ නිර්මාණ නව පරපුරේ ගායක ගායිකාවන් ගායනය කිරීම ය. මේ වන විට “කඳු පාර ඈත අයිනේ” (සංඛ දිනෙත්) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ගීත විද්‍යුත් මාධ්‍ය මෙන්ම දුරකථන රිංගින් ටෝන්ස් මඟින් ද නිතර ශ්‍රවණය කළ හැකිව තිබේ. එමෙන්ම මෙම 15 වැනි දා පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී එළිදැක්වීමට නියමිත “ක්ලැරන්ස් නිර්මාණ” (අංක - 1) ගීත ඇල්බමයෙන් ද ක්ලැරන්ස් නිර්මාණය කළ “මැණිකේ සුදු මැණිකේ” (සමන් ද සිල්වා) - “ඔබෙන් පමණි මා දුටුවේ” (අතුල අධිකාරි) - “සිහිල් නුවන් තුළ” (ඉසුරු ජයරත්න) - “විකසිත වත කමලේ” (උදේශ් ඉන්දුල) - “නිරංජලා කාටදෝ” (සුරේන්ද්‍ර සමඟ අමිලා) - “එක දවසක් මා දුටුවා” (ගයනි මධුෂානි) - “සුළඟේ පාවී” සහ “මී විත පුරවා” (උදේශ් නිලංග) - “මා ආදරෙයි නංගියෙ” (සන්තුෂ් සමඟ උමාරියා) - “පැතුම් පිරීලා” (අජිත් බණ්ඩාර) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ජනපි‍්‍රය ගීත 14 ක් ඉදිරිපත් කෙරුනු ඇත.
ක්ලැරන්ස්
ගීතෝපහාර ප්‍රසංගය
15 වැනිදා
මියුසියස් විද්‍යාලයීය
ශ්‍රවණාගාරයේ දී!
මෙම ගීත ඇල්බමයේ ඇතුළත් සියලුම ගී තනු නිර්මාණ සහ ඇතැම් පද රචනා ක්ලැරන්ස්ගේම වන අතර ඔහු පද රචනය නොකළ ගීත කිහිපයට අදාළ ගී පද රචකයින්ගේ අවසරය ලබා ගෙන මෙම ගීත ඇල්බමය නිෂ්පාදනය කර ඇත. මෙම “ක්ලැරන්ස් නිර්මාණ” ගී ඇල්බමය සංගීතවත් කර ඇත්තේ නව පරපුරේ සංගීතඥයෙකු වන නඳුන් රත්නායකය.
විජේවර්ධන පවුලේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙම 15 වැනිදා සවස 7 ට මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනයට ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක, ටී. එම්. ජයරත්න, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා, රනිල් මල්ලවආරච්චි, චාන්දනී හෙට්ටිආරච්චි, අතුල අධිකාරී, ශ්‍යාම් ෆොන්සේකා, වින්ස්ලෝ සික්ස්, සමන් රත්නවීර සහ දමයන්ත කුරුප්පු ඇතුළු නව පරපුරේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද එක්වන අතර ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ “විෂන්” විසින් ය. කථනය කැළුම් ශ්‍රීමාල් විසින් කරනු ලබන මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන බුද්ධිමය දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස කටයුතු කරන සිරි හෙට්ටිආරච්චි විසින්ය.

එයාට ලෝකෙන්ම වටින්නේ දුව තමයි!

- ක්ලැරන්ස් බිරිඳ ශීලා විජේවර්ධන
”ක්ලැරන්ස්ගේ දාසය වැනි අනුස්මරණය නිමිත්තෙන් පවත්වන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගය හා එයාගේ ගීත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදු වී ඇති නිසයි මං මෙවර ලංකාවට ආවේ. අමාලි දුවත් එක්ක මම දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ක්ලැරන්ස්ගේ ගිටාරය වගේම එයා ගී ලියූ පොත්පත්, පින්තුර හැමදේම දැන් දුව ළඟයි තියෙන්නේ. කොහේ හිටියත් අපිට ක්ලැරන්ස්ව නිතරම මතක් වෙනවා. එතකොට ගොඩක් දුකයි.”
”ක්ලැරන්ස් මුලින්ම සින්දු ලියන්න ගත්තේ මටයි. ඒ කාලේ එයා පදිංචි වෙලා උන්නේ අපේම ගෙදරකයි. අපි දෙන්නා අතරේ ආදරයක් ඇතිවුණා. ‘කිමද නාවේ’, ‘සිහින් සිනාවයි’, ‘සුදු මැණිකේ’ වගේ ගීත එයා මට ලියූ ගීතවලින් සමහරක්. මා වෙනුවෙන් එයා අන්තිමට ලියූ ගීතය ‘මගෙ සිරියාවතී’ ගීතය යි. ‘ක්ලැරන්ස් සිහිවටන’ (2) ඇල්බමයට එයා ඒ ගීතය ගායනා කළා වගේ මට මතකයි. ඒ වගේම අමාලි දුව වෙනුවෙන් ක්ලැරන්ස් ‘දුවනී’ – ‘අමිලා දුවේ’ – ‘ඔබ පරදා’ වැනි ගීත කිහිපයක්ම ලියා ගායනා කළා. ඔය එක සින්දුවකදී ක්ලැරන්ස් දුවට තිබුණු එයාගේ ආදරය හෙළි කරනවා. “ලෝකෙන්ම වටින්නේ දුව තමයි” කියලා.
”ක්ලැරන්ස් ගේ බුද්ධිමය දේපළ පිළිබඳව පැන නඟින ගැටලුවලට මුහුණ දීමට මමත් අමාලි දුවත් මේ රටේ නැති නිසා අපි දෙදෙනා වෙනුවෙන් ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි සිරි හෙට්ටිආරච්චි ඇටෝර්නි බලකරු ලෙස පත්කර තිබෙනවා. ඔහු ඉතා හොඳීන් එම කටයුතු කරගෙන යමින් ක්ලැරන්ස්ගේ අයිතිවාසිකම් සුරකිනවා.”

ක්ලැරන්ස්ගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක්

-ක්ලැරන්ස් ගේ නිර්මාණ පිළිබඳව ඇටෝර්නි බලකරු සහ ” ක්ලැරන්ස් ගීතෝපහාර”
ප්‍රසංගයේ සංවිධායක
සිරි හෙට්ටිආරච්චි
” ක්ලැරන්ස්ගේ නිර්මාණ යුගයෙන් යුගයට පැවතිය යුතුයි. ඒ නිසයි ඔහුගේ ගී නිර්මාණ නව පරපුරේ දක්ෂ ගායක ගායිකාවන් ලවා ගායනය කරවන්නේ. සමහරු මෙය ක්ලැරන්ස්ගේ හඬ නැති කිරීමක්, ක්ලැරන්ස්ගේ සින්දු කා දැමීමක් හෝ ක්ලැරන්ස්ට අවමන් කිරීමක් ආදී වශයෙන් අර්ථ දක්වනවා විය හැකියි.
එහෙත් එම අදහස් නිවැරැදි නැහැ. නව පරපුරේ දක්ෂයින් ලවා ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනය කරවීම හේතුවෙන් ඔහුගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක් සිදු වෙනවා. එම නිසා ක්ලැරන්ස් ගේ නිර්මාණයන්ට සාර්ථක පැවැත්මක් තිබෙනවා.”
”බුද්ධිමය දේපළ පනතෙන් සලසා දී තිබෙන ප්‍රතිපාදන යටතේ ක්ලැරන්ස් ගේ නිර්මාණ නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ දී සහ විකෘති කිරීම් සිදුවන අයුරු නැවත පටිගත කිරීම් ආදිය කර භාවිත කිරීමේ දී සියලුම ගායක ගායිකාවන්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
දැනට ‘ටොරානා’ ආයතනයට එරෙහිව පැවරූ නඩුව අප ජයග්‍රහණය කර තිබෙනවා. අප කළ ඉල්ලීම් දාහතෙන් දාසයක්ම අපට ලබාදීමට මහාධිකරණය නියෝග කර ඇති අතර ළඟදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම රජීව් සෙබස්තියන් හට ක්ලැරන්ස් ගේ ගී නොගයන ලෙස අධිකරණය මඟින් නියෝග කර ඇති අතර ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, ප්‍රියා සූරියසේන, අනිල් භාරතී, ලංකිකා පෙරේරා, නලින් පෙරේරා වැනි ගායක ගායිකාවන්ටත් නීතිඥයින් මඟින් දැනුම් දී තිබෙනවා ක්ලැරන්ස් ගේ ගී ගායනා නොකරන ලෙස, මේ සියලුම කටයුතු අප කරගෙන යන්නේ ක්ලැරන්ස් ගේ නිර්මාණ අයිතීන් ඔහුගේ හිමිකරුවන්ට ලබා දීම උදෙසා සහ එම ගීත මතු පරම්පරාවට දායාද කර දීමේ යහපත් චේතනාවෙනුයි.”

ක්ලැරන්ස් ගී තනු හැදුවේ රසවත් ශෛලියකටයි!

ඇන්ජලින්ද ලැනරෝල් ගුණතිලක
“ක්ලැරන්ස් පළමුවෙන්ම නිහතමානී ගුණ යහපත් පුද්ගලයෙක්. ඒ වගේම හොඳ ගායකයෙක්. අමුතුම රසවත් ශෛලියකින් තනු නිර්මාණය කළ සංගීතඥයෙක්. ගී පද රචනයටත් ක්ලැරන්ස්ට හොඳ හැකියාවක් තිබුණා.
ක්ෂණිකව ස්වර මාරු වීම ක්ලැරන්ස්ගේ තනුවල මා දුටු සුවිශේෂ ලක්ෂණයක්. එම නිසා ඔහුගේ තනු එකවර වටහාගන්න අමාරුයි.”
“ක්ලැරන්ස්ගේ සංගීතයට ‘අපේක්ෂා’ චිත්‍රපටයේ ‘සඳ තනිවෙලා’ - ‘කලක් ඇවෑමෙන්’ සහ ‘රෑ සීතලයි’ වැනි ගී ගැයීමට ලැබීම නිසා එදා මම හරි සතුටට පත්වුණා.
ක්ලැරන්ස් මට ගයන්න නිර්මාණය කර දුන්නු ‘පුංචි පුතා මගෙ ඉස්කෝලේ’ - ‘මාලී මනමාලී’ - ‘මා පෙර සසරේ’ - ‘ඔකඳ වෙලා සිත’ සහ ‘ඉමල් පුතා’ ඇතුළු හැම ගීතයකටමත් මම ආසයි.”

අංක එක ක්ලැරන්ස්

සමන් ද සිල්වා
“ක්ලැරන්ස් කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී නිර්මාණකරුවෙකු වගේම පොප් සංගීතයේ පීතෘවරයා යි. තවත් අයුරකින් කියනවා නම් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාරයා ක්ලැරන්ස්.
ගී පද රචනය, තනු නිර්මාණය, ගායනය, සංගීත අධ්‍යක්ෂණය මෙන්ම ගිටාර් වාදනයටත් ක්ලැරන්ස් සතුව තිබුණු දක්ෂතාව සම කරන්න වෙන කවුද ඉන්නෙ...? ක්ලැරන්ස් විතරමයි. ක්ලැරන්ස් නොම්මර එක. ඉන්පසු අංකයක් තමයි වෙනින් කාට වුණත් හිමි වෙන්නේ.”
“මගේ ගායන ජීවිතයට සම්පූර්ණ අතහිත ලැබුණේ ක්ලැරන්ස්ගෙනුයි. මගේ සමහර ගීත පටිගත කරද්දී ක්ලැරන්ස් ආවේ එතුමාගේ වියදමිනුයි.
එතුමා නැති වීම ලොකු පාඩුවක්. එම පාඩුව පෞද්ගලිකව මට දැනෙනවා වගේම අද අපේ සංගීත ක්ෂේත්‍රයටත් දැනිලා තිබෙන බව පැහැදිලිව හැඟෙනවා.”

සුවිශේෂ අනන්‍යතාවක් ක්ලැරන්ස්ට තිබුණා!

ටී.එම්.ජයරත්න
“ක්ලැරන්ස් ආශ්‍රය කරන්න හොඳ අපේ සංගීත ක්ෂේත්‍රයේ උන්නු සහෘදයෙක්. එතුමා මට ගීත හතලිස් එකක් නිර්මාණ කර දී තිබෙනවා. එතුමාටම ආවේණික වූ, සහෘද හදවත් වලට සමීප නිර්මාණ ශෛලියක් තිබුණු නිර්මාණ ශිල්පියෙකු ලෙස මා එතුමාව සලකන්නේ. සරල, හිස උදුම්මා නොගත් නිහතමානි පුද්ගලයෙකු ලෙස එතුමා මගේ මතකයේ රැඳී සිටිනවා.
එවැනි මා පි‍්‍රය කළ තවත් දෙදෙනෙකු තමයි ස්ටැන්ලි පීරිස් සහ සරත් දසනායක. ක්ලැරන්ස්, ස්ටැන්ලි සහ සරත් යන තිදෙනා එක මල් කිනිත්තක් කියලයි මට හැඟෙන්නේ.”
“පේ‍්‍රමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක වැනි අපේ ප්‍රතිභාපූර්ණ සංගීතඥයින් සැමටම වෙන වෙනම අනන්‍යතා තිබුණා. නිර්මාණයක් ඇහෙද්දීම අපට කියන්න පුළුවන් එම නිර්මාණය ඔවුන් අතරින් කා විසින් නිර්මාණය කරන ලද්දක් ද කියන වග. ක්ලැරන්ස් විජේවර්ධනයනුත් සිය අනන්‍යතාව නිර්මාණය තුළ සලකුණු කර තබන්නට සමර්ථ වුණා.
මොනතරම් ප්‍රතිභාවක් තිබුණත් තමන්ට අවිනිශ්චිත හෝ නොදන්නා යමක් වේ නම් දන්නා අයෙකුගෙන් විමසා දැනගන්න තරම් නිරහංකාර මහත්මා ගතිගුණ එතුමාගේ පැවති බව මා පෞද්ගලිකව අත්දැක තිබෙනවා.
එතුමා මට නිර්මාණය කර දුන් හැම නිර්මාණයකටම මං කැමැතියි. එතුමා ගැයූ ගී අතරින් ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’ ගීතය මං ආසාම ගීතයක්. මමත් එතුමා වෙනුවෙන් පැවැත්වෙන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගයට සහභාගි වෙනවා.”

‘සන්ෆ්ලවර්’ නම දුන්නේ ක්ලැරන්ස්

අතුල අධිකාරි
“ක්ලැරන්ස් අයියාව මට මුලින්ම හමුවුණේ මගේ වයස අවුරුදු පහළොවේදීයි. ඒ මමයි නීලූයි (නීල් වර්ණකුලසූරිය) සංගීත ප්‍රසංගයක් සඳහා ගායක ගායිකාවන් ගෙන්වා ගැනීමට ක්ලැරන්ස් අයියාව හමුවීමට ගිය දවසකදීයි. එදා සිට සංගීත ක්ෂේත්‍රයේ මං ගොඩක් පි‍්‍රය කරපු පුද්ගලයෙකු වුණා ක්ලැරන්ස් අයියා.
ඊට පෙර මා ඔහුට පි‍්‍රය කළේ කලාකරුවෙකු ලෙස පමණයිනේ. මුණ ගැහිලා කතාබහ කළාට පස්සේ ඔහු මගේ පි‍්‍රයතම පුද්ගලයෙකු ද වුණා. ක්ලැරන්ස් අයියා තමයි අපේ සංගීත කණ්ඩායමට ‘සන්ෆ්ලවර්’ නම දුන්නෙත්.
කාලයක් අපි ක්ලැරන්ස් අයියා සමඟ එකට වැඩ කළා. ඒ අපේ කණ්ඩායමට වැඩ නොතිබුණු අවස්ථාවල දී. ඉන්පසු අපේ දැන හැඳුනුම්කම දිගටම තිබුණත් මට ක්ලැරන්ස් අයියාගෙන් කරගන්න ලැබුණේ එකම එක ගීතයක් (වේදිකාව ජීවිතේ අපේ”) විතරමයි.”
“ක්ලැරන්ස් අයියා අපේ සංගීත ක්ෂේත්‍රයට එතෙක් නොපැවති නැවුම් සංගීත ශෛලියක් ගෙන ආවා. ඔහු කරපු හැම නිර්මාණයක්ම වාගේ ජනපි‍්‍රය වීම සුවිශේෂයි.
ක්ලැරන්ස් අයියා ඔහුට නිර්මාණය කර ගත් ගීත පමණක් නෙමේ වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණය කළ ගීතත් ඉහළම ජනපි‍්‍රයත්වයකට පත් වුණා. මේ තරම් ජනපි‍්‍රය ගීත ප්‍රමාණයක් නිර්මාණය කළ ක්ලැරන්ස් අයියා වගේ වෙන කෙනෙකු නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.”

ක්ලැරන්ස්ගේ නිර්මාණයන්ට නව සංගීතයෙන් දායක වීමට ලැබීම භාග්‍යයක්!

සංගීත අධ්‍යක්ෂ නඳුන් රත්නායක
“ක්ලැරන්ස් විජේවර්ධන අපට උන්නු ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක්. ඔහු නිර්මාණය කළ ගීතවල සදාකාලික වටිනාකමක් තියෙනවා.
එවැනි නිර්මාණ එකතුවක (“ක්ලැරන්ස් නිර්මාණ” අංක - 1 ගීත ඇල්බමයේ) සංගීතය සපයන්න මා හට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් ;ලස මා සලකනවා.
මුලින්ම මට මේ භාග්‍ය උදාකර දුන් ශීලා විජේවර්ධනටත්සිරි හෙට්ටිආරච්චිටත් මං ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මට කීවේ මුල් නිර්මාණ විකෘති නොකර නව සංගීතය සපයන්නයි. මම ඉතාම පරිස්සමින් මුල් නිර්මාණවල රසය රැකගෙන වර්තමාන පරම්පරාවට ගැළපෙන අයුරින් මේ ඇල්බමයේ ගීත සංගීතවත් කළා.
පරම්පරාවෙන් පරම්පරාවට පැවතීමට සුදුසු සර්වකාලීන වටිනාකමක් ක්ලැරන්ස්ගේ නිර්මාණවල ඇති බවයි මගේ හැඟීම.”

0 comments:

Post a Comment