නාරද තුමන් ලියූ බුදු රැස්මාලා කවි පානදුරේ අරියධම්ම හිමියන් අතට පත්වුණු හැටි
හොරණ, කුඩා උඩුව, මාරගහහේනේ පිහිටි ‘ජයබිම අරමේ’ ශාන්ත සුවයෙන් දිවිගෙවන අනගාරික නාරද තුමාත්, පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා කවිත් අතරේ කිනම් හෝ සබැඳියාවක් ඇති බව නාරදතුමන්ගේ කතාවෙන් තිලක් සේනාසිංහයන්ට පැහැදිලි වුණා. ඒ ඔස්සේ තමයි එතුමන්ගෙන් ඒ පිළිබඳව වැඩිපුර කරුණු විමසා ඇත්තේ. එවිට නාරදතුමා ඊට පිළිතුරු සපයා ඇත්තේ මෙන්න මේ විදිහට.
“එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල මුල හරියේ අපි මෙහේ පිහිටුවා ගෙන තිබුණා. බෝසත් බල මණ්ඩලය කියලා සංවිධානයක්. ඒකෙ ආරම්භක ලේකම් හැටියට වැඩ කළේ ගාල්ලේ එස්.එස්. සිල්වා මහත්තයා. ඉස්සර උන්නැහේ තමයි ගාල්ල දිස්ත්‍රික් උසාවියේ තෝල්ක මුදලි. ඔය කාලේ මම ප්‍රබන්ධ කරපු මෛත්‍රී චින්තා කවි වගයක් තිබුණා. අපේ සංවිධානයේ අය කවුරුත් වගේ බුදුන් වැඳලා ඔය කවිත් හඬ නගා සජ්ක්ධායනා කරනවා. මෙන්න මේ වගේ කවි තමයි ඒ කවි පන්තියේ තිබුණේ.”
ඊට පසුව නාරදතුමන් ඉතා සුමධුර හඩින් මෙන්න මේ කවිය ගායනා කොට තිබෙනවා.
‘සුගත හිමි නාමය
වී ලොව කුසුම් දාමය
දුරුව බල කාමය
උදාවේවා ලෝක සාමය
නාරදතුමන් ලියූ මෙවැනි කවි පිළිබඳව අදහස් පළ කළ බොහෝ දෙනකු කියා ඇත්තේ එතුමන් මේ සියලු කවි ශබ්ද ශාස්ත්‍රමය මූලධර්ම අනුව ගණ පිහිටුවා රචනා කළ බවයි. විශේෂයෙන් පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා කවි මෙතරම් ජනප්‍රිය වීමට හේතුවත් එයම බව බොහෝ දෙනකු විශ්වාස කළා. නමුත් මගේ ඉල්ලීමට අනුව නාරදතුමාගෙන් ඒ පිළිබඳව විමසා සිටි තිලක් සේනාසිංහයන්ගෙන් නාරද තුමන් අසා ඇත්තේ “මං දන්න ශබ්ද ශාස්ත්‍රයක් නෑ; කවුද හැබෑට ඔය කතාව කිව්වේ? කියායි.
නමුත් ඊට පසුව එතුමන් පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන් පිළිබඳ පුවත මෙන්න මේ විදිහට අනාවරණයකොට තිබෙනවා.
“ඔන්න එක දවසක් අපේ ඔය තෝල්ක් මුදලිතුමා කොළඹ අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී බුදුන් වැඳලා ඔය කවි පන්තිය බොහොම ලස්සනට ගායනා කරලා තියෙනවා. ඒක ඉවර වෙලා නැගිටින්න හදනකොට පන්සලේ වැඩහිටිය තරුණ හාමුදුරුනමක් ආවලු උන්නැහේ ළඟට. “මහත්තයට කොහෙන්ද ඔය කවි හම්බ වුණේ?” කියලා මේ හාමුදුරුවන් අහලා තියෙනවා. ඉතින් අපේ තෝල්ක මුදලිතුමත් විස්තරේ කිව්වය කියමුකෝ. මෙන්න ඊට දවස් දෙකතුනකට පස්සේ අර තරුණ හාමුදුරුවෝ මේ ආරාමෙට වැඩම කළා. දවස නම් හරියටම මතක නැහැ. කොහොමත් ඒ වෙනකොට මම හදපු තවත් ඒ වගේ කවි සිය ගාණක් විතර තිබුණා. මේ හාමුදුරුවෝ ඒ කවි හැම එකක්ම ඉල්ලාගෙන බොහොම හොඳට කියවලා බැලුවා. අර ප්‍රසිද්ධ වුණු බුදුරැස්මාලා කවි ටිකත් ඒ වෙලාවෙ එතන තිබුණා. මේවා හොඳට කියවපු මේ හාමුදුරුවෝ මගෙන් ඇහුවා “නාරදතුමා මමත් හරිම කැමතියි අපේ බෞද්ධයන්ට සිංහලෙන් බුදුන් වන්දවන මේ වගේ කවිවලට. බැරිද මේවා මට දෙන්න. මං පිටපත් කරගෙන ආපහු දෙන්නම්” කියලා. මාත් අනේ හාමුදුරුවනේ මොකද බැරි කියලා ඒ කවිවලින් ඕනෑතරම් තෝරාගන්න ඉඩ දුන්නා. කොහොම හරි ඒ කවිවලින් කොටසක් තෝරාගෙන ඒ හාමුදුරුවෝ ආපසු වැඩමකළා. ඊට පස්සෙ ටික කාලයක් යනකල් තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ.
“ඔය කියන විදිහට ඒ වැඩියේ අරියධම්ම හාමුදුරුවෝ වෙන්න ඇති” සේනාසිංහයන් නාරද තුමන්ගෙන් අසා සිටියහ.
“ඔව්, ඔව්, උන්වහන්සේ තමයි. නමුත් ඒ වෙනකොට කිසි ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ” නාරදතුමා කීවා. ඊට පසුව එතුමන් මෙසේත් කියා තිබෙනවා.
“ඔන්න ඊට මාස කීපෙකට විතර පස්සෙ මට අපේ සංවිධානයේ මහත්තයෙකුගෙන් ආරංචි වුණා වේයන්ගොඩ පැත්තේ තියෙන වේබඩගල්ල පන්සලේ ඉන්න අරියධම්ම කියන හාමුදුරුවෝ මගේ කවිත් එකතු කරලා බොහොම ලස්සන බෝධි පූජා වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒකට මිනිස්සු හරිම කැමතියි කියලා. අනේ එහෙම නම් කොච්චර හොඳද කියලා මාත් ඉතින් සන්තෝෂ වුණා. ඔන්න ඔය අතරේ ආයිමත් වරින්වර අරියධම්ම හාමුදුරුවෝ මේ අරමට වැඩම කරලා මගෙන් තව තව කවි ඉල්ලාගෙන ගියා. මාත් බොහොම කැමැත්තෙන්ම ඒවා දුන්නා. ඒ වගේම මම ඉස්සර ඉඳන්ම අතන බෝධිය ඉස්සරහ කවිවලින් බෝධි වන්දනා වැඩසටහන් පැවැත්වූවා. අපේ අරියධම්ම හාමුදුරුවොත් දවස් කීපයක් මෙහේ නතර වෙලා ඒ හැම දෙයක්ම බොහොම හොඳට අධ්‍යයනය කළා. ඒක මේ අවට ඉන්න හැමෝටම වගේ තවමත් මතකයි.”
නමුත් නාරදතුමා ඉන්පසුව වැඩිදුරටත් පවසා ඇත්තේ පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා වැඩසටහන් සාම්ප්‍රදායික බෝධි වන්දනා කවිවලින් වගේම උන්වහන්සේ විසින්ම රචනා කළ කවිවලින්ද පෝෂණයවූ බවයි. නමුත් උන්වහන්සේගේ බෝධි පූජා වැඩසටහන්වලදී කියැවුණු බුදු රැස්මාලා තමන්ගේ බව නාරද තුමන්
පිළිගන්නවා. නමුත් හුදෙක් සාමාන්‍ය බෞද්ධයන් ඉලක්කකොට පබැඳුණු ඇතැම් බෝධි පූජා කවි සම්බන්ධයෙන් නාරද තුමන්ගේ සිත තුළ එතරම් ප්‍රසාදයක් නැති බවත් එතුමන් හා කළ ඒ කතාබහේදී සේනාසිංහයන්ට මනාව වැටහී තිබෙනවා.
“ඔය බෝධි පූජා මාලාවේ අරමුණ දැන් යාච්ඤා සම්ප්‍රදායට නැඹුරු වෙලා. ඒ වගේම සමහර කවි නිවැරදි බෞද්ධ දෘෂ්ටියෙන් පිට පැනපු ඒවාය කියලා මතයකුත් තියෙනවා කී සේනාසිංහයන් ඊට නිදසුනක් ලෙස මේ කවිය දක්වා තිබෙනවා.
‘බෝමළුවට අපි යනවා එනවා
බෝමුල් බෝපත් මට පෑගෙනවා
සමාවදී මගෙ පව් අරවනවා
බෝරජුනේ මට අවසර දෙනවා’
එවිට නාරදතුමා සන්සුන් ස්වරයෙන් පවසා ඇත්තේ මෙවන් අදහසක්.
ඒවා නම් මගේ කවි නමෛයි; අනික බුදු දහමේ දැක්වෙන විදිහට ‘බෝධි’ කියන්නේ බෞද්ධ පරමාදර්ශයට. ඒ නිසා තමයි බුදුදහමේ බුදු, පසේ බුදු, මහරහතන් වශයෙන් තුන්තරා බෝධියක් හඳුන්වලාදී තිබෙන්නේ. ඒ වගේම බුදුදහමේ බෝධි අංග හෙවත් බෝජජංග වශයෙන් වෙනම ලොව්තුරු ගුණ සමුදායක් හඳුන්වාදී තිබෙනවා. බෝධි වෘක්ෂය කියන්නේ ඒ සියලු ලොව්තුරු ගණ පිළිබඳ දෘශ්‍යමය සංකේතයක් විතරයි. ඒ නිසා බෝධි
වෘක්ෂය වන්දනීය වස්තුවක් හැටියට මිසක් බෞද්ධ පරමාදර්ශයක් හැටියට ගැනීම නම් හොඳ නැහැ තමයි; මම හිතන්නේ අරියධම්ම හාමුදුරුවන්ගේ බෝධි පූජා මාලාවේ වුණත් නියම හරයට වඩා එතරම් වැදගත් නැති කොටස් තමයි අපේ බෞද්ධයෝ ආදරෙන් වැළඳ ගන්නේ”
ඒ කෙසේ හෝ සිරිපා සමයේ දොළොස් වසරක් බවුන්වැඩූ අනගාරික නාරද තුමන් අදටත් හොරණ, කුඩාඋඩුව, මාරගහහේනේ එතුමන් ඉදිකරගත් ජයබිම අරමේ ඉතා සැනසුම්දායක ශාන්ත දිවිපවෛතක් ගත කරමින් හිඳිනු දක්නට පුළුවන්
0 comments:
Post a Comment