----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!

Thursday, September 6, 2012


මගේ ප්‍රසංග මෙපමණ වාර ගණනක් පවත්වන්න ලැබීම ම ආශ්චර්යයක්

විශාරද නන්දා මාලිනී
“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!
විශාරද නන්දා මාලිනී ගායන ශිල්පිනියගේ සිවුවැනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගයේ අවසන් ප්‍රසංග වාරය මෙම 14 වැනිදා සවස 6.30 ට රත්මලාන, ස්ටයින් ස්ටුඩියෝහි දී පැවැත්වේ.
සිංහල සංගීත ක්ෂේත්‍රයේ ගායන ප්‍රතිභාවෙන් අනන්ත වූ ඇය අපි “හෙළයේ මහා ගායිකාව“ යයි හඳුන්වමු. ඒ ඇය ගායනා කළ සුභාවිත ගීතාවලියෙන් අපේකම ලොවට කියා පෑ නිසා ය. එපමණින් නොනැවතී ලෙයින්, මසින් නිර්මිත සැබෑ මිනිසුන්ගේ හැඟීම් සමඟ ඇය ගීතමය ගනුදෙනුවක් ආශ්චර්යවත් අයුරින් කරන්නීය. එවැනි ආශ්චර්යයන් අඩ සිය වසරකටත් වැඩි තම සෞන්දර්ය චාරිකාවේදී ඈ විසින් සිදු කරනු ලබන ඉසව්ව වී ඇත්තේ ඒක පුද්ගල ගීත ප්‍රසංග කලාවයි. මීට ඉහතදී ඇය ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” – “සත්‍යයේ ගීතය” සහ “පවන” ඒක පුද්ගල ගීත ප්‍රසංග මෙන්ම “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය ද ආශ්චර්යයක් බවට පත් කරමින් ඈ ඉන් සමුගන්නීය. එහෙයින් මෙවර “ස්වර වර්ණ” වර්ණවත් කරන්නට අපි ඇයට ආරාධනා කරමු. ඇය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී ය.
”මගේ හතර වැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය වන ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයට පුදුමාකාර ප්‍රතිචාරයක් ගීත රසික රසිකාවියන්ගෙන් ලැබෙනවා. බොහෝ විට ප්‍රසංගය අවසන් වුණත් සමහර රසික පිරිස් තවදුරටත් රැඳී ඉන්නවා, ප්‍රසංගය නිම නොවීය යි සිතා. සුභාවිත ගීතයට කැමැති බුද්ධිමත් රසික ජනතාව දැන් මේ රටේ ප්‍රචලිත ගීත රැල්ල ප්‍රතික්ෂේප කරන බව මේ ප්‍රසංගයට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.
”ගුණාත්මක ගී පිපාසයෙන් ශ්‍රාවකයින් පෙළෙන මෙවන් වකවානුවකදී ඔබගේ “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය දර්ශන වාර විසිපහක් වැනි අඩු ගණනකින් නිමා කිරීම අසාධාරණයක් නොවේ ද...?
”ගීත ශ්‍රාවකයින්ගේ පැත්තෙන් පමණක් බැලුවොතින් අසාධාරණයි තමා. ඒත් මෙහි තව පැත්තක් තිබෙනවා. ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය මගේ මීට පෙර පැවැත් වූ අනිකුත් ප්‍රසංග වගේ අපේ පෞද්ගලික මුදලින් පැවැත්වූ ප්‍රසංගයක් නොවේ. ‘සිරස’ එෆ්.එම්. ආයතනයයි මෙම ප්‍රසංගය කළේ. ඔවුන්ට බැහැ එකම ගායිකාවකගේ ප්‍රසංගයක් දිගටම පවත්වන්න. ඒ වගේම අපි මුල ඉඳලම ගිවිස ගෙන තිබුණු අයුරු කටයුතු කරන්න ඕනේ. ඒ අනුව ප්‍රසංග වාර විසිපහකින් ‘ශ්වේත රාත්‍රිය’ නිම වෙනවා.
”ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
”ඔව්. මගේ ‘පවන’ ප්‍රසංගයෙන් සමුගෙන අවුරුදු විසි දෙකකට පසුව තමයි ‘ශ්වේත රාත්‍රිය’ 2010 සැප්තැම්බර් 14 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ආරම්භ කළේ. බුද්ධිමත් ගීත ශ්‍රාවකයින් වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න ‘සිරස’ මාධ්‍ය ආයතනයට ඕනෑකමක් තිබුණා සේම වෘත්තීය ගායන ශිල්පිනියක් වශයෙන් මටත් ප්‍රසංගයක් කිරීමේ වුවමනාවක් තිබුණා. මම ඉතාම වගකීමෙන් මේ කියන්නෙ – ‘සිරස’ ආයතනය ඔවුන්ගේ දීර්ඝ මාධ්‍ය භාවිතයේ අත්දැකීම් ද ඇසුරු කරගෙන ‘ශ්වේත රාත්‍රිය’ හොඳින් ඉදිරිපත් කරන්න සංවිධාන කටයුතු කළා. වාද්‍ය ශිල්පී සම්බන්ධීකරණය, ආලෝකකරණය මෙන්ම ශබ්ද පරිපාලනය ආදී සියලුම කටයුතු නිසියාකාරව සිදු කෙරුණා. ඔවුන් ගෞරවනීය අයුරින් ඔවුන්ගේ කටයුතු ඉටු කළා. මෙම ප්‍රසංගය නිසා මගේ ජීවිතය අලුත් වුණා. ගායිකාවක් ලෙස ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය ඉදිරිපත් කිරීමෙන් මා විශාල තෘප්තියක් ලැබුවා.”
මෙම ප්‍රසංගයෙන් “සිරස” ලාභ උපයන්න ඇති නේද..?
”මම හිතන්නේ සිරසට වුවමනා වුණේ ලාභ උපයන ප්‍රසංගයක් කරන්න නෙමේ. ඔවුන්ගේ වෑයම වුණේ ගුණාත්මක ගීත ප්‍රසංගයක් ශ්‍රාවකයින්ට ඉදිරිපත් කිරීමයි. ගීත රසික රසිකාවියන්ගේ සහභාගීත්වය ඉහළම මට්ටමක පැවතියත් “සිරස” ආයතනය මේ ප්‍රසගයෙන් ලාභ ඉපයුවේ නැහැ. එක් අවස්ථාවක ප්‍රසංගයෙන් ලද මුදල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළා.
මේ වනවිට වැඩිම ඒක පුද්ගල ගීත ප්‍රසංග ප්‍රමාණයක් සමාජ ගත කළ ගායන ශිල්පිනිය ඔබයි. ඒ පිළිබඳ ඔබේ මතකය ?
”සාමූහිකව ගීත ප්‍රසංග පැවැත්වීමෙන් අපේ ගීත ශ්‍රාවකයින්ට යහපත් ප්‍රයෝජනයක් ලබා දෙන්න හැකිද කියන ප්‍රශ්නයට මගේ සිතුවිලි අතර මම පිළිතුරු සොයමින් උන්නු කාලයකදී තමයි මට අමරදේව සර් සමඟ ‘ශ්‍රවන ආරාධනා’ ද්වි පුද්ගල ගීත ප්‍රසංගය කරන්න ලැබුණේ. ටික කාලයකට පසු අමරදේව සර්ගේ දිවියේ කාර්ය බහුලකම නිසා එතුමා නැවතුණා. එතුමා වැනි දැවැන්ත ශිල්පියකු නැතුව දිගටම කරගෙන යාම මහත් අභියෝගයක් වුවත් අවසානයේ මට සිදු වුණා තනියම එම ප්‍රසංගය පවත්වා ගෙන යන්න. 1973 ජනවාරි මාසයේ ලුම්බිණි රඟහලේදී මං එම අභියෝගයට මුහුණ දුන්නා. එදා සිට පන්සිය තිස් වාරයක් ‘ශ්‍රවණ ආරාධනා’ පවත්වා 1979 මැයි මස 22 වැනිදා ලුම්බිනියෙන්ම එම ප්‍රසංගය නිමා කළා. එදා ප්‍රසංගය ‘සූරිය’ ලේබලය යටතේ එල් පී (L.P) තැටියකටත් ඇතුළත් වුණා.”
ඉන්පසු ඔබ දිගු කාලයක්ම ප්‍රසංග වේදිකාවෙන් ඈත් වී සිටියා
”අවුරුදු හතක් අටක් විතර උන්නා. මම ආසා නැහැ එළිමහන් ප්‍රසංගවල ගී ගයන්න. කවුරු කිව්වත් එළිමහන් ප්‍රසංග, මංගල උත්සව, පි‍්‍රයසාද වැනි අවස්ථාවල මං ගී ගයන්නේ නැහැ. එහෙම ඉන්න අතරේ 1981 අගෝස්තු 29, 30, 31 දින තුනේදී ලුම්බිණියෙන්ම ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය ආරම්භ කළා. නවතම ගීත යොදා ගෙන කරපු එම ප්‍රසංගයේ තේමාව වුණේ ‘ආදරයේ විරහ වේදනාවේ දුකේ සහ සතුටේ සත්‍යය කුමක් ද’ යන වගයි. සුනිල් (මහාචාර්ය සුනිල් ආරියරත්නයන්) තමයි ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ සෑම කටයුත්තක්ම ඉටු කළේ, එකම ගීත සමුච්චයක් එක දිගටම ගයද්දී මටම එපා වෙලා 1984 අගෝස්තු 29, 30, 31 යන දින තුනේ ලුම්බිණියේදීම සමුගැන්මේ ප්‍රසංග මාලාව පවත්වා එම ප්‍රසංගයත් නිමා කළා. ඒ වනවිට ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය පන්සිය වාරයක් පවත්වා තිබුණු අතර ‘සිංග්ලංකා’ කැසට් පට යුගළයකටත් එය ඇතුළත් කෙරුණා.”
නැවතත් ප්‍රසංග වේදිකාවෙන් දුරස්වී වසර කිහිපයක්ම හිඳ “පවන” සමඟ ඔබ ශ්‍රාවකයින් ඇමතුවේ මේ රටේ ඉතාම අඳුරු යුගයකදී?
”මගේ වෘත්තිය තුළ තිබෙන්නේ දේශපාලනයයි. භීෂණයෙන් දූෂණයෙන් මේ මුළු රටම අඳුරු වී තිබුණු එම යුගයේ අවශ්‍යතාවයක් වී තිබුණා අපේ චින්තනය හා දේශපාලන අදහස් ආදි හැඟීම් පවසන්න. එවකට පැවැති තරුණ අසහනය පාදක කරගෙන භීෂණයට, දූෂණයට, අයුක්තියට එරෙහි හඬක් වෙන්න මට සුනිල් අලුත්ම ගීතාවලියක් ලියා දායකත්වය ලබා දුන් හින්දා 1987 ජුනි 26, 27, 28 දිනවලදී ලුම්බිණියෙන් ම ‘පවන’ ප්‍රසංගයත් ඇරැඹුවා. උණුසුම් ප්‍රතිචාර මැද අවුරුද්දක කාලයක් ඇතුළතදී ‘පවන’ ප්‍රසංගය දෙසිය පනස් වාරයක් පැවැත්වීමට අපට පුළුවන්කම ලැබුණා. හරියටම අවුරුද්දකට පසු 1988 ජුනි මාසයේ දිවා දර්ශන වාරයක් පවත්වා ‘පවන’ ප්‍රසංගයත් අවසන් කළා. එම ප්‍රසංගයත් සංයුක්ත තැටියකට ඇතුළත් වුණා.”
ඔබ ගැයූ ඔබේ පි‍්‍රයතම ගීත මොනවා ද?
”එහෙම ප්‍රශ්නයක් අහන එක අසාධාරණයි. මම ගයන හැම ගීතයකටම කැමැතියි. අකැමැති ගීත මම ගයන්නේ නැහැ. විවිධ කාලවකවානු අනුව සුදුසු ගීත මං ගායනා කරනවා. මා ගැයූ ‘අයන්න කියන්න’ ගීතයෙන් ලොකු ධර්මයක් දරුවන්ට කියා දෙනවා. තවත් උදාහරණ කියනවා නම් ‘මිරිවැඩි සඟලක්’ ගීතයෙන් මෙන්ම යුද්ධයක ඡායාවක්වත් නැති යුගයකදී මා ගැයූ ‘උඩඟු ලියන්’ ගීතයෙන් ද ස්පර්ශ කිරීමට හැකි වූ මානව හැඟීම් සමඟ ඒ ඒ කාල වකවානුවලදී හැම ගීතයක් ම මගේ පි‍්‍රයතම ගී බවට පත් වෙලා තියෙනවා.
ඔබ මෙතෙක් ගයා ඇති ගී පද රචනා වැඩි ගණනක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ගී සංකල්පනා වීමේ රහස කුමක්ද..?
”ඒ රහස වසර හතළිහක් අපි එකම මඟක පැමිණීමයි. එතුමාගේ ගී සංකල්පනය ප්‍රබලයි. ගුණාත්මකයි. මා ගායනා කර ඇති දහසක් පමණ වන ගීත අතර වෙනත් ගී පද රචකයින්ගේ ගී සංකල්පනා ඇත්තේ සියයක් පමණ විය යුතුයි. සුනිල් ආරියරත්නයන්ගේ ගීත කලාව තමයි මගේ ගීත කලාවට ලැබුණු ලොකුම දායකත්වය. එතුමාගේ මුල්ම ගී පද රචනය වූ ‘සකුරා මල් පිපිලා’ ගැයුවෙත් මමයි. එදා සිට අද වනතුරුත් අපි අපේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන එකම මඟක මේ සෞන්දර්ය චාරිකාවේ යෙදී සිටිනවා.”
ඔබේ ගීත සඳහා ඔබම සාර්ථක තනු නිර්මාණය කර ගත් ගායන ශිල්පිනියක ලෙසින් හැකියාව පෙන්නුම් කළ ඔබ අනිකුත් ගායක ගායිකාවන් උදෙසා තනු නිර්මාණය නොකළේ ඇයි...?
”කිහිප දෙනකුට නිර්මාණ කිහිපයක් කර දුන්නා. එමෙන්ම මා ගයන ‘මිහි මඬලේ’ – ‘සාරි පොඩිත්තක්’ – ‘සකුරා මල් පිපිලා’ වැනි ගී සියයක පමණ තනු නිර්මාණය කරගත්තේ මමමයි. ඒත් ගායනය මිස තනු නිර්මාණය මගේ කාර්යභාරය නොවේ - නේ. එම නිසා ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තිබුණේ නැහැ.
ඔබ පවත්වා ගෙන යන සංගීත ආශ්‍රමයෙන් වැඩිහිටියන්ට සුවිශේෂ පණිවිඩයක් ලබා දෙනවා නේ...?
”මගේ සංගීත ආශ්‍රමයෙන් දරුවන්ගේ මොළයට පෝෂ්‍යදායී කලාත්මක ආහාර සපයා දීමකුයි මම කරන්නේ. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයන්ට දක්ෂ නැති වුවත් බලෙන් හෝ තම දරුවන් එවැනි විෂයයන්ට යොමු කරන්න වැඩිහිටියන් වගබලා ගන්න ඕනේ. අපිට සෞන්දර්ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ යහපත් ආශ්‍රය ලැබුණු හින්දා තමයි අද මේ තරම් දුරක් මේ ගමන එන්න පුළුවන් වුණේ. අපේ දරුවන්ටත් අපි වර්තමානයේ සිටින දැවැන්ත සැබෑ සෞන්දර්යවේදීන්ගේ ඇසුර ලබා දුන්නොත් තමයි ඔවුන් යහපත් මිනිසුන් වී ප්‍රයෝජනවත් මෙහෙවරක් සමාජයට ඉටු කරන්නේ.”
දිළිඳු දැරියක, යුවතියක මෙන්ම අප්‍රමාණ දුක් ගැහැට වේදනා ඉසිලූ ගැහැනියක ද වශයෙන් ජීවිතයේ විවිධ කඩඉම් පසුකර ආ ගමන් මඟ පිළිබඳ අද ඔබට හැඟෙන්නේ කෙලෙස ද..?
”දරිද්‍රතාවයෙන් පෙළුණු දෙමව්පිය යුවළකගේ දරුවෙක් ලෙසින් සිට මේ දක්වා ආ ගමනේදී විඳි සියලුම දුක් ගැහැට මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. මගේ තාත්තා (වින්සන් පෙරේරා) කෝට් මැසූ ටේලර්වරයෙක්. අම්මා (එමලි පෙරේරා) සමඟ තාත්තා අප නව දෙනකුගෙන් යුතු පවුල ජීවත් කරවන්න විශාල වෙහෙසක් දැරුවා. තාත්තා හම්බ කරපු සුළු මුදලෙන් ණය නොවී අපව ජීවත් කරපු අයුරින් මම පාඩම් ඉගෙන ගත්තා. ආසාවට අයිස්ක්‍රීම් ඉලුල්වාම ‘අද මං ළඟ සල්ලි නැහැ’ කියා කෙළින්ම කියන්න තාත්තාට පුළුවන්කම තිබුණා. ඔහු බොරු මවාපෑම් කළේ නැහැ. අපිටත් කන්න නැතුව සිටිද්දී දවසක් ලේනුන් කාපු ගස්ලබු ගෙඩියක් දැකලා ඒක කඩා දෙන්න කීව්වාම තාත්තා කිව්වේ ‘කුරුල්ලන්ට තියමු’ කියලා. මං ඒ අපූර්ව පාඩම් ඉගෙන ගත්තේ ජීවන තක්සලාවෙන්. ඒ නිසා මා තුළ සිටින්නේ මගේ තාත්තාම විය යුතුයි.
අද මේ ගෙදර ලුණු කැටය පවා මම යහපත් කලාවකින් උපයා ගත්තේ. මම මගේ සංගීත ආශ්‍රමයේ පන්ති කරගෙන එයින් ලැබෙන දෙයින් සෑහීමට පත්වෙනවා.
මේ පුංචි දූපතේ ගැහැනියකට ඒක පුද්ගල ගීත ප්‍රසංග හතරක් මෙපමණ වාර ගණනක් කරන්න ලැබීමම ජයග්‍රහණයක්, ආශ්චර්යයක් කියලයි මට හැඟෙන්නේ.”

0 comments:

Post a Comment