----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මේ නාට්‍ය ප්‍රබෝධය බොරුවට අටවපු එකක්

Thursday, September 6, 2012


මේ නාට්‍ය ප්‍රබෝධය බොරුවට අටවපු එකක්

ධර්මසිරි බණ්ඩාරනායක
ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවලභීෂණ’ නාට්‍යය නව නිෂ්පාදනයේ මංගල දැක්ම මෙම 1 සහ 2 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙයි. මෙම නාට්‍යයට පාදක වූයේ ප්‍රංශ මහා ලේඛක ශොන් පෝල් සාර්ත්‍රේගේ කෘතියකි. පහත යෙදෙන්නේ ‘ධවල භීෂණ’ නව නිෂ්පාදනය අළලා ධර්මසිරි බණ්ඩාරනායක සමඟ කළ කතාබහකි.
ශේක්ෂ්පියර්ගේ ‘ජුලියස් සීසර්’, ‘මැක්බත්’, ‘කිං ලියර්’ වැනි නාට්‍ය වගේම සාර්ත්‍රේගේ මේ නාට්‍යයත් සර්වකාලීනයි; සර්වභෞමිකයි කියලා ඔබ හිතනවද?
ඔව්. සාර්ත්‍රේ මේ නාට්‍යය ලිව්වේ දෙවැනි ලෝක මහා යුද්ධය ඉවරවුණයින් පස්සේ. හිට්ලර් ප්‍රංශය තුළ රූකඩ ආණ්ඩුවක් පිහිටුවලා පැටේන් ලවා කරවන ජන ඝාතනය මේ නාට්‍යයට පසුබිම් වෙනවා.
ඊට එරෙහිව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නැඟී සිටීම තමයි මෙයින් කියැවෙන්නේ. මිනිසුන් මරා දැමීම සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇතිවන චලනය. ඒ චලනයට ගොදුරු වෙච්ච චරිත සමූහයක් තමයි මේ නාට්‍යයේ පාත්‍රවර්ගයා. මං හිතන්නේ මේ අත්දැකීම මොන රටකටත් මොන කාලයටත් පොදුයි.
ඔබ අවසාන වතාවට නිෂ්පාදනය කළේ ‘ට්‍රෝජන් කාන්තාවෝ.’ ඒ 1999 දී. ඉන්පසු නව නිෂ්පාදනයක් නොකරන ඔබ ඔබේ මුල් නාට්‍ය දිගින් දිගටම ප්‍රති නිෂ්පාදනය කරනවා.
ඔව්. මම මීළඟට ‘යක්ෂා ගමනය’ ප්‍රති නිෂ්පාදනය කරනවා. එතකොට මගේ නාට්‍ය පහම ප්‍රදර්ශන මට්ටමේ තිබෙනවා. මගේ හැම නාට්‍යයක්ම අනාගත වාක්‍ය. අනාගතයට අවශ්‍ය දේ කියැවෙන නාට්‍ය. ඒත් එදාට වඩා අද මේ නාට්‍ය දිහා සිහි බුද්ධියෙන් යුතුව බැලිය හැකි වාතාවරණයක් තිබ්බත් ඒ කියැවෙන දේ අදටත් ලංකාව තේරුම් අරගෙන නැහැ.
කෙසේ වෙතත් පසුගිය දශක දෙක තුළ සිංහල වේදිකාවේ අඛණ්ඩව රැඳී සිටියේ ඔබත් ජයලත් මනෝරත්නත් පමණයි.
ඇයි පරාක්‍රම නිරිඇල්ල? අපිට කිසියම් වගකීමක් තියෙනවා. අද නාට්‍ය කලාවේ ප්‍රමිතිකරණය කඩා වැටිලා. සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ නාට්‍යයෙන් පස්සේ ඒවගෙ ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක් අදටත් මම අපේ වේදිකාවේ දැකලා නැහැ. ඒ නිසා ඒ ගැන මගේ විවේචනයක් තිබෙනවා.
අද කිසියම් නාට්‍ය ප්‍රබෝධයක් දක්නට ලැබෙනවා කියා ඇතමුන් කියනවා.
මේක බොරුවට අටවපු ප්‍රබෝධයක් මිස සැබෑ ප්‍රබෝධයක් නෙමෙයි. අද ඇතමුන් නාට්‍යකලාව තක්කඩි ව්‍යාපාරයක් බවට පත්කර ගෙන.
අද වේදිකාව ‘විනෝද සමයක්’ විම නිසා ඇතැම් ප්‍රේක්ෂකයන් අහන්නේ ‘සිංහබාහු’ නාට්‍යයේත් කොමඩි තියෙනවද කියලයි.
මේක ඛේදවාචකයක්. එදා ‘සාජන්ට් නල්ලතම්බි’ බලලා හිනාවුණු ප්‍රේක්ෂක පිරිසක් ආයෙත් ඉන්නවා. ඒත් එදා අපේ මහා නාට්‍යකරුවන්ට පුළුවන් වුණා ඒ රැල්ල පරාජය කරන්න. 1985 රාජ්‍ය නාට්‍ය උලෙළෙදි ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යය ඉහළ තැනක තැබීමේ රාජ්‍ය වුවමනාවක් තිබුණා. ඒත් නාට්‍ය උලෙළේ හිටපු බන්දුල ජයවර්ධන බඳු ප්‍රවීණ නාට්‍යකරුවන් එයට ඉඩදුන්නේ නැහැ. අද ප්‍රබුද්ධයි කියන නාට්‍යකරුවන් පවා අවර ගණයේ නාට්‍යවලට දායක වෙලා.
’ධවල භීෂණ’ නාට්‍යයෙන් කියැවෙන්නේ විමුක්ති අරගලයක් ගැන? එහි චරිත ප්‍රංශ විමුක්තිකාමින්. මේක ‘ධවල භීෂණ’ මුල් නිෂ්පාදන අවදියේ JVPඑක වැරදි කොනින් අල්ල ගත්ත නේද?
මේ නාට්‍යයත් එක්ක ගැළපෙන සිදුවීම් කීපයක් තිබුණාට ප්‍රංශයේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි, අපේ රටේ තිබුණු දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි හාත්පසින්ම වෙනස්. ඒ නිසාම මේක නාට්‍යයට අනතුරක් බවට පත්වෙනවා. කොටින්ම අපිට නාට්‍යය නතර කරන්න සිදුවෙනවා. මට ආරක්ෂාව පතා රටින් පැනලා යන්න සිද්ධ වෙනවා.
සාර්ත්‍රේගේ මුල් නාට්‍ය පිටපතේ යටිපෙළින් කිසියම් දර්ශනයක් දිවෙනවා. ඔබ ඒක ග්‍රහණය කරගත්තේ මොන විදියටද?
සාංදෘෂ්ටිකවාදය ඇතුළේ තමයි සාර්ත්‍රේ තම චරිත පිහිටුවන්නේ. චරිත ඇතුළෙම ඇතිවන ප්‍රතිවිරෝධතා පිළිබඳ ඔහු සැලකිලිමත්ව තිබෙනවා. මේ නාට්‍යයේ චරිත ඔවුන්ගේ පාපොච්චාරණයේදි කියන දෙයක් තමයි “මම මරණයට බය නෑ. නමුත් මං මැරෙන්න බයයි” යන්න.
ඔබ අලුත් නළු නිළි පිරිසක් හොයා ගත්තේ කොහොමද? අද ‘මනමෙ’, ‘සිංහබාහු’ වැනි මහා නාට්‍යවලත් රඟපාන්නේ ටෙලිනාට්‍ය නළු නිළියන්.
රූපවාහිනියෙන් ආපු නළුනිළියන් තමන්ගේ ජනපි‍්‍රයත්වය මත වේදිකාව ආක්‍රමණය කරලා තියෙනවා. ටෙලිනාට්‍ය නළුනිළියන්ට පිටපතේ දෙබස් මතක නැහැ. ඇයි? ටෙලි නාට්‍යයේ කියවන්න තියෙන්නේ ‘ලයින්’ දෙකතුනයිනේ. ඒ නිසා ඔවුන් රඟපාද්දි ප්‍රේක්ෂකයන් ඔවුන්ට ‘හූ’ කියන මට්ටමට අද නාට්‍ය වැටිලා තියෙනවා. අද නළුනිළියන් ‘අරූ - අරකි’ කියන මට්ටමට වැටිලා ඉවරයි.
අපේ වේදිකාවේ නූතනවාදි ප්‍රවේශය ගැන ඔබ මොකද හිතන්නේ. විශේෂයෙන් බුද්ධික දමයන්ත වගෙ නාට්‍යකරුවන්ගේ නිර්මාණ ගැන?
ඔවුන්ගේ අරමුණ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කිරීම පමණක් නම් එහි අර්ථයක් නැහැ. තමන්ගේ නාට්‍ය සඳහා හොඳ ප්‍රේක්ෂාගාරයක් ගොඩනැංවීමයි කළ යුත්තේ. ඔවුන්ගේ නාට්‍යයක දර්ශන වාර සංඛ්‍යාවට වඩා ඔවුන් හදපු නාට්‍ය සංඛ්‍යාව වැඩියි.
’ධවල භීෂණ’ නාට්‍යයට 1990 රාජ්‍ය නාට්‍ය උලෙළේදී ලැබුණු සම්මානය ඔබ පිළිගත්තත් අදාළ තෑගි මුදල ප්‍රතික්ෂේප කළා. ඒ බහුජාතික සමාගම්වලට විරෝධය පෑම සඳහා. එසේ කරපු ඔබ අද රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙනව කියල කෙනෙක් චෝදනා කළොත්?
ඒකේ කිසිදු වරදක් නැහැ. ‘ඩොලර් කාක්කෝ’, ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ’, ‘දේශද්‍රෝහියෝ’ මේවා තමයි මිනිසුන් වටේ එල්ලලා තියෙන තහඩු කෑලි. හැබැයි යථාර්ථයට මුහුණ දෙනකොට මේවා ඔක්කොම ගැලවිලා යනවා.

0 comments:

Post a Comment