මග තොටේ ඔබ දකින ගැහණියයි
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගේ අගේ ඔබ මට මැ අගේ
විශාරද නන්දා මාලිනිය ජනතාවාදී කලාකාරියක ලෙස කලක පටන් හඳුන්වන්නේද ඈ රටේ තැලෙන, පෑගෙන අසරණ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නියක නිසාය. ඊට ඇගේ පවුල් පසුබිමද හේතු වන්නට ඇත. ඈ හැදී වැඩුණේ කොටහේන කාසෙට්‌ටි වත්තේ දුප්පත් මුඩුක්‌කු ගෙදරකය. පියා කෝට් බාස් කෙනෙකි. නැතිනම් කබා මහන සන්නාලියෙකි. කබා මසා ඉතිරිවන රෙදි කැබලිවලින් පියා කොට කලිසම්ද මසයි. අහල පහල ඇති හැකි නිවෙස්‌වලට ගොස් ඒ කොට කලිසම් විකිණුවේ අද අප ඉදිරියේ දැවැන්ත චරිතයක්‌ව සිටින නන්දාය. එදා සමහරු ඇයට දොර වැසූහ. නිවසටවත් වැද්දා ගත්තේ නැත. අද ඇයට ඕනෑම දොරක් විවෘතවී ඇත. ඇය නිවෙසකට එන්නේ නම් ඒ තරම් ගෞරවයක් නිවැසියෙකුට තවත් ඇද්ද? දෛවය කැරකෙන්නේ එළෙසිනි. එදා අත්විඳි අසරණකම පුංචි මිනිසාගේ දහඩිය කඳුළ ඇයට තවමත් හුරු පුරුදුය. ඈ ඒ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නේ ඒ නිසාය.
දහසක් ඉපදී මියයන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මා මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි
මියෑදෙන්නේ නැත්තේ කවුද. අපි හැම මිය යන්නෙමු. ඒත් අපේ ක්‍රියාකාරකම් මිය නොයන්න වුන් සේය. මියයන බව පසක් කරගෙන සිටින ඈ ඒ ගැන ගයන්නීය. ඈ වැන්නවුන් නොමියෙන්නේ ඒ නිසාය.
අවුරුදු විසි දෙකකට පසුව ඇය ඒකපුද්ගල ගීත ප්‍රසංගයක් ඇරැඹුවාය. අවුරුදු දෙකකට කලින් ශ්වේත රාත්‍රිය නමින් අරඹන්නේ ඒ ප්‍රසංගයයි. දැන් එහි සමාප්තිය එළඹ තිබේ. ශ්වේත රාත්‍රියේ ගතවූ ප්‍රසංග විසිහතරට මෙන්ම ඉදිරි අවසන් ප්‍රසංග දෙක දැසින් දකින්නටද පිරිස පොරකති. අපේ රටේ සුභාවිත ගී පිපාසාවෙන් මෙතරම් සෙනඟක් සිටීද... පුදුමයකි.... සතුටකි.
සුභාවිත ගීය දසත සුවඳ හමන මලක් සේ පිපී හිනැහෙද්දී ඒ මල යටකර දමා අවරගනයේ ගීය නමැති හතු පිපෙන්නට විය. හොඳ ගීය ජන සවනින් මෑත් කර කුණු ගීය සවනට සමීප කරවන්නට අපේ රටේ එෆ්.එම්. චැනල්වලට තරගයක් තිබිණි. මේ තරගය ඇරැඹුවේ සිරස එෆ්.එම්. බව කණගාටුවෙන් හෝ නොකියාම බැරිය. සිරස අලුත් වැඩක් කරන්නට උපන් හපන් නාලිකාවකි. ඔවුන් කළ හොඳ වැඩ සේම නරක වැඩද සෙසු නාලිකා කොපි කරන්නට විය. හොඳ ගීය යට කරමින් කුණු ගී මතු කරන්නට සෙසු නාලිකාද පටන් ගත්තේ ඒ අනුකරණ පුරුද්දටය.
එහෙත් සිරස එෆ්. එම්. වරද පිළිගත්තේය. තමන් කළ වරද නිවැරදි කිරීමේ යහපත් කටයුත්තට ඔවුන් නොපමාව අතගැසීය. ඒ අනුව සිරස යළි සුභාවිත ගීයට තැන දෙන්නට පටන් ගත්තේය. ඒ ගැන නන්දා මාලිනිය මෙසේ කියන්නීය.
සිරස අවරගනයේ ගීතවලට පත් වුණා වගේම හොඳ වැඩත් කළා. නැවතත් බුද්ධිමත් ශ්‍රාවකයාට යම්කිසි හොඳ දෙයක් දිය යුතුය යන අදහසින් සිරස මියෑසි අරණ, මියෑසි තටාකය, පහන්කන්ද වැනි වැඩසටහන් කරද්දී තමයි "ශ්වේත රාත්‍රියට" මට ආරාධනා කළේ. ඒක මට ලොකු අවස්‌ථාවක් වුණා. මට තනිව ප්‍රසංගයක් කරන්න ශක්‌තියක් නෑ. "ශ්වේත රාත්‍රිය" පිළිබඳ අපි මාස දහයක් සාකච්ඡා කළා. අන්තිමේ අපි කැමැති ලෙස ප්‍රසංගය කරන්න සිරස කැමැති වුණා.
සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙළන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුන කුසුම්
ශ්වේත රාත්‍රියට ඒ නම යෙදුනු ආකාරයත් අපූරුය. නම් කිහිපයක් කිහිප දෙනෙකුම යෝජනා කර ඇත. ඒ සියල්ල ලියූ තුණ්‌ඩු උඩ දැමීමෙන් පසු නන්දා මාලිනිය එක තුණ්‌ඩුවක් ඇහිඳ ගත්තාය. එය දිලීප අබේසේකර විසින් යෝජනා කළ නම ඇති තුණ්‌ඩුවය. එය ශ්වේත රාත්‍රිය විය.
නන්දා මාලිනිය ශ්‍රවණාරාධනා ප්‍රසංගය කළේ පණ්‌ඩිත් අමරදේවයන් සමගිනි. ඒ නවසිය හැත්තෑ එකේ අගෝස්‌තු 26 දා ඇරැඹි ශ්‍රවණාරාධනා පස් මසක් සාර්ථකව පැවැත්විණි. ඉක්‌බිති අමරදේවයන් ඉන් නික්‌ම ගියහ. නන්දාවන් හැත්තෑ තුනේ ජනවාරි 19 දා පටන් ශ්‍රවණාරාධනා තනිව කළාය. හැත්තෑ නවයේ මැයි 22 දා පන්සිය තිස්‌වැනි ප්‍රසංගය පවත්වා ශ්‍රවණාරාධනාවෙන් ඕ සමුගත්තාය.
පිනි විසිරෙන විට වටහාගනු මැන
දෙනෙතින් කඳුලැල් ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්...
ප්‍රේමය, විප්‍රයෝගය... දුක, වේදනාව ගීයෙන් ගයන්න ඈ තෝරා ගත්තේ සත්‍යයේ ගීතයයි. අසූ එකේ අගෝස්‌තු 29, 30, 31 අඛණ්‌ඩව දින තුනක් ලුම්බිණි රඟහලේ පවත්වමින් සත්‍යයේ ගීතය ඇරැඹු ඕ... හරියටම වසර තුනක් ගිය තැන අසූ හතරේ අගෝස්‌තු 29, 30, 31 තෙදින ලුම්බිණි රඟහලේදීම ඉන් සමුගත්තාය.
අසූ හත, අසූ අට, අසූ නවය මෙරට අධර්මිෂ්ඨ යුගයකි. භීෂණයෙන් වෙළාගත් කාලයකි. තරුණ සිරුරු මහමග තැන තැන දැවෙන්නට පටන් ගත්තේය. මව්වරු තම තරුණ දූ පුතුන් ගැනත් බිරින්දැවරු සැමියන් ගැනත් දැඩි වේදනාවෙන් යුක්‌තව සිටි කාලයකි.
මගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුළාවෙන් සිටින්නී
විමුක්‌තිය නාමයෙන් හඬන්නී
දැවෙන සිත් සතන් සනසාලන්නට සිතන්නී... ඈ පවනක් වී ආවාය. අසූ හත ජුනි 26, 27, 28 අඛණ්‌ඩව දින තුනක් ලුම්බිණි රඟහලේ ඉදිරිපත් කරමින් ඕ පවන ඇරැඹුවාය.
"පවන" ගැන නන්දා මාලිනිය මතකය අවදි කළාය. "අලුතින්ම ගීත විසිපහක් හදලා අලුත්ම තනුකරලා තමයි පවන කළේ. අපි කතා කළේ අපේ දේශපාලනය. එදා ඒ පීඩාවෙන් අපිත් වින්දා. මේ ගීත විසිපහම ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. පවන කරද්දී අපි හුඟක් මෝරලා. අදහස් උදහස් මෝරලා. අපිට දේශපාලන චින්තනයක් තිබුණා. රටේ පැවැති අඳුරු යුගය, අයුක්‌තිය, අසාධාරණය, භීෂණය මේ හැම දෙයක්‌ම කියන්න පවන අපට වේදිකාවක් වුණා. ඒත් පවන අපට දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවුණා. අසූඅටේ දෙසැම්බර් 11, 12, 13 දර්ශන තුනක් පවත්වා පවන අවසන් කරන්න තීරණය කළත් පැවැති වාතාවරණය අනුව එය කළ නොහැකි බව තේරුණා. අපි කඩිමුඩියේ පවන යුගල කැසට් දෙකක් හදලා එකොළොස්‌වැනිදා ලුම්බිණියේ 3.30 දර්ශනයක් පමණක් පවත්වලා කැසට් පට එළියට දැම්මා. පවන එතැනින් නැවතුණා.
සඳ එළිය ගඟක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඬු නටයි
අනේ අපි කවදාක
හිනැහෙමුද ඒ රටේ
හිනැහෙන මිනිසුන් ඇති රටක් උදෙසා ගී ගැයූ ඇයට භීෂණය හමුවේ මව්බිම අතැර යන්නට සිද්ධ වූවාය. ඈ පමණක්‌ද නොව ධර්මිෂ්ඨ රාජ්‍යයක් උදෙසා තරුණයන්ගේ විමුක්‌තිය උදෙසා පවනට ගී ලියූ මහැදුරු සුනිල් ආරියරත්නයන්ටද ඈ සමගින්ම රටින් පිටව යන්නට සිදුවූවේය.
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි
හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ
විශාරද නන්දා මාලිනිය ඇගේ සිව්වැනි ඒකපුද්ගල ගී ප්‍රසංගය "ශ්වේත රාත්‍රිය" අරඹන්නේ පවනින් වසර විසි දෙකකට පසුවය. අවරගනයේ ගී වලින් පිරී පවතින කතරක අතරමංව සිටින ශ්‍රාවකයාට ශ්වේත රාත්‍රිය දිය පොදක් වන්නට පටන් ගන්නා බව ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැති පළමු ප්‍රසංගයෙන්ම පසක් විණි. රඟහලේ ගේට්‌ටු සහ තාප්ප මතින් පැන ශාලාව වෙත පැමිණෙන්නට පොර කෑ රසික පිරිස් අස්‌වසාලමින් ප්‍රවේශ පත්‍ර ඇති නැති සියලු දනන්ට ශ්වේත රාත්‍රිය නරඹන්නට එදා සිරස ඉඩකඩ සැලැසීය. ජෝන් ද සිල්වා රඟහලේ අසුන් අතර ඇති හිඩැසේ බිම හිඳ... මේ පිරිස දැහැනකට සමවැදුණු සේ ශ්වේත්‍ර රාත්‍රිය විඳිද්දී මේ ඉන්නේ මොහොතකට පෙර රඟහලේ ගේට්‌ටුව අසල කළ කෝළහාල කළ පිරිසමදැයි සැක සිතිනි.
ඈ ගී ගැයුවාය. ශ්වේත රාත්‍රිය ප්‍රසංග වාර විසි හතරකට රට පුරා සැරි සරමින් නන්දා මාලිනිය ගී ගයද්දී සිරස එය මාකටිං වැඩක් බවට පත්කර නොගැනීම ආදර්ශයකි. පැසසිය යුත්තකි. ශ්වේත රාත්‍රිය වේදිකාවේ හෝ ශාලාව තුළ කිසිදු වෙළෙඳ ආයතනයක දැන්වීමක් නැත. අඩුම තරමේ සිරස ලාංඡනය ද නැත. ශ්වේත රාත්‍රිය ඔවුන් ඒ තරමටම ගරු කොට සැලකූහ. එය සුභාවිත ගීය රැක ගැනීමට සිරස ඉදිරිපත්වන බවට ඉඟියක්‌දැයි සිතේ. එය එසේමනම් මෙතෙක් සිරස අනුකරණය කළ අනෙක් නාලිකාද සිරසේ මේ ප්‍රයත්නය අනුකරණය කළ යුතුමය.
ශ්වේත රාත්‍රිය 14 වැනිදා අවසන් වේ. ඉන්පසුව නන්දා මාලිනිය කුමක් කරන්නීද... සමාජය සුවපත් කිරීමේ මෙහෙවරින් ඕ යළි ඈත් වන්නීද...
සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි
වෙරළ වෙත සැපත් මා
දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි නිවාලන්න
යාත්‍රාව පදවන්න මා සමග එක්‌වන්න...
අද සමාජයටත් පවනක අවශ්‍යතාව ඉපිද ඇත. ඒත් ඒ සඳහා ඈ සූදානම්ද යන්න ප්‍රශ්නයකි.
අද සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මගේ කිසිම ප්‍රියතාවක් නෑ... මම ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ. ඒත් මගේ විෂය වන ගීතය තුළින් පක්‍ෂ පාට භේද නැතිව කතා කරනවා. මේ යන රටාව අනුව පවන වැන්නකට වැඩි බරක් තියෙනවා. වෙනසක් ඇත්තටම ඕනෑ. ඒ වෙනස කොයි විදිහද කියන්න මට තේරෙන්නේ නෑ. පවනම ආයේ කරන්නත් බැහැ. පවනේ ගැයූ ගීත මම ශ්වේත රාත්‍රියේත් ගායනා කළා. දැන් මම හුස්‌මක් ගත යුතුයි.
විලක් උනත් නිල් දියරැළි විලක් නොවේ
මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසළොස්‌වක සඳක් නොවේ
රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ
ශ්වේත රාත්‍රිය සජීවීව බලන්නට කැමති ඒත් ඊට අවස්‌ථාව නොලද තවත් සුවිශාල පිරිසක් සිටී. ඒ අය වෙනුවෙන් ශ්වේත රාත්‍රිය සමුගැනීමේ ප්‍රසංගය සජීවී පටිගත කිරීමක් තව මසකින් ඩීවීඩී තාක්‍ෂණයෙන් එළිදක්‌වන්නටද සූදානම්ය.
විවේකයක්‌ද නොලබා එක එල්ලේ ගීත විසිපහක් ඈ "ශ්වේත රාත්‍රියේදී" ගයන්නීය. පසුබිම සිට ඇයට සංගීතය සපයන සුරේෂ් මාලියද්ද ඇතුළු වාද්‍ය ශිල්පීන්ද ඇගේ ගී හඬින් පෙර නොලැබූ ජීවයක් ලැබ සිටී.
ශ්වේත්‍ර රාත්‍රිය ප්‍රසංගය ඈ අරඹන්නේද ප්‍රේක්‍ෂකාගාරය අමතමිනි. ඒ කලා වැවේ වටිනා ජල බිඳක් බෝධියේ අගනා බෝ පතක් තරමටම ශ්‍රාවකයා සලකමිනි. ඈ ශ්වේත රාත්‍රිය නිමා කරන්නේ සුරම්‍ය වූ සඳකිරණට සෞම්‍ය තරු එළියකට ප්‍රේක්‍ෂකයා සම කරමිනි.
ඔබයි රම්‍ය සඳකිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...
අජිත් අලහකෝන් - Divayina
0 comments:
Post a Comment