----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දැන්ද ඇහැරුණේ ?...

Sunday, April 28, 2013


දැන්ද ඇහැරුණේ ?...

‘දෙරණ’ T.V සභාපති ලක්සිරි වික්‍රමගේ
* දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිළිබඳ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ මුලින්ම ඔබේ අදහස දැන ගන්න කැමතියි...?
ඒ ප්‍රකාශය එතරම් පැහැදිලි නෑ. අනෙක එතන හිටපු අය ඒ අදහසට විරුද්ධවනේ තමන්ගේ මතය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම චන්න පෙරේරා වැනි තරුණ පෙළ නියෝජනය කරන කලාකරුවෙක්. එතන තිබ්බේ මියුසික් වීඩියෝ සම්මාන උළෙලක්නේ. ඒ කියන්නේ වීඩියෝවලට තමයි සම්මාන දුන්නේ. ඳයුසික්වලට නෙවෙයි. හරි. මට පැහැදිලි වුණ දේ තමයි සෝමරත්න දිසානායක මහතා කතා කළේ ඒවායේ මියුසික් නැතිනම් ගී පදමාලා ගැන. හරිද? එතුමා ඇහුව ප්‍රශ්නය තමයි ‘මේකද ලංකාවේ මියුසික් කියන්නේ’ කියලා.
* අපටත් ඒකම අහන්න වෙනවා?
උත්තර භාරතීය සංගීතයත් ලංකාවේ මියුසික් නෙවෙයිනේ. ඒක ඉන්දියාවේ. එතකොට ලංකාවේ මියුසික් එහෙමනම් ජන සංගීතය විතරයි. අපි සුනිල් ශාන්තයන් ගම්මුකෝ. සුනිල් ශාන්තයන් පවා ඔය කියන ක්‍රමයට විරුද්ධ වෙලානේ ගුවන් විදුලි සංස්ථාවෙන් එළියට බැස්සේ. එතුමා ඕකට කිව්වේ ‘ලංකස්ථානී’ කියලා. මෙතනදි අපි කළේ නොයෙක් සංගීත ශෛලීන්ගෙන් නිර්මාණය වූ මියුසික් වීඩියෝස්වලට සම්මාන පිරිනැමීම. අපි එය එක් භාෂාවකට සීමා කළේ නැහැ. උදාහරණයකට ගන්න ඉරාජ් ගේ ගීතය. ඒ ගීතය ඇතුළේ නේපාල භාෂාවයි, ඉංගී‍්‍රසි භාෂාවයි, සිංහල භාෂාවයි තුනම තියෙනවා. එතකොට ගිය අවුරුද්දේ මාල දිවයිනේ ජනපි‍්‍රයම ගීතය නිර්මාණය කරලා තියෙන්නේ ඉරාජ්.
* ඔබ ඒ ජනපි‍්‍රයත්වය මනින නිර්ණායකය කුමක්ද?
දැන් ඔය චාට් ෂෝ කියලා තියෙනවානේ. ඒවායේ උඩටම ආපු ගීතයක් මේ. මේක මාලදිවයින් භාෂාවෙන් ඉරාජ් කරපු ගීතයක්. අපිට දර්ශනයක් තියෙනවනේ ‘ක්ෂිතජයෙන් එහා ලෝකය දකින තරුණයෝ’ කියලා. හරි. එතකොට දැන් බලන්න අපේ සම්මාන උළෙලට ජය ශ්‍රී ලා අවේ ඉතාලියේ ඉඳලා. ඒ වගේම චිත්‍රාල් සෝමපාල අවේ ජර්මනියේ ඉඳලා ඔවුන් තමයි ලෝකය ජය ගත්ත ශ්‍රී ලාංකික සංගීතඥයෝ වෙන්නේ. එතකොට ආර්. එම්. දිනේෂ් කියන්නේ ලංකාවෙ කොල්ලෙක්. මේ දවස්වල එයා පිටරට ඉන්නේ. ‘කඩෙල්’ කියන මනිරත්නම් ගේ චිත්‍රපටයේ ඒ. ආර්. රහුමන් ගේ සංගීතයට ‘වගුඩි කියන ගීතය ගායනා කරන්නේ එයා. අපේ සංගීත උළෙලෙත් එයාගේ ගීතයක් නොමිනේට් වුණා. ඒ තමයි ජාත්‍යන්තරය ජයගත්ත අපේ තරුණයෝ.
* නමුත් ඔබ කියන ඔය නිර්මාණවල ‘දේශීය අනන්‍යතාවක්’ තියෙනවද? සෝමරත්න දිසානායක මහත්මයාගේ චෝදනාවත් ඕකමනේ..?
මුලින්ම කියන්න ඕනෑ සෝමරත්න දිසානායක කියන්නේ අපේ හොඳ හිතවතෙක්. එතුමන් එක්ක අපේ කිසිදු පෞද්ගලික අමනාපයක් නෑ. මේක මතවාදී ගැටුමක් විතරයි. එතුමා එදා කළ ප්‍රකාශය අපි හෙළා දකින්නේ නෑ. ඒ වේදිකාව තිබුණේ ඒකට තමයි. නමුත් එතුමාගේ අදහසට ගරු කරනා ගමන් අපි අපේ මතයත් මෙසේ ගෙන හැර දක්වන්න ඕනෑ. දැන් ඔබේ ප්‍රශ්නයට යමු. සංගීතය විශ්ව භාෂාවක් කියන එක තමයි අපි පිළිගන්නේ. මොකද එහෙම නොවුනොත් අපට ජාත්‍යන්තරයට යන්න බෑනේ.
* නමුත් අපි ජාත්‍යන්තරයට යායුත්තේ “අපේකම” රැකගෙන නේද?
ඔව් ඒ නිර්මාණවල බොහෝවිට අපේකම තියෙනවා. සෙන්ටිග්‍රේඩ්ලාගේ සමහර ගීතවල තියෙන්නේ අපේ ජන සංගීතයේ මූලාශ්‍ර. එතකොට භාතිය සන්තුෂ්ලගේ “රන් කුරහන් මල” ගීතය ගන්න. එතැන අපේකම නැද්ද? ඒ වගේ තව උදාහරන ඕනෑතරම් තියෙනවා. නමුත් අපි ඔවුන්ට මේ සම්මාන උලෙළේ විශේෂ සම්මානයක් පිරිනැමුවේ ඒ නිර්මාණ පක්‍ෂය සලකා බලලා නෙවෙයි. භාතිය සන්තුෂ් කියන්නේ මේ වීඩියෝ පරම්පරාවේ ආරම්භකයෝ නිසා. මේක වෙනම පරම්පරාවක් මේ මියුසික් වීඩියෝ පරම්පරාව.
* ඒ පරම්පරාව ඉහළට ඔසවා තැබීමයි මේ. සම්මාන උළෙලේ අරමුණ වුණේ...?
ඇයි එතකොට අමරදේවයන්ට, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ වැනි ප්‍රවීණයන්ට සම්මාන නැත්තේ කියලානේ ඔබ ඔය අහන්නේ. හරි පැහැදිලි උත්තරයක් එතැන තියෙනවා. ගිය අවුරුද්දේ නිර්මාණය වුණ ඒගොල්ලන්ගේ මියුසික් වීඩියෝස් නැහැ. ගීතය දෘෂ්‍ය මාධ්‍යයට එනකොට වීඩියෝ නැතුව බැහැනේ. ඔය රාගධාරි සම්ප්‍රදායේ ගීතවලට තමා මමත් වැඩිපුර කැමැති. මම අමරදේවයන්ට කැමතියි. ඒ වගේම ජෝතිපාලටත් කැමැතියි.
* කොහොම වුණත් මේ සම්මාන පිරිනැමුණේ ගීතයේ ගුණාත්මක පාර්ශවය සලකා බලා නෙවෙයි. එහි රූප රචනයට. එතකොට මේවා නිර්මාණාත්මක අතිනුත් ඉහළ මට්ටමේ තියෙනවා කියලද ඔබ කියන්නේ...?
නැහැ, සමහර ගීත පිළිබඳ අපටත් ගැටලු තියෙනවා. ඇතැම් ගී පදමාලා හොඳ මට්ටමක නෑ. ඉතින් එහෙම දේවල් හොඳයි කියලා අපට නිර්දේශ කරන්න බෑනේ. අපි ඒ ඒ අංශයන්ට සම්මාන නොදුන්නේත් ඒ නිසයි. හැබැයි සංගීතය විශ්ව භාෂාවක්ය කියනතැන ඉඳන් බැලුවොත් අපට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. එතනදි ප්‍රමුඛතාව හිමිවන්නේ සංගීත පාර්ශවයට. දැන් බලන්න ඒ. ආර්. රහුමන් ඉන්දියාවේ සම්ප්‍රදායික සංගීත ක්‍රමවන ක්වාලී එතකොට ගඛසල් බටහිර සංගීත ශෛලිය එක්ක මුසුකරලා ඒක ලෝකෙට අරන් ගිහින් තියෙනවා. ඇකඩමි සම්මාන ගන්න තත්ත්වයට පවා ගිහින් තියෙනවා. ඒ නිසා මෙතනදි පැහැදිලිව කියන්න ඕනෑ අපි රූප රචනයට නෙවෙයි ගීත රචනයටයි සම්මාන දුන්නේ.
* එතකොට හොඳ ‘මෙලඩි පවර්’ එකක් නැති දුර්වල පදමාලාවක් සහිත ගීතයකට වුණත් හොඳම මියුසික් වීඩියෝව විදිහට සම්මාන ලැබෙන්න පුළුවන්...?
ඔව්... ඔව්... අනිවාර්යයෙන්ම. ඒත් අපිටත් ප්‍රශ්න තියෙනවා. ඕවයේ පදමාලා ගැන. ඒ වුණාට මම මුලිනුත් කිව්වා වගේ පදමාලාව බලන්නේ නැහැනේ. රූප රචනයට නේ සම්මාන දෙන්නේ.
* ගීතයේ ප්‍රමිතිය රැකගන්නවා වෙනුවට ඇයි එහෙම ක්‍රමවේදයකට ඔබ ගියේ...?
නෑ, එහෙමනම් අපි සංගීත සම්මාන උළෙලක් තියන්න ඕනෑ. මම එදාමත් කිව්වා. ඒක බොහොම බරපතළ කාර්යයක්. අපි තවම එතැනට ඇවිත් නෑ. ඒ නිසයි මේක මියුසික් වීඩියෝ සම්මාන උළෙලක් විදිහට අපි පැවැත්තුවේ. මෙතනදි සම්මාන දෙන්නේ රූප රචනයට, සංස්කරණයට, වගේ ඒවටනේ. බෙස්ට් පර්ෆෝමන්ස් කියලා අපි සම්මානයක් දීලා තියෙනවා. ඒ ගායකයා හෝ ගායිකාව කළ හොඳම රඟපෑමට. කිසිම වෙලාවක හොඳම ගායනයට, හොඳම ගීත රචනයට, හොඳම තනුවට අපි සම්මාන දුන්නේ නෑනේ.
* එතකොට මොකක්ද ඔබේ අරමුණ මේ රූප රචනයට එහෙම නැතිනම් විෂුවල් එකට සම්මාන පිරිනැමීමේ....?
ඒක ඉතාම පැහැදිලියි. සංගීත ක්‍ෂේත්‍රය අදවිශාල කර්මාන්තයක්. මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ රුපියල් බිලියනයක විතර පිරිවැටුමක් තියෙනවා. මම ඒක හරියටම ගණන් බලා නෑ. මේකේ නියැළිලා ඉන්නවා විශාල තරුණයෝ සංඛ්‍යාවක්. එතකොට අපේ ටෙලිවිෂන් කර්මාන්තයත් ඒකෙන් පෝෂණය වෙලා තියෙනවා. ඕනෑම ටෙලිවිෂන් චැනල් එකක නිකං තියෙන වෙලාවක් බැලුවොත් ඒකෙ ගහන්නේ මියුසික් වීඩියෝ. එතකොට මේකෙ නියැළිලා ඉන්න තරුණයෝ අලුත්, අලුත් දේවල් කරනවා. ඔවුන් දිරිමත් කිරීම තමයි අපේ අරමුණ වුණේ.
* ඔය මොනවා කළත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකීම කාගේත් යුතුකමක් සහ වගකීමක් නේ..?
මට කියන්න මොකක්ද ලාංකික අනන්‍යතාවය කියන්නේ. හින්දුස්ථානී රාගධාරී සම්ප්‍රදායට ද?
* අපි මහා සම්ප්‍රදාය හැටියට පිළිගන්නේ එයනේ. දැන් අපි සුභාවිත ගීතය කියා හඳුන්වන්නේ ඔය කියන සම්ප්‍රදායේ මුලාශ්‍රවලින් බිහි වූ නිර්මාණවලටනේ.?
ඒක වෙනම සබ්ජෙක්ට් එකක්නේ. සුනිල් ශාන්තයන් ගුවන් විදුලියෙන් එළියට බැස්සේ ඔය පටු ආකල්ප නිසානේ. ඊළඟට ඔය සම්ප්‍රදායෙන් මිදුණ කොච්චර අය අපට හිටියද? සී. ටී. ප්‍රනාන්දු, ක්ලැරන්ස්, රූකාන්ත වගේ අය දැන් ගිය අවුරුද්දේ ලෝකයේ ජනපි‍්‍රයම ගීතය මොකක් ද කියලා ඔබතුමා මට කියන්න.
* ඔබතුමාම කියන්නකෝ?
Gangnam Style කියන කොරියන් ගීතය. හැබැයි ඒකේ භාෂාව විතරයි කොරියන්. ඒකේ ශෛලිය ‘හවුස්’ කියන සංගීත සම්ප්‍රදායය. අපි රෙගේ සම්ප්‍රදායට බිහිවුණ ගීතවලට සම්මාන දුන්නා. එතකොට ‘රෙගේ’ කියන්නේ මොකක් ද? ජැමෙයිකන්. ඒකනේ සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ. දැන් ඔය කියන හින්දුස්ථානි රාගධාරි සංගීතයෙන් බිහිවන ගීතවලට ඒ අය බේස් ගිටාරය ගහන්නේ නැතිද? ඩ්‍රම්සෙට් එක ගහන්නේ නැතිද? ඔය ඇවිල්ලා බොහොම පටු දෘෂ්ටියක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වගේ අයත් බටහිර සංගීතයෙන් නොමඳ අභාසයක් ලැබුවා. එතකොට සිම්ෆනි, ඔපෙරා, කැන්ටාටා කියන්නෙත් අපේ අනන්‍යතාවයද?
* සම්මාන උළෙලකට වඩා රාත්‍රී සමාජ ශාලාවක මුහුණුවර තමයි එහි තිබුණේ කියා සෝමරත්න දිසානායක මහතා චෝදනාවක් එල්ල කළා. විශේෂයෙන්ම තරුණියන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන..?
එතකොට ෆිල්ම් ෆෙයාර් වගේ සම්මාන උළෙලකට ඒ වගේ පිරිස් යන්නේ කුර්තා ඇඳගෙනද? ඔයා නිකං 60, 70 ගණන්වල ‘සරසවිය’ සම්මාන උළේලේ පින්තූර ටිකක් බලන්න. ගාමිණී ෆොන්සේකලා ජාතික ඇඳුම ඇඳගෙන ආවේ නෑනේ. ටයිපටි නෙවෙයි බෝ එක දාගෙනයි ඉන්නේ. එතකොට සම්මාන උළෙලවලට කොටට අඳගෙන ආපු අය නැතිද? ඒ ග්ලැමර් එක ආයිත් කළාම ජනතා ආකර්ෂණය නැතිවෙලා යනවනේ. එතකොට දේශීය අනන්‍යතාවයක් තිබුණේ නෑ කියන්න පුළුවන්නේ ඒ ‘සරසවිය’ සම්මාන උළෙලවලත්. ඔය වගේ කතා කියලා තමයි දේශීය සිනමාව කඩා වැට්ටුවේ. ඒවට ඇහුම්කන් දුන්නොත් මේවත් කඩා වැටෙයි.
* ඔය සම්මාන උළෙලට පැමිණි අපේ ප්‍රවීණ ශිල්පීන් කිසියම් තාවකාලික උගුලකට හසුවී ඇති බවටත් දිසානායක මහතා චෝදනා නඟනවා..?
එකක් කියන්න ඕනෑ. අපි ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල මේ පවත්වන හතරවැනි වතාව. මේ ගොල්ලන්ගේ අවබෝධය බලන්න. දැන්ද ඇහැරුණේ. වටපිට ගැන, රටේ තොටේ වෙන්නේ මොනවද කියලාවත් දැනගෙන හිටියේ නැද්ද මෙච්චරකල්. එක්තරා සම්මාන උළෙලක දී අපි ගාව රෙකෝඩිස් තියෙනවා, තිස්ස අබේසේකරයන් ඉතාම ඉහළින් භාතිය, සංතුෂ්ලාව අගය කළා. ඔය කට්ටිය ඔක්කෝම පළවෙනි සම්මාන උළෙලෙදී එය අගය කළා. දැන් මේ අවුරුදු හතරකට පස්සෙයි වැරැදි කියන්නේ. ජනපි‍්‍රය වේගෙන එන දේට පහර ගහනවා. ඒක තමයි අපේ රටේ හැටි. මේ ගොල්ල බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් තුළින් යම් යම් නීති රීති පනවලා මේවට තියෙන ජනතා ආකර්ෂණය නැති කරන්න. ඒක තමා සිනමාවටත් වුණේ. එහෙම වුණාම ඒ අයට සනීපයි. එතකොට ඒ අයගේ දේවල් කරගෙන ගියෑකිනේ.
* ඔබ කියන්නේ සෝමරත්න දිසානායක මහතා උත්සාහ කරන්නෙත් ඔය කියන කාරනාව ඉෂ්ට, සිද්ධ කර ගන්නද..?
ඒක මම දන්නේ නැහැ. මට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි එවැනි අතපෙවීම් තුළින් වෙන්නේ ඒක තමයි. දැන් යන්නේ වෙනම ගීත රැල්ලක්නේ. අපි සම්මාන දුන්නේ ඒ මියුසික් වීඩියෝස්වලට. මේවායේ ජනපි‍්‍රය ලක්‍ෂණ ඉවත් කළාම ඒ කර්මාන්තය කඩා වැටෙනවා. අද ඩවුන්ලෝඩ්ස්වලින් මිලියන දහය, දොළහ මුදල් උපයන ගායකයෝ, ගායිකාවෝ ඉන්නවා. B.M.W කාර්වල ඔවුන් යන්නේ. ඉතින් ඒක හොඳයිනේ. එහෙමනේ වෙන්න ඕනෑ. නැතිව ඒකටත් කොක්ක ගහලා වැඩක් නෑනේ.

0 comments:

Post a Comment