----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සංස්කෘතික අපරාධයක්...

Sunday, April 28, 2013


සංස්කෘතික අපරාධයක්...

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක
* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?
මම හිතනවා ඒ කළ දේ හරියි කියා. මා කළ ප්‍රකාශය පිළිබඳ මම පසුතැවෙන්නේ නැහැ. සම්මාන උළෙල පිළිබඳ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට අපට වේදිකාවට ආරාධනා කරනවනේ. එතනදි තමයි මම ඒ ප්‍රකාශය කළේ. එදා මම මේ සම්මාන උළෙල හොඳයි, සාර්ථකයි කියලා වර්ණනා කරලා ආවනම් මම හිතනවා ඒක වැරැද්දක්. මොකද මගේ හෘද සාක්‍ෂියටත් ඒක විරුද්දයි. මම ගරු කරන අපේ රටේ දේශීය, සංගීත සම්ප්‍රදායටත් විරුද්ධයි. එතනදි මම අදහස් කළේ දෙරණ ආයතනයට පහරක් ගැසීමට හෝ ඔවුන් හෙළා දැකීමට නොවෙයි. ඔවුන්ට සිදු වූ මේ වැරැද්ද නිවැරැදි කිරීමේ සත් පරමාර්ථයෙන්.
* එතකොට ‘දෙරණ’ නාළිකාව එක්ක ඔබේ අවුලක් නැහැ?
ඇත්තෙන්ම ‘දෙරණ’ හොඳ නාළිකාවක්. එය සමහර අංගයන්ගෙන් සෙසු නාළිකාවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. කාලීන සිදුවීම් හා සංස්කෘතික අංගයන් සහිත හොඳ වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ බවත් සිහියේ තබාගෙන මෙතැනදි ඔවුන් නිවැරදි විය යුතු නිසායි මම එවැනි ප්‍රකාශයක් කළේ.
* මෙය නම්කර තිබෙන්නේ ම ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල කියා. එතකොට එහි ආකෘතිය හා කාර්යභාරය ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැද්ද?
නැහැ, එහෙම පෙර අවබෝධයක් තිබුණේ නැහැ. මේ ගොල්ල පවත්වන්නේ මොනවගේ සම්මාන උළෙලක් ද, එහි තිබෙන්නේ මොන වගේ රටාවක් ද කියන එක ගැන මට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. මීට පෙර තිබුණු සම්මාන උළෙලවලට මම සහභාගි වෙලත් නැහැ. අඩුම තරමෙන් රූපවාහිනියෙන්වත් දැකලා තිබුණේ නැහැ. ඇත්තෙන්ම එහෙම දැකලා තිබුණානම් මම එහි යන්නට පෙර ඒ ගොල්ලන්ට පොඩි අවවාදයක් දෙන්නත් තිබුණා. නැතිනම් ප්‍රතික්ෂේප කරන්නත් තිබුණා. ඒ සභාවේ මම වාඩිවෙලා ඉන්නකොට මට ඇහුන, සහ දැනුන දේවල් නිසා මම කම්පනයට පත් වුණා. ඒ මම අනුමත නොකරන දේවල්. මම අපේ රටේ සංස්කෘතිය, දේශීය සංගීතය සහ අපේ බාල පරම්පරාව ගැන වගකීමක් තියෙන පුරවැසියෙක් කියලා හිතනවා. ඒ පසුබිම තුළ හිඳගෙනයි මම අර වගේ ප්‍රකාශයක් කළේ.
* එදා ඔබ කළ ප්‍රකාශය අපේ පාඨකයන් වෙනුවෙන් මේ මොහොතේ සිහිපත් කරමුද?
‘මා මේ සභාවට ආවේ ප්‍රමාදවෙලා වුණත් මා පැමිණි මොහොතේ සිට මෙතෙක් මා ඇසූ, දුටූ දේවල් අනුව ප්‍රමාද වී පැමිණීම ගැන මම කනගාටු වෙන්නේ නෑ. මියුසික් වීඩියෝ අවෝඩ්ස් කියන්නේ සංගීත රූප සම්මාන කියන එක නම් අපේ රටේ සංගීතය මෙතැනදි නියෝජනය වෙනවාද කියන එක මට ප්‍රශ්නයක්.’ ඒ තමයි මම කළ ප්‍රකාශය. එතනදි කිිසිවක් ප්‍රකාශකර නොසිටීමට සිතා සිටියත් අනර්කලී මට යම් අදහසක් පැවසීමට ආරාධනා කළ පසු මගේ වැට බැඳ නැති කටෙන් ඒ වදන් පිටවුණා.
* තව දුරටත් ඔබ යමක් කිව්වා?
ඔව්.. මම අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා නිසා, කේන්ති ගැනීම මට අහිතකරයි. ඉතින් ලබන වසරේත් මේ සම්මාන උළෙල මේ ආකාරයෙන්ම පවත්වනවානම් ඊට ආරාධනා කරන්න එපා කියලා මම කිව්වා.
* සංගීතයේ විවිධ ශෛලීන් තියෙනවා. අනෙක කෙනකුගේ රුචිය තව කෙනෙකුට වහ කදුරු නොවෙන්නත් පුළුවන්...?
ඔව්, ලෝකයේ විවිධ සංගීත ශෛලීන්, සම්ප්‍රදායන් තියෙනවා. නමුත් ඕනෑම රටකට තමන්ගේ දේශයට ආවේනික අනන්‍යතාවක් තිබෙනවා. නිදහස තිබුණ පලියට විදේශීය අභාසයකින් දේශීය අනන්‍යතාවය විනාශ වෙනවානම් ඒක ජාතික අපරාධයක්. දේශීය සංගීතයට වසංගතයක් වූ අප්‍රිකානු, ලතින් අමෙරිකානු රැප්, රෙගේ හා තවත් මොනවදෝ කන්දොස්කිරියාවන් විනා එදා අපේ රටට ආවේනික වූ සංගීතයේ නියෝජනයක් සිදුවුණේ නැහැ.
* නමුත් අද තාරුණ්‍යය නැඹුරු වී සිටින්නේ සහ ඔවුන් නිර්මාණකරනයේ යෙදෙන්නේ එවැනි සංගීත ශෛලීන් ආභාස කොට ගනිමින් නේද?
කාගේ වරදකින් හෝ අද තාරුණ්‍යයේ සිතුම් පැතුම් එතැනට තල්ලු වී \;බනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ අයට කැමැති ගීතයක් අහන්න, කැමැති ඇඳුමක් අඳින්න, කැමැති නැටුමක් නටන්න නිදහස තියෙන්න ඕනෑ. නමුත් මම කියන්නේ ‘දෙරණ’ වැනි ජාතික නාළිකාවකින් දිවයින පුරා සජීවීව විසුරවා හරිනවා මේ මියුසික් වීඩියෝ සම්මාන උළෙල. අන්න එතනයි මම දකින වරද. මේක මේගොල්ල පුද්ගලික මට්ටමෙන් කර ගත්තට කමක් නැහැ. නමුත් මෙන්න මේවා තමයි අපේ රටේ සංගීතය කියලා පොදුවේ මුළු රටටම පෙන්නලා මේක තමයි අපේ සංස්කෘතිය සහ අපි සම්මාන දිය යුත්තේ මේවටයි කියලා කියනවානම් ඒක මම හිතන්නේ ජාතික අපරාධයක්.
* සංස්කෘතික ඝාතනයක් ලෙසත් ඔබ මෙය හඳුන්වා දී තිබුණා..?
ඔව්, එක අතකින් සංස්කෘතික ඝාතනයක්.
* ඔබ සුභාවිත ගීයට පි‍්‍රය කරන, ඒවා අගයන කෙනෙකු විදිහටයි මේ විරුද්ධ මතය ගෙනහැර පාන්නේ?
මම සුභාවිත ගීයට ආදරය කරන කෙනෙක් තමයි. ඒත් පැහැදිලිවම කිව යුතුයි මම අනෙක් සංගීත රටාවන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම කියන්නේ නෑ අපේ රටේ සංගීතය මේ ජන සංගීතය පමණක් විය යුතුයි, රාගධාරී සංගීතය පමණක් විය යුතුයි කියලා. ඒ මතයේ මම නැහැ. අපේ සංගීතයේ ජන සංගීතය, උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදාය, එතකොට බටහිර ශෛලිය මේවා ඔක්කොම සංකලනය වී තිබෙනවා. නමුත් මේ සම්මාන උළෙලේ සිදු වුණේ අපේ ජන ගායනා හෝ උත්තර භාරතීය සංගීතය හෝ අපි කියන ඔය සුභාවිත ගීතය අවප්‍රමාණයට ලක් කිරීමයි. එහෙම කිසිම සංගීත රටාවකට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එහි තිබුණේ අර නව පරපුරේ පොප් සංගීතය පමණයි. එවැනි නිර්මාණ කිහිපයක් උලුප්පා දක්වමින් මේක තමා අපේ සංගීතය කියා ජාතික නාළිකාවකින් සජීවීව මුළු රටටම පෙන්වපු එක වැරදියි කියලා තමයි මම කියන්නේ.
* ඉස්සර අපි ග්‍රැමෆෝනයෙන්, ගුවන් විදුලියෙන් අහපු ගීත අද රූපවාහිනියෙන්, වීඩියෝ මාධ්‍යයෙන් දකිනවා. රූප රචනය එහෙම නැතිනම් මේ විෂුවල් කියන මාධ්‍යය අද ගීතයක ජනප්‍රියත්වයට හේතුවන ප්‍රබල සාධකයක් වී හමාරයි. ඔබ කියන්නේ එවැනි අංගයක් ගීතයට අවශ්‍ය නැහැ කියලද?
අනේ නැහැ, මම කවදාවත් එවැනි කතාවක් කියන්නේ නෑ. රූප රචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද රූප රචනය කියන්නේ සංගීතයට එකතුවෙන හතරවැනි මානයක්. මෙතෙක් කල් අපට ගීතය සම්බන්ධව තිබුණේ පද රචනය, තනුව හා ගායනය කියන අංශ තුනනේ. දැන් මේ අලුතින් එකතු වූ ප්‍රවණතාව අපට බැහැර කරන්නට බැහැ. මම කියන්නේ ඒ තාක්‍ෂණය මඟින් අපේ සංස්කෘතිය, බාල පරපුරට අරුත් ගන්වන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතිනම් ඒ සංස්කෘතික අංගයන් ආරක්‍ෂාකර ගැනීමට අවබෝධයක් තියෙන්න ඕනෑ. මියුසික් වීඩියෝ කියන්නේ රූපනම් ඇයි අපට බැරි සුභාවිත ගීතයට ;හාඳ හරවත්, සංවේදී සාහිත්‍යමය රූපරචනයක් කරන්න. අපි එහෙම කරලත් තියෙනවා.
* නමුත් ඔබ කියන ආකාරයේ සුභාවිත ගීත අද තරුණ පරපුර වෙතින් බිහි වෙන්නේ නැහැනේ?
ඇයි නැත්තේ. ඉඳහිට හෝ එවැනි දේවල් වෙනවා. එහෙම නොවෙනවානම් අපි ඒවට උනන්දු කරවන්න ඕනෑ. එහෙම අතරින් පතර හෝ බිහිවුණ නිර්මාණ මේ සම්මාන උළෙලේ දී අවධානයට ලක් වී නැහැ. ඒ අය කියනවානම් සුභාවිත, නැතිනම් සම්භාව්‍ය ගීතයට එහෙම රූප රචනාවන් වෙලා නෑ කියලා මට උදාහරණ පෙන්වන්න පුළුවන්. මට පුළුවන් ලයිස්තුවක් දෙන්න. රූප රචනා කියන ඒවා එන්නේ රූපවාහිනියේ විතරක් නෙවේ. සමහරවිට චිත්‍රපටවල පවා එවැනි හොඳ රූප රචනා තියෙනවා. අද මේ තියෙන තාක්‍ෂණය එක්ක අපට විවිධ දේ මවා පාන්නට පුළුවන්. ඒ මවාපෑම හොඳයි. නමුත් ඒ මවාපෑම සහ තාක්‍ෂණික මෙවලම් පාවිච්චි කළ යුත්තේ කිසියම් හැඟීමක් උද්දීපනය වෙන ආකාරයෙන්.
* එතැනදි එහෙම දෙයක් වුණේ නැතිද?
එතන තිබුණේ ඝෝෂාකාරී සංගීතයයි, ගෑනු ළමයින්ගේ අඩ නිරුවතයි, නටන්න රිද්මයකුයි පමණයි. සංගීතය කියන්නේ ඕකට නෙවේනේ. ගීතයක් අහලා එහි තිබෙන නාද රටාවන්ට සහ පදමාලාවට අපි දැහැන්ගත වෙනවානම් ඒ රූප රචනයේ පවා සංයමයක් තිබිය යුතුයි. මේ අලුත් තාක්‍ෂණය පාවිච්චි කරලා උඩයට මාරු කරලා, ළමයි ඔළුවෙන් හිටවලා කැරකෙව්වට වැඩක් නෑ. ඒ තාක්‍ෂණය භාවිත කළ යුත්තේ ගීතයේ තිබෙන භාවයන් ප්‍රකාශවෙන එහෙම නැතිනම් කුළු ගැන්වෙන අයුරින්.
* ඔබේ හිතමිත්‍ර ජැක්සන් ඇන්තනි පවා මෙහි විනිශ්චය මණ්ඩලය නියෝජනය කළා?
මට විනිශ්චය මණ්ඩලය විවේචනය කරන්න බැහැ. මම දන්නේ නැහැ විනිශ්චය මණ්ඩලය ඇතුළේ මොන විදිහේ ප්‍රශ්න තිබුණාද, එකඟතා තිබුණාද කියලා. නමුත් විනිශ්චය මණ්ඩලයේ දෙදෙනෙක් අදහස් ප්‍රකාශ කළා. එතැනදි ඔවුන්ගෙන් කිසියම් පශ්චත්තාපයක් ප්‍රකාශ වුණා. ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වා සම්මාන උළෙලකදී විනිශ්චය මණ්ඩලය මුහුණ දෙන ගැටලු දෙකක් ගැන. එකක් තමයි තරගයට ඉදිරිපත් කෙරෙන සියලුම නිර්මාණ හොඳම මට්ටමේ තිබුණොත් කාටද සම්මාන දිය යුත්තේ කියන ගැටලුව. අනෙක් ගැටලුව තමා ඒ ඉදිරිපත් කරන නිර්මාණ සියල්ලම අන්තිම දුර්වල වුණාම කාටද සම්මාන දෙන්නේ කියන එක. ‘මම මේ නිර්මාණ ඒ දෙකෙන් කොයි එකටද අයත් වන්නේ කියා කියන්නේ නැහැ’ කියා ජැක්සන් පැවසුවා. මම හිතන්නේ ඔහු යම් ඉඟියක් දුන්නා. නමුත් ඒක සාමාන්‍ය ප්‍රේක්‍ෂකයාට තේරෙන්නේ නැහැ. දිලීප අබේසේකරත් යම් ඉඟියක් දුන්නා. නමුත් ඒවා මේ සාමාන්‍ය ජනතාවට ප්‍රහේලිකා විතරයිනේ. මට ඕනෑ වුණේ ඒ ප්‍රහේලිකාවක් නොවී සාමාන්‍ය ජනතාවට මගේ හැඟීම පුකාශ කරන්න. තමන්ට අප්‍රසාදයක් තියෙනවානම් ඒ අය දැනගන්න ඕනෑ තේරෙන භාෂාවෙන් ඒ දේවල් කියන්න.
* ටී. එම්. ජයරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණ සංගීත ශිල්පීන් වගේම අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, බූඩි කීර්තිසේන වැනි ප්‍රවීණ සිනමාවේදීන් මෙම උළෙල නියෝජනය කළා. ඔවුන් අතින් තෑගි ප්‍රදානය වුණා?
ඔව්
* එතකොට ඔබ කියන්නේ මේ ප්‍රවීණයන් ‘දෙරණ’රූපවාහිනිය මගින් ගොනාට ඇන්දුවා කියල ද?
ටී. එම්. ජයරත්න, රෝහණ වීරසිංහ කියන්නේ අපට අමරදේව පරපුරේ සිටින විශිෂ්ට සංගීතකරුවන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් අතින් කවුද සම්මාන ලබන්නේ. ඒ අගැයීමට ලක් කරන්නේ මොන විදිහේ සංගීතයක් ද කියන එක මට තියෙන ප්‍රශ්නයක් ඇත්තටම. මම දන්නේ නෑ ටී. එම්. ජයරත්න හෝ රෝහණ වීරසිංහ මහත්වරුන් ඒ අවස්ථාවේ මොන විදිහේ හැඟීමකින් හිටියද කියලා. නමුත් කිසියම් පසුතැවීමකින් යුතුව ඔවුන් පසුව මට කතා කරලා කිව්වා. ඒ අයට කියා ගන්න බැරිව සිටි දේ මම කළා කියලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. ඔබ ඔය සඳහන් කළ කලාකරුවන් කිසියම් විදිහක තාවකාලික උගුලකට හසුවී සිටියාදෝ කියන හැඟීම මට තියෙනවා. ඔවුන් විශේෂිත ආරාධිතයන් නිසා කිසියම් අන්දමක සදාචාරාත්මක දෘෂ්ටියකින් මේවා ඉවසා දරා සිටියාද මම දන්නෙත් නෑ.
* ඔබේ සදාචාරාත්මක නොවීම ගැන...?
නෑ එතනදි සදාචාරත්මක නොවුණයි කියලා මම කනගාටු වෙන්නේ නැහැ. ජාතික වගකීමක් හැටියට යම් අදහසක් ප්‍රකාශ කළා කියන එක තමයි මගේ අදහස. අවසන් වශයෙන් මම ‘දෙරණ’ නාළිකාවෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙම සම්මාන උළෙල ඔවුන්ගේ වෙනත් යහපත් වැඩ සටහන් ගොන්නට එකතුකර ගන්න කියලයි. මගේ හෘදයාංගම ප්‍රාර්ථනයත් එයයි.

0 comments:

Post a Comment