----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

‘ප්‍රතිරූ’

Saturday, December 8, 2012

‘ප්‍රතිරූ’

මවුබිමට ආදරය කරන පුද්ගලයන් ගැන කියැවෙන සිනමා නිර්මාණයක්

වෛද්‍ය කපිල සූරියආරච්චි
‘ප්‍රතිරූ’ අපූර්ව චිත්‍රපටයකි. එය යුද්ධය පිළිබඳව නිපදවන ලද වාර්තා චිත්‍රපටයක් හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් හෝ නොවේ. එය තම මාතෘභූමියට ආදරය කරන්නවුන් පිළිබඳව කියවෙන යුද්ධය පසුබිම් කරගත් චිත්‍රපටයකි. ‘ප්‍රතිරූ’ චිත්‍රපටය සඳහා 2011 වසරේදී හොඳම පළමු අධ්‍යක්ෂණයට හිමි ‘හුස්ටන්’ සම්මානය හිමිවිය.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය කපිල සූරියආරච්චිය. තම පළමු සිනමා නිර්මාණයෙන්ම ඔහු දක්ෂ සිනමා කරුවකුගේ පෙරමඟ සලකුණු පෙන්වා ඇත. ප්‍රතිරූ චිත්‍රපටයට පසුබිම් වූ තොරතුරු සහ එහි අන්තර්ගතය පිළිබඳව විමසීමට පසුගිය දිනෙක අපි වෛද්‍ය කපිල සූරියආරච්චි හමුවීමු.
’ප්‍රතිරූ’ චිත්‍රපටයේ වස්තුබීජය ඔබේ සිතේ පහළ වුණේ කොහොමද?
මෙහි වස්තුබීජය පහළ වුණේ ”මගේ මාතෘ භූමිය වෙනුවෙන් මම යමක් කළ යුතුයි” කියන හැඟීම මගේ හිතේ පැළපදියම් වෙලා තිබුණු නිසයි. ’ප්‍රතිරූ’ මම නිර්මාණය කරන්න සූදානම් වුණු පළමු චිත්‍රපටය නෙමෙයි. ප්‍රතිරූ චිත්‍රපටය පිළිබඳ සංකල්පය මගේ හිතට ආවට පසුව චිත්‍රපටයකට ඊට පෙර මගේ හිතේ තිබුණු වස්තුබීජය මගේ හිතෙන් ඉවත් වුණා. ’ප්‍රතිරූ’ පිළිබඳව අදහස මගේ හිතේ මුලින්ම ඇතිවුණු වෙලාවේ ඒ අදහසින් මට හිතුණේ ගීතයක් ලියන්න.
ඒ අනුවයි මගේ “සල නිසල” සංගීත චිකිත්සක වැඩසටහන අමරසිරි පීරිස් මහතාට ගායනා කිරීම සඳහා “අම්මාවරු නොමැකෙන ප්‍රතිරූ” නම් ගීතය ලිව්වේ. ඊට පසුව මම ඒ සංකල්පයෙන් කෙටිකතාවක් ලිව්වා. ඊටත් පසුව මම තීරණය කළා ඒ සංකල්පයෙන්ම සිනමා නිර්මාණයක් කරන්න. එහි ප්‍රතිඵලයයි ’ප්‍රතිරූ’ චිත්‍රපටය.
සිනමා කෘතියක් නිර්මාණයට විශාල මුදලක් වැය කළ යුතු යුගයක ඔබ මෙවැනි තේමාවක් තෝරාගැනීම අවදානම් සහගත වැඩක් කියා සිතුණේ නැතිද?
ඇත්තෙන්ම මෙය අවදානම් සහගත වැඩක් බව සිතුණා. නමුත් කලාත්මක ආකාරයට සිත් ඇදගන්නා ආකාරයට මෙම සංකල්පයෙන් චිත්‍රපටයක් නිර්මාණය කළොත් ප්‍රේක්ෂකයින් එය ඉතාම ආදරයෙන් වැළඳගනීවි යන විශ්වාසය මට තිබුණා. ඒ නිසයි මම මේ තේමාවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළේ. ඕනෑම පුද්ගලයෙක් තමන් උපන් භූමියට ආදරය කරනවා. බොහෝ දෙනෙක් ඉන්නෙ මේ හැඟීම හංගාගෙනයි. සමහරු “මවුබිමට ආදරය කරනවා” කියල කියන්න ලැජ්ජයි.
ඔවුන් හිතන්නෙ ඒක සමච්චලයට ලක්වෙන වැඩක් කියල. තවත් සමහරු හිතනව මාතෘභූමියට ආදරය කිරීම ආණ්ඩුවෙ වැඩක් කියල. නැහැ. ඒක එහෙම නෙමෙයි. තමන් උපන් භූමියට මිනිහෙක් ආදරය කරන්නෙ හදවතින්ම එන හැඟීමකින්. රටවල් ගණනාවක සංචාරය කළ කෙනකුට එහෙම නැතිනම් ටික කාලයක් හෝ මවුබිමෙන් බැහැරව සිටි කෙනකුට තම මවුබිමට ඇති ආදරය වැඩියෙන් දැනෙනවා.
මවුබිමට ආදරය කිරීම කියන තේමාව සිනමාවට නැඟීමට ඔබ පසුබිම් කරගත්තේ පසුගිය කාලයේ අපේ රට වෙළාගෙන සිටි යුද්ධය. ඒ ඇයි?
තම මවුබිමට ආදරය කළ විරුවන් ගැන කියවෙන අපට ඉතාම සමීපතම අත්දැකීම තමයි පසුගිය කාලෙ නිමාවුණු යුද්ධය. මෙම යුද්ධය නිසා මවුබිමට ආදරය කළ විශාල පිරිසක් තම අත පය, දෑස් වැනි ශරීර අවයව වගේම තම ජීවිතත් අහිමි කරගත්තා.
රට වෙනුවෙන් යුද කළ විරුවන් ගැන බොහෝ තැන්වල බොහෝවිට කියවුණා. නමුත් මේ රණවිරුවන්ගේ පිටුපසින් සිටි අම්මල තාත්තල බිරින්දෑවරු ගැන අපි කතා කළා මදියි කියලයි මම හිතන්නෙ.
මවුබිමට ආදරය කරන පුද්ගලයින් මවුබිමේ නිදහස වෙනුවෙන් සටන් වදින පුද්ගලයින් වීරයින් වෙනවා. ඒ වීරයින් නිර්මාණය කරන්නේ මවක්. එතැනිනුයි මගේ හිතට
අදහසක් ආවෙ මවුබිමට ආදරය කරන පුද්ගලයින් ගැන කියවෙන සිනමා නිර්මාණයක් කරන්න.”
මෙම චිත්‍රපටයේ දී ඔබ ‘අම්මා’ ඉස්මතු කරන්න උත්සාහ කළේ ඇයි?
ලෝක ඉතිහාසයේ ඉතාම ඈත අතීතයේ පටන් ම සෑම නිදහස් සටනකම ඒ වගේම සෑම සාර්ථක මිනිසකු පිටුපසම කාන්තාවක් ඉඳල තියෙනව. ඒ කාන්තාව අම්මා වුණු අවස්ථා බොහොමයි. මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ චරිතය ගත්තත්, අපේ විහාර මහා දේවියගේ චරිතය ගත්තත් ඉහත කියමන සත්‍ය බව පේනවා.
අපේ රටේ පසුගිය කාලෙ පැවැති යුද්ධය තුළත් තම මවුබිම බේරාගන්ඩ තම දරුවන් කැප කළ මවුවරු ඕනෑතරම් සිටියා.
ඒ අම්මාවරු ගැන අපි කතා කළා මදි කියල මට හිතුණා. ඒ වගේම තම මවත් මාතෘ භූමියත් අතරේ වෙනසක් නෑ කියල දනවන්න මට ඕනෑ කළා. ඒ වගේම හැංගිලා මාතෘ භූමියට ආදරය කරන පුද්ගලයින්ව කතා කරවන්න, ඔවුන්ව එළියට ගන්න මට ඕනෑ කළා. ඒ නිසයි මට මේ චිත්‍රපටයේ තේමා පාඨය ලෙස “උත්තරීතර මාතෘභූමිය වෙනුවෙන් පිදෙන සිනමාත්මක උපහාරය” කියල නම් කළේ.
මම ලෝකයේ රටවල් 35ක විතර සංචාරය කරල තියෙනවා. ඒ හැම රටකදීම මට හමුවුණු අම්මල එක සමානයි.
ඒ මවුගුණය පෙන්වන්නයි මට ඕන කළේ. මා දැක්ක අම්මලා සතුව තිබුණු සෑම ගුණයක් ම ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ ලීලාවතී කියන චරිතයට ආරූඪ කරන්න මම උත්සාහ කළා. ඒ සඳහා මම තෝරා ගත්තේ අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා. ඇය ඉතාම සාර්ථකව මගේ හිතේ තිබුණු ලීලාවතී අම්මව නිර්මාණය කළා.
ලීලාවතී කියන අම්මා තමන්ගේ දරුවට ආදරය කරනව. ඒ වගේම අනුන්ගේ දරුවන්ටත් ආදරය කරනවා. ඊට අමතරව ඒ අම්මා මවුබිමටත් ආදරය කරනවා. මාතෘභූමියට ආදරය කරන ලීලාවතී අම්මා අතින් නිර්මාණය වෙන්නෙ රටට ආදරය කරන වටිනා දරුවෙක්. ලීලාවතී අම්මා ඒ තමන්ගේ දරුවට රටට ආදරය කරන්න කියා දෙනවා. ඒ නිසයි ‘ලීලාවතී’ අම්ම කියන්නෙ “පුතේ මමයි මවුබිමයි අතරේ වෙනසක් නෑ. උඹට මට ආදරය කරන්න ඕන නම් මවුබිමට ආදරය කරපන්, මාව සිපගන්න ඕන නම් මවුබිම සිපගනිං, මා දිහා බලන්න ඕන නම් මහපොළොව දිහා බලාපං” කියල.
එතකොට මේ ’ප්‍රතිරූ’ චිත්‍රපටය පසුගිය යුද සමය ගැන කියවෙන චිත්‍රපටයක් නෙවෙයිද?
නැහැ. මෙය යුද්ධය පිළිබඳව කළ චිත්‍රපටයක් නෙමෙයි. මාතෘභූමියට ආදරය කළ සහ ආදරය කරන පුද්ගලයින් ගැන කියන්න පසුබිමක් ලෙසයි එම යුද්ධය කියන සංකල්පය යොදාගත්තේ. අපේ රටේ මිනිසුන්ට ඉතාම සමීප මෑත කාලීන අත්දැකීම තමයි යුද්ධය. ඒ නිසයි මගේ මූලික තේමාවේ පසුබිම් කතාව ලෙස යුද්ධය තෝරාගත්තේ. මෙහිදී මම එක වෙඩි උණ්ඩයක්වත් පත්තු වෙනව පෙන්වන්න උත්සාහ ගත්තේ නැහැ. ඒ අත්දැකීම විඳල විඳල දැකල දැකල අපේ මිනිසුන්ට යුද්ධය හොඳටම එපා වෙලා. ඒ නිසයි මම මේ චිත්‍රපටයේ කිසිම තැනක යුද්ධය නොපෙන්නුවේ.
යුද්ධය හා බැඳුණු මේ චිත්‍රපටයේ එන ඇතැම් සිදුවීම් සහ ඒ චරිත ඔබට සත්‍ය ලෙසට සමීප සිදුවීම් ද සමීප චරිත ද?
ඇත්තෙන්ම ඔව්, මම යුද්ධයට සම්බන්ධ වෙලා සිටි කෙනෙක්. ඒ; තුවක්කුව අරගෙන යුද බිමට යාමෙන් නෙමෙයි. යුද බිමේදී තුවාල ලබන සොල්දාදුවන් සුවපත් කරන වෛද්‍යවරයෙක් හැටියට. වෛද්‍යවරයෙක් හැටියට මට මුල්ම පත්වීම ලැබුණේ පොළොන්නරුවට. ඒ යුද්ධය උග්‍රවට තිබුණු කාලෙ. මම අවුරුදු අටක් පොළොන්නරුව රෝහලේ සේවය කළා. යුද්ධය ආශ්‍රිතව මට ලැබුණු අත්දැකීම් අනන්තයි. යුද සෙබළුන්ගේ වගේම ඒ ප්‍රදේශවල ජීවත්වුණා මිනිසුන්ගේ දුක වේදනාව හොඳින් අත්විඳි කෙනෙක් මම.
යුද්ධයට සම්බන්ධව සිටි සෙබළුන්ගේ ගැටලු ගැනත් ඔවුන්ගේ මානසික තත්ත්වයන් ගැනත් හොඳ අවබෝධයක් මට තිබුණා. මේ සියලු ආකාරයට ලැබුණු අත්දැකීම් මම ‘ප්‍රතිරූ’ චිත්‍රපටය නිර්මාණය කිරීමට යොදාගත්තා.
දිනක් මම අමතක නොවන අත්දැකීමක් ලැබුවා. එදා ඉතා බරපතළ ලෙස තුවාල ලැබූ සෙබළෙකුට ප්‍රතිකාර කරන්න මට සිදුවුණා. ඔහුගේ ජීවිතය බේරාගන්න ඉතාම සුළු කාලයක් තුළ රුධිරය ලබා දී සැත්කමක් කළ යුතුව තිබුණා. මම ඒ අවස්ථාවේදී සෘජු පාරවිලයනයෙන් කෙළින්ම ඒ සෙබළාට තවත් අයකුගේ රුධිරය ලබා දුන්නා. ඒ සෙබළාගේ ජීවිතය බේරුණා.
මේ සිදුවීම දැනගත් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා මාව හමුවෙන්න පොළොන්නරුව රෝහලට ආවා. “ඔබ කළ ක්‍රියාවට කොළඹ ඉඳල දුරකථනයෙන් හරි ලිපියකින් හරි ඔබට ස්තුති කරන්න මට පුළුවන් වුණත් ඔබ හමුවන්නට මම පොළොන්නරුවට ආවෙ ඔබට ඇති ආදරය නිසයි” කියල ජෙනරාල් කොබ්බෑකඩුව මගේ අත අල්ලගෙන කිව්වා.
ඒ වගේ තවත් සිදුවීමක් මට මතක් වෙනවා. පොලොන්නරුව රෝහලේ දවසක් මම වැඩ කරන විට වෙඩි වැදිල රෝහලට ගෙනාව සෙබළෙක් මගෙන් ඇහුව “ඩොක්ටර් මම මැරෙයිද?” කියල. ඒ වෙලාවෙ මම කිව්ව “ඔයා මැරෙන්නෙත් නෑ. අපි ඔයාට මැරෙන්න දෙන්නෙත් නෑ” කියල. එතකොට ඒ සොල්දාදුව කිව්ව “නෑ ඩොක්ටර් මම මැරෙන්න බය නෑ. ඒත් මට ඉක්මනට යුද්ධෙට යන්න ඕන” කියල. ඒක මම අත්විඳපු සත්‍ය සිදුවීමක්. ඒ සිදුවීම සහ ඒ සෙබළා කියූ වචන මම ඒ විදියටම “ප්‍රතිරූ” චිත්‍රපටයට යොදා ගත්තා.
ඒ වගේම පොළොන්නරුව රෝහලේ ඒ සිදුවීමට භාජනය වුණු සෙබළා සිටි ඇඳම ඒ ස්ථානයම තෝරාගෙන මම ඒ දර්ශනය ’ප්‍රතිරූ’ චිත්‍රපටයට රූපගත කළා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. ගැහැනු ළමයකුට ලීලාවතී අම්ම බත් කවන එක යුද්ධය තිබුණු පළාතෙ සිංහල අම්ම කෙනෙක් කළ දෙයක්. ඒ වගේම ගමකට කොටි ගහපු වෙලාවක ගෙදර තිබුණු කැත්තකින් ගහල ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මරා දමන්න එක අම්ම කෙනකුට හැකිවුණා. ඒ සිදුවීමත් මම ‘ප්‍රතිරූ’ චිත්‍රපටයට යොදාගත්තා.
’ප්‍රතිරූ’ චිත්‍රපටයේ ලීලාවතී අම්ම එළියට එන්නෙ කැත්තත් අරගෙන. ඒ අම්මා තමයි හිනාවෙන්නෙ; ඒ අම්මම තමයි අඬන්නෙ. මම ලීලාවතී අම්මව නිර්මාණය කළේ අම්මල සිය ගණනකගේ ගුණ එකතු කරල. මේ විදියට පොලොන්නරුවේ සේවය කරන විට මා ලැබූ අත්දැකීම් මම ’ප්‍රතිරූ’ චිත්‍රපටයට යොදාගත්තා.
වෛද්‍යවරයෙක් වෙන්න අවුරුදු ගණනක් ඉගෙනගෙන අවුරුදු ගණනක් ඒ වෘත්තියෙත් යෙදිල ඔබ සිනමාකරුවෙක් වෙන්න හිතුවේ ඇයි?
මේ චිත්‍රපයේ මම පෙන්වන්න හදන ඉස්මතු කරන්න හදන අම්මා පොලොන්නරුවේ මගේ සායනවලට ඇවිත් තියෙනව. ඒ වගේ අම්මල බොහෝ දෙනෙක් එක්ක මම කතාකරල තියෙනව. මට මතකයි එක අම්ම කෙනෙක් ගැන හොඳටම. ඒ අම්මා මම පවත්වපු ක්ෂයරෝග ක්ලිනික් එකට බෙහෙත් ගන්න එනව. ඒ අම්ම ක්ලිනික් එකට එන්න මඟවියදම හොයාගන්නෙ ගොටුකොළ මිටි කීපයක් විකුණල. සමහර දවස්වලට ඒ අම්මට ආපසු යන්න බස් එකට සල්ලි දුන්නෙ මම. කොච්චර දුෂ්කරතා තිබුණත් එකදිගට බෙහෙත් අරගෙන ඒ අම්ම ක්ෂයරෝගය නිට්ටාවට සුව කරගත්තා.
අන්තිම දවසේ මම ඒ අම්මට කිව්ව “අම්මෙ දැන් අම්මට හොඳයි. කාල බීල සතුටින් ඉන්න” කියල. එතකොට ඒ අම්ම මට පින් දීල මෙන්න මෙහෙම කිව්ව. “මහත්තය මගේ ලෙඩේ හොඳ කළ නිසා දැන් මට සතුටින් ඉන්න පුළුවනි; ඒ වගේම මහත්තයො අපේ ගමට කොටි ගහනකොට අනිත් මිනිස්සුත් එක්ක කැලේට ගිහින් හැංගෙන්නත් දැන් මට පුළුවන්” කියල ඒ අම්ම කිව්ව. ඒ අම්මට ක්ෂයරෝග කැස්ස තියෙන හින්ද කොටි ත්‍රස්තවාදීන් ගමට පහර දෙන විට කැලේ හැංගෙන්න කවුරුත් ඒ අම්මව එක්කගෙන ගිහිල්ල නෑ.
කැස්ස නිසා කොටින්ට අහුවෙයි කියල. මේවාගෙ අත්දැකීම් තමයි ’ප්‍රතිරූ’ නිර්මාණය කරන්න මාව පෙලඹුවේ. මේ චිත්‍රපටය නැරඹූ ගොඩක් දෙනෙකුගේ දෑස්වලට චිත්‍රපටයේ කුමන හෝ සිදුවීමක්, දෙබසක් නිසා හෝ කඳුළක් උනල තියෙනව. ඒ තම මවට මාතෘභූමියට බොහෝ දෙනෙක් ආදරය කරන නිසයි. ඒ ආදරය හංගාගෙන ඉන්න බැහැ. ඒ හැඟීම නොදැනීම පිටවෙනවා. මම මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණේ අන්න ඒ දේයි.
’ප්‍රතිරූ’ අධ්‍යක්ෂණය කරන විට ජෝ අබේවික්‍රම රංගනවේදියාව අධ්‍යක්ෂණය කරන්න ලැබීම ඔබට දැනුණේ කොහොමද?
මීට පෙර ටෙලි නාට්‍යයකදී මට ජෝ මහත්තයව අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. එහිදී මම විශාල අපහසුතාවකට පත්වුණා. නමුත් එහිදී ජෝ මහත්තයා මට ගොඩක් උපදෙස් දුන්න මගේ වැඩේ හරියට කරන්න. ’ප්‍රතිරූ’ හදන විට ජෝ මහත්තයගෙන් ලැබුණු සහයෝගය නම් ඉතා ඉහළයි. ඔහුව අධ්‍යක්ෂණය කිරීම හරිම පහසුයි.
ඔහු රංගනය පිළිබඳ විශ්වවිද්‍යාලයක් වගෙයි. ජෝ මහත්තයගෙ රංගන ’ප්‍රතිරූ’ චිත්‍රපටයට ආලෝකයක්. මට හිතෙනව ජෝ මහත්තය කොහේ හරි ඉඳල ’ප්‍රතිරූ’ චිත්‍රපටයට ආශිර්වාද කරනව කියල.

0 comments:

Post a Comment