ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
* ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් අපටම අනන්‍ය වූ සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමේ කාර්යයට සක්‍රීයව දායක වෙමින් දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙයක් ඉටුකළ මහා සංගීතවේදියෙකි. ඔහු විසින් දශක පහකට අධික කාලයක් පුරා ගීතයෙන් හා සංගීත නිර්මාණයෙන් සුවහසක් රසිකයන් අමන්දානන්දයට පත් කළේය.
ඉන්දියානු මහා සම්ප්‍රදායෙන් තමන් ලත් දැනුම අනාගත පරපුරට දායාද කිරීමේ අපේක්ෂාවෙන් අමරදේව භාර අරමුදල බිහිව ඇත. මෙහි එක් පියවරක් ලෙස ජාත්‍යන්තර මට්ටමේ සංගීත ශිල්පීන් ඇසුරු කිරීමට අපගේ තරුණ සංගීත ශිල්පීන්ට අවස්ථාව සලසා දීමට අමරදේව පදනම මූලිකව ක්‍රියා කරයි. පහත පළවන්නේ ඒ පිළිබඳව අමරදේවයන් දැක්වූ අදහස්ය.
* කිසියම් ක්ෂේත්‍රයකට විශිෂ්ට දායකත්වයක් ලබාදිය හැක්කේ කවර හැකියාවන්ගෙන් යුත් කලාකරුවන් හටද?
කිසියම් ක්ෂේත්‍රයක කූට ප්‍රාප්තියට පත් කලාකරුවෙක් වීමට නම් ඔහුට අනිවාර්යෙන්ම ජන්මයෙන් ලබන වාසනා ගුණය තිබිය යුතුයි. සාහිත්‍ය, සංගීතය, චිත්‍රය ආදී සෑම කලා මාධ්‍යයකටම මෙය අදාළයි.
කෙනෙක් තුළ එලෙස තිසර්ග සිද්ධ ප්‍රතිභාවක් තිබුණ ද එය හඳුනා ගැනීමට විශිෂ්ට ගණයේ ගුරුවරුන්ගේ ඇසුරට යොමුවිය යුතුයි. ඊට අමතරව කලාකරුවෙක් කිසියම් ක්ෂේත්‍රයක නිරන්තර අභ්‍යාසයේ යෙදෙන්නේ නම් ඔහුට එම ක්ෂේත්‍රයේ ඉහළ තලයට පිවිසිය හැකි වෙනවා.
නව සිසු පරපුරට අවැසි එම ව්‍යුත්පත්ති සම්පත්තිය ලැබීමට උසස් තලයට පිවිසි ගුරුවරුන්ගේ ආභාෂය ලබාදිය හැකි ආයතන බිහිවිය යුතුයි.
* වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඔබ ඉන්දියාව වෙත යොමුවූ අවස්ථාවේ එහි සක්‍රීයව පැවැති ප්‍රධාන ගුරු කුලයක් ගැන කිව්වොත්?
සම්භාව්‍යය සංගීතය උගත්වන ගුරුකුල කිහිපයක් තිබුණා. ඒවා අතරින් උත්තරභාරතීය සංගීතය ඉගැන්වීමේ ප්‍රධානම මධ්‍යස්ථානය වූයේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩේ ආයතනයයි. ශාන්ති නිකේතායතනයේ වඩාත් අවධානය ලක්වූයේ වංග සංගීතය ගැනයි. හින්දුස්ථානී සංගීතය ඉගැන්වූයේ එක්තරා ප්‍රමාණයකට පමණයි.
ඉන්පසුව එහි සිසුන් භාත්ඛණ්ඩේ වෙත යොමු කෙරෙන ක්‍රමයක් තිබුණා. දක්ෂිණ භාරතීය සංගීතය හා නර්තනය උගන්වනු ලැබුවේ අඩෙයාර්හි විෂ්ණු දිගම්බරම් ආයතනයෙන්. ඩී. ඩී. පලුක්කාර්, දිගම්බරන් වැනි සංගීතඥයන් එහි කටයුතුª කළා. මේ එක එක ගුරුකුල අතර භාරතීය සංගීතයේ විවිධ ශෛලීන් උගන්වනු ලැබුවා.
* ඔබ ඉන්දියාවේ කොපමණ කලක් සංගීතය හැදෑරුවාද?
1953 ඔක්තෝම්බර්වල ගියේ. 1958 දී උපාධිය ලබාගෙන පෙරළා පැමිණියා.
* භාරතයේ ඔබේ ගුරුවරුන් කවුද?
එවකට භාත්ඛණ්ඩේ සරසවියේ විදුහල්පතිව සිටි රතන ජංකර් පඬිතුමාගෙන් හා පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද ජෝග් යටතේ ගායනය හා වයලින් වාදනය ඉගෙනීමට අවස්ථාව ලැබුණා.
* ඔබේ සංගීත කෞශල්‍ය වර්ධනය කර ගැනීමට ඉන්දීය අධ්‍යාපනය බලපෑවේ කොහොමද?
ගායනය හා වාදනය යන අංශ දෙකෙන්ම මට නියම වශයෙන් ගුරුකුල ඇසුර ලැබුණේ භාත්ඛණ්ඩේ අධ්‍යාපනයේ දී. ඉන්දියාවට යාමට පෙර ලංකාවේදී නිර්මාණ සංගීතය පිළිබඳ හොඳ ආභාසයක් මට ගවුස් මාස්ටර්ගේ ඇසුර නිසා ලැබුණා. ඔහුව මට “අශෝක මාලා” චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කිරීමට හා තනු නිර්මාණය කිරීමටත් සහය සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතුª කිරීමටත් අවස්ථාව ලබා දුන්නා.
* ඉන්දීය අනුකාරක සංගීතයෙන් සිංහල චිත්‍රපට කර්මාන්තය ගලවා ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය කොහොමද?
ගවුස් මාස්ටර් ඉන්දීය ජාතිකයෙක්. අපිට උචිත වාද්‍ය සංගීතයක් බිහිකර ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඔහුගේ තනු නිර්මාණ රසපූර්ණයි. අපට ගැලපෙන නිර්මාණ රීතියක ලක්ෂණ ඔහුගේ සංගීතයේ දකින්නට ලැබුණා.
* ඔබ ඇතුළු මෙම යුගයේ භාරතීය අධ්‍යාපනයට යොමුවුණු සංගීතඥයන් වඩා ප්‍රමුඛතාවයක් දෙනු ලැබුවේ දේශීය සංගීතයක මූල බීජ මතුකර ගැනීමට නොවේද?
ඉන්දියාවෙන් ලැබුණු අධ්‍යාපනය ඒ ආකාරයෙන්ම ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍යතාවයක් හින්දුස්ථානී සංගීත අධ්‍යාපනය ලද මට මෙන්ම ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනියන් හට තිබුණේ නැහැ.
තනු නිර්මාණයේ දී මූලික වෙන්නෙ කතා කරන භාෂාවයි. ස්වර ගමන තීරණය වන්නෙ ජාතියක කතා ලීලාව අනුවයි. දේශීය සංගීතයක් ගොඩනඟා ගත හැක්කේ එය සොයා ගත හොත් පමණයි.
* ව්‍යවහාරික සංගීතයේ දී ඔබ කිසියම් රාමුවකට කොටු නොවී විවිධ සංගීත සම්ප්‍රදායන්ගේ ආභාෂය ලබන බවක් දකින්ට ලැබෙනවා. එහි දී ඔබ සාමකාලීනයන්ගෙන් මතු කරන්නට උත්සාහ කළ මතවාදයෙන් බැහැර වූයේ ඇයි?
මම ඉන්දියාවේදී භාරතීය මහා සම්ප්‍රදායට අමතරව කර්ණාටක සංගීතය පිළිබඳවත් අධ්‍යයනය කළා.
මගේ මව හා පියා ආගම් දෙකකට අයත්වීම නිසා මට කුඩා කාලයේ සිට ම සංස්කෘතීන් දෙකක් ඇසුරේ වැඩෙන්නට අවස්ථාව ලැබුණා. නිර්මාරණාත්මක සංගීතයේ දී මම එක සම්ප්‍රදායකට සීමා නොවී විවිධ සම්ප්‍රදායන් ආභාශය කරගෙන නිර්මාණ බිහි කළා. නමුත් ඒ සෑම එකක ස්වාධීන ලක්ෂණ පෙන්වන්නේ මා මුලින් සඳහන් කළ පරිදි මෙරට ජනතාවගේ භාෂණ ලීලාව ග්‍රහණය කර ගැනීමට සමත් වූ නිසාය සිතනවා.
සමහර අවස්ථාවල දී හින්දුස්ථායි සංගීතයේ ආභාෂයට අමතරව බටහිර සංගීතයේ ආභාෂය ලබා ගත්තා. බොහෝ දෙනා නොදන්නා වුවත් ‘පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා ගීතය’ නිර්මාණය කළේ බයිලාවේ තාලයට අනුවයි. මෙතනදි වැදගත් වෙන්නේ අපි ආශ්‍රය කරන සම්ප්‍රදාය නොවෙයි. නිර්මාණයයි.
* ඔබගේ ගීත අවසරයකින් තොරව විවිධ ප්‍රසංගවලදී තරුණ තරුණියන් ගායනා කරනවා. මේ ගැන ඔබ කිසියම් පියවරක් ගැනීමට අදහස් කරනවාද?
මම මේක ගැන බලන්නේ උපේ්ක්ෂාවෙන්. තරුණයන් මගේ ගීත ගායනා කරන්නේ ඔවුන් ඒවාට ඇලුම් කරන නිසයි. ඉතින් ඒ අවස්ථාව මම වළක්වන්නේ ඇයි? ගීතයක් පවතින්නට නම් එය නැවත නැවතත් ගායනා විය යුතුයි. ඒ කාර්යයට තරුණ පිරිස යොමුවීම ගැන ඇත්තටම මම සතුටුයි.
නමුත් ඉතාම ස්වල්පයක් දෙනෙක් මේ ගීත ආශ්‍රයෙන් විකෘති නිර්මාණ බිහි කිරීමට උත්සාහ කරනවා. මම ඒකට විරුද්ධයි. එවැනි සමහර අවස්ථාවල දී ජනාධිපතිතුමා ඍජුවම මැදිහත්වෙලා ඒ තත්ත්වය නැවැත්වීමට පියවර ගත්තා.
0 comments:
Post a Comment