සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියළි ගොඩ බිම් සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එක සේ සලකා
රිසි විටෙක එනු මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුණත්
මගේ හදවත ඉඩ තියේ
සාගරය වෙත ඇදෙන ගංඟාවක් පරිද්දෙන් වෙහෙස විඳිමින් ඔහු තම ජීවිත ගමනේ බර බිම තියන්නට ඇය කරා පැමිණියේය. එවිට ඇයට රාත්‍රිය, දහවල ගෙවී ගියේ කිසිදු වෙනසකින් තොරවමය. අතු පැලෙහි දොර වසා තිබුණු නමුදු ඇයගේ හදවතෙහි දොර ඔහු වෙනුවෙන් විවෘතව තිබිණි. එනු මැනවි. ඇය විවෘත ආරාධනාවක් කළාය.
ගීත ලොවේ ‘කරු අයියා’ යන ආදරණීය නාමයෙන් හැඳින්වුණු කරුණාරත්න අබේසේකරයන්ගේ පන්හිඳෙන් බිහිවුණු අපූරු ප්‍රේම ගීයක්. ඔහු ලියූ සෙසු ප්‍රේම ගීවලට වඩා වෙනස්ම පද සමූහයක් මේ ගීතයට කැටි වෙලා.
ඒ ගීතයේ සොඳුරු පැල්පත සොයා ගෙන නාරාහේන්පිට ඇල්විටිගල නිවාස සංකීර්ණයට අප ගියා. ඒ, මේ ප්‍රේමණීය යුවළගේ ගී මුනු මුනුව ඔස්සේ.
සිසිර ඉන්ද්‍රාණිගේ සොඳුරු හඬ මුළු නිවාස සංකීර්ණයේම පැතිරිලා. ‘අපූරු සුන්දර ගීතයක්’ඉබේම මට කියැවුණා.
‘මගේ සරල ගී වැඩසටහනක් සඳහා කරු අයියාට කියලා ලියවා ගත්ත ගීතයක්. කරු අයියා සාමාන්‍යයෙන් හරි ඉක්මනට ගීත ලියනවා. ඒත් මේ ගීතය ටිකක් හිතා මතා ලියපු ගීතයක්. සාමාන්‍යයෙන් ගැයෙනා බොළඳ පෙම් ගීයක වචන මෙහි නැහැ.
නමුත් මේ ගීතය අරුත් බරයි, හැඟුම් බරයි. මේ අර්ථ පූර්ණ ගීතයට අපූරු තනුවකුත් සිසිරගෙන් නිර්මාණය වුණා.’
අපේ කතාබහට මුල පුරමින් ඉන්ද්‍රාණි සේනාරත්න එහෙම කියන ගමන්ම,
‘එහෙම නේද’ කියලා අහන්න වගේ සිසිර සේනාරත්න දෙස බැලුවා.
‘මේ ගීිතයෙන් අපි දෙන්නගේ අන්‍යතාවය විදහා පානවා. පෙම්වතාගේ පෙම්වතියගේ අදහස්වලට ගැළපෙන ආකාරයටම ගීතයෙන් කියැවෙන හැඟුම්බර බව ඉස්මතු කරන්න තනුවක් යොදන්න මා සමත් වුණා.’
සිසිර සේනාරත්නයන්ගේ මුවඟට නැගුණේ ප්‍රේමණීය සිනහවක්.
‘ඒ කාලෙ ආදරේ තරම මතක් වෙලා වගෙයි’
ඉන්ද්‍රාණිගේ දෙනෙත් ඉබේම වගේ් නිල් ගුවනට යොමු වෙලා.
‘ඒක ඉතිං හැමෝම දන්න රහසක්’
ඉන්ද්‍රාණි කියන්නේ සිසිරගෙන් ලැබෙන ප්‍රේමණීය සිනහවට පිළිතුරක්.
සුදුම සුදු පාට වලාකුළු. ඒ අතරින් ඇදෙන ප්ලේන් එකේ හිටිය බොහොම දෙනෙක් නිදි කිරා වැටුණා. තවත් සමහරෙක් පොත් කියෙව්වා. මේ අතරතුර ඉන්ද්‍රාණි කාඩ් එක පුරවන්න සිසිරගෙන් උදව් ඉල්ලනවා.
‘මොනවද මෙච්චර වෙලා කළේ’
‘මොනවත් නැහැ අම්මේ කාඩ් එක පිරෙව්වා.’
ඈ අම්මට කිව්වේ හිත ඇතළේ මොකක්දෝ හංග ගෙන.
ලංකාවේ හදපු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවට ගීත පටිගත කරන්න ඉන්දියාවට ගිය සිසිරත්, ඉන්ද්‍රාණිත් ලංකාවට එන්නෙ පෙම්වතුන් වෙලා.
කාලය ගෙවිලා ගියා. සිසිර ගැන උදේ හවා හීන දකිමින් හිටිය ඉන්ද්‍රාණිගේ් හීනේ හැබෑ වෙන දවස ළං වුණා.
1962 මැයි 31 වැනිදා.
සිසිරත්, ඉන්ද්‍රාණිත් අතිනත ගත්තා සිරිකොතේදි. ඒ මීට අවුරුදු හතළිස් නමයකට කලින්.
‘හරියටම මේ මාසේ 31 වැනිදාට අපේ විවාහ ජීවිතයට හතළිස් නමය ඉවර වෙලා පනහ ලබනවා.
පසුගිය කාලයේ බිරිඳක් විදියට මම විශාල අත්දැකීම් සම්භාරයකට මුහුණ දුන්නා. සිසිරගේ අසනීපයත් සමඟම කොහේදෝ නැති ධෛර්යයක් මගේ සිතට පිවිසුණා.
ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දුන්නා. සැප, දුක කියන මේ අටලෝ දහමේ ධර්මයන් අප කාටත් පොදුයි. මේ වෙන කොට පසුගිය කාලයේ ගෙවුණු දුක් සහගත ජීවිතයේ සහන් එළියකින් අපේ පැල එළිය වැටිලා.’
අවුරුදු පනහක්. ඒ කියන්නේ නිකම් නිකම් කාලයක් නෙමෙයි, අර්ධ ශතකයක්.
මේ කාලය ගෙවුණු ඉක්මනක්.
‘දරුවන්ගෙත් දරුවෝ. මුනුබුරෝ මිනිබිරියෝ අතර ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ලොකු පුතා සංජය. එයා ඉන්නේ ජර්මනියේ. සූරියා සිසින්ද්‍රා එයාගේ දූලා දෙන්නා.
එකම දූ සුභානි. සුභානියි සරිඳුයි ඒ දූගේ දරුවන් දෙන්නා.
බාලයා සමීර එයත් දැන් තාත්ත කෙනෙක්. චූටි පුතාගේ පුතා අපේ චූටි මුනුබුරා හරිම දඟයා. හරියටම මම වගේමයි.
මේ හැමෝම එකතු වෙලා අපේ විවාහයේ අර්ධ ශතකය සමරන්න මොන වගේ දෙයක් කරයි ද කියලා කියන්න බැහැ. එදාට පවුලේ හැමෝම එකට එකතු වන සුන්දර දවසක්. ඒක විතරයි දැනට අපි දෙන්නම දන්නේ.’
සිසිර සේනාරත්නගේ අදහස් පෙළ අතර නිවෙස තුළින් තවත් කෙනෙක් මතු වුණා.
කවුද මේ?
‘සුභානි දූගේ පුතා සරිඳු. අපේ පාළු මකන්න මෙහාට ඇවිත්.’
අපේ ගැටලුවට පිළිතුර ලැබුණා.
‘මෙන්න ආත්තම්මට කෝල් එකක්.’
සරිඳු පුතා හැමෝම එහාට මෙහාට වෙනකම් ඉඳලා අප අසලට ළං වුණා.
‘ආත්තම්මත්, සීයාවත් එක්කගෙන දවස් ගණනක චාරිකාවක් යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.’
ඔහු එහෙම කිව්වේ රහසින්.
‘ඒ අපේ පොඩි පුතා.’
ඉන්ද්‍රාණි සේනාරත්න එහෙම කියන්නේ සතුට පිරී ඉතිරී ගිය සිතින්.
‘නිතරම ඒගොල්ලෝ කෝල් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අහළ පහළ ඉන්න නිසා අපි බලන්නත් එනවා.
’ ඉන්ද්‍රාණිගෙ කතාවට සිසිරත් අත්වැල ඇල්ලුවා.
‘මේ සුසංයෝගයේ ගී හඬ ආයෙත් කවදා ඇසේවිද?’
‘බොහෝ වෙලාවට එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැති තරම්.
එහෙම ගියත් මමයි පුතයි තමයි ගී ගයන්නේ. සිසිර නම් දැන් ගී ගයන්නේ නැහැ. බොහොම විවේක සුවයෙන් ගෙදරටම වෙලා ඉන්නවා.’
සිව්වන මහලයේ සඳළු තලයට මුළු නගරයම පේනවා.
සවස් යාමයේදී සිසිර – ඉන්ද්‍රාණි නිතරම ඉන්නේ සඳළු තලයට වෙලා.
ඒ ඉන්න අතරේ දෙන්නම ගයපු පැරැණි ගීත මුමුණනවා.
‘මේ බලන්නකො ඉන්දු අඹ ගහේ මුදුනට අද අමුත්තෙක් ඇවිල්ලා.’
ඒ ඔවුන්ගේ ගී හඬ අහන්න කෝකිලයෙක්.
0 comments:
Post a Comment