මට මගේ නොවන මගේම ආදරයක්
ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී
කළුවරේම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක්
නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා
මට මගේම නොවන
මගේම ආදරයක් තිබුණා
* පද රචනය - අමිල තේනුවර
* සංගීතය - දර්ශන රුවන් දිසානායක
* ගායනය - විශාරද අමරසිරි පීරිස්
“මේ ගීතය ජයන්ත අයියා (ජයන්ත චන්ද්‍රසිරි) ගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ තේමා ගීතය. මේ චිත්‍රපටයෙන් වගේම ගීතයෙනුත් කියැවෙන්නේ තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් පිළිබඳවයි. අපි කාගේත් ජීවිත තුළ එවැනි ආදර අත්දැකීම් තියෙනවා. ජීවත් වෙන හැම මනුස්සයෙකුටම ඒක පොදුයි. මටත් එහෙම වුණා. මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුණා. ඒත් මේ සමාජ සංස්කෘතික රටාව තුළ මම වගේම පරිසමාප්තව කිසිම කෙනෙකු ඒ ආදරය විඳලා නැහැ. වින්ඳා නම් කවදාවත් මෙහෙම ලියන්න බැහැ. සමහර මිනිස්සු ඒ ආදරය හංගාගෙන තියාගෙන ජීවිත කාලයම විඳවලා මියැදෙනවා. මට ඕනෑ වුණේ ඒ ආදරය පිළිබඳ අත්දැකීමත් එක්ක මගේ තිබුණු ගනුදෙනුව අත්හැර දමා ඉන් මිදෙන්නයි.”
ගී පද රචක අමිල තේනුවර මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක්වෙමින් එලෙස හෙළිදරව් කළේ මේ දිනවල තිරගත වන “සමනල සංධ්වනිය” චිත්‍රපටයේ ඇතුළත් ගීත ශ්‍රාවකයින්ගේ සිත් ගත් “ඉකි ගසා හඬන අතීතයක” ගීතය නිර්මාණය වූ ඔහුගේ සිතුවිලි සමුදායේ පසුබිම් පිළිබඳවයි. තරුණ ගී පද රචක පරම්පරාවේ පළපුරුදු නිර්මාණකරුවෙකු වී සිටින අමිලට තවදුරටත් මෙම ගීතය නිර්මාණය වූ පසුබිම් කතාව පවසන්නට දැන් අපි ඉඩ දෙමු.
“මට වයස අවුරුදු 17 හෝ 18 පමණ සාමාන්‍ය පෙළ කරලා උන්න සංක්‍රාන්ති කාලයේ එක්තරා ගැහැනු ළමයෙක් මුණ ගැහුණා අහම්බෙන් වගේ. මට ඕනෑ වුණා ඇයට ආදරය කරන්න. ඒත් කවදාවත්ම මට බැරි වුණා මගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න. ඇත්තම කියනවා නම් අමරසිරි පීරිස් ගයන ‘අතින් වත් අත ඇල්ලුවේ නෑ’ ගීතයේ සංකල්පනාවටත් මුල් වුණෙත් ඒ අත්දැකීමම තමයි. ඒ කාලයේ මමම ලියා කවියකින් හෝ ගීතයකින් මගේ අදහස් ප්‍රකාශ කරන්න වත් මට පුළුවන් වුණේ නැහැ. ඉතින් මම කළේ මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ වැනි කවියන්ගේ කවි පොත් ඇයට දෙන එකයි.”
“තාමත් මට මතකයි, සේකරගේ ‘නොකියන ආදරේ’ කවි පන්තියේ තියෙනවා ‘නොකී මුත් වචනයෙන් - දරා ඉන්න නමුත් හිත යට - දරා ගන්න බැරිය එය මට - දෙනෙත දෙනෙතින් ගැටී ගිය විට’ යනුවෙන්. ඒ වගේ තැන්වල යටින් ඉරි ගහලා තමයි මම ඇයට ඒ කවි පොත් දුන්නේ. හැබැයි ඉරි ගැහැව්වේ කවකටුවකින්. අති සියුම් ඇහැක් තියෙන්න ඕනේ එය පෙනෙන්න නම්. ඇයට මා බලාපොරොත්තු වූ ඒ සියුම් ඇහැ තිබුණේ නැති හින්දා ප්‍රකාශයට පත් වුණේ නැහැ මගේ ආදරේ. ඉන්පසු ආදරණීය ප්‍රේම ගී ඇතුළත් කැසට් පට දුන්නා ඇයට අහන්න. ඒත් මගේ ආදරේ ප්‍රකාශයට පත් වුණේ නැහැ.”
“අවුරුදු දහයක් පමණ කාලයක් ඔය අත්දැකීම මගේ හදවතේ නිද්‍රාවට පත්වෙලා තිබුණා. මම කොහොමත් කවියක් ගීතයක් නිර්මාණය කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. විලිරුදාව හැදිලා නිර්මාණය බිහිවෙන තුරු ඉඳීම තමයි මගේ පුරුද්ද. සීසර් සැත්කම් වලින් නිර්මාණ බිහි කරන්න මං කැමැති නැහැ. මං හිතනවා තමන් විඳවලා කරන නිර්මාණ තමයි සාර්ථක වෙන්නේ කියලා. අවුරුදු දහයකට විතර පස්සේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය වෙනුවෙන් මේ ගී සංකල්පනාව අපූරුවට ගැලපුණේ ඒ නිසයි. මගේ හැම නිර්මාණයක් වගේම මම බෞද්ධ දර්ශනය තුළ ඉඳගෙන තමයි මේ නිර්මාණයත් කළේ. විශේෂයෙන් ‘අත් ඇරීම’ කියන සංකල්පය මත සිට තමයි මම මේ ගීතයේ පද බැන්දේ.
‘මට මගේ නොවන ආදරයක් තිබුණා’ යන මතුපිට අර්ථය (භෞතික අර්ථය) හැමෝම අල්ලා ගත්තත් ඊට එහා ආධ්‍යාත්මික වූ දෙයක් මට කියන්න ඕන වුණා. මම මගේම ආදරයයි, මගේම නොවන ආදරයයි දෙක එකට තියලා දිය කර හැරියාම ඉතිරි කිසිවක් නැහැ. ශුන්‍යයි. ආධ්‍යාත්මික අර්ථය එයයි. ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ කථා නායකයාත් කුඩා කල අතහැරුණු ප්‍රේමය නිසා තමයි ශුන්‍යත්වයේ ඇරියස් එකකින් කෘතහස්ත කලාකරුවෙකු වෙන්නේ. නැති දේ තමයි අපිට වටින්නේ. ඒ නිසා තමයි මේ ගීතය මිනිස්සුන්ට මේ තරම්ම දැනුණේ.”
ජෝජ් රොබිසන් ද සිල්වා
1 comments:
පිස්සු යක්කු
Post a Comment