රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැහැ
- රොහානි වීරසිංහ
රොහානි වීරසිංහ, අපේ රටේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්.
මේ දිනවල හිරු ටී.වී. හි ‘හිරු තනිවෙලා’ මෙගා ටෙලිනාට්‍යයේ මාලනීගේ චරිතය හරහා අතීතය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ඈ, පසුගියදාක ‘රසඳුන’ ට ගොඩවැදුණා.
මේ ඇගේ රංගන ජීවිතය පිළිබඳ කෙරුණු සුහද කතා බහක්.
ඉතින් රොහානි මොනවද අලුත් තොරතුරු...
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මකුළු දැල්’ ප්‍රාසාංගික නාට්‍යයේ වගේ ම, මේ දිනවල විකාශය වන හිරු තනිවෙලා, මෙගා නාට්‍යයේ රඟපාන නිසා තරමක් වැඩ වැඩියි. ඒක කොටස් 400 ක ටෙලිනාට්‍යයක්. මේ වනවිට කොටස් එකසිය ගණනක් විකාශය වී හමාරයි.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවයි, මේ ටෙලියට පාදක වී තිබෙන්නේ.
නවකතාව කියැවූ පාඨකයන් විශේෂයෙන් මේ නාට්‍යයට ප්‍රතිචාර දක්වනවා. මං රඟන මාලිනිගේ චරිතය, තරමක් සැරපරුෂ එකක්. නමුත් මට ලැබෙන සුපුරුදු විදියේ ම චරිතයක් නිසා අමාරුවක් නැතිව කරගෙන යනවා.
ඒත් ඔබ බොහෝම බයාදු, පරාජිත ඕනෑවටත් වඩා නිවුණු ගති ඇති බිරියකගේ චරිතයකුත් කළ වග මතකයි...
ඔව්. ඒ, බොහොම කලකට ඉහත ‘දිය සෙවණැලි’ නාට්‍යයේ මන්දිරාගේ චරිතය. පාලිත සිල්වා සහ සසන්ති ජයසේකර මෙහි මා සමඟ රඟපෑවා. ඔවුන්ගේ අනියම් ප්‍රේමය ඉදිරියේ මං බොහොම අසරණ වූ බිරියක්. දරුවන් අහිමි බිරියක් විදියට ඔවුන්ගේ මේ නොමනා හැසිරීම්... ඒ හා බැඳුණු හැල හැප්පිලි දරාගන්න මට සිදුවුණා. මං කෙරෙහි ප්‍රේක්ෂකයන් තුළ එදා ඇති වූ අනුකම්පාව, ඔවුන් දැක්වූ ප්‍රතිචාර අදටත් පුදුමයි. හුඟ දෙනෙක් ඒ මන්දිරා ගැන තවම කතා කරනවා. සමහර විට ඒ සත්‍ය කතාවක් ඇසුරින් කළ නිර්මාණයක් නිසා ඇති වූ සංවේදි බව නිසා වෙන්න ඇති.
මම ම නිෂ්පාදනය කළ ‘චක්‍රාංගි’ නාට්‍යයේ ‘කසුනි’ ත් එහෙම චරිතයක්. ඒ කාලේ මං ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධ වුණේ නිෂ්පාදිකාවක් විදියට. නමුත් ඒ නිවුණු චරිත රඟපාමින් සිටි මගේ පරිවර්තනය සිදුවුණේ ‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යයත් එක්ක. ඒ කාලේ විකාශය වූ ‘ප්‍රවීණා’ - ‘මහ ගෙදර’ වගේ ඉන්දියානු ටෙලිනාට්‍යවලට තරග කරන්න ලංකාවේ හදාපු පළමු ටෙලිනාට්‍යය ‘කිඳුරංගනා'. සාරි ඇඳගෙන - රත්‍රන් බඩු දාගෙන නිදාගන්න ඉන්දියානු තාලයේ නාට්‍යයක් ඒක. එහි ‘රාජිණි’ මං. බොහොම ආඩම්බරකාර, උද්දච්ච චරිතයක් ඒක. ඉන් පස්සෙ දිගින් දිගටම ලැබුණෙ එහෙම චරිත.
ඔබ බොහෝ කලක් හිටියෙ ජපානයේ...

ඔව්. මං ජපානයේ අවුරුදු 10 කටත් වැඩිය හිටියා. පාසල් ජීවිතෙන් පස්සෙ මං ජපානෙට ගියේ භාෂාව ඉගෙන ගන්න. නමුත් අන්තිමේ මං අවුරුදු 10 ක් ම එහි හිටියා. අද මට ජපන් බස වතුර වගේ.
ඔබ අද එයින් ප්‍රයෝජනයක් ගන්නවද...
ලංකාවට ආ මුල් අවධියේ නම් ජපන් භාෂා පරිවර්තිකාවක් ලෙස වැඩ කළා. කලක් මං දරුවන්ට ජපන් භාෂා පන්ති කළා. නමුත් මට කලාවට යොමු වුණාට පස්සෙ ඒ පැත්ත සම්පූර්ණයෙන් ම ඈත් වුණා. ඒ ගැන නම් දුකයි. නමුත් අද හිතුණොත් මට ඒ පැත්තට යොමුවෙන්න අදත් පුළුවන්. තියෙන්නෙ මගේ පමාව විතරයි.
ඔබ අනෝජා වීරසිංහගේ නෑයෙක් ද...
රූපයෙනුත් සමාන නිසා, වාසගමත් එකම නිසා හුඟ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒත් නෑකමක් නම් නැහැ. නමුත් එයා හරි ළෙන්ගතු කෙනෙක්. මගේ තාත්තා විමලදාස වීරසිංහ. මං හිතන්නේ අනෝජා අක්කට මේ වාසගම ඇවිත් තියෙන්නේ එයාගෙ මහත්තයාගෙන්. සමහරු කෙළින් ම අහනවා, අක්කා කොහොමද කියලත්...”
ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් යමක් කියන්න...
අපි කොළඹ වුණාට තාත්තා වතු පාලකවරයෙක් නිසා අපි පුංචි කාලෙම කුරුණෑගලට ගියා. මං ඉස්කෝලෙ ගියේ මලියදේව බාලිකාවට. අපි ලොකු වුණාම ආයේ කොළඹ ආවා. දැන් නම් තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ සහෝදරයා සහ සහෝදරියත් කොළඹ. මායි අම්මයි එකට ජීවත් වෙනවා. ළඟදි මං පටන් ගත්තා රූපලාවණ්‍ය ආලේපන ගෙන්වන පුංචි ව්‍යාපාරයක්. ඒ සඳහා නිතර බැංකොක් යන්න වෙනවා. රඟපෑමෙන් විතරක් ජීවත් වෙන්න බැරි නිසා මොනවා හරි කරන්න ඕනේ.
අනික මං ජපානයෙන් හම්බ කරන් ආ මුදල් වැය කරලා හදාපු ටෙලිනාට්‍ය දෙකක් තවම තියෙනවා විකුණාගන්න බැරිව. නමුත් ඒ ගැන මට තවම බලාපොරොත්තු අතෑරලා නැහැ. අමතර ආදායමක් එන ‘කොස්මැටික්’ ව්‍යාපාරයක් පටන් ගත්තෙත් ඒ නිසා.
ඒ වගේ ම, මට මේ දිනවල හුඟක් ආරාධනා ලැබෙන්නේ ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්න. පුංචි හැකියාවක් තියෙන නිසාදෝ එහෙම ආරාධනාත් ලැබෙනවා. කොහොම වුණත් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගෙවෙනවා.
ඉනෝකා පෙරේරා
0 comments:
Post a Comment