----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒ පෝරිසාදයා නාට්‍යය කෑවා

Thursday, September 6, 2012


ඒ පෝරිසාදයා නාට්‍යය කෑවා

ආර්.ආර්. සමරකෝන්
ආර්.ආර්. සමරකෝන් පුරා දශක 5 ක් ඉක්මවා සිංහල වේදිකාවේ අඛණ්ඩව වැජඹුණු අපූරු රසවතෙකි. ඔහු මුලින්ම ගැඹුරු හාස්‍යයක් සිංහල වේදිකාවට දායාද කරන්නේ 1971 දී ඔහුගේ ‘අහසින් වැටුණු මිනිස්සු’ නාට්‍යයෙනි. එහි ප්‍රධාන භූමිකාව රඟපෑ රංජිත් යාදුන්න, මිල්ටන් නම් වූ අයි.ආර්.සී. කාරයෙකුගේ චරිතය රඟමින් මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ ප්‍රේක්‍ෂකයන් ඔහු දකින්නටත් පෙර වේදිකාවෙන් පිටත සිට උස් හඬින් දෙබසක් පවසමිනි. එය අසන ඔහුගේ නැඟණියගේ නෝන්ජල් පෙම්වතා බියෙන් තැති ගනියි. එය දකින මිල්ටන්ගේ නැඟණියගේ චරිතය රඟපෑ ප්‍රේමා ගනේගොඩ උස් හඬින් සිනාසී මෙසේ කියයි. ‘ඔයා බය වෙන්න එපා. ඒ අපේ අයියා.’ ‘ඉතින් ඇයි එයා කෑ ගහ ගහා එන්නෙ.’ පෙම්වතා පහ නොවුණු බියෙන්ම අසයි. ‘එයා එහෙම තමයි. ඇතා එන්ඩ ඉස්සර මිණිගෙඩි සද්දෙ ඇහෙනවනෙ.’ ප්‍රේමා සැහැල්ලුවෙන් පිළිතුරු දෙයි.
’යකෝ මුන් හරියට කන්ඩ දීලා ඇති කළා වගෙනෙ මේවට ගණන් කියන්නෙ.’ මාළු ගොටුවක් අතින් ගෙන වේදිකාවට පිවිසෙන ‘කැලණි පාලමේ’ සරණපාලගේ භූමිකාව රඟපෑ රත්නසිරි ලියනගොඩ කියයි. එහිම මැම්බර් ගේ චරිතය රඟපාන ජේ.එච්. ජයවර්ධන බීමත්ව සරණපාලට වාරුවී මෙසේ කියයි. “සරණපාල උඹ මේ සල්ලි අරගෙන, උඹේ ගෑනිත් එක්ක ගිහින් බලාපන් හොඳ බයිස්කෝප් එකක්. මම ගිය සුමානෙ බැලුවා අපූරු බයිස්කෝප් දෙකක්. ‘සැනසුම කොතනද, අල්ලපු ගෙදර’.”
’කැලණි පාලමේ’ එන සරණපාල එම භූමිකාවට අනුව කාස රෝගයෙන් පීඩා විඳි දිගුකලක් වැලිසර රෝහලේදී ප්‍රතිකාර ලැබ සුවවී පැමිණි දිරාගිය සිරුරකින් යුත් පුද්ගලයෙකි. ඔහු එම ස්වභාවය තීව්‍රව නිරූපණය කරනු පිණිස වේදිකාවේදී නිතර කහියි. එම භූමිකාව සාර්ථකව නිරූපණය කළ රත්නසිරි සැබෙවින්ම හෘද රෝගියෙකි. එහෙයින් ම හේ ඉතා කෘශ ශරීරයක් ඇත්තෙකි. පසුකලෙක ඔහු මිය ගියේද එම රෝගය උත්සන්න වීමෙනි. ‘කැලණි පාලමේ’ චුට්ටේ කිසිවෙකුට නොනැමෙන, ජවසම්පන්න පුද්ගලයෙකි. එය රඟපෑවේ ප්‍රවීණ නළුවකු වන නීල් අලස්ය.
මංගල දැක්ම අවසානයේ වේදිකාවට ගොඩ වී ඉතා උණුසුම් ලෙස සමරකෝන් වැලඳ ඔහුට සුබ පැතූ කලා ලෝකයේ ප්‍රකට විචාරකයෙක් මෙසේ කීවේය.
’කවුද සමරකෝන් අර සරණපාලගෙ කැරැක්ටර් එක කරපු නළුවා. මිනිහා මීට කලින් රඟපානවා මම නං දැකලා නැහැ. බලනවකො ඒ මනුස්සයා නාට්‍යය පුරාම කහින අපූරුව. මුළු නාට්‍යයම හුඟාක් හොඳයි. සරණපාලගෙ චරිතෙ විශිෂ්ටයි. පුන පුනා සරණපාල චරිතය වර්ණනා කළ විචාරකයා සමරකෝන් ගෙන් සමුගෙන වේදිකාවෙන් බැස යද්දී කට කොනකට සිනාවක් නඟාගත් සමරකෝන් ඒ අසල සිටි මා හට රහසින් මෙන් මෙසේ කීවේය.
’රත්නසිරි කොහොමත් ලෙඩානෙ එඩ්වඩ්. කහින්නෙ ඒකයි. මිනිහට නීල් කරපු චුට්ටෙගෙ චරිතෙ දුන්නත් මිනිහා කහිනවා. ඒක දන්නෙ නෑනෙ මේගොල්ලො.’ කැලණි පාලමේ ශිල්පීන් ගේ එකිනෙකා පරයන අපූර්ව රංගනයන්ගෙන් අමන්දානන්දයට පත්ව සිටි මම සමරකෝන්ගේ ඒ කතාවෙන් ඊටත් එහා ගිය තෘප්තියක් ලදිමි.
දිනක් මගේ ආරාධනයෙන් සමරකෝන් මහතා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඊ.එම්.ඩී. උපාලිගේ ‘පියාඹන අස්සයා’ නාට්‍යය නැරඹුවේ මා සමඟිනි. එම නාට්‍යය නරඹා සතියක් යන්නටත් පෙර දිනෙක දී මගේ නිවෙසේදී සමරකෝන් හට උපාලි මුණගැසුණි. මගේ හඳුන්වා දීමෙන් පසු උපාලි දෙස බලා සුහදව සිනාසුණු ඔහු මෙසේ කීවේය.
’ඉළන්දාරියා මම බැලුවා ඔයාගෙ නාට්‍යය. ඒකෙ තේමාව, ඉදිරිපත් කරලා තිබුණු ආකාරය, ප්‍රධාන නළු නිළියන් ගෙ රංගනයන් බොහොම අපූරුයි. හැබැයි පුතෝ ඒකෙ අර වැඩකාරයගෙ චරිතය රඟපාපු හාදයව තෝරගත්ත එකටනං ඔහේට කිසිම සමාවක් දෙන්ඩ බැහැ. ඒ යකා නාට්‍යය කෑවනෙ. කැපිච්ච පණුවෙක් වගෙ දැඟලුවා මිසක් ඒ පෝරිසාදයා රඟපෑවයැ.’
සමරකෝන් මහතාගේ තියුණු ප්‍රතිචාරය හමුවේ උපාලි ලජ්ජාවෙන් රතුවී ඇඹරෙන්නට විය.
’නෑ මිස්ටර් සමරකෝන් එදා ඒ චරිතෙට නියමිත නළුවා ඇවිල්ලා නැතුව, ඒක රඟපාන්න වුණෙත් මේ උපාලිටමයි.’ මගේ කරුණු පැහැදිලි කිරීමෙන් උපාලිටත් වඩා අපහසුතාවයට පත්වූයේ සමරකෝන්ය.


Silumina
READ MORE - ඒ පෝරිසාදයා නාට්‍යය කෑවා

“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!


මගේ ප්‍රසංග මෙපමණ වාර ගණනක් පවත්වන්න ලැබීම ම ආශ්චර්යයක්

විශාරද නන්දා මාලිනී
“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!
විශාරද නන්දා මාලිනී ගායන ශිල්පිනියගේ සිවුවැනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගයේ අවසන් ප්‍රසංග වාරය මෙම 14 වැනිදා සවස 6.30 ට රත්මලාන, ස්ටයින් ස්ටුඩියෝහි දී පැවැත්වේ.
සිංහල සංගීත ක්ෂේත්‍රයේ ගායන ප්‍රතිභාවෙන් අනන්ත වූ ඇය අපි “හෙළයේ මහා ගායිකාව“ යයි හඳුන්වමු. ඒ ඇය ගායනා කළ සුභාවිත ගීතාවලියෙන් අපේකම ලොවට කියා පෑ නිසා ය. එපමණින් නොනැවතී ලෙයින්, මසින් නිර්මිත සැබෑ මිනිසුන්ගේ හැඟීම් සමඟ ඇය ගීතමය ගනුදෙනුවක් ආශ්චර්යවත් අයුරින් කරන්නීය. එවැනි ආශ්චර්යයන් අඩ සිය වසරකටත් වැඩි තම සෞන්දර්ය චාරිකාවේදී ඈ විසින් සිදු කරනු ලබන ඉසව්ව වී ඇත්තේ ඒක පුද්ගල ගීත ප්‍රසංග කලාවයි. මීට ඉහතදී ඇය ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” – “සත්‍යයේ ගීතය” සහ “පවන” ඒක පුද්ගල ගීත ප්‍රසංග මෙන්ම “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය ද ආශ්චර්යයක් බවට පත් කරමින් ඈ ඉන් සමුගන්නීය. එහෙයින් මෙවර “ස්වර වර්ණ” වර්ණවත් කරන්නට අපි ඇයට ආරාධනා කරමු. ඇය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී ය.
”මගේ හතර වැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය වන ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයට පුදුමාකාර ප්‍රතිචාරයක් ගීත රසික රසිකාවියන්ගෙන් ලැබෙනවා. බොහෝ විට ප්‍රසංගය අවසන් වුණත් සමහර රසික පිරිස් තවදුරටත් රැඳී ඉන්නවා, ප්‍රසංගය නිම නොවීය යි සිතා. සුභාවිත ගීතයට කැමැති බුද්ධිමත් රසික ජනතාව දැන් මේ රටේ ප්‍රචලිත ගීත රැල්ල ප්‍රතික්ෂේප කරන බව මේ ප්‍රසංගයට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.
”ගුණාත්මක ගී පිපාසයෙන් ශ්‍රාවකයින් පෙළෙන මෙවන් වකවානුවකදී ඔබගේ “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය දර්ශන වාර විසිපහක් වැනි අඩු ගණනකින් නිමා කිරීම අසාධාරණයක් නොවේ ද...?
”ගීත ශ්‍රාවකයින්ගේ පැත්තෙන් පමණක් බැලුවොතින් අසාධාරණයි තමා. ඒත් මෙහි තව පැත්තක් තිබෙනවා. ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය මගේ මීට පෙර පැවැත් වූ අනිකුත් ප්‍රසංග වගේ අපේ පෞද්ගලික මුදලින් පැවැත්වූ ප්‍රසංගයක් නොවේ. ‘සිරස’ එෆ්.එම්. ආයතනයයි මෙම ප්‍රසංගය කළේ. ඔවුන්ට බැහැ එකම ගායිකාවකගේ ප්‍රසංගයක් දිගටම පවත්වන්න. ඒ වගේම අපි මුල ඉඳලම ගිවිස ගෙන තිබුණු අයුරු කටයුතු කරන්න ඕනේ. ඒ අනුව ප්‍රසංග වාර විසිපහකින් ‘ශ්වේත රාත්‍රිය’ නිම වෙනවා.
”ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
”ඔව්. මගේ ‘පවන’ ප්‍රසංගයෙන් සමුගෙන අවුරුදු විසි දෙකකට පසුව තමයි ‘ශ්වේත රාත්‍රිය’ 2010 සැප්තැම්බර් 14 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ආරම්භ කළේ. බුද්ධිමත් ගීත ශ්‍රාවකයින් වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න ‘සිරස’ මාධ්‍ය ආයතනයට ඕනෑකමක් තිබුණා සේම වෘත්තීය ගායන ශිල්පිනියක් වශයෙන් මටත් ප්‍රසංගයක් කිරීමේ වුවමනාවක් තිබුණා. මම ඉතාම වගකීමෙන් මේ කියන්නෙ – ‘සිරස’ ආයතනය ඔවුන්ගේ දීර්ඝ මාධ්‍ය භාවිතයේ අත්දැකීම් ද ඇසුරු කරගෙන ‘ශ්වේත රාත්‍රිය’ හොඳින් ඉදිරිපත් කරන්න සංවිධාන කටයුතු කළා. වාද්‍ය ශිල්පී සම්බන්ධීකරණය, ආලෝකකරණය මෙන්ම ශබ්ද පරිපාලනය ආදී සියලුම කටයුතු නිසියාකාරව සිදු කෙරුණා. ඔවුන් ගෞරවනීය අයුරින් ඔවුන්ගේ කටයුතු ඉටු කළා. මෙම ප්‍රසංගය නිසා මගේ ජීවිතය අලුත් වුණා. ගායිකාවක් ලෙස ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය ඉදිරිපත් කිරීමෙන් මා විශාල තෘප්තියක් ලැබුවා.”
මෙම ප්‍රසංගයෙන් “සිරස” ලාභ උපයන්න ඇති නේද..?
”මම හිතන්නේ සිරසට වුවමනා වුණේ ලාභ උපයන ප්‍රසංගයක් කරන්න නෙමේ. ඔවුන්ගේ වෑයම වුණේ ගුණාත්මක ගීත ප්‍රසංගයක් ශ්‍රාවකයින්ට ඉදිරිපත් කිරීමයි. ගීත රසික රසිකාවියන්ගේ සහභාගීත්වය ඉහළම මට්ටමක පැවතියත් “සිරස” ආයතනය මේ ප්‍රසගයෙන් ලාභ ඉපයුවේ නැහැ. එක් අවස්ථාවක ප්‍රසංගයෙන් ලද මුදල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළා.
මේ වනවිට වැඩිම ඒක පුද්ගල ගීත ප්‍රසංග ප්‍රමාණයක් සමාජ ගත කළ ගායන ශිල්පිනිය ඔබයි. ඒ පිළිබඳ ඔබේ මතකය ?
”සාමූහිකව ගීත ප්‍රසංග පැවැත්වීමෙන් අපේ ගීත ශ්‍රාවකයින්ට යහපත් ප්‍රයෝජනයක් ලබා දෙන්න හැකිද කියන ප්‍රශ්නයට මගේ සිතුවිලි අතර මම පිළිතුරු සොයමින් උන්නු කාලයකදී තමයි මට අමරදේව සර් සමඟ ‘ශ්‍රවන ආරාධනා’ ද්වි පුද්ගල ගීත ප්‍රසංගය කරන්න ලැබුණේ. ටික කාලයකට පසු අමරදේව සර්ගේ දිවියේ කාර්ය බහුලකම නිසා එතුමා නැවතුණා. එතුමා වැනි දැවැන්ත ශිල්පියකු නැතුව දිගටම කරගෙන යාම මහත් අභියෝගයක් වුවත් අවසානයේ මට සිදු වුණා තනියම එම ප්‍රසංගය පවත්වා ගෙන යන්න. 1973 ජනවාරි මාසයේ ලුම්බිණි රඟහලේදී මං එම අභියෝගයට මුහුණ දුන්නා. එදා සිට පන්සිය තිස් වාරයක් ‘ශ්‍රවණ ආරාධනා’ පවත්වා 1979 මැයි මස 22 වැනිදා ලුම්බිනියෙන්ම එම ප්‍රසංගය නිමා කළා. එදා ප්‍රසංගය ‘සූරිය’ ලේබලය යටතේ එල් පී (L.P) තැටියකටත් ඇතුළත් වුණා.”
ඉන්පසු ඔබ දිගු කාලයක්ම ප්‍රසංග වේදිකාවෙන් ඈත් වී සිටියා
”අවුරුදු හතක් අටක් විතර උන්නා. මම ආසා නැහැ එළිමහන් ප්‍රසංගවල ගී ගයන්න. කවුරු කිව්වත් එළිමහන් ප්‍රසංග, මංගල උත්සව, පි‍්‍රයසාද වැනි අවස්ථාවල මං ගී ගයන්නේ නැහැ. එහෙම ඉන්න අතරේ 1981 අගෝස්තු 29, 30, 31 දින තුනේදී ලුම්බිණියෙන්ම ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය ආරම්භ කළා. නවතම ගීත යොදා ගෙන කරපු එම ප්‍රසංගයේ තේමාව වුණේ ‘ආදරයේ විරහ වේදනාවේ දුකේ සහ සතුටේ සත්‍යය කුමක් ද’ යන වගයි. සුනිල් (මහාචාර්ය සුනිල් ආරියරත්නයන්) තමයි ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ සෑම කටයුත්තක්ම ඉටු කළේ, එකම ගීත සමුච්චයක් එක දිගටම ගයද්දී මටම එපා වෙලා 1984 අගෝස්තු 29, 30, 31 යන දින තුනේ ලුම්බිණියේදීම සමුගැන්මේ ප්‍රසංග මාලාව පවත්වා එම ප්‍රසංගයත් නිමා කළා. ඒ වනවිට ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය පන්සිය වාරයක් පවත්වා තිබුණු අතර ‘සිංග්ලංකා’ කැසට් පට යුගළයකටත් එය ඇතුළත් කෙරුණා.”
නැවතත් ප්‍රසංග වේදිකාවෙන් දුරස්වී වසර කිහිපයක්ම හිඳ “පවන” සමඟ ඔබ ශ්‍රාවකයින් ඇමතුවේ මේ රටේ ඉතාම අඳුරු යුගයකදී?
”මගේ වෘත්තිය තුළ තිබෙන්නේ දේශපාලනයයි. භීෂණයෙන් දූෂණයෙන් මේ මුළු රටම අඳුරු වී තිබුණු එම යුගයේ අවශ්‍යතාවයක් වී තිබුණා අපේ චින්තනය හා දේශපාලන අදහස් ආදි හැඟීම් පවසන්න. එවකට පැවැති තරුණ අසහනය පාදක කරගෙන භීෂණයට, දූෂණයට, අයුක්තියට එරෙහි හඬක් වෙන්න මට සුනිල් අලුත්ම ගීතාවලියක් ලියා දායකත්වය ලබා දුන් හින්දා 1987 ජුනි 26, 27, 28 දිනවලදී ලුම්බිණියෙන් ම ‘පවන’ ප්‍රසංගයත් ඇරැඹුවා. උණුසුම් ප්‍රතිචාර මැද අවුරුද්දක කාලයක් ඇතුළතදී ‘පවන’ ප්‍රසංගය දෙසිය පනස් වාරයක් පැවැත්වීමට අපට පුළුවන්කම ලැබුණා. හරියටම අවුරුද්දකට පසු 1988 ජුනි මාසයේ දිවා දර්ශන වාරයක් පවත්වා ‘පවන’ ප්‍රසංගයත් අවසන් කළා. එම ප්‍රසංගයත් සංයුක්ත තැටියකට ඇතුළත් වුණා.”
ඔබ ගැයූ ඔබේ පි‍්‍රයතම ගීත මොනවා ද?
”එහෙම ප්‍රශ්නයක් අහන එක අසාධාරණයි. මම ගයන හැම ගීතයකටම කැමැතියි. අකැමැති ගීත මම ගයන්නේ නැහැ. විවිධ කාලවකවානු අනුව සුදුසු ගීත මං ගායනා කරනවා. මා ගැයූ ‘අයන්න කියන්න’ ගීතයෙන් ලොකු ධර්මයක් දරුවන්ට කියා දෙනවා. තවත් උදාහරණ කියනවා නම් ‘මිරිවැඩි සඟලක්’ ගීතයෙන් මෙන්ම යුද්ධයක ඡායාවක්වත් නැති යුගයකදී මා ගැයූ ‘උඩඟු ලියන්’ ගීතයෙන් ද ස්පර්ශ කිරීමට හැකි වූ මානව හැඟීම් සමඟ ඒ ඒ කාල වකවානුවලදී හැම ගීතයක් ම මගේ පි‍්‍රයතම ගී බවට පත් වෙලා තියෙනවා.
ඔබ මෙතෙක් ගයා ඇති ගී පද රචනා වැඩි ගණනක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ගී සංකල්පනා වීමේ රහස කුමක්ද..?
”ඒ රහස වසර හතළිහක් අපි එකම මඟක පැමිණීමයි. එතුමාගේ ගී සංකල්පනය ප්‍රබලයි. ගුණාත්මකයි. මා ගායනා කර ඇති දහසක් පමණ වන ගීත අතර වෙනත් ගී පද රචකයින්ගේ ගී සංකල්පනා ඇත්තේ සියයක් පමණ විය යුතුයි. සුනිල් ආරියරත්නයන්ගේ ගීත කලාව තමයි මගේ ගීත කලාවට ලැබුණු ලොකුම දායකත්වය. එතුමාගේ මුල්ම ගී පද රචනය වූ ‘සකුරා මල් පිපිලා’ ගැයුවෙත් මමයි. එදා සිට අද වනතුරුත් අපි අපේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන එකම මඟක මේ සෞන්දර්ය චාරිකාවේ යෙදී සිටිනවා.”
ඔබේ ගීත සඳහා ඔබම සාර්ථක තනු නිර්මාණය කර ගත් ගායන ශිල්පිනියක ලෙසින් හැකියාව පෙන්නුම් කළ ඔබ අනිකුත් ගායක ගායිකාවන් උදෙසා තනු නිර්මාණය නොකළේ ඇයි...?
”කිහිප දෙනකුට නිර්මාණ කිහිපයක් කර දුන්නා. එමෙන්ම මා ගයන ‘මිහි මඬලේ’ – ‘සාරි පොඩිත්තක්’ – ‘සකුරා මල් පිපිලා’ වැනි ගී සියයක පමණ තනු නිර්මාණය කරගත්තේ මමමයි. ඒත් ගායනය මිස තනු නිර්මාණය මගේ කාර්යභාරය නොවේ - නේ. එම නිසා ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තිබුණේ නැහැ.
ඔබ පවත්වා ගෙන යන සංගීත ආශ්‍රමයෙන් වැඩිහිටියන්ට සුවිශේෂ පණිවිඩයක් ලබා දෙනවා නේ...?
”මගේ සංගීත ආශ්‍රමයෙන් දරුවන්ගේ මොළයට පෝෂ්‍යදායී කලාත්මක ආහාර සපයා දීමකුයි මම කරන්නේ. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයන්ට දක්ෂ නැති වුවත් බලෙන් හෝ තම දරුවන් එවැනි විෂයයන්ට යොමු කරන්න වැඩිහිටියන් වගබලා ගන්න ඕනේ. අපිට සෞන්දර්ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ යහපත් ආශ්‍රය ලැබුණු හින්දා තමයි අද මේ තරම් දුරක් මේ ගමන එන්න පුළුවන් වුණේ. අපේ දරුවන්ටත් අපි වර්තමානයේ සිටින දැවැන්ත සැබෑ සෞන්දර්යවේදීන්ගේ ඇසුර ලබා දුන්නොත් තමයි ඔවුන් යහපත් මිනිසුන් වී ප්‍රයෝජනවත් මෙහෙවරක් සමාජයට ඉටු කරන්නේ.”
දිළිඳු දැරියක, යුවතියක මෙන්ම අප්‍රමාණ දුක් ගැහැට වේදනා ඉසිලූ ගැහැනියක ද වශයෙන් ජීවිතයේ විවිධ කඩඉම් පසුකර ආ ගමන් මඟ පිළිබඳ අද ඔබට හැඟෙන්නේ කෙලෙස ද..?
”දරිද්‍රතාවයෙන් පෙළුණු දෙමව්පිය යුවළකගේ දරුවෙක් ලෙසින් සිට මේ දක්වා ආ ගමනේදී විඳි සියලුම දුක් ගැහැට මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. මගේ තාත්තා (වින්සන් පෙරේරා) කෝට් මැසූ ටේලර්වරයෙක්. අම්මා (එමලි පෙරේරා) සමඟ තාත්තා අප නව දෙනකුගෙන් යුතු පවුල ජීවත් කරවන්න විශාල වෙහෙසක් දැරුවා. තාත්තා හම්බ කරපු සුළු මුදලෙන් ණය නොවී අපව ජීවත් කරපු අයුරින් මම පාඩම් ඉගෙන ගත්තා. ආසාවට අයිස්ක්‍රීම් ඉලුල්වාම ‘අද මං ළඟ සල්ලි නැහැ’ කියා කෙළින්ම කියන්න තාත්තාට පුළුවන්කම තිබුණා. ඔහු බොරු මවාපෑම් කළේ නැහැ. අපිටත් කන්න නැතුව සිටිද්දී දවසක් ලේනුන් කාපු ගස්ලබු ගෙඩියක් දැකලා ඒක කඩා දෙන්න කීව්වාම තාත්තා කිව්වේ ‘කුරුල්ලන්ට තියමු’ කියලා. මං ඒ අපූර්ව පාඩම් ඉගෙන ගත්තේ ජීවන තක්සලාවෙන්. ඒ නිසා මා තුළ සිටින්නේ මගේ තාත්තාම විය යුතුයි.
අද මේ ගෙදර ලුණු කැටය පවා මම යහපත් කලාවකින් උපයා ගත්තේ. මම මගේ සංගීත ආශ්‍රමයේ පන්ති කරගෙන එයින් ලැබෙන දෙයින් සෑහීමට පත්වෙනවා.
මේ පුංචි දූපතේ ගැහැනියකට ඒක පුද්ගල ගීත ප්‍රසංග හතරක් මෙපමණ වාර ගණනක් කරන්න ලැබීමම ජයග්‍රහණයක්, ආශ්චර්යයක් කියලයි මට හැඟෙන්නේ.”
READ MORE - “ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!

මේ නාට්‍ය ප්‍රබෝධය බොරුවට අටවපු එකක්


මේ නාට්‍ය ප්‍රබෝධය බොරුවට අටවපු එකක්

ධර්මසිරි බණ්ඩාරනායක
ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවලභීෂණ’ නාට්‍යය නව නිෂ්පාදනයේ මංගල දැක්ම මෙම 1 සහ 2 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙයි. මෙම නාට්‍යයට පාදක වූයේ ප්‍රංශ මහා ලේඛක ශොන් පෝල් සාර්ත්‍රේගේ කෘතියකි. පහත යෙදෙන්නේ ‘ධවල භීෂණ’ නව නිෂ්පාදනය අළලා ධර්මසිරි බණ්ඩාරනායක සමඟ කළ කතාබහකි.
ශේක්ෂ්පියර්ගේ ‘ජුලියස් සීසර්’, ‘මැක්බත්’, ‘කිං ලියර්’ වැනි නාට්‍ය වගේම සාර්ත්‍රේගේ මේ නාට්‍යයත් සර්වකාලීනයි; සර්වභෞමිකයි කියලා ඔබ හිතනවද?
ඔව්. සාර්ත්‍රේ මේ නාට්‍යය ලිව්වේ දෙවැනි ලෝක මහා යුද්ධය ඉවරවුණයින් පස්සේ. හිට්ලර් ප්‍රංශය තුළ රූකඩ ආණ්ඩුවක් පිහිටුවලා පැටේන් ලවා කරවන ජන ඝාතනය මේ නාට්‍යයට පසුබිම් වෙනවා.
ඊට එරෙහිව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නැඟී සිටීම තමයි මෙයින් කියැවෙන්නේ. මිනිසුන් මරා දැමීම සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇතිවන චලනය. ඒ චලනයට ගොදුරු වෙච්ච චරිත සමූහයක් තමයි මේ නාට්‍යයේ පාත්‍රවර්ගයා. මං හිතන්නේ මේ අත්දැකීම මොන රටකටත් මොන කාලයටත් පොදුයි.
ඔබ අවසාන වතාවට නිෂ්පාදනය කළේ ‘ට්‍රෝජන් කාන්තාවෝ.’ ඒ 1999 දී. ඉන්පසු නව නිෂ්පාදනයක් නොකරන ඔබ ඔබේ මුල් නාට්‍ය දිගින් දිගටම ප්‍රති නිෂ්පාදනය කරනවා.
ඔව්. මම මීළඟට ‘යක්ෂා ගමනය’ ප්‍රති නිෂ්පාදනය කරනවා. එතකොට මගේ නාට්‍ය පහම ප්‍රදර්ශන මට්ටමේ තිබෙනවා. මගේ හැම නාට්‍යයක්ම අනාගත වාක්‍ය. අනාගතයට අවශ්‍ය දේ කියැවෙන නාට්‍ය. ඒත් එදාට වඩා අද මේ නාට්‍ය දිහා සිහි බුද්ධියෙන් යුතුව බැලිය හැකි වාතාවරණයක් තිබ්බත් ඒ කියැවෙන දේ අදටත් ලංකාව තේරුම් අරගෙන නැහැ.
කෙසේ වෙතත් පසුගිය දශක දෙක තුළ සිංහල වේදිකාවේ අඛණ්ඩව රැඳී සිටියේ ඔබත් ජයලත් මනෝරත්නත් පමණයි.
ඇයි පරාක්‍රම නිරිඇල්ල? අපිට කිසියම් වගකීමක් තියෙනවා. අද නාට්‍ය කලාවේ ප්‍රමිතිකරණය කඩා වැටිලා. සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ නාට්‍යයෙන් පස්සේ ඒවගෙ ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක් අදටත් මම අපේ වේදිකාවේ දැකලා නැහැ. ඒ නිසා ඒ ගැන මගේ විවේචනයක් තිබෙනවා.
අද කිසියම් නාට්‍ය ප්‍රබෝධයක් දක්නට ලැබෙනවා කියා ඇතමුන් කියනවා.
මේක බොරුවට අටවපු ප්‍රබෝධයක් මිස සැබෑ ප්‍රබෝධයක් නෙමෙයි. අද ඇතමුන් නාට්‍යකලාව තක්කඩි ව්‍යාපාරයක් බවට පත්කර ගෙන.
අද වේදිකාව ‘විනෝද සමයක්’ විම නිසා ඇතැම් ප්‍රේක්ෂකයන් අහන්නේ ‘සිංහබාහු’ නාට්‍යයේත් කොමඩි තියෙනවද කියලයි.
මේක ඛේදවාචකයක්. එදා ‘සාජන්ට් නල්ලතම්බි’ බලලා හිනාවුණු ප්‍රේක්ෂක පිරිසක් ආයෙත් ඉන්නවා. ඒත් එදා අපේ මහා නාට්‍යකරුවන්ට පුළුවන් වුණා ඒ රැල්ල පරාජය කරන්න. 1985 රාජ්‍ය නාට්‍ය උලෙළෙදි ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යය ඉහළ තැනක තැබීමේ රාජ්‍ය වුවමනාවක් තිබුණා. ඒත් නාට්‍ය උලෙළේ හිටපු බන්දුල ජයවර්ධන බඳු ප්‍රවීණ නාට්‍යකරුවන් එයට ඉඩදුන්නේ නැහැ. අද ප්‍රබුද්ධයි කියන නාට්‍යකරුවන් පවා අවර ගණයේ නාට්‍යවලට දායක වෙලා.
’ධවල භීෂණ’ නාට්‍යයෙන් කියැවෙන්නේ විමුක්ති අරගලයක් ගැන? එහි චරිත ප්‍රංශ විමුක්තිකාමින්. මේක ‘ධවල භීෂණ’ මුල් නිෂ්පාදන අවදියේ JVPඑක වැරදි කොනින් අල්ල ගත්ත නේද?
මේ නාට්‍යයත් එක්ක ගැළපෙන සිදුවීම් කීපයක් තිබුණාට ප්‍රංශයේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි, අපේ රටේ තිබුණු දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි හාත්පසින්ම වෙනස්. ඒ නිසාම මේක නාට්‍යයට අනතුරක් බවට පත්වෙනවා. කොටින්ම අපිට නාට්‍යය නතර කරන්න සිදුවෙනවා. මට ආරක්ෂාව පතා රටින් පැනලා යන්න සිද්ධ වෙනවා.
සාර්ත්‍රේගේ මුල් නාට්‍ය පිටපතේ යටිපෙළින් කිසියම් දර්ශනයක් දිවෙනවා. ඔබ ඒක ග්‍රහණය කරගත්තේ මොන විදියටද?
සාංදෘෂ්ටිකවාදය ඇතුළේ තමයි සාර්ත්‍රේ තම චරිත පිහිටුවන්නේ. චරිත ඇතුළෙම ඇතිවන ප්‍රතිවිරෝධතා පිළිබඳ ඔහු සැලකිලිමත්ව තිබෙනවා. මේ නාට්‍යයේ චරිත ඔවුන්ගේ පාපොච්චාරණයේදි කියන දෙයක් තමයි “මම මරණයට බය නෑ. නමුත් මං මැරෙන්න බයයි” යන්න.
ඔබ අලුත් නළු නිළි පිරිසක් හොයා ගත්තේ කොහොමද? අද ‘මනමෙ’, ‘සිංහබාහු’ වැනි මහා නාට්‍යවලත් රඟපාන්නේ ටෙලිනාට්‍ය නළු නිළියන්.
රූපවාහිනියෙන් ආපු නළුනිළියන් තමන්ගේ ජනපි‍්‍රයත්වය මත වේදිකාව ආක්‍රමණය කරලා තියෙනවා. ටෙලිනාට්‍ය නළුනිළියන්ට පිටපතේ දෙබස් මතක නැහැ. ඇයි? ටෙලි නාට්‍යයේ කියවන්න තියෙන්නේ ‘ලයින්’ දෙකතුනයිනේ. ඒ නිසා ඔවුන් රඟපාද්දි ප්‍රේක්ෂකයන් ඔවුන්ට ‘හූ’ කියන මට්ටමට අද නාට්‍ය වැටිලා තියෙනවා. අද නළුනිළියන් ‘අරූ - අරකි’ කියන මට්ටමට වැටිලා ඉවරයි.
අපේ වේදිකාවේ නූතනවාදි ප්‍රවේශය ගැන ඔබ මොකද හිතන්නේ. විශේෂයෙන් බුද්ධික දමයන්ත වගෙ නාට්‍යකරුවන්ගේ නිර්මාණ ගැන?
ඔවුන්ගේ අරමුණ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කිරීම පමණක් නම් එහි අර්ථයක් නැහැ. තමන්ගේ නාට්‍ය සඳහා හොඳ ප්‍රේක්ෂාගාරයක් ගොඩනැංවීමයි කළ යුත්තේ. ඔවුන්ගේ නාට්‍යයක දර්ශන වාර සංඛ්‍යාවට වඩා ඔවුන් හදපු නාට්‍ය සංඛ්‍යාව වැඩියි.
’ධවල භීෂණ’ නාට්‍යයට 1990 රාජ්‍ය නාට්‍ය උලෙළේදී ලැබුණු සම්මානය ඔබ පිළිගත්තත් අදාළ තෑගි මුදල ප්‍රතික්ෂේප කළා. ඒ බහුජාතික සමාගම්වලට විරෝධය පෑම සඳහා. එසේ කරපු ඔබ අද රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙනව කියල කෙනෙක් චෝදනා කළොත්?
ඒකේ කිසිදු වරදක් නැහැ. ‘ඩොලර් කාක්කෝ’, ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ’, ‘දේශද්‍රෝහියෝ’ මේවා තමයි මිනිසුන් වටේ එල්ලලා තියෙන තහඩු කෑලි. හැබැයි යථාර්ථයට මුහුණ දෙනකොට මේවා ඔක්කොම ගැලවිලා යනවා.
READ MORE - මේ නාට්‍ය ප්‍රබෝධය බොරුවට අටවපු එකක්

නැහැ දැනට එහෙම කෙනෙක් නෑ.



අනූෂා රාජපක්ෂ
ඇය අනූෂා රාජපක්ෂ. අනූෂා දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මෝස්තර නිරූපණය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ ද සාර්ථක ගමනක් පැමිණ ඇත. ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලි නාට්‍ය කිහිපයක්ම රූපවාහිනී නාලිකා කිහිපයකම මේ දිනවල විකාශය වේ. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන අනූෂා මේ වන විට සිනමා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දී ඇත. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගය වෙන් වන්නේ අනුෂා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
ඉතින් කොහොමද අනුෂා. කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගත වෙන්නෙ?
ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම් වලට සහභාගි වෙනව මේ දවස්වල. ඒ; ස්වර්ණවාහිනියෙන් විකාශය වන “ඉටිමල්” ටෙලි නාට්‍යය, සිරසෙන් විකාශය වන “සඳ හිරු තරු” ටෙලි නාට්‍යය සහ ඒ වගේම සිරසෙන් විකාශය වන “සත්‍ය” ටෙලි නාට්‍යය. මේවා දීර්ඝ ටෙලි නාට්‍ය.
ඊට අමතරව මෝස්තර නිරූපණ කටයුතුවලත් යෙදෙනව ද?
රංගනයට එන්න කලින් මම මෝස්තර නිරූපණයේ යෙදුණු කෙනෙක්. හැබැයි මම රංගනයට හරිම ආසයි. පසුගිය කාලෙ රංගන කටයුතුවලට වැඩියෙන් යොමු වුණු නිසා මෝස්තර නිරූපණ කටයුතු තරමක් මඟ හැරුණා.
“ඉටිමල්” ටෙලි නාට්‍යයේ රංගනය ගැන පේ‍්‍රක්ෂකයින් ඔබට මොනවද කියන්නෙ?
හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එහි මම නිරූපණය කරන්නේ වෙරෝනිකා කියන චරිතය. එය ප්‍රධාන චරිතයක්. වෙරෝනිකා කාර්යාලයක සේවිකාවක්. ඇය හැසිරෙන්නෙ කොල්ලෙක් වගේ. මම හරිම ආශාවෙන් ඒ චරිතය නිරූපණය කළේ.
කොහෙද ගම් පළාත; එතකොට...... පාසල් ගියේ...?
මගේ ගම නිට්ටඹුවේ කලගෙඩිහේන. පාසල් ගියේ කලගෙඩිහේන මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලෙ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.
මෝස්තර නිරූපණයට යොමු වුණේ අහම්බෙන් ද?
2001 අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා තරගයට මම ඉදිරිපත් වුණා. එහිදී මම Miss Photo genic ලෙසත් 3rd runner-up ලෙසත් තෙරුණා. ඉන් පසුවයි මම මෝස්තර නිරූපණයට යොමු වුණේ.
ඔබ රඟපෑ පළමු ටෙලි නාට්‍යය කුමක් ද?
ටෙලි නාට්‍යවල රඟපාන්න කලින් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනි හිටින්න මට අවස්ථාව ලැබුණා. වී. සිවදාසන් ගේ ටෙලි නාට්‍යයක තමයි මම මුලින්ම රඟපෑවේ. නමුත් මම පේ‍්‍රක්ෂකයින් අතරට මුලින්ම ගියේ ජානක සහ ප්‍රදීප් නිර්මාණය කළ “රන්මසු වැස්ස” ටෙලි නාට්‍යයෙන්. ඉන් පසුව ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු “නයිට් ලර්නර්ස්” ටෙලි නාට්‍යය ඉන් විශේෂයි.
සිනමාවට ඔබේ දායකත්වය...?
“ස්වීට් ඒන්ජල්”, “සුවඳ දැනුණා ජීවිතේ”, “ද ලාස්ට් චාන්ස්” කියන චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වෙලා තියෙනව. හැබැයි ඒවා ප්‍රධාන චරිත නෙමෙයි. මෑත දී මම රංගනයෙන් දායක වුණු නීටා ප්‍රනාන්දු මහත්මියගේ “ස්වර” චිත්‍රපටය මට ඉතාම සුවිශේෂයි. එය ළඟදී තිරගත වේවි.
“ස්වර” චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
මගේ කලා ජීවිතයේ මට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට මම ‘ස්වර’ චිත්‍රපටය හඳුන්වන්න කැමැතියි. ‘ස්වර’ ඒඩ්ස් රෝගය මුල්කරගෙන නිර්මාණය වුණු ලස්සන චිත්‍රපටයක්. එහි මම රඟපාන්නෙ ‘විහාරා’ කියන මෝස්තර නිරූපිකාවකගේ චරිතය. දවසක් නීටා ප්‍රනාන්දු මහත්මියත් සංජය නිර්මාල් අයියත් ඇවිත් මට මේ චිත්‍රපටය ගැන කිව්ව. කතාව ඇහුවාම මට තරමක බයක් දැනුණා. ඒ මේක ඒඩ්ස් රෝගය ගැන කියැවෙන චිත්‍රපටයක් නිසා. මෙහි මගේ චරිතය වටා තමයි ප්‍රධාන කතාව ගොඩනැඟෙන්නේ. “විහාරා” ඒඩ්ස් රෝගයට ගොදුරු වෙනවා. ඇගේ ජීවිතය විනාශ වෙන්නෙ ඒඩ්ස් නිසා. මේ චිත්‍රපටය නැරඹුවාට පසුව පේ‍්‍රක්ෂකයින් මොන කෝණයකින් මගේ රංගනය දිහා බලයි ද කියල මම මුලින් ටිකක් බය වුණා. නමුත් නීටා අක්කා, සංජය නිර්මාල් අයිය මට මේ චරිතයේ ඇති වටිනාකම පහදල දුන්නා. එතැනදි මට හිතුණා අපේ කලා ලොවේ නීටා ප්‍රනාන්දු කියන දැවැන්ත චරිතය හොඳ දෙයක් මිස නරක දෙයක් සමාජයට නොකරන නිසා මේ චරිතය බාරගන්න ඕන කියල. ඒ විදියටයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රාශියක්ම මෙහි රඟපානව. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක්.

රංගන ක්ෂේත්‍රය තුළ මොන වගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ...?
මට මෙතෙක් රඟපාන්න ලැබිල තියෙන්නේ බටහිර පන්නයට බර චරිත. එහෙම නැතිව වෙනස් චරිත රඟපාන්න මම කැමැතියි. මම දන්නව විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව මට තිබෙන බව.
කලාවට එකතු වීම ඔබේ පැතුමක් ඉටුවීමක් ද?
පුංචි කාලෙ ඉඳලම මම කලාවට ළැදියි. ජනපි‍්‍රය රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන හිටියෙ අපේ ගෙවල් ළඟ. ඇය රඟපාපු ටෙලි නාට්‍ය චිත්‍රපට නරඹනකොට මටත් ඒ දවස්වල හිතුණා රඟපාන්න ඇත්නම් හොඳයි කියලා. ඇය ඒ දවස්වල සහභාගි වුණු රූපගත කිරීම්වලට මාවත් එකකගෙන ගියා. ඒ විදියටයි රංගනයට මගෙ හිත ගියේ. ඒ ආභාසයයි මාව නිළියක් කළේ.
ඔබේ පවුලේ කවුද ඉන්නෙ?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ. මල්ලි විවාහකයි.
ඔබටත් පෙම්වතෙක් ඇතිනෙ ඔහු පිළිබඳවත් සඳහන් කරන්න?
නැහැ දැනට එහෙම කෙනෙක් නෑ.
ඇඳුම් සැපයීම Twinza designs බොරලැස්ගමුව 

Silumina
READ MORE - නැහැ දැනට එහෙම කෙනෙක් නෑ.

මම – යම ලුම්බිණියේ


මම – යම ලුම්බිණියේ

උපාලි ශාන්ත සිරිවර්ධන නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ‘මම - යම’ වේදිකා නාට්‍යය මෙම මස 09 වැනිදා හැව්ලොක්ටවුන් හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.
මෙහි මානෙල් වානගුරු, ඩොනල්ඩ් මාපලගම, නිලන්ති ගුණවර්ධන, ප්‍රභාත් සේනානායක, ඉන්දික මදුරංග, නයනා සමරසේකර, නිලුපුලී දිල්හාරා ආදී රංගන ශිල්පීහු රඟති. රොෂාන් මාටිනස් සංගීතවත් කරන ‘මම – යම’ හි වේශ නිරූපණය ගාමිණී කොස්තාගෙනි.
READ MORE - මම – යම ලුම්බිණියේ

‘මනෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල වැලිගමදී



 ‘මනෝරංග ප්‍රතිභා’

’ නාට්‍ය උළෙල මෙම මස 12, 13, 14 යන දිනයන්හි වැලිගම නගර සභා ශාලාවේදී රංග ගත වේ.
12 වැනිදා - රෝහණ දන්දෙණියගේ ‘රාස්ස සහ පරාස්ස’
13 වැනිදා – ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා හා
14 වැනිදා – අන්දරේලා
වේදිකා ගත වේ. එළඹ ඇති සාහිත්‍ය මාසය සමරමින් ඊට අනුගාමීව මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත්තේ වැලිගම තුන්වෙනි පරපුරයි.
වසර 26 කට පමණ පසු වැලිගම පැවැත්වෙන ‘මනෝරංග ප්‍රතිභා’ සාහිත්‍ය උළෙල සංවිධානය කරන්නේ වැලිගම නගර සභාව සහ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග්‍රාහකත්වයෙනි.

Sarasaviya
READ MORE - ‘මනෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල වැලිගමදී

මහපාරේ වාහනයේ රොඩ්නි නිදි


මහපාරේ වාහනයේ රොඩ්නි නිදි

රොඩ්නි වර්ණකුල අපට සිටින දක්‍ෂ රංගන ශිල්පියෙක් වගේම හිත හොඳ මිනිසෙක්.
දවසක් ඈත පළාතක නාට්‍යයක් අහවර වී එළිවෙන ජාමෙට රොඩ්නි ඇතුළු පිරිස කොළඹට සේන්දු වුණා.
කොළඹට ආව මේ පිරිස තම තමන්ගේ වැඩ කටයුතු වලට පිටත් වුණා. රොඩ්නිත් තමන්ගේ වෑන් රථය පදවාගෙන බේස්ලයින් පාරේ පැමිණියා. උදේම නිසා මාර්ගයේ තද බදයත් වැඩියි. දෙමටගොඩ ගුවන් පාලම අසල ඇති ‘කලර්ලයිට්’ එක ළඟ වාහන තදබදය වැඩියි.
රොඩ්නි සාමාන්‍යයෙන් වාහන තදබදය ඇති විට ‘තමන්ගේ වාහනය’ නියුට්‍රල් එකට දමා, හෑන්ඩ් බ්‍රේක් එක ගසාගෙන නිදහසේ සිටින කෙනෙක්.
වාහන තදබදය වැඩි නිසාම එදා රොඩ්නිට නිදිමතත් වැඩි වෙලා. රොඩ්නිට නොදැනීම වාහනය ඇතුළේ නින්ද ගිහින්. වාහන බොහොමයක් රොඩ්නිව පසු කරගෙන ගිය නිසා අසල සිටි හමුදා නිලධාරියෙක් රොඩ්නිගේ වාහනය ළඟට පැමිණ වීදුරුවට තට්ටුවක් දැම්මලු. රොඩ්නි ඇහැරෙන පාටක් නැති නිසා ටිකක් හයියෙන් තට්ටු කළාලු. ඔන්න රොඩ්නිට ඇහැරිලා.
ආ....මේ අපේ රොඩ්නි මහත්තයනේ...
ඔව්.... මේ...මේ...ටිකක් නින්ද ගියා...ඊයෙ රෑ වැඩක් තිබුණා ඒකයි. කියූ රොඩ්නි හිමිහිට වාහනය පදවාගෙන ජා ඇල පැත්තට ගියාලු.
READ MORE - මහපාරේ වාහනයේ රොඩ්නි නිදි

ගිවන්තට, අර්ථසාද් පැටලිලා


ගිවන්තට, අර්ථසාද් පැටලිලා

සිංහල සිනමාවේ දෘශ්‍ය ප්‍රයෝග කිරීමෙහිලා අති විශේෂ දස්කමක් දැක් වූ කලා ශිල්පී ගිවන්ත අර්ථසාද්ට පසුගිය දිනෙක දිගට හරහට දුරකථන ඇමතුම් ආවා ඔහුගේ උපන් දිනයට සුබ පැතීමට.
නමුත් ගිවන්ත පැවසුවේ ‘මගේ උපන් දිනේ අද නෙමේනේ’ යනුවෙනි. ඒ වුණාට ඔයාගේ උපන් දිනේ ගැන ‘සරසවිය’ පත්තරේ තියෙනවනේ?
‘වෙන්න බෑනේ’ යනුවෙන් ගිවන්ත කීවත්, දුරකථන ඇමතුම් ලබා දන උදවිය දහ අතේ දිවුරා කීවේ ගිවන්තගේ උපන් දිනේ අදයි යනුවෙනි. ගිවන්ත හනිකට සරසවිය පුවත්පත බැලූ විටයි වැටහුණේ මේ උපන් දිනේ තරුණ නව පරපුරේ රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද්ගේ බව.
එම මොහොතේම රංගන ශිල්පී ගිවන්තට දුරකථන ඇමතුමක් ගත් ගිවන්ත අර්ථසාද් සුබ උපන් දිනයක් පුතා. ඔයාගේ උපන් දිනේට මටනේ සුබ පතන්නේ යනුවෙන් පැවසුවා.
දවස පුරාම කලා ශිල්පී ගිවන්තට පැමිණි දුරකථන ඇමතුම් නිසා ඔහු කාර්යය බහුල වුණා කියලත් ආරංචියි.

Sarasaviya
READ MORE - ගිවන්තට, අර්ථසාද් පැටලිලා

ප්‍රේමදාස විතානගේ ට ත්‍රීවිල් ජරමරයක්


ප්‍රේමදාස විතානගේ ට ත්‍රීවිල් ජරමරයක්

සැන්ඩෝ හැරිස් සමඟ ‘අයුක්තියට හිස නමන්නේ නැහැ’ ගීතය ගයා, රඟන ප්‍රේමදාස විතානගේ අපේ රටේ පැරැණි රංගන ශිල්පියෙක්.
මේ ළඟදී දවසක නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් සඳහා ඔහුට පෙර පුහුණුවීම් තිබුණා.
ප්‍රේමදාස සාමාන්‍යයෙන් ගමන් යන්නේ තමන්ගෙම ත්‍රිරෝද රථයෙන්. ඔහු නෙළුම් පොකුණට අදාළ දිනයේ පැමිණියෙත් තමන්ගේම ත්‍රිරෝද රියෙන්. ඔහු ගේට්ටුව අසලට ත්‍රිරෝද රථයෙන් එනවිටම එහි ආරක්‍ෂක නිලධාරියා එය නවත්වන්න නියෝග කළා.
කොහෙද මේ කඩාගෙන බිඳගෙන යන්නේ...?
රිහසල්වලට.
කෝ කවුරුවත් ඇතුළේ නැහැනේ...
මම තමයි... යන්නේ...?
ඒ වුනාට කෝ මේක ඇතුළේ කවුරුවත් නැහැනේ...? මේ විදියට කොච්චර ආරක්‍ෂක නිලධරියාට පැහැදිලි කළත් ප්‍රේමදාසට නෙළුම් පොකුණට යන්න දෙන පාටක් නැහැ. මේ වෙලාවේ එතනට පැමිණි වෙනත් ආරක්‍ෂක නිලධාරියෙක් ප්‍රේමදාසව හඳුනාගෙන ඇතුළට යන්නට අවසර දෙනතුරු ප්‍රේමදාසට ත්‍රිවිල් එකත් සමඟ ගේට්ටුව ළඟ රස්තියාදු වෙන්න වුණා.

Sarasaviya
READ MORE - ප්‍රේමදාස විතානගේ ට ත්‍රීවිල් ජරමරයක්

බොන්ඩ් කෙල්ලගේ නිරුවත් ඡායාරූප


බොන්ඩ් කෙල්ලගේ නිරුවත් ඡායාරූප

ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කැලිෆෝනියා මුහුදු තීරය, යුනිවර්සල් චිත්‍රාගාරය, බ්‍රිතාන්‍යයේ බකිංහැම්ෂයර්, ඩවර් සහ සවුත් හැම්ප්ටන්, ප්‍රංශය, ජර්මනිය සහ ඇම්ස්ටර්ඩෑම්හිදී සිදු කරන ලද රූගත කිරීම් අවසන් වුණේ අගෝස්තු 13 දා. අමෙරිකාවේ ලාස්වේගාස්හි හෝටල් සමූහයක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික හෝවාර්ඩ් හියුස් කබී බ්‍රොකොලිගේ ගජ මිතුරකු වූ හෙයින් එහි රූගත කිරීම් සඳහා අමිල සහයෝගයක් ඔහු කෙරෙන් ලැබුණා.
නගරයේ පාරවල් හිස්කොට වාහන ලුහුබැඳීම් දර්ශනවලට අවශ්‍ය පරිදි අවකාශ ලබා දෙන ලද්දේ ලාස්වේගාස් පොලීසියේ සහ සාප්පු හිමියන්ගේ අනුග්‍රහයෙන්. විනෝද ක්‍රීඩා සහ සූදුවලට ලෝ පතළ ලාස්වේගාස් නගරයේ කානිවල් සහ සර්කස් හිමියකු වූ බොන්ඩ් රසිකයෙක් චිත්‍රපටයේ අඩංගු සර්කස් දර්ශන සඳහා නොමිලේ ඉඩකඩ ලබා දුන් අතර ඔහු එහි චරිතයක් ද නිරුපණය කළා.
නගරයේ අලංකාරය සඳහා යොදා තිබුණු නියොන් විදුලි සැරසිලි සහ වෙනත් විදුලි ආලෝක නිසා රාත්‍රී රූගත කිරීම් පහසු වූ බව කැමරා ශිල්පි ටෙඩ් මුවර්ගේ අදහස වුණා. රෑ නිදි වරමින් වෙහෙසකර රූගත කිරීම්වලට සහභාගී වුවත් ඉඩක් ලත් විගස වීදිවල සැරිසරමින් ‘ජැක් පොට්’ වැනි ක්‍රීඩාවල නිරත වී සෑහෙන මුදලක් උපයා ගන්නට හැකිවීම සතුටක් බව කොනරි වරෙක ප්‍රකාශ කළා. රූගත කෙරුණු අවදානම් වාහන ලුහුබැඳීම් දර්ශනවලදී වාහන බොහොමයක් අනතුරට ලක් වුණා.
සියලු වාහන සඳහා අනුග්‍රහය දැක් වූයේ අමෙරිකානු ෆෝඩ් සමාගම විසිනි. මෙහිදී බොන්ඩ් විසින් පදවන ලද්දේ අලුත්ම ෆෝඩ් මස්ටෑන්ග් ස්පෝට්ස් රථයක්. පුරා රාත්‍රි තුනක් තිස්සේ මෙම කාර් ලුහුබැඳීමේ දර්ශන රූගත කෙරුණු අතර ප්‍රධාන නිළි ජිල් සෙන්ට් ජෝන්ස් හට මෙය අපූරු අත්දැකීමක් වූ බවට කිසිම සැකයක් නැහැ. ජේම්ස් බොන්ඩ් රූමතිය වන ටිෆනි කේස් ලෙස රඟපෑ ජිල් සෙන්ට් ජෝන්ස් ගේ වාසභවනය ලෙස යොදා ගත්තේ ජනප්‍රිය නළු කර්ක් ඩග්ලස්ගේ සුඛෝපභෝගී නිවසයි.
චිත්‍රපටයේ එක් ජවනිකාවක නිළි ලානා වුඩ් පිහිනුම් තටාකයක ගිල්වා තබන අවස්ථාවකදී ඇගේ දෙපා ගැටගසා තිබුණු ගඩොල තටාකයේ ගැඹුරු අන්තයට ලිස්සා යාම නිසා ඇය දිවි ගලවා ගත්තේ අනූනමයෙන්. ඒ දිනවල දියේ ගිලීමෙන් මරණයට පත් වූ ඇගේ එකම සොයුරිය වූ නතාලි වුඩ් නම් ජනප්‍රිය නිළියගේ මරණය තවමත් නොවිසඳුනු අබිරහසක්. සුරූපී ලානා වුඩ් උසින් අඩු නිළියක් වූ හෙයින් කොනරි සමඟ රඟපෑමේදී යම් අසීරුතාවයන්ට පත්වුණා.
ඔහු හා පෙනී සිටින වෙළඳ දැන්වීම් ඡායාරූප ගැනීමේදී ඡායාරූප ශිල්පීන්ට සිදු වුණේ ඇය පෙට්ටියක් මත සිටුවා ඡායාරූප ගැනීමටයි. ඇය අමෙරිකාවේ පළ වන ලෝක ප්‍රකට වැඩිහිටි සඟරාවක් වන ‘ප්ලේ බෝයි’ සඟරාවේ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටි නිරූපිකාවකි.
බොන්ඩ් සහ ඔහුගේ ප්‍රතිවාදියකු අතර මහල් නිවාසයක විදුලි සෝපානයක් තුළ සිදුවන බිහිසුණු සටනේදී ඔහු හා සටන් වදින්නේ ජෝ රොබින්සන් නමැති ඔහුගේ සැබෑ ජීවිතයේ ජූඩෝ සටන් ගුරුවරයායි. ඔහු බොන්ඩ් චිත්‍රපට ගණනාවක සටන් ශිල්පියකු ලෙස රඟපායි. චිත්‍රපටයේ තවත් ජවනිකාවක බොන්ඩ් මිනී පෙට්ටියක් තුළ බහා ආදාහනාගාරයක් තුළ ගෑස් උදුනක ලා දවන අවස්ථාවක් වෙයි.
මෙම ජවනිකාව රූගත කළ ලන්ඩනයේ ලෝන්ග් අයිලන්ඩ් කාස්කට් කොම්පනි නමැති අවමංගල නියෝජිත සමාගමේ වසර ගණනාවකට පෙර වෙළද නියෝජිතයකු සහ කළමනාකාරවරයකු ලෙස බ්‍රොකොලි සේවය කොට ඇති අතර, ෂෝන් කොනරි ද එම සමාගමේ කම්කරුවකු ලෙස සේවයේ යෙදී සිට ඇත.
චිත්‍රපටයේ මංගල දර්ශනය 1971 දෙසැම්බර් 17 දින අමෙරිකාවේදී සිදු කිරීම විශේෂත්වයක් වන අතර දෙසැම්බර් 30 වනදා ලන්ඩනයේ ලිසිස්ටර් චත්‍රරස්‍රයේ ඕඩියන් සිනමාහිදී ආරම්භක දර්ශනය පැවැත්වෙද්දී එය බ්‍රිතාන්‍යයේ බොන්ඩ් ලෝලීන්ගේ අති උත්කර්ෂයට හේතු වූ අතර ආදායම අතින්’යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයටත් වඩා ඉහළ අගයක් ගනිමින් උපරිම ජනප්‍රියත්වයක්ද ලබා ගත්තේය. එහෙත් මෙම චිත්‍රපටයෙන් පසු ඉඔන් ප්‍රඩක්ෂන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියේදී හැරී හා බ්‍රොකොලිගේ සහභාගිත්වයේ පැහැදිලි වෙනසක් සිදුවීම ආරම්භ විය.
නිෂ්පාදනයට අදාළ යම් කරුණු සහ අදහස් පිළිබඳ දෙදෙනා අතර යම් මත ගැටුම් පැන නැගුණු හෙයින් ඩයමන්ඩ්ස් ආ ෆොඑවර් චිත්‍රපටයේ කටයුතු බොහොමයක් බ්‍රොකොලිගේ අභිමතය අනුව සිදු වු නමුදු ඊළඟ චිත්‍රපටය වන ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටයේ නිෂ්පදන කටයුතු සියල්ල හැරී සොල්ට්ස්මන් තම අත යටතට පවරා ගත්තේය.
ඩොලර් මිලියන 7.2 ක වියදමින් නිම කළ චිත්‍රපටයේ ලොව පුරා ලැබූ බොකස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 116 කි. අමෙරිකාවේ පමණක් ඩොලර් මිලියන 43 ක ආදායමක් ලබාගත් අතර චිත්‍රපටය නැරැඹූ අමෙරිකානු බොන්ඩ් රසික ජනතාව මිලියන 25.8 ඉක්ම වීය.
බොහෝ සිනමා විචාරකයින් ලාස්වේගාස් හි පටු මාවත් ඔස්සේ බොන්ඩ්ගේ වේගවත් රිය පැදවීම අගය කළ අතර සමහර ස්ථානවලදී ඔහු ෆෝඩ් මස්ටෑන්ග් රථය රෝද දෙකෙන් පමණක් පදවාගෙන යන අවස්ථා ඔවුන්ගේ විශේෂ වර්ණනාවන්ට ලක් වුණා.
මෙම අවදානම් අවස්ථා ප්‍රථම වරට සිනමාපටයක් තුළින් ඉදිරිපත් කිරීමේ ගෞරවය ලබා ගත්තේ දක්ෂ විශේෂ ප්‍රයෝග ශිල්පී රියැදුරකු වූ ප්‍රංශ ජාතික රෙමී ජූලියෑන් සහ ඔහුගේ සහාය රියැදුරන් කණ්ඩායමයි.
ජිල් සෙන්ට් ජෝන්ස්ගේ දුර්වල රඟපෑම් විවේචනයට බඳුන් වූ අතර ඇතැමුන් ඇය ‘කිසිම සහයෝගයක් නැති ඈලි මෑලි බොන්ඩ් කෙල්ලක්’ යනුවෙන් චෝදනා කළා.
ඉඔන් ප්‍රඩක්ෂන් සමාගමේ ඊළඟ නිර්මාණය වන්නේ ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටයයි. එය නිපදවීම පසුපස ඇති අපූරු සිදුවීම් අපි ලබන සතිියේ මෙම පිටුවෙන් කියවමු.
READ MORE - බොන්ඩ් කෙල්ලගේ නිරුවත් ඡායාරූප

සිග්නීස් උත්තමාචාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.


සම්මාන 53 ක්

හොඳම චිත්‍රපටය – ධීවරී
ටෙලි වෘතාන්තය - සදගිරි පව්ව
බිමල් - දිල්හානි සම්මාන ලබති
පසුගිය සෙනසුරාදාවේ සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා රංග පීඨයේදී තිස් හයවැනි සිග්නීස් උත්තමාචාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.
මෙහිදී සම්මානයන් පනස් තුනක් පිරිනැමුණු අතර උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු හිමිපාණන්ය.
එහි සම්මාන නාම ලේඛනය මෙසේය
2011 වසරේ සිනමා නිර්මාණයන් සඳහා ලබා දුන් සම්මානයන්:
වසරේ ප්‍රශස්ත සිනමාපටය – ධීවරී
නිර්මාණශීලී අධ්‍යක්ෂ - ස්වර්ණ - සාලින්ද පෙරේරා (ධීවරී)
රජත - සරත් වීරසේකර (ගාමණී)
නිර්මාණශීලී නළුවා - ස්වර්ණ – බිමල් ජයකොඩි (ගාමණී)
රජත - ජෝ අබේවික්‍රම (ධීවරී)
නිර්මාණශීලී නිළිය - ස්වර්ණ - දිල්හානි ඒකනායක (ගාමණී)
රජත - සංගීතා වීරරත්න (ධීවරී)
නිර්මාණශීලී සහය නළුවා - ලකී ඩයස් - (චැලෙන්ජස්)
නිර්මාණශීලී සහය නිළිය - ට්‍රිලීෂියා ගුණවර්ධන – (ධීවරී)
නිර්මාණශීලී තිර රචනය - සාලින්ද පෙරේරා සහ ඩැරල් කොස්තා (ධීවරී)
නිර්මාණශීලී කැමරාකරණය - ලාල් වික්‍රමආරච්චි (ධීවරී)
නිර්මාණශීලී ගීත රචනය - පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි (මහින්දාගමනය)
නිර්මාණශීලී සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ (ගාමණී)
නිර්මාණශීලී සංගීතය - ප්‍රදීප් රත්නායක (ධීවරී)
නිර්මාණශීලී අංග රචනය - රංජිත් වික්‍රමසිංහ (ධීවරී)
නිර්මාණශීලී ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා ( ගාමණී)
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න (ධීවරී)
කුසලතා සහතික:
ශනුද්‍රි ප්‍රියසාද් (අඟර දඟර)
උදයන්ති කුලතුංග (මහින්දාගමනය)
ලක්ෂ්මන් මෙන්ඩිස් (සෙල්වම්)
අසේල ජයකොඩි (ගාමණී)
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු - පාලිත තෙන්නකෝන්
නිර්මාණශීලී සහය අධ්‍යක්ෂ - රංජන් ප්‍රසන්න
2011 වසරේ ටෙලි නිර්මාණ සඳහා ලබා දුන් සම්මානයන්
වසරේ ප්‍රශස්ත ටෙලි නිර්මාණය - සඳගිරි පව්ව
නිර්මාණශීලී අධ්‍යක්ෂ - සමන් කුමාර ලියනගේ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී නළුවා - සංජීව උපේන්ද්‍ර (සඳගිරි පව්ව)
නිර්මාණශීලී නිළිය - හිමාලි සිරිවර්ධන (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සහය නළුවා - බිමල් ජයකොඩි (සැනකෙළියයි මායා)
නිර්මාණශීලී සහය නිළිය - ප්‍රතිභා හෙට්ටිආරච්චි (සැනකෙළියයි මායා)
නිර්මාණශීලී තිර රචනය - සරත් ධර්මසිරි (ස්වයංජාත)
නිර්මාණශීලී කැමරාකරණය - බුද්ධික ඉන්ද්‍රජිත් (සඳගිරි පව්ව)
නිර්මාණශීලී ගායනය - අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා (සඳගිරි පව්ව)
නිර්මාණශීලී ගීත රචනය - වසන්ත කුමාර කොබවක (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සංස්කරණය - දීපාල් එස්. ගුණරත්න සහ එල්මෝ හැලිඩේ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සංගීතය - නවරත්න ගමගේ සහ රංජිත් ප්‍රේමවීර (සඳගිරි පව්ව)
නිර්මාණශීලී අංග රචනය - මමෝජ් ලක්සිරි (බිනරි)
නිර්මාණශීලී ශබ්ද පරිපාලනය - කිංස්ලි රාජපක්ෂ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය - චිත්‍රසේන ද සිල්වා (සඳගිරි පව්ව)
කුසලතා සම්මාන -
ත්‍රිෂුණ පෙරේරා (ස්වයංජාත)
රොෂාන් රවීන්ද්‍ර (බිනරි)
සරත් චන්ද්‍රසිරි (සඳගිරි පව්ව)
සුන්දර බණ්ඩා (ඇත්කඳ ලිහිණියා)
අනුරුද්ධිකා පාදුක්කගේ (ස්වයංජාත)
දීප්ති මංගලසෝම (ස්වයංජාත)
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු - සරත් විජේසේකර
නිර්මාණශීලී සහය අධ්‍යක්ෂ – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සෙසු සම්මානයන් -
නිර්මාණශීලී ඒකාංගික ටෙලි නාට්‍ය - මන්ත්‍රී මෑණි (සමන් කුමාර ලියනගේ)
නිර්මාණශීලී කෙටි චිත්‍රපටය - බර (රෝහණ සමන්සිරි ප්‍රනාන්දු)
නිර්මාණශිලී විත්ති කතා දෘශ්‍ය නිර්මාණය - සොයිලිස් (නාමල් ප්‍රසන්න)
නිර්මාණශීලී ශ්‍රව්‍ය දෘෂ්‍ය වියමන - 2600 සම්බුද්ධත්ව ජයන්ති තේමා ගීතය (ජනජීව වේහැල්ල)
නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම : සී. අයි. සී. කෝපරේට් (ට්‍රයඩ් පුද්ගලික සමාගම)
නිර්මාණශීලී පූර්ව ප්‍රචාරක පටය - ඇත්කඳ ලිහිණියා හි පූර්ව ප්‍රචරක පටය (හසිත ප්‍රියංකර හේරත්)
නිර්මාණශීලී සජීවීකරණ නිර්මාණය - 2011 අයි. සී. සී. ලෝක කුසලානය (හසිත ප්‍රියංකර හේරත්)
සිගනීස් විශේෂ සම්මාන
ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය - ප්‍රියාන් ආර්. විජේ බණ්ඩාර
සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය - මාධ්‍යවේදී බන්දුල නාරද නිශ්ශංක
සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාම -
ඇන්ඩෲ ජයමාන්න
සෝමපාල ලීලානන්ද
හේමප්‍රිය කණ්ඩම්බි
චන්ද්‍රිකා සිරිවර්ධන

 
සරත් වීරසේකර, දිල්හානි සමඟ සංගීතා එක් වූ මොහොතක්

සරත් ධර්මසිරි
සඳගිරි පව්ව විකාශය වූ ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර එයට හිමි සම්මානය ගනිමින්
හිමාලි සිරිවර්ධන
සංජීව උපේන්ද්‍ර
READ MORE - සිග්නීස් උත්තමාචාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.

‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා


‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා

ආනන්ද විද්‍යාලයේදී
ගීත රචක නිරිමාණ කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන ඔස්කා රිද්ම රැයක් විචිත්‍රවත් සංගීත සැඳෑව සැප්තැම්බර් 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
සංගීත් නිපුන් සනත් නන්දසිරි විශාරද නන්දා මාලනී, විශාරද අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, විශාරද සමිතා මුදුන්කොටුව සහ විශාරද නෙළු අධිකාරි යන ගායක ගායිකාවන්ගේ ගැයුමින් එදින ප්‍රසංගය වර්ණවත් වනු ඇත.
සමන්ත පෙරේරා සංගීතය මෙහෙයවනු ලබයි. නර්ථන වින්‍යාසය ජාතික තරුණ සේවා සභාවේ නර්ථන කණ්ඩායමෙනි.

Sarasaviya
READ MORE - ‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා

මම හොඳ පර්යේෂණ කරන්නියක්


මම හොඳ පර්යේෂණ කරන්නියක්

භාෂිණි සමරසිංහ
ගුවන් විදුලි මැදිරිය කවදත් ඇයට නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. ඇය හැදුණෙ වැඩුණෙ ගුවන් විදුලි සංස්ථාවේ. සෙල්ලම් කළෙත්, පාඩම් කළෙත් එහිදීමයි. ඇත්තෙන්ම ඇය නිවේදිකාවක් බවට පත් වෙන්නේ බහ තෝරන පුංචි සන්දියේදීමයි.
ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ සංවිධායකවරියක්, ප්‍රවීණ නිවේදිකාවක් වගේම නිෂ්පාදකවරියක් වන රත්නා සමරසිංහ තමයි ඇයගේ මව. ඇගේ පියාත් ජනප්‍රිය නිවේදකයෙක් වන පාලිත සමරසිංහ. මේ හේතු නිසාම පුංචි කාලෙදි වැඩි කාලයක් ගත කළේ ගුවන් විදුලි සංස්ථාවේ. ගුවන් විදුලි සංස්ථාවේ හොඳම ළමා නාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබූ ඇය පසුකාලීනව 2006, 2007 සහ 2008 වසරවලදී හොඳම නිවේදිකාව ලෙසත්, 2008 වසරේදී විශිෂ්ටතම මාධ්‍යවේදිනිය ලෙසත් සම්මාන දිනා ගන්නට සමත් වුණා. දැන් ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ කළමනාකරණයේ වගකිවයුතු නිලයක් ද දරමින් නිවේදන කටයුතුවල නිරතවන ඇය භාෂිණි සමරසිංහ. මේ ඇයත් සමඟ කළ කතාබහකි.
ඉතිං භාෂිණි බහ තෝරන වියේදී ඉදිරිපත් කළ වැඩසටහන් ගැන මතකය අවදි කළොත්?
මගේ පළමු ගුවන් විදුලි වැඩසටහන තමයි බිංදුගේ දින පොත. එහිදී පුංචි බබකුට දැනෙන දේවල් කතා කරන දේ තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මට වයස අවුරුදු හතරක්වත් නැහැ. අම්මා කියන දේ අහගෙන මමත් ඒ විදියටම කිව්වාලු. ඊට පස්සේ සුගතපාල ද සිල්වා මහතාගේ ගුවන් විදුලි නාට්‍යවලටත්, ළමා පිටිය, සරස්වතී මණ්ඩපය වගේ වැඩසටහන් සඳහා සහභාගි වුණා. ඒ කාලේ ගුවන් විදුලි මැදිරි දැන් වගේ නෙවෙයි. මම පුංචි නිසා මයික් එකට උස මදි. මේසය උඩ පුටුවක් තියල ඒකේ වාඩි වෙලා තමයි නිවේදන කටයුතු කළේ.
ළමා නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් ගෙවු දඟකාර පාසල් කාලය ගැනත් කියමු නේද?
මම ඉගෙන ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. පාසල ඇරිල කෙළින්ම එන්නේ ගුවන් විදුලි සංස්ථාවට. සමහරදාට පාසල් යන්න කලින් උදෙන්මත් එන්න වෙනවා. පාසල් කාලයේදීම මම ‘ඒ’ ශ්‍රේණියේ ළමා ශිල්පිනියක් වුණා. සාමාන්‍ය පෙළ කරද්දී සහන නිවේදිකාවක් වෙන්නට පුළුවන් වුණා. පාසල් කාලයේදී පිහිනුම්, වොලිබෝල්, නෙට්බෝල් වැනි ක්‍රීඩාවලටත් යොමු වුණා. දවසක් පාසල ඇරිලා තාත්තා එක්ක මගේ කොණ්ඩය කපන්න යන ගමන් ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතා හමු වෙලා කිව්වා ගුවන් විදුලි නාලිකාවට නිවේදිකාවෝ ගන්නවා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. ඒ ගමන්ම පාසල් නිල ඇඳුමෙන්ම තමයි ඒ සඳහා සහභාගි වුණේ. එදා මම සවන ගුවන් විදුලි නාලිකාවේ නිවේදිකාවක් විදියට තේරුණා. ඒ අවස්ථාවේදී ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ සවන ගුවන් විදුලිය යන දෙකෙන් එකක් තෝරා ගත යුතු වුණා. ඉතිං මම සවන තෝරා ගත්තා.
ඒකට විශේෂ හේතුවක් තිබුණාද?
ඔව්. එදා ගුවන් විදුලි සංස්ථාවට වඩා එහි තාක්ෂණය වෙනස්. සවන නාලිකාවේ තිබුණේ නවීනතම තාක්ෂණය. මම ඒ ගැන හිතලා තමයි සවන තෝරා ගත්තේ. ඊට පසුව සවන ශ්‍රී බවට පත්වුණා. මම දිගටම එහි රැඳී සිටිනවා.
නිවේදිකාවක් විදියට ඔබ කොහොමද වැඩසටහනකට සූදානම් වන්නේ?
හැම වැඩසටහනකටම මම පෙර සූදානම් වෙනවා. තොරතුරු රැස් කරනවා. ඒ පිළිබඳ වෙනමම අධ්‍යයනයේ යෙදෙනවා. ගවේෂණය කරනවා. වැඩසටහන් සමීක්ෂණ වාර්තාවල ඉහළට එන්න ඒවා ගුණාත්මක වෙන්න ඕනෑ. මම හැම විටම වැඩ සටහන් ගුණණාත්මක භාවයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නිවේදිකාවක් වගේම මම හොඳ පර්යේෂණ කරන්නියක්. හැම දේ ගැනම තොරතුරු හොයන්න මට පුදුම උනන්දුවක් තියෙන්නේ. විවිධ මාතෘකා ඔස්සේ තොරතුරු රැස්
කිරීම ඒ පිළිබඳ ගවේෂණය කිරීම මගේ විනෝදාංශය. ඒ මගින් දැනුම දියුණු වෙනවා. එය නිවේදන වෘත්තියට හරිම වැදගත්.
පුංචි කාලෙ පටන් මේ දක්වා කරන්නට ලැබුණ වැඩසටහන් ගැනත් කියමු?
ඇත්තෙන්ම මම ගොඩක් වාසනාවන්තයි. මුල්ම වැඩසටහන බිංදුගේ දින පොත. ඊට පසුව ළමා පිටිය, සරස්වති මණ්ඩපය වැනි වැඩසටහන් වගේම ගුවන් විදුලි නාට්‍ය සඳහා සහභාගි වුණා. පසුව සංගීතමය වැඩසටහන්, හින්දි භාෂාමය වැඩසටහන් වගේම දේශපාලන වැඩසටහන් ද ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. මේ දිනවල මිස්ටර් ඇන්ඩ් මිසිස් ශ්‍රීී එෆ්. එම් වැඩසටහන ගොඩක් ජනප්‍රියයි. ඒ වගේමයි ටොප් චාර්ට්. ඒකට අවුරුදු 12 ක් වෙනවා. එය සමීක්ෂණ වාර්තාවල ඉහළින්ම ඉන්නෙත් ඒ ජනප්‍රියත්වය නිසාමයි.
ඔබ හින්දි භාෂාව පිළිබඳ උපාධිධාරිණියක්. දැන් හින්දි වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නැද්ද?
මම හින්දි භාෂාවට ගොඩක් ආසයි. ඒ නිසා මම ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්තා. ඉස්සර නම් හින්දි වැඩසටහන් ඉදිරිපත් කළා. ඒත් දැන් නැහැ. ඊට අමතරව මම ජර්මන් භාෂාවත් ඉගෙන ගත්තා.
බී බී සී ශිෂ්‍යත්වයකුත් ලැබුණලු නේද?
ඔව්, අන්තර් ජාලයේ පැවැති විභාගයකින් මට පංති සාමාර්ථයක් සමඟ පාස්වෙලා බී බී සී එකේ ශිෂ්‍යත්වයක් ලැබුණා. ගොඩක් මහන්සි වෙලා පාඩම් කරලා තමයි ඒක පාස් වුණේ. ඒත් ඒ කාලේ පුතා ලැබෙන්න හිටපු නිසා ඒ අවස්ථාව ගිලිහී ගියා.
භාෂිණි නිවේදන ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන කාලයක් ගත වෙලා නේද? අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?
ගොඩක් අමතක නොවන සිදුවීම් අතරේ බය හිතුණ එකකුත් තිබුණා. සවනට ආ දවස්වල තමයි ඒ ප්‍රශ්නය ඇති වුණේ. එක අසන්නෙක් හැමදාම මට ලොකු මල් පොකුරු වැනි විවිධ දේ එවන්නට පුරුදු වෙලා හිටියා. පසුව ඔහුගේ මේ ප්‍රතිචාර මට කරදරයක් වෙන තරමටම වැඩි වුණා. ඔහු මට ආදරය ප්‍රකාශ කරල ලේ වලින් පවා ලියුම් එව්වා. එක දවසක් ඔහු ඔහුගේ ගෙදර ඔප්පුව මගේ නමට ලියල එවල තිබුණා. පසුව ඔහුට ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා අවවාද ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතා මට ආරක්ෂාව ලබා දෙන්නට පවා කටයුතු කළා. පසුව ඔහු රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබා ගත්තා කියලත් ආරංචි වුණා. අද වුණත් ඉඳල හිටල මට ඔහුගෙන් ලියුමක් ලැබෙනවා. නමුත් අද වෙනකල් ඒ කවුද කියල මම දැකල නම් නැහැ.
මේ තරම් දුරක් ඔබ පැමිණි ගමනේදී ලැබුණු යෝධ ශක්තිය ගැනත් කියමු නේද?
අම්මා රත්නා සමරසිංහ, තාත්තා පාලිත සමරසිංහ. දෙදෙනාම ජ්‍යෙෂ්ඨ නිවේදකයන්. ඇත්තටම අම්මයි තාත්තයි නැතිනම් මම අද මේ තත්ත්වයේ නැහැ. ඔවුන් හම්බ කළ දැනුම තමයි මට මේ සඳහා උපකාර වුණේ. අම්මා ඒ වෙනුවෙන් බොහෝ මහන්සි වුණා. ඒ වගේමයි තාත්තා. ඔහු සතුව වටිනා පුස්තකාලයක් තියෙනවා. එහි වටිනා පොත් වගේම ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් රාශියකගේ හඬපට පවා තියෙනවා. තාත්තා ඒ පුස්තකාලය මට භාර දුන් දවසේ මට ලොකු සතුටක් දැනුණා.
ගුවන් විදුලියේ හොඳම ළමා නාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබූ ඔබට රංගනයට යොමු වන්නට හිතුණේ නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඒ පිළිබඳ මගේ කැමැත්තක් නැහැ. ඒ වගේම රූපවාහිනි නිවේදනයටත් ආරාධනා ලැබුණා. ටික කාලයක් ස්වර්ණවාහිනි නාලිකාවේ ගීත් නමින් හින්දි වැඩසටහනක් ඉදිරිපත් කළා. අම්මයි තාත්තයි නිසා වගේම පුංචි කාලේ පටන්ම තියෙන පුරුද්ද නිසාදෝ කොහෙද මම වැඩියෙන්ම කැමැති ගුවන් විදුලි නිවේදිකාව කියන භූමිකාවට. මෙය දියුණු කර ගන්න තමයි උත්සාහ කරන්නේ.
පෞද්ගලික ජීවිතයේ තොරතුරු කියන්න තමයි මේ වෙලාව?
මගේ සැමියා රසික අධිකාරී. එයා පරිගණක ඉංජිනේරුවෙක්. මුලින්ම අපි හමුවුණේ ළදරු පාසලේදී. ඊට පසුව නැවත අපි මුණ ගැසුණේ ශ්‍රී එෆ්. එම්. එකේදී. අපට අවුරුදු හතරක පුංචි පුතෙක් ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි දැන් ජීවිතයේ වගකීම් වැඩියි. රාජකාරි කටයුතු වගේම පෞද්ගලික ජීවිතය සාර්ථකව සමබරව ගෙන යන්න උත්සාහ කරනවා. ඒ වගේම පුංචි පුතාට යහපත් අනාගතයක් උදා කර දෙන්නට තමයි මේ හැම දේම.
භාෂිණි අවසන් වශයෙන් කියන්නේ?
මගේ අම්මයි තාත්තයි තමයි මගේ මුල් ගුරුවරුන්. ඒ දෙන්නා තමයි මගේ නිවේදන ලෝකයේ ශූරයන්. ඒ වගේම විධායක අධ්‍යක්ෂ රයන් හොන්ටර්, චාරුක සුරවීර, ජැක්සන් ඇන්තනි, ස්ටැන්ලි එම්.ප්‍රනාන්දු යන මහත්වරුන්ට විශේෂයෙන් ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මගේ සැමියාගෙන් ලැබෙන සහාය මා දිරිමත් කරනවා. මගේ හොඳම මිතුරු මිතුරියන් වගේම මගේ ආදරණීය අසන්නන්වත් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා.
READ MORE - මම හොඳ පර්යේෂණ කරන්නියක්

මාලක දේවප‍්‍රියගේ ”නිහොන් සැප ලැබේවා”

Thursday, August 23, 2012



රේඩියෝ නාට්‍යයක කථා වස්තුව තර්කානුකූල සිහි බුද්ධියට අනුව ශ‍්‍රාවකයා විසින් පසක් කර ගනු ලැබෙනවා. කිසියම් සංඛ්‍යාතයක් හා ස්ථානීය පරිසරයක්ද ඊට ඇතුළත්. තේමාව, චරිත, කථා වස්තුව හා පරිසරය, ගැටලූව විසඳීමට ගන්නා පියවරවල්ද, ඒ නිසා මතුවන ගැටුම්කාරී ස්වභාවයද අවසානයේ දී ගැටලූව නිරාකරණය වන ආකාරයද රේඩියෝ නාට්‍ය කලාව තුළ දැකිය හැකියි. එහෙත් මෙකී රාමුවලට හසු නොවන ආකෘතිද රේඩියෝ නාට්‍ය හදන අය විසින් නිර්මාණය කෙරෙනවා. මෙවැනි කථා වලින් රේඩියෝ නාට්‍යයක දැකිය හැකි සුලභ ආකෘතිය මග හැරීයාම සුවිශේෂ දෙයක්. විවිධ චරිත වේදිකාව මත සිටින නළුවන් සේ නොපෙනුණත් රේඩියෝ නාට්‍ය සන්දර්භය තුළ සවන් දීම පාදක වන බැවින් චරිත දෘශ්‍යමානව පෙනී සිටීමට සැලැස්වීමේ අභියෝගය ජය ගැනීමට නාට්‍ය රචකයාට ඉඩ කඩ ඇති වෙනවා.
රේඩියෝ නාට්‍යයක්  ඕනෑම ශෛලියකින් ඉදිරිපත් කරන්න හැකියාව තිබුණත් කතාවෙන් ඉදිරිපත් කරන අර්ථයට හානියක් නොවන පරිදි නාට්‍යය නිපදවන එක තමයි අභියෝගය. රේඩියෝ නාට්‍යයක දක්නට ලැබෙන වින්දනාත්මක පරිසරය ඇතුළේ විවිධාකාර රස මතුවෙනවා. හාස්‍ය රසය ඉන් ප‍්‍රධාන එකක්. මෙම ‘නිහොන් සැප ලැබේවා’ කෘතියේ එන ‘භෂ්මාන්තර’ නාට්‍යය ප‍්‍රධාන චරිතය පමණක් ඉස්මතු කරන ආකාරයේ නාට්‍යයක්. හේතුව එහි කතා නායකයාමයි නාට්‍යයේ ඉදිරියේ සිදුවෙන දේවල් හෙළි කරන්නේ. ප‍්‍රධාන තේමාව ගැන පවා අදහස් මතුවන්නේ ඔහු දකින ආකාරයටයි. අසන්නාගේ ආකර්ෂණය ඔහුට තිබෙන හින්දා ඔහුට සිදුවෙනවා ශ‍්‍රාවකයාගේ   හැ`ගීම් උද්දීපනය කරන්නත්, කල්පනා ලෝකය පළල් කරන්නත්. මේ නිසා තනි චරිතයක් වටා කතාව ගලා යන ‘භෂ්මාන්තර’ වැනි නාටයයක් නිර්මාණය කිරීම සැහැල්ලූ කාර්යයක් වෙන්න බැහැ.
”සුවදෙන අග්නි” නාට්‍යයට ගිනිකන්දක් පිපිරීමක් නිසා තමන්ගේ දේශය අතහැර යනවාද? නැද්ද යන ගැටලූව  පාදක වෙනවා. ඇත්තටම එවැන්නකට කෙනෙක් මුහුණ දීමෙන් ලබන අත්දැකීම කලාකෘතියකට ඇතුළත් කිරීම වඩා අසීරු කාරණයක්. ඒ හරහා සාහිත්‍යමය වටිනාකමක් ඇතිවෙන්නේ නාට්‍යකරු අත්විඳින සමාජ විකෘතීන් මනාව විවිධ චරිත ඔස්සේ පිිළිබිඹු කිරීමයි. මෙහිදී කර්කෂ සමාජ විවරණයක් දක්නට ලැබෙනවා. සමාජය පිළිබඳ ඇත්ත වසන් කිරීමට එරෙහිව අර්ථකථනයක් ගෙන දෙන නාට්‍යානුරූපී කලා කෘතියක් ලෙස සුවදෙන අග්නි මෙහිදී වඩා සැලකිල්ලට භාජනය වෙනවා. මේ වගේ කෘති ඛේදනීය ප‍්‍රහසනයක් ලෙසයි ටොම් ස්ටොපාඞ් නමැති විකාර රූපී නාට්‍යකරුවා පවසන්නේ. කථාවස්තුවේ දක්නට ලැබෙන ගිනිකන්ද පිපිරීම ඛේදනීය සිද්ධියක්. ඒ එක්කම සමාජ අර්බුදයන් කුඩා තේමාවන් හැටියට ඉදිරිපත් කිරීමෙන් ප‍්‍රධාන සිද්ධිය හා උද්ගතවන සමාජ අර්බූදයන් සමාජ සංඝටනය ආකාරයෙන් අසන්නාට හිතන්න උනන්දු කිරීම හාස්‍යොත්පාදක බවක් දනවනවා. ඇතැම් ප‍්‍රතිවිරෝධතාවන් ඉදිරිපත් වෙන්නේ හැංගි හැංගි සතුරාට පහර දෙන ගරිල්ලා භටයෙක් ආකාරයටයි.
”තරුවන් සරණයි” නාට්‍ය රචනය වර්තමාන සමාජයේ සුපිරි තාරකාවන් රැුල්ල කෙරෙහි සමාජ විවරණයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඔද්දල් වූ තරුණ ජවය සිවිල් බලධාරින් අතරට ගැනීම හා ඒ නිසා ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය මුදලාලිලාගේ ආශාවන් පිනවීම කෙරෙහි රසික ජනයාගේ අවධානය යොමුකිරීම මෙහි ඉලක්කය වෙන්න පුළුවන්. අසන්නාට පහසුවෙන් තේරුම් ගන්න හා විඳින්න පුළුවන් විධියට සමකාලීන භාෂා ප‍්‍රයෝගද සත්‍ය නම් ගම්ද භාවිතා කොට තිබෙනවා. කිසියම් අවස්ථාවක් තෝරා ගෙන නරුම දේශපාලන වුවමනාවන් හා හරසුන් මාධ්‍ය හසුරුවන්නන් අතර පවත්නා බලූපොරය හාස්‍යජනක අයුරින් ඉදිරිපත් කිරීමක් තමයි මතු වෙනවා. ”තරුවන් සරණයි” නාට්‍යයේ එන ඇතැම් චරිත යුනිෆෝම් (Uniform Characters)   ඒවායි. ඒඞ්ස් රෝගය, ඩෙංගු රෝගය වැනි අභෞතික වස්තූන් (Abstract objects)  අපි එදිනෙදා දකින කරන චරිත විධියට හඳුන්වා දීම, එම නාට්‍යයේ සුවිශේෂත්වයට බෙහෙවින්ම උදව් කරනවා.

”නිහොන් සැප ලැබේවා” නාට්‍යය තුළ රේඩියෝ නාට්‍යයක පොදු මූලධර්ම බොහෝ දුරට භාවිතා වී තිබෙනවා. නාට්‍ය පෙළෙහි ආරම්භය කිසියම් කථාන්තරයක කුළුගැන්වෙන තැනක් සනිටුහන් කරනවා. කතාවේ බොහෝ දේවල් නාට්‍යය ආරම්භ කරන්නට පෙර සිදුවී තිබෙන බවත්, ඊළඟට කතාන්තරය නාට්‍යයක් විධියට දිග හරින්න  ඕන කොතනින්ද යන්නත්, මනාව පැහැදිළියි. ජපානයේ දුම්රියක ගමන් කරන ලාංකිකයන් දෙදෙනා මුහුණපාන ගැටලූව හා බැඳුණු සියලූ සමාජ දේශපාලනික හා සංස්කෘතික කාරණාවල් ඒ ඔස්සේ නිදහස් කිරීමට හොඳ මාවතක් එතැනදී උදා වෙන අතර රේඩියෝ නාට්‍යකරුට කතාවේ හේතු ඵල සම්බන්ධය ගොඩ නැගීමට පදනම් වටපිටාවන් ද මතු වෙනවා. අප අවට ලෝකය කොතරම් තාක්ෂණික ජයග‍්‍රහණවලින් හා දර්ශන ශාස්ත‍්‍රවලින් මෙන්ම ආගම් ධර්මවලින් දියුණුවී ඇතැයි කොතෙක් පුරසාරම් දෙඩුවත් ”රාජ්‍යය” යන සංකල්පය ඇතුළේ තවමත් මිනිසා වහලෙක් විලසින් කොටුවී සිටිනවාද යන්න ”නිහොන් සැප ලැබේවා” නාට්‍යයෙන් අපට හිතන්න බල කරනවා. අද සිවිල් වැසියන් ලංකාව හැර ජපානය, ඉතාලිය හා මැද පෙරදිග වැනි රටවලට නීත්‍යානුකූලව හා නීතිවිරෝධීව ගමන් කරනවා. එතැනදී ඔවුන්ගේ අනන්‍යතාව නිශ්චය කෙරෙන්නේ කෙලෙසදැයි යන්න තවම නො විසඳුණු දේවල්.
ඇන්ටන් චෙකොව් කියන්නේ ‘‘ජීවිතය තේමා කරගත් කිසිම කථාවකට මුලක් නෑ’’ කියලා. ඔහුගේ හැම කතා වස්තුවක්ම ජීවිතයෙන් කපා ගත්ත පෙත්තක්. ඒක හරියට කිසිම විසඳුමකින් තොර ගැටලූවක තීරණාත්මක අවස්ථාවක් හැටියටයි ඔහු දකින්නේ. මාලක දේවප‍්‍රියගේ මේ රේඩියෝ නාට්‍යයේ සංග‍්‍රහයේ ”ආලයක දමනය”ද එවැනි නාට්‍ය සේයාවක් පිළිබිඹු කරනවා. වරෙක මනමේ කතාවේ වැද්දා සහ මනමේ කුමරිය අතර සංවාදයේ දී ස්ත‍්‍රිය චපලද නැද්ද කියන කථාවද සිහිගන්වන ඇතැම් දෙබස් පාඨවලින් භාවමය වටපිටාවක් මේ නාට්‍යයේදී දක්නට ලැබෙනවා. අහිංසක හා සුජාතා අතර සර්පිලාකාරව ගොඩ නැගෙන සංවාදය සානුකම්පිත හාස්‍යය හා රොමැන්ටික් සල්ලාපයකින් උද්දීපනය වන්නාවූ උද්වේගකාර නාට්‍යමය පරිසරයක්. දෙදෙනාම වැරදි නිගමනයන් තුළ හිරවී ඉන් ගොඩ ඒමට බැරිව ජීවිතය බදා ගැනීමටත්, වරෙක ඉන් පලා යාමටත් තැත් දරනවා. මිනිසා ශාරීරිකව මෙන් මනසින්ද රමණයේ යෙදෙන අතරේ ඒ නිසා පඹ ගාලක පැටලිලා පැටලූම් ලිහන්න මාන බැලීම කොයි තරම් හාස්‍යජනකද? රති කෙළිය ගැන ප‍්‍රශ්න කිරීමට තරම් ලෝකය තවම සූදානම් වන්නේ තිරිසනුන්ටත් වඩා පහත් මට්ටමකට මිනිසා ඇද වැටී ඇති නිසාද? ස්ත‍්‍රිය සමග නිදාගත් පුරුෂයන් ගණන ගැන ප‍්‍රශ්න කරන අහිංසක වැනි චරිත, එමෙන්ම මිනිසුන් දහස් ගණන් හිත් පිත් නැතිව මරා දමාපු මිනිසෙකුට අනුකම්පා කරන ස්ත‍්‍රිය විකාර රූපී රංග කලාවේ නාට්‍ය දර්ශනයන් මෙනෙහි කරවන්නක්. දෙදෙනාම අසන්නා ගේ නාට්‍යමය අනුකම්පාව උදුරා ගැනීමට වෙර දරනවා. සිවිල් සමාජයේ නීති රීති ආගම් දර්ශනවලින් කොටුවී සිටින අසන්නාට මේක මහ සීරියස් දෙයක් වුණාට නගරයේ හුදකලා තැනක ලැප්ටොප් එකක් උකුළේ් හොවාගෙන රති කෙළියක යෙදෙන දර්ශන දැක දැක මනසින් රති සැප විඳින බහුතරයක් මෙම රසිකයන් අතරේ නැද්ද? ආගම් දර්ශන හා සංස්කෘතික සීමාවලින් හිරවී හිරබත් කන අය කියන ඊනියා ශිලාචාර ගුණ දහම් දෙසාබාන සත්පුරුෂයෝ, කුහකයෝ නොවේ යයි කියන්න පුළුවන් කාටද?
ප‍්‍රබන්ධකරණය නමැති ගෙට හුඟාක් ජනේල තියෙනවා. ඒ උනත් ඒකට තියෙන්නේ දොරවල් නම් දෙකයි. එහෙම නැත්නම් දොරවල් තුනයි. කතාන්තරයක් කියන්නට කෙනෙක් උත්සාහ කරන්නේ එක්කෝ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේත් නැත්තම් අන්‍ය පුරුෂ දෘෂ්ටි කෝණය භාවිතයට ගන්නවා. ”මනවිදමන” නාට්‍යයේ පෙළ කියවන විට ප‍්‍රධාන චරිතය මෙම දෘෂ්ටි කෝණ දෙක එකිනෙකට හුවමාරු කරගෙන චරිතය, කතාවේ තේමාව, කතා වස්තුව හා වස්තු පරිසරයට එළිදරව් කිරීමට ඉමහත් පරිශ‍්‍රමයක යෙදෙනවා. මෙවන් ආකාරයේ කථනයන් හරිම දුර්ලභයි. ඒත් සියලූ සාහිත්‍යමය මූලධර්ම හඳුනා ගෙන සිටින සාහිත්‍යකාරයෙකුට මෙවැනි ආඛ්‍යාන රීතින් මැනවින් මෙල්ල කරගැනීමට හැකියාව තිබෙනවා. ”කැල්” නමැති තරුණයා අධිවේගී දුම්රියක් ඇතුළේ තම පුරුෂාධිපති බලය ”ඩාමේ” නම්වූ කාන්තාව ඉදිරියේ මුදා හරින්නේ ඉහත කී සාහිත්‍ය මෙවලම් මනාව පාලනය  කරගෙනයි. කතාන්තරයක් දිගට හරහට දිග ඇරියත් එකේ යම් යම් සීමාවන් ස්වයංවාරණයන් ඔස්සේ කිරීමයි නුවණට හුරුවන්නේ. ස්ත‍්‍රීය ඝාතනය කිරීමට පවා පෙළඹෙන පුරුෂයා කොතරම් ආක‍්‍රමණශීලී වුවත් ගැරඬියෙක් වගේ ආපස්සට හැකිලෙන බොළඳයෙක් බවට පත්වෙන්නේ සිග්මන් ෆ්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණයන්හි ගැතිව තිබෙන ලිංගිකත්වයේ උත්කර්ෂණය විවිධාකාර හැකියාවන්ට පරිවර්තනය වන සිද්ධාන්තය පවා සිහිගන්වමින්. ලිංගික කාර්යයෙහි නියැළෙන්නෙකුට බොහෝ දුරට තම රාගික දැහැන තුළ ඔටුනු පළඳින්ට පුළුවන්කමක් නැහැ. තෘප්තිය සිඳී යද්දී ඔහු කොන්ද නැති කෝඳුරු මිනිසෙක් බවට පරිවර්තනය වෙනවා. ඩාමේ සමග නිදාගන්න පතන හේ ජාත්‍යන්තරවාදියෙක් වෙන්නට තරම් භාෂාන්තර දැනීමක් ඇති අයකු මෙන්ම උපාධිය දක්වා ඉහළින් සිප් සතර හදාරා ඇති අයෙක් වුවද ”ඩාමේ” වැළඳ ගැනීමට ඒ කිසිම විෂය දැනුමක් ඔහුටු අනුබලයක් හෝ සහයෝගයක් දක්වන්නේ නැහැ. තට්ටෙයි, බඩයි තිබෙන විධායක ශ්‍රේණියේ ඇතැම් පරිපාලන නිලධාරීන් පවා තම බිරිඳ ගෙදර සිටියදී අන්‍ය අ`ගනුත් සොයා කාර්යාලයීය වෙලාවෙන් පසු වැඩට බසින්නේ ඇයි?  ඇන්ටන් චෙකොෆ්ගේ න්‍යාය අනුව බලන විට විසඳුමකින් තොරව අවසන් වෙන ගැටුම්කාරී නාට්‍යමය අවස්ථාවකින් කතාන්තරයේ පෙළද නතර වෙනවා. තාත්වික හා අතාත්වික සම්ප‍්‍රදායන් අතරමැද කැපීපෙනෙන වෙනස පමණයි අසන්නා ග‍්‍රහණය කරගන්නේ. කලාකෘතියක් වඩා සාර්ථකයි කියලා හිතෙන්නේ සාහිත්‍යකාරයාගේ පුද්ගලික ආකල්ප සොයා ගන්නට බැරි තරමට හැංගිලා තිබුණොත් පමණයි. එංගල්ස් 1888 දී ඉංග‍්‍රීසි නවකථාකාරි මාග‍්‍රට් හාර්ක්නස්ට සමාජවාදී සමාජයක් ගැන කිසිදු වචනයක් සඳහන් නොකිරීම ඇගේ වරදක් හැටියට ඔහු දකින්නේ නෑ. කලාව සහ ප‍්‍රචාරකවාදය අතර වෙනස මාර්ක්ස් මෙන්ම එංගල්ස්ද දැඩිව අවධාරණය කරනවා. ලේඛකයා ඇතුළත්ව සිටින සමාජ පංතිය සහ ඔවුන් ඇලූම් කරන දේශපාලන ධර්ම කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවීම මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ අනිවාර්ය ලක්ෂණයක්.

”නව නළු දහම” මිනිස් සංහතිය පුරාම දක්නට ලැබන සූරාකෑමට එරෙහිව සටන් පාඨයක් වගෙයි පේන්නේ. එක් මානව කොට්ඨාසයක් තවත් මානව කොට්ඨාසයක් වෙත බලය යොදා අනුන්ගේ අයිතියට අත පෙවීමත්  නොවිසඳුණු ගැටුම අතීරණාත්මක අවස්ථාවක් කරා පැමිණීම හා නො විසඳුණ ගැටලූවක් ලෙස අවසාන කිරීම කතුවරයාගේ ජීවන දැක්ම මැනවින් පිළිිබිඹු කරන්නක්. කූට ජාවාරම්කාරයන්ගේ තත්ත්වයට අද මාධ්‍ය බලවතුන් ගොදුරු වීම හා ඔවුන්ට අත්වන ඉරණම කියා පාන මෙම නාට්‍යය සමාජ ප‍්‍රගතිය අපේක්ෂා කරන්නන්ගේ් ආශිර්වාදය හිමිවන නිර්මාණයක් හැටියට පෙන්වන්න පුළුවන්. පාරම්පරික කලා සම්ප‍්‍රදායයන් නවීන මාර්කටින් වියරුව විසින් ගිල ගැනීම කිසිසේත්ම සමාජ ප‍්‍රගතිශීලීන් අනුමත කරන දෙයක් නෙවෙයි. රූකඩ කලාව මත යැපෙන අහිංසක ශ‍්‍රමය තම ධනවාදී ආශාවන් මුදුන් පත් කරගන්න මාන බලන පිරිස් කෙරෙහි අවධානය යොමු කරවීම හා ඒ වෙනුවෙන් ජනතාව වීදි බැස්සවීමට තරම් ප‍්‍රබල තේමාවක් වෙනවා.
”රෝම රූපන” නාට්‍යය ප‍්‍රහසන (farce)  වර්ගයට ඇතුළත් රේඩියෝ නාට්‍යයක් හැටියට සලකන්න පුළුවන්. රංග සම්ප‍්‍රදායයන් තුළ ප‍්‍රහසන යනු සිදුවෙන්න බැරි දේවල් හා  ඕනෑවට වඩා අතිශයෝක්ති බහුල පේ‍්‍රක්ෂකයා හෝ අසන්නා සිනා රසයේ ගිල්වන නාට්‍ය විශේෂයක්. වැරදි වැටහීම් සහ වසන් කෙරෙන උපක‍්‍රම, වචන හරඹ, ඉල ඇදෙන විහිළු තහළු මෙම නාට්‍ය අංගයට ඇතුළත් වෙනවා. හනි හනික පියවර තැබීමේ රිද්මය ඇතිව සිද්ධියෙන් සිද්ධිය ඉදිරියට තල්ලූ වෙනවා. පසු පස හඹා යන්නා සේ ගමන් කරන සිද්ධි පෙළ කූටප‍්‍රාප්තිය කරා එළඹෙන්නේ විස්මය උපදවන නිමාවක් ඇති කරමින්. කිසියම් අර්බුදකාරී වටපිටාවක් ඇතුළේ ක්ෂණික සිනා උපදවන හාස්‍ය කෑලි (Twist)   බොහෝමයක් පටලවා ගෙනයි ප‍්‍රහසනය ගලා යන්නේ. රසිකයා පොළඹවන්නේ කථා රසය පස්සෙන් යාමටම නොවේ. එක පිට එක තොරතුරු වැඩි වීමෙන් වළක්වා ගැනීමටද ප‍්‍රහසන රචකයා වගබලා ගතයුතු වෙනවා. බාහිර විනෝදය ඉලක්ක කර ගැනීම නිසා ගැඹුරු රස වින්දනය මේ කලාංගය තුළ දකින්න බැහැ. හිතාමතාම භාවිත කරන විකාර රූප රංග ලක්ෂණ මෙම නාට්‍යවල කැපී පේන දෙයක්. ”රෝම රූපන” නාට්‍යයේ මෙකී නියමයන් අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එහෙත් වේදිකාවේදී නළුවෙකුගෙන් ප‍්‍රක්ෂේපණය නොවන දේවල් රේඩියෝ නාට්‍ය ශිල්පියෙකුගෙන් ඉෂ්ට වන්නට ඇති ඉඩකඩ වැඩි බැවින් අසන්නන්ට තම වින්දනය පෝෂණය කරගැනීමට (Sustaining) ඇති තරම් ඉඩ කඩ තිබීම එක්තරා සුවිශේෂි ගුණයක්.
මෙම රේඩියෝ නාට්‍ය සංග‍්‍රහයේ දැක්වෙන ”නිරාභිෂේකන”, වර්තමාන සමාජයේ දක්නට ලැබන තම වෘත්තීය වැදගත්කම වෙනුවෙන් පෙනී සිටින ගෞරව නාමයන් පිළිබඳ පවතින ආන්දෝලනාත්මක සමාජ ප‍්‍රපංචයක් කෙරෙහි අවධානය යොමු කරනවා. අසාධාරණය වෙනුවෙන් නැගී සිටින අය පවා ප‍්‍රතිවිප්ලවීය කොටස් බවට පත් වීම නිසා තත්වය පාලකයාටම වාසිදායි විධියට සකස්වීම හාස්‍ය ජනකයි. මෙවැනි සමාජ අර්බුදයන් අසන්නන් සඳහා රේඩියෝ නාට්‍ය ලෙස හඳුන්වාදීම අලූත් දෙයක්. එහෙත් යථාර්තය නම් ”කලාවට ආණ්ඩු පෙරළන්න බැහැ” කියන සැබෑ අත්දැකීමයි. ප‍්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එකතු වී පිහිටුවා ගත් සංවිධානය රාජ්‍යය වේ යන්න ඇරිස්ටෝටල් දැක්වූ පරමාදර්ශි මතය අද සමාජයේ ප‍්‍රශ්න කිරීමට ලක්වී තිබෙනවා. නූගතා උගතා හඳුනාගන්න බැරි තරමට සමාජය ඔද්දල් වෙලා. ඒ නිසා සමාජය විකෘති අර්ථ දැක්වීම්වලට ගොදුරු වෙලා. පරමාදර්ශි සමාජ රටාවකට පෙරගමන් කරුවන් වන උදවියට අද සමාජය පෙරළා පහර දීමට තරම් උරණ වෙලා. හිට්ලර්ගේ නාසි හමුදාවට හසු වූ ප‍්‍රංශ කවියකුවන රෙබෙර් දෙස්තේ යුදෙව්වකු යයි සැක කොට 1945 ජූනි 8 දින වධකාගාරයට සිරකර තබා ගෑස් යොදවා මරා දමනු ලැබුවා. ඔහු විසින් තම බිරියට ලියූ අවසාන කවිය මෙහෙමයි.

ඒ සා ශක්තියකින්
මම දුටුවෙමි ඔබ සිහිනෙන්
මම බොහෝ ඇවිද්දෙමි
බොහෝ කතා කළෙමි
ඔබ සෙවණැල්ලට තරම්, ආදරේ
නමුත්
ඔබ හෝ ඔබ කිසිවක් මා සතු නැත.
ඉතිරිව ඇත සෙවණැලි අතරේ සෙවණැල්ලක්
සිය ගුණයක අඳුරේ අඳුරක් වීමට
නැවත නැවත එන ඔබ ජීවිත හිරු එළියේ
අඳුරේ අඳුරක් වීමට
මෙසේ අති දුක්ඛදායක ඉරණමකට ගොදුරුවූ ලොවට වැඩදායක බුද්ධිමතුන්ගේ පිරිස සුළුපටු නොවීය. පරිත්‍යාගශීලීන් පවතින සමාජයට හතුරෙක් කිරීමට තරම් රාජ්‍ය යන්ත‍්‍රය අද ශක්තිමත් යැයි හැෙඟන්නේ              ”නිරාභිෂේකන” නාට්‍යයේ  ”මනුම්‍ය” මරණාසන්න මොහොතේ කරන ප‍්‍රකාශයට සවන් දෙන අසන්නා තුළයි.
මනුම්‍ය- මට හරිම සංතෝෂයි. මට හොඳට ඇහෙනවා උඹලගේ මනස. මාව බලන්න පැමිණීම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි. කොහොමද ආචාර්ය ඉන්ද්‍රජාත සෙනෙවිරත්න. මට හරිම සන්තෝෂයි කාලෙකට පස්සේ හැමෝම එකම තැනකදි මුණ ගැහෙන්න ලැබිච්ච එක. ඔව් ඊළඟට මගේ හිස අහිමි වුණත්, මං මගේ සටන අතහරින්නෙ නැහැ. මොකද හැමෝම නිහඬ. මට ඇහෙන්නේ සේලයින් බිංදු වැටෙන හඬ විතරයි. ම්  මොකද මේ මං දිහා ගල් පිළිම වගේ බලාගෙන ඉන්නේ? දැන්වත් මට සහයෝගය දීපල්ලා, දැන්වත් මට සහයෝගය දීපල්ලා....
මෙතැන දි අසන්නාට දැනෙන්නේ අසාධාරණයට එරෙහිව සටන් වදින්නාට අත්වන ඉරණමයි. බෞද්ධාගමික පරිසරයක් තුළ ස්ථාපිතව පවතින සමාජයක ”මේ තමයි සංසාරෙ හැටි” යන අර්ථකථනය තුළ හිරවෙනවා. ඊළඟට ජීවිත පරිත්‍යාග කළ පුද්ගලයාගේ වීරත්වය ගැන ටික කලක් මෙනෙහි කරලා වැඬේ අතැරල දානවා. ඇල්බෙයා කැමු නැමැති ප‍්‍රංස සාන්දෘෂ්ටිකවාදී ලේඛකයා වැඬේ අතට ගන්නේ පෙරදිග ලොව විඥානවාදී අර්ථකථනයෙන් අතරහැර දැමූ තැනින්. කැමූගේ වචනවලින් කියනවා නම් ආත්ම ඝාතකයාගේ විරුද්ධාර්ථය මරණයට කැප කරන ලද පුද්ගලයායි. දවසක අරුණලූ නැගෙ--න්නට මොහොතකට පෙර තමා වෙනුවෙන් තමා සිටින සිරගෙදර යකඩ දොරටු විවෘත වන විට මරණයට කැපවූ මිනිසා තුළ ජීවමාන දෙවියන්ගේ මෙන්වූ ආදේශක ලක්ෂණද ඔහු තුළ පවතින ජීවන ගිනි සිළුව හැර ඇදහිය නොහැකි තරම් වූ උපේක්ෂාවද සැලකිල්ලට ගත්කල එකම තර්කානුකූල නිදහස ගතින් හා සිතින් විඳිය හැකි නිදහස දනවන මූලධර්මයන් වන්නේ මරණය හා අසම්මතය පමණක් බව මට හොඳටම විශ්වාසයි යනුවෙන්.
මට අවසාන ලෙස කිවහැක්කේ සමස්තයක් වශයෙන් ගත්විට මාලක දේවප‍්‍රියගේ මෙම ගුවන් විදුලි නාට්‍ය පෙළෙහි දක්නට ලැබෙන අරුත් කෙරෙහි පවතින ගතානුගතික සම්ප‍්‍රදායික සමාජ චර්යාවන් හා මිථ්‍යාවන් හිසේ ටොන් ගණන් පටවා ගෙන සිටින බහුතර ලාංකික රසික සමාජය කෝපයට පත්වීම ස්වාභාවික බවයි. මේවාට  මොන ආකාරයේ ප‍්‍රතිචාරයක් දක්වයිද  යන්න කලාකාරයකු ගණන් ගත යුත්තක් නොවෙයි. මාර්ටින් වික‍්‍රමසිංහ පනස් හයේ දේශපාලන පිබිදීම දුටුවේ බමුණු කුලයේ බිඳවැටීමක් හැටියටයි. හැත්තෑ එකේ නැගිටපු කැරලිකාරයන් පුළුස්සලා දැම්මේ ඒ බමුණු කුලයේ බිඳවැටීම තුළින් මතුවූ ඒ ඊනියා ප‍්‍රගතිශීලි බලාධිකාරය මගින්.  සමාජ යථාර්ථයන් හඳුනානොගත් ඒ සමාජ පැළැන්තිය විසින්ම අසූහත අට වකවානුවේද යළි අවධි වූ සමාජ ස්ථරය සමුල ඝාතනය කළා. ඉන්පසු වර්ගවාදය ලෙස හංවඩු ගසා උතුරේ සන්නද්ධ අරගලය කුඩු පට්ටම් කිරීමට තරම් පනස් ගණන්වල මතුවූ මහලූ ස්ථාපිත සමාජය කරපින්නා ගත් අයට ජව බලය ලබා දුන්නේද අර ඊනියා ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය හා ගෝත‍්‍රික ආකල්පවලින් ඔද්දල් වූ දිරාපත් නොවන යකඩ මෙන් ස්ථාපිත සමාජ ව්‍යුහය විසින්. මීට සමාන්තරව අවි අතට නොගත්තද සාහිත්‍ය මෙවලම්වලින් සන්නද්ධ වන කලා කෘතිවලට කෙබඳු ඉරණමක් අත්වේද යන්න කුමන කතාද? සංස්කෘතික හා සාහිත්‍ය සේනාංකයන්හි පදක්කම් පැළඳ සිටින නාට්‍ය සේනාංකයේ බි‍්‍රගේඩියර්ලාට, පද්‍ය හා ගීත සේනාංකයේ මේජර්ලාට, ටෙලිවිෂන් හා රේඩියෝ සේනාංක භාර සේනාධිනායකයන්ට මෙන්ම මාධ්‍ය සේනාංකයේ ආඥාපතිවරුන්ට, සංස්කෘතික කටයුතු භාර පොලිස්පතිලාට සැලියුට් නොගහන  සාහිත්‍ය කරුවන්ට අත්වන ඛේදනීය ඉරණම කෙරෙහි අවධියෙන් සිටීම බුද්ධිමත් පාඨකයා සතු කාර්යයක්.

ඩබ්ලිව්. එස්. විජේසිංහ

READ MORE - මාලක දේවප‍්‍රියගේ ”නිහොන් සැප ලැබේවා”