----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි.

Sunday, October 14, 2012


ටෙලිනාට්‍යකට නොනැගුණු ටෙලිනාට්‍යය කතාවක්
2012 සැප්තැම්බර් මස 12 18:06:05 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ඕෂධී හෝවාමද්දුම වැඩි උසක් මහතක් නැති යුවතියකි. දිව්‍යා ටෙලි නාට්‍යයේ කිසියම් චරිතයක් රඟපාන්නට ඇයට අවස්ථාවක් ලැබිණි. ඒ අවස්ථාව සාදරයෙන් පිළිගත්  ඕෂධී, දිව්‍යා හි රූගත කිරීම් සඳහා යද්දී, ඇගේ තනි නොතනියට ඇගේ අම්මාද ගියාය.
සංචිය නිර්මාල්ගේ අධ්‍යක්‍ෂණයක් වූ දිව්‍යා ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළේ ප‍්‍රදීප් බුලත්සිංහලයි.

ඕෂධී හෝවාමද්දුමගේ ආදර කතාව



සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි. ඇය රඟපෑ ටෙලිනාට්‍ය වල නම් මේ තරම් පහසුවෙන් පේ‍්‍රමය ජයගත් පෙම්වතුන් ඇයට හමුවී නැත. පේ‍්‍රමය ජයගනු උදෙසා කළ යුතුව බොහෝ දේවල් ඔවුනට තිබිණි. අභියෝග බාධක ගැටුම් වැනි බොහෝ දේ තිබිණි.


ප‍්‍රදීප් වැඩි කතා බහ නැති නිහඬ පුද්ගලයකි.  ඕෂධී ඊට දෙවැනි වූයේ නැත. රංගන ශිල්පීන් එක්කවත් නිෂ්පාදන පිරිවර එක්කවත්  ඕනැවට වැඩියෙන් කතාවට යන්නට ඇය කැමති වූයේ නැත. එහෙත් ඇය අහංකාර යුවතියක්ද නොවේ. කා එක්කත් සිනාසී සුහදව කතා බහ කිරීම ඇගේ පුරුද්ද විය.
‘‘කොහොමද නංගී’’
රූගත කිරීම් වලදී මුණ ගැහැණු විට, ප‍්‍රදීප්  ඕෂධීගෙන් අහන්නේ ඇගේ මුහුණ දෙස යාම්තමට බලාය.
‘‘හොඳින් ඉන්නවා අයියා’’ ඇගේ පිළිතුර එපමණය,
ප‍්‍රදීප් විහිලූ තහලූවට ගිය පුද්ගලයෙක් නොවූ නිසා ඊට වඩා හිතවත් කමක් ඔහු සමඟ ඇතිවුනේම නැත.
දවසක්දා  ඕෂධීට භානුක මුණගැසිනි. ප‍්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්ගේ පුතා වූ භානුකගේ බිරිඳ හිරන්‍යා සමඟ  ඕෂධී හරි ඉක්මණට මිතුරු දම් ගොඩ නගා ගත්තාය.
ඒ වනවිටත් ගීත කිහිපයක් ගායනා කර තිබු හිරන්‍යා පි‍්‍රයමනාප යුවතියක් වූවාය.
ඉනික්බිති හිරන්‍යා නිතර නිතරම  ඕෂධීට කතා බහ කළ අතර ඔවුනතර මිත‍්‍රත්වයක් හටගත්තේ පුදුමාකාර විදිහකටය.
හිරන්‍යාත්  ඕෂධීත් කතා බස් කරමින් සිටින අතරවාරයේ හිරන්‍යාට දුරකථන ඇමතුමක් ලැබිණි.
‘‘ප‍්‍රදීප් අයියා.....’’
ඇමතුම කෙළවර හිරන්‍යා කීවාය.
‘‘මට මෙච්චර කාලෙකට හමුවුණු හොඳම පිරිමියෙක්. කා එක්කවත් වැඩිපුර කතාවක් නෑ...... අනං මනං නොසංඩාලකම් මුකුත් නෑ.... හරිම හොඳ කොල්ලෙක්. බයක් සැකක් නැතුව  ඕනෙම වෙලාවක සහෝදරයෙක් වගේ ආශ‍්‍රය කරන්න පුළුවන් කොල්ලෙක්......’’
හිරන්‍යා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළාය.
‘‘මමත් දන්නව එහෙම ප‍්‍රදීප් කෙනෙක් ඔහු තමා අපේ ටෙලියෙ කැමරා අධ්‍යක්‍ෂ......’’  ඕෂධී කීවේ ඇය දන්නා ප‍්‍රදීප් ගැනය......
‘‘ප‍්‍රදීප් බුලත්සිංහල’’
‘‘අන්න හරි’’
ඉනික්බිතිව දවසක රූගත කිරීම් අතරතුර ප‍්‍රදීප් සිය දුරකථනය ගෙනැවිත්  ඕෂධීට දුන්නේ ඔයාට කෝල් එකක් නංගී කියමිනි.
‘‘මට.....කව්ද.....’’
ඕෂධී දුරකතනය ගත්තේ එසේ අසමිනි.
ඒ හිරන්‍යාය....
තවත් දවසක  ඕෂධීට කතාකරන හිරන්‍යා ප‍්‍රදීප්ට දුරකථනය දෙන්නට කියයි.
මේ සිද්ධි නිසා ප‍්‍රදීප්ටත්  ඕෂධීටත් එකිනෙකාට කතා බහ කිරීමේ අවස්ථා ප‍්‍රමාණය වැඩි විය.
‘‘ඒක නෙමේ කෙල්ලෙ ප‍්‍රදීප් ගැන උඹ හිතන්නෙ කොහොමද?’’ හිරන්‍යා දවසක්දා  ඕෂධී ගෙන් ඇසුවාය.
‘‘හොඳ කොල්ලෙක්...’’
‘‘අන්න ඒ හොඳ කොල්ලා උඹ ගැන කැමැත්තෙන් හිරන්‍යා කී විට  ඕෂධී ගල් ගැසුනාය. කිසිවක් හිතා ගැනීමට නොහැකිවූ ඇය පළමුව හිතුවේ ඒ හිරන්‍යාගේ විහිලූවක් කියාය.
‘‘ ඕෂි, මොකද උඹ කතා නැත්තෙ.....’’
‘‘අනේ හිරු විහිලූ නොකර ඉන්න......’’
‘‘විහිලූ නෙවී  ඕෂි...... ඇත්තමයි ප‍්‍රදීප් මට මේ ගැන උඹෙන් අහන්න කිව්වා......’’
‘‘එහෙමනම් ඉතිං එයා ඒක මගෙන් අහන්න එපායැ.....’’
‘‘උඹ අහල නැද්ද හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා කතාවක්.....උඹේ ප‍්‍රතිචාරය දැනගත්තට පස්සෙ ප‍්‍රදීප් ඔයාගෙන් අහයි......’’
‘‘මට හිතන්න  ඕනෙ තව.....’’
ඕෂධී කීවේ එපමණකි.....
ඊට පසු දවසක මධ්‍යම රාත‍්‍රියේදී  ඕෂධීගේ දුරකථනය නාද විය.
යක්කු ගස් නගින වෙලාවෙ මොකද මට මේ කතාකරන්නෙ?
ඕෂධී ඇමතුමට උත්තරදුන්නේ එසේ සිතමිනි.
‘‘නංගි මම ප‍්‍රදීප්.....’’
එහා කෙළවරින් ඇහුනේ සිහින් පැටලිලි සහිත වචන වගයකි. ‘‘මේ මහ රෑ මොකද?’’
‘‘හිරන්‍යා ඔයාට මොනව හරි මං ගැන කිව්වද?’’
ප‍්‍රදීප් මේ අසන්නේ ඔහු තමාට කැමති බව හිරන්‍යා කීවාද කියන කාරණය ගැන බව  ඕෂධී වටහා ගත්තාය. එහෙත් ඇය ඒ බවක් නොදන්නා බවක් හැඟෙව්වාය.....
‘‘ඔව් ඔයා හරිම හොඳ කෙනෙක් කියලා කිව්වා.’’
‘‘එච්චරද’’
‘‘ම්.....ම්.....ඔව්.....’’
‘‘මම ඔයාට කැමති බවක් කිව්වෙ නැද්ද?’’
‘‘නෑ.......එහෙම මුකුත් නම් කිව්වෙ නෑ.....’’
‘‘මං ඔයාට කැමතීයි කිව්වොත් ඔයා මොකද ඒ ගැන කියන්නෙ.’’ ප‍්‍රදීප් අසන්නේ පැටලිලි සහගත වචන වැලකිනි.....
‘‘එක පාරටම ඒ ගැන මුකුත් කියන්න බෑ අයියෙ. මම හිතල බලන්න  ඕනෙ......’’
‘‘හොඳයි එහෙමනම් හිතල බලන්න මං ගැන හොයලත් බලන්න ඊට පස්සෙ උත්තරයක් දෙන්න.....’’
‘‘හා අයියෙ.......’’
‘‘මං ආයෙ කතාකරන්නම්.......’’
‘‘හොඳයි......’’
ඒ රාත‍්‍රියේ ඉතිරි කොටස  ඕෂධීට නිදිවර්ජිත විය. ප‍්‍රදීප් තමන් ගැන කැමැත්තෙන් සිටින බව කලින් දැන සිටියත් ඒ වචන ටික ප‍්‍රදීප්ගේ මුවින්ම අසන්නට ලැබුණු කළ යුවතියකට දැනෙන හද ගැස්ම  ඕෂධීව සසල කර තිබිණි.
”ඊයේ රෑ දොළහට ප‍්‍රදිප් අයියා අරක මගෙන් ඇහැව්වා. පහුවෙනිදා උදේ පාන්දරම  ඕෂධී හිරන්‍යාට කීවාය. ඉතින් උඹ මොකද කිව්වෙ. හිතල බලලා කියන්නම් කිව්වා.... මොනව කරන්නත් ඉතින් කේන්දරේ ගැලපෙන්න  ඕනෙ. නැත්නම් යකෙක් වුණත් අම්මලගෙ කැමැත්ත ගන්න බැහැ’’
ඕෂධී කීවාය.
ඊට සතියකට පමණ පසු දිනෙක ප‍්‍රදීප් යළිත්  ඕෂධීට කථා කළේය.
‘‘මොකද ඔයා අර යෝජනාව ගැන කියන්නෙ.......?’’
‘‘මගෙ නම් අකමැත්තක් නෑ ඒත් ඉතින් අපේ කේන්දර ගැලපුනේ නැත්නම් කවදාවත් අපිට එකතුවෙන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ හින්ද ඉස්සෙල්ලම මට ඔයාගෙ කේන්දරේ දෙන්න.....ඒක බලල ගැලපෙනවානම් අපි සම්බන්ධයක් පටන් ගම්මු.......’’
වාසනාවකට මෙන් කේන්දර ගැලපුනි.
‘‘දැන් ඉතින් ගෙදර දැනගත්තත් කමක් නෑ. අපේ කේන්දර ගැලපෙනවනෙ’’  ඕෂධී කීවේ සතුටිනි.
ඉනික්බිතිව තවත් පේ‍්‍රමයක අලූත් කතාවක් ඇරඹුණි. එම කතාව ටෙලිනාට්‍යයකට නොනැගුනු නමුත් කතාවේ පෙම්වතිය ටෙලිනාට්‍ය නිළියක වූවාය. පෙම්වතා කැමරා අධ්‍යක්‍ෂ වරයකු විය. ටෙලිනාට්‍යයේ පිටපත ඔවුනටත් හොරෙන් ටිකින් ටික ලියැවෙන්නට විය.
පේ‍්‍රමයට ඉඩදෙමින් කාලය ගෙවී ගියේය.....  ඕෂධී හේවාමද්දුම ජනප‍්‍රිය නිළියක බවට පත්වෙමින් සිටියාය. පූජා ටෙලි නාට්‍යයේ පූජා වූ  ඕෂධීට මංගල යෝජනා ගලා එන්නට විය. ඉන් වැඩි දෙනෙක්ම වෛද්‍යවරු වූහ.
‘‘උඹව පේන්නේ ලෙඩෙක් වගේද දන්නෙ නෑ......ඔච්චරටම දොස්තරලා කැමති වෙන්නෙ.’’ හිරන්‍යා විහිලූ කළාය.
ඕෂධීට දැන් වයස අවුරුදු විසි එකකි. දියණිය දැම්මම විවාහ කරදීම සුදුසු බව  ඕෂධීගේ අම්මාත් තාත්තාත් තීරණය කර තිබිණි.
අන්තිමේදී  ඕෂධී ප‍්‍රදීප් බුලත්සිංහල ගැන රහස අම්මාට කීවාය.
ඕෂධීගේ තනියට ෂූටිං ගිය බැවින් අම්මා ප‍්‍රදීප් ගැන දැන සිටියාය.
‘‘ඒ ළමයගේ නම් වැරැද්දක් කියන්න නැහැ. ඒත් ඉතිං කේන්දරේ ගැලපෙන්න  ඕනෙ.’’ අම්මා කීවේ  ඕෂධීගේ ඉහේ මල් පුබුදුවමිනි.
ඔය අතරතුරේ  ඕෂධීට ඉන්දීය සංචාරයක් යාමට සිදුවිය. එසේ යන්නට කලින් ඇය ප‍්‍රදීප්ගේ කේන්දරය අම්මා අත තැබුවාය.
ඕෂධී ආපසු මව්බිමට එනවිට අම්මලා කේන්දර ගලපා බලා තිබිණි. ‘‘කේන්දර වල නම් වැරැද්දක් නෑ පුතේ. ඒත් නැකැත්වල නම් ප‍්‍රශ්න තියෙනවා. බඳින්න හොඳම නැකත තියෙන්නෙ ජනවාරි මාසෙ ඊට පස්සෙ හොඳ නැකැත් නැහැ.’’
අම්මා කීවාය.
‘‘එතකොට?’’
‘‘ජනවාරි මාසෙ කසාදෙ කරන්න  ඕනෙ.’’
‘‘මෙච්චර ඉක්මනට’’
ඕෂධීට සිතිණි.
එහෙත් ඇය එම වචන කටින් පිට කළේ නැත. සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි. ඇය රඟපෑ ටෙලිනාට්‍ය වල නම් මේ තරම් පහසුවෙන් පේ‍්‍රමය ජයගත් පෙම්වතුන් ඇයට හමුවී නැත. පේ‍්‍රමය ජයගනු උදෙසා කළ යුතුව බොහෝ දේවල් ඔවුනට තිබිණි. අභියෝග බාධක ගැටුම් වැනි බොහෝ දේ තිබිණි. එබැවින් මේ කතාව පේ‍්‍රම කථාවක් නොවේයැයි  ඕෂධීට නොසිතුනාද නොවේ.
2007 ජනවාරි 25 වැනිදා  ඕෂධී ප‍්‍රදීප් අඹුසැමියන් ලෙස එක්ව ජීවත්වීමට ගිවිසුමකින් බැඳුණහ.
ඊට මාස අටකට පසු ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ජයටම පැවැත්විණි. ඒ කොළඹ තරු පහේ හෝටලයේදීය. කලා ලොවේ මිතුරු මිතුරියන් සිය ගණනක් ඊට සහභාගී වූහ.
මේ වනවිට  ඕෂධී මව්පදවිය ලැබීමට සූදානම් වන්නීය. ඒ වෙනුවෙන් ඇය කලා ලොවෙන් ටික කලකට දුරස්ව සිටින්නීය.
සටහන - ශාන්ත කුමාර විතාන
READ MORE - සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි.

උදයන්ති තල්ලුකරපු පාර


උදයන්ති තල්ලුකරපු පාරමගෙ ෆෝන් එක අක්‍රියවුණා

PDFPrintE-mail
R9-1ප්‍රියන්ත ගමෙන් කොළඹට ඇවිත් නළුකමට එක්වූ තරුණයෙක්....
ඔව්, මගෙ ගම් පළාත කුරුණෑගල නාරම්මල. මයුරපාද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේදී මම දක්ෂතා දැක්වූයේ උඩරට නර්තනයට. පසු කාලයේ පෙටේ‍රාලියම් කෝපරේෂන් එකේ ගිණුම් ලිපිකරුවෙකු විදියට රැකියාවට එකතු වෙලා කොළඹ ආවා. රඟපෑමට එකතුවෙන්න ලැබුණේ ඊට පස්සේ.
ඒ අවස්ථාව උදාවූ ආකාරය ගැනත් කතාකරමු...
මුලින්ම මම එකතුවුණේ මෝස්තර නිරූපණයට. රොසෑන් ඩයස් සහ ජෙරල්ඩීන් බණ්ඩාරනායක යටතේ මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදියට කටයුතු කළා.
ඉන්පසුව ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට එකතු වුණා...?
මෝස්තර නිරූපණ ශිල්පියෙකු විදියට කටයුතු කරද්දී වෙළෙඳ දැන්වීම්වලට ඉන්න අවස්ථාව ලැබුණා. ගීතවල රූප රචනා සඳහා අවස්ථාව උදාවුණා. ඉන්පසුව ටෙලිනාට්‍ය කේෂ්ත්‍රයට එකතුවුණා. ඉන්පසුව තමයි සිනමාවට ආවේ. ඇත්තටම මම මේ ගමන ආවේ පියවරෙන් පියවර.
රඟපෑ ටෙලි නාට්‍ය ගැන කතාකළොත්...
වසූදා ටෙලිනාට්‍යයේ කපිලගේ චරිතය තමයි මුලින්ම රඟපෑවේ. ඉන්පසුව ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කඳුළක කතාව ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපෑවා. හිමගිර නැග සහ පබා ටෙලි නාට්‍යවලත් රඟපෑවා.
ප්‍රියන්තට වැඩි අවධානයක් යොමුවුණේ කලර් චිත්‍රපටයෙන්...
‘කලර්’ චිත්‍රපටයට කලින් චැලෙන්ජර් චිත්‍රපටයේ පුබුදු චතුරංගගේ මිතුරකුගේ චරිතයක්ද රඟපෑවා. ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ සාරංග ගේ මිතුරකුගෙ චරිතයක් රඟපෑවා. කලර් මගේ තුන්වැනි චිත්‍රපටය. ඒ චිත්‍රපටයෙන් තමයි වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අතරට යන්න ලැබුණේ.

රැකියාව කරන අතර රඟපෑමේ කටයුතුවල යෙදීමේදී අසීරුතා මතුවන්නේ නැද්ද...?

දැනට මම ටෙලිනාට්‍ය 6ක්, චිත්‍රපට 3ක්, වෙළෙඳ දැන්විම් 20ක් සහ ගීතමය රූප රචනා 20ක් රඟපාලා තියෙනවා. ඉදිරියේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වීදි පහන්’ නිර්මාණයටත් සම්බන්ධ වෙනවා. රැකියා ස්ථානයෙන් උපරිම සහයෝගය ලැබෙන නිසා තමයි මට මේ කටයුතුවලට අවස්ථාව ලැබුණේ. ඇත්තෙන්ම ඒ සඳහා මම මගෙ ආයතනයට ස්තූතිවන්ත වනවා.
ප්‍රියන්ත ‘කලර්’ චිත්‍රපටයේ නම් තමන්ගෙ ආදරය ජයගත්තා. සැබෑ ජීවිතයේදී...?R9-2
(හිනැහී) සැබෑ ජීවිතයේදී නම් ජයගන්න බැරිවුණා. ආදර සම්බන්ධතා දෙකක් තිබුණා. දෙවැනි වතාවට සම්බන්ධයක් ඇතිවුණේ කලා ක්‍ෂේත්‍රයට ආවට පසුව. එයා ජනප්‍රිය චරිතයක්. හැබැයි නම් නම් කියන්න බැහැ. ඒත් ප්‍රථම ප්‍රේමය වගේම දෙවැනි ප්‍රේමයත් බිඳිල ගියා.
රඟපෑම් ජීවිතයේදී අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා නැද්ද...?
‘කලර්’ චිත්‍රපටයේ උදයන්ති එක්ක මුහුදු වෙරළේ ගීතමය ජවනිකාවක්. කතාවේ හැටියට මම නිවුණු තැන්පත් කෙනෙක්. උදයන්ති දඟකාර චරිතයක්. ඒ චරිත ස්වභාවයන් හිතේ තියාගෙන අපිට රඟපාන්න තිබුණේ. ඉතින් රඟපාන අතර එකපාරටම උදයන්ති මාව වතුරට තල්ලු කළා. ඒ වෙලාවේ මගෙ ෆෝන් එක සාක්කුවේ තිබුණේ. මාව වතුරට වැටුණු පාරට ෆෝන් එකත් අක්‍රිය වුණා.
ඡායාරූප: සිසිර හේමකුමාර
ආරියවංශ කුලතිලක 
 Lakbima
READ MORE - උදයන්ති තල්ලුකරපු පාර

ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.


මම ආසයි මෙහෙණියකගේ චරිතයක් රඟපාන්න

r5-1උත්පලා මධුෂානි සමඟ කතාබහක්
පසුගියදා විකාශනය වී නිම වූ සඳ සිත්තම් ටෙලි නාට්‍යයේ පින්තූර ගනිමින් නිතරම නුවර වැව වටේ යන ‘මතී’ ව ඔබට මතකද? සතියේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වන යශෝධරා ටෙලි නාට්‍යයේ යශෝධරාගේ දුව “අංජලීත්” මේ “මතී” ම තමයි. මේ දවස්වල ඇය සෑහෙන්න කාර්ය බහුලයි.මතී, එහෙමත් නැත්නම් අංජලී හැටියට අපේ හිත්වල ලියවුණාට ඇගෙ හැබෑ නම උත්පලා මධුෂානි. මේ උත්පලා ‘රිද්ම’ ඔබ වෙනුවෙන් කතාබහකට එක් වූ අයුරුයි.

ඳ මුලින්ම ඔබ ගැන විස්තර ටිකක් කියමු.
මම උත්පලා මධුෂානි. මට මල්ලි කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. මගේ තාත්තයි අයියයි විදේශයක රැකියාව කරන්නේ. මම අධ්‍යාපනය ලැබුවේ “කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ
r5-3
උත්පලාට කලා ක්‍ෂේත්‍රයට එන්න මග පෑදුනේ කොහොමද?
සිරස කුමරිය 2007 තරගයට මම ඉදිරිපත් පත්වුණා. ඒ තරගයට තරග කාරියන්     6000 ක් විතර ඇවිත් හිටියා ඒකෙන් මම අන්තිම හැටදෙනා අතරට තේරුණා. අවසානයේ මම ඒ තරගයේ ‘ඡවි’ කල්‍යානි විදිහට තේරුණා. ඒකෙන් පස්සෙ තමයි මට කලා ක්‍ෂේත්‍රයට පය තියන්න ලැබුණෙ.
ඔබගේ ප්‍රථම රංගනය ගැන සිහිපත් කළොත්
සිරස රූපවාහිනිය ඔස්සේ විකාශනය වුණ “පතිනි” ටෙලි නාට්‍ය මගේ ප්‍රථම ටෙලි නාට්‍ය කිව්වොත් නිවැරදියි. එම ටෙලි නාට්‍යයේ “පවනි” කියන චරිතය තමයි මං මුලින්ම රඟපෑවෙ.
ඉන්පස්සෙ
ඉන්පස්සෙ ඉසිවර රණකෙලි, ආදරණීය පූර්ණිමා සඳසිත්තම්, ආදරෙයි අහස තරම් , යශෝධරා නාට්‍ය වල රඟපෑවා. දැනට රඟපා තිබෙන ටෙලි නාට්‍ය අතුරින් වඩාත්ම කැමති චරිත දෙකක් තිබෙනවා. ආදරණීය පූර්ණිමා ටෙලි නාට්‍යයේ “සඳුනි” චරිතය වගේම සඳසිත්තම් ටෙලි නාට්‍යයේ “මතී” ගේ චරිතයටත් මම ගොඩාක් කැමතියි.
ඔබ නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා නේද?
ඔව්. මම සිරස ‘පතිනි’ ටෙලිනාට්‍යයේ රඟපෑවට පස්සෙ ස්වර්ණවාහිනියේ “රසලිය” කියන වැඩසටහනේ වසර දෙකක් නිවේදන කටයුතු කළා.
උත්පලා නිවේදන කටයුතුවලටද රඟපෑමටද වඩාත් කැමැති?
මට දැන්නම් නිවේදන කටයුතුවලට යෙදෙන්න වෙලාවක් නැතිතරම්. මම මගේ වැඩි කාලයක් යොදවන්නේ ටෙලිනාට්‍ය සඳහායි. මම වඩාත් කැමතියි රංගන කටයුතුවලින් ඉදිරියට යන්න. හැබැයි කාලය ලැබෙන විදියට නිවේදන කටයුතුවල යෙදෙන්නත් කැමතියි. 
මේ වකවානුවේ තිබෙන බොහෝ ටෙලි නාට්‍ය තුළ ඒකාකාරීභාවයක් දක්නට ලැබෙනවා. ඔයා මොකද ඒ ගැන කියන්නේ?
ඇත්තටම මම තවම නිර්මාණ කිහිපයකට පමණයි මගේ දායකත්වය ලබාදිලා තියෙන්නේ. ඉතින් ඒ නිර්මාණ එකිනෙකට වෙනස් චරිත වලින් යුක්තයි. අනික මම තවම මේ ක්ෂේත්‍රයට ආධුනික නිසා මට නම් ඒ පිළිබඳව ඒකාකාරි බවක් දැනෙන්නේ නැහැ. මට ලැබෙන හැම චරිතයක් පිළිබඳවම මම තෘප්තිමත්. ඒ හැම චරිතයකටම මම මගේ උපරිම දායකත්වය ලබා දී තිබෙනවා.
උත්පලා මේ වන විට පෙම්වතියක් ද?
ඒ දවස්වල නම් පෙම්වතියක්වෙලා හිටියා. නමුත් දැන්නම් මම පෙම්වතියක් නමෛයි. අපි දෙන්නාගේ අදහස්වල නොගැළපීම් නිසා අපි සුහදව වෙන්වුණා.
මේ දිනවල මොනවද රඟපාන අලුත් නිර්මාණ?
මෙගා ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායකත්වය සපයනවා. ඊට අමතරව ඉදිරියේදී හොඳ නිර්මාණ ලැබුණොත් චිත්‍රපටවල රඟපෑමට බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.
උත්පලා ආශාවෙන් රඟපෑමට බලා‍පොරොත්තු වන චරිතයක් එහෙම තිබෙනවාද?
මම ආසයි මෙහෙණියකගේ චරිතයක් රඟපාන්න ලැබෙනව නම්.
මේ ක්‍ෂේත්‍රයට එන නවක නිළියන්ගේ චෝදනාවක් තිබෙනවා කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් නවකයන්ට “කැපිල්ල” දානවා කියලා ඔයාටත් එවැනි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවී තිබෙනවාද?
“මම තවම ලොකු පිරිසක් සමග රංගනයේ යෙදී නැහැ. දැනට මම කළ හැම ටෙලි නාට්‍යයකම ප්‍රවීණයින් වගේම නවකයිනුත් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒ හැමෝම එක්ක මම සහයෝගයෙන් වැඩ කරනවා. අනික ප්‍රවීණයින්ගෙන් මට එහෙම දෙයක් වුණත් මම ඒ අය සමග ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ.
r5-2උත්පලා ඔයා නිළියක් නොවුණානම් මොනවගේ ක්‍ෂේත්‍රයක් තෝරා ගනීවිද?
මම පාසල් යන කාලෙ ඉඳලම නර්තනයට වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ වගේම නර්තනය පිළිබඳ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මම රඟපෑම තෝරා ගත්තෙ නැත්නම් නැටුම් ගුරුවරියක් විදියට මගේ වෘත්තීය කරගෙන යාවී.
රූගතකිරීම් අතර තුර අමතක නොවන සිද්ධිවලටත් උත්පලා මූණදීලා තියෙනවා. මේ එවන් එක සිදුවීමක්.
උත්පලාට ආදරණීය පූර්ණිමා ටෙලිනාට්‍ය රූපගත කිරීමට ගිය වෙලාවක අකරතැබ්බයකට මුහුණ පාන්නත් සිදුවුණාලු. සාමාන්‍යයෙන් ඇය හැම ටෙලිනාට්‍යයකම සෑම රූපගත කිරීමකටම යන්නේ තම මවත් එක්ක. මේ කියන ටෙලිනාට්‍ය රූපගත කරන්නත් ඇය මව සමග ගොස් ඔවුන්ට වෙන්කර තිබෙන කාමරයක නවාතැන් ගෙන තිබෙනවා. සෑම දිනකම උදෑසන 4.30 වෙනකොට ටෙලිනාට්‍ය කණ්ඩායමටම උදේ තේ එක ගෙනත් කාමරේ දොරට තට්ටු කරනවලු. ඒ වෙලාවට ඒ කට්ටිය කාමරේ දොර ඇරලා තම තමන්ගේ තේ කෝප්ප ගන්නවලු. එදත් උදේ පාන්දරම උත්පලාගෙ මව මූණ හෝදමින් ඉඳලා තිබෙනවා. සුපුරුදු පරිදිම අඩ අඳුරේ කාමරේ දොරට තට්ටු කරන හඬ ඇහිලා වෙනදා අම්මා ගිහින් ගන්න තේ එක එදා උත්පලා තමයි ගන්න ගිහින් තියෙන්නේ. දොර අරිනවත් එක්කම අඩ අඳුරේ “ලෙන්චිනා වගේ” ඇඳගත් කෙනෙක් හිටගෙන හිටියලු. මේක දැක්ක උත්පලා  යටිගිරියෙන් කෑ ගහගෙන වැටිලා ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා. දවස් දෙකක් යනකම් උත්පලාට කිසිම දෙයක් කරගන්න බැරිව ඉඳලා.
උත්පලාව මේ විදිහට බය කරන්න ඇවිත් තියෙන්නේ හිතවත් කලාකරුවෙක්. රූපගත කිරීම් කරන්න ආව කට්ටිය කතාවෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
ඔබේ රසිකයන්ට කියන්න යමක් ඔබට තියෙනවාද? 
“මට මගේ රසිකයන්ට වගේම මගේ හිත මිතුරන්ටත් කියන්න දෙයක් තිබෙනවා. මගේ නමින් අන්තර් ජාලයේ ජ්චජඥ ඡධධඬ ගිණුමක් විවෘත කරලා තියෙනවා කියලා මට ගොඩාක් අය කිව්වා. නමුත් මම එහෙම අන්තර්ජාලයේ කාත් එක්කවත් සම්බන්ධ වෙන්නෙ නැහැ. මගේ නම විකුණගෙන වෙන කවුරුහරි කෙනෙක් මේක කරන්නෙ. මම මගේ රසිකයන්ට කියන්නේ ඒ වට අහුවෙන්න එපා කියලයි.
ඡායාරූප : ජානක කඳනාරච්චි
ශිරෝනි ග්‍රේරෝ 
READ MORE - ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.

පාරේ බැහැලා යන්න බැරි තරම්


කිසිම තරඟයකින් ජනප්‍රිය වෙන්නට බැහැ

සිරස කුමරිය පවනි සමඟ කළ පළමු කතාබහ
සිරස කුමරිය දෙවන අදියර පසුගිය සෙනසුරාදාවේ අවසන් වුයේ පවනි මධුශානි සිරස කුමරිය ලෙස අභිෂේක ලබමිනි. අති විශාල තරගකරුවන් රාශියක් අතරින් ජයග්‍රාහිකාව වන්නට වාසනාව ලද ඇය ඇඳුම් මෝස්තර නිර්මාණකරණයෙහි යෙදුන අයකි.
අතිශය ජනාදරයට පත් වූ සිරස කුමරිය පළමු අදියරෙන් හඳුනා ගත් දුලානි අනුරාධා, ශලනි තාරකා (පළමු අදියරෙහි කුමරිය) මේ වන විට අප ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත බවට පත්ව සිටියි. පවනි ද තව නොබෝ දිනකින්ම ඔවුන් අතරට එකතු වනු ඇත.
මේ දිග හැරෙන්නේ පවනි පුවත්පතකට ලබා දුන් පළමු පුවත්පත් සංවාදයයි.
ඔබ මීට ප්‍රථම කිසිදු කලා නිර්මාණයකට දායක වෙලා නැහැ නේද?
ඔව්. ඒත් පාසල් යන කාලයේ ඇති තරම් කලා කටයුතු කළා. අධ්‍යාපනයෙන් අනතුරුව ෆැෂන් ඩිසයිනින්ග් පිළිබඳ ඉගෙන ගෙන ගියා. එතකොට තමයි සිරස කුමරියට ඇප්ලයි කළේ. ඒ නිසා ඒ කටයුතුත් තාවකාලිකව නැවැත්තුවා.
ඔබ සිරස කුමරිය හා සම්බන්ධ වුණේ ජනප්‍රිය වන්නට යැයි කෙනෙකුට හිතන්න පුළුවන්?
ඒකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. සිරස කුමරිය තරගයට ගිය පමණින් ජනප්‍රිය වෙන්න බැහැ. මෙම තරගය නෙවෙයි වෙනින් කිසියම් තරගයකට ගියත් ජනප්‍රිය වෙන්න බැහැ. ජනප්‍රියත්වය යම්තාක් දුරකට හෝ ලබන්න ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යන්න හැකියාවන් තියෙන්න ඕනේ. අනික මම සිරස කුමරිය වුණයි කියලා පාරේ බැහැලා යන්න බැරි තරම් ජනප්‍රියත්වයක් ලැබිලා නැහැනේ. අනික මං පාසලෙන් ඉවත් වූ දින සිට කලාව කළා නම් මීට වඩා ජනප්‍රියවන්න තිබුණා. මට ඕනෑ වුණේ මේ තරගය හරහා මගේ හැකියාවන් හඳුනා ගන්න.
එහෙම පුළුවන් වුණාද?
සත්තකින්ම, අපිට තරගයේ අතරතුර ටෙලි චිත්‍රපටයක රඟපාන්න ලැබුණා. එතකොටයි මට රඟපාන්න පුළුවන් බව මං දැන ගත්තේ.
ඇත්තටම ඔබට රඟපාන්න පුළුවන්ද?
මං හිතනවා. ඒත් ඒ හැකියාව දියුණුකර ගන්න ඕනේ ස්වයං අධ්‍යයනයෙන්.
දැනටමත් රඟපාන්න ඇරැයුම් ලැබිලා ඇති වග දැනගන්නට ලැබුණා?
ඔව්. අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් කතා කළා.
සිරස ආයතනය ඔබට නිදහස දීලා තිබෙනවාද රංගන කටයුතුවලට?
ආයතනය දැනුවත් කොට මට නිර්මාණවලට රංගනයෙන් දායකවන්න හැකියාවක් තියෙනවා.
සිරස කුමරිය වීමට ඔබට තිබූ සුදුසුකම් මොනවාද? ඔබට වැඩිය සුරූපී අය අවසන් දොළොස් දෙනා අතර සිටියා නේද?
ලස්සන විතරක් නෙවෙයි, ටීම් වර්ක් එක, නායකත්ව හැකියාව, වෙනත් කලා දක්ෂතා යනාදිය බැලුවා. ඒවාට මට ඉහළ ලකුණු ඇති. ඒකනේ මට කිරුළ හිමි වුණේ.
මං දැන් පවනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් අහන්නයි හදන්නේ?
ඡායාරූපය
අමිත් එස්. සේනාරත්න
අහන්න.
පවනිගේ සම්පූර්ණ නම?
පවනි මදුශානි විජේසිංහ.
පාසල?
ඉස්කෝල දෙකකට ගියා. කොළඹ සංඝමිත්තා සහ ආනන්ද බාලිකා.
පදිංචිය?
ඉපදුණේ කොළඹ. වර්තමාන පදිංචිය කිරිබත්ගොඩ.
උපන් දිනය?
1987. 10. 17
උස?
අඩි 5යි අඟල් 3.
ලග්නය?
කුම්භ.
ආදරවන්තයා?
එහෙම කෙනෙක් ඉස්සර හිටියා. දැන් නැහැ.
තරගය අතරතුරදී විවාහ යෝජනා කීයක් ආවද?
දෙක තුනක්ම ආවා.
ඔබ ගැන වචන දෙක තුනකින් හඳුන්වන්න?
හිත හොඳ කෙනෙක්.
උදව් කළ පිරිස?
සුසාර දිනාල් මහතා ඇතුළු සිරස පවුලේ හැමෝම.
අවසන් වශයෙන් කියන්න සිරස කුමරියට සහභාගී වෙලා ඔබට ලැබුණු අපූරු අත්දැකීම?
අපට එක්තර අවස්ථාවක තිබුණා කුඹුරු කොටන්න. මං ජීවිතේට කුඹුරු කොටලා නැහැ. මඩ නාගෙන අතට නුහුරු උදැල්ල පාවිච්චි කරමින් කුඹුරු කොටපු හැටි ජීවිතයට අමතක වන්නේ නැහැ.
READ MORE - පාරේ බැහැලා යන්න බැරි තරම්

මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැ


මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැ

මාලක දේවපි‍්‍රය
‘නිහොන් සැප ලැබේවා’ නව පරපුරේ තරුණ සිනමාකරුවකු වන මාලක දේවපි‍්‍රයගේ දෙවැනි ගුවන්විදුලි නාට්‍ය එකතුවයි. ඔහු මීට ඉහත ‘ඌගෙ හිස ඉවරයි’ යන නමින් තම ප්‍රථම ගුවන්විදුලි නාට්‍ය එකතුව එළිදක්වා තිබිණි. ඔබ මේ නිර්මාණ හඳුන්වන්නේ ‘රේඩියෝ කතා’ යනුවෙන්. ඔව්. මම ගුවන්විදුලි නාට්‍ය හඳුන්වන්නේ ඒ නමින්.
මේ නාට්‍ය පිටපත් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙලා තිබෙනව ද?
නැහැ. මට ඒකට තවම උත්සාහයක් ගෙන නැහැ.
ප්‍රචාරය නොවු පිටපත් කොහොමද ගුවන්විදුලි නාට්‍ය වෙන්නේ? එසේ නම් ඒවා අර්ධ කලා කෘති? හරියට නොගැයුණු ගී පදමාලා, නිෂ්පාදනය නොවුණු චිත්‍රපට තිරනාටක අත්පිටපත් වගේ.
එහෙම ප්‍රචාරය නොවුණා කියලා එහි පරිකල්පන අවකාශය විඳගන්න කාටවත් බැරිකමක් නැහැ. මොකද, නාට්‍ය පිටපතකට වෙනම ස්වීය සාහිත්‍යයක් ලෙස පවතින්න පුළුවන්. නාට්‍ය නිෂ්පාදනයක් අහලා රස විඳීමයි නාට්‍ය පෙළක් කියවා රස විඳීමයි අතර තියෙන්නේ ද්විත්ව රසයක්.
පිටපතකින් පමණක් ගුවන්විදුලි නාට්‍ය රස විඳිය නොහැකි බව ප්‍රවීණතම ගුවන්විදුලි නාට්‍යකරුවකු වූ සුගතපාල ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා?
ඒ අදහසට මම එකඟ නැහැ. මොකද මට එහෙම එකඟ නොවි ඉන්න පුළුවන්නේ. සුගතපාලගේ ‘හඬ නළුව‘ පොත ප්‍රාථමික මූලාශ්‍රයක් විදියට මා අගය කරනවා. නමුත් අද වෙනකොට රේඩියෝ නාට්‍ය කලාව හුඟක් දියුණු වෙලා තියෙනවා.
ගුවන්විදුලි නාට්‍යයකට නළු නිළියන්ගෙන් කොච්චර දේවල් එකතු වෙනව ද? උදාහරණ වශයෙන් කරුණාරත්න අමරසිංහ, බණ්ඩාර කේ. විජේතුංග වැනි හඬ නළුවන් ඒ නාට්‍යවලට මොනතරම් අර්ථ එකතු කරනව ද? ඒ විතරක් නෙමෙයි ශබ්ද, සංගීතය මේවාත් නාට්‍යයේ අරුත් කුළුගන්වනවා?
ඒක මම පිළිගන්නවා. පිටපතක් නිෂ්පාදනය වුණාට පස්සේ ඒක ගුවන්විදුලි නිෂ්පාදනයක් බවට පත්වෙනවා. නමුත් පිටපත අහෝසි වෙන්නේ නැහැ. එයින් ලැබිය හැක්කේ වෙනම රසයක්.
ඔබේ නාට්‍යවල සමස්ත අන්තර්ගතය මොකද්ද?
මේක තනිකරම සමකාලීන සමාජය පිළිබඳ ප්‍රකාශනයක්. මෙහි විවිධ තේමා, විවිධ ආකෘති අඩංගුයි. කිසියම් පර්යේෂණාත්මක මට්ටමකුත් එහි තිබෙනවා. ‘නිහොන් සැප ලැබේවා’ කියන නාට්‍යය ගත්තොත් ‘නිහොන්’ කියලා කියන්නේ ජපානයට. අද අපේ රටේ මිනිස්සුන්ගේ සිහිනය වෙලා තිබෙන්නේ ‘නිවන්’ සැප ලබා ගැනීමට වඩා ‘නිහොන්’ සැප ලබා ගැනීමයි. ඔවුන්ගේ ජීවිත රැඳිලා තිබෙන්නේ විශාල භෞතික සැප සම්පත් ලබා ගැනීම මත.
ඔබේ නාට්‍ය පිටපත් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒත් ඊට සමගාමීව මහාචාර්ය තිස්ස කාරියවසම්, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි විද්වතුන් ඒ නිර්මාණ ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.
මෙතැනදී මට ප්‍රශ්න කීපයක්ම තිබෙනවා. එකක්, නිර්ණායක පිළිබඳ ගැටලුව. මොකද විනිශ්චය මණ්ඩලය මගේ නාට්‍යය විනිශ්චය කරන්න පාදක කරගත් කාරණා කලාව පිළිබඳ නිර්ණායක නෙමෙයි. ඒවා කලාව පිළිබඳ නිර්ණායක නම් ජාතක කතා පොතේ ඉඳලා හුඟක් පොත් පුළුස්සා දමන්න සිද්ධ වෙනවා.
ඊළඟට මේ විනිශ්චය මණ්ඩලයේ හිටපු අය ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ ප්‍රවීණයෝ නෙමෙයි.
ඇයි විනිශ්චයට සම්බන්ධ වුණ රාජිත දිසානායක එහෙම වෘත්තියෙන්ම ගුවන් විදුලි ශිල්පියෙක් නේ?
මස්කඩකාරයෙක් මස් කැපුවා කියලා ඔහු සත්ත්ව විද්‍යාව ගැන දන්න කෙනෙක් වෙන්නේ නැහැනේ. සුගතපාල ද සිල්වාට වරක් සමස්ත ලංකා මැජික් සංගමය කතා කරනවා, මැජික් තරගයක් විනිශ්චය කරන්න. ඔහු කියනවා තමා මැජික් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. එතකොට මැජික් සංගමය කියනවා, අපි සොයන්නෙත් මැජික් ගැන මුකුත්ම නොදන්න කෙනෙක් කියලා. මොකද, මැජික් දන්න අයට මැජික් එක අහු වෙනවා. ඒ නොදැනුම තමයි මෙතැනදි තිබෙන එකම සුදුසුකම. එහෙත් කලාවේ එහෙම බැහැ. ඒකට සුදුසුකම් තියෙන්න ඕනැ. කලාව නොදැන කලාව විනිශ්චය කරන්න බැහැ. තමන්ට අභියෝගයක් වන කලා කෘති දැක්කම හුඟක් අය කුහකයන් වෙනවා. ඒ වගෙ කුහකයන්ට විනිශ්චයන් භාර දෙන්න නරකයි.
පොදුවේ ගත්තම අපේ රටේ ගුවන්විදුලි නාට්‍ය සම්ප්‍රදාය ගැන මොනවද ඔබට කියන්න පුළුවන්.
හොඳ ගුවන්විදුලි නාට්‍ය නොතිබුණා නෙමෙයි. හැත්තෑව දශකයේදී සුගතපාල ද සිල්වා ගුවන්විදුලි නාට්‍යයේ විශාල වෙනසක් කළා. ධර්මසේන පතිරාජ, කපිල කුමාර කාලිංග වගෙ අය හොඳ පිටපත් ලිව්වා. එහෙත් ඒ සම්ප්‍රදාය අඛණ්ඩව වර්ධනය වුණේ නැහැ. අද සයිබර් අවකාශයක් තුළ ලෝක ගුවන්විදුලි නාට්‍ය හුඟක් දියුණු වෙලා තියෙනවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. ඒකට හේතුව නව තේමා, නව රචනා විධි ක්‍රම, නව ආඛ්‍යාන ගැන පර්යේෂණ සිදු නොවීම.

Silumina
READ MORE - මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැ

චරිත නපුරු වුණාට මම එහෙම නෑ


චරිත නපුරු වුණාට මම එහෙම නෑ

අංජුලා රාජපක්ෂ
අංජුලා රාජපක්ෂ අපට සිටින යොවුන් රංගන ශිල්පිනියන් අතර ඉතා දක්ෂ රංගන ශිල්පිනියකි. ඇයගේ රංගන ඇතුළත් ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනී නාළිකා කීපයකම දැකගත හැකි ය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් අංජුලාගේ වත්මන් තොරතුරු පිළිබඳව කතා කරමු.
‘තරු පිරි අහස’ ටෙලිනාට්‍යයේ ‘ආන්‍යා’ ට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරේ ඇති නේද?
ඇත්තටම ඔව්. ජෝසප් ජෙරම් අධ්‍යක්ෂණය කරන ‘තරු පිරි අහස’ ටෙලිනාට්‍යයට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල මම හිතුවේ නෑ. එහි මම නිරූපණය කරන ‘ආන්‍යා’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ ප්‍රේක්ෂකයින් මේ ටෙලිනාට්‍යය වටා ඉන්න බව ලැබෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා. පසුගිය අවුරුදු කීපය තුළ මම රඟපෑ ටෙලිනාට්‍ය චරිත අතරින් ආන්‍යාගේ චරිතය තමයි ප්‍රේක්ෂකයින් වැඩියෙන් ම වැළඳගත්තේ.
පසුගිය දවස්වල ඔබ චිත්‍රපටයක රූපගත කිරීම්වලට සම්බන්ධ වී සිටියා නේද?
ඔව්. ඒ ‘වීර්යා’ චිත්‍රපටය. එහි මම නිරූපණය කරන්නේ කාමිණී කියන මුඩුක්කු පරිසරයක ජීවත්වන තරුණියකගේ චරිතයක්. ‘කාමිණී’ හැසිරෙන්නේ අඳින්නේ පලදින්නෙ ඉතා පොහොසත් තරුණියක් වගේ. ඇය ඇසුරු කරන අය දන්නෙ නෑ ඇය මුඩුක්කු පරිසරයක ජීවත්වන කෙනෙක් කියල. කාලෙකට පසුවයි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. මම හරිම ආශාවෙන් ‘වීර්යා’ චිත්‍රපටයේ රඟපෑවා.
ඔබ මේ වනවිට චිත්‍රපට කීයක රඟපාල තියෙනවාද?
චිත්‍රපට 6 ක මේ වනවිට රඟපාල තියෙනව. ඒ, පෙම් කැකුළ, මගේ වම් අත, සෙව්වන්දි, නිලම්බරේ, සදාකල් ඔබ මගේ සහ වීර්යා කියන චිත්‍රපට.
මේ දවස්වල ඔබ මොනවගේ වැඩවලට ද සම්බන්ධ වෙලා ඉන්නේ?
රිදී සිත්තම්, අහස් ගව්ව, ඇන්ඩ් කොම්පැනි කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නව.
‘ඇන්ඩ් කොම්පැනි’ සාමාන්‍ය ආකාරයේ ටෙලිනාට්‍යයක් නෙමෙයි නේද?
ඔව්. ඒක හාස්‍ය මුසු වුණු කාලීන දේශපාලනික තේමාවක් ඔස්සේ රචනා වන ටෙලිනාට්‍යයක්. සාමාන්‍ය ටෙලිනාට්‍ය නොබලන විවිධ බුද්ධි මට්ටම්වල විවිධ වයස් මට්ටම්වල ප්‍රේක්ෂකයින් මේ ටෙලිනාට්‍ය නරඹනවා. මෙහි මම රඟපාන්නේ දේශපාලන චරිතයක් නෙමෙයි. මම නියෝජනය කරන්නෙ රටේ සාමාන්‍ය මහජනතාව. මේ ටෙලිනාට්‍යයට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා.
ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්න කැමැති නැති ද?
අපොයි නෑ. දේශපාලනයට සම්බන්ධ වෙන්න මගේ කොහෙත්ම කැමැත්තක් නෑ.
හාස්‍ය රංගන ශිල්පිනියන් ලංකාවේ අඩුයි. ඒ නිසා ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඔබේ අදහසක් නැතිද?
හාස්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් අඩුවෙන්න හේතුව තමයි ඒ රංගනයේ ඇති අපහසු බව. කෙනෙක් හිනස්සන එක හරිම අමාරු වැඩක්. මර්සි එදිරිසිංහ මහත්මියගෙන් පසුව හාස්‍ය රංගන ශිල්පිනියන් බිහිවී නෑ. හාස්‍ය රංගනය අපට පුරුදු වෙලා කරන්න බැහැ. ඒක ඇඟෙන්ම එන්න ඕන දෙයක්. ඉතින් එවැනි රංගනයක් කරන්න මට පුළුවන් කියල මම හිතන්නේ නෑ. හාස්‍ය රංගනයෙන් ප්‍රේක්ෂකයින් සිනහ ගැන්වීම ලොකු පිනක්.
ඔබට බොහෝ විට රඟපාන්න ලැබෙන්නේ නපුරු චරිත නේද?
ඔව්. මේ වනතෙක් මට ලැබිල තියෙන ගොඩක් චරිත නපුරු චරිත. මම ඒ චරිත මගේ උපරිම කැපවීමෙන් කළා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. අහිංසක චරිතයකට වඩා නපුරු චරිතයක කරන්න දේවල් තියෙනවා. ඒ චරිත මගේ රංගන හැකියාව පෙන්වන්න හොඳ අවස්ථාවක් වුණා කියලයි මම හිතන්නේ.
ඇත්තම අංජුලා නපුරු ද?
අපෝ නෑ. සාමාන්‍ය ජීවිතයේ දී මම නපුරු කෙනෙක් නෙමෙයි. හැබැයි මට කවුරු හරි වැරැද්දක් කළොත් මට තරහ යනවා.
ඔබ රංගනයට යොමු නොවුණා නම් කවුරු වේවිද?
අනේ මන්දා. පුංචිම කාලෙ මම ආසා කළේ වෛද්‍යවරියක් වෙන්න. ඊට පසුව මම ආසා කළේ නීතිඥවරියක් වෙන්න. ඊටත් පස්සෙ සංගීත අංශයට යොමුවෙන්න මම ආසා කළා. නමුත් අද මම රංගන ශිල්පිනියක්.
මේ වනවිට ඔබේ රංගන හැකියාව පෙන්වන්න ඔබට අවස්ථාව ලැබී තිබෙනවාද?
මම රංගනයට ඇවිත් දැන් අවුරුදු 12 ක් විතර වෙනවා. ඒ කාලය තුළ මම විවිධ චරිත රඟපෑවා. කිසියම් නිර්මාණයකට දායක වෙද්දී ඒ චරිතය ලොකු ද, පොඩි ද, කොට ද, දිග ද කියල බලන්නේ නැහැ. මට යමක් කරන්න තියෙනවා නම් මම ඒ චරිතය බාර ගන්නවා. මම රඟපාල තියෙන සෑම චරිතයක් ම උපරිම කැපවීමෙන් රඟපාල තියෙනවා. රංගනයේදී ලබන අත්දැකීම් එක්ක ඉදිරියේදී මීටත් වඩා හොඳ රංගනයන් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙයි කියල මම හිතනවා.
දැන් ඉතින් කළ වයසත් හරි නේද?
ඒක නම් ඉතින් එහෙම තමා. මම තාම විවාහය ගැන හිතල නෑ. තාම සුදුසු කෙනෙක් සොයාගෙන නෑ.

Silumina
READ MORE - චරිත නපුරු වුණාට මම එහෙම නෑ

මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ.


විස්සයි විස්ස අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවත් නිමාවුණා. එහෙත් මේ ක්‍රිකට් තරග මාලාව සමඟ ජනප්‍රිය වුණු එක්තරා රූපවාහිනී වැඩසටහනක මතකය නම් තවමත්

 ප්‍රේක්ෂකයින්ට නිමා කරන්න හිත නෑ. ක්‍රිකට් තරග විස්තර විචාර අතරින් ක්‍රීඩාලෝලීන්ගේ වැඩි මනාපයක් දිනාගත් මේ වැඩසටහන ’Fan Talk’’.’Fan Talk’’එකේ කරපු කතා කොයිතරම් විනෝදාත්මක ද කියලා ක්‍රීඩාලෝලී ඔබට තවමත් අමතක නැතුව ඇති. නවසීලන්තය සමඟ ශ්‍රී ලංකාව තරග කළ මැච් එකේදි මහේල ජයවර්ධන දෙවන ලකුණට දුව යද්දි දැවී ගියා. ජ්චද බචතඬ වැඩසටහනින් ඒ සම්බන්ධව රැගෙන ආපු දෙබස් ටික ඔබට මතකයි නේද?
”මහේල නම් ඒකට එච්චර උනන්දුවක් වුණේ නෑ. අහක බල බල හිටිය මිසක්.
පිස්සුද? එයා උනන්දු වුණා. පුළුවන් තරම් හයියෙන් එයා දිව්වේ දැක්කේ නැත්ද?
නෑ. නෑ. එයා මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ.
පිස්සුද! කව්ද කිව්වේ?
එහෙනම් අර විස්තර විචාරෙදි කිව්වෙ.
”ජයවර්ධන ලුකින් ෆෝ කපල්” කියලා (Jayawardene looking for couple)
මේ වගේ කතා ’Fan Talk’’  වල අනන්තවත් තිබුණා. බොහෝ ක්‍රීඩා පේ‍්‍රක්ෂකයින් මේ විහිළුවලට ඉල ඇදෙන්න හිනාවුණා. මේ කතා අප හමුවට රැගෙන ආපු සුවිශේෂී චරිත තුන පසුගිය දිනක අපි හමුවුණා.
”මේ වැඩසටහන අපි පටන් ගත්තේ පසුගිය පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්. මුලින්ම මේ වැඩසටහන කරන්න අපට ආරාධනා කළේ Media Plan කියන ආයතනය. ඔවුන් අපට මේ ආකාරයේ ආකෘතියක් දුන්නේ නෑ. විස්තර විචාර අතරතුර යන්නට කුමක් හෝ වැඩසටහනක් අවශ්‍යයි කියලයි කිව්වේ.
මේ වැඩසටහනට ’Fan Talk’’ කියන නම දැම්මේ ගාමින්ද ප්‍රියවිරාජ්. ගාමින්ද කිව්වේ මේ වැඩසටහන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් කරන දෙයක් නිසා ඒ නම යෝජනා කරපු බවයි.
’Fan Talk’’ වලට ගිය පාර ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපේ ක්‍රීඩාලෝලීන් මේක නරඹලා ඔවුන්ම තමයි මේ වැඩසටහන ‘යූ ටියුබ්’ එකටත් දාලා තිබුණේ. මේ වැඩසටහන සඳහා අපි අදහස් ගත්තෙත් අපේ ක්‍රීඩාලෝලීන්ගෙන්ම තමයි. බොහෝවිට මමත්, සුනෙතුත්, ජනකත් අපි තුන්දෙනාම නිතර මැච් බලන්න යන අය. ඒ ගියාම බොහෝ ප්‍රේක්ෂක පිරිස් දිහා අපි අවධානයෙන් බලන් ඉන්නවා. ඔවුන් සමඟ කතාකරනවා. ඒ අනුව තමයි ’ජ්චද බචතඬ’ නිර්මාණය කරන්නේ.
අපි තුන්දෙනා කිසියම් පෙළ ගැස්මකට අනුව මේ දේවල් බෙදා හදා ගන්නවා. එහෙම නැතුව නාට්‍ය පිටපතක් වගේ දෙබස් ලියාගෙන කරන වැඩක් නොවෙයි.
ඇත්තටම කියනවා නම් මේක රසවිඳින්නන් යම් ප්‍රමාණයකට ක්‍රිකට් පිළිබඳ දැනගෙන ඉන්නත් ඕන. අප තුන්දෙනාත් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ යම් ප්‍රමාණයකට ක්‍රිකට් ගැන දන්න හා යම් ප්‍රමාණයකට නොදන්න පිරිසක් ද බවට පත්වෙලයි. මුලින්ම මේ වැඩසටහන විකාශය වුණේChannel eye නාළිකාවේ. මේ පාර CFN නාළිකාවේ තමයි විකාශය වුණේ. ඉදිරියටත් මේක කරගෙන යනවාද කියන එක ගැන තාම හිතලා නෑ. ආයෙත් ලෝක කුසලානයක් ආවොත් තමයි මේකේ වැදගත්කම තිබෙන්නේ. නැත්නම් සාමාන්‍ය තරගාවලි සඳහා කරලා වැඩක් නෑ.
ගාමින්ද හා සුනෙත් අපේ රටේ ප්‍රේක්ෂක ජනතාව හඳුනා ගත්තේ සිරස රූපවාහිනියේ විකාශය වූ ‘අපි නොදන්න ලයිව්’ වැඩ සටහන හරහා. ඒ කාලේ බොහෝ දෙනෙක් ඔවුන්ව හඳින්වූයේ චූටි මල්ලියි පොඩි මල්ලියි කියලයි. ’Fan Talk’’ නිසා මේ දෙන්න එක්ක දැන් ජනකත් එකතු වෙලා. තුන්දෙනාගේම එකතුවෙන් කවුරුත් ප්‍රිය කරන වැඩසටහනක් නිර්මාණය වුණා.
සුනෙතුයි, ගාමින්දයි එකතුවෙලා තවත් අලුත් වැඩකට මේ දිනවල සූදානම් වෙනවා. ඒ තමයි චිත්‍රපටයක් නිර්මාණය කිරීම. එළඹෙන අලුත් අවුරුද්දේ සුබ මොහොතින් වැඩ ආරම්භ කරන්නයි බලාපොරොත්තුව.
Silumina
READ MORE - මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ.

තනිකඩ වෙද්දෙන්...!


ඔයා ලැබෙන්නේ නැති නම් 
 

තනිකඩ වෙද්දෙන්...!
ඔයා නිසා මග් සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැති නං තනිකඩ වෙද්දෙන්

තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංඟුනේ
අපි හමු වුණොතින් සඳ එයි නැඟිලා
ගංඟාවට එළිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහළට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

* පද රචනය – ලසිත ජයනෙත්ති ආරච්චිගේ
* සංගීතය – රදීශ් වැන්දබෝනා
* ගායනය – චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
”සිංහල භාෂාව මේ ලෝකයේ තිබෙන බලවත්ම භාෂාවක්. සිංහල වචන ගළපන ආකාරය අනුව අපි නිර්මාණයක් කළාම එය සෙත් කවියක් හෝ වස් කවියක් හෝ වෙන්න පුළුවන්. එම නිසා සිංහල ගීතයක් ආවට ගියාවට පද රචනය කිරීම සුදුසු නැහැ. මා සෙත් කවියක් ලෙසයි මේ ගීතය පද රචනය කළේ.”
එලෙස පවසමින් මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක්වන්නේ “ඔයා නිසා මගේ සිනා” ගී පද රචක ලසිත් ජයනෙත්ති ආරච්චිගේ ය. ලසිත වර්තමානයේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන අතර ඔහු දහම් පාසලේ ගුරුවරයෙක් ද වෙයි. “ඔයා නිසා මගේ සිනා” පද රචනය නිර්මාණය වූ අයුරු පිළිබඳ ලසිත අප සමඟ කළ කෙටි පිළිසඳර මෙසේ ය.
”දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කරන අතරේදීත්, මගේ මාධ්‍ය ජීවිතයේ කටයුතු කරන අතරේදීත් ලැබෙන පෞද්ගලික අත්දැකීම් බොහෝ විට ගී පද රචනය කරද්දී මා පාදක කර ගන්නවා. මීට වසර පහකට පමණ පෙර මගේ ජීවිතයට සමීප වූ එක්තරා යුවතියක් හා ඇසුරෙන් මා ලැබූ අත්දැකීම් තමයි මේ සංකල්පනාව නිර්මාණය කිරීමේ දී පාදක කර ගත්තේ. ආදරය ඉපදෙන්නෙත් එය ක්‍රියාකාරී වෙන්නෙත් අපේ සිත් තුළ බවයි මගේ හැඟීම. ශාරීරිකව අප අපිට හිමි වුණා කියා හෝ අහිමි වුණා කියා හෝ සැබෑ ආදරය වියැකී යන්නේ නැහැ. වෛරයෙන් හෝ ද්වේශයෙන් ආදරය විනාශ කර දැමීමක් ද සැබෑ ආදරවන්තයෙකුගෙන් සිද්ධ වෙන්නේ නැහැ. මගේ ආදරයත් ඒ වගෙයි.”
”මගේ හිතේ පැලපදියම් වුණු යුවතිය පිළිබඳ ඇති වුණු ආදරය තවමත් තියෙන්නේ අවිනිශ්චිතවයි. තවමත් නොලැබී ඇති ඒ ආදරය වෙනුවෙන් මා සිතේ සිරවූ සුසුම් හිස් අහසට මුදා හැරීමක් තමයි ‘ඔයා නිසා මගේ සිනා’ ගීතයෙන් සිදු කෙරුවේ. රදීශ්ගෙන් ලැබුණු තනුවටයි මම මගේ සිතුවිලි අකුරු ඇමුණුවේ. ගායනයේ දී චන්ද්‍රසේන සුවිශේෂී හඬ හැසරවීමකින් මගේ සංකල්පනාව යථාර්ථයක් බවට පත් කළා. රූප රචනා රැගත් ගීත වඩා ජනපි‍්‍රය වෙන වකවානුවකදී මෙම ගීතය ජනපි‍්‍රය වුණේ රූප රචනයක්වත් නොමැතිවයි. මෙම ගීතයට අපි රූප රචනාවක් ඉදිරිපත් කෙරුවේ ගීතය ජනපි‍්‍රය වී මාස හයකට පමණ පසුවයි.”
සැබැවින්ම ආදරයෙන් විරහා වේදනා ලබන්න සිදු වුණොත් එම ආදරයේ අවසානය වෛරය නොවිය යුතුය යන පණිවිඩය මේ ගීතයෙන් පවසන්න මං උත්සාහ කළා. ඒ නිසා තමයි ‘ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන් – ඔයා ලැබෙන්නේ නැති නම් තනිකඩ වෙද්දෙන්’ යනුවෙන් පද රචනය කෙරුවේ. එවැනි යහපත් සිතුවිලි සමාජයට ලබා දීමට ගීතය උපයෝගී කර ගැනීමට හැකි නම් ගී පද රචකයෙකු ලෙස එය මා ලබන විශාල භාග්‍යයක් ලෙස මම සලකනවා. එම අර්ථයෙන් මගේ මේ ‘ඔයා නිසා මගේ සිනා’ ගී පද රචනය සෙත් කවියක් කියා මට හැඟෙනවා.
Silumina
READ MORE - තනිකඩ වෙද්දෙන්...!

'ගන්ග්නම්' රැල්ල


ක්‍රීඩා පිටියත් උමතු කළ 'ගන්ග්නම්' රැල්ල

20 – 20 ලෝක ක්‍රිකට් කුසලානයේ අවසානයේ අපට ජය අහිමි වුවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ කෞශල්‍ය හා ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම පිළිබඳ අපේ බොහෝ දෙනා කතා කළේ සතුටිනි. එදා තරගය අවසානයේ ක්‍රිස් ගේල් ඇතුළු පිරිස කළ නර්තනය කාගෙත් සිත් ගත්හ.
ගන්ග්නාම්. මේ අද සංගීත ලොව කලඹන නවරැල්ලයි. බිළිඳාගේ සිට මහල්ලා දක්වා කිසිදු වයස් සීමාවක් නොමැතිව ලොවම ග්‍රහණය කරගත් ගන්ග්නාම් කුමක් ද? එය, නව පරපුරේ අලුත්ම නර්තන ශෛලියකි. මුළු සිරුරම රිද්මයානුකූලව නලවමින් අශ්වයකු පදවන අයුරු පෙන්වන ගන්ග්නාම් ශෛලියේ මූලාරම්භය සිදු වූයේ දකුණු කොරියාවේ ගන්ග්නාම් දිස්ත්‍රික්කයෙනි. එහි වෙසෙන සාමාන්‍ය ජනතාව විසින් විනෝදයට නිර්මාණය කළ මේ නැටුම් ශෛලිය මුළු ලොව වෙත ගෙන ගියේ ‘සඉස්’ නම් වූ දකුණු කොරියානු ජනප්‍රිය ගායන ශිල්පියාය.
ඔහු ගීත රචකයෙකි. තනු නිර්මාණ ශිල්පියෙකි. පාක් ජායි සෑන් හෙවත් ‘සඉස්’ නමින් හඳුන්වන ඔහු විසින් ‘ගන්ග්නාම්’ නම් වූ ගීතය ගයමින් ඉදිරිපත් කළ මනහර රංගනය ගීත ලෝලීන් තුළ පෙරළියක් ඇතිකර තිබේ. සඉස් විසින් නිරූපණය කරන ලද එම ගීතමය රංගනය නිකුත් වූයේ මේ වසරේ ජූලි මස 15 දාය. එය ඇතුළත් වූයේ ඔහුගේ 6 වැනි ගීත එකතුවෙහිය.
එය Best 6th Part One ලෙස හඳුන්වා දී තිබුණි. මෙම සංගීතමය වීඩියෝව මේ වන විට අන්තර් ජාලයේ යූ-ටියුබ් ඔස්සේ නරඹා ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 345 කට වැඩි යැයි වාර්තා වී තිබේ. යූ ටියුබ් වෙබ් අඩවියෙන් මෙතෙක් නිකුත් වූ වීඩියෝ ගීත අතරින් වැඩි පිරිසක් නැරඹූ ගීතය මෙය යැයි සැලකේ. ඒ නිසාම මෙම ‘ගන්ග්නාම්’ ගීතය ගිනස් වාර්තා පොතට ද ඇතුළත් වී තිබේ.
මෙම ගීතයෙහි මුසු වී ඇත්තේ අංග සම්පූර්ණ පෙම්වතියක පිළිබඳ තරුණයකුගේ සිහින සිතුවමකි. තරුණයා විමසන්නේ තම පෙම්වතිය දඟකාර මෙන්ම ශිෂ්ට සම්පන්න යුවතියක වන්නේ කවදාදැයි යනුවෙනි. ගීතයේ නැවත නැවත කියැවෙන කොටසක් තිබේ. එය නම් ‘ඔප්පා’ නම් වූ වචනයයි.
කොරියානු බසින් ‘ඔප්පා’ යනු කාන්තාවක විසින් තමන්ගේ වියපත් පිරිමි මිතුරා හෝ තම වැඩිමහලු සොහොයුරා හඳුන්වනු ලැබීමට භාවිත වන වචනයකි. මෙම ගීතයෙහි දර්ශනවල ‘ගන්ග්නාම්’ නර්තනයෙහි යෙදෙමින් ගායක සඉස් නිරූපණය කරන්නේ අශ්වයකු පිට නැගී ගමන් කරන ආකාරයයි.
හාස්‍යොත්පාදක රංගනයක යෙදී සිටින ඔහු වරින් වර විශේෂ ඇඳුම් වර්ග කිහිපයක් හැඳ, කළු අව් කණ්ණාඩියක් පැලඳ නිරූපණය කරන හාස්‍යජනක රංගනයට කොරියානු සංස්කෘතියේ ඇතැම් අංගයන්ද එකතු වී තිබේ. මෙම ගීතයේ සමහර දර්ශන රූපගත කර ඇත්තේ දකුණු කොරියාවේ ගන්ග්නාම් දිස්ත්‍රික්කයෙහිය. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පස් හැවිරිදි කුඩා දරුවකු ඉදිරිපත් කරන රංගනයයි. පුංචි නර්තන ශිල්පියා ද ගීතය නිසා එක රැයින්ම ජනප්‍රිය වූයේය.
මෙම ගීතයෙහි දර්ශනවලට දකුණු කොරියාවේ සංගීත කණ්ඩායම්වල ශිල්පීන්, රූපවාහිනී විකට ශිල්පීන් සහ නිවේදක නිවේදිකාවන් ද රංගනයෙන් දායක වී ඇත. මෙම ගීතයත් සමඟම ගන්ග්නාම් නර්තන ශෛලියට අති විශාල ජනප්‍රියත්වයක් හිමිවීමට ගීතයේ රිද්මය, නර්තනය මෙන්ම තවත් කරුණක් ද බලපා ඇත. එය නම්, මෙම ගීතයට ‘හිමිකම් ඇවිරිණි’ යන සීමාව පනවා නොතිබීමයි. මෙය ලොව පුරා ඕනෑම අයකුට අනුකරණය කිරීමට ඉඩ ලැබී තිබේ.
මේ හේතුව නිසා අද වන විට ගන්ග්නාම් නර්තන ශෛලිය නිරූපණය කරන විවිධාකාර ගීත පැටව් ගසා ඇති බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත් ගීතය ඉදිරිපත් කළ සඉස්, මේ අනුකරණය කරන්නන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නැත. මේ නිදහස නිසා ගන්ග්නාම් නර්තන ශෛලිය ඉගෙන ගන්නටත් තම තමන්ගේ වීඩියෝ නිර්මාණවලට එක් කර ගන්නටත් බොහෝ රටවල ගායක ගායිකාවන් තුළ ඇත්තේ පුදුමාකාර උනන්දුවකි. ගායක ගායිකාවන් පමණක් නොව රූපවාහිනී නිවේදක නිවේදිකාවන් ද මේ නර්තන ශෛලිය පුහුණුවීමට දැඩි උනන්දුවක් දක්වන බව ලොව නන් දෙසින් අසන්නට ලැබෙයි.
එක් අවස්ථාවකදී මෙම ගායන ශිල්පියා ‘බිග් මෝනින් බස්’ නම් වූ ජනප්‍රිය දකුණු කොරියානු රූපවාහිනී වැඩ සටහනට සහභාගි වූ විට එය මෙහෙය වූ නිවේදක නිවේදිකා දෙපළට ද ගන්ග්නාම් නර්තනය උගන්වන්නට සිදු වූයේය. තවත් අවස්ථාවකදී සඉස්, කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරය කරද්දී ජනප්‍රිය සුපිරි ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මුණ ගැසුණි. ඇය ඔහුගෙන් ඉල්ලා සිටියේ ගන්ග්නාම් ශෛලිය තමන්ට ද පුහුණු කරවන ලෙසය. ජාත්‍යන්තර සී. එන්. එන්. රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදිනියක වන ෂැනන් කැක් පැවසුවේ තමන් මෙම ගන්ග්නාම් නර්තනය ඇතුළත් දර්ශනය 15 වතාවක් නැරඹූ බවය.
ඇමරිකානු විකට ශිල්පිනියක වන චෙල්සී ලේට්ලි පැවසුවේ සඉස් දකුණු ඇමරිකානු සුපිරි ගායක රිකී මාටින්ට සමාන කළ හැකි බවය. ගන්ග්නාම් නර්තන ශෛලියට වශී වී සිටින්නේ යොවුන් පරපුර පමණක්ම නොවේ. වයෝවෘද්ධ පිරිස් ද මෙම නර්තන ශෛලියට බෙහෙවින්ම ඇලුම් කරන බව දැනගන්නට තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී දකුණු කොරියාවේ පැරඩයිස් පාක් නම් වූ නිවහනේහි රැඳී සිටින වැඩිහිටියන් ද මෙම නර්තනය නැරඹීමට දැඩි කැමැත්තක් දක්වන බව පැවසේ.
ගන්ග්නාම් නර්තන ශෛලිය මෙතරම් ජනප්‍රිය වීම නිසා සඉස් පසුගියදා දකුණු කොරියාවේ ගන්ග්නාම් දිස්ත්‍රික්කයේ බලධාරින් පිරිසක් විසින් ගෞරව සම්මානයක් ද පුදනු ලැබීය. ගන්ග්නාම් නර්තන උණුසුම යාබද උතුරු කොරියාවට ද දැනී ඇත. එරට රජයේ නිල වෙබ් අඩවියට ද සඉස් ඉදිරිපත් කළ ගන්ග්නම් ගීතයට සමාන ගීතමය රංගනයක් එක් කර ඇත්තේ ඒ උණුසුම නිසාමය. එහෙත් එම රංගනය සඉස් ගේ රංගනයට කිසිසේත්ම සමාන කළ නොහැකි යැයි ‘නැෂනල් පෝස්ට්’ පුවත්පත සඳහන් කර ඇත.
READ MORE - 'ගන්ග්නම්' රැල්ල

සුමිත්‍රා හැඩ කළ සළ රූ


සුමිත්‍රා හැඩ කළ සළ රූ

අධ්‍යක්ෂණය:
ගැහැනු ළමයි (1978-03-17)
ගඟ අද්දර (1980-08-01)
යහළු යෙහෙළි (1982-12-24)
මායා (1984 -09-28)
සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988-02-30)
ලොකු දුව (1996-0816)
දුවට මවක මිස (1997025-14)
සක්මන් මළුව (200311-28)
යහළුවෝ (200712-20)
වෛෂ්ණාවී
සහාය අධ්‍යක්ෂණය:
සංදේශය (1960)
ද ගෝඩ් කිං (1976)
සංස්කරණය:
ගම්පෙරළිය (1963),
දෙලොවක් අතර (1966),
රන් සළු (1967)
අක්කර පහ (1970),
ගොළු හදවත (1968),
දෑස නිසා (1975),
ද ගෝඩ් කිං (1976),
මඩොල් දූව (1976),
අහසින් පොළොවට (1978),
වෛෂ්ණාවී
සම නිෂ්පාදනය:
බැද්දේගම(1981)
සංස්කරණය (කෙටි වාර්තා):
හෝම් ෆෙ‍්‍රාම් ද සී (මුහුදෙන් ගෙදරට) (1962), ෆෝර්ටි ලීග්ස් ෆෙ‍්‍රාම් පැරඩයිස් (සුරපුරට හතළිස් ගව්වක් මෙහා) (1970), කැන්ඩි පෙරහැර (නුවර පෙරහැර) (1971)
අධ්‍යක්ෂණය (වාර්තා):
සැළලිහිණිගම, පමා නොවී එමි අකුරට, නිවසේ හදිසි අනතුරු, වින්කල් පැංචා, සේරිවාණිජ ජාතකය, ඉල්ලීස ජාතකය, සස ජාතකය
(ටෙලි නාට්‍ය): අධ්‍යක්ෂණය
ගැහැනු ළමයි
සම අධ්‍යක්ෂණය
ගොළු හදවත
Sarasaviya
READ MORE - සුමිත්‍රා හැඩ කළ සළ රූ

මනීෂා අලුත් වැඩක



මනීෂා නාමල්ගම රඟපෑමට අමතරව තවත් අලුත්ම වැඩකට අතගහලා කියලා ආරංචියි. ඒ රූපලාවන්‍ය කටයුත්තකට
ඇය ඇගේම සැලුන් එකක් මේ ළඟදී ආරම්භ කළා. ඒ නිසාම මනීෂා වෙනදට වඩා කාර්ය බහුලයිලු.
මොන කාර්ය බහුලකම තිබුණත් රඟපෑමට නම් කාලය කොහොමහරි යොදවනවා කියලා කියන්නේ මනීෂාමයි.
 Sarasaviya
READ MORE - මනීෂා අලුත් වැඩක

ලාල් පුටු සොයයි



ලාල් හරීන්ද්‍රනාත් කොටුව පැත්තේ පැරැණි සැලූන් එකකට හදිසියේ ගොඩ වැදුණා. සාමාන්‍යයෙන් කෙනෙක් සැලුන් එකකට යන්නේ කොණ්ඩය කපන්න.
නමුත් ලාල් කලබලයෙන් සැලුන් එකට ගියේ කොණ්ඩය කපන්න නම් නෙමේ. ඔහුගේ අලුත්ම කලා අධ්‍යක්‍ෂණය ඇතුළත් චිත්‍රපටයට අවශ්‍ය පැරැණි පුටුවක් සොයා ගන්නටයි.
කොහොම හරි ලාල් අරන්ගිය මේ සලුන් එකේ පැරැණි පුටුව ආයෙත් ගෙනත් දීලා. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටයක කලා අධ්‍යක්‍ෂණයට යම් භණ්ඩයක් රැගෙන ගිය විට ආපසු ලැබෙන්නේ නැති තරම්.
නමුත් ලාල් නැවත එම පුටුව ගෙනත් දීමට තරම් කෘතඥ වූවා.


Sarasaviya
READ MORE - ලාල් පුටු සොයයි

“දිය මත ලියමි” මුහුරත් උළෙල දා


“දිය මත ලියමි” මුහුරත් උළෙල දා

රණවිරු රියල් ස්ටාර් අයෝමි ශානිකා ටෙලි නාට්‍ය තේමා ගී ගායනයට
ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්
ගඟ අද්දර සහ භාර්යාවෝ නිෂ්පාදනය කළ සුධර්මා නෙත්තිකුමාරගේ නවතම ටෙලි සිත්තම ‘දිය මත ලියමි’ හි මුහුරත් උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි.
ජාතික ආරක්‍ෂව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ල, ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ගාමිණී නෙත්තිකුමාර සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන, නිළි රැජන මාලිනී ෆොන්සේකා, සිනමා නිළි සබීතා පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
කලා ලෝකයේ ඉහළ තලයකට ගමන් කිරීමේ අරමුණැතිව සුන්දර ගම්මානයක පී‍්‍රතිමත් දිවියක් ගත කරන සුලක්‍ෂණා නම් නර්තන ගුරුවරියක වටා දිය මත ලියමි කතා පුවත ලියැවී ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා සහ නිළි රැජන
මාලිනී ෆොන්සේකා, සුබ මොහොතින් පහන්සිළු දල්වමින්
ශලනි තාරකා, රොජර් සෙනවිරත්න, නීටා ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, චමිලා පීරිස්, පි‍්‍රයන්ත විජේකෝන්, පියුමි බොතේජු, සහන් රන්වල, හේමන්ත ඊරියගම, සෝමවීර ගමගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, රූපා ගෝමස්, නිල්මිණි කෝට්ටෙගොඩ, ජනක රණසිංහ, සමන් අල්මේදා, නදී චංචලා, ගිවන්ත අර්ථසාද්, සුදර්ශන බණ්ඩාර, තිරාශා ප්‍රනාන්දු, මල්ෂාණි ප්‍රනාන්දු, ඉෂාන් මෙන්ඩිස්, ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
චන්දන ධර්මප්‍රිය හා නාලක තලගලගේ අධ්‍යක්‍ෂණයක් වන මෙහි තිර රචනය හේමන්ත ප්‍රසාද් විසිනි. චන්දන ඉරුගල් බණ්ඩාර සහාය අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන අතර සංස්කරණය සමන් සමරවික්‍රම විසිනි. කලා අධ්‍යක්‍ෂණය වජිර ප්‍රියශාන්ත සහ අංග රචනයෙන් පි‍්‍රයංක තිලක් සම්බන්ධ වේ.
රණවිරු රියල් ස්ටාර් දෙවන අදියරේ කිරුළ හිමි අයෝමි ශානිකා දිය මත ලියමි ටෙලි නට්‍යයෙන් ටෙලි නාට්‍ය තේමා ගී ගායනයට ද පිවිසේ.
මෙම ටෙලි නිර්මාණයේ සංගීතය සමන්ත පෙරේරා විසින් වන අතර තේමා ගීතය ගායනය සමන්ත පෙරේරා හා අයෝමි ශානිකා පෙරේරාගේ හඬින් ඔපවත් වේ. ‘දිය මත ලියමි’ හි රූගත කිරීම් පසුගිය 05 වැනිදා ආරම්භ කරන ලදී.
READ MORE - “දිය මත ලියමි” මුහුරත් උළෙල දා

වැඩක

Friday, October 12, 2012


මනීෂා අලුත් වැඩක

මනීෂා නාමල්ගම රඟපෑමට අමතරව තවත් අලුත්ම වැඩකට අතගහලා කියලා ආරංචියි. ඒ රූපලාවන්‍ය කටයුත්තකට
ඇය ඇගේම සැලුන් එකක් මේ ළඟදී ආරම්භ කළා. ඒ නිසාම මනීෂා වෙනදට වඩා කාර්ය බහුලයිලු.
මොන කාර්ය බහුලකම තිබුණත් රඟපෑමට නම් කාලය කොහොමහරි යොදවනවා කියලා කියන්නේ මනීෂාමයි.
 Sarasaviya
READ MORE - වැඩක