----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මෙම දසුන කැමරා කාචයේ සටහන් විය.

Friday, September 7, 2012


"සුවඳ පද්ම" උළෙලේ අසිරිමත් මොහොතක්‌..


මහාචාර්ය ජේ. බී. දිසානායකයන් ප්‍රවීන සංගීතවේදී ආචාර්ය වික්‌ටර් රත්නායකයන්ගේ දෑත් වැළඳ ගන්නේ හද පිනා ගිය සතුටකිනි. මිහිඳු සංස්‌කෘතික පදනමේ තෙවැනි සංවත්සරය නිමිත්තෙන් කලාසූරී සතිස්‌චන්ද්‍ර එදිරිසිංහයන් විසින් රචිත උපදේශ පුස්‌තක ත්‍රිත්වයක්‌ දොරට වැඩුම සහ "සුවඳ පද්ම" උපහාර සම්මාන පිදීම නිමිත්තෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැති උත්සවයකදී මෙම දසුන කැමරා කාචයේ සටහන් විය. කලාසූරී සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ මහතාද (මැද) ඡායාරූපයේ සිටී.
ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ 
Divayina
 
READ MORE - මෙම දසුන කැමරා කාචයේ සටහන් විය.

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි මග තොටේ ඔබ දකින ගැහණියයි


ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහණියයි







කලා වැවෙන් ගත් දිය දෝතක්‌ සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක්‌ සේ
අගේ අගේ ඔබ මට මැ අගේ
ශ්වේත රාත්‍රිය ඇරැඹෙන්නේ එලෙසිනි. පළමු ප්‍රසංගය මෙන්ම ගතවූ ප්‍රසංග විසිහතරත් ඉදිරියේදී පැවැත්වෙන අවසන් ප්‍රසංග දෙකත් ඈ අරඹන්නේ තම දෙනෙත් ඉදිරියේ සිටිනා හුදී ජන සමූහයා අමතමිනි. ඇයට මේ ප්‍රේක්‍ෂකයා වටී. කලා වැව අපට වටින්නේ යම් සේද ඉන් දෝතට ගන්නා දිය පොදත් එලෙස වටී. ඒ දිය දොaත සේම ජනතාවත් වටින බව ඈ කියන්නීය. ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය අපට කොතරම් අගනේද ඒ බෝධියෙන් වැටෙනා බෝ පතත් අපට වටී. එලෙසින්ම තමා ඉදිරියේ සිටිනා ජනතාවද ඕ අගයන්නීය.

විශාරද නන්දා මාලිනිය ජනතාවාදී කලාකාරියක ලෙස කලක පටන් හඳුන්වන්නේද ඈ රටේ තැලෙන, පෑගෙන අසරණ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නියක නිසාය. ඊට ඇගේ පවුල් පසුබිමද හේතු වන්නට ඇත. ඈ හැදී වැඩුණේ කොටහේන කාසෙට්‌ටි වත්තේ දුප්පත් මුඩුක්‌කු ගෙදරකය. පියා කෝට්‌ බාස්‌ කෙනෙකි. නැතිනම් කබා මහන සන්නාලියෙකි. කබා මසා ඉතිරිවන රෙදි කැබලිවලින් පියා කොට කලිසම්ද මසයි. අහල පහල ඇති හැකි නිවෙස්‌වලට ගොස්‌ ඒ කොට කලිසම් විකිණුවේ අද අප ඉදිරියේ දැවැන්ත චරිතයක්‌ව සිටින නන්දාය. එදා සමහරු ඇයට දොර වැසූහ. නිවසටවත් වැද්දා ගත්තේ නැත. අද ඇයට ඕනෑම දොරක්‌ විවෘතවී ඇත. ඇය නිවෙසකට එන්නේ නම් ඒ තරම් ගෞරවයක්‌ නිවැසියෙකුට තවත් ඇද්ද? දෛවය කැරකෙන්නේ එළෙසිනි. එදා අත්විඳි අසරණකම පුංචි මිනිසාගේ දහඩිය කඳුළ ඇයට තවමත් හුරු පුරුදුය. ඈ ඒ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නේ ඒ නිසාය.
 
දහසක්‌ ඉපදී මියයන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක්‌ වෙමි
මා මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

මියෑදෙන්නේ නැත්තේ කවුද. අපි හැම මිය යන්නෙමු. ඒත් අපේ ක්‍රියාකාරකම් මිය නොයන්න වුන් සේය. මියයන බව පසක්‌ කරගෙන සිටින ඈ ඒ ගැන ගයන්නීය. ඈ වැන්නවුන් නොමියෙන්නේ ඒ නිසාය.

අවුරුදු විසි දෙකකට පසුව ඇය ඒකපුද්ගල ගීත ප්‍රසංගයක්‌ ඇරැඹුවාය. අවුරුදු දෙකකට කලින් ශ්වේත රාත්‍රිය නමින් අරඹන්නේ ඒ ප්‍රසංගයයි. දැන් එහි සමාප්තිය එළඹ තිබේ. ශ්වේත රාත්‍රියේ ගතවූ ප්‍රසංග විසිහතරට මෙන්ම ඉදිරි අවසන් ප්‍රසංග දෙක දැසින් දකින්නටද පිරිස පොරකති. අපේ රටේ සුභාවිත ගී පිපාසාවෙන් මෙතරම් සෙනඟක්‌ සිටීද... පුදුමයකි.... සතුටකි.

සුභාවිත ගීය දසත සුවඳ හමන මලක්‌ සේ පිපී හිනැහෙද්දී ඒ මල යටකර දමා අවරගනයේ ගීය නමැති හතු පිපෙන්නට විය. හොඳ ගීය ජන සවනින් මෑත් කර කුණු ගීය සවනට සමීප කරවන්නට අපේ රටේ එෆ්.එම්. චැනල්වලට තරගයක්‌ තිබිණි. මේ තරගය ඇරැඹුවේ සිරස එෆ්.එම්. බව කණගාටුවෙන් හෝ නොකියාම බැරිය. සිරස අලුත් වැඩක්‌ කරන්නට උපන් හපන් නාලිකාවකි. ඔවුන් කළ හොඳ වැඩ සේම නරක වැඩද සෙසු නාලිකා කොපි කරන්නට විය. හොඳ ගීය යට කරමින් කුණු ගී මතු කරන්නට සෙසු නාලිකාද පටන් ගත්තේ ඒ අනුකරණ පුරුද්දටය.

එහෙත් සිරස එෆ්. එම්. වරද පිළිගත්තේය. තමන් කළ වරද නිවැරදි කිරීමේ යහපත් කටයුත්තට ඔවුන් නොපමාව අතගැසීය. ඒ අනුව සිරස යළි සුභාවිත ගීයට තැන දෙන්නට පටන් ගත්තේය. ඒ ගැන නන්දා මාලිනිය මෙසේ කියන්නීය.

සිරස අවරගනයේ ගීතවලට පත් වුණා වගේම හොඳ වැඩත් කළා. නැවතත් බුද්ධිමත් ශ්‍රාවකයාට යම්කිසි හොඳ දෙයක්‌ දිය යුතුය යන අදහසින් සිරස මියෑසි අරණ, මියෑසි තටාකය, පහන්කන්ද වැනි වැඩසටහන් කරද්දී තමයි "ශ්වේත රාත්‍රියට" මට ආරාධනා කළේ. ඒක මට ලොකු අවස්‌ථාවක්‌ වුණා. මට තනිව ප්‍රසංගයක්‌ කරන්න ශක්‌තියක්‌ නෑ. "ශ්වේත රාත්‍රිය" පිළිබඳ අපි මාස දහයක්‌ සාකච්ඡා කළා. අන්තිමේ අපි කැමැති ලෙස ප්‍රසංගය කරන්න සිරස කැමැති වුණා.

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙළන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුන කුසුම්

ශ්වේත රාත්‍රියට ඒ නම යෙදුනු ආකාරයත් අපූරුය. නම් කිහිපයක්‌ කිහිප දෙනෙකුම යෝජනා කර ඇත. ඒ සියල්ල ලියූ තුණ්‌ඩු උඩ දැමීමෙන් පසු නන්දා මාලිනිය එක තුණ්‌ඩුවක්‌ ඇහිඳ ගත්තාය. එය දිලීප අබේසේකර විසින් යෝජනා කළ නම ඇති තුණ්‌ඩුවය. එය ශ්වේත රාත්‍රිය විය.

නන්දා මාලිනිය ශ්‍රවණාරාධනා ප්‍රසංගය කළේ පණ්‌ඩිත් අමරදේවයන් සමගිනි. ඒ නවසිය හැත්තෑ එකේ අගෝස්‌තු 26 දා ඇරැඹි ශ්‍රවණාරාධනා පස්‌ මසක්‌ සාර්ථකව පැවැත්විණි. ඉක්‌බිති අමරදේවයන් ඉන් නික්‌ම ගියහ. නන්දාවන් හැත්තෑ තුනේ ජනවාරි 19 දා පටන් ශ්‍රවණාරාධනා තනිව කළාය. හැත්තෑ නවයේ මැයි 22 දා පන්සිය තිස්‌වැනි ප්‍රසංගය පවත්වා ශ්‍රවණාරාධනාවෙන් ඕ සමුගත්තාය.

පිනි විසිරෙන විට වටහාගනු මැන
දෙනෙතින් කඳුලැල් ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්...

ප්‍රේමය, විප්‍රයෝගය... දුක, වේදනාව ගීයෙන් ගයන්න ඈ තෝරා ගත්තේ සත්‍යයේ ගීතයයි. අසූ එකේ අගෝස්‌තු 29, 30, 31 අඛණ්‌ඩව දින තුනක්‌ ලුම්බිණි රඟහලේ පවත්වමින් සත්‍යයේ ගීතය ඇරැඹු ඕ... හරියටම වසර තුනක්‌ ගිය තැන අසූ හතරේ අගෝස්‌තු 29, 30, 31 තෙදින ලුම්බිණි රඟහලේදීම ඉන් සමුගත්තාය.

අසූ හත, අසූ අට, අසූ නවය මෙරට අධර්මිෂ්ඨ යුගයකි. භීෂණයෙන් වෙළාගත් කාලයකි. තරුණ සිරුරු මහමග තැන තැන දැවෙන්නට පටන් ගත්තේය. මව්වරු තම තරුණ දූ පුතුන් ගැනත් බිරින්දැවරු සැමියන් ගැනත් දැඩි වේදනාවෙන් යුක්‌තව සිටි කාලයකි.

මගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුළාවෙන් සිටින්නී
විමුක්‌තිය නාමයෙන් හඬන්නී

දැවෙන සිත් සතන් සනසාලන්නට සිතන්නී... ඈ පවනක්‌ වී ආවාය. අසූ හත ජුනි 26, 27, 28 අඛණ්‌ඩව දින තුනක්‌ ලුම්බිණි රඟහලේ ඉදිරිපත් කරමින් ඕ පවන ඇරැඹුවාය.

"පවන" ගැන නන්දා මාලිනිය මතකය අවදි කළාය. "අලුතින්ම ගීත විසිපහක්‌ හදලා අලුත්ම තනුකරලා තමයි පවන කළේ. අපි කතා කළේ අපේ දේශපාලනය. එදා ඒ පීඩාවෙන් අපිත් වින්දා. මේ ගීත විසිපහම ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. පවන කරද්දී අපි හුඟක්‌ මෝරලා. අදහස්‌ උදහස්‌ මෝරලා. අපිට දේශපාලන චින්තනයක්‌ තිබුණා. රටේ පැවැති අඳුරු යුගය, අයුක්‌තිය, අසාධාරණය, භීෂණය මේ හැම දෙයක්‌ම කියන්න පවන අපට වේදිකාවක්‌ වුණා. ඒත් පවන අපට දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක්‌ උදාවුණා. අසූඅටේ දෙසැම්බර් 11, 12, 13 දර්ශන තුනක්‌ පවත්වා පවන අවසන් කරන්න තීරණය කළත් පැවැති වාතාවරණය අනුව එය කළ නොහැකි බව තේරුණා. අපි කඩිමුඩියේ පවන යුගල කැසට්‌ දෙකක්‌ හදලා එකොළොස්‌වැනිදා ලුම්බිණියේ 3.30 දර්ශනයක්‌ පමණක්‌ පවත්වලා කැසට්‌ පට එළියට දැම්මා. පවන එතැනින් නැවතුණා.

සඳ එළිය ගඟක්‌ වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඬු නටයි
අනේ අපි කවදාක
හිනැහෙමුද ඒ රටේ

හිනැහෙන මිනිසුන් ඇති රටක්‌ උදෙසා ගී ගැයූ ඇයට භීෂණය හමුවේ මව්බිම අතැර යන්නට සිද්ධ වූවාය. ඈ පමණක්‌ද නොව ධර්මිෂ්ඨ රාජ්‍යයක්‌ උදෙසා තරුණයන්ගේ විමුක්‌තිය උදෙසා පවනට ගී ලියූ මහැදුරු සුනිල් ආරියරත්නයන්ටද ඈ සමගින්ම රටින් පිටව යන්නට සිදුවූවේය.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි
හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ

විශාරද නන්දා මාලිනිය ඇගේ සිව්වැනි ඒකපුද්ගල ගී ප්‍රසංගය "ශ්වේත රාත්‍රිය" අරඹන්නේ පවනින් වසර විසි දෙකකට පසුවය. අවරගනයේ ගී වලින් පිරී පවතින කතරක අතරමංව සිටින ශ්‍රාවකයාට ශ්වේත රාත්‍රිය දිය පොදක්‌ වන්නට පටන් ගන්නා බව ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැති පළමු ප්‍රසංගයෙන්ම පසක්‌ විණි. රඟහලේ ගේට්‌ටු සහ තාප්ප මතින් පැන ශාලාව වෙත පැමිණෙන්නට පොර කෑ රසික පිරිස්‌ අස්‌වසාලමින් ප්‍රවේශ පත්‍ර ඇති නැති සියලු දනන්ට ශ්වේත රාත්‍රිය නරඹන්නට එදා සිරස ඉඩකඩ සැලැසීය. ජෝන් ද සිල්වා රඟහලේ අසුන් අතර ඇති හිඩැසේ බිම හිඳ... මේ පිරිස දැහැනකට සමවැදුණු සේ ශ්වේත්‍ර රාත්‍රිය විඳිද්දී මේ ඉන්නේ මොහොතකට පෙර රඟහලේ ගේට්‌ටුව අසල කළ කෝළහාල කළ පිරිසමදැයි සැක සිතිනි.

ඈ ගී ගැයුවාය. ශ්වේත රාත්‍රිය ප්‍රසංග වාර විසි හතරකට රට පුරා සැරි සරමින් නන්දා මාලිනිය ගී ගයද්දී සිරස එය මාකටිං වැඩක්‌ බවට පත්කර නොගැනීම ආදර්ශයකි. පැසසිය යුත්තකි. ශ්වේත රාත්‍රිය වේදිකාවේ හෝ ශාලාව තුළ කිසිදු වෙළෙඳ ආයතනයක දැන්වීමක්‌ නැත. අඩුම තරමේ සිරස ලාංඡනය ද නැත. ශ්වේත රාත්‍රිය ඔවුන් ඒ තරමටම ගරු කොට සැලකූහ. එය සුභාවිත ගීය රැක ගැනීමට සිරස ඉදිරිපත්වන බවට ඉඟියක්‌දැයි සිතේ. එය එසේමනම් මෙතෙක්‌ සිරස අනුකරණය කළ අනෙක්‌ නාලිකාද සිරසේ මේ ප්‍රයත්නය අනුකරණය කළ යුතුමය.

ශ්වේත රාත්‍රිය 14 වැනිදා අවසන් වේ. ඉන්පසුව නන්දා මාලිනිය කුමක්‌ කරන්නීද... සමාජය සුවපත් කිරීමේ මෙහෙවරින් ඕ යළි ඈත් වන්නීද...

සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි
වෙරළ වෙත සැපත් මා

දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි නිවාලන්න
යාත්‍රාව පදවන්න මා සමග එක්‌වන්න...

අද සමාජයටත් පවනක අවශ්‍යතාව ඉපිද ඇත. ඒත් ඒ සඳහා ඈ සූදානම්ද යන්න ප්‍රශ්නයකි.

අද සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මගේ කිසිම ප්‍රියතාවක්‌ නෑ... මම ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ. ඒත් මගේ විෂය වන ගීතය තුළින් පක්‍ෂ පාට භේද නැතිව කතා කරනවා. මේ යන රටාව අනුව පවන වැන්නකට වැඩි බරක්‌ තියෙනවා. වෙනසක්‌ ඇත්තටම ඕනෑ. ඒ වෙනස කොයි විදිහද කියන්න මට තේරෙන්නේ නෑ. පවනම ආයේ කරන්නත් බැහැ. පවනේ ගැයූ ගීත මම ශ්වේත රාත්‍රියේත් ගායනා කළා. දැන් මම හුස්‌මක්‌ ගත යුතුයි.

විලක්‌ උනත් නිල් දියරැළි විලක්‌ නොවේ
මලක්‌ උනත් සුවඳක්‌ ඇති මලක්‌ නොවේ
සඳක්‌ උනත් පසළොස්‌වක සඳක්‌ නොවේ
රටක්‌ උනත් මගෙ රට වැනි රටක්‌ නොවේ

ශ්වේත රාත්‍රිය සජීවීව බලන්නට කැමති ඒත් ඊට අවස්‌ථාව නොලද තවත් සුවිශාල පිරිසක්‌ සිටී. ඒ අය වෙනුවෙන් ශ්වේත රාත්‍රිය සමුගැනීමේ ප්‍රසංගය සජීවී පටිගත කිරීමක්‌ තව මසකින් ඩීවීඩී තාක්‍ෂණයෙන් එළිදක්‌වන්නටද සූදානම්ය.

විවේකයක්‌ද නොලබා එක එල්ලේ ගීත විසිපහක්‌ ඈ "ශ්වේත රාත්‍රියේදී" ගයන්නීය. පසුබිම සිට ඇයට සංගීතය සපයන සුරේෂ් මාලියද්ද ඇතුළු වාද්‍ය ශිල්පීන්ද ඇගේ ගී හඬින් පෙර නොලැබූ ජීවයක්‌ ලැබ සිටී.

ශ්වේත්‍ර රාත්‍රිය ප්‍රසංගය ඈ අරඹන්නේද ප්‍රේක්‍ෂකාගාරය අමතමිනි. ඒ කලා වැවේ වටිනා ජල බිඳක්‌ බෝධියේ අගනා බෝ පතක්‌ තරමටම ශ්‍රාවකයා සලකමිනි. ඈ ශ්වේත රාත්‍රිය නිමා කරන්නේ සුරම්‍ය වූ සඳකිරණට සෞම්‍ය තරු එළියකට ප්‍රේක්‍ෂකයා සම කරමිනි.

ඔබයි රම්‍ය සඳකිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...

අජිත් අලහකෝන් - Divayina
READ MORE - ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි මග තොටේ ඔබ දකින ගැහණියයි

මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි


මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි

ghostරැජින නියෝජිත සුරංජිත් ගුණසේකර 2001 වසරේ මාර්තු 26 සඳුදා පෙරවරුවේ ‘‍ලේ හලන භූතයකු’ ඇතැයි මහත් ආන්දෝලනයකට ලක් වූ මහනුවර බාලිකා පාසලට පිවිසෙන විට උදෑසන පාසල ආරම්භ වී මඳ වේලාවක් ගතවී තිබිණ.බාහිර වශයෙන් කිසිදු විශේෂත්වයක් පළ නොවුවද මෙම භූත සංසිද්ධිය මත පාස‍ලේ ගුරු සිසු ප්‍රජාව තුළ පැවැති ප්‍රකම්පනීය බව නිසා දෝ හාත්පස දැඩි නිහැඩියාවක ගිලී ඇති අයුරක් අප නියෝජිතයාට වටහා ගත හැකි විය. මෙවන් පසුබිමක් යටතේ පාසලට පැමිණ පිටස්තරයන් කෙරෙහි එහි ගුරු ශිෂ්‍ය ප්‍රජාව අතිශය සංවේදී වීම ඉතා සාධාරණ ය. එහෙත් සුරංජිත් සමඟ එහි ගිය දේශකයා එම පාසලට එතරම් ආගන්තුකයකු නොවූ නිසාදෝ ඔවුන්ගේ එම පැමිණීම කිසිවකුගේ විශේෂ අවධානයට ලක් වූ බවක් නොපෙනිණ.
ඒ කෙසේ හෝ එම පාස‍ලේ ගුරු සිසුන්ගේ සහ දෙගුරුන්ගේ මෙන්ම ජනමාධ්‍යයන් මගින් සමස්ත ජාතියේම මානසික කම්පනයක් ඇති කළ මෙම භූත සංසිද්ධිය යථාර්ථවාදීව ග්‍රහණය කර ගැනීමට පෙර එහි ස්වරූපය නිවැරදිව හඳුනාගත යුතු ය. එහිදී එම පාස‍ලේ කිසිවකුටත් අමුත්තක් නොහැඟෙන පරිදි සුරංජිත් වරින් වර සිය ජංගම දුරකථනය මඟින් ම’වෙත කරුණු ඉදිරිපත් කළේ ඒ සඳහා මට පහසුවක් ලබා දෙමිනි. 
එහිදී මගේ අවධානයට ලක්වූ කරුණු අතුරින් විශේෂතම කරුණු දෙකක් විය. ඉන් පළමුවැන්න ‍ලේ ගැලීම සම්බන්ධ එම භූත ක්‍රියාව එම පාස‍ලේ හත්වන ශ්‍රේණියේ එක් පන්ති කාමරයකට පමණක් සීමාවීම ය. එම පන්ති කාමරයට හැරුණු කොට පාස‍ලේ වෙනත් පන්තියකට, විද්‍යාගාරයකට, ක්‍රීඩාගාරයට හෝ ශ්‍රවණාගාරයට හෝ ප්‍රධාන කාර්යාලයට ඒ භූත බලපෑම එල්ල වී තිබුණේ නැත. 
ඒ සම්බන්ධයෙන් මගේ අවධානයට ලක්වූ දෙවන කරුණ වූයේ එම ‍ලේ හැලීම දිවා කාලයේ පාසල් කාලය තුළ දීම සිදුවීම ය. මුල සිටම එකම රටාවකට අනුව පමණක් සිදු වී තිබූ මෙම ක්‍රියා විදුහලට පිටස්තරයන් ඇතුළු කර ගැනීම සපුරා තහනම් කිරීමෙන් පසුව ද ඒ අයුරින්ම සිදුවී තිබිම මගේ විශේෂ අවධානයට ලක්විය. ඒ අනුව මට මූලිකව වටහා ගත හැකිවුයේ එසේ ‘‍ලේ හලන භූතයා’ කවුරුන් හෝ එම පාසල් ගොඩනැගිල්ල සහ එම පන්ති කාමරය ඇසුරේම ජීවත්වන එම පාසල් ප්‍රජාවෙන්ම අයකු බවය. 
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ආගම් සහ ජාතීන්ට අයත් ගුරු සිසු ප්‍රජාවකින් සමන්විත වුවද එය සිංහල බෞද්ධ ගුරු සිසු බහුතරයකින් යුතු බෞද්ධ ධාරාවේ පාසලකි. එබැවින් එහි බොහෝ දෙනකු මෙම භූත සංසිද්ධිය පිළිබඳව බෞද්ධ දෘෂ්ඨි කෝණයෙන් බැලීමට පෙළඹීම ඉතා ස්වභාවික ය. එබැවින් සුරංජිත් සමග එම පාසලට ගිය දේශකයා දුරකථනයෙන් ඇමතූ මම එම විද්‍යාලයීය ප්‍රජාව හමුවේ එකී භූත සිද්ධිය පිළිබඳව බෞද්ධාගමික අර්ථකථනයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියෙමි. එවිට එම විදුහ‍ලේ පාලනාධිකාරියේ අනුමැතිය ඇතිව සුරංජිත් ද සමග එම අද්භූත ‍ලේ ගැලීමට සම්බන්ධ පන්ති කාමරය සමීපයට ගිය දේශකයා එහි සිටි කිහිප දෙනකු සමඟ එබඳු කතාබහක් ඇරඹීය. 
ඒ අතරේ එම දේශකයාට ද රහසින් සුරංජිත්ට නැවත දුරකථන ඇමතුමක් ගැනීමට මට සිතිණ. එම දේශකයා සමග කතා බස් කරමින් සිටින අතරේ තරමක් විශේෂිත හැසිරීමක් පළ කරන්නියක එම පිරිසේ සිටිය හැකි බැවින් ඇය සම්බන්ධයෙන් විශේෂයෙන් සංවිභාගශීලී වන ලෙස එම ඇමතුම මගින් මම ඔහු දැනුවත් කළෙමි. ඒ මෙබඳු අද්භූත සිදුවීම් 
ගවේෂණයේ දී මා ලත් පූර්ව අත්දැකීම් අනුව ය. මගේ එම දැනුම් දීමෙන් විනාඩි කිහිපයකට පසු මට යළි සුරංජිත්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එමගින් ඔහු පවසා සිටියේ එම පිරිස අතරේ හිඳින එක්තරා තැනැත්තියක තරමක් උද්වේගකර අයුරින් හැසිරෙනු තමන්ට හොඳින්ම පෙනෙන බවය. ඒ අනුව ඔවුනට නොදැනෙන සේ එහි ගොස් එම කතා බහට කන්දෙමින් එය රහසින් පටිගත කර ගන්නා ලෙස මම සුරංජිත්ට දන්වා සිටියෙමි. 
එම කාන්තාව ගුරු ශිෂ්‍ය සහ සෙසු කාර්ය මණ්ඩලය ආදී වශයෙන් සැදුම්ලත් එම විද්‍යාලයීය ප්‍රජාවේම සාමාජිකාවකි. නමුදු මාධ්‍ය සදාචාරය අනුව ඇය පිළිබඳ ඉන් ඔබ්බට යමක් මෙහි විස්තර කළ නොහැක. 
ඒ කෙසේ හෝ ඇය කලින් මෙම විද්‍යාලයීය ආගමික කටයුතු වලදී සක්‍රිය භූමිකාවක් දරා තිබිණ. එහෙත්, පසුකාලීනව එම විද්‍යාලයේ සිදුවූ පරිපාලනමය වෙනස්කම් මත ඒ භූමිකාව ඇයට අහිමිව ඇත. එය ඇගේ පෞරුෂයට 
සෘජුව බලපා තිබේ. තම දායකත්වයෙන් යුතුව නිසි අයුරින් සිදුවූ එම පාස‍ලේ ආගමික වත් පිළිවෙත් දැන් නිසි පරිදි සිදු නොවීම මත  විදුහල වෙත මෙම අමනුෂ්‍ය බලවේග යොමුවීම පුදුමයක් නොවන බව එම තැනැත්තිය එම දේශකයා සහ අප නියෝජිත සුරංජිත් හමුවේ පවසා තිබේ. ඒ අන්‍යයන් අතුරින් විශේෂයෙන් මතුවෙමිනි. පෞරුෂ අර්බුද නිසා ව්‍යාකූල මනැස් ඇත්තෝ කතාබහෙන් සහ හැසිරීම් වලින් සෙස්සනට වඩා වෙනස් විශේෂිත 
ලක්ෂණ පළ කරති. එහෙත්, ඒ බව මනාව හැඳින හැක්කේ ඔවුන් හා වැඩිදුරටත් කතාබස් කිරීමෙනි. එබැවින් මගේ ඉල්ලීම මත ඇය හා වැඩිදුර කතාබස් කළ සුරංජිත්ට ඇය කියා ඇත්තේ පාසලට මෙවන් භූත උවදුරක් එල්ල වන බව තමන් කල් ඇතිවම දැන සිටි බව ය. එමෙන්ම ඒ පිළිබඳව පාස‍ලේ පාලනාධිකාරිය දැනුවත් කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බව ය. එමෙන්ම මෙම පාසලට වින කරන භූතයන් සමග කතාබස් කිරීමේ
අධිමානසික ශක්තියක් තමන් සතු බව ද ඇය  දේශකයා හමුවේ පවසනු සුරංජිත්ගේ පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන් විය. 
“එසේ නම් ඔබ පවසන භූතයන් ඔබ ලවාම මේ කාරිය කරවනවා වෙන්නත් පුළුවන්” මෙහිදී දේශකයා ඇසූ පැනයට ඇය කිසිදු පිළිතුරක් නොදී නිහඬ වී ඇත. දැන් එම භූත ක්‍රියාවට මුල් වන චරිතය කුමක්දැයි පැහැදිලිය. ඒ අනුව අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම දේශකයා සහ සුරංජිත් දැනුවත් කළ මම යළි මෙම පාස‍ලේ කිසිදු භූත ක්‍රියාවක් සිදු නොවිය යුතු බවට ඇයට රහසිගත තරවටුවක් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි. එමෙන්ම ඔවුන්ගේ එම ක්‍රියාව කෙතරම් සාර්ථකව සිදුවූයේද යන්න පිළිබඳව කොළඹ සිටි මා තුළ නිවැරදි නිශ්චයක් නොවිණි. එබැවින් සුරංජිත් සතු ජංගම දුරකථනය ඇය අතට පත් කරවූ මම ඇය ඇමතීමි. 
භූතයා ඔය ඉස්කෝ‍ලේ අහිංසක දරුවන්ට කරපු වින්නැහිය හොඳටම ඇති. භූතයා නොදන්නවාට අපි මේ වන කොටත් භූතයාගේ පින්තූර අරගෙන කටහඬත් පටිගත කරලයි තියෙන්නේ; අපි දැන් ඉඳන්ම ඔය භූතයා ගැන හොඳ හෝදිසියකින් ඉන්නවා, හැබැයි හොඳට මතක තියා ගන්න මේ මොහොතේ ඉඳන් ඔය භූතයාගෙන් ඔය ඉස්කෝලෙට හරි වෙන තැනකට හරි පුංචි හරි බලපෑමක් වුණොත් අපි ඔය භූතයගේ පින්තූරෙයි විස්තරෙයි පත්තරේට දානවා. භූතයට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි විදිහට”
දුරකථනය මගින් ඉහත සඳහන් පණිවුඩය ඇයට සන්නිවේදනය කර දුරකථනය විසන්ධි කළෙමි. ඉන්පසු එම තැනැත්තිය කෙරෙන් යම් බියපත් බවක් පළවන අයුරුත් ඇගේ මුහුණට දහඩිය නැංවෙන අයුරුත් තමන් හොඳින් දුටු බව සුරංජිත් කීය. එමෙන්ම ‘මහනුවර බාලිකාවේ ‍ලේ හලන භූතයා’ගේ එම ක්‍රියාවලිය එතැනින්ම හමාර වූ අතර එමගින් අපට සියයට සියයක්ම සනාථ වූයේ එය ඉහත සඳහන් තැනැත්තිය විසින්ම සිදුකරන ලද්දක් බව ය.

තිලක් සේනාසිංහ
Lakbima
READ MORE - මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි

නාරද තුමන් ලියූ බුදු රැස්මාලා කවි පානදුරේ අරියධම්ම හිමියන් අතට පත්වුණු හැටි


නාරද තුමන් ලියූ බුදු රැස්මාලා කවි පානදුරේ අරියධම්ම හිමියන් අතට පත්වුණු හැටි

naradaසිරිපා හිමයේ විස්මිත රහස්
හොරණ, කුඩා උඩුව, මාරගහහේනේ පිහිටි ‘ජයබිම අරමේ’ ශාන්ත සුවයෙන් දිවිගෙවන අනගාරික නාරද තුමාත්, පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා කවිත් අතරේ කිනම් හෝ සබැඳියාවක් ඇති බව නාරදතුමන්ගේ කතාවෙන් තිලක් සේනාසිංහයන්ට පැහැදිලි වුණා. ඒ ඔස්සේ තමයි එතුමන්ගෙන් ඒ පිළිබඳව වැඩිපුර කරුණු විමසා ඇත්තේ. එවිට නාරදතුමා ඊට පිළිතුරු සපයා ඇත්තේ මෙන්න මේ විදිහට.

“එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල මුල හරියේ අපි මෙහේ පිහිටුවා ගෙන තිබුණා. බෝසත් බල මණ්ඩලය කියලා සංවිධානයක්. ඒකෙ ආරම්භක ‍ලේකම් හැටියට වැඩ කළේ ගාල්ලේ එස්.එස්. සිල්වා මහත්තයා. ඉස්සර උන්නැහේ තමයි ගාල්ල දිස්ත්‍රික් උසාවියේ තෝල්ක මුදලි. ඔය කා‍ලේ මම ප්‍රබන්ධ කරපු මෛත්‍රී චින්තා කවි වගයක් තිබුණා. අපේ සංවිධානයේ අය කවුරුත් වගේ බුදුන් වැඳලා ඔය කවිත් හඬ නගා සජ්ක්ධායනා කරනවා. මෙන්න මේ වගේ කවි තමයි ඒ කවි පන්තියේ තිබුණේ.”
ඊට පසුව නාරදතුමන් ඉතා සුමධුර හඩින් මෙන්න මේ කවිය ගායනා කොට තිබෙනවා.
‘සුගත හිමි නාමය
වී ලොව කුසුම් දාමය
දුරුව බල කාමය
උදාවේවා ලෝක සාමය
නාරදතුමන් ලියූ මෙවැනි කවි පිළිබඳව අදහස් පළ කළ බොහෝ දෙනකු කියා ඇත්තේ එතුමන් මේ සියලු කවි ශබ්ද ශාස්ත්‍රමය මූලධර්ම අනුව ගණ පිහිටුවා රචනා කළ බවයි. විශේෂයෙන් පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා කවි මෙතරම් ජනප්‍රිය වීමට හේතුවත් එයම බව බොහෝ දෙනකු විශ්වාස කළා. නමුත් මගේ ඉල්ලීමට අනුව නාරදතුමාගෙන් ඒ පිළිබඳව විමසා සිටි තිලක් සේනාසිංහයන්ගෙන් නාරද තුමන් අසා ඇත්තේ “මං දන්න ශබ්ද ශාස්ත්‍රයක් නෑ; කවුද හැබෑට ඔය කතාව කිව්වේ? කියායි.
නමුත් ඊට පසුව එතුමන් පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන් පිළිබඳ පුවත මෙන්න මේ විදිහට අනාවරණයකොට තිබෙනවා.
“ඔන්න එක දවසක් අපේ ඔය තෝල්ක් මුදලිතුමා කොළඹ අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී බුදුන් වැඳලා ඔය කවි පන්තිය බොහොම ලස්සනට ගායනා කරලා තියෙනවා. ඒක ඉවර වෙලා නැගිටින්න හදනකොට පන්ස‍ලේ වැඩහිටිය තරුණ හාමුදුරුනමක් ආවලු උන්නැහේ ළඟට. “මහත්තයට කොහෙන්ද ඔය කවි හම්බ වුණේ?” කියලා මේ හාමුදුරුවන් අහලා තියෙනවා. ඉතින් අපේ තෝල්ක මුදලිතුමත් විස්තරේ කිව්වය කියමුකෝ. මෙන්න ඊට දවස් දෙකතුනකට පස්සේ අර තරුණ හාමුදුරුවෝ මේ ආරාමෙට වැඩම කළා. දවස නම් හරියටම මතක නැහැ. කොහොමත් ඒ වෙනකොට මම හදපු තවත් ඒ වගේ කවි සිය ගාණක් විතර තිබුණා. මේ හාමුදුරුවෝ ඒ කවි හැම එකක්ම ඉල්ලාගෙන බොහොම හොඳට කියවලා බැලුවා. අර ප්‍රසිද්ධ වුණු බුදුරැස්මාලා කවි ටිකත් ඒ වෙලාවෙ එතන තිබුණා. මේවා හොඳට කියවපු මේ හාමුදුරුවෝ මගෙන් ඇහුවා “නාරදතුමා මමත් හරිම කැමතියි අපේ බෞද්ධයන්ට සිංහලෙන් බුදුන් වන්දවන මේ වගේ කවිවලට. බැරිද මේවා මට දෙන්න. මං පිටපත් කරගෙන ආපහු දෙන්නම්” කියලා. මාත් අනේ හාමුදුරුවනේ මොකද බැරි කියලා ඒ කවිවලින් ඕනෑතරම් තෝරාගන්න ඉඩ දුන්නා. කොහොම හරි ඒ කවිවලින් කොටසක් තෝරාගෙන ඒ හාමුදුරුවෝ ආපසු වැඩමකළා. ඊට පස්සෙ ටික කාලයක් යනකල් තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ.
“ඔය කියන විදිහට ඒ වැඩියේ අරියධම්ම හාමුදුරුවෝ වෙන්න ඇති” සේනාසිංහයන් නාරද තුමන්ගෙන් අසා සිටියහ. 
“ඔව්, ඔව්, උන්වහන්සේ තමයි. නමුත් ඒ වෙනකොට කිසි ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ” නාරදතුමා කීවා. ඊට පසුව එතුමන් මෙසේත් කියා තිබෙනවා.
“ඔන්න ඊට මාස කීපෙකට විතර පස්සෙ මට අපේ සංවිධානයේ මහත්තයෙකුගෙන් ආරංචි වුණා වේයන්ගොඩ පැත්තේ තියෙන වේබඩගල්ල පන්ස‍ලේ ඉන්න අරියධම්ම කියන හාමුදුරුවෝ මගේ කවිත් එකතු කරලා බොහොම ලස්සන බෝධි පූජා වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒකට මිනිස්සු හරිම කැමතියි කියලා. අනේ එහෙම නම් කොච්චර හොඳද කියලා මාත් ඉතින් සන්තෝෂ වුණා. ඔන්න ඔය අතරේ ආයිමත් වරින්වර අරියධම්ම හාමුදුරුවෝ මේ අරමට වැඩම කරලා මගෙන් තව තව කවි ඉල්ලාගෙන ගියා. මාත් බොහොම කැමැත්තෙන්ම ඒවා දුන්නා. ඒ වගේම මම ඉස්සර ඉඳන්ම අතන බෝධිය ඉස්සරහ කවිවලින් බෝධි වන්දනා වැඩසටහන් පැවැත්වූවා. අපේ අරියධම්ම හාමුදුරුවොත් දවස් කීපයක් මෙහේ නතර වෙලා ඒ හැම දෙයක්ම බොහොම හොඳට අධ්‍යයනය කළා. ඒක මේ අවට ඉන්න හැමෝටම වගේ තවමත් මතකයි.”
නමුත් නාරදතුමා ඉන්පසුව වැඩිදුරටත් පවසා ඇත්තේ පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා වැඩසටහන් සාම්ප්‍රදායික බෝධි වන්දනා කවිවලින් වගේම උන්වහන්සේ විසින්ම රචනා කළ කවිවලින්ද ‍පෝෂණයවූ බවයි. නමුත් උන්වහන්සේගේ බෝධි පූජා වැඩසටහන්වලදී කියැවුණු බුදු රැස්මාලා තමන්ගේ බව නාරද තුමන් 
පිළිගන්නවා. නමුත් හුදෙක් සාමාන්‍ය බෞද්ධයන් ඉලක්කකොට පබැඳුණු ඇතැම් බෝධි පූජා කවි සම්බන්ධයෙන් නාරද තුමන්ගේ සිත තුළ එතරම් ප්‍රසාදයක් නැති බවත් එතුමන් හා කළ ඒ කතාබහේදී සේනාසිංහයන්ට මනාව වැටහී තිබෙනවා.
“ඔය බෝධි පූජා මාලාවේ අරමුණ දැන් යාච්ඤා සම්ප්‍රදායට නැඹුරු වෙලා. ඒ වගේම සමහර කවි නිවැරදි බෞද්ධ දෘෂ්ටියෙන් පිට පැනපු ඒවාය කියලා මතයකුත් තියෙනවා කී සේනාසිංහයන් ඊට නිදසුනක් ලෙස මේ කවිය දක්වා තිබෙනවා.
‘බෝමළුවට අපි යනවා එනවා
බෝමුල් බෝපත් මට පෑගෙනවා 
සමාවදී මගෙ පව් අරවනවා
බෝරජුනේ මට අවසර දෙනවා’
එවිට නාරදතුමා සන්සුන් ස්වරයෙන් පවසා ඇත්තේ මෙවන් අදහසක්.
ඒවා නම් මගේ කවි නමෛයි; අනික බුදු දහමේ දැක්වෙන විදිහට ‘බෝධි’ කියන්නේ බෞද්ධ පරමාදර්ශයට. ඒ නිසා තමයි බුදුදහමේ බුදු, පසේ බුදු, මහරහතන් වශයෙන් තුන්තරා බෝධියක් හඳුන්වලාදී තිබෙන්නේ. ඒ වගේම බුදුදහමේ බෝධි අංග හෙවත් බෝජජංග වශයෙන් වෙනම ලොව්තුරු ගුණ සමුදායක් හඳුන්වාදී තිබෙනවා. බෝධි වෘක්ෂය කියන්නේ ඒ සියලු ලොව්තුරු ගණ පිළිබඳ දෘශ්‍යමය සංකේතයක් විතරයි. ඒ නිසා බෝධි 
වෘක්ෂය වන්දනීය වස්තුවක් හැටියට මිසක් බෞද්ධ පරමාදර්ශයක් හැටියට ගැනීම නම් හොඳ නැහැ තමයි; මම හිතන්නේ අරියධම්ම හාමුදුරුවන්ගේ බෝධි පූජා මාලාවේ වුණත් නියම හරයට වඩා එතරම් වැදගත් නැති කොටස් තමයි අපේ බෞද්ධයෝ ආදරෙන් වැළඳ ගන්නේ”
ඒ කෙසේ හෝ සිරිපා සමයේ දොළොස් වසරක් බවුන්වැඩූ අනගාරික නාරද තුමන් අදටත් හොරණ, කුඩාඋඩුව, මාරගහහේනේ එතුමන් ඉදිකරගත් ජයබිම අරමේ ඉතා සැනසුම්දායක ශාන්ත දිවිපවෛතක් ගත කරමින් හිඳිනු දක්නට පුළුවන්
READ MORE - නාරද තුමන් ලියූ බුදු රැස්මාලා කවි පානදුරේ අරියධම්ම හිමියන් අතට පත්වුණු හැටි

ක්‍රිෂ්ණි ජෝතිපාල කියයි


ටිකට් විකුණලා ‘ජෝති උපහාර’ ප්‍රසංග පැවැත්වීම ජාවාරමක්

  • ක්‍රිෂ්ණි ජෝතිපාල කියයි
j4‘ජෝතිපාල උපහාර ගී’ නමින් ගීත ප්‍රසංග පවත්වන්න එපා කියලා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මන්ද, ජෝතිපාල උපහාර ගී ප්‍රසංග මගින් තනිකරම කරන්නේ මුදල් ජාවාරමක්. ඒ ගායකයාව විකුණන්නේ නැතිව ජෝතිපාලයන්ගේ ගීත ඕනෑම කෙනෙක්ට ගායනා කරන්න පුළුවනි. ඒකේ වරදක් මා දකින්නේ නැහැ. නමුත් ටිකට්ස් ගහලා,ඒවා විකුණලා පවත්වන ජොති උපහාර ගී ප්‍රසංග ජෝතිට කරන උපහාරයක්ද? එහෙමත් නැත්නම් ඒක කූට ජාවාරමක්ද?
‘ලක්බිම’ online වෙත ඉහත අදහස් ප්‍රකාශ කළේ එච්.ආර්.ජෝතිපාලයන්ගේ දියණියක වන ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මියයි. ලොව පුරා සහ ශ්‍රි ලංකාවේ ගීත ගායනා කරන්නට හැකියාව ඇති සමහරු එච්.ආර්.ජෝතිපාල නමින් උපහාර ගීත ප්‍රසංග සංවිධානය කොට පවත්වන බවත්,එහෙත් ඒවා නියමj2 උපහාර ප්‍රසංග නොවන බවත්, තනිකරම කූට ජාවාරමක් බවත් ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය සඳහන් කළේ දැඩි වේදනාවෙන් පිරුණ හඬින් ය. එච්.ආර්.ජෝතිපාල ගුණ සමරු පදනමේ සහ මිතුරු සමාජයේ සභාපතිනිය වන්නේ ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මියයි. මේ වනවිටත් මෙරට සහ පිටරටවල එච්.ආර්.ජෝතිපාල උපහාර ගී ප්‍රසංග නමින් ජාවාරමක් ක්‍රියාත්මක වන බව පැවසූ ඈ සංවිධායකයින්ට කෙලින්ම දුරකතන ඔස්සේ කතා කොට එවැනි ප්‍රසංග දෙකක් අවලංගු කර වූ බව පැවසුවාය. මෙම j1සිද්ධිය පිළිඹඳ ක්‍රිෂ්ණි ජොතිපාල මහත්මිය වැඩිදුරටත් මෙසේ පවසා සිටියාය.
“ මගේ තාත්තත් මුලින්ම කිව්වේ හින්දි සින්දු. ඒත් තාත්තා දිගටම හින්දි සින්දු කිව්වේ නැහැ. තාත්තා එයාගෙ සින්දු කියලා නමක් ගොඩනඟා ගත්තා. ඒ වගේ තාත්තාගේ සින්දු කියලා නමක් හදා ගන්නවට මම විරුද්ධ නැහැ. ටිකට් ගහලා,මුදල් හම්බ කර ගැනීමේ අරමුණින් කරන ජාවාරමටයි මම විරුද්ධ. අවුරුදු විසි පහක් තිස්සේ තාත්තගේ සින්දු ටික විකුණනවා. ඒත් එච්.ආර්.ජෝතිපාල තවම ඉන්නවා. එයාව නැති කරන්න බැහැ. එහෙත් එයාගේ සින්දු කියලා ,මුදල් හම්බ කර ගත්ත සමහරුන්ට අද ජෝතිපාල අමතක වෙලා. තාත්තාගේ ගීත ඇතුළත් කරලා සමහරු එයාලගේ හඬින් සී.ඩී, ඩී.වී.ඩී, වී.සී.ඩී. ගහලා හම්බ කරනවා. මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඒ වැඩේට. මම දන්නවා තාත්තාව බොහෝම කිට්ටුවෙන්j5 ඇසුරු කළ සමහරු අද ජීවත් වන්නේ බොහෝම අමාරුවෙන් බව. නමුත් එයාලා කිසිම වෙලාවක ජෝතිපාලව විකුණන්නේ නැහැ. මම ඒ අයට ගරු කරනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා දෙස් හා විදෙස් ජෝති ගීත රසිකයින්ට හා ජෝති ගී ගායනා කරන ගායකයින්ට ‘ජෝති උපහාර ගීත ප්‍රසංග’ පවත්වා මුදල් හම්බ කරන්න එපා..සී.ඩී, ඩී.වී.ඩී, වී.සී.ඩී කරන්න එපා කියලා. ”
සටහන : අනුර හොරේෂස්

Lakbima
READ MORE - ක්‍රිෂ්ණි ජෝතිපාල කියයි

වතුර යට ඔබාගෙන ඉන්න බෑ - ඒක කමල්ට අටවපු උගුලක්?

Thursday, September 6, 2012


නිහැඬියාව බිඳිමින් ‘COLOUR’ සමඟ කමල් යළි සිනමා රංගනයට

එදාට මට මීට වඩා ‍‍හොඳ හෙඩ් ලයින්ස් දාන්න වෙයි

* ඔය සම්මාන ගත්ත කිසි කෙනෙක් මම තරම් ජනප්‍රිය නැහැ
වසර අටක නිහැඬියාවකින් පසු කමල් අද්දරආරච්චි යළි රිදී තිරයේ ජීවමාන වේ. ඒ ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණය කළ ‘COLOUR’ චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරමිනි. රංගන පෞරුෂය සිය නිරෑපණ දිවියේ මහා පොදු සාධකය බවට පත් කරගත් කමල්, මෙකී චරිතය හරහා ද අපට එය තහවුරු කර තිබේ.මේ කමල්, කලෙකට පසු ඔහු පිළිබඳ මෙන්ම ඔහුගේ කලා දිවිය පිළිබඳව ද අප සමඟ විවෘතව සිය මතවාදී අදහස් ගෙනහැර දැක් වූ අවස්ථාවකි.
* මම . . .
ඔබ මේ චිත්‍රපටයක රඟපාන්නේ වසර අටකට පසුව. ඇයි මෙතෙක් කලක් නිහඬව සිටියේ?
_ කමල් . . .
වසර අටක් නෙවේ, ඊටත් වැඩි කාලයක් නිහඬව සිටියත් මගේ නම හැමදාම මිනිසුන්ට මතකයි. මම චිත්‍රපටයක රඟපෑවත්, නැතත් මගේ නම බොහොම දෙනෙක් පාවිච්චි කරනවා. අඩුම තරමින් ඔවුන් මගේ නම විතරක් හරි අහන්න සලස්වනවා. මම නිහඬව ඉන්නවට එයාලා කැමැති නෑ වගේ. මම කතා නොකළත් ඒ අය මම ගැන කතා කරනවා.
* මම . . .
කමල්, මම ඇහුවේ සිනමාවේ ඔබේ නිහැඬියාව ගැන?
_ කමල් . . .
මම මේ කියන දේවල් ඔබට ලියන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ. සිනමාව අද අනාථ වූ දරුවෙක්. හිටපු ගමන් කවුරු හරි ඇවිත් දානයක් දීලා පිං අනුමෝදන් කරලා යනවා. මේ දරුවා නිර්මාණශීලී වෙන අවස්ථා නැතුවා නෙවෙයි. මේ දරුවාට කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. ඒත් කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ. කොයි තරම් හොඳ දෙයක් කළත් ඒ වටිනාකම් එළි දක්වන්න විදිහක් නෑ.
* මම . . .
ඇයි ඒ . . .?
_ කමල් . . .
අද අපේ සිනමාව හරියට යට පැත්ත කාපු බනිස් ගෙඩියක් වගේ. ඇතුල හිස්. නිකං ඇඟිල්ලෙන් ඇන්නත් කඩා වැටෙන සයිස් එකට දිරාපත් වෙලා. නිකං බලන්න, අද ප්‍රධාන පෙලේ සිනමා ශාලාවක හැර ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටයක් නරඹන්න අවම පහසුකම්වත් තියෙන සිනමාහල් තියෙන්නේ කීයද? බොහෝ සිනමා ශාලාවල වහල තෙමෙනවා. පුටු කැඩිලා. වවුලෝ ලගින තැනක් බවට පත්වෙලා. වැසිකිලියට ගියාම ජීවිතේ එපා වෙනවා. හරිනම් ප්‍රේක්ෂකයෝ මුදල් දීලා චිත්‍රපට බලනවා වෙනුවට අපිම අතින් කීයක් හරි දීලා ඔවුන් සිනමාහල්වලට ගෙන්න ගන්න ඕනෑ. මෙහෙම ගියොත් ඒ දිනය වැඩි ඈතක වෙන්නත් බෑ.
* මම . . .
එතකොට මේ අර්බුදය ඔබගේ රංගන දිවියටත් බලපානවා. එහෙමද කියන්නේ . . .?
_ කමල් . . .
ඔව්නේ. මේ වගේ වාතාවරණයක් උඩ නිෂ්පාදනය වෙන්නේ චිත්‍රපට අතලොස්සයි. ඒවත් එක් එක්කෙනා අතරේ බෙදිලා යනවා. හැමෝටම හැම චිත්‍රපටයම ලැබෙන්නෙත් නැහැනේ. ඒ වගේම සමහර නිෂ්පාදක, අධ්‍යක්ෂවරු කමල් අද්දරආරච්චි කියපුවම වැරදි ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නේ. ඔවුන් හුඹස් බියක් ඇති කරගෙන තියෙනවා මම රඟපාන්න ලොකු මුදලක් අය කරන නළුවෙක් කියලා.
* මම . . .
එතකොට ඒක බොරුවක්?
_ කමල් . . .
ඇත්තම කිව්වොත් මම නිකං හරි ඇවිත් රඟපානවා ඒ නිර්මාණයෙන් ජනතාවට හොඳ දෙයක් දෙනවානම්. එතනදි මට මුදල ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි.
* මම . . .
ඔබ චිත්‍රපට ලැබෙන ප්‍රමාණයටම බාර ගන්න නළුවෙකුත් නෙවෙයිනේ . . .?
_ කමල් . . .
ඕනෑ තරම් චිත්‍රපට ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. ඒත් පහුගිය කාලේ නම් කියන්න තරම් මහ ලොකුª දේවල් ලැබුණෙත් නැහැ. හැබැයි මෙහෙම අර්බුදයක් නම් තිබුණා. සමහරක් මාධ්‍යවල රඟපෑමේ අවස්ථා මට මග හැරුණා. මට නොයෙක් බාධක, බලපෑම් තියෙන වග පේන්න තියෙනවා. මට මෙගා නාට්‍යවල රඟපාන්න බෑ. එහෙම බලනකොට මට රඟපෑම පැත්තෙන් යම් යම් දේ අහිමි වී තිබෙනවා. අසාධාරණයක් සිදුව තිබෙනවා. කොහොම වුණත් මේ සියල්ල දිහා මම බලන්නේ උපේක්ෂාවෙන්.
* මම . . .
‘ COLOUR’ චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියාගේ චරිතය ඔබ ඉතා මැනවින් නිරූපණය කර තිබෙන බවයි මගේ හැඟීම. මෙය තරමක සංකීර්ණ චරිතයක්. නමුත් ඔබ එම චරිතයේ අධ්‍යාත්මය අපට ආයාසයකින් තොරව විවරණය කර දෙනවා?
_ කමල් . . .
කිසියම් චරිතයක් රඟපාන කොට ඒ චරිතය මගේ කරගන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. කතාව තුළ මා ඒ චරිතය දකින විදිහ තමයි රංගනයේදී මම ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ. සමහර විට මම හිට්ලර්ගේ චරිතය රඟපානවා කියලා හිතමුකෝ. මම හිට්ලර් වගේ මිනිහෙක් නොවුණට ඒ වගේ රඟපාන්න ඕනෑ. එහෙම නම් එතන කමල් අද්දරආරච්චි ඉඳලා හරියන්නේ නෑනේ. ඒ චරිතය සඳහා මම කැපවෙන්න ඕනෑ. එතකොට තමයි අපේ රංගනයත් සාර්ථක වෙන්නේ.
* මම . . .
මේ චිත්‍ර ශිල්පියා අසාමාන්‍ය ගති, පැවතුම් ඇති අයෙක්. සියල්ල මුදලට විකිණෙන සමාජයක ඔහු කලාව මුදලට පාවා දෙන්නේ නෑ. ඒ විතරක් නෙවේ ඔහු කලාවට ඇති භක්තිය නිසා ආදරය, විවාහය වගේ දේවලුත් ප්‍රතික්ෂේප කරන අයෙක්. මෙවැනි චරිත අද සමාජයේ ඉන්නවාද?
_ කමල් . . .
ඔහු දැඩි මතධාරියෙක්. රැඩිකල් විදිහට සිතන, මතන කෙනෙක්. ඒ වගේම ඔහු කලාව අදහන්නේ දේවත්වයෙන්.
ඇත්තටම ඔහු එක පැත්තකින් බලනකොට අන්තවාදී චරිතයක් කියලත් හිතෙනවා. ඔහු තමන් සිතන, පතන විදිහට සමාජයත් පැවැතිය යුතුයි කියා මතයේ ඉන්න කෙනෙක්. එවැනි චරිත මේ සමාජයේ අප අතර නැතුවාම නෙවෙයි. මේ සියලු කාරණාත් එක්ක අධ්‍යක්ෂවරයාගේ සිතැඟිවලට ගැළපෙන විදිහට මම මේ චරිතය ඉදිරිපත් කළා.
* මම . . .
ඒ චිත්‍ර ශිල්පියා ඔබ වුණා නම් අර වගේ තීරණාත්මක අවස්ථාවකදී මොකද කරන්නේ?
_ කමල් . . .
ඒ මම වුණා නම් කොහොම හරි අර යුවතියගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඈ හා විවාහ වෙනවා. ඊට පස්සේ ෂේප් එකේ මව්පියන් හමු වෙන්න යනවා. ඒ ගිහින් ඕනෑ ම¼ගුලක්.
* මම . . .
මෙය ඔබේ සිනමා රංගන දිවියේ තවත් සම්මානනීය චරිතයක් වෙයිද?
_ කමල් . . .
මම ඒක ඒ විදිහට හිතට ගන්නේ නෑ. කවුද දන්නේ මොනවා වෙයි ද කියලා. බොහෝ විට ඔය සම්මාන කතන්දරේ ලංකාවේ වාසනාවත් එක්ක යන ෙ දයක්. ඒ කියන්නේ දක්ෂතාවයටම හැම විටම සම්මාන ලැබිලා නැහැ. සම්මාන හිමි විය යුතු අවස්ථාවල පවා මට සම්මාන නොලැබී ගියා. ඒ නිසා වාසනාවත් අවශ්‍යයි.
* මම . . .
ඔබ අවාසනාවන්තයෙක් ද?
_ කමල් . . .
නැහැ, මම අවාසනාවන්ත නැහැ. මොකද ඔය සම්මාන ගත්ත කිසි කෙනෙක් මම තරම් ජනප්‍රිය නැහැ. මට වඩා සම්මාන ගත්ත අයව අද රසිකයන්ට සමහර විට මතකත් නැහැ. ඒත් තාමත් මම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳී ඉන්න නළුවෙක්.
* මම . . .
‘ COLOUR’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නවකයෙක්. රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඔබට මේ සහසම්බන්ධතාවය පවත්වාගෙන යෑම ගැටලුවක් වුණේ නැතිද?
_ කමල් . . .
ඇත්තෙන්ම මම කිසිම අන්දමකින් අධ්‍යක්ෂවරයා අවතක්සේරුවට ලක් කරන්නේ නෑ. මම මුලින්ම දැක්කෙ ස්ක්‍රිප්ට් එක. මේ චරිතය තුළ යමක් කළ හැකියි කියන ගුණය මම දැක්කේ ස්ක්‍රිප්ට් එක හරහා. මට කරන්න පුළුවන් උපරිමය කරනවා කියන තැන ඉඳන් තමයි මේ ගනුදෙනුව පටන් ගත්තේ. අධ්‍යක්ෂවරයාගෙන් ඇහුවොත් ඔහු කියයි ඔහුගේ විධානයන්ට මම කොතෙක් ගරු කළා ද, ඒවා පිළිගත්ත ද කියලා. එතනදි අධ්‍යක්ෂවරයා නවක ද, ප්‍රවීණ ද කියන එක මට අදාල වෙන්නේ නෑ. අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂවරයාමයි. ඒත් සමහරු මම මහ දඩබ්බර, වෙලාවට වැඩ නොකරන නළුවෙක් කියලා ප්‍රචාරයකුත් ඇරලා තියෙනවා. හැබැයි මම සහය අධ්‍යක්ෂවරු කියන කියන එක කරන ජාතියේ නළුවෙක් නෙවේ. මොකද එයාලා හරියට දන්නේ නෑ ජොබ් එක මොකක්ද කියලා.
* මම . . .
නමුත් සහය අධ්‍යක්ෂවරුන් පවා අධ්‍යක්ෂවරුන් වූ අවස්ථාවන් තියෙනවානේ?
_ කමල් . . .
ඔව්, ඒ ගැන තියෙන ආසන්නම උදාහරණය නිලේන්ද්‍ර දේශප්‍රිය. ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘තන්හා, රතී, රඟා’ චිත්‍රපටයේ මමත් චරිතයක් නිරූපණය කළා. ඔහු වෙනම චරිතයක්. ඔහු සමඟ වැඩ කරද්දී නියමෙට වැඩේ කෙරනවා. මොකද ඔහු බොහෝ දේවල් ඉගෙන ගෙන අධ්‍යක්ෂණයට බැහැපු කෙනෙක්.
* මම . . .
සහය අධ්‍යක්ෂවරයකු වීම පමණක්ම අධ්‍යක්ෂවරයකු වීමට සුදුසුකමක් නෙවෙයි කියලනේ ඔබ කියන්නේ?
_ කමල් . . .
සහය අධ්‍යක්ෂවරයා කියන කෙනා ඇත්තටම අධ්‍යක්ෂවරයාටත් වඩා ඕල්රවුන්ඩර් කෙනෙක් විය යුතුයි. හරි විදිහට නම් ඔහුට කැමරා කෝණ ගැන පවා අවබෝධයක් තියෙන්න ඕනෑ. කොටින්ම කිව්වොත් ඔහු අධ්‍යක්ෂවරයා පවා මෙහෙයවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. නිලේන්ද්‍ර මෙතනට ආවේ මේ හැම දේම දැනගෙන. චිත්‍රපටයක් කිරීමේදී මේක ටීම් වර්ක් එකක් කියා හඳුනාගෙන අවසානය දක්වාම ඒක මෙහෙයවන්න පුළුවන් හොඳම අධ්‍යක්ෂවරයා විදිහට මම දැක්කේ නිලේන්ද්‍රව. ඇත්තටම නවක අධ්‍යක්ෂවරුන්ට ඔහුගෙන් ඉගෙන ගත හැකි පාඩම් රැසක් තියෙනවා.
* මම . . .
‘තන්හා, රතී, රඟා’ වගේම ‘දෝණි’ චිත්‍රපටයටත් ඔබ පසුගිය කාලේ රංගනයෙන් දායක වුණා. මේවා කොයි විදිහේ චරිතද?
_ කමල් . . .
බොහොම නාගරික ඒ කියන්නේ පිටකොටුව, මරදාන වගේ ජනාකීර්ණ ප්‍රදේශයක වෙසෙන චන්දරේ කියලා චරිතයක් මම ‘තන්හා, රති, රඟා’ චිත්‍රපටයේ රඟපෑවේ. මට රඟපාන්න තිබුණේ දර්ශන කිහිපයක් වුණත් මේක ටිකක් සංකීර්ණ චරිතයක් කියලා මට හිතෙනවා. දාමරික, චණ්ඩි පහේ චරිතයක්.
‘දෝණි’ චිත්‍රපටයේ මම රඟපාන්නේ පියකුගේ චරිතය. ඒක වෙනස්ම විදිහේ චරිතයක්. මේක ළමා චිත්‍රපටයක් වගේ පෙනුණාට මම හිතන්නේ ඊටත් වඩා ඔබ්බට ගිය පවුලේ කතාවක්. ආබාධිත දරුවෙක් නිසා එක්තරා පවුල් සංස්ථාවක සිදුවෙන හැල හැප්පීම් තමයි මේ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ. එය අනුවේදනීය කතාවක් රැගත් චිත්‍රපටයක්.
* මම . . .
පහුගිය දිනවල ඔබේ මේ කලා කටයුතුවලට වඩා මාධ්‍යය මගින් ප්‍රචාරය වුණේ එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන?
_ කමල් . . .
ඔව්, ඒක මුළු රටම දන්නවා.
* මම . . .
ඇයි එහෙම පුවත් මවන්නෙක් වුණේ?
_ කමල් . . .
මම එහෙම පුවත් මවන්නෙක් නෙවෙයි. ඒ වෙලාවේ සමහරු මාව පාවිච්චි කරලා තමන්ගේ අසහනය පිටකර ගත්තා. මම හොඳ සනීපෙට ඉන්නවා දකිනකොට ඒ අයට ඒක දිරවන්නේ නෑ. පවුල් ජීවිතයේ නොයෙක් ප්‍රශ්න තියෙන, සමහර විට කාන්තාවන්ගේ ආකර්ෂණය නැති, මොනවා හරි බෙලහීනකමක් තියෙන පිරිසක් තමයි මේ වැඩේ කළේ.
* මම . . .
ඔවුන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් ද?
_ කමල් . . .
නෑ . . . මම හිතන්නේ ඔවුන් කලා ක්ෂේත්‍රයේ අය වෙන්න බෑ. ඒ අය වෙනම ස්පිරිතාලෙක ඉන්න ඕනෑ පිරිසක්. ඒත් ඔවුන් නිදැල්ලේ ඉඳගෙන මෙවැනි විකාර වැඩ කරනවා. නමුත් මොලේ තියෙන අයට තේරෙනවා හරි, වැරැද්ද මොකක් ද කියලා. මට දුක සමහර මාධ්‍යයත් මේවට අහුවුණ එක සහ අනුබල දුන්න එකයි.
* මම . . .
ඒත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියනවනේ . . .?
_ කමල් . . .
පොතේ එහෙම තිබුණට දුමක් නැතුවත් ගින්නක් ඇති වෙන්න පුළුවන්නේ. දැන් ලයිටර් එකක් පත්තුª කරලා බලන්න. දුමක් තියනවද . . . නෑ . . . හැබැයි ගින්දර තියෙනවා. මේකත් එහෙම දුමක් නොදාම ආපු ගින්දරක්. ඒකට මම මොනවා කරන්නද? කොටින්ම මම වරදක් කළා නම් ඒකට දඬුවම් ලැබෙන්න ඕනෑ නීතියෙන්නේ. ඒත් මේ වෙනතුරු කිසිම පොලීසියකින් අඩුම තරමේ මගේ කට උත්තරයක්වත් අරගෙන නෑ. ඉතින් නැති ප්‍රශ්නයක් පස්සේ මම එලවන්නේ මොකටද?
* මම . . .
එහෙනම් ඒක කමල්ට අටවපු උගුලක්?
_ කමල් . . .
උගුලක් නෙවේ, මර උගුලක්.
* මම . . .
උගුල අටවපු අයට මොනවද කියන්න තියෙන්නේ?
_ කමල් . . .
කොච්චර උත්සාහ කළත් රබර් බෝලයක් මුළු ජීවිත කාලය පුරාම වතුර යට ඔබාගෙන ඉන්න බෑ. කවුරු හරි එහෙම කරනවා නම් ජීවිත කාලෙම බෝලෙ අල්ලගෙන ඉන්න වෙයි. හැබැයි ඉතින් එයාලා මේ ඇල්ලුවේ වෙනින් බෝලයක්.
* මම . . .
මේ ප්‍රශ්නය නිසා ඔබේ පවුලේ සමීපතමයන්, හිතවතුන් පවා කනස්සල්ලට, අපහසුතාවයට පත්වුණා?
_ කමල් . . .
ඔවුන්ට යම් මානසක තැවුලක් වුණා තමයි. ඒත් ඒ අය දන්නවා මට එහෙම දෙයක් කරන්න ඕනෑ නෑ කියලා. එහෙම සල්ලි හොයන්න ඕනෑකම තිබුණා නම් මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ඒ කාලේම රඟපානවා. මගේ බිරිය අනුරානි, මව, සොයුරිය මේ හැමෝම දන්නවා මම නිදොස් බව. ඒ ඇති . . .
* මම . . .
කමල්, චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් නෑ?
_ කමල් . . .
අධ්‍යක්ෂණය පැත්තට නුදුරු දිනයකම පිවිසෙනවා. එතකොට මා ගැන මීට වඩා හොඳ හෙඩ් ලයින්ස් දාන්න වෙයි.
READ MORE - වතුර යට ඔබාගෙන ඉන්න බෑ - ඒක කමල්ට අටවපු උගුලක්?

මම ඇත්තටම සතුටින් ඉන්නේ


මම ඇත්තටම සතුටින් ඉන්නේ
2012 සැප්තැම්බර් මස 02 15:21:01 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
හදවතේ රිද්මය ඇය හොඳින් හඳුනන්නීය. සප්ත ස්වරයේ රටාව හදවතේ රිද්මයට මුසුකොට ළයාන්විතව ගයන්නීය. ශෘංගාරයද, පේ‍්‍රමාන්විත බවද ඒ හඬ වෙතින් ස්පර්ශ වන්නේය. ඇය නිරෝෂා විරාජිණිය බව වටහා දීමට ඒ සියල්ල වෙතින්  ඕ සමත් වන්නීය. මේ සියල්ල ගැයුමට පමණක් සීමා නොකළ ඇය, මේ දක්වා ගැයුමට ළබැඳිව උකහා ගත් පෙරාගත් සාරයෙහි අරුත තවත් පිරිසකට ලබාදීමට සමත්ව සිටින්නීය. පසුගිය ජනවාරි මාසයේ ඇරඹි ඒ හඬ පුහුණුවෙහි රිද්මය අභ්‍යාස ලෙස හැදෑරූ පිරිස සමඟ එක්ව මේ මොහොතේදී ඇය සූදානම් වන්නේ එහි අරුත සමාජයට ප‍්‍රකාශ කිරීමටය.

‘හදවතේ රිද්මය’ ගෙනෙන නිරෝෂා


බීට්ස් ඔෆ් හාර්ට්  (Beats of Heart) නම් වූ නිරෝෂා සතු හඬ පුහුණු ආයතනය ඉදිරිපත් කරන මේ කටයුත්තට සාපේක්‍ෂව අපි ඇය සමඟ පිළිසඳරකට එක්වෙමු.
නිරෝෂා ඔබ විසින් කටහඬ පුහුණු කිරීමේ ආයතනයක් පටන් ගත්තෙ මොන අරමුණකින්ද? මොන කාලයේදීද? කොහොමද එහි කටයුතු සිදුවන්නේ?
මේ රටේ රියැලිටි වැඩසටහන් පටන් ගත්ත දවසේ ඉඳලා යම් විදියකට මට නිරන්තරයෙන්ම වාගේ ඒවාට දායක වෙන්න ලැබුණා. ඒවාට දායක වූ කෙනෙක් ලෙස අපේ අලූත් පරම්පරාව වෙතින් මා දුටු බොහෝ දේ තිබුණා. ඔවුනට බොහෝදුරට හඬ පුහුණුව සඳහා ලැබී ඇති අවකාශය අල්පයි. එය අපේ රටේ සිදුවන්නෙ ඉතා අල්ප වශයෙන්. එක්කෝ විභාග සඳහා, නැත්නම් වෙනත් සරසවි මට්ටමින් හෝ ආයතන මට්ටමින්. ඒත් ප‍්‍රධානව ගායනය සඳහා කටහඬ පුහුණුව ලැබිය හැකි ආයතනයක් නැහැ. වෙනත් රටවල ලෝක පූජිත ශිල්පීන් ලෝක චරිත බවට පත්ව සිටින්නේ මෙවැනි හඬ පුහුණුව නිරන්තරයෙන්ම ලබන නිසයි.

ඇයි ගායනයට හඬ පුහුණුව වැදගත්?
කෙනෙකුට විවිධ ශෛලීන් හඳුනාගෙන වඩාත් නම්‍යශීලීව ගැයීමට නම් හඬ පුහුණුව අභ්‍යාස ලැබිය යුතුමයි. එහෙම නොවනවා නම්  ඕනෑම ශෛලියක ගී ගැයීමේ හැකියාව අසීරු වෙනවා. මේ මඟින් අපේ අරමුණ තනිකරම හඬ පුහුණුව ලබාදී එය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය රිද්මය ලබාදීමටයි. මේ නිසා තමන්ට ගායනය කිරීමේ පහසුව ලැබෙනවා. ඊට අමතරව ප‍්‍රාසාංගිකව වේදිකාවේ ගී ගැයීමේදී පෞරුෂය කියන දේ වැදගත් වෙනවා. මොකද අද බොහෝ විට සිද්ධ වෙන්නෙ ගීත අසනවාට වඩා ගීත බැලීම නොහොත් නැරඹීමයි.
මේ නිසා ප‍්‍රාසාංගික වේදිකාවේදී ගායනය කරනු ලබන විට පේ‍්‍රක්‍ෂකයා තමා කෙරෙහි ඇද බැඳ නතුකර තබා ගැනීමට ආකර්ශනයක් අත්‍යවශ්‍යයයි. ප‍්‍රාසාංගික බව රැුඳෙන්නෙ එවිටයි. අන්න ඒ ප‍්‍රාසාංගික බව උදෙසා පෞරුෂය මෙහෙයවීම වැදගත්. වේදිකාවේදී අපි හැසිරෙන්න කොහොමද කියන දේ ගැන. මෙකී සියල්ල ඒ ඒ අංශ වලට නිපුණ ප‍්‍රවීණයින් ලවා මහාචාර්ය සුනිල් ආරියරත්න, කිෂු ගෝමස්, රෝසි සේනානායක වැනි ප‍්‍රවීණ චරිතවල ගුරු හරුකම් යටතේ ලබා දීම සිදු වෙනවා.

මේ ප‍්‍රසංගය කුමක්ද?
මගේ ප‍්‍රමුඛත්වයෙන් බිහිකළ ‘‘බීට්ස් ඔෆ් හාට්’’ ආයතනය සිසු සිසුවියන් එලෙසින් අභ්‍යාස ලබා හැකියාවන් පෙන්නුම් කරන ප‍්‍රාසාංගික මොහොත හැටියට එය හඳුන්වන්න පුළුවනි. එය පැවැත්වෙන්නෙ මෙම 2 වැනිදා (අද) බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී සවස 6.00 ට මේ ළමුන්ගේ දක්‍ෂතා ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම හරිම අපූරුවට සිදුවේවි. ඉන්පසු ඔවුනට සහතිකපත් බෙදාදෙන මේ මොහොත සඳහා අපි විවිධ ක්‍ෂේත‍්‍ර වලට අයත් විශාල පිරිසකට ඇරයුම් කර තිබෙනවා.

මේ සියල්ල අතරේ ගෙවෙන ඔබගේ ජීවිතය මොන වගේද?
සත්තකින්ම හරිම කාර්ය බහුල කාලයක්. මට මං වෙනුවෙන් වඩා මම ආසාවෙන් හිතාගෙන හිටපු දෙයක් මේ. ඒ නිසා ඒකට වැඩිපුර කාලය යොමු කරවන අතරේ දේශීය විදේශීය ප‍්‍රසංග වලට සහභාගී වෙමින් කාලය ගෙවනවා. ඊට අමතරව එදා සිට කළ සමාජ සත්කාර නවතා නැහැ. පිළිකාවට ගොදුරු වී ඇති ළමුන් බේරා ගැනීමේ මෙහෙවරේ සහායිකාවක ලෙසද, ශූර ගොවියා පළාත් නියෝජිතවරියක කටයුතු කරනවා. මේ සියල්ල නිසා ජීවිතය ගෙවන්නේ හරිම සතුටින්.

ගෙවී ගිය ජීවිතයේ සිදුවූ සියල්ලට සාපේක්‍ෂව දුක්වූ සතුටු වූ අවස්ථා තියෙනවද?
හැමෝගෙම ජීවිත වලට සතුට එනවා. ඒ වගේම දුකත් එනවා. එය ස්වාභාවිකයි. ඒ සියල්ල අපට අහක් කරන්න බැහැ. ඒ සියල්ල අතරේ මොන දේ හෝ වේවා ජීවිතය දිහා සුබවාදීව සහ යහපත් දැක්මක් ඇතිව බලන්න පුළුවනි නම්? හිතන්න පුළුවන් නම්? යහපත් ජීවිතය කියන්නෙ එයටයි. අනෙක ජීවිතේ කියන්නෙ හරි කෙළින් ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නොවෙයි. වෙනස් වීමට නිරන්තරයෙන් ලක් වෙනවා. ඒ සියල්ල හොඳට ගෙන උපේක්‍ෂාවෙන් බැලීම තමයි හොඳම දේ.

නිරෝෂා මේ ගෙවී ගිය කාලයේදී ඔබ ගීතයෙන් කළ කී දේ ශ‍්‍රාවකයින්ට හදවතට දැණුනා කියලා හිතනවාද?
සත්තකින්ම ඔව්. මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. එදා ඉඳලා අද දක්වා මට ලැබෙන ප‍්‍රතිචාර සහ ගායනය සඳහා ලැබෙන ආරාධනා අනුව මට එය කියන්න පුළුවනි. ඔව්. සහතිකයි. මම හදවතට දැනෙන්න ගායනා කළා. ඒ නිසාම මම සමාජයේ ආදරයට නිරන්තරයෙන් යොමු වු බව කියන්න පුළුවනි.

ඒ විදියට ඔබ ගැයූ ගීත අතරින් ඔබගේ හදවතට ස්පර්ශ වූ ගීතය ගැනත් සඳහනක් කළොත්? ඇයි ඒ ගීතය සමීප කියලත් කිව්වොත්?
මා ගැයූ ගී සියල්ලටම යම් යම් විදියට ආදරෙයි. කැමතියි. ඒ අතරින් ජීවිතයේ හැබෑවට සමීපව ආදරයට සමීපව ‘‘සිනාතොටක් විය’’ ගීතයටත් පුන්සඳ රෑට ගීතයටත් වඩාත් ඇල්මක් දක්වනවා. යම් කිසි දුරකට ජීවිතයේ අත්දැකීම් මුසුවූ නිසා ඒ ගීත හදවතේ රිද්මයෙන්ම ගැයෙන්න ඇති.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 අදහස්(16)  බැලූවෝ (8130)
READ MORE - මම ඇත්තටම සතුටින් ඉන්නේ

කලුමාලි


කලුමාලි - සුරංගනා කතාවක් ගැන වැඩිහිටි නළු-නිළි දෙනෙතින්
2012 සැප්තැම්බර් මස 03 11:20:15 | . , රුවන්ති ද චිකේරා
නොයෙක් බාධක ජයගන්නා වීරයන් සහ වීරවරියන් සුරංගනා කතා වලදී අපට හැම විටම හමු වෙනවා. නපුර පරාජය කර යහපත හා සත්‍යය ජයගන්නා මේ බොහෝ කතා අවසානයේදී හෝ කතා නායකයින්ගේ ගමනාන්තයෙදී ඔවුන් ඔවුන්වම සොයා ගැනීමත් මේ කතා වල වැදගත් අංගයක්. යතාර්ථයෙන් දුරස්ව වුවද ජීවිතය පිලිබඳ සියුම් විදසුන් කියා දෙන්නට මේ සුරංගනා කතා වලට පුළුවන්.
රුවන්ති ද චිකේරා අධ්‍යක්ෂණය කරන ‘කලුමාලි - වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ නූතන සමාජය තුළ දෙමව්පියන්ගේ භූමිකාව ආලෝකමත් කරනවා. මෙයට සම්බන්ධ වන නළු-නිළි කැළ රංග කලාවේ ප්‍රවීණයන් - ප්‍රේක්ෂක ගෞරවයට අනේකවත් බඳුන් වන අයිරාංගනී සේරසිංහ, පීටර් ද අල්මේදා, කෞශල්‍යා ප්‍රනාන්දු සමග නදී කම්මැල්ලවීර, ලක්මිණි සෙනෙවිරත්න, ගිහාන් ද චිකේරා සහ ධනුෂ්ක ඩයස් ද මේ රංගය හා සම්බන්ධ වෙනවා. ආලෝකකරණයෙන් ජෙරෝම් එල්. ද සිල්වා ද මේ හා එක් වෙනවා.

පීටර් ද අල්මේදා


කලකට පසු වේදිකාවට නැවත පැමිණෙන පීටර් ද අල්මේදා පවසන්නේ රංගයේ ක්‍රියාශීලී, නිතරම අලුත් වන රංග වින්‍යාසය චරිත නිරූපණයට අවශ්‍ය නව පණ ලබා දෙන බවයි. තමා අවට ඇති බොහෝ දේ එසේම විය යුතු යයි නිතරම සිතන කතාවේ සැමියා හෙවත් කලණ තුලින් පීටර් දකිනවා. පීටර්ට අනුව “ඒක කාලය තරම්ම පරණයි. පිරිමි මනස සැදී තියෙන්නේ එහෙමයි.”

ලක්මිණි සෙනෙවිරත්න


ලක්මිණි සෙනෙවිරත්න වේදිකාවට අවතීර්ණ වුනේ අවුරුදු 15 කට පෙර වුවත් මේ ඇය ඉංග්‍රීසි වේදිකාවට පය තබනා පළමු වාරයයි. අළුත් භාෂා මාධ්‍යකින් මෙන්ම අයිරාංගනී සේරසිංහයන්, පීටර් ද අල්මේදා, කෞශල්‍යා ප්‍රනාන්දු සහ නදී කම්මැල්ලවීර වැනි ප්‍රවීණයන් සමග රඟ පෑමද ඇයට සුවිශේෂී අත්දැකීමක්. “රුවන්තිට නාට්‍ය පිලිබඳ පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ නිසා දෙබස් නිර්මාණයේදී ඇය අපිවත් සම්බන්ධ කර ගන්නවා. රංග ශිල්පිනියක් ලෙස මම එයට ගරු කරනවා.” ලක්මිණි පණ පොවන්නේ දිල් ගේ චරිතයටයි.

නදී කම්මැල්ලවීර


දිල් ගේ චරිතයට ම පණ පොවන නදී මේ නාට්‍යයෙන් ප්‍රකාශිත දැක්ම තදින් විශ්වාස කරනවා. දැනට පවතින අධ්‍යාපන, මාධ්‍ය හා සමාජ සංස්ථා විසින් දෙමව්පියන් හා දරුවන් මත පටවන විශාල පීඩනය පිලිබඳ විවිධ මත නිරූපිත කතිකාවක් අවශ්‍ය බවයි ඇගේ හැඟීම.

කෞශල්‍යා ප්‍රනාන්දු


ගෙදර ආච්චි ගේ චරිතය රඟන කෞශල්‍යා අගයන්නේ නාට්‍යය පිටුපස ඇති රචනා ක්‍රියාවලියයි. සමාජය පිළිගැනීමට මැලි වන සමහර සත්‍යයන් ප්‍රකාශ කිරීමට මේ ක්‍රියාවලිය ඉඩ සැලසුවා. “ඒ වගේ අභියෝගාත්මක රචනාවලියක් ක්‍රියාශීලී ප්‍රකාශන මාධ්‍යක් වන නාට්‍යක් බවට පරිවර්තනය කිරීම හරිම සුවිශේෂී අත්දැකීමක්.”

අයිරාංගනී සේරසිංහ


මේ නාට්‍යයේ තවත් එක් සැමරුමක් නම් කලකට පසු අයිරාංගනී සේරසිංහයන් නැවත වේදිකාවට කැඳවීමයි. මවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස සම්ප්‍රදායෙන් බැහැරව අත්දැකීම් බහුල පරිපූර්ණ ජීවිතයක් ගත කර ඒ දෙස නැවත හැරී බලන ෆිල්ම් ආච්චා ගේ චරිතයට ඇය පණ පොවයි.
ස්ටේජස් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන ‘කලුමාලි: වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ සැප්තැම්බර් 13 වැනිදා සිට 16 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත වීමට නියමිතයි. සිංහල දර්ශන වාරයන් 14වන සිකුරාදා සහ 15වන සෙනසුරාදා ප.ව. 7.15ට. ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 1වැනිදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ලබා ගත හැක.
සහයෝගය- සුනේත්‍රා බණ්ඩාරනායක භාරය,
සම අනුග්‍රහය - පොන්ඩ්ස්, ඩව් හා ජෝන් කීල්ස් සමාගම,
මාධ්‍ය අනුග්‍රහය- විජය ප්‍රකාෂන, සංගීතය හේලියන්


READ MORE - කලුමාලි