----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අද තියෙන්නෙ ඉතිහාසය විකුනගෙන කන තක්‌කඩින්ගේ සිනමාවක්‌

Friday, April 18, 2014


ප්‍රසන්න විතානගේ ලාංකීය රසික ජනයාට අලුතින් හඳුන්වා දිය යුත්තෙක්‌ නොවේ. පුත්‍ර සමාගම, ද්විත්ව, අවි යන නාට්‍යවල අධ්‍යක්‍ෂවරයා මෙන්ම සිසිල ගිනි ගනී, ඉර මැදියම,පුරහඳ කළුවර,පවුරු වළලු, ආකාශ කුසුම් වැනි ප්‍රබුද්ධ චිත්‍රපටවල නිර්මාපකයා ද ඔහුය.එම නිර්මාණ වෙනුවෙන් දේශීය හා විදේශීය වශයෙන් සම්මානයෙන් පිදුම් ලද ප්‍රසන්න ලාංකීය සිනමාවට නව මුහුණුවරක්‌ හඳුන්වා දෙන්නට උත්සුක වූ අධ්‍යක්‍ෂවරුන් අතර කැපී පෙනෙන සිනමාකරුවෙකි.


කලාකරුවකු වීමට ඔබට පසුබිම සකස්‌ වුණු අතීතයට එබී බලන්න අපි කැමැතියි.

මම පවුලේ එකම දරුවාග ඒ නිසා කුඩා කල සිටම මම හැදුණේ තනිවම.මට සෙල්ලම් කරන්න කවුරුවත් හිටියෙ නෑ. මගේ මේ හුදෙකලාව මකන්න මගේ මවුපිය දෙදෙනා මට නිතර ළමා පොත් ගෙනැත් දුන්නා. මා ගෙදරින් පිටතට ඇදී යනවා වෙනුවට ගෙතුළ සිට කියවන ළමයෙකු බවට පත්වුණා.

ටිකක්‌ වැඩිවියට පත්වෙද්දී ඩබ්. ඒ. සිල්වාගේ නවකතාවලින් මා ආශ්වාදය ලැබුවා. නමුත් මගේ මනස පරිණත කරනු ලැබුවේ මාර්ටින් වික්‍රමසිංහ. ළමා වියේ සිටම මා සිත විශ්මයට පත්කළ වචනයක්‌ තමයි කර්තෘ කියන වචනය. පොතක කර්තෘ කියන තැනැත්තා අති විශාල මිනිසකු ලෙස මට දැනෙන්න පටන් ගත්තා. ඔහු මහා මෙහෙයුම්කරුවකු ලෙස මට හැඟී ගියා. පසු කලෙක මා පොත් කර්තෘ කෙනකු නොවූවත් වෙනත් මාධ්‍යයන් ඔස්‌සේ"කර්තෘ" කෙනකු වීමට පොතක කර්තෘ යන යෙදුම මට විශාල බලපෑමක්‌ කළා යෑයි කියන්න පුළුවන්.

ඒ එක්‌කම මට බලපෑ අනිත් පුද්ගලයා මගේ පියා.ඔහු හොඳ සිනමා රසිකයෙක්‌. සාමාන්‍යයෙන් සති අන්තයේ එන අලුත් සිංහල චිත්‍රපටය බලන්න ඔහු මාව නොවරදවාම එක්‌කගෙන ගියා.ඒ වගේම කුඩා කාලයේදීම මට ,මනමේ, බලන්න ලැබුණාග ඒකත් ලොකු ආශ්වාදයක්‌ සැපයුවා.ඒ කාලෙ බලාපු චිත්‍රපට අතරින් මගේ මනස වෙනස්‌ කළේ 'අහස්‌ ගව්ව'. ඒ කාලෙ අපි විජය කුමාරතුංගට ආස කළා. නමුත් අහස්‌ ගව්වෙ විජය කුමාරතුංග වෙනස්‌ කෙනෙක්‌ග සිනමාවේ වෙනස්‌ දිශානතියක්‌ අහස්‌ ගව්ව අපට පෙන්නුම් කළා.

නමුත් ඔබ ජීවිතය ආරම්භ කරන්නේ නාට්‍යකරුවෙක්‌ විදියට

මට 1981 දී ජයලත් මනෝරත්න හමුවෙනවා. මම ගියේ ඔහුගේ කෙටි කතාවකින් කෙටි චිත්‍රපටයක්‌ හදන්න.ඒ මිත්‍රත්වය තමයි මගේ නාට්‍ය ජීවිතයේ ආරම්භය. මනෝ මට කිව්ව හොඳ පරිවර්තන පිටපතක්‌ කරල දෙන්න කියල. ඒ අනුව මම පරිවර්තනයක්‌ කරනවා'පුත්‍ර සමාගම'නමින්. මනෝ වේදිකාගත කළේ ඒ නාට්‍යය.

මට මේ ක්‌ෂේත්‍රයට පිවිසෙන්න ඒ විදියට අත දිගු කළ මිනිසුන් අතරේ මගේ ජීවිතයට බෙහෙවින් බලපෑ පුද්ගලයකු කියවන්න ලැබුණා. ඒ තමයි ස්‌ටැනිස්‌ලවුස්‌කි. ඔහු නළු නිළියන්ගේ රංගනයල නාට්‍යයක්‌ ඉදිරිපත් කිරීමේ විලාසය ගැන අලුත්ම අදහස්‌ ඉදිරිපත් කළ කෙනෙක්‌.ඇත්තටම මම හිතනවා,නළු නිළියන්, අධ්‍යක්‍ෂවරුන් ස්‌ටැනිස්‌ ලොව්ස්‌කි කියෑවිය යුතුයි කියලා. මගේම පරිවර්තනයක්‌ ලෙස මගේ නිෂ්පාදනයක්‌ ලෙසට'අවි'නාට්‍යය එන්නේ ඒ අතරෙයි. හැබැයි අමතක කළ නොහැකියි  ටෝනි රණසිංහ. ඔහු ළඟ තිබුණු පොතපත, ඔහු මට නොමසුරුව දුන්නා. ඒ අනුව මා දැනුවත් කළ එක සාධකයක්‌ ටෝනි.

නමුත් ඔබ ඉක්‌මනින් සිනමාවට මාරු වෙනවාග සුගතපාල ද සිල්වා වැනි බොහෝ නාට්‍යකරුවෝ නාට්‍ය කලාවේම රැඳී සිටියා මිස සිනමාවට ගියේ නැහැ.

ඔවුන් නාට්‍ය රචකයෝ. මම නාට්‍ය රචකයෙක්‌ නෙමෙයි. මගේ ළමා වියේ සිහිනය තමයි හැම විටම ඉස්‌මතු වුණේ. රූපවලින් කතාන්දරයක්‌ කීමේ ආශාව මා තුළ තිබුණා. කොටින්ම කීවොත් කර්තෘ කෙනෙක්‌ වීමේ නොහොත්'සිනමා කර්තෘ' කෙනෙක්‌ වීමේ ආශාව මා තුළ තිබුණා. ඊරියගොල්ල පරිවර්තනය කළ මනුතාපය, ඇලෙක්‌සැන්ඩර් ඩූමාගේ කළු දල මල වගේ පොත් මා තුළ කතා රසය දල්වා තිබුණා. සිනමාකරුවෙක්‌ වීම පිටුපස කියෑවීම ඉතා වැදගත් වූ බවයි, මා කියන්න උත්සාහ කරන්නෙ.

රූපාවලියකින් කතාවක්‌ කියාගෙන යැම තමයි සිනමාව කියන්නෙ. නමුත් සිනමාත්මක භාෂාවක්‌ තිබේය කියන එකයි විද්වත් මතය  ඔබේ විග්‍රහය කුමක්‌ද?

අඳුරු ශාලාවක අප දකින්නෙ තිරය මත රූපාවලියක්‌. ඒ රූපවලින් අපි රසයක්‌ ලබනවා. නමුත් සිනමාව කියන්නෙ රූපවලින් එහා යමක්‌ ලබාදීම. ඒ සඳහා මිනිස්‌ ජීවිතය ප්‍රති නිර්මාණය විය යුතුයි. ජීවිතය ගැන මටත් දෙයක්‌ කියන්න තියෙනව. එය කළ යුත්තේ රූපාවලියේ ඝට්‌ටනය වීමට සැලැස්‌වීමෙනුයි.නමුත් ඒකෙ මෙහෙම දෙයක්‌ තියෙනව. කෙනෙක්‌ චක්‍රයක්‌ කරකවනවා. ඊට පස්‌සෙ තව කෙනෙක්‌ චක්‍රයක්‌ කරකවනවා. මමත් චක්‍රයක්‌ කැරකෙව්වා. හැබැයි අපි හැමෝම චක්‍රය කරකවන්නෙ කලින් තැනැත්තා කරකවපු විදිය බලාගෙනයි. නමුත් කරකවන විදියේ වෙනස මත තමයි, අපූර්වත්වය රැඳිල තියෙන්නෙ. චිත්‍රපටයත් එහෙම තමයිග පුත්තු පියවරුන්ට ආදරෙයි. ගරු කරනවා. නමුත් පුතා තාත්තට වඩා වෙනස්‌ යමක්‌ කරන්න හදනවා.මම උත්සාහ කළෙත් පෙර අධ්‍යක්‍ෂවරුන්ට ගරුසරු දක්‌වමින් ඔවුන් නොකියූ මා තුළ තිබෙන දෙයක්‌ කීමටයි.

ඔබ ඇසූ ප්‍රශ්නයට මම එන්නම්. සිනමාවේ රසයක්‌ තිබෙනවා. සෑම කලා කෘතියකින්ම පළමුව රසය ජනනය කළ යුතුයි. සිනමාවේ රසය ජනනය වෙන්නෙ රූපයක්‌ තවත් රූපයක්‌ සමග ගැටීමෙන්. සංගීතයේ දී ස්‌වරයක්‌ තවත් ස්‌වරයක්‌ සමග ගැටීමෙන් තමයි  මිහිරි නාදයක්‌ හැදෙන්නෙ.මෙය වඩාත් පැහැදිලි කරන්න අකිරා කුරොසූසාවා වරක්‌ පැවසු කතාවක්‌ කියන්නම්.

විද්වතෙක්‌ කුරොසාවාගෙන් අහනවා, සිනමාව කියන්නෙ කුමක්‌ද කියල. එවිට කුරොසාවා කියනවා මගේ මුණුබුරෙකු ලියපු වාක්‍ය රචනාවක්‌ තියෙනවා. ඒක කියවන්න අවසර දෙන්න කියල.,"මගේ බල්ලාගේ නම ජිෆ්රි. මගේ බල්ලා වෙලාවකට මුවෙක්‌ වගේ අහිංසකයි. සමහර වෙලාවට නරියෙක්‌ වගේ කපටියි. වෙලාවකට හොර පූසෙකු වගෙයි. මේ විදියට මුණුබුරා සතුන් ගණනාවකට බල්ලා සමාන කරනවා. නමුත් මුණුබුරා රචනාව අවසන් කරන්නේ මගේ බල්ලා සමාන වන්නේ බල්ලෙකුටම පමණි'

සිනමාව තව එකකට ආදේශ කරන්න බැහැ.සිනමාව කියන්නෙ කතාන්දරයක්‌ රූපවලට දැමීම නෙමෙයි. රූපවලින් කතන්දරයක්‌ කීමයි සිනමාව කියන්නෙ. සිනමාවේ වේගය රූපයක්‌ තවත් රූපයක්‌ සමග ගැටෙන්නට සැලැස්‌වීම යෑයි අප කිව්වනෙ.ඒ ගැටුම තුළින් තමයි, අප තුළ තියුණු සංවේදනා පහළ වෙන්නෙ. සත්‍යජිත් රායි වැනි සිනමාවේදීන්ට හැකියාව තිබුණ, රූපවලින් අතිශය සංවේදී ලාලසාවක්‌ මතු කරන්න. ඒ දෙය කළේ දෙබස්‌වලින් නෙමෙයි. රූපවලින්.

නමුත් චෙක්‌, පෝලන්ත වැනි සිනමාකරුවන් භාවිත කරන්නෙ රායිට වඩා වෙනස්‌ ආඛ්‍යානයක්‌. මේ කොයි විදිහෙනුත් හොඳ සිනමාකරුවන් බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය ජීවිතය විමර්ශනය කිරීමයි. රායිගේ ලාලස සිනමා රිද්මය තුළිනුත් කළේ මනුෂ්‍ය ජීවිතය විවරණය කිරීමයි. නමුත් අපේ රටේ බොහෝ විට දක්‌නට ලැබුණේ කතාන්දයකට රූප දමා තිබීමයි.

අපේ තරුණ සිනමාකරුවන් ඇතැම් දෙනාගේ චිත්‍රපට විදේශ සිනමා උළෙල වලදී සම්මානයට පාත්‍ර වන මුත් ඒවා අපේ රට අවමානයට පත් කෙරෙන චිත්‍රපට විදියටයි හංවඩු ගැහෙන්නෙ. මෙහි සැබෑ අර්ථය ඔබ දකින්නේ කොහොමද?

එහෙම එදිරිවාදී ප්‍රකාශ කරන්නෙ බොහෝ විට දේශපාලනඥයො. මම විදේශීය සිනමා උළෙලවලින් සම්මාන ලබා තිබෙනව වගේම විදේශීය සිනමා ජූරි සභාවල විනිශ්චය මණ්‌ඩලවල හිඳගත් කෙනෙක්‌.සිනමා උළෙලක විනිශ්චයේ දී සලකා බලන්නෙ ඒ කෘතිය කොතෙක්‌ දුරට සිනමාත්මකද කියන කාරණාව පමණයි. ඒ කෘතිය අපේ ප්‍රඥව අවදි කිරීමට කෙතෙක්‌ දුරට සමත් වී තිබෙනවාද කියන කාරණාව තමයි, විනිශ්චයේ දී මූලික වන්නෙ.

මේ රට අවමානයට පත් කරන්නෙ මේ රටේ දේශපාලනඥයො මිසක්‌ සිනමාකරුවො නෙමෙයි. හොර තක්‌කඩිකම් කරන, නීතිය අවනීතිය බවට හරවන, දූෂණයේ යෙදෙන දේශපාලනඥයො තමයි, රට අවමානයට පත් කරන්නෙ. සිංහල,දෙමළ, මුස්‌ලිම් හැමෝටම මේ රටේ ජීවත් වීමේ මූලික අයිතියක්‌ තියෙනව. සෑම ජන වර්ගයකටම ඒ අයිතිවාසිකම අහිමි වෙනවා නම් එය හෙළිදරව් කිරීම රට අවමානයට පත් කිරීමක්‌ ලෙස කෙනෙක්‌ සලකන්න පුළුවන්. නමුත් රට කියන්නෙ දේශපාලනඥයෝ හෝ රට කරවන පාලකයා නෙමෙයි.

අමතක කරන්න එපා සත්‍යජිත් රායිටත් මේ චෝදනා එල්ල වුණා. ඒ චෝදනාව කළේ ඉන්දියාවෙ රාජ්‍ය සභාවෙ මන්ත්‍රීවරයෙක්‌. දේශපාලනඥයෙක්‌.ඔහු කීවා රායි කරන්නෙ ඉන්දියාවෙ දුප්පත්කම විකුණන් කන එක කියල. නමුත් රායිගෙ චිත්‍රපටවලින් අපට පෙනෙන්නෙ ඉන්දියානුවො දුප්පත්කමත් එක්‌ක කරන අරගලයයි.

උදාහරණයක්‌ විදියට මගේ'පුරහඳ කළුවර'ගනිමු. රට අවමානයට පත් කිරීමේ චෝදනාව ඒකටත් එල්ල වුණා. මගේ අභිප්‍රාය වුණේ මිනිසකුගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ උත්සාහයක යෙදෙන මිනිසෙකුගේ කතාව කියා පෑමයි. ඒ මිස රට අවමානයට ලක්‌කිරීම නෙමෙයි.

නමුත් ඒ චිත්‍රපටවලින් බොහෝ විට කියෑවුණේ සිංහල සොල්දාදුවන් දමිළ තරුණියන් දූෂණය කිරීම. සිවිල් ආරක්‍ෂකයන් තරුණියන් දූෂණය කිරීම වැනි දේවල්ග රටක ජන ජීවිතය, මනුෂ්‍ය ජීවිතය නිරූපණය කිරීමට වෙනත් ප්‍රස්‌තුත ඇත්තේම නැද්ද?

යුද්ධය කියන්නෙ මනුෂ්‍ය ජීවිත විනාශ කරන්නක්‌ වාගේම මිනිසුන්ගේ හෘදය සාක්‍ෂිය තුවාල කිරීමක්‌. මගේ 'ඉර මැදියම 'චිත්‍රපටයට විෂය වුණේ එල්.ටී.ටී.ඊ. ය විසින් පැය 24 ක්‌ ඇතුළත මුස්‌ලිම් මිනිසුන්ට සිය ගම් අත්හැර යන්නට නියෝග දීමේ තේමාව. එය ජාතියක්‌ වශයෙන් තෝරාගෙන ජාතියක්‌ ශුද්ධ කිරීමක්‌.අපි අද ලෝක සිනමාව හා සමාන්තර තත්ත්වයක ඉන්නව. ආසියානු සිනමාවෙ අපි වර්ධනීය තැනක ඉන්නව. පස්‌වැනි පරම්පරාවෙ සිනමා අධ්‍යක්‍ෂවරුන් විදියට අපි හොඳ ස්‌ථානයක්‌ ලැබ සිටිනවා.

මෙයින් අදහස්‌ වන්නේ කුමක්‌ද? චිත්‍රපටයක්‌ හෝ වෙන මොනයම් හෝ කලා කෘතියක අගය රැඳී පවතින්නෙ සම්මාන මත නෙමෙයි. කාලය මතයිග අදටත් කව් සිළුමිණ පවතින්නාක්‌ වාගේම නිධානයත් පවතිනව.සත්‍යය විනිවිද දැකීමට තිබෙන සමත්කම මතයි. කලාකරුවාගේ අගය තක්‌සේරු වන්නෙ. එහෙම නැතුව ඔහු ලබන සම්මාන මත නෙමෙයි.

ඉතිහාස කතා පුවත් කියන සිනමා රැල්ලක්‌ දැන් බිහිවෙමින් පවතිනවාග අපේ රටේ ඉතිහාසයල සංස්‌කෘතිය කියාපෑම වරදකැයි කිව හැකිද?

දිය හැකි කෙටිම පිළිතුර මෙය තක්‌කඩි ව්‍යාපාරයක්‌ බවයි. මේ කරන්නේ සිනමාව නෙමෙයි. මේ චිත්‍රපටවලින් කෙරෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මය යථාර්ථවත් ලෙස දැක්‌වීමක්‌ හෝ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්‌ නෙමෙයි. මේක තනිකර යෑපුම් මාර්ගයක්‌. ඉතිහාසයේ මුවාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ අනුමැතියත් මේ චිත්‍රපටකාරයො ලබා ගන්නව. රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනව. නමුත් මගේ විශ්වාසය නම් මේ ඉතිහාසය චිත්‍රපට ධාරාව වැඩි කලක්‌ යන්නට මත්තෙන් ජනතාව ප්‍රතික්‌ෂේප කරනව. ඒක වැඩි ඈතකට යන්නෙ නෑ. මේ කෙරෙන්නෙ ඉතිහාසය හෝ පුරාවෘත ඇසුරින් සිනමාත්මක කෘති නිර්මාණයක්‌ නෙමෙයි. පසුගිය කාලෙ සිනමා ශාලාවලට ප්‍රේක්‌ෂකයන්ගේ හිඟයක්‌ ඇතිවුණා. ඒ අඩුව පුරව ගන්න කරපු තක්‌කඩි ව්‍යාපාරයක්‌ මිස අන් කිසිදු යහපත් පරමාර්ථයක්‌ ඔවුන් තුළ නැහැ. ඉස්‌සර චිත්‍රපටවලට තිබුණේ රජයේ ප්‍රමිතිය. දැන් තියෙන්නෙ දේශපාලන ප්‍රමිතිය. මේ ඉතිහාස කතා දේශපාලන ප්‍රමිතියට අනුකූලයි. ඒ නිසා තක්‌කඩි ඉතිහාසකාරයෝ මේ අවස්‌ථාවෙන් උපරිම පල නෙළා ගන්නවා.

කලාව යන්නට ඔබ දෙන අර්ථකථනය කුමක්‌ද?

පළමුව ආශ්වාදය. ආශ්වාදය කලා කෘතියකින් ජනනය විය යුතුම දෙයක්‌. හැබැයි ඒ ආශ්වාදය හරහා ජීවිතය දෙස ආපසු හැරී බැලීමට පෙළඹවීමක්‌ තිබිය යුතුයි. තවත් වචනයකින් කිවහොත් ජීවිතය නැවත කියෑවීමට කැඩපතක්‌ ඇල්ලීමක්‌ විය යුතුයි. කලාකරුවෙක්‌ කියන වචනය හැමෝටම ගැලපෙන්නෙ නෑ. ඔහුට තමන් අභිබවා ගිහින් තමන්ට අනන්‍ය වූ යමක්‌ කියන්න හැකියාව තිබේ නම් පමණයි, ඔහු කලාකරුවෙක්‌ වෙන්නෙ. ඒ තාක්‌ දුර යා නොහැක්‌කා ශිල්පියෙක්‌ පමණයි.ෆයිට්, සින්දු, නැටුම් ,ජෝක්‌ස්‌වලින් සිනමාව දිව් කාලයක්‌ තිබුණෙ. නමුත් හින්දි සහ දෙමළ සිනමාව මේ රැල්ල ඉතා දියුණු ලෙස භාවිත කරනු දුටු අපේ රටේ ප්‍රේක්‍ෂකයාගෙන් ෆයිට්, නැටුම් ,සින්දු සිනමාවේ රසය ගිලිහී ගියා. ඒ වෙනුවට තමයි"මම රජෙක්‌ නෙමෙයි ගමේ කොල්ලෙක්‌"කියන තේමා රැල්ලක්‌ ආවෙ. නමුත් රැල්ලට චිත්‍රපට හැදීම කලාව නෙමෙයි. හොඳ කලාකරුවා රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනන්නෙක්‌.

නැවත ප්‍රේක්‍ෂකයන්ට ඔබ මුණ ගැසෙන්නේ කවදද?

මම ගොගොල්ගේ කෙටිකතාවක්‌ ඇසුරින්'ඔබ නැතිව ඔබ එක්‌ක'කියල චිත්‍රපටයක්‌ කළා. ඒක කළේ ඩිජිටල් තාක්‍ෂණය ඔස්‌සේ. නමුත් ලංකාවෙ සිනමාහල් තවම ඩිජිටල් තාක්‍ෂණයට අනුගතවෙලා නැහැ. ඒ නිසා'ඔබ නැතුව ඔබ එක්‌ක'තව කාලයක්‌ ප්‍රමාද වේවි.

සාකච්ඡා කළේ -
චන්ද්‍රසිරි දොඩන්ගොඩ

http://mirrorarts.lk/

0 comments:

Post a Comment