----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘හිරු තනිවෙලා’

Saturday, November 16, 2013

රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැහැ

 - රොහානි වීරසිංහ
රොහානි වීරසිංහ, අපේ රටේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්.
මේ දිනවල හිරු ටී.වී. හි ‘හිරු තනිවෙලා’ මෙගා ටෙලිනාට්‍යයේ මාලනීගේ චරිතය හරහා අතීතය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ඈ, පසුගියදාක ‘රසඳුන’ ට ගොඩවැදුණා.
මේ ඇගේ රංගන ජීවිතය පිළිබඳ කෙරුණු සුහද කතා බහක්.
ඉතින් රොහානි මොනවද අලුත් තොරතුරු...
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මකුළු දැල්’ ප්‍රාසාංගික නාට්‍යයේ වගේ ම, මේ දිනවල විකාශය වන හිරු තනිවෙලා, මෙගා නාට්‍යයේ රඟපාන නිසා තරමක් වැඩ වැඩියි. ඒක කොටස් 400 ක ටෙලිනාට්‍යයක්. මේ වනවිට කොටස් එකසිය ගණනක් විකාශය වී හමාරයි.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවයි, මේ ටෙලියට පාදක වී තිබෙන්නේ.
නවකතාව කියැවූ පාඨකයන් විශේෂයෙන් මේ නාට්‍යයට ප්‍රතිචාර දක්වනවා. මං රඟන මාලිනිගේ චරිතය, තරමක් සැරපරුෂ එකක්. නමුත් මට ලැබෙන සුපුරුදු විදියේ ම චරිතයක් නිසා අමාරුවක් නැතිව කරගෙන යනවා.
ඒත් ඔබ බොහෝම බයාදු, පරාජිත ඕනෑවටත් වඩා නිවුණු ගති ඇති බිරිය‍කගේ චරිතයකුත් කළ වග මතකයි...
ඔව්. ඒ, බොහොම කලකට ඉහත ‘දිය සෙවණැලි’ නාට්‍යයේ මන්දිරාගේ චරිතය. පාලිත සිල්වා සහ සසන්ති ජයසේකර මෙහි මා සමඟ රඟපෑවා. ඔවුන්ගේ අනියම් ප්‍රේමය ඉදිරියේ මං බොහොම අසරණ වූ බිරියක්. දරුවන් අහිමි බිරියක් විදියට ඔවුන්ගේ මේ නොමනා හැසිරීම්... ඒ හා බැඳුණු හැල හැප්පිලි දරාගන්න මට සිදුවුණා. මං කෙරෙහි ප්‍රේක්ෂකයන් තුළ එදා ඇති වූ අනුකම්පාව, ඔවුන් දැක්වූ ප්‍රතිචාර අදටත් පුදුමයි. හුඟ දෙනෙක් ඒ මන්දිරා ගැන තවම කතා කරනවා. සමහර විට ඒ සත්‍ය කතාවක් ඇසුරින් කළ නිර්මාණයක් නිසා ඇති වූ සංවේදි බව නිසා වෙන්න ඇති.
මම ම නිෂ්පාදනය කළ ‘චක්‍රාංගි’ නාට්‍යයේ ‘කසුනි’ ත් එහෙම චරිතයක්. ඒ කාලේ මං ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධ වුණේ නිෂ්පාදිකාවක් විදියට‍. නමුත් ඒ නිවුණු චරිත රඟපාමින් සිටි මගේ පරිවර්තනය සිදුවුණේ ‘කිඳුරංගනා’ ටෙලිනාට්‍ය‍යත් එක්ක.‍ ඒ කාලේ විකාශය වූ ‘ප්‍රවීණා’ - ‘මහ ගෙදර’ වගේ ඉන්දියානු ටෙලිනාට්‍යවලට තරග කරන්න ලංකාවේ හදාපු පළමු ටෙලිනාට්‍යය ‘කිඳුරංගනා'. සාරි ඇඳගෙන - රත්‍රන් බඩු දාගෙන නිදාගන්න ඉන්දියානු තාලයේ නාට්‍යයක් ඒක. එහි ‘රාජිණි’ මං. බොහොම ආඩම්බරකාර, උද්දච්ච චරිතයක් ඒක. ඉන් පස්සෙ දිගින් දිගටම ලැබුණෙ එහෙම චරිත.
ඔබ බොහෝ කලක් හිටියෙ ජපානයේ...
ඔව්. මං ජපානයේ අවුරුදු 10 කටත් වැඩිය හිටියා. පාසල් ජීවිතෙන් පස්සෙ මං ජපානෙට ගියේ භාෂාව ඉගෙන ගන්න. නමුත් අන්තිමේ මං අවුරුදු 10 ක් ම එහි හිටියා. අද මට ජපන් බස වතුර වගේ.
ඔබ අද එයින් ප්‍රයෝජනයක් ගන්නවද...
ලංකාවට ආ මුල් අවධියේ නම් ජපන් භාෂා පරිවර්තිකාවක් ලෙස වැඩ කළා. කලක් මං දරුවන්ට ජපන් භාෂා පන්ති කළා. නමුත් මට කලාවට යොමු වුණාට පස්සෙ ඒ පැත්ත සම්පූර්ණයෙන් ම ඈත් වුණා. ඒ ගැන නම් දුකයි. නමුත් අද හිතුණොත් මට ඒ පැත්තට යොමුවෙන්න අදත් පුළුවන්. තියෙන්නෙ මගේ පමාව විතරයි.
ඔබ අනෝජා වීරසිංහගේ නෑයෙක් ද...
රූපයෙනුත් සමාන නිසා, වාසගමත් එකම නිසා හුඟ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒත් නෑකමක් නම් නැහැ. නමුත් එයා හරි ළෙන්ගතු කෙනෙක්. මගේ ‍තාත්තා විමලදාස වීරසිංහ. මං හිතන්නේ අනෝජා අක්කට මේ වාසගම ඇවිත් තියෙන්නේ එයාගෙ මහත්තයාගෙන්. සමහරු කෙළින් ම අහනවා, අක්කා කොහොමද කියලත්...”
ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් යමක් කියන්න...
අපි කොළඹ වුණාට තාත්තා වතු පාලකවරයෙක් නිසා අපි පුංචි කාලෙම කුරුණෑගලට ගියා. මං ඉස්කෝලෙ ගියේ මලියදේව බාලිකාවට. අපි ලොකු වුණාම ආයේ කොළඹ ආවා. දැන් නම් තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ සහෝදරයා සහ සහෝදරියත් කොළඹ. මායි අම්මයි එකට ජීවත් වෙනවා. ළඟදි මං පටන් ගත්තා රූපලාවණ්‍ය ආලේපන ගෙන්වන පුංචි ව්‍යාපාරයක්. ඒ සඳහා නිතර බැංකොක් යන්න වෙනවා. රඟපෑමෙන් විතරක් ජීවත් වෙන්න බැරි නිසා මොනවා හරි කරන්න ඕනේ.
අනික මං ජපානයෙන් හම්බ කරන් ආ මුදල් වැය කරලා හදාපු ටෙලිනාට්‍ය දෙකක් තවම තියෙනවා විකුණාගන්න බැරිව. නමුත් ඒ ගැන මට තවම බලාපොරොත්තු අතෑරලා නැහැ. අමතර ආදායමක් එන ‘කොස්මැටික්’ ව්‍යාපාරයක් පටන් ගත්තෙත් ඒ නිසා.
ඒ වගේ ම, මට මේ දිනවල හුඟක් ආරාධනා ලැබෙන්නේ ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්න. පුංචි හැකියාවක් තියෙන නිසාදෝ එහෙම ආරාධනාත් ලැබෙනවා. කොහොම වුණත් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගෙවෙනවා.
READ MORE - ‘හිරු තනිවෙලා’

‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා

Friday, November 15, 2013

‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා

- ගයේෂා පෙරේරා
සංජීව පුෂ්පකුමාරගේ ෆ්ලයිං ෆිෂ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැව්වේ ගයේෂා පෙරේරායි. ඇය අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන සහ එම චිත්‍රපටය පිළිබඳ පුවත්පත් ලිපියක් ගන්න ගයේෂාව අප ඇමතුවා.
හෙලෝ ගයේෂා?
ඔව්, කතා කරනවා.
‘සරසවිය’ පත්තරෙන් කතා කරන්නේ.
ආ . . . කියන්න.
අපි මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .
මේ මේ මේ ෆ්ලයිං ෆිෂ් ඇරෙන්න ඕන දෙයක් ගැන අහන්න.
නෑ, මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .
මම දැන් සැරයක් කිව්වනේ, මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ප්ලීස් ඒ ගැන අහන්න එපා.
එහෙනම් අපි ඒ ගැන කතා නොකර . . .
ඒත් එපා. කොහෙන් කතාව පටන් ගත්තත් ඔයාලා අවසානයේ නතර වෙන්නේ ෆ්ලයිං ෆිෂ් ගාවනේ. ඒක නිසා මේ කතාව මෙහෙම්ම නවත්වමු. බායි.
එහෙම කියලා ගයේෂා ෆෝන් එක තිබ්බා. තමන් කැමැත්තෙන් රඟපෑ චරිතයක් ගැන ඇය කතා කරන්නට අකැමැති ඇයි ද යන්න අපටත් ගැටළුවක්.


http://www.sarasaviya.lk/news/?fn=sa1311141
READ MORE - ‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා

මගේ ජීවිතය වෙනස් කළේ SB

මගේ ජීවිතය වෙනස් කළේ SB

බර්ලුස්කෝනිගේ සුරතලියක් කියයි

ලෝකප්‍රකට නායකයෝ තහනම් අඩවි වෙත පිවිස තහනම් ගෙඩි කෑහ. ඉන් එක් අයකු වූ ඉතාලියේ හිටපු අගමැති හා කෝටිපති සිල්වියෝ බර්ලුස්කෝනිගේ කෙරුම් ගැන ලියැවෙන ලිපි පෙළක තෙවැන්නයි මේ.
ඉතාලි සම්භවයක් ඇති මාරියා බෙලේන් රොඩ්‍රිගුරයස් කොසානි නර්තන හා නිරූපණ ශිල්පිනියක, ගායිකාවක , නිළියක හා රූපවාහිනී ශිල්පිනියක වූ අතර ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී ඇය උපන්නේ 1984 සැප්තැම්බර් 20 දාය. ආර්ජන්ටිනාවෙන් ඉතාලියට ආ සුරූපී මාරියා ඉතාලියේ ප්‍රකට නිළියක බවට පත්වූවාය.
සිල්වියෝ බර්ලුස්කෝනිගේ මන්දිරයක ඇය එක් රැයක් හෝ ගෙවූ බව පැවසෙයි. එහෙත් බර්ලුස්කෝනි තම මිතුරකුට පවසා තිබුණේ තමන් ඇයව තම යහනට නංවා නොගත්තේ ඇය තමන් සතු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ පෙම්වතිය වූ නිසාය කියායි.
බර්ලුස්කෝනිගේ මන්දිරයන්හි සෑම රැයකම පාහේ සාද පැවැත්විණි. ඒවාට ඔහුගේ ධනපති මිතුරන් සහභාගි වූ අතර ඔවුන් පිනවීමට ඉතාලියේ හා විවිධ රටවල සුරූපිනියන් ගෙන්වීම ද බර්ලුස්කෝනිගේ පුරුද්දක් විය. බොහෝ විට ඔහුගේ පෙම්වතියන් බවට පත්වුයේ ද එසේ පැමිණි සුරූපිනියන්ය. දේශපාලන බලය මෙන්ම මාධ්‍යයන් ගේ බලය ද බර්ලුස්කෝනිට තිබිණි. රූපවාහිනී ආයතන ඔහු සතු වූයේය. එහෙයින් මාධ්‍ය ලෝකයේ හා දේශපාලන ලෝකයේ දුර ගමන් යාමට මේ සුරූපිනියන් බර්ලුස්කෝනි ගේ සුරතලියන් වන්නට ඇත.
සබීනා බෙගෙනවික් යන නම ද බර්ලුස්කෝනිගේ නම හා පැටලු‍ණකි. බොස්නියා සම්භවයක් සහිත වූ ජර්මන් පුරවැසිභාවය ලැබූ ඇය ජීවත්වූයේ ඉතාලියේය. ඇගේ එක් පාදයක වළලුකරේ සමනලයකුගේ රුවක් සමඟ මෙම වැකිය පච්චා කොටා ති‍බිණි. “මගේ ජීවිතය වෙනස් කළ පුද්ගලයා එස්.බී‍” ස්කයි ඉටලියා යන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ වැඩ සටහනකදී සබිනා පැවසූවේ එම පච්චයේ එස්.බී. යන අකුරුවලින් හැඟවෙන්නේ සිල්වියෝ බර්ලුස්කෝනි යන්න බවයි. සබිනා බර්ලුස්කෝනිගේ ‘බුන්ගා බුන්ගා’ සාදවලට නිතර සහභාගි වූ තැනැත්තියකි.
2012 දී අත්අඩංගුවට ගැනුණු ගියම්පැඕලෝ ටරන්ටිනිට නැඟී තිබූ එක් චෝදනාවක් වූයේ හිටපු අගමැති ගේ සාදවලට ගායිකාවන් හා සුරූපිනියන් සැපයීමයි. තමාගේ එම කටයුතුවලට සබිනාගේ උදව් උපකාර ලැබුණු බව ඔහු පැවසුවේය.
“මම බර්ලුස්කෝනිට හුඟාක් ආදරෙයි” සබිනා වරෙක පවසා තිබිණි. “මට එයාගෙන් දරුවකු අවශ්‍යයි”
ඇය එසේ කීවේ 2012 මැයි මාසයේ දී ය. ඊට මාස තුනකට පසු ඇය පැවසුවේ මෙවැන්නකි.
“මම සිල්වියෝ නිසා ගැබ් ගත්තා. මම ඔහුගේ දරුවකුට උපත ලබා දීමේ ආසාවෙනුයි හිටියේ. ඒත් අවාසනාවකට ගබ්සාවක් සිදුවුණා.
ඇය පැවසූයේ සත්‍යයක් ද යන්න ඇයම මිස අන් කිසිවකු දන්නේ නැත.
අගමැති ධූරයෙන් පහ කෙරුණායින් අනතුරුව සිල්වියෝ බර්ලුස්කෝනිගේ මන්දිරයන්හි පැවැත්වුණ ‘බුන්ගා බුන්ගා’ සාද පිළිබඳ නඩු විභාගයක් ද සිදුකෙරිණි. අධිකරණයේ දී හෙළිවුයේ එම සාදවලදී බර්ලුස්කෝනි අඩුම තරමින් සුරූපිනියන් 34 දෙනකු තම යහනට නංවා ගෙන ඇති බවයි. සිය ජීවිතයේ මුල් දශක හය හත සාමාන්‍ය ආකාරයට ගත කළ සිල්වියෝ ඉන්පසු මහලු වියේ දී එකවර අධි කාමභෝගී ජීවිතයකට යොමු වූ‍ෙය් මන්ද?
තම දෙවැනි බිරිය වෙරෝනිකා ලැරියෝගෙන් නීත්‍යානුකූලව වෙන්වීමෙන් අනතුරුව බර්ලුස්කෝනි පැවසුවේ තමන්ට ස්ථිර පෙම්වතියක සිටිනවා කියාය. එහෙත් ඔහු එම පෙම්වතියගේ නම හෙළිදරව් කළේ නැත. එහෙයින්ම විවිධ කටකතා පැතිරිණි. මාධ්‍යය ද බර්ලුස්කෝනිගේ නිත්‍ය පෙම්වතිය කවුරුන්දැයි සොයා බලන්නට අපමණ වෙහෙසක් දැරුවේය. අවසානයේ මාධ්‍ය ප්‍රකාශ කළේ එම පෙම්වතිය අන් කවරකුවත් නොව ඉතාලියේ ටියුරින් හි උපත ලැබූ රොබර්ටා බොනාසියා කියාය. ඉතාලි රූ රැජන තරගයට සහභාගි වූ රොබර්ටා කිසි විටෙක තමන් බර්ලුස්කෝනිගේ පෙම්වතියය යන්න පිළිගත්තේ හෝ ප්‍රතික්ෂේප කළේ නැත. 2011 වසරේ මාස ගණනක් ඇගේ නම පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයන්ට එක්වූ නමුත් ඇය කිසි විටෙක ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවට බර්ලුස්කෝනි සමඟ පැමිණියේ නැත. අවසානයේ බර්ලුස්කෝනිගේ නිත්‍ය පෙම්වතිය ෆ්‍රැන්සෙස්කා පැස්කාලේ යැයි පැවසෙන විට සියලු දෙනාට රොබර්ටා අමතකව ගියේය.
බර්ලුස්කෝනිගේ පෙම්වතියන්ගේ නම් ලැයිස්තුව ඉතා දීර්ඝ වූවකි. එවෙලිනා කාර්මෙලා රෝමයේ උපන්නියක වන අතර ප්‍රකට වූයේ රූපවාහිනී නිළියක ලෙසිනි. ඇයට ප්‍රධාන චරිත ලබා දෙන ලෙස දුරකථනයෙන් බර්ලුස්කෝනි විවිධ රූපවාහිනී මාලා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකවරුන්ට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව ඉතාලි පොලිසිය පවසයි. ඔවුන් එම දුරකථන සංවාද කිහිපයක් පටිගත කර අධිකරණයට ද ඉදිරිපත් කර තිබිණි.
ඇමෙරිකාවේ ප්‍රකට ‘ප්ලේ බෝයි’ සඟරාවට උඩුකය නිරුවත් ඡායාරූප ලබා දුන් ‍එවෙලිනා එම ඡායාරූප සමඟ පළ වූ සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණේ බර්ලුස්කෝනිට සත්‍ය වශයෙන් ම හදපත්ලෙන්ම ආදරය කරන්නේ තමාය කියායි.
බර්ලුස්කෝනි සිය දේශපාලන කටයුතුවලට ද කාන්තාවන් හා ඔවුන්ගේ රූමත් බව ඈඳා ගත්තේය. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු හා විවාහ වී සිටි ඩැනියෙලා සැන්ටාන් චේ හා බර්ලුස්කෝනි අතර පෙම් සබඳතාවක් තිබූ බවක් කිසි විටෙක පැවසෙන්නේ නැත. ඇය බර්ලුස්කෝනිගේ පක්ෂය නියෝජනය කළ ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූවාය. රූපවාහිනී වැඩ සටහන් බොහොමයට සහභාගි වෙමින් ඇය බර්ලුස්කෝනි ආරක්ෂා කරමින් අදහස් දැක්වූවාය. වරෙක බර්ලුස්කෝනි තම පක්ෂයේ මන්ත්‍රීවරියන් ගැන කීවේ මෙ‍වැන්නකි.
“අපේ පක්ෂයේ කාන්තාවන් රූමතියන්. විරුද්ධ පක්ෂයට කිසිම රසඥතාවක් නැහැ. අඩු තරමින් කාන්තාවන්ගේ රූමත් බව විඳින්නවත් ඔවුන් දන්නේ නැහැ. ජනතාව ඩැනියෙලා සන්ටන්චේට ඡන්දය දුන්නේ ඇයට සුන්දර තට්ටම් යුගලක් හිමි නිසා...”
බර්ලුස්කෝනිගේ සාදවලට සහභාගි වූ රූමතියන්ට ඉතා වටිනා තිළිණ මුදල් හා දේශපාලනමය වරප්‍රසාදද හිමිවූ බව මේ වන විට හෙළි වී තිබේ. 2010 සැප්තැම්බරයේ රැයක පැවැති ‘බුන්ගා බුන්ගා’ සාදයකට සහභාගි වූ ෆ්‍රැන්සෙස්කා සිප්‍රියානි ඩිඅල්ටෝරියෝ තම මිතුරියකට යැවූ එස්.එම්.එස් පණිවුඩයක සඳහන්ව තිබුණේ ඇය බර්ලුස්කෝනි වෙතින් ලැබූ තිළිණ පිළිබඳව.
“ඔහු මට රත්තරන් අත් පලඳනාවක් දුන්නා. හැම කෙල්ලකටම යූරෝ දෙදහස ගණනේ ගෙව්වා.”
පසු කලෙක ෆ්‍රැන්සෙස්කා පිළිගත්තේ බර්ලුස්කෝනි ප්‍රකට හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝපෙස් ගේ පියයුරුවලට ප්‍රිය කළ හෙයින් තමාද ඒ හා සමාන පියයුරු ලබා ගනු පිණිස ප්ලාස්ටික් සැත්කමකට භාජන වූ බවයි. එහෙත් එම සැත්කමින් නිසි හැඩයේ පියයුරු ලබා ගත නොහැකි වූ නිසා ඇය ප්ලාස්ටික් ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගෙන් යූරෝ ලක්ෂ 150ක් වන්දි ඉල්ලා නඩු පැවරුවාය.
අවසන් කොටස ලබන සතියේ
READ MORE - මගේ ජීවිතය වෙනස් කළේ SB

අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

කීර්ති පැස්කුවල්
කීර්තිගේ ගී ප්‍රසංගය සමඟ 'තව දවසක්' ගී තැටිය 24 වැනිදා එළිදකී
තව දවසක් හමු වී ඉමු
මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති
දෑස් ඔබේ...!
(පද - සජිත් වී. චතුරංග)
වසන්තයේ දී මෙන්ම ගිම්හානයේදී ද ගීතලෝලී සිත් ආකර්ෂණය කරගන්නා අපේ සංගීත ක්ෂේත්‍රයේ “ළයාන්විතයා” වන කීර්ති පැස්කුවල් ගයන නවතම ගීතයක් ගුවනේ පාවී එයි. වසරේ සෑම සෘතුවකටම ගැළපෙන හඬක් (voice for all season) හිමි ගායන ශිල්පියෙකු වන කීර්ති මේ වසර මුලදී එනම් ජනවාරි 27 වැනිදා “රසඳුන” සමඟ කළ කතාබහකදී “මේ අවුරුද්ද අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගයක් පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියත් එළිදක්වනවා” යයි කී අයුරුම එය ඉටු කරන්නට මේ දිනවල සූදානම් වේ.
ඒ, ලබන 24 වැනිදා සවස 6.45 ට නවිකෘත කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර නව සම්මන්ත්‍රණ ශාලාවේදී ය. එහිදී කීර්තිගේ සජිවි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන Keerthi Acoustica Unplugged Live Concert පැවැත්වීමටත් ඒ හා සමගාමීව ඔහුගේ නවතම ගීත ඇල්බමය වන “තව දවසක්” එළිදැක්වීමටත් නියමිත ය. ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” සිය සිතුවිලි වලින් වර්ණ ගන්වන්නට අපි කීර්තිට ආරාධනා කරමු.
“මගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් මේ පැවැත්වෙන්නේ අවුරුදු පහළොවකට පස්සේ. මගේ ප්‍රසංගයට මේ නම යොදලා තියෙන්නේ මෙහිදී පාවිච්චි කරන එකෝස්ටික් සංගීත භාණ්ඩ නිසායි. ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ යොදා ගන්නේම නැහැ. වාදකයින් 25 දෙනෙක් මෙහි වාදනයේ යෙදෙනවා. මෙය සංගීතවත් කරන්න සංගීත අධ්‍යක්ෂවරු හතර දෙනෙකුට මං ආරාධනා කර තියෙනවා. සංගීතයේ වෙනස් ම වූ රසමුසු අත්දැකීමක් ගීත රසිකයින්ට ලබා දීමේ හැඟීමෙන් තමයි මෙහෙම සංගීත භාණ්ඩ වල සහ සංගීත ශිල්පීන්ගේ වෙනසක් ඇති කළේ. විශේෂයෙන් සංගීත භාණ්ඩ සංකලනයෙන් උත්පාදනය කළ හැකි උපරීම රසය ප්‍රේක්ෂකයින්ට ලබා දීමට මම මෙහිදී උත්සාහ කරනවා.”
. සංගීත භාණ්ඩ වෙනස් කර වැඩි සංගීත ශිල්පීන් පිරිසක් යොදා ගත් පමණින් ප්‍රේක්ෂකයින්ට නැවුම් රසයක් ලබා දීමට හැකිවේ ද...?
“සංගීත භාණ්ඩ සහ ශිල්පීන්ගෙන් පමණක් නෙමේ මේ ප්‍රසංගයට නැවුම් රසයක් එක් කරන්නේ. රසිකයින් අසා පුරුදු මගේ ජනප්‍රිය ගී තනු වෙනස් නොකර නව නිර්මාණ ලෙස සංගීතවත් කෙරෙනවා. මා මෙහිදී ගයන ගීත විසි හයෙන් දහයකට වැඩි ප්‍රමාණයක් එලෙස ගයනවා. මගේ අලුත්ම ගීත කිහිපයකුත් ගායනා කරනවා. භාවනායෝගීව මෙන් ගීතය විඳින්න මගේ ප්‍රේක්ෂකයාට අවස්ථාව සලසා දීම තමයි මගේ අරමුණ.
. ගීත ප්‍රසංගයට සමගාමීව එළිදක්වන ඔබේ අලුත්ම ගීත ඇතුළත් ‘තව දවසක්’ සංයුක්ත තැටියේ නිර්මාණ දායකත්වය කාගෙන් ද...?
“මගේ ‘තව දවසක්’ ගීත ඇල්බමයට ගී පද රචනයෙන් සහ තනු නිර්මාණයෙන් අලුත් නිර්මාණකරුවන් වැඩි පිරිසකගේ නිර්මාණ මම දායක කර ගත්තා. නිර්මාණය හොඳ නම් නවකයෙකුගේ වුණත් මම ගායනා කරනවා. ඒකට උදාහරණයක් තමයි මගේ ‘කඳුළ’ ගීතය. ඒ නිර්මාණයට දායක වූ දෙදෙනාම නවකයින්. ඒ ගීතයට තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කිසිම විටෙක ප්‍රවීණයින්ගේම ගීත භාවිත කළ යුතුයි කියන මතයේ නැහැ. නිර්මාණය හොඳ නම් මම සතුටෙන් එය බාර ගන්නවා. ගීත 16 ක් මේ තැටියට ඇතුළත් කරනවා. තවමත් ගීත තැටිගත කිරීම් කරගෙන යනවා. ප්‍රසංගය දා වන විට සියලු කටයුතු අවසන් කරගන්න පුළුවන් වෙයි කියා මං හිතනවා. ඒ වගේම එදාට මගේ තොරතුරු සහ ගීත ඇතුළත් නිර්මාණාත්මක සමරු කලාපයකුත් මගේ සෑම රසික රසිකාවියකටම ලබා දෙන්නත් මම අදහස් කරගෙන ඉන්නවා.”
. ඔබ මේ ගීත ප්‍රසංගය පවත්වන්නේ කිසියම් සුවිශේෂ සද්කාරයක් උදෙසා දායක වීමේ අරමුණින් නේද...?
“විශේෂයෙන්ම මම දැන් අවුරුදු 15 ක පමණ කාලයක් පුරා කෝට්ටේ ශ්‍රී වජිර ළමා නිවාසය සමඟ කටයුතු කරනවා. සුනාමි ව්‍යසනයෙන් පසුව එහි ළමයි 380 ක් පමණ උන්නා. දැන් ළමයි 190 ක් පමණ එහි ඉන්නවා. පසුගිය කාලය පුරාවටම මම ඔවුන් සමඟ දානමාන, තෑගිබෝග, ගීත ප්‍රසංග වැනි විවිධ ක්‍රියාකාරකම් කළා. මෙවැනි දරුවන් වෙනුවෙන් මගේ සංකල්පයකට අනුව ‘The Child සුබ සාධක පදනම’ නමින් පදනමක් ද පිහිටුවා තිබෙනවා. පසුගිය මගේ උපන් දිනය දාත් (ජනවාරි 29 වැනිදාත්) මම ‘නිල් ආකාසේ’ නමින් ළමා ගීත තැටියක් එළි දැක්වූවා. 2005 දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මා දරුවන් වෙනුවෙන් පැවැත් වූ ගීත ප්‍රසංගයේ දීත් මේ ළමා නිවාසයේ ළමයින් වැඩි දෙනෙකු සහභාගි කරවා ගෙන ගීතයක් ගායනා කළා. මේ දරුවන්ට පාසලක් පැවැත්වෙන්නෙත් මේ ළමා නිවාසය ඇතුළේමයි.
එම පාසල අහවර වෙලා හවස් වරුවේ දරුවන්ට සංගීත පාසලක් පවත්වන්න මං කටයුතු කරගෙන යනවා. ඒ සඳහා සුදුසු සංගීත ආචාර්යවරයකු පත් කරලා වැටුප් ගෙවන්න, සියලුම සංගීත භාණ්ඩ සහ උපකරණ ලබා ගන්න වගේම ඉදිරි නඩත්තු කටයුතු කරගෙන යාමට මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් යම්කිසි කොටසක් යොදවන්න මං අරමුණු කරනවා. ඒ තුළින් අධ්‍යාපනයට අමතරව සිහින එහෙම නැත්නම් කලාත්මක සිතුවිලි මේ දරුවන්ගේ සිත්වලට ඇතුළු කරලා ඔවුන් හොඳ පුරවැසියන් බවට පත් කිරීමට හැකිවෙයි කියා මං බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දෙමවුපියන්, ඥාතින් අහිමි වී ඉන්න දරුවන්ට මානසික වින්දනය සහ සුවය ලැබෙන විට ඒ අයට යම්කිසි සෞන්දර්යාත්මක චින්තනයක් පහළ වේවි කියා මං විශ්වාස කරනවා.”
. ඔබ සංගීත චිකිත්සාව හා සම්බන්ධ සද්කාරයකටත් සූදානම් වෙන බව ආරංචියි.
“ඔව්. දැනට ලෝකය පුරාම ප්‍රචලිත වෙමින් පවතිනවා වෛද්‍ය විද්‍යාවේ බේත්හේත් වලට අමතරව 40% ක පමණ රෝග සුවයක් සංගීතයෙන් කරන්න පුළුවන් කියන මතය. ඊට අදාළව සංගීත චිකිත්සාව (music therapy) නමින් වැඩමුළු පැවැත්වෙන අතර හෘදයාබාධ, අධි රුධිර පීඩන, දියවැඩියා, පිළිකා සහ මානසික රෝගීන් එම වැඩමුළුවලදී සුවය අත්දකින ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. 1952 සිට තමයි මෙම සංගීත චිකිත්සාව ඇරඹුණේ. දැන් ලංකාවෙත් සිදු කෙරෙනවා. ඉතින් මමත් තව සංගීත ශිල්පීන් හතර දෙනෙකුත් වෛද්‍යවරයෙකුත් එකතු වෙලා මේ කටයුත්ත ආරම්භ කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. අපි විවිධ ආරෝග්‍ය ශාලා, වැඩිහිටි සහ ළමා නිවාස, අධ්‍යාපන ආයතනවලට ගොස් සංගීත චිකිත්සාවෙන් යම් යම් රෝගාබාධවලට ලක් වී ඉන්න රෝගීන්ට සේවයක් සලසන්න අදහස් කරනවා.”
. මෙතෙක් ගායන සහ වාදන ශිල්පියෙකු ලෙස අප හඳුනා ගෙන සිටි “කීර්ති පැස්කුවල්” ඉදිරි දවසකදී “සංගීත වෛද්‍යවරයෙකු” ලෙසින් අපට හමුවේවි ද...?
“යම්කිසි විදිහක සංගීත වෛද්‍යවරයෙකු හැටියට තමයි සංගීතය තුළින් මෙම කටයුත්තේ නියැළෙන විට ඔබට මා හමු වෙන්නේ. ‘කොහොමද සංගීත චිකිත්සාවෙන් රෝග සුව කරන්නේ’ කියලා සංගීත ශිල්පියෙකු ලෙස මමත් අධ්‍යයනය කරනවා. සංගීත ශිල්පියෙකු ලෙස මා ලද අත්දැකීම් මම මෙහිදී යොදවන්න බලාපොරොත්තු වෙනවා. මගේ සංගීත ශෛලිය කිසියම් මානසික සුවයක් ලබා දීම පිණිස ගැළපෙන බව මම විශ්වාස කරනවා. මා ලබා ගත් දැනුමෙන් සමාජයට යම්කිසි දෙයක් දිය යුතුයි කියා මම හිතනවා. අපි අද කලාකරුවන් බවට පත්වෙලා යම් ස්ථාවර ජීවන තත්ත්වයක ඉන්නේ සමාජය අපිව පිළිගත් නිසයි. ඉතින් ආපසු සමාජයට වටිනා වැදගත් දෙයක් දීමේ අරමුණින් තමයි මම මේ සංගීත චිකිත්සාවට දායක වෙන්නේ.”
. “සංගීත චිකිත්සාව” අපේ සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් වේද...?
“එය එසේ වුවහොත් එය ඉතාම යහපත් ප්‍රවණතාවක් වේවි. හැබැයි නිවැරදිව මේ කරුණු කාරණා තෝරා බේරාගෙන සුදුස්සන් පමණක්ම ඉතාම වගකීමෙන් යුතුව මේ කටයුත්තේ නියැළෙන්න ඕනේ. අපේ වැඩමුළු හා සමඟ බොහෝ දුරට මෙය අපේ රටේ ව්‍යාප්ත වෙලා යාවි. ඒ සේවය මේ රටේ ඉන්න විවිධ රෝගාබාධ වලට ලක්වෙලා ඉන්න රෝගීන්ට ලොකු සේවාවක් වේවි.
. මෙහිදී සංගීතයෙන් හා ගීත ගායනයෙන් මෙහෙවරක් වෙන්නේ කුමන අරුතෙන් ද...?
“අනිවාර්යෙන්ම රෝග සුව කිරීමට යම් තරමක (40% පමණ) දායකත්වයක් සැපයීමෙන් එය පැහැදිලි වෙනවානේ. හෘද රෝග විශේෂඥ රුවන් ඒකනායක මහතාත් මෙම සංගීත චිකිත්සාව එතුමන්ගේ රෝගීන් සඳහා යොදා ගන්නවා. එතුමාත් කියනවා - ‘බේත් හේත් කොච්චර දුන්නත් සංගීතයෙන් කෙරෙන බලපෑම් තුළින් ලැබෙන මානසික සුවයෙන් රෝගීන්ව 40% ක් සුව කරන්න පුළුවන්’ කියලා. මෙහිදී මට මතක් වෙන්නේ වජිර ළමා නිවාසයේ ස්වාමින් වහන්සේ වරක් මට පැවසූ මේ කරුණයි.
‘අපිට කෑම බීම, ඇඳුම්, ගොඩනැඟිලි, තෑගි බෝග, වෙනත් පහසුකම් හැමදේම ලැබෙනවා. ඒත් අවුරුදු පහළොවක්ම සංගීතයෙන් දානේ දුන්නේ මහත්මයා තමයි.’ ඉතින් එයින් දරුවන්ට ලැබෙන වින්දනය හා සතුට නිසා ඔවුන්ගේ ජීවිත වලට නව පණක් දෙනවා වගේ ඔවුන් ප්‍රබෝධයක් ලබා අධ්‍යාපනයට ඕනෑ කරන මානසික මට්ටමට එනවා. මේ සියල්ලක්ම හරහා මං හිතන්නේ සංගීතයේ පුදුම බලයක් තියෙනවා කියලයි.”
. අවුරුදු කිහිපයකට පෙර නවසීලන්තයේ දී ඔබත් කිසියම් මානසික පීඩනයකට ගොදුරු වී සිටියා. එම තත්ත්වයට මුහුණ දීමේ දී සංගීතයෙන් ඔබට වාසියක් වීද...?
“සැබැවින්ම ඔව්. මේ සංගීත ක්ෂේත්‍රයේ මං වගේ කවුරුත්ම නැතුව ඇති නැඟීම්, ගැටීම්, තැලීම්, වැටීම් හා ආපසු නැඟිටීම් වැනි ජීවිතයේ විවිධාකාර වූ අත්දැකීම් සහ පීඩනයන්ට මුහුණ දුන්. මගේ අතේ කෝටි ගණන් සල්ලි තිබුණා. ඒවා නැත්තටම නැතිවෙලා මම යාචකයෙකු හා සමාන තත්ත්වයට පත්වුණා. ඒත් මම නැවත ඔළුව ඉස්සුවා. සියල්ලට මුහුණ දෙන්න මට මානසික ශක්තිය, ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය ලැබුණු පසුබිම සංගීතයයි. කවදාවත් මම සැලෙන්නේ නැහැ.
මං අඬන්නේ නැහැ. වේදනාවෙන් ඔළුව ගහගෙන හෝ ඔළුව කැක්කුම් හැදිලා විඳව විඳවා ඉදලා නැහැ. මම නිවුණු මනුස්සයෙක්. මට කේන්ති යන්නේ නැහැ. මම ආවේගශීලී වෙන්නේ නැහැ. කවුරුන් හෝ සමඟවත් දබරයට යන්නේ නැහැ. මම කවුරුන් ගැන හෝ ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ නැහැ. ද්වේශයක් නැහැ කා කෙරෙහිවත්. ඒ නිසාම මට තරහාකාරයෝ නැහැ. මේ සියල්ලක්ම සංගීතයෙන් මට ලැබුණු දායාද ලෙස මං විශ්වාස කරනවා. දරා ගැනීමේ ශක්තිය මට තියෙනවා. ඒ සංගීතය හරහා මට ලැබුණු හික්මීම නිසා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඕනෑම තැනක මාව පිළිගන්නවා. මිනිස්සුන්ගේ හදවත් තුළ මං ජීවත් වෙනවා. මට යම්කිසි දෙයක් මේ සමාජයට කරන්න පුළුවන්කම ලැබී තියෙනවා. ඒ දේ මම මගේ සංගීත කලාවෙන් කරනවා.”
READ MORE - අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ

සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ

ජයන්ත චන්ද්‍රසිරිගේ සමනළ සංධ්වනිය සිනමාපටය මේ වන විට අති සාර්ථක ලෙස තිරගත වන බව ‘සරසවිය’ට දැනගන්නට ලැබෙයි. එය වඩාත් ජනප්‍රිය යොවුන් ප්‍රේක්ෂකයන් අතරේ යැයි අධ්‍යක්ෂවරයා අපට දැන්වීය.
සමනළ සංධ්වනියේ ගීතය ද රිංගිං ටෝන් ලෙස අසන්නන් රාශියක් යොදාගෙන ඇති බව ද වාර්තා වේ. උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම ඇතුළු නළු නිළියන්ගේ රංගනය මේ වන විට විචාරක ඇගැයීමට ද ලක්ව ඇත.
ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී ප්‍රදර්ශනය වන සමනළ සංධ්වනිය රුවන් ජයසිංහ සහ පාලිත ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.




READ MORE - සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ

ලිංගිකත්වය පිළිබඳ ඔබට යමෙක් චෝදනා කළොත්?

Saturday, July 6, 2013

එහෙම චෝදනා කරන්නේ කලාව ගැන නොදන්න අයයි

වියළිකරයේ හමා යන සුළඟ ගත සිප ගන්නේ සිසිල් බවක් ගෙන දෙමිනි. ඒ සිසිල් සුළෙඟහි සිසිලස පිළිබඳ වගේ වගක් නැති යුවතියක් අඹ ගසකට හේත්තු වී බලාගත්ත අත බලාගෙන හූල්ලයි. වරින් වර ගැස්සෙන දෙවුර අපට පවසන්නේ ඈ කදුළු සලමින් හඬන බවකි. අසල සිටි තරුණයෙක් මේ යුවතියට මොන මොනවදෝ පවසතත් ඇගේ සිත වෙනතකය. එසැනින් ලැබෙන සංඥාවෙන් එතනින් ඉවතට ගමන් කරන තරුණයා, තවත් නිමේෂයක සිටින්නේ දෙණ හා රැඳුණු මිනී පෙට්ටියත්, යුවතියත් සමඟ ගමනේය.
‘නොනවතින ගමනක් . . .’
යන සදාතනික ජීවන දැක්ම පසක් කරන මේ රූප රාමු අපට හමු වන්නේ අරුණ ජයවර්ධනගේ ‘නිකිණි වැස්ස’ සිනමාපටයෙහිය. ඒ නොනිමි ගමනේ සැරිසරන චරිත අතර ඇයත් එකියකි.
‘මේනකා . . .’
‘නිකිණි වැස්ස’ට පණ දෙන ඈ සුලෝචනා වීරසිංහය. දඟකාර හිරිමල් වියේ ඉහ ඉද්දර සිටි ඇය මුවඟ රැඳි ළඟන්නා සුළු සිනාවෙන් මදෙස බලා සිටියාය. කඨෝර පරිසරයෙහි උපන් දඟකාර, හුදකලා යුවතියත්, මේ සැබෑ දඟකාර සොඳුරු යුවතියවත් මම සිතින් සංසන්දනයක යෙදුනෙමි.
‘ඒ මේනකා මේ මමම තමයි’
සිත කියැ වූ නියාවෙන් මෙන් ඇය පැවසුවේ මා පුදුමයට පත් කරමිනි.
‘මේනකා ඔබට මුණ ගැසෙන්නේ කොහොමද?’
‘නිකිණි වැස්ස’ හි මේනකාගෙන්ම මම කතාව ඇරැඹීමි.
‘අරුණ ජයවර්ධන කියන අධ්‍යක්ෂවරයා මට දවසක් දුරකතතන ඇමතුමක් දුන්නා. ඒ ඔහු කරන්න යන අලුත්ම චිත්‍රපටයට මාව තෝරාගෙන ඇති බව කියමින්. මේ පිළිබඳ වැඩි විස්තර කියන්න ඊට දවස් කිහිපයකට පස්සේ මහරගම තරුණ සේවා සභාවේදී මුණ ගැහෙමු කියල’ ඔහු වැඩිදුරටත් කිව්වා. ඒ එදා දුන්න දුරකතන ඇමතුම විදිහටම මා ඔහු මුණ ගැහෙන්න ගියා. මමත්, ජගත් මනුවරණත් ඔහු මුණ ගැසුණ මොහොතේ ‘නිකිණි වැස්ස’ තිරපිටපත අපේ අතට ලැබුණා. ඒ අවස්ථාවේදී ඔහු සොයන මේනකාගේ චරිතයේ හැඩරුව, තරාතිරම ආදී සියල්ලටම මා ගැළපෙන බවත් ඔහු පැවසුවා. තිර පිටපත කියවලා අවසානයේ ඒ පිළිබඳව මට දැනුන දේ කියන්න කියලත් ඉල්ලීමක් කළා. මේ සියල්ල සිතේ තබාගෙන මම ගෙදර ඇවිත් මුලින්ම කළේ තිරපිටපත කියැවීමයි. තිර පිටපත ටික දුරක් කියවගෙන යනකොට මේ නිර්මාණය බොහොම හොඳ නිර්මාණයක් බව මට හැ¼ගුණා. මේනකාගේ චරිතය හෙඳින් ප්‍රතිනිර්මාණය කරන්න මට හැකියි කියන මතය මගේ ඔළුවට ආවා. ඒ විදියටයි මට මේනකාව මුණ ගැහෙන්නේ.’
දඟකාර සුලෝචනා කතාබහට පිවිසියේ එලෙසිනි. මේනකාගේ චරිතයට ඔබවම තේරා ගැනීමට අධ්‍යක්ෂවරයාට විශේෂ හේතුවක් තිබුණාද?
මේනකාගේ චරිතයට අන් අයකු තෝරා ගැනීමට හැකියාව තිබියදීත් ඇයවම තෝරා ගැනීමට විශේෂ හේතුවක් ඇතැයි මම සිතුවෙමි.
ඔබ අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවුණ මේනකාගේ චරිත ස්වභාවය තියෙන කෙනෙක් ඔහු බොහෝ සොයා තිබුණා. ඒ වගේම ඔහු අදහස් කළ මේනකාගේ චරිතයට පණ පොවන රංගන ශිල්පිනිය වේදිකාවෙන් පැමිණි කෙනෙකු වීමත් විශේෂයි කියලයි. මේ අතරදි තමයි මගේ වේදිකා නාට්‍ය කිහිපයක්ම ඔහුට නැරැඹීමට ලැබුණේ. ඔහුගේ සිතෙහි සිටි මේනකාට මාව හරියටම ගැළපුණා. ඒ විතරක් නෙමෙයි මම වැඩි වශයෙන්ම රංගන කටයුතුවල නියැලිලා හිටියේ වේදිකාවේ. ඔහුගේ ඒ අදහසටත් මාව හොඳින් ගැළපීම කියන සියලු කාරණා එක්තැන් වීම ඇත්තටම අහඹු සිදුවීමක් ලෙසයි මට හැෙඟන්නේ.’
මේනකාගේ චරිත ගැළපුම මනා යැයි ‘නිකිණි වැස්ස’ චිත්‍රපටය නැරැඹූ ඔබට සිතෙනු නොඅනුමානය. එහෙත් ඊට පෙර මේනකා ප්‍රේක්ෂකයන් අතර වඩාත් ආදරය කරන චරිතය බවට පත් වෙන්නේ පුංචි තිරයෙනි.
‘පින්කි’
‘සිහින පුරය’ ටෙලි නාට්‍යයයෙහි ඈ රඟපෑ ‘පින්කි’ගේ චරිතය පේ‍්‍රක්ෂක හද ඇද බැඳ ගැනීමට තරම් සමත් විය.
‘පුංචි තිරය ඔබට අරුමයක් නෙවෙයි. එහෙම නේද?’
ඇගේ දඟකාර සිනහව මුවඟට නැගුණේ ඉබේමය.
‘බොහෝදෙනා මාව හඳුනා ගත්තේ ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයෙහි පින්කිගේ චරිතයෙන්. ඒ තරමටම ඒ චරිතය ඔස්සේ මා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ‘මේ සුරම්‍ය පාරදීසේ’, ‘යකඩ පහන් තිර’, ‘තක්සලාව’ වගේ ටෙලි නාට්‍ය මා රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්. ඒ ටෙලි නාට්‍ය කිහිපයටත් ඒ ඒ කාලයේ වඩාත් හොඳ ප්‍රතිචාර ලැබුණා.’
‘නමුත් ඔබ රංගනයට පිවිසෙන්නේ වේදිකාවෙන්?’
සුලෝචනාගේ සිත අතීතයට යොමුකරන අටියෙන් මම විමසීමි.
‘කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මගේ යෙහෙළියක් මට කෙටි නාට්‍යයක රඟපාන්න ආරාධනා කරනවා. ‘පෙම්වතා නැති වෙලා’ කියන ඒ කෙටි නාට්‍යයේ තරුණියකගේ චරිතයයි මට නිරූපණය කරන්න සිදු වන්නේ. මුලින්ම ඒ පිළිබඳව මගේ ලොකු කැමැත්තක් නැති වුණත් පසුව ඊට මම කැමැති වුණා. හේතුව මම රංගනය පිළිබඳ කිසිම දෙයක් දැනගෙන සිටිය කෙනෙක් නෙමෙයි. කොහොම වුණත් අවසානයේදී මට රඟපාන්න ලැබුණේ ඒ කාලයේ වේදිකාවේ සිටිය දක්ෂ රංගන ශිල්පියෝ කිහිප දෙනෙක් සමඟයි. මේ නිසා මට රංගනය පිළිබඳ සමහර දේ දැනගන්නට ලැබෙන්නේ එහිදී. 2005 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල හා සමගාමීව සිදු කරපු අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය උළෙලේදී හොඳම සහාය නිළියට සම්මානයක් ගැනීමට තරම් මට හැකියාව ලැබෙනවා. මා කළ පළමු රංගනයෙන්ම සම්මානයක් හිමිවීමයි මේ ගමන යන්න හයියක් නිර්මාණය කරන්නේ.’
‘පෙම්වතා නැති වෙලා’ පුහුණුවීම් අතරතුරදී රංගනය පිළිබඳ යම් දෙයක් හැදෑරිය යුතු යැයි සිතමින් ඔබ පැමිණෙන්නේ සෝමලතා සුබසිංහයන්ගේ ළමා හා යොවුන් රග¼හල පදනමටයි.
‘ඒ ලැබෙන දැනුමත් අරගෙන ඔබ නැවතත් නිශ්ශබ්ද චරිතයක් බවට පත්වෙනවා?’
සක්‍රීය ලෙසම රංගනයට දායක වූ අවදිය පිළිබඳ ඈ කිව්වේ මෙවැනි අදහසකි.
‘මා මගේ අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙන නිසා මා කාලයක් නිශ්ශබ්දව සිටියා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ නැවතත් ළමා හා යොවුන් රඟහල පදනම හා එක්වන්නේ 2008 වසරේදී. ඒ චන්දන අලුත්ගේ වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු කියන ගුරු දෙපළගේ ආරාධනයෙන්. ඒ කාලයේ පුහුණුවීම් කෙරුණු ‘පුංචි අපට දැන් තේරෙයි’, ‘වළස් පවුල’, ‘හිම කුමාරි’, ‘විකෘති’, ‘තොප්පි වෙළෙන්දා’ වගේ නාට්‍යවලට මා රංගනයෙන් සහභාගි වෙනවා. 2009 වසරේදී ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ට සම්බන්ධවීමත් සමඟ ඒ නාට්‍යයට යෞවන සම්මාන උළෙලේදී සම්මාන නමයක් හිමි වෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මාව නිර්දේශ වෙන්නෙත් ඒ නාට්‍යයේ කළ රංගනයෙන්. ඉන් පස්සේ ‘සඳ ළඟ මරණය’, ‘දෙබිඩ්ඩෝ’ වගේ වේදිකා නාට්‍යවල රඟපෑමට ලැබීම රංගන ජීවිතයේ මා ලැබූ අපූරු අත්දැකීම්. මා රඟපෑ ‘බබාට නමක්’ කෙටි වේදිකා නාට්‍යයේදී ‘වේදිකාවෙන් මහ පොළවට’, දහඩිය සිත්තම’, රාජ්‍ය නාට්‍ය උළෙල යන උළෙලවල් තුනේදීම මම හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.’
සුලෝචනා කියන දක්ෂ රංගන ශිල්පිනිය බිහිවීමේ මූලික අඩිතාලම වැටෙන්නේ ඒ අයුරිනි.
‘එත් ඔබ කිසිම දිනෙක පාසලේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නොවෙයි?’
වයලීනය වයන්න හැකි කෑගල්ල ගම්මානය හා බැඳුනු ඇගේ සොඳුරු මතකය මම සිහිපත් කළෙමි.
‘ඒ කාලයේ රංගනය පිළිබඳ උනන්දු නොවුණත් තූර්ය වාදක කණ්ඩයමේ මම බටනලාව වාදනය කරන ශිල්පිනියක්. වයලීනය කියන්නේ මම බොහොම ආදරය කරන වාද්‍ය භාණ්ඩයක්. සංගීතය මගේ විෂය නිසා ඒලෙවල් කරන්නත් මා තේරා ගත්තේ සංගීතයයි. කුඩා කාලයේ පටන් මේ මා ලබාගත් සියලු දේ බොහොම ප්‍රයෝජනවත් වුණේ පසුවයි.’
‘ඒ ගෙනා අතීතයෙහි දස්කම් සමඟයි ඔබ මේනකා නිර්මාණය කිරීමට තරම් පෙලඹෙන්නේ’
අතීතයෙන් ඇයව මම වර්තමානයට රැගෙන පැමිණියෙමි.
‘තිර පිටපත කියෙව්වාට පස්සේ මා මේනකාව හොඳින් වටහා ගත්තා. මේනකා කියන්නේ තරුණියක්. දුෂ්කර පරිසරයක ඉපැදුනත් ඈත් අපි වගේම තරුණියක්. ඇය ජීවත් වුණේ බලාපොරොත්තු රාශියක් සමඟයි. ඇය අවසානයේදී තනි වෙනවා. ඇගේ එකම ළඟ ඥාතියා වුණු පියා මිය යනවා. තනියට ඉන්නේ ආත්තම්මා. මේ කියන කාරණාත් සමඟ ආදරය, කරුණාව, සෙනෙහස ඇයට උවමනා වුණු මනුෂ්‍යත්වයේ සාධකයි. පිටපත කියවන මට මේ මිනිස්සුන්ගේ හැඟීම් සියල්ල හඳුනා ගන්නට හැකිවුණා. ඒක මට වඩාත් දැනුණේ ගමේ ඉපදුණු කෙල්්ලෙක් නිසා වෙන්න ඇති. ඒ වගේම ඊට පස්සේ ජීවිතයේදී ලැබූ ඇත්දැකීම් සියල්ලත් ඒ චිත්‍රපටය රූගත කළ පරිසරයේදීත් ලැබුණු අත්දැකීම් සියල්ල මගේ චරිතයට බොහෝ දෑ එකතුª කළා. මේනකා පිළිබඳ සිතන්නට ගත්තට පස්සේ ඈ මෙහෙම කෙනෙක් වෙන්න ඇතැයි මා සිතුවා. ඒ සිතූ සියල්ල චරිතය මගින් මා ප්‍රතිනිර්මාණය කළා. ඈ පිළිබඳ මම සිතූ සියල්ල බොහොම දුරට නිවැරැදි වුණා. චරිතය ඉදිරිපත් කිරීමේදී අධ්‍යක්ෂවරයා මගේ රඟපෑමෙන් සෑහීමකට පත්වුණා. සමහර අවස්ථාවලදී චරිතය පිළිබඳව මම ඔහුත් සමඟ සාකච්ඡා කළා. ඒ ඔහු බලාපොරොත්තු වන මට්ටමෙන් මේ චරිතය තිබෙනවද කියන කාරණය පිළිබඳයි. මම හිතන්නේ ඔහුගේ සිතෙහි සිටි මේනකා මා ප්‍රතිනිර්මාණය කළ බවයි.’
‘ලිංගිකත්වය පිළිබඳ ඔබට තිබුණේ මොන වගේ අභියෝගයක්ද?
මම විමසීමි.
‘මම කළේ රංගනයක්. නිළියක් විදියට පිටපතට අවශ්‍ය විදියටයි මා රංගනය ඉදිරිපත් කළේ. ඒ නිර්මාණයේ ඒ ඒ කොටස් ඒ ඒ අවස්ථාවලදී ඉල්ලා සිටියා. එහෙම නැතිව පිටතින් ගෙනැත් නිර්මාණයට ලිංගිකත්වය ඔබලා නැහැ.
ලිංගිකත්වය පිළිබඳ ඔබට යමෙක් චෝදනා කළොත්?
ඇත්තම කිව්වොත් එවැනි චෝදනා කරන්නේ රංගනය හා සිනමාව කියන විෂය ක්ෂේත්‍රය පිළිබඳ දන්නා අය නෙවෙයි. මම හැමෝටම ආරාධනා කරන්නේ දූපත් මානසිකත්වයෙන් එළියට ගිහින් මේ නිර්මාණය නරඹන්න කියලා. ඒ වගේම මේ චරිතයට මම විශාල කැපකිරීමක් කළා. මේනකා කියන්නේ බීඩි ඔතලා ජීවිතය ජයගන්න උත්සාහ කළ තරුණියක්. ඒ අත්දැකීම් ලබා ගන්න මා එවන් කෙනෙකු මුණ ගැසුණා. රූගත කිරීම් කළ පරිසරය වගේම චාන්දනී අක්කගෙන් ලැබුණු සහයෝගයත් මෙහිදී සිහිපත් කළ යුතුමයි. මමත් සමඟ රඟපෑ ජගත් වගේම කණ්ඩායමේ සිටිය කාර්මික ශිල්පියාගේ පටන් සියලු දෙනාගෙන්ම ලැබුණු සහයෝගය බොහොම අගය කළ යුතුයි.’
දිගු ගමනක නිරතවීමට සැරැසී සිටින සුලෝචනා පැවසුවේ සිය සිතට එකඟවමය.
වෘත්තිය රංගන ශිල්පිනියක් වීම ඔබට ගැටලු ඇති කරන්නක් නොවේද?
වෘත්තීය ලෙස රංගනය තේරා ගැනීම පිළිබඳ මම පිළිවිසියෙමි.
‘මම ජීවත් වෙන්නේ මගේ හෘද සාක්ෂියට අනුවයි. ඕනෑම වෘත්තියකදී තමා කරන කටයුත්ත හොඳීන් කරනවා නම්, තමන් හොඳට හැසිරෙනවා නම් කිසිම කෙනෙක් තමන්ට චෝදනා නොකරාවි. මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ එක් කෙනෙක් දෙන්නෙක් කරන දේවලින් සමස්තය තීරණය කරන්න එපා කියලා. එහෙම කළොත් වැරැදියි.’
‘ඉදිරියේදී ඔබව දැකිය හැක්කේ?’
‘මම රංගන ශිල්පිනියක් විදියට, මට යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් රඟපාන්න දෙපාරක් සිතන්නේ නැහැ. එකිනෙකට වෙනස් චරිත රඟපාන්න නිතරම මා උත්සාහ කරනවා. මේ දවස්වල වසන්ත නවරත්න බණ්ඩාරගේ ‘පුන්තිලා’ ඊ. එම්. ඩී උපාලිගේ ‘ඉඩම විකිණේ’, අසංක සායක්කාරගේ ‘මයි කා කොයි පෙට්ට්‍රල්’ කියන වේදිකා නාට්‍යවල පුහණුවීම් කටයුතුවල යෙදෙනවා. ඒ වගේම පාසල් ළමයි වෙනුවෙන් ෆෝරම් තියටර් සමඟ පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහයෝගය දෙනවා. ඒත් සමඟම මගේ සමාජ විද්‍යාපති උපාධි නිබන්ධය සඳහා සූදානම් වෙනවා. මේ දවස්වල මගේ විශේෂ කටයුතු අතර ඒවාත් විශේෂයි.’
දඟකාරිය, කටකාරි, සොඳුරු යුවතිය සමඟ ගෙවුණු හෝරා කිහිපයට විරාමය තබමින් අපි ඇයට සමු දුනිමු. ඒ හෙට දවසෙහි දක්ෂ රංගන ශිල්පිනියක වී මතු දවස බබළවන්නටය.
READ MORE - ලිංගිකත්වය පිළිබඳ ඔබට යමෙක් චෝදනා කළොත්?

චතූ පබා දිල්හාරා - 'විජය කුවේණි'

ගැමි චරිතයක් කරන්න ආසයි

අද The Gallary සමඟ එක්වන්නේ චතූ පබා දිල්හාරා ය. කුඩා කල පටන්ම කලාවට අසීමිතව ආදරය කළ පබා ප්‍රසිද්ධ වේදිකාවට පා තබන්නේ රත්නසිරි පරණවිතානගේ සිද්ධාර්ථ වේදිකා නාට්‍ය හරහා ය. ඉන්පසුව ටෙලිනාට්‍ය බොහොමයක චරිත මවා පබා සිනමාවට පිවිසෙන්නේ 'විජය කුවේණි' චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමිනි. එමෙන්ම ලංකාවේ ජනපි‍්‍රය රූප රචනා මෙන්ම වෙළෙඳ දැන්වීම් සඳහා ද පබාගේ රුව එක්ව තිබේ.
* කොහොමද මේ ගමන පටන්ගන්නෙ...
පුංචිකාලෙ ඉඳලම කලාවට අසීමිතව ආදරය කළා. ඒ නිසාම නිරතුරුවම චිත්‍රපට වේදිකා නාට්‍ය වගේම ටෙලිනාට්‍ය නරඹන්නටත් කාලය වෙන්කර ගත්තා. පාසල් කාලයේ පොත පත කියවන්නටත් පුරුදුවෙලා හිටියා. මගේ රංගන ගමනේ ආරම්භය සිදු වුණේ රත්නසිරි පරණවිතානයන්ගේ සිද්ධාර්ථ වේදිකා නාට්‍යයෙන්.
* ඔබ රංගනය සහ නිරූපණය හදාරපු කෙනෙක්ද?
රංගනය නිරූපණය වගේම නර්තනය පිළිබඳත් මා හදාරා තියෙනවා. ඒ වගේම දිනෙන් දින දියුණු වන මේ ක්ෂේත්‍ර පිළිබඳ නිරතුරුවම මා ස්ව අධ්‍යයනයක යෙදෙනවා.
* කලාවට සම්බන්ධ වීම ගැන තෘප්තිමත්ද?
මේ සුන්දර රටේ ඉපදිලා අපේ ජනතාව පිනවන්න ඉඩක් ලැබීම භාග්‍යයක්..
* කලාවට සම්බන්ධ නොවුණා නම්...
අලෙවිකරණය සම්බන්ධ රැකියාවකට යොමු වේවි.
* රංගනයට අමතරව මොනවද කරන්නෙ?
කැලණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. ඒ වගේම අන්තර්ජාල රූපවාහිනී සේවාවක නිවේදිකාවක් ලෙසටත් කටයුතු කරනවා.
* කලාව සහ ව්‍යාපාර කියන්නෙ ක්ෂේත්‍ර දෙකක්..
කලා කටයුතු කරන අතරේ ව්‍යාපාර ගැනත් ඉගෙන ගන්නෙ ඉදිරියෙදී මේ ක්ෂේත්‍ර දෙකම හොඳින් හදාරා ශක්තිමත් ගමනක් යන්නටයි.
* ඔබගේ පි‍්‍රයතම නිළිය ?
චාන්දනී සෙනෙවිරත්න
* ඒකට හේතුවක් තියෙනවද?
එතුමියගෙ රඟපෑම හරිම තාත්විකයි. ඒවගේම ඒ ඒ චරිතවලට ඇය අනුගත වෙන්නෙ ඉතා හොඳ අධ්‍යයනයකින් වග නරඹන ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ නිසා මම ඇයට ආදරය කරනවා, ගරු කරනවා වගේම ඒ රඟපෑමෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.
* මෑත කාලයේ ඔබේ හිත තදින්ම බැඳුණු චරිතයක් තිබෙනවාද?
ස්වයංජාත ටෙලිනාට්‍යයේ ජගත් චමිල රඟ පෑ වෙනස්ම ආකාරයේ චරිතයට මං කැමැතියි.
* ඔබ තවත් නර්ථන ශිල්පිනියක්ද?
රිද්මි නර්තන කණ්ඩායමට එකතුවෙලා කටයුතු කරනවා.
* ඉදිරියේදී රඟපෑමට කැමැතිම චරිතයක් තියෙනවද?
ඉතාමත් දුෂ්කර ගමක ඉපිද හැදී වැඩී අනේක දුක් දෝමනස්සවලට මුහුණ දෙන අවසානයේ තම ජීවිතය ජය ගන්න තරුණියකගේ චරිතයක් නිරූපණය කරන්නට කැමැතියි.
* ඉදිරියේ දී ඔබට දීර්ඝ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබෙන්නට යන බවත් ආරංචියි..
ඔව්. එය තාමත් තියෙන්නෙ සාකච්ඡා මට්ටමේ.. ස්ථිර වූ වහාම සරසවියට කියන්නම්.

READ MORE - චතූ පබා දිල්හාරා - 'විජය කුවේණි'

‘පිංකි බබා’

‘නිකිණි වැස්ස’ අභියෝගයට මම හොඳින් මුහුණ දුන්නා

සුලෝචනා වීරසිංහ
බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ ‘පිංකි බබා’ යනුවෙනි. ඒ පසුගිය දිනවල විකාශය වූ ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කළ චරිතය නිසාය. ඇය සුලෝචනා වීරසිංහ. සුලෝචනා මේ දිනවල කාගේත් කතාබහට ලක්වන්නේ මේ දිනවල තිරගත වන ‘නිකිණි වැස්ස’ චිත්‍රපටයේ ඉතා සාර්ථක රංගනයක නියැළෙන නිසාය. සුලෝචනා වේදිකාවෙන් පුංචි තිරයටත් රිදී තිරයටත් පැමිණි රංගන ශිල්පිනියකි. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගය වෙන් වන්නේ සුලෝචනා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
කොහොම ද 'නිකිණි වැස්ස' චිත්‍රපටියේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා; ප්‍රේක්ෂකයින්ගෙන් සහ විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ගෙන්. ‘නිකිණි වැස්ස’ චිත්‍රපටියේ තේමාවම ඉතාම සුවිශේෂී එකක්. මෙය මිනී එම්බාම් කරන ස්ත්‍රියක් වටා ගොඩනැඟුණු කතාවක්. මෙහි සුවිශේෂත්වය වන්නේ මෙය සත්‍ය කතාවක් වීමයි. මේ චිත්‍රපටය තමයි මම රංගනයෙන් දායක වී තිරගත වුණු පළමු චිත්‍රපටය. ඉතින් මගේ පළමු රංගනයට හොඳ ප්‍රතිචාරයක් ලැබීම ගැන සතුටුයි.
'නිකිණි වැස්සේ' මේනකාගේ චරිතය නිරූපණය ඔබට අභියෝගයක් වුණා ද?
දවසක් අරුණ ජයවර්ධන මහත්මයා මහරගම තරුණ සේවා සභාවේදී මුණගැසිලා ‘නිකිණි වැස්ස’ තිර පිටපත මට දුන්නා; ඒ ගැන කතා කළා. මම ඒ පිටපත ගෙදර අරගෙන ඇවිත් හොඳින් කියෙව්වා.
මට තේරුණා මේ චිත්‍රපටයේ මගේ චරිතයෙන් මට යමක් කරන්න පුළුවන් බව. මේනකා අම්පාර ප්‍රදේශයේ දුෂ්කර ගමක ජීවත්වන අලි මිනිස් ගැටුම වැනි පාරිසරික ප්‍රශ්නවලටත් ආර්ථික ප්‍රශ්නවලටත් මැදිව ජීවත්වන තරුණියක්. ඇයටත් මනුස්ස යුවතියකට තියෙන හැඟීම්, මනෝභාව සියල්ල තියෙනවා.
මේ චරිතය මේ පොළොව මත ජීවත්වන චරිතයක්. ඉතින් මම ඉතාම ආශාවෙන් මේ චරිතය නිරූපණයට බාරගත්තා. මේ චිත්‍රපටයට දායක වෙන අනෙක් පිරිස ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ පිරිසක්. එවැනි පිරිසක් සමඟ වැඩ කරන්න ලැබීමත් මේ චිත්‍රපටියට මාව උනන්දු කළ තවත් කාරණයක්. මම හිතනව මෙවැනි චරිතයක් නිරූපණය කිරීම කිසියම් අභියෝගයක් වුණත් වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මම ඒ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා කියලා.
මේ දවස්වල ඔබ මොන වගේ වැඩත් එක්ක ද ඉන්නෙ?
මේ දවස්වල රූපගත කිරීම්වලට අඩුවෙනුයි දායක වෙන්නේ. ටෙලි නාට්‍ය දෙක තුනකට ඇරියුම් ලැබුණත් ඒ ටෙලි නාට්‍යවල තිබුණු මූල්‍ය සහ වෙනත් ගැටලු නිසා මම ඒවා බාරගත්තෙ නෑ. මේ දවස්වල 'පුන්තිලා' වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේත්, ‘ඉඩමේදී විකිණේ’, ‘මයි කාර් කොයි පෙට්‍රල්’ යන වේදිකා නාට්‍යවලත් පුහුණුවීම් වල නිරත වෙලා ඉන්නවා. ඒ නිසා මම මේ දවස්වල වේදිකාව සමඟ වැඩියෙන් ඉන්නවා කීම නිවැරැදියි.
ඒ වගේම ‘ෆෝර්ම් තියටර්’ කණ්ඩායමත් සමඟ එකතු වෙලා ළමා අපචාර සම්බන්ධව පාසල් ළමයින් සහ දෙමවුපියන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔබ කොහොම ද කලාවට සම්බන්ධ වුණේ?
මම පාසල් ගියේ කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයට සහ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට. පාසලේදී මම ආශා කළේ සංගීතයට. මගේ ජීවිතය වෙනස් කළේ කැලණිය විශ්ව විද්‍යාලය. විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා මම ඉගෙන ගත්තේ ජනසන්නිවේදනය විෂය. 2005 අවුරුද්දේ විශ්ව විද්‍යාලයේ මගේ මිතුරියක් වන ලක්ෂි චන්දිමා මට කතා කළා වේදිකා නාට්‍යයක රඟපාන්න. ඒ ඇයගේ නිර්මාණයක් වුණු අන්තර් විශ්ව විද්‍යාල කෙටි නාට්‍ය තරගාවලියට ඉදිරිපත් කෙරුණු ‘පෙම්වතා නැතිවෙලා’ වේදිකා නාට්‍යයට. එහි එක් චරිතයකට එනව කියල කියපු කෙනෙක් නාව නිසයි මට කතා කළේ.
එක පාරටම මම බැහැයි කිව්වා. ඒ මොකද රංගනයට මගේ ආශාවක් වගේම දැනුමකුත් ඒ වන විට මට නොතිබුණු නිසා. බැරිම තැන මම මගේ මිතුරියගේ ආරාධනයට කැමැති වුණා.
ඒ මගේ පළමු රංගනය. එය එම නාට්‍ය උලෙළේදී ඇගැයීමකට ලක්වුණා. කොහොමහරි ඒ දවස්වල මම සෝමලතා සුබසිංහ සහ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මීන්ගේ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වුණා. ඉන් ටික කලකට පසුව මම රඟපෑ ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ වේදිකා නාට්‍යය මගේ රංගන ජීවිතය වෙනස් කළා. එය නැරඹු කලාකරුවන් රැසක්ම ඔවුන්ගේ නිර්මාණවලට මට කතා කළා. ඉන් පසුව ටෙලි නාට්‍ය කීපයකටත් චිත්‍රපට කීපයකටත් දායකවෙන්න අවස්ථාව ලැබුණා.
‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ ‘පිංකි බබා'ට සමාජයේ බොහෝ දෙනෙක් ආදරය කළා නේද?
ඇත්තෙන්ම ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයට ලැබුණු සහ තවමත් ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.
මම රට පුරාම වේදිකා නාට්‍යවලට යන විට සමාජයේ ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ ‘පිංකි බබා’ කියලා. ඒ වගේම ‘සිහින පුරය’ රූපගත කළ කාලය හරිම සුන්දර කාලයක්. එක පවුලක අය වගේ අපි කට්ටිය වැඩ කළේ.
READ MORE - ‘පිංකි බබා’

‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

Tuesday, June 18, 2013

‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

සංවාදය
 
සිරි හෙට්ටිආරච්චිගෙන් රජිව් සෙබස්තියන්ට පිළිතුරු
මුදල් ගෙවා ලබාගත් සින්දු මිසක් ක්ලැරන්ස්ගේ වෙන සින්දු කිව්වොත් අපි සෙබස්තියන්ට නඩු පවරනවා
ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශවයෙන් රජිව් සෙබස්තියන්ට කැලැරන්ස්ගේ ගීත තහනම් බැව් පවසන නමුත් රජිව් පවසන්නේ තමන් දිගටම ක්ලැරන්ස්ගේ ගී ගායනා කරන බවයි. ඒ සම්බන්ධයෙන් පසුගිය දෙවැනිදා ‘රසඳුන’ සමඟ රජිව් විශේෂ හෙළිදරව්වක් කළ අතර ඊට එරෙහිවූ සිරි හෙට්ටිආරච්චි ‘ක්ලැරන්ස්ගේ ගී රජිව්ට තහනම් ද’ සංවාදයට එක් වෙමින් කළ කතා බහයි මේ.
“මම මුලින්ම ත්‍යාගරාජා රජිව් ජෝශප් සෙබස්තියන් එහෙම නැත්නම් රජිව් සෙබස්තියන් ශීලා විජේවර්ධන මහත්මියටත් මටත් දොස් පවරමින් ජුනි දෙවැනිදා “රසඳුන” මඟින් කළ සියලුම ප්‍රකාශ අමූලික බොරු බව සහතික කොට පවසනවා. සෙබස්තින් කියලා තියෙන්නේ පට්ටපල් බොරු. (“රජිව් කියා ලියන්න එපා” යයි ඉල්ලමින්...) කටට ආපු බොරු ඇද බාලා මිනිස්සු රවට්ටලා. ඒ වගේම වැදගතුන්ට නිග්‍රහ කරලා. කාට ද ඔහු මේ අපහාස කරලා තියෙන්නේ. රත්නපුර බටුගෙදර හොඳ වලව්වකින් පැමිණි කුල කාන්තාවක් වන, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ආදරණීය බිරියටයි.
 ශීලා විජේවර්ධන මහත්මියගේ මියගිය ස්වාමි පුරුෂයාගේ ගීත ගායනා කරමින් ජීවත් වෙමින් මොහු කරන දේ හරිද. මියගිය ක්ලැරන්ස්ගේ නමට කොච්චර අගෞරවයක් ද ඔහුගේ ඇටකටු මතක් කර ප්‍රකාශ කරද්දී. මේ වැදගත් මිනිස්සු කරන ප්‍රකාශ නෙමේ, මුඩුක්කු වලින් ආපු මිනිස්සු කියන දේවල්. අද මුඩුක්කු වල මිනිස්සුවත් ඔය වගේ ජරා කතා කියන්නේ නැහැ. කිසිම වැදගත්කමකට නැති මොහු කියපු දේවල් වලට රසඳුනේ ඉඩ දුන්නා නම් මේ අපි කියන දේවලුත් කෙළින්ම පළකර දෙන්න කියා මං ඉල්ලා සිටිනවා. එසේ නැත්නම් ක්ලැරන්ස්ගේ පාර්ශවයෙන් අපිට ලොකු අසාධාරණක් සිද්ධ වෙනවා.”
“මම නැවතත් කියනවා, සෙබස්තියන් කියා තිබුණු සියලුම කාරණා පට්ටපල් බොරු කියලා. මම ඔහුට අභියෝග කරනවා - මං මේ කියන එක කරුණක් හෝ බොරු නම් මට විරුද්ධව නඩු පවරන්න කියා. ඔය සෙබස්තියන් කියන කරන තරමක් කියන්නේ කරන්නේ බොරුමයි.”
ඔබ එලෙස පැවසුවත් ක්ලැරන්ස් ජීවත්ව සිටියදී තමන් සමඟ කළ කී බොහෝ දේවල් පිළිබඳ රජිව් සාක්ෂි ඇතුව පවසා තිබුණා නේද..?
“මම ඒ සියල්ල ගැන ශීලා විජේවර්ධන මහත්මියගෙන් විමසා බැලුවා. ඇය පැවසුවේත් ඔය සෙබස්තියන් පවසා තියෙන්නේ අමූලික බොරු බවයි. (“ඔය සේරම හෙළිදරව් කරලා ඇත්ත පෙන්නලා දෙන්න ඉක්මනින්ම ආයෙමත් විජේවර්ධන මහත්මිය ලංකාවට එනවා කියලත් කිව්වා” යයි සිහිපත් කරමින්...) මම දන්නා අයුරින් මම පවසන්නේත් එයමයි. ක්ලැරන්ස් මහත්මයා ජීවත්ව සිටිද්දී කිසි දවසක සෙබස්තියන් ඔහුගේ නිවෙසට පැමිණ නැති බව අපි තවදුරටත් පැහැදිලිවම පවසනවා. හැබැයි ගේට්ටුව ගාවට ඇවිල්ලා හිටගෙන ඉඳලා හැරිලා ගියා කියලා නම් ආරංචියක් තියෙනවා.
ක්ලැරන්ස් මහත්මයාගේ තලපත්පිටියේ ගෙදරට මුලින්ම ඔය සෙබස්තියන්ව එක්කන් ගියේ මමයි. ඒ අපි පවරා තිබුණු නඩුව සමථයකට පත් කර ගන්න කතාබහ කිරීමටයි. එතකොට ක්ලැරන්ස් ජීවතුන් අතර නැහැ. විජේවර්ධන මහත්මිය උන්නේ ඕස්ට්‍රේලියාවේ. මට තාම මතකයි, සෙබස්තින් එදා සරමක් ඇඳගෙන ආවේ. හර්නියා ඔපරේෂන් එකක් කරලයි ඉන්නේ කිව්වා. මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. එතැන ඉඳලා සෙබස්තියන් පවසා ඇති හැමදේම බොරු. ඒ නිසා මම හැමදේම මුල ඉඳලා කියන්නම්.”
“සෙබස්තින් කියනවානේ ඔහුගේ සංගීත ක්ෂේත්‍රයේ වීරයා ක්ලැරන්ස් කියලා. එසේ නම් ඔහු සරත් කොතලාවල සමඟ එකතු වී අනවසරයෙන් ක්ලැරන්ස්ගේ ගී ගයා CD වලට ඇතුළත් කළේ ඇයි..? එම නිසා තමයි 2005 දෙසැම්බර් මාසයේ දී ශීලා විජේවර්ධන මැතිනිය සෙබස්තියන්ටයි, සරත් කොතලාවලටයි විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩුවක් (අංක ඩ්ඛ්/සිවිල්/26-2005 නඩුව) පැවරුවේ. නඩුව විභාගයට ගැනීමට සූදානම් වනවිට සෙබස්තියන් මා සමඟ සාකච්ඡා කර එය සමථයකට පත් කර ගත්තා.
 ඒත් විජේවර්ධන මහත්මිය එයට තරයේ විරුද්ධ වුණා. මගේ තනි කැමැත්තට අපි සමථයකට ආවා, අවුරුද්දක් ඇතුළත ලක්ෂ 20 ක් ගෙවීමට මහාධිකරණයේ දී පොරොන්දු වෙලා. ඒ අනුව එම නඩුව තාවකාලිකව ඇණ හිටියා. හැබැයි අධිකරණය සෙබස්තියන්ට නියම කළා අනවසරයෙන් ක්ලැරන්ස්ගේ ගී ගායනා කිරීම සපුරා තහනම් බවටත්, එසේ ගායනා කිරීමට අවශ්‍ය නම් ශීලා විජේවර්ධන මහත්මියගෙන් දින 14 කට කලින් ලිඛිතව අවසර ගත යුතු බවටත් ගායනා කරන ගීත වලට 30% ක මුදලක් ගෙවිය යුතු බවටත්. මේවා සියල්ලම නඩු වාර්තාවේ සදහන් වී තිබෙනවා. ‘සෙබස්තියන්ට ඒවා දැන් මතක නැද්ද’ කියා මට හිතෙන හින්දයි මෙහෙම නැවත මතක් කර දෙන්න හිතුවේ.”
“මම කියන්නේ සාක්ෂි තියෙන කාරණායි. මියගිය පුද්ගලයින්ගේ නම් සදහන් වෙන කාරණා මං ඉදිරිපත් කරන්නේ නැහැ. අවුරුද්දක් ඇතුළත පොරොන්දු වූ මුදල සෙබස්තියන්ට ගෙවන්න බැරි වුණාම නැවත නඩු දිනේකදී ඔහු ඇස්වල කඳුළු පුරෝගෙන මහාධිකරණ භූමියේ දී මා ළඟට ඇවිත් ‘තව අවුරුද්දක් කල් දෙන්න’ කියා බැගෑපත් වුණා. මම අනුකම්පා කර සෙබස්තියන්ට මුදල් ගෙවීම සඳහා තව අවුරුද්දක් ලබා දෙන ලෙස නීතිඥයන්ට උපදෙස් දුන්නා. දැන් එම කාල සීමාවත් ඉවරයි. තවම ඔහු ගෙවා තිබෙන්නේ රුපියල් ලක්ෂ 7 1/2 ක් (හත හමාරක්) පමණයි.
තව රුපිල් ලක්ෂ 12 1/2 ක් ඔහුගෙන් අපට අයකර ගැනීමට තියෙනවා. මීට අමතරව ලක්ෂ 2 1/2 ක (දෙකහමාරක) අගරු චෙක් පතක් සෙබස්තියන් මා හට දී වංචාවක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප මහරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කළා. මේවා බොරු නෙමේ. පොලිස් පොතේ මේ විස්තර සියල්ලම සටහන් වී තියෙනවා. ඒ වගේම අගරු වූ චෙක්පත ඉදිරිපත් කරන්නත් පුළුවන්. නඩු අංකය ඉදිරිපත් කරන්නත් පුළුවන්.
සෙබස්තියන් මාව පමණක් නෙමේ කාලයකට ඉහත දමයන්ත කුරුප්පු සහ සරත් කොතලාවල ඇතුළු කිහිප දෙනෙකුවම රවටා තියෙනවා. සෙබස්තියන් කාඩ්බෝඩ් ක්ලැරන්ස් වි?ජේවර්ධන කෙනෙක් වෙන්න ගිහින් ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ක්ලැරන්ස්ගේ සින්දු පොඩ්ඩක් එහා මෙහා කරලා හදලා දුන්නු ‘සුසීමා’ චිත්‍රප?ටයේ සින්දු අසාර්ථක වීම නිසා එහි නිෂ්පාදකයින්ට බරපතළ පාඩුවකුත් සිදු වුණා. ඒ ගැන ‘සුසීමා’ චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂ මහතුන්ගෙන් අසා දැන ගන්නත් පුළුවන්.”
2001 නොවැම්බර් මාසයේ දිනයකදී ක්ලැරන්ස් උපහාර ප්‍රසංගයක් පවත්වා ශීලා විජේවර්ධනට මුදල් පරිත්‍යාගයක් කළ බවත් රජිව් සෙබස්තියන් පැවසුවා නේද..?
“එයත් අමූලික බොරුවක්. ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස පැවැත්වූ ක්ලැරන්ස්ගේ ගී ගායනා කළ සංගීත ප්‍රසංගයකදී එම සංගමයේ භාණ්ඩාගාරිකවරයා අත්සන් කළ මුදල් චෙක් පතක් නම් දමයන්ත කුරුප්පු මහත්මයා විජේවර්ධන මහත්මියට බාර දුන්නා. එම ප්‍රසංගය සෙබස්තියන් පැවැත් වූ ප්‍රසංගක් නොවේ. ඉතින් ඒ මුදල සෙබස්තියන් දුන්නු මුදලක් වෙන්නේ කොහොමද. ඔය වගේ පට්ටපල් බොරු තමයි ඔහු ඇද බාන්නේ.”
රජිව් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ඔහුට ක්ලැරන්ස් එවූ ලිපිය සහ ගුවන් විදුලියේ ගීත අනුමැතිය ලද බව සනාථ කරන ලිපිය ඔබ පිළිගන්නවා ද..?
“නැහැ. මම කොහොමත්ම ඒවා පිළිගන්නේ නැහැ. සෙබස්තියන්ට ගොඩාක් බොරු කියන්න, කරන්න පුළුවන්. ක්ලැරන්ස්ගේ අස්සන හොරට ගහලා ඉදිරිපත් කළා ද දන්නේ නැහැනේ. මං හිතනවා ක්ලැරන්ස් එව්වා කියන ලිපිය ව්‍යාජ අස්සනක් යොදා ගත් ලිපියක් කියලා. ගුවන් විදුලියේ ගීත අනුමත වූ ලිපිය ගැන මං දන්නේ නැහැ. විජේවර්ධන මහත්මිය එය විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා එම ලිපි අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා.”
එසේ නම් රජිව් ඉදිරිපත් කර ඇති ජීවමාන පුද්ගල සාක්ෂි පිළිබඳ ඔබ පවසන්නේ කුමක්ද..?
“මම ‘රසඳුන’ ඉල්ලා සිටිනවා - සෙබස්තින් ඉදිරිපත් කරන එම ජීවමාන සාක්ෂිකරුවන් වන දයානන්ද පෙරේරා, සරත් කොතලාවල, විජය රාමනායක, කුලරත්න ආරියවංශ වැනි මහත්මයින්ගෙන් විමසා බලන්න කියා. ඒ වගේම දමයන්ත කුරුප්පු මහත්මයාගෙනුත් හුඟාක් කාරණා දැන ගන්න පුළුවන්. කුරුප්පු මහත්මයා ළඟ ඉඳලා යම් යම් දේවල් ඉගෙන ගෙන අන්තිමේ දැන් ඒ මහත්යාට දොස් කියන සෙබස්තියන් ගැන දැන ගන්න ඉන්න හොඳම ජීවමාන පුද්ගල සාක්ෂිය කුරුප්පු මහත්මයාමයි, සෙබස්තින් වගේ නෙමෙයි ඒ මහත්මයා. මම වගේ එංගලන්තයේ අධ්‍යාපනය ලබපු උසස් අධ්‍යාපන සුදුසුකම් තියෙන මහත්මයෙක් තමයි කුරුප්පු මහත්මයාත්.”
ක්ලැරන්ස්ගේ මළගමට ඔබ උන්නා නම් එය ඔප්පු කරන ලෙස රජිව් අභියෝග කරනවා නේද..?
“එයාගේ මොන අභියෝගයක් ද ඕක. එදා සෙබස්තියන් අස්සක මුල්ලකවත් ඉන්නවා නම් මම දැක්කේ නැහැ. මළගමේ ඍඩ්ඉ පටය මා ගාව තාම තියෙනවා. ඕනෑම වෙලාවක මට එය ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය ඔක්කොම පසුපස ඉන්නවා ක්ලැරන්ස් හින්දා යන්තම් නමක් හදා ගත්ත ෂෙල්ටන් වීරරත්න කියලා පුද්ගලයෙක්. ඒ පුද්ගලයා දෙන වැරදි උපදෙස් අනුව තමයි සෙබස්තියන් ඔය කියවන්නේ. ෂෙල්ටන් වීරරත්නත් දැන ගත්තොත් හොදයි, මම ශීලා විජේවර්ධන මහත්මියගේ පමණක් නොවේ අමිලා විජේවර්ධන මෙනවියගේත් ඇටෝර්නි බලකරු බව.”
ඔබ ශීලා විජේවර්ධනගේ ඥාතියෙකු නොවන බවත් රජිව් පවසනවා..?
“මගේ නෑදෑකම හොයන්න සෙබස්තියන්ට තියෙන අයිතිය මොකක්ද. ඔය නෑදෑකම සහෝදරකම් ඔක්කොටම වඩා වටින්නේ ‘ඇටෝර්නි බලකරු’ කියන එකයි. එය හරිහැටි නොදන්න අය එක්ක වාද කරලා තවදුරටත් කාලය නාස්ති කරන්න මං බලාපොරොත්තු වෙන්නේ නැැ. ‘එම්’ එන්ටටේන්මන්ට්ස් එකෙන් මුදල් ගෙවා අරගෙන කියන සින්දු ඇරෙන්න ක්ලැරන්ස්ට අයිති වෙනත් සින්දු කොතැනකදී හෝ සෙබස්තියන් කිව්වොත් ගන්න පුළුවන් ඉහළම නීති මාර්ග ගැනීමට පියවර ගන්නා බව අවසාන වශයෙන් මම සහතික කොට කියනවා.”
READ MORE - ‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය


ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ළමයින් වෙනුවෙන්ම වෙන්වූ ගුවන් විදුලි සේවාවක් හදුන්වා දී තිබේ. 

මෙම ගුවන් විදුලි සේවාව හදුන්වන නාමය වන්නේ විදුල ළමා ගුවන් විදුලිය යි. 
FM 107.5 ඔස්සේ මෙම සේවාව රසවිදිය හැක.
----------------------------------------
හැත්තෑව දශකයේ අගභාගයේ සහ අසූව දශකයේ රසවිඳි ළමාගීවල 
රසය නැවතත් ඔබේ දෙසවනට......සිතින් නැවතත් ඔබේ ළමා කාලයට පියමණින්න.......ඔබ ඇසූ ළමා ගී ඒ හඬින්ම ඔබේ දරුවාටත් රසවිඳින්න අවස්ථාව ලබා දෙන්න....


ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
විදුල ළමා ගුවන් විදුලියේ උදෑසන විකාශය 
දැන් ඔබට පෙරවරු 05.30 සිට පෙරවරු 08.00 දක්වා 
 
Fm 107.5 Mhz
 
ඔස්සේ සවන් දිය හැකියි.

එසේම ඒ පිළිබදව ඔබ දක්වන 
ආකල්ප නව යෝජනා ඇතොත් අපට ලියා දැන්වීම මගින්, 
උදා විකාශය ගුනාත්මක බවින් ප‍්‍රචාරය කිරීමට 
හැකිවන බව දන්වා සිටිමු.

විදුල ශ‍්‍රාවක සමීක්‍ෂා
විදුල ළමා ගුවන් විදුලිය
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව
කොළඹ 07

READ MORE - ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය

’අභීත දියණිය’

පුංචි කුමාරයාට වෙන දේ හරියට මට වෙනවා වගෙයි

‘අභීත දියණිය’ පුංචි කුමාරයාට හඬ කවන
යොං සෝ කුමරු
මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ’අභීත දියණිය’ මාලා නාටකය වයස් භේදයකින් තොරව ලොකු පොඩි කා අතරත් එකසේ ජනපි‍්‍රය යි. ‘දොං යී’ ගේ පුංචි පුත් කුමරු ‘යොං සෝ’ ට කුඩා දුවා දරුවන් දක්වන්නේ ඉමහත් ආසාවකි. මේ පුංචි කුමරු ගේ චරිතය මෙතරම් ජනපි‍්‍රය වීමට එම චරිතයට පණ දෙන කට හඬ ඉවහල් වී තිබේ. ‘යොං සෝ’ ට හඬ කවන්නේ තවමත් පාසල් වියේ පසුවන පුංචි පුතෙකි. ඔහු නමින් නිරෝෂ් ලක්ෂාන් ද සිල්වායි. පොකුණුවිට සිරිමෙවන් මහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ පුංචි පුතු කලා හැකියාවන්ගෙන් ඉදිරියෙන් ම සිටින්නේය. ලක්ෂාන් තමා හඬ කවන පුංචි පුත් කුමරුගේ චරිතය ගැන අපිත් එක්ක කතා කළේ මේ විදිහට.
”දොං යී ගෙ පුංචි පුතා හරිම හුරතල්. ඔහුට මගේ හඬ ලබාදෙන්න හැකිවීම ගැන මම හුඟාක් සතුටු වෙවා. එය ඉතාම සංවේදී චරිතයක්. මම හඬ කවන කොට දැනෙන්නේ පුංචි කුමාරයට වෙන දේ හරියට මට වෙනව වගේයි. ඉතින් සංවේදී තැන්වල දී මටත් ඇත්තටම එයා අඬන කොට ඇඬෙනවා.
ලක්ෂාන් ගේ කලා හැකියාවන් හඳුනාගෙන ඔහුව දිරිමත් කරන අය බොහෝයි.
”මම පුංචි දවස්වල ඉඳලම කථික තරග, ගායනා ආදියට දක්ෂයි. කොහොමින් හෝ පොකුණුවිට ශ්‍රී විනයාලංකාර අපේ පන්සලේ දහම් පාසලේ වැඩසටහනක් කරන්න ජාතික රූපවාහිනියෙන් පැමිණියා. එහිදී මම ස්තූති කතාව කළා. මෙතනට පැමිණ සිටියා ජාතික රූපවාහිනියේ ප්‍රධානියකු වන අතුල රන්සිරිලාල් මාමා. එතුමා තමයි මාව ජාතික රූපවාහිනියට ගෙනැවිත් හඬ කැවීම් ඇතුළු කලා කටයුතුවලට දායක කර ගත්තේ. එතුමාගේ මඟ පෙන්වීම නොවන්නට අද මට මෙතරම් දුරක් එන්නට ලැබෙන්නේ නැහැ.
අද වන විට හුඟාක් කාටුන් වැඩසටහන්වලට මම හඬ කවලා තිබෙනවා. ඒ අතර ‘අතුරු මිතුරු’, ‘දුනුවලිගා’ විශේෂයි. ඒ වගේම ඒකාංගික ටෙලිනාට්‍යකත් චරිත නිරූපණය කරන්න අවස්ථාව මට හිමි වුණා. මගේ අනාගත බලාපොරොත්තුවත් කලා අංශයෙන්ම ඉදිරියට යාමයි.
මුලදී යම් චකිතයක් හිතේ තිබුණත් දැන් නම් එයට හුඟාක් හුරුයි. ඒ වගේම හුඟාක් ආසාවෙන් තමයි හඬ කැවීම් කටයුතු කරන්නේ. මට හිතෙන්නේ ‘යොං සෝ’ කුමරු මගේ ඇඟේ ජීවත් වෙනවා කියලයි.
සහෝදරියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වන ලක්ෂාන් කලාවේ නිරතවීමට අත හිත දුන් සැමටම තම ස්තූතිය පුද කර සිටිනවා.
”අභීත දියණී” නාට්‍යය නරඹන හුඟදෙනෙක් මට දුරකථනයෙන් අමතා ඔවුන් ගේ සුබ පැතුම් පිරිනමනවා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, යහළු යෙහෙළියන් වගේම පන්සලේ ධම්මානන්ද හිමියන් ඇතුළු හැමදෙනෙක් ම මට ආශිර්වාද කරනවා. ඒ ගැනත් නිහතමානීව මම සතුටු වෙනවා.”
සිරිමෙවන්ගම, පොකුණුවිට ලක්ෂාන් ගේ ලිපිනයයි.
READ MORE - ’අභීත දියණිය’

ඇය සෙනාලි

එංගලන්තයේ හිටපු නිසා මගේ රංගනය ගැන සැකයක් සෝමේ අංකල්ට තිබුණා

'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකා
කවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැ‍ඟෙන ප්‍රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. “රසඳුන” වෙනුවෙන් අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.
‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
චිත්‍රපටය නරඹන ගොඩක් දෙනෙක් මගේ රංගනය අගය කරල කතා කරනවා. චිත්‍රපටය තිරගත වන්න කලින් පවා චිත්‍රපටයට සම්බන්ධ අයගෙන් හොඳ ප්‍රතිචාර මගේ රංගනයට ලැබුණා. හැමෝම මගේ රංගන ජීවිතයට සුබ පතනවා.
මේ ඔබේ කීවැනි චිත්‍රපටය ද?
ම‍ෙග් පළමු චිත්‍රපටය.
‘සිරිපැරකුම්’ වැනි ඓතිහාසික කතාවක් රැගත් චිත්‍රපටයකින් රංගන ජීවිතය ආරම්භ කරන්න ලැබීම ගැන මොනවද හිතෙන්නේ?
මේක අපේ ‍රටේ ඉතිහාසයට සම්බන්ධ සත්‍ය කතාවක්. මගේ චරිතය සිරිමල් එතනා. ඇය තමයි පරාක්‍රමබාහු කුමාරයා අප්‍රකටව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය. මෙවැනි චිත්‍රපටයකින් රංගන ජීවිතය ආරම්භ කිරීමට ලැබීම ව‍ෙග් ම ආචාර්ය සෝමරත්න දිසානායක මහතා වැනි අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකින් චිත්‍රපට රංගනයට එන්න ලැබීමත් වාසනාවක්.
මේ චිත්‍රපටයේ වැඩකරගෙන යද්දී ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහාය?
ප්‍රවීණ කලාකරුවන් විශාල පිරිසක් එක්ක වැඩ කිරීමේ අවස්ථාව මට මෙහිදී ලැබුණා. මම කලා පවුලකින් එන කෙනෙක් නිසා මේ ප්‍රවීණයින් මට නුහුරු නුපුරුදු අය නෙමෙයි. හැබැයි මීට කලකට පෙර මම ඔවුන් දෙස බැලුවේ ප්‍රේක්ෂකයෙක් විදියට. මේ චිත්‍රපටයේ වැඩ කරන විට ඔවුන් මට ගොඩක් සමීප වුණා.
ඒ වගේ ම විශාල සහයෝගයක් ලබා දුන්නා. රංගනය ගැන, මේ වෘත්තීය ගැන ගොඩක් ඒ උපදෙස් මට ගොඩක් වටිනවා.
කොහොමද ඔබ මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ?
මාව මේ චිත්‍රපටයට තෝරා ගනිද්දි මම හිටියේ එංගලන්තයේ. දැනට අවුරුදු 10 ක ඉඳල මම පදිංචිය එංගලන්තයේ. මම එහේ ඉගෙන ගන්නවා. මේ චිත්‍රපටයට රංගන ශිල්පීන් ගන්නා බව පුවත්පතකින් දැනගන්න ලැබුණා.
ඊට පස්සෙ මම මගේ විස්තරයි ඡායා රූපයකුයි රේණුකා බාලසූරිය මහත්මියට එව්වා. ඒ අනුව මාව චිත්‍රපටයට තෝරා ගත්තත් සෝමරත්න දිසානායක මහතාට පුංචි සැකයක් තිබුණා අවුරුදු 10 ක් තිස්සේ එංගලන්තයේ ජීවත්වන මට, 13 වැනි ශතවර්ෂයේ ලංකාවේ ජීවත් වුණු චරිතයක් නිරූපණය කරන්න පුළුවන් වේවිද කියලා.
ලංකාවට ඇවිත් සෝමරත්න අංකල් ඉදිරියේ මම ඒ චරිතය නිරූපණය කළා. එවිට තමයි ඔහු මා ගැන නිවැරදි තීරණයකට ආවේ. ඒ විදියටයි මම “සිරිපැරකුම්” චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
ඔබ කොහොමද මේ චරිතයට සූදානම් වුණේ?
මූලික වශයෙන්ම මේ චරිතය ගැන හොඳ අවබෝධයක්, සෝමරත්න අංකල්ගෙන් මට ලැබුණා. ඊට අමතරව පරාක්‍රමබාහු කුමාරයා ගැනත් ඒ යුගය පිළිබඳවත් ලියවුණු පොත් මම කියෙව්වා.
ඒ වගේම මට හම්බ වුණා සිරිමල් එතනා ගැනම ලියවුණු පොතක්. ඒ පොතෙන් මට මේ චරිතය ගැන හොඳ අවබෝධයක් ආවා. ඒ විදියටයි මම මේ චරිතයට සූදානම් වුණේ.
ඔබ පුංචි කාලෙත් කලාවට සම්බන්ධ වෙලා සිටියද?
මීට අවුරුදු 10 කට ඉස්සර සිරස නාළිකාවේ “පුංචි පැංචි” වැඩසටහන ඉදිරිපත් කරන්න මම දායක වුණා. ඊට අමතරව ටෙලිනාට්‍ය කීපයකත් රඟපාල තියෙනවා.
ඔබ රංගනයට ආවේ ඔබේ පවුල් පසුබිම නිසාද?
මේ ක්ෂේත්‍රය මට අමුතු තැනක් නෙමෙයි. මගේ නැන්දා (මාලිනී ෆොන්සේකා) මගේ අනෙක් නැන්දලා අක්කල රඟපානව දැකල මටත් ආශා හිතුනා රංගනයට එන්න. ඉතින් අහම්බෙන් වගේ ඒ ආශාව ඉටුවුණා. මගේ අම්මගේ සහෝදරයෙක් වන අශෝක සෙනරත් මුදලිගේ මාමා මට ගොඩක් උදව් කළා.
ඔබ එංගලන්තයේ මොනවද කරන්නෙ?
මම මූලික අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. ලබන අවුරුද්දේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. Bio medical science ඉගෙන ගන්න. මම එංගලන්තයේ හිටියට ලංකාවට හරිම ආදරෙයි.
එතකොට ඔබ රංගනයට සම්බන්ධ වෙන්නේ විනෝදාංශයක් හැටියටද?
විනෝදාංශයක් හැටියට කලා කටයුතුවල යෙදෙන්න මම කැමැති නෑ. ඒ මොකද විනෝදාංශයක් ලෙස කරන දෙයකින් හොඳ දෙයක් කරන්න බැරි නිසා. රංගනය කියන්නෙ කැපවීමකින්, අභ්‍යාස කිරීමකින් ප්‍රගුණ කරන්න ඕන ‍ දෙයක්.
අනාගත යේදී මම ඉගෙන ගන්නා විෂයෙන් ඉදිරියට යන ගමන් කලා ක්ෂේත්‍රයේත් රැ‍ඳෙන්න උත්සාහ කරනවා. කරන දේ වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරන්න මම සැම විටම උත්සාහ කරනවා.
ඔබේ පවුලේ විස්තරත් කියන්න?
මගේ තාත්තා උපාලි ෆොන්සේකා. අම්මා සේනානි ෆොන්සේකා. නැන්දා මාලිනි ෆොන්සේකා. මම තමයි පවුලේ එකම දරුවා. අපි ඉන්නෙ එංගලන්තයේ. මගේ අම්ම එයාගෙ රැකියාවෙන් පවා අයින්වෙලා මගේ වැඩවලට උදව් වෙනවා. තාත්තත් මගේ ළඟින්ම ඉන්නවා.
අවුරුදු 10 ක් තිස්සේ එංගලන්තයේ ජීවත් වුණත් ඔබට හොදින් සිංගල කතා කරන්න පුවවන් නේද ?
ඔව් මට හොදට සිංගල කතා කරන්න පුලුවන්.
එංගලන්ත‍ෙය් ජීවත් වුණාට මට මගේ මව් බස අමතක නෑ.
READ MORE - ඇය සෙනාලි

සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

කැලණිය ප්‍රදේශීය සභාව මඟින් අභාවප්‍රාප්ත විශිෂ්ට කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතා නමින් නම් කළ මාවත වෙනස් කරලීම මෙරට සංස්කෘතියට කළ මහත් නිගාවකැයි සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්‍ර මහා පණ්ඩික කුඹුරුගමුවේ වජිර හිමිපාණන් සරසවිය පුවත්පතට පැවසුවේය.
මෙරට ජීවත් වූ කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතාගේ නමින් කැලණිය ගල්බොරැල්ල ඒ මහාත ජීවත් වූ පෙදෙස නම් කොට තිබූ අතර පසුගියදා කැලණිය ප්‍රාදේශීය සභාව මඟින් අත්තනෝමතිකව එම පුවරුව ඉවත් කර තිබිණි. මේ පිළිබඳව සරසවිය පුවත්පතට හිමිපාණන් අදහස් දැක්වූයේ මෙපරිද්දෙනි.
සැමුවෙල් රුද්‍රිගු මතතා ජීවත්ව සිටියදී අගනා කලාකරුවෙක් ලෙස නමක් දිනා සිටි කෙනෙක්. එමෙන්ම දේශය අලංකාර කළ, මිනිසුන්ට නිර්ව්‍යාජ ක්‍රමවේදයකින් හාස්‍ය ඉස්මතු කරලා, විශාල සේවාවාක් කළ තැනැත්තෙක්. සැමුවෙල් රුද්‍රිගු මහත්මාගේ විනෝද සමය බිහි වුණෙත්, පුහුණු වුණෙත් විද්‍යාලංකාර පිරිවෙන් බණ මඩුවේ.
ඒ වගේම කෙතරම් හාස්‍ය මතුªකළත් ඉතාම අවංකව ආගමික කටයුතුවල යෙදුනු ගරු කටයුතු මහත්මයෙක්. කැලණිය රජ මහා විහාරයේ බණ අසන්නට යන එතුමන් මතුවන ධර්ම ගැටළු නිරන්තරයෙන් මා සමඟ සාකච්ඡා කළා.
ගල්බොරැල්ලේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට ඉඩකඩම් පූජා කර තිබුණේ ඒ මහත්මයාගේ පවුලේ ඥාතීන්. කාලයක් ජරාජීර්නව තිබුණු මේ විහාරස්ථානය මට බාර දෙන්නට කටයුතු කළෙත් එතුමන්. අද එය බෞද්ධ මධ්‍යස්ථානයක් දක්වා දියුණු කරන්නට ලැබුණේ එතුමන් නිසයි.
2005 වසරේදී එතුමන්ගේ නමින් මේ මාවත නම් කරන්නට කටයුතු යෙදුණේත් ඒ අනුවයි. ඇත්ත වශයෙන්ම මිය ගිය තැනැත්තන්ට ගෞරව කිරීමයි අපේ සිරිත. එහෙත් එය නොසලකා කටයුතු කිරීම අපේ සංස්කෘතියට නිගා කළ තීන්දුවක්.
බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශය ලබපු කැලණිය, කැලණි විහාරයට මෙන්ම විද්‍යාලංකාර පිරිවෙණට දායකත්වය දරපු මේ නිර්ව්‍යාජ කලාකරුවන්ට කළ අපහාසය මේ රටටම කළ අපහාසයක් හැටියටයි මට හැඟෙන්නේ. විශේෂයෙන් මේ මාවතේ නම වෙනස් කිරීම මිය ගිය කෙනෙකුට ගෞරව දක්වන්නට පුරුදු වුණු ජාතියක් වන අප අතින් සිද්ධ නොවිය යුතු දෙයක්. මා එය දැඩි සේ පිළිකුල් කොට හෙළා දකිනවා’.

සබරගමු විශ්වවිද්‍යාලයයේ කුලපති,
මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත
කුඹුරුගමුවේ වජිර හිමි  

READ MORE - සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා