----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’

Monday, August 18, 2014


සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව අවසාන කොටස
කුමාරිහාමි හාන්සි පුටුවේ වාඩි වී සිටිය ද සිත තිබුණේ බොහෝ දුරකය. සිය හිමි පහතරටට වී කුමක් කරන්නේදැයි යන්න ඇයට ගැටලුවකි. ඔහු තමා හා දරුවන් බේරා ගන්නා බවට යම් විශ්වාසයක් සිතෙහි පැලපදියම් වී තිබුණ ද ඒ විශ්වාසය දිගින් දිගටම අහිමි වී යන බවක් හැඟේ. ඒ ගිනි පුලිඟකට හසු වූ වෙඬරු පිඬක් සේය.
‘නුඹේ මිනිහ සුදු ස්තිරියාවක් එක්ක නිදි වැද්ද මිනිහෙක්’
මොල්ලිගොඩගේ උස් ස්වරය යළි යළිත් ප්‍රතිරාවය වූයේ ඇයටත් නොදැනීමය. අවිශ්වාසය නමැති නාගයා සිතට පිවිස දරණ ගසා ගෙන පෙන ගොබය පුම්බා ගත්තේය. එහෙත් ඇසිල්ලකින් ඒ සිතුවිල්ලට ඉඩ නොදුන් කුමාරිහාමිගේ සිතට තවත් සිතුවිල්ලක් ගලා ආවේ ඉබේමය. එක් සිතුවිල්ලක් අරභයා නැඟෙන අනෙක් සිතුවිල්ලකට සිය සිත යොමා සිටි ඇයට බාධා කරන්නට කිසිවෙකුත් නොවීය. ඒ නිසා ඈ සිත මිස කය නැති බඹලොවකට පිවිසියෙකු සේ එහි සිතූ ලෙස සැරිසැරුවේ තම සිතැඟි පරිදිය.
ඩාං . . ඩාං . . . ඩාං
ඊට වැඩි ඉඩක් නොතබාම ඇසුණු බෙර හඬ කුමාරිහාමිව පියවි ලොවට රැගෙන ආවාය. අවසිහියෙන් මෙන් ඈ ඉදිරිපස බැලුවේ තමාට නුදුරින් ඇසෙන බෙර හඬ කුමක්දැයි යන්න තේරුම් ගැනීමටය. බෙරකරු සමඟ පිවිසෙන රාජ පුරුෂයෝ පැමිණෙන්නේ වළව්වට බව දැන් ඇයට සක්සුදක් සේ පැහැදිලිය. කුමාරිහාමි පුස්සැල්ලේ කුමාරිහාමි දෙස බැලුවේ මේ සිදු වන්නේ කුමක්දැයි විමසන්නාක් මෙනි. ඔවුන් ඉදිරිපසට පැමිණි කටුපුල්ලේවරයෙක් සංදේශයක් දිගහැර හඩ නඟා කියවන්නට වූයෙන් ඈ ඒ අසා සිටියේ සිහියත් අසිහියත් අතරය. රාජ පුරුෂයෝ නිවෙස ඇතුළට පිවිස එහි සිටි සියලු දෙනා එළියට ඇදගෙන පැමිණෙන අයුරු කුමාරිහාමි බලාගෙන සිටියේ ගල් රුවක් පරිද්දෙනි. අසලට පැමිණි රාජ පුරුෂයෙක් සිය අතෙන් අදිත්ම ඈ අත ගසා දැමූයේ තම ගෞරවය නිසාය. බාල දියණිය සියතට ගත් ඕ දරුවන් තිදෙනා ළං කර ගත්තේ ඉදිරියේ සිදුවන කුමන ගැටලුවකට වුව ද මුහුණ දීමට සිය සිත දැඩි කර ගනිමිනි.
ඉහළ මාලයෙහි සිටින ඇහැළේපොළගේ නොසන්සුන් බව කෙතරම් ද යන්න එක්නැළිගොඩට හැඟී ගියේය. බරට අඩි තබමින් ඔහු එහාටත් මෙහාටත් යන අයුරු පහළ මාලයෙහි සිටින අයටත් ඇසෙන්නේ එබැවිනි. එක් පැත්තකින් යුද්ධය සාර්ථක කර ගත හැකි වේවිදැයි යන සිතුවිල්ල ඔහුව පෙළන බව හේ දනියි. ඉංග්‍රීසින් සිය යුද ආධාර සපයන බවට කිසිදු පණිවුඩයක් නොවීම ද ඒ නොසන්සුන්කමට තවත් හේතුවකි. හෙළි නොකළ ද අනෙක් පැත්තෙන් බිරිය හා දරුවන් පිළිබඳත් ඇහැළේපොළ නිලමේතුමා විස්සෝප වන බව එක්නැළිගොඩට අමුතුවෙන් කිවයුතු නොවේ. දැන් දැන් ඔවුන් පිළිබඳ ලැබෙන ආරංචි ඒතරම් සුබදායක නොවන බව එක්නැලිගොඩ ද සිහිපත් කළේ කැලඹුණු සිතෙනි. ඔහුගේ සිතුවිලිවලට බාධා වූයේ ඈත සිට දූවිලිවලා ඉහළ යවමින් පැමිණි අසරුවකුගේ හඬයි. ඇහැළේපොළ පහළට පැමිණියේ ද එසැනෙනි. අසු පිට බැස පැමිණි සුදු නිලධාරියා අත වූයේ හසුනකි. එක්නැළිගොඩ ඇහැළේපොළ දෙස බැලුවේ චකිතයකිනි. ඔහු නිලමේතුමාගේ මුහුණ දෙසම බලා සිටියේ ඒ පයින්ඩය කුමක්දැයි වටහා ගනු සඳහායි.
‘අපි පළමුව හෙට උදේම සීතාවක බලා පිටත් වෙමු’
හසුනෙන් නෙත් ඉවතට ගත් ඇහැළේපොළ අන්තිම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඔහු වටා සිටි සියල්ලන්ගේ ඔල්වරසන් හඬ සැතපුමක් පමණ දුරින් අසු පන්නමින් සිටි ඉංග්‍රීසි අසරුවා බියට පත් කිරීමට සමත් විය. හේ තම අසුගේ වේගය වැඩි කළේ සිතට දිරි ගනිමිනි.
සිර මැදිරිය අසල ඇති පන්දම් එළියෙන් කුමාරිහාමිට මද්දුම බණ්ඩාරගේ හා ලොකු බණ්ඩාරගේත්, ඩිංගිරි මැණිකාගේත් මුහුණු පෙනෙයි. ඇය මද්දුම බණ්ඩාරගේම මුහුණ දෙසම බලා සිටියාය. ඇයට සිහිවූයේ ඇහැළේපොළය. ඔහු ඇහැළේපොළගේම කපාපු පළුව යැයි කුමාරිහාමි සිතුවේ අනෙකක් නිසා නොවේ. කුඩා වුව ද පුතු සිතන්නේ ඇහැළේපොළ මෙනි. ඔහු සතු රණ ශූරත්වයත්, එඩිතර බවත් අඩු නැතිව පුතුට පිහිටා ඇති සේය. ඈ තම අත නිදන චූටි මැණිකේගේ උවන දෙස බැලුවාය. අමන ගති ඇති වඩිග රජුගේ කෝපය නිසා දුක් විඳින්නට සිදුව ඇත්තේ මේ නොදරුවන්ටය.
පන්දම් එළිය මුහුණට වැටීම නිසා කුමාරිහාමිගේ මුහුණ පැහැදිලිව දර්ශනය වෙයි. ඈ දෙස විමසිල්ලෙන් බලාගෙන සිටි අයකුට ඇගේ නෙතඟ නැඟුණු කඳුළක් ඒ පන්දම් එළියෙන් දිලිසෙන අයුරු දැකගත හැකිය. අවට රජ වෙන ගුප්තභාවය බිඳිමින් පැමිණෙන කිහිප දෙනෙකුගේ පා ගැටෙන හඬ කුමාරිහාමිගේ සවනත ගැටිණි. අය තැති ගත්තාය. එසේ වූයේ හෝරා කිහිපයකට පෙර සිදු වූ සිදුවීම කුමාරිහාමිගේ සිත සසල කිරිමට සමත්ව තිබූ බැවිනි. ඇය එය යළි යළිත් සිහිපත් කළාය.
හදිසියේම පැමිණි පරිවාරක ස්ත්‍රීන් දෙදෙනා කුමාරිහාමි කැඳවා ගෙන යන්නේ කුමකටදැයි ඇය කල්පනා කළේ ඔවුන්ගේ මුහුණු දෙස විමසිල්ලෙන් බලමිනි. හැඟීම් විරහිත ඒ මුහුණුවලින් ඇයට කිසිදු නිගමනයකට පැමිණිය නොහැකි තරම්ය. සළුවක් හිස දවටා මේ රුගෙන යන්නේ හොඳකට නම් නොවන වග ඈට පැහැදිලිය. දොරකින් ඇතුළු වූ විගස ඈ දුටුවේ දුක්ගන්නා රාළයි. ආපසු ඇතුළු වූ දොර දෙස බැලුව ද ඈ අසල සිටි පරිවාරක ස්ත්‍රීහු ඒ වන විටත් අතුරුදන්ව සිටියහ. දුක්ගන්නා රාළ ද පිටව ගියේ තමා සිටින වග ද නොතකමිනි. වික්ෂිප්තභාවයට පත් කුමාරිහාමි අවට බැලූයේ ඇය කුමන ස්ථානයක සිටින්නේ දැයි කියා දැන ගනු රිසියෙනි. එක්වරම ඇගේ නෙත ගැටුණේ සිරියහන් ගබඩාවෙහි වැතිරී සිටි රාජසිංහ රජුගේ රුවයි. ඇගේ හදවත ස්පන්ධනය වන වේගය ඇයටම ඇසෙන තරම්ය. ඈ නැවතත් දොර අසලට ගියේ කෙසේ හෝ මින් පිට විය හැකි ක්‍රමයක් සොයනු සඳහාය. දොර එළියෙන් අඟුලු ලා ඇත.
‘තිගේ පුරුෂයා මගේ හිතේ ඇවිලූ ගින්න මොහොතකට හෝ නිවාලන්න තීට හොඳ අවස්ථාවක් මේක’
රජුගේ ස්වරය ඇගේ සවනට දැනුණේ යවුලකින් අනින්නාක් මෙනි. ඇය සිටියේ ගල් පිළිමයක් ලෙසිනි. රජු සිරියහනෙන් නැඟී ඉන් පිටතට පැමිණියේ තම ප්‍රශ්නයට කුමාරිහාමිගෙන් නිසි පිළිතුරක් නොවූ නිසාය.
‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’
වඩුග රජාගෙන් බේරී යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන වගක් කුමාරිහාමිට දැනෙයි. ඇය සිටියේ ඊළඟට ගත යුතු පියවර පිළිබඳ කල්පනා කරමිනි.
‘තිගේ පුරුෂයා සුදු ජාතික ස්තිරියාවක් එක්ක නිදි වදිනවා. තී මාත් එක්ක නිදි වදිනවා’
බීමත්ව සිටින රජුගේ ස්වරය තව තවත් උස්ව නැඟිණි. ඔහු තමා අසලට පැමිණෙමින් සිටියි. කුමාරිහාමි සිටින්නේ බිත්තියට පිටදීය.
ඇගේ සොඳුරු රුව දුටු රජුට ඉවසුම් නොදෙන ප්‍රීතියක් හට ගත්තේය. ස්ත්‍රියක සතු දේහ ලාලිත්‍යයෙන් පිරිපුන් වූ ඇගේ අඟ පසඟ ස්පර්ශ කරන්නට ඇත්නම් යන සිතුවිල්ල රජු ඇයට සමීප කිරීමට සමත් විය. ඇගේ රුවෙහි සුන්දරත්වය රස විඳිය හැක්කේ ඈ අසලම ඉඳිමිනි. නෙළුමක් වැනි ඇගේ උවනෙහි රත් පැහැතිව දිලෙන දෙතොලෙහි මී උතුරයි. ඇය හැඳ සිටින හැට්ටය දරා සිටින රණ හසුන් පරදවන පීන පයෝදර හැට්ටය පුපුරා එළියට පිවිසීමට බලා සිටන්නේ තමා සමඟ රති කෙළියට සූදානම්ව යැයි රජුට සිතිණි. රණ හසුන් හා බැඳි මෙවුල්දම අතර ඇති සිහින් ඉඟ රජුගේ සිත රැඳි කාම වේගය උත්සන්න කළේය. එකෙනෙහිම ඉවසුම් නොවූ රජු රාගයෙන් මත් වුණු සිය නෙත් දල්වා ඇගේ සිහින් ඉඟ සිය සුරතෙන් බදා වැළඳ ගනිමින් ඇය තමා අසලට ඇදගත්තේ මුහුණට මුහුණ ළංව සිටිනා සේය.
බලාපොරොත්තු නොවූ මොහොතක සිදු වූ මේ සිප ගැනීමෙන් කුමාරිහාමි අසරණ විය. ඇය සිය සිතට පිවිසි කෝපය පළ කළේ කෙළ පිඬක් රජුගේ මුහුණ මත හෙළමිනි. අන්ද මන්ද වූ රජු ඈව තල්ලු කළ බැවින් පලස මත ඈ ඇද වැටුණේ එහි අසල වූ රන් කෙණ්ඩියක් ද පෙරළමිනි.
ඇතුලේ වන්නේ කුමක්දැයි දැනගනු අටියෙන් සිරියහන් ගබඩාවේ රැඳී උන් දුක්ගන්නා රාළ එක් වරම දොර හැරියේ රජුගේ ඇමතීමෙනි. කුමාරිහාමි ඇරුණු දොරෙන් එළියට පැන්නාය. ඈ අල්ලා ගැනීමට ළං වූ දුක්ගන්නා රාළගේ යටි බඩට පහරක් එල්ල කළ බව පමණක් ඇයට මතකය. රජුගේ අණට අකීකරු වීම නිසා කුමාරිහාමිට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට නම් ඔබ කළ යුත්තේ ඇහැළේපොළ සිනමාපටය නැරැඹීමය.

0 comments:

Post a Comment