----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

තව නූලෙන් ජීවිතය ඉවරයි

Monday, August 18, 2014


අයිරින් ලියනගේ ගේ රස මතක අහුර
සත්සරණී 17 වැනිදා ටවර් රඟහලේදී
අයිරින් ලියනගේ මියුරු ස්වරයෙන් ගැයෙන “සත්සරණී” සංගීත ප්‍රසංගය මේ මස 17 වැනිදා පස්වරු 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත් වෙනවා. ඒ පැවැත්වෙන්නේ අයිරින්ගේ කලා දිවියේ වසර පනස් පහක කලා සමරමින්. රංජිත් ඩයස් ප්‍රමුඛ මවුන්ට් චයිම්ස් වාදක මඩුල්ල සංගීතය සපයන මේ සුන්දර අවස්ථාවට ඈ ඇගේ ගීත වගේම නිළි රැජින රුක්මණී දේවියගේ, ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ වගේම සුජාතා අත්තනායකගේත් ගීත ගයන්න සිතාගෙනයි ඉන්නේ.
ඉෂාක් බෙග්, සූරිය කුමාර මුත්තලගේ, වජිර එදිරිමාන්ත, චානක ඉලුක් කුඹුර, පුෂ්පකුමාර කියන පිරිස ඇය සමඟ සම්බන්ධ වෙන්නේ යුග ගායනයෙන්. වසර හතරහමාරකට ඉහත ඇගේ සැමියා සුදත් ජයසූරිය කරන්න සිටිය මේ ප්‍රසංගය කල් ගියේ ඔහුගේ අභාවය නිසා. ඊට පස්සේ එහෙම ප්‍රසංගයක් කරන්න අයිරින්ගේ සිතේ බලාපොරොත්තුවක් නැතිවුණත් ඒකට ඈව උනන්දු කළේ ඇගේ රසිකයෝ. රසිකයන්ගේ ආරාධනාවෙන් පැවැත්වෙන මේ සංගීත ප්‍රසංගයේ කථනය රංජිත් එදිරිසිංහගෙන්. වේදිකාව සුන්දර කරන නර්තනය අමාලි විත් සුපර් ස්ටාර් ඩාන්සින් කණ්ඩායමෙන්.
අයිරින් ගායනයට පිවිසියේ සත් හැවිරිදි වියේ. ඒ ගුවන් විදුලියෙන්. ඇගේම කියලා ගීත කිහිපයක් තිබුණත්, ඈ වැඩිපුරම ගැයුවේ රුක්මනී දේවිගේ, ලතා වල්පොලගේ ගීතයි. ප්‍රසංගවලට ගියාට පස්සේ රසිකයන්ගෙන් ඇයට ආරාධනා ලැබුණේ ඒ ගීත ගයන්නයි. කොහොම වුණත් ඊට පස්සේ අයට අපූරු නමක් පට බැඳුනා. ඒ පුංචි රුක්මනී. හැමෝම ඈව ඇමතුවේ අයිරින් කියලා නොවෙයි, පුංචි රුක්මනී කියලා. මේ පුංචි රුක්මනීගේ ගෙවී ගිය කලා ගමන් මගේ සිදුවුණු සිදුවීම් ඇය අප සමඟ පැවසුවේ ඒ අතීතය සොයා යමින්.
මේක සිද්ධ වුණේ යුද්ධය තිබෙන කාලේ. එදා සංගීත ප්‍රසංගය තිබුණේ අනුරාධපුරයේ. අයිරින්ටත් ඒකට ආරාධනා කරලා තිබුණා. හැමෝම ගියේ බස් එකේ. මාලිගාවත්තෙන් ලතා අක්කව ගත්ත පිරිස ඊළඟට ගත්තේ බර්ටි අයියව. උදෑසන කොළඹින් පිටත් වුණු බස් රථය කරදරයක් නැතිව අනුරාධපුරයට ළඟා වුණේ සවස් යාමයේ. ඒත් අනුරාධපුරයේ කලබලයක්.
“මෙතනින්” එහාට යන්න දෙන්න බෑ”අයිරින්ලාගේ වාහනය නතර කළේ පොලිස් නිලධාරියෙක්. බිමට බැස්ස බර්ටි අයියා පොලිසියේ රාළහාමිට අනුරාධපුරයට ආව කාරණය කිව්වේ මේ අතරදි.
“මම නම් හිතන්නේ නෑ අද ප්‍රසංගය තියෙනවා කියලා”
පොලිස් නිලධාරියා කිව්වේ බස් රථයේ හිටිය ලතා අක්කා ඇතුළු හැමෝමත් එක්ක සිනහවෙන ගමන්. අනුරාධපුර නගරයට පිවිසෙන්න ගත්ත වරමත් එක්ක අපි මුළින්ම ගියේ නවාතැනට. ඊට පස්සේ මේ ඛේදවාචකය සිද්ධ වුණු ෂෙඩ් එක ළඟට.
“ෂෙඩ් එකේ තෙල් බවුසරයක් පුපුරවලා”
බර්ටි අයියා, කිව්වේ බොහොම දුකෙන්. ෂෙඩ් එක ළඟ සිටිය බොහෝදෙනා ඒ වනවිටත් දරකොට වගේ. ඒක නම් පුදුම ඛේදවාචකයක්. හැමෝගේම සිතේ තිබුණේ ඒ වගේ අදහසක්. ඔවුන් සියලු දෙනාම කොළඹ එන්නට පිටත් වුණේ ඊට පසුවදා.
එදා අපි ගියේ ගම්පොළ සංගීත ප්‍රසංගයකට. රථයේ හිටියේ අයිරින් වගේම සුදත්. වාහනය පැදෙව්වේ අයිරින්ගේ සහෝදරියගේ පුතා. ප්‍රසංගය අවසාන වනවිට උදෑසන දෙක විතර වෙලා. තුන්දෙනත් එක්කම වාහනයට නැග්ගේ කොළඹ එන්න සිතාගෙන. පේරාදෙණියට ආව විතරයි. එකපාරටම අයිරින්ලගේ වාහනේ හැප්පුවේ සීනි ලොරියක්. වාහනේ කුඩේ කුඩු. අවට පිරිස රැස්වෙලා අයිරින්ව එළියට ගන්නවා විතරක් අයිරින්ට මතක. දවස් හතකට පස්සේ ඈට සිහිය එනවිට ඈ සිටියේ රෝහලේ වාට්ටුවේ ඇඳක් උඩ. ඒ වනවිට සිද්ධ වෙන්න ඕන දේවල් ඔක්කොම සිද්ධ වෙලා. සහෝදරියගේ පුතාගේ මෘත ශරීරය කොළඹට යවලා. සුදත්වත්, අයිරින්වත් නවලෝකයට මාරු කළා. අයිරින්ගේ කකුල කැඩිලා. ඒ අතරතුරෙන් කාලයක් අයිරින් සිටියේ එක්තැන් වෙලා.
අනතුර වනවිටත් අයිරින් සිටියේ විදේශ සංගීත ප්‍රසංගයකට දින දීලා. කොහොම වුණත් කමක් නෑ කියලා ඈ ඩුබායිවල මේ ප්‍රසංගයට ගියේ රෝද පුටුවේ ඉඳන්. ඒ ප්‍රසංගයට ඉෂාන් බෙග් වගේම අනිල් භාරතීත් සිටිය වග ඈට අදටත් මතකයි. ප්‍රසංගය කළේ මාලනී,ෂෙරීන් කියන දෙන්නා. ඔවුන් අයිරින්ව ඒ කාලයේ බලාගත්තේ බොහොම ආදරයෙන්. ප්‍රසංගයකට සහභාගීවුණාට
පස්සේ අයිරින්ව ඔවුන්ගේ නවාතැනට අරගෙන ආවා. තට්ටු ගණනක් උස තට්ටු නිවාසයක ඉහළම ඉන්න විට අයිරින්ට දැනුණේ බියක්. අනිල් භාරතී හොඳටම නිදි. ඈ අනිල් භාරතීට කතා කළා.
“අනේ අයියේ මට හරි බයයි. සාලයට එන්නකෝ”
නිදිමරගාතේ සිටිය අනිල් භාරතී සාලයේ සෙටියේ ඉඳ ගත්තා. ටික වෙලාවයි ගියේ මෙන්න ඔහු ගොරව ගොරව නිදි. අනේ ඉතිං මොනව කරන්නද? කකුල් දෙක කැඩුණාට පස්සෙයි අයිරින්ට ඒකේ අගේ කොයිතරම්ද කියලා සිතුණේ.
මේ සිද්ධිය වුණේ අයිරින්ට අවුරුදු දොළහක් තරම් වයසේදී. එදා ඔවුන් ගියේ පමුණුගමට. එහේ සිටිය ආරච්චි කෙනෙකුගේ දුවකගේ මංගල සාදයකට. කොළොම් පුරවරයෙන් බොහෝ දුරක තිබුණු මේ සාදයට බොහෝ දෙනෙකුට ආරාධනා ලැබිලා තිබුණා. පමුණුගමට යන්න තිබුණේ වංගු රැසකින් හැරිලා.
“අයිරින් සිංදුවක් කියන්නකෝ”
අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු ආරාධනයෙන් පුංචි අයිරින් තැනට ඔබින විදියට ගීතයක් ගැයුවා. ඒ “ජීවන මේ ගමන සංසාරේ....” කියන ගීතය. වංගුවකින් හැරෙන විටම රථයේ රියැදුරා “සැඩ සුළං” චිත්‍රපටයේ වගේ හෝන් එක තුන්වරක් ශබ්ද කරන්නේ හැමෝගෙම සිනාහඬ අතරෙන්. වැඩි වේලාවක් ගියේ නැහැ. රථය ඉදිරියට පැන්නේ කුකුළු නාම්බෙක්.
“ඉක්මනට යන්, මේක පිට ගමක්”
රථය එකපාරටම කුකුළු නාම්බගේ ඇඟ උඩින් ගියා කියලා සිතුව හැමෝම රියැදුරාට කෑගැසුවේ ඉක්මනින්. රියැදුරාත් අතෑරියේ නැහැ. හැටට හැටේ පෑගුවා. එකපාරටම ඔක්කොම එකම ගොඩකට වැටුණේ රියැදුරා ගැහුව බ්‍රේක් පාරෙන්.
“මොකක්ද ඒ කළේ?”
හැමෝම ඇසුවේ එකපාරට තරහෙන්. රථයෙන් බැහැලා බැලුවමයි වැටහුණේ.
“වාහනය තව චුට්ටෙන් මුහුදේ”
හැමෝගෙම කසු කුසුව නැවතුණේ දෙවියන්ට පිං දෙමින්. ඊළඟටයි ඔවුන්ට රියැදුරාව මතක් වුණේ. තිබුණු කලබලයට වාහනය පැදවූවත් ඒ පදවලා තිබුණේ ඔවුන් යා යුතු පාරේ නොවෙයි. එතැනින් එහා තිබුණේ ප්‍රපාතයක්. රියැදුරාගේ බ්‍රේක්පාර නිසා හොඳට ගියා.
මේ සංගීත ප්‍රසංගය තිබුණේ සාජාවල. ප්‍රසංගය අවසාන වෙලා අපි හැමෝම සාප්පු සවාරි ගියා. කීර්ති පැස්කුවල්, වෝල්ටර් ප්‍රනාන්දු , බේබි ශානිකා, පුන්සිරි සොයිසා, ඒ සවාරියේ සාමාජිකයෝ. සාප්පු ගණනකට ගිහින් අවසානයේ අයිරින්ගේ හිත තැවතුණ සාප්පුවෙන් බඩු ගත්තා. අනික් පිරිස සිටියේ සාප්පුවේ එළියේ. සාප්පු සවාරිය අවසාන කරන්න සිතාගෙන අයිරින් සාප්පුවෙන් එළියට ආවා.
“අක්කේ අර උඩ බලන්නකෝ”
හැමෝම කිව්වේ එකපාරටම.
“ උඩ බලනවද නැද්ද”
අයිරින් සිටියේ මොකද කරන්නේ කියන අවිනිශ්චිත බවෙන්. “කමක් නෑ” කියලා අයිරින් උඩ බැලුවේ ඒත් එකකම වගේ.
“බුදු අම්මෝ, සර්පයෝ”
ඈ කෑගහගෙනම එළියට පැන්නා.
“අක්කේ පනින්න එපා”
සාප්පු සවාරි සාමාජිකයෝ කෑ ගැසුවා. එවිටමත් ඈ එළියට පැනලා අවසන්.
“තව චුට්ටෙන් ලංකාවට ගේන්න වෙන්නේ අයිරින්ගේ බොඩි එක තමයි.”
වෝල්ටර් කිව්වේ බය බිරන්ත වෙලා ඉන්න අයිරින් දැක්කට පස්සේ. සාප්පුව අසලින්ම තමයි වාහන ගමන් කරමින් තිබුණේ. ඔළුව උඩින් සිටිය සර්පයෝ තොගය දැක්කම අයිරින්ට උන්හිටි තැන් අමතක වුණේ ඉබේටම. කිසිම දෙයක් ගැන සිතුවේ නැති ඈ සිටිය තැනෙන් ඉවතට පැන්නා. කොහොමත් අයිරින්ට කැරපොත්තෝ, හූනෝ,වගේම සර්පයෝත් පේන්න බැහැ. ඇගේ සිතේ උන්ට තිබුණේ පුදුම බයක්. බය කරන්න සිතාගෙන කළ ඒ විහිළුව නිසා ඇගේ ජීවිතය බේරුණේ අනූනවයෙන්. ජීවිතයට අමතක නොවන ඒ සිදුවීම අයිරින්ට අපූරු පාඩමක්.
“මේ ප්‍රසංගය බලන්න ඇවිත් ගීත අහලා රස විඳින්න.”
අතීත කතාබහ නතර කරලා ඈ ඈට ආදරය කරන රසිකයන්ට ආරාධනා කළා. ඒත් එක්කම ඈ මතකයට නැගුවේ තමන්ගේ දයාබර සැමියාව.
“ඔහු සිටියනම් ප්‍රසංගය දවසට කොයි තරම් සතුටු වේවිද?”
ඈ අවසානයට කිව්වේ කඳුළු පොකුරක් නෙත් අතර හිරකරගෙන.

0 comments:

Post a Comment