ජයශ්‍රී චන්ද්‍රජිත් තෙමෙනු ඇතජයශ්රී චන්ද්‍රජිත් වේදිකාව වෙනුවෙන්ම උපන් ප්‍රතිභාපූර්ණ රංගවේදියකු යැයි හැඳීන්වීම අතිශයෝක්තියක් නොවනා වග මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසය දන්නෝ අනුමත කරති. එදා මෙදාතුර වේදිකාව තුළ රංගනයෙන් කදිම දස්කම් විස්කම් පෑ ජයශ්‍රී මෑත භාගයේදී අපට හමු වන්නේ උමතුසං වරුසාව වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ අධ්‍යක්ෂවරයා ලෙසිනි. හැත්තෑව දශකයේ ජයශ්‍රී රංගනයෙන් දායක වූ උමතුසං වරුසාව මෑත වකවානුවේ ජයශ්‍රී අතින් අධ්‍යක්ෂණය වීමද දෛවෝපගත සිදුවීමකි. මේ ජයශ්‍රී චන්ද්‍රජිත් සමඟ උමතුසං වරුසාව සහ තවත් කරුණු පිළිබඳ කරනු ලැබූ සංවාදයකි. * මුලින්ම අපි උමතුසං වරුසාවෙන් කතාව අරඹමු. හැත්තෑව දශකයේදී උමතුසං වරුසාවේ රංගනය වෙනුවෙන් මා දායක වුණා. එදා මෙම වේදික නාට්‍ය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ පද්මසීලි ද සිල්වා මහතා. පසුව මෑත වකවානුවේදී මා තරමක විවේකීව කාලය ගත කළා. හොඳ වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමේ අදහසක් නොතිබුණාත් නොවෙයි. මේ අතරේද උමතුසං වරුසාව අධ්‍යක්ෂණය කරන්නට ආරාධනා ලැබුණේ. මේ ආරාධනා ලද මොහොතේම මම බොහෝ කල්පනාකාරී වුණා. මුලින්ම මේ පිටපත අදට ගැළපෙනවාද යන්න පිළිබඳ හොඳින් විමසුවා. ඉතාමත් සංයමයෙන්, සුපරික්ෂාකාරීව විමසීමේදී මේ පිටපත අදට ගැළපෙන බව මට දැනුණා. ඒ ගැළපීම නිසාම මේ නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමට බාර ගත්තා. මේ පිටපත තුළ තිබෙන කාලීන බව තමයි නිර්මාණයට මාව පොලඹවා ගත්තේ. අපේ රටට කලින් කලට අලුත් වැහි වැටෙනවා. මේ වැහිවලට අපේ මිනිස්සු තෙමෙනවා. ඒ කාලේ ඉඳලම එහෙමයි. ඇතැම් වෙලාවට කලාකරුවන් සාමාන්‍ය ජනතාවට පෙර අනාගතය දකිනවා. ඔවුන් අනාගතය ගැන කියනවා, නමුත් ඒ දේවල් ඒ කාලයේදී පිළිගන්න සාමාන්‍ය ජනතාව කැමැති නැහැ. * මේ නාට්‍යයේ ඔබ රංගනයෙන් දායක වෙන්නේ නැහැ. ඔව්. මම හිතන්නේ නළුවෙක් හෝ නිළියක් නිරතුරුවම අධ්‍යක්ෂණය විය යුතුයි. මගේ නාට්‍යයේ මම රඟපෑවොත් මාව අධ්‍යක්ෂණය වෙන්නේ නැහැ. එවිට එය අසාර්ථකයි. මම කාටවත් දොස් කියනවා නෙවෙයි. අධ්‍යක්ෂණය නෙවෙන රංගන ශිල්පියකුගේ රංගනය පිළිබඳ මට වගකීමක් දෙන්නට බැහැ. ඒ නිසාම උමතුසං වරුසාවේ අධ්‍යක්ෂවරයා මම. ඒ නිසා එහි නළුවකු වීමට මා උත්සාහ කළේ නැහැ. * දිගටම ලංකවේ ඉන්නද කල්පනාව? ලෝකේ කොහේ සිටියත් ලංකාව අමතක වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ වසනා කාලයේත් නිරතුරුවම සිතින් හිටියේ ලංකාවේ. මට ඕන නිදහස තිබෙන්නේ මගේ රටේ. ඒ නිසාම වැඩිපුර කාලයක් ලංකාවේ ජීවත් වන්නට තීරණය කළා.ලංකාවේ ඉන්න අතරේ අපේ රටේ කලාවට මගෙන් ඉටු විය යුතු දෙයක් තිබේ නම් එය ඉටු කරන්නට මා බැඳී ඉන්නවා. * බොහෝ දෙනෙකු පවසන්නේ නවීන සන්නිවේදන තාක්ෂණය හරහා ප්‍රේක්ෂකයා වේදිකාවෙන් ඉවත් වෙලා කියායි. නැහැ. එය මා පිළිගන්නේ නැහැ. අපි හරි දේ කළොත් නරඹන්නා ආසවෙන් පොදිකකා බලන් ඉන්න ප්‍රේක්ෂක පිරිසක් අපට ඉන්නවා. ඔවුන් නාට්‍යාගාරයට කැඳවා ගැනීමට නිර්මාණකරුවා නිවැරැදි රසවත් මෙන්ම අර්ථවත් දේ කළ යුතුයි. * වත්මන් පරපුර ගැන මොකද හිතෙන්නේ? කලාව කියන්නේ පරපුරෙන් පරපුරට ප්‍රගුණව ඉදිරියට යා යුතු දෙයක්. අනිවාර්යයෙන්ම පරපුරක ආරම්භය සිදු විය යුතුමයි. අද අපේ රටේ සිටින නවක නාට්‍යකරුවන් හොඳ තත්ත්වයක ඉන්නවා. * බොහෝ දෙනකු වැඩේට අවංකව කටයුතු කරන බවකුත් පෙනෙනවා. ඒ අයට ශක්තිමත්ව අතදී නිවැරැදි මාවතකට යොමු කිරීමට ප්‍රවීණයන් වග බලා ගත යුතුයි. නමුත් ඔවුන් සමඟ හරියාකරව සන්නිවේදනය කිරීමේ සංඝටයක් ප්‍රවීණයන්ට තිබීම ඉතා වැදගත්. * බොහෝ දෙනකු පවසන්නේ හරියට රංගනය අධ්‍යයනය කිරීමට තැනක් නෑ කියායි. ඔව්. තැන් ඕනෑ තරම් තිබෙනවා. හරි තැන් අඩුයි. * ඔබ ප්‍රවීණයෙක්. අත්දැකීම් පරිපූරණ රංගන ශිල්පියෙක්. මේ තත්ත්වයට මැදිහත් වෙන්න අදහසක් නැද්ද? ඕනෑම මොහොතකදී නවකයන්ට දැනුම ලබා දෙන්න මං සූදානම්. පන්ති පවත්වන්නට නෙවෙයි, අපේ රටේ වේදිකාව වෙනුවෙන් යමක් කරන්න මා බලාගෙන ඉන්නවා. * ඉදිරිය කොහොමද සැලසුම් කරලා තිබෙන්නේ? ඉදිරියේදිත් ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. නමුත් ඇතැම් පිටපත් කියවා බලා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වුණා. ඇතැම් ටෙලි නාට්‍ය භාර ගත්තා. මම නිරතුරුවම අර්ථවත් දෙයට මූලිකත්වය දෙන කෙනෙක්. ඒ නිසාම නිර්මාණ භාර ගන්නේ පරිස්සමෙන්. මා ගැන දන්න උදවිය ඒ කාරණා හොඳින් දන්නවා. * රංගනය පිළිබඳ දැනුම අවශ්‍ය කණ්ඩායමකට නිවැරැදිව ඒ දැනුම දෙන්න ඔබ ඕනෑම වෙලාවක සූදානම්ද? ඔව්. මා පෙර දී කීවා වගේ ඒක රංගන පාසලක ස්වරූපයෙන් කරන්න මගේ කැමැත්තක් නැහැ. නමුත් කවුරුන් හෝ සංවිධාන ගත වුණොත් මා උදව් කරනවා. * උමතුසං වරුසාව සාර්ථකයි කියලා ඔබ හිතනවාද? ඔව්, මට එහෙම දැනෙනවා. චතුර ගීතනාත් බණ්ඩාර ඡායා - ටෙනිසන් එදිරිසිංහ |
0 comments:
Post a Comment