ඩිනක්ෂි ප්‍රියසාද් අම්මා ශිරානි ප්‍රියසාද්
එදා දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ පැංචියො තුන්දෙනාම රාත්‍රී නින්දට වෙනදාට කලින් ගියේ නත්තල් සීයාට කාමරේට එන්න කවුළුවත් ඇරලා.
වේලාව අලුයම තුනයි. ඩින්නිගේ කාමරේ බිත්තියෙන් මතු වුණේ ඩින්නි පුළ පුළා බලා සිටිය නත්තල් සීයා. පුංචි පැංචියන්ට තෑගි බෝගත් අරගෙන නත්තල් සීයා ආවේ පිනි මුවන් බැඳි රනින් දිලසෙන අපූරු කරත්තයක.
ඩින්නි ඇඳෙන් පැන්නේ නත්තල් සීයා එක්ක පුංචි රවුමක් යන්නත් හිතාගෙන. පුංචි ඩින්නි ඇෙඳන් පැන්න සද්දෙට අම්මාට ඇහැරුණා. හරි වැඩේ නත්තල් සීයා අතුරුදහන්. ඩින්නි අම්මාට තුරුළු වුණේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. හැබැයි ඉර පායාගෙන එන කොට පුංචි ඩින්නිගේ මූණ හරියට පුංචි රෝස මලක් වගේ.
ඒ නත්තල් සීයා එයාට ලස්සන ලස්සන තෑගි ගොඩක් ගෙනත් දීලා නිසා. අදටත් ඩින්නි විශ්වාස කරනවා එයා පුංචි කාලේ ඇත්තටම නත්තල් සීයාව දැක්කා කියලා.
ගෙදරදි ආදරේට ඩින්නි කියන්නේ ඩිනක්ෂි ප්‍රියසාද්ට. ඩින්නිගේ නත්තල් සීයා ගැන කතාව අපිට කිව්වේ ශිරානි ප්‍රියසාද්. ඇය චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද්ගේ ආදරණීය බිරිඳ සහ ඩිනක්ෂිගේ මෑණියන්. පුංචි දවස්වල විශේෂාංගයෙන් ඩිනක්ෂිගේ පුංචි කලේ මතකයන් පෙළ ගස්වන්නේ ශිරානි ප්‍රියසාද්.
ඉතින්, පුදුම වැඩේ කියන්නේ පහුවෙනිදා උදේ, ඒ කියන්නේ 25 අපේ බිත්තියේ ලොකු අඩි පාරවල් තිබුණා. තව චූටි චූටි අඩි පාරවලුත් තිබුණා. ඩිනක්ෂි නම් අදටත් කියන්නේ ඒ තිබුණේ නත්තල් සීයාගෙයි පිනි මුවන්ගෙයි අඩි පාරවල් කියලාමයි.
ඩින්නි පුංචි කාලේ හරිම අහිංසකයි. අපේ දෙවෙනි දූ ඉපදුණාම මම ඩින්නිට සූප්පුවෙන් කිරි බොන්න දෙන එක නැවැත්තුවා. දුව චූටි කාලේ ඉඳන්ම හරිම කීකරුයි. මගේ කීමට සූප්පුවෙන් නොබිව්වට කෙලි පැටියා සූප්පුවෙන් කිරි බොන්න හරි ආසයි.
සමහර වෙලාවට ශේෂාද්‍රිව නිදි කරවද්දි සූප්පුව කටට දෙනවා. ශේෂාද්‍රි නිදා ගත්තාම සමහර දවස්වලදී ඩින්නි මගේ ළඟට ඇවිත් ‘අම්මෙ මම චුට්ටක් සූප්පුව උරන්නද?’ කියලා අහනවා.
මම ඉතින් පොඩි එකාගේ ආසාව නිසා එපා කියන්නේ නෑ. එසැනින් නංගිගේ කටේ තියෙන සූප්පුව අරගෙන දුවන්නේ අල්මාරිය පිටිපස්සට. අනේ ඉතින් චුට්ට වෙලාවක් සූප්පුව උරලා ආයිත් එයාම ඒක නංගිගේ කටේ තියනවා.
ඩින්නි මම කියන දෙයක් අහන්නෙ නැති එක වෙලාවක් තියෙනවා. ඒ තමයි එයාට ඉන්ජක්සන් එකක් විදින වෙලාව.
එක දවසක් දූට ඉන්ජක්සන් එකක් විදින්න ගිහින් හොස්පිට්ල් එකේ යුද්දයක් කළා. ඩින්නිව මට කිසිම විදිහකට පාලනය කර ගන්න බැරි වුණා.
ඩින්නි මේස යටිනුත් රිංගුවා. එදා එයාව අල්ලන්න ඇටෙන්ඩන්ලයි නර්ස්ලයි දිව්වා. කොහොම හරි අන්තිමේදී ඇටෙන්ඩන් කෙනෙක් මේසෙ යටින් රිංගද්දී ඔළුව හැපිලා තුවාලවෙලා මැහුණුත් දැම්මා.
එදා ඩින්නි හොස්පිට්ල් එකේදී දිව්වෙ නැති තැනක් නැති තරම්. දඟ නැති වුණාට ඩිනක්ෂි පුංචි දවස්වල චුට්ටක් විතර පණ්ඩිතයි. පණ්ඩිතයාට ඉතින් ඒදණ්ඩෙ යන්න බෑනේ. ඩින්නි පුංචි කාලේ හවසට ස්විමිං යනවා.
මම එයාව එක්කගෙන ගිහින් එයත් එක්කම ඉඳලා හැන්දෑවට එක්ක ගෙන එනවා. ඒ වෙලාවේ මගේ ඇස් දෙක හැම තත්පරේම තියෙන්නේ මගේ දෝණි ළඟමයි. දවසක් මගේ පණ්ඩිත කෙලි පැටික්කි පූල් එකේ ගැඹුරු පැත්තට පීනුවා.
එයා ඊට කලින් කවදාවත් ගැඹුරු පැත්තේ පීනලා නෑ. ‘අනේ දෙයියනේ මම එක පාරටම දැක්කා, මගේ පොඩි එකීව වතුරෙ ගිලෙනවා.’ මම කෑ ගහගෙන ස්විමිං පූල් එක පැත්තට දිව්වා.
මගේ කෑගැහිල්ලේ සද්දෙට පුහුණුකරුත් එතනට දුවගෙන ඇවිත් මගේ කෙලි පැටික්කි බේර ගත්තේ. හැබැයි එදා මමත් ස්විමිං පූල් එකට නොවැටි බේරුණේ අනූනවයෙන්. මොන දේ වුණත් ඩින්නි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදටත් හරිම අහිංකයි.
0 comments:
Post a Comment